Thursday, February 9, 2017

ආදරය කරන්නෝ කොහි වෙත්ද...?

ආදරය නම් සංකල්පය විනාශ වීම සිදු වෙන්නේ එය ජනගත වීමත් එක්කයි කියලා මගේ ආදර අවනඩුව ටෙලි සිත්තමේදී කියවුණා. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ''මේ තරම් සියුමැලිද කලු ගල්'' ගීතයේදී මිනිස් සිත්වල පවත්නා රළු ස්වභාවය ඉතාමත් සංවේදී ආකාරයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා.

ආදරයට එරෙහි බලවත්ම සතුරා වන ''ආත්මාර්ථය'' අපට එන්නේ ජාන වලින්මයි. ඒ නිසා එයින් ගැලවෙන එක විශාල සටනකින් කළ යුත්තක්. ඒක ජය ගන්න සමත් වෙන්නේ එහෙමත් කෙනෙක්. ඒත් අද කාලයේ නිවන් දකින්න පාර කියන්නෙත් ආත්මාර්ථය තුළින්. එවිට ඒ මග ගමන් කරන පුද්ගලයා නතර වන ස්ථානය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

සතුන් ආත්මාර්ථකාමී වුණත් ඔවුන්ගේ ලෝකය දෘෂ්ටිවාදයන්ගෙන් කිළිටි වී නැති නිසා ඔවුනට මහේක්ෂ තලයේ බැරි වුණත් ක්ෂුද්‍ර තලයේ ආදරයක් දැඩි ලෙසින් ගොඩ නගා ගන්න හැකි වෙනවා. අඵි ආදරය ගැන කතා කරන්න, මේ දිනවල විකාශනය වෙන ''බැද්දෙ කුලවමිය'' ටෙලි සිත්තම යොදා ගත්තොත් අපිට  වටහා ගන්න පුළුවන් තේමිය හෝ චංචලා හෝ සැබෑ අර්ථයෙන් එකිනෙකාට ආදරය නොකරන බව.


ආදරය කරන කෙනෙක්ගේ ආත්මය තෘප්තියට පත් වෙන්නේ අනෙකාට කුමක් හෝ සත්කාරයක් කිරීමෙන්. ඒත් චංචලා හෝ තේමිය ඒ සඳහා උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. තේමියගේ බොහෝ කටයුතු සිදු වෙන්නේ චංචලාගේ මවගේ අතින්. ඒ වගේම තේමිය වුනත් චංචලා කෙරෙහි සත්කාර වන අවස්ථාවන් දකින්න නෑ. කොළඹට මාරුවක් හදා ගන්නා විට ඔහු තරමක් දුර බැහැර ප්‍රදේශයකට එය හදා ගන්නේ ඔහුගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඒත් මේ නිසා චංචලාට ඔහු නැතිව දින ගණන් ගත කිරීමට සිදු වෙනවා. ආදරය කරන කෙනෙක් හැම විටම උත්සාහ ගන්නේ එකිනෙකාගේ ලඟින් ඉන්න අවස්ථාවක් හදා ගන්න.

ඒ වගේම තේමියගේ නිවස කියන්නේ චංචලාට සැනසීම ගෙන දෙන ස්ථානයක් වන්නේත් නෑ. ඒ නිසා හොඳම විසඳුමව තිබුණේ ගමෙන් නික්මී වෙනත් ස්වාධීන ප්‍රදේශයකට ඔවුන් යාම. ඒ වගේම චංචලාගේ මව ගමේ තනිකර දමායි ඔවුන් පැමිනෙන්නේ. එතනදීත් මේ දෙදෙනාගේ ''ආදරය'' විශාල ලෙස ප්‍රශ්න කෙරෙනවා. මීට තිබුණු හොඳම විසඳුම, තේමියගේ නිවසටත් යාම් ඊම් කළ හැකි දුරක ඔවුන් වෙනම පදිංචි වී චංචලාගේ මව ඔවුන් සමග නවත්වා ගැනීම. එවිට දෙපාර්ශවයේම මව්වරුන් තනි වන්නේ නෑ.


මං දන්න යුවළක් ඉන්නවා ඒ දෙන්නා බොහෝ දුරට එකිනෙකාට ආදරයෙන් සතුටින් ඉන්න බවක් තමයි බාහිරයට විද්‍යමාන වෙන්නේ. ඒත් හොඳින් විමසා බැලුවාම පේනවා ඒ දෙන්නා අතරත් පවිත්‍ර ආදරයක් නොමැති බව. ඔවුන් විවාහ වී වසර 4ක් ගත වුණත් මිතුරාට තවමත් බැරි වුණා ඔවුන්ගේ මංගල ඡායාරූප ඇල්බමය නිම කර ගන්න. යුවතියක් ඉතාමත් ආපේක්ෂා සහගත වන දෙයක් ඒ දිනයේ තමන්ගේ සොඳුරු සිත්තම් දැක බලා ගැනීම සහ අන් අය සමග බෙදා ගැනීම. ඒ වගේම පෙම්වතා ඇයට ආදරේ නම් ඇයට වඩා උනන්දුවක් ඔහුගේ සිතේ ඇති වෙනවා නිතර නිතර ඒ සොඳුරු අවස්ථාව දැක බලා ගන්න.

ඒ වගේම දිනක් මම පරිගණක මෘදුකාංගයක් ස්ථාපිත කර ගන්න ඒ මිතුරාගේ නිවසට ගියා. ඒ සඳහා තරමක වෙලාවක් ගත වුණත් එය සාර්ථක ගන්න අපහසුවයි අපි සිටියේ. ඒ අතරේ ''අයියා.... මල ගෙදර යන්නේ කීයටද...'' කියලා මිතුරාගේ බිරිඳ දුර ඉඳන් ඇසුවා. මල ගෙදර, පසුවදා වුණත් යන්න පුලුවන්. එහෙත් ඇයට ඕන වුණේ මේ කරන කාර්යය සඳහා ගත වූ කාලය වැඩි යැයි සලකා එය අවසන් කිරීම. එය ඔහුගේ අවශ්‍යතාවක් නොව ඇගේ අවශ්‍යතාවක්. ඒ තුලින් මිතුරා වෙනුවෙන් ඇගේ හදවතේ පවතින ආදරය පිළිබිඹු වෙනවා.


මේ වගේ ඉතාමත් සරල බැලූ බැල්මට කිසිත් විශේෂයක් නොපෙනෙන සිදුවීම් තුලින් අපිට ජීවිතය ගැන, අපේ සිතිවිලි ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුලුවන්. එවැනි විශ්ලේෂණයක් තුළින් අපිට අපේ සිත්වල පවතින කිළිටි සෝදා හැර ගන්න එය අවස්ථාවක් කර ගන්න පුළුවන්.