සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව.... (An Unbelevable True Love Story)
සිව් වසරක් පෙරමග බලා සිටින පෙම්වතෙක්...
ආදරයෙන්, සතුටින්, වේදනාවෙන් පිරී ඇති මේ සත්‍ය ආදර කතාවට මුල පිරෙන්නේ 2012 වසරේදී....මේ කතාව සවිස්තරාත්මකව ඉදිරියේදී ග්‍රන්ථ පෙළක් ලෙසින් එළිදැකීමට නියමිතයි... වෙබ් අවකාශයට සරිලන ලෙසින් බෙහෙවින් සංක්ෂිප්ත කරලයි මෙහිදී ඔබට කතාව කියන්නේ... අපි කතා නායකයාගේ හඬින් මේ කතාව අසමු...
දුරින් නෑ වන රවි මාමා එම කර්මාන්තශාලාව ආරම්භ කළේ මේ සිදුවීමට මුල පිරෙන කාලයට වසරකට හෝ ඊට වැඩි කාලයකට පෙර.
එහෙත් විශාල කරමාන්ත ශාලාවක් සේ පසුතල සම්පත් නිර්මාණය කර තිබුණත් එය, කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීය ලෙස යොමු වුණේ මේ 2012 වසරේදී..
නෑකම විතරක් නෙවි, අපේ පවුලේ වැඩිහිටි අය එක්ක තියෙන දීර්ඝ කාලීන අතිශය සමීප සම්බන්ධකමත් නිසා, එහි කලමනාකරු ලෙසින් සේවය කරමින් එහි දියුණුවට දායක වෙන්න කියලා රවි මාමා අපේ ගෙදරටම ඇවිත් කාරුණිකව ඉල්ලා සිටියා. ඒ වගේම අපේ අනාගත දියුණුවත් ඒ මාර්ගයෙන්ම සලසා ගන්න පුලුවන් බවත් එයා කිව්වා.
ඉතින් ඒ වෙනකොට මන් කරමින් හිටපු වැඩ වලටත් බාධාවක් නොවෙන විදියට කාලය බෙදාගෙන එහි සේවය කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් පමණක් ඒ යෝජනාව බාර ගන්න පුළුවන් කියලා මන් කිව්වා. එයා ඉතින් ඒකට නම් ඒ තරම්ම අනුකූලතාවක් දැක්වුවේ නෑ... මාමාට ඕන වුණේ මගේ සම්පූර්ණ අවධානයම මේ ව්‍යාපාරය වෙත යොමු වෙනවා දකින්න...
කොහොම වුණත් පොඩි මාමා මගේ යෝජනාවට එකඟ වුණු නිසා අවසානයේ මං එහි වැඩ බාර ගත්තා...
කර්මාන්ත ශාලාව විශාල එකක් වුණත් තාමත් එහි නිෂ්පාදන කටයුතු සිදු වුණේ මධ්‍යම පරිමාණ මට්ටමින්... උපරිම ධාරිතාවෙන් සිදු වුණෙත් නෑ තාමත් අලෙවි ඉලක්ක සපුරාගෙන තිබුණේ නැති නිසා... ඉතින් ඒ නිසාම කාර්ය මණ්ඩලයත් සීමා වුණා... මේ නිසා පොඩි මාමා ආයතනයේ බැංකු කටයුතු ටිකත් මටම කරන්න කියලා ඉල්ලා සිටියා...
ඒත් මට නම් ඒකට කොහෙත්ම කැමත්තක් ඇති වුණේ නෑ... පෝලිම්වල ඉන්නයි, බස් වල යන්නයි, එපා වෙන නිසා... ඒත් පොඩි මාමා ටිකක් මේ වැඩවලින් ලිහිල් වෙන්න කල්පනා කරමින් හිටි නිසා මට අකමැත්තෙන් වුණත් ඒකත් බාර ගන්න සිදු වුණා...
ඉතින් මම හරිම කම්මැලිකමින් බැංකුවට යන්න එන්න පටන් ගත්තා. ලොකු මාමා ගිහින් බැංකුවේ උසස් නිලධාරින්ටත් මාව හඳුන්වා දුන්නා.. ඔන්න ඔහොම සතියකට දින කීපයක් මං බැංකුවට යන්න එන්න ගත්තා. මගේ මේ දෛවෝපගත කතාවට මුල පිරෙන්නේ ඒ වගේ ගමනක් සිදු වුණු 2012 ජූනි මාසේ 08 වෙනි සිකුරාදා උදේ 10ට විතර...
මට තිබුණා එදා චෙක්පත් කිහිපයක කටයුතු වගේම මුදල් වගයක් බැර කරන්නත්. ඉතින් මං මුලින්ම මුදල් බැර කරන්න අදාල පෝර්ම ගන්න කවුන්ටරේ වෙත ගියා... ඒ ගිහින් පෝම් එකක් අරගෙන ෆිල් කරන්න ගත්තා. ඒ වෙලාවේ ඒ අසල සිටියා යුවතියක්. නිල් පාට ඩෙනිම් රෙද්දෙන් යුත් සායක් සහ රෝස පාට බ්ලවුස් එකක් තමයි එයා ඇඳන් හිටියේ.. ඒ වෙලාවේ නට මං එයාගේ මූණ දිහාවත් බැලුණේ නෑ...
ඒත් මන් පොඩ්ඩක් නැවිලා පෝර්ම පුරවද්දි එයාගේ සිරුරෙන් කොටසක් ඉබේටම දර්ශනය වුණා. ඒ අතරේ එයාගේ අම්මා වෙන්න ඇති කියලා මට හිතුණු කෙනෙක්,
''පුතේ, අද දිනේ මොකක්ද...''
කියලා ඒ ගෑනු ළමයගෙන් ඉතාමත් දයාබර, ආදරණීය ලෙසින් ඇහුවා.. ඒත් ඒ අහපු විලාශය අනුව ඒ එයාගේ අම්මද කියන සැකයත් ඇති වුණා...
මං පෝර්ම පුරවලා පෝලිමට එකතු වුණා. ඒ වෙලාවේ නැවතත් අර යුවතියව දර්ශනය වුණා ඇගේ අම්මත් එක්කම. ඒ ගොල්ලෝ හිටියේ මං හිටි පෝලිමේ නෙවි, මගේ වම් අත දෙසින් වුණු පෝලිමේ. හරිම සුන්දර යුවතියක්... රෝස පාටයි. මුහුණේ පිම්පල්ස් ගොඩක් තිබුණ. ඉතාමත්ම කරුණාවන්ත පෙනුමක් තිබුණේ. හැබැයි එයාගේ මූණ මලානික වෙලා තමයි පෙනුණේ.. මට ඒ වෙලාවේ ඉතින් හිතුණා, මොකක් හරි හේතුවක් නිසා එයා ගොඩාක් දුකින් වගේ ඉන්නේ කියලා.. ඒ ගැන සන්තාපයකුත් ඇති වුණා.
මං ඇත්තටම කොයි තරම් වෙලාවක් එයා දිහා බලන් හිටියද කියන්න මේ වෙලාඑවේ මතකයට නගා ගන්න අමාරුයි. කොහොමහරි මං බලන් ඉන්න එක එයාගේ ඇහැට අහු වුණා. එයා එක පාරටම, ඉතාමත් හොඳින් දන්න, අතිශයින්ම ලබඳි කෙනෙක් එක්ක වගේ මං දිහා බලලා හිනා වුණා. ඇත්තම කියනවා නම් මට ඇස් අදහා ගන්න බැරි වුණා.. ඒ හිනාවේ දයාබර බව, ලෙන්ගතු බව, ආදරය, කාරුණික බව, මාව දකින්න ලැබීමේ සතුට වගේ දහසකුත් එකක් හැඟීම් ගැබ් වෙලා තිබුණා.
ඇත්තටම මට අදත් ඒ සිදුවීම සිහි වෙනකොට හිතෙන්නේ ඔය කතාවල කියවෙන සුරංගනාවියන් ඉන්නේ, අන්න ඒ වගේ කෙනෙක් මං එක්ක ආදරෙන් හිනා වුණා වගේ..
ඒ විතරක්ද... ඒ හිනා වුණු ආකාරය අනුව නම් එයා දුක්න් ඉන්න කෙනෙක් කියලා හිතන්නවත් අවසරයක් නෑ... ඒ නිආ මට පස්සේ හිතුණා අර දුක් බර පෙණුම, එයාගේ පේන හැටි වෙන්න ඕන කියලා.
ඉතින් එයාගේ මේ බැල්මත් එක්ක මගේ ඇස් එයා එක්කම රඳන්න වුණා.. ඉතින් ඒ නිසම වැඩේ අම්මට මාට්ටු වුණා. එයාගේ දේවම බැල්මත් එක්ක මන් ඉතින් කොහොමද ඕනවට වඩා පරෙස්සම් වෙලා එයා දිහා බලන්නේ. අපොයි මෙන්න අම්මා මං දිහා රවලා බැලුවා නිකං කන්න වගේ. ඒත් ඉතින් එහෙමයි කියලා මට එයා දිහා නොබලා ඉන්න බැහැනේ.. ඒ අතරේ එයා අර පෝලිමෙන් අයින් වෙලා මන් ඉන්න පෝලිමේ පසුපසට ආවා. එයා එහම කළේ අම්මා රැව්ව නිසාද දන්නෙ නෑ...
දැන් ඉතින් එයා දිහා බලන්න නම් මං සම්පූර්ණෙන්ම ආපසු හැරිලා බලන්න ඕන... ඒක ඉතින් සැරින් සැරේ කරන්න බෑනේ.. දුටු පළමු බැල්මෙන්ම මේ තරම් බැඳීමක් මට ජීවිතේ පළමු වරට ඇති වුණේ මේ යුවතිය එක්ක. දැන් මගේ හිත එයා ලඟමයි. මගේ යාලුවා කියන්නේ, අපේ හිත් පිරිසිදු සහ ඥානමය තත්වයෙන් පවතිනවා නම් කෙනෙක් හමු වන මුල්ම මුල් දැක්මෙන්ම එයා පිළිබඳ නිවැරදි ප්‍රතිරූපයක් ඇති වෙනවා, දෙවෙනි වරට ඇති වන සිතිවිලි නිවැරදි නෑ කියලයි....
මන් මුදල් ටික බැර කරලා පෝලිමෙන් ඉවත් වුණා.. මෙන්න අර ළමයා බැංකුවේ දොර අසල ඉන්නවා. දැන් ඉතින් මගේ හදවත ගැහෙනවා. එයා මෙතනින් ඉවත් වෙලා යන්න කලින් ෆෝන් නම්බර් එකවත් අඩු තරමින් එයා අතට පත් කරන්න ඕනෙ. ඒත් මේ මහ සෙනගක් මැද කොහොමද එහෙම දෙයක් කරන්නේ... මට මේ වගේ වැඩක් කරලා පුරුද්දකුත් නෑ.. ඒ වුණත් මගේ හදවත තදින්ම බල කරනවා මේ වැඩේ කොහොම හරි කරන්න ඕනේ කියලා. මං කෝකටත් කොල කෑල්ලක් අරන් නම්බරේ ලිව්වා. අඩුම ගනණේ එයා ලඟින් දාලා යන්නවත් පුළුවන්නේ... ඒත් ඒකත් එයාට හොඳ නෑ එක අතකට.. නිකන් නිගරු කළා වගේනේ..
මට කර කියා ගන්න දෙයක් කල්පනා නොවුණු නිසා මඳක් එහාට ගිහින් චෙක්පත් ටික බාර දුන්නා. ඒ වැඩේ ඉවර වෙලා එද්දිත් එයා එහෙන්මම ඉන්නවා. එයාගේ අම්මා පේන්නවත් නෑ... හරිම පුදුමයක්. එයා කොහෙට අතුරුදන් වෙලාද හොයා ගන්න නෑ.. ඉතින් මේ තමයි හොඳම මොහොත. මං හිතට ධෛර්යය අරන් එයා දිහාට පිය මැන්නා. එයා අසලටම ඔන්න ගියා. එයත් මේ වෙලාවේ නම් හිටියේ ටිකක් තිගැස්මක වගේ.. මේ නිසා ඉතින් මගේ හිතේ තිබුණු ධෛර්යය නැති වෙලා ගියා. දැන් ඉතින් එයා ලඟටම වෙලා ඉන්නද... මන් හිමීට එතනින් ඉවත් වුණා. මට ඇත්තටම ඒ වෙලාවේ කර කියා ගන්න දෙයක් නැතිව සිත අසරණ වෙලා වියවුල් බවට පත් වෙලයි තිබුණේ.
ඒ නිසා මං හිතුවා පෝස්ට් ඔෆීස් එකට ගිහින් ආයේ එන්න ඕනේ බැංකුවට කියලා... ඒක තේරුමක් නැති සිතිවිල්ලක් වුණත් මට ඒ වෙලාවේ හිතුණේ එහෙම. මන් හිතන්නේ අසරණකම නිසාමයි මට එහෙම හිතුණේ. එයා ලඟට වෙලා ඉන්නත් බෑ... දාලා යන්නත් බෑ..
ඉතින් මන් වීදුරු දොර ඇරගෙන එලියට බැස්සා. ඒත් මට එයා දාල යන්න හිත ඉඩ දෙන්නෙ නෑ.. මන් පියවර කීපයක් ඉදිරියට ගිහින් ආපහු හැරිලා බැලුවා. දෙයියනේ, අර සුරංගනාවියා මං දිහා අසරණ ලෙසින් බලන් ඉන්නවා වීදුරු දොරෙන්. මගේ පපුව පිච්චිලා ගියා. මට හිතුණා ආයෙමත් ඇතුළට ගිහින් එයාට නම්බර එක දෙන්න ඕනේ කියලා. ඒත් මං වගේ බියගුල්ලෙකුට ඒකට ධෛර්යය ඇති කර ගන්න බැරි වුණා. ඉතින් සිතිවිලි අතර ඝට්ටනයෙන් බේරෙන්න, මන් හිතා ගත්තා පෝස්ට් ඔෆිස් එකට ගිහින්ම ආපහු එනවා කියලා. ඇවිත් මොකක් හරි අවස්ථාවක් හදා ගන්නවා කියලා.
No comments:
Post a Comment