Monday, October 24, 2016

සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(2 වන කොටස)


ඉතින් පෝස්ට් ඔෆීස් එකට ගිහින් මිනිත්තු කීපයකින් ආයෙමත් බැංකුවට ආවත් එයා පේන්න හිටියේ නෑ. මගේ පපුව පිච්චිලා අළු වෙලා ගියා. ''ඔය ටික කර ගන්නනේ ඉතින් දැඟලුවේ... දැන් හරිනේ...'' හදවත, මටම චෝදනා කරන්න පටන් ගත්තා.

මොනවා වුණත් වෙන්න තිබුණ දේ වුණා. දැන් ඉතින් එයා කොහෙන් කියලා මේ නගරෙන් හොයන්නද... ලඟ හිටපු ළමයාට අංකයවත් දීගන්න බැරි වුණු මේ මෝඩයාට ඉතින් දැන් ඉතින් පුළුවන්ද එයාව හොයා ගන්න. ඉතාම වේදනාවෙන් වුණත් පෙරහැර ගිහින් අවසන් බව පිළි ගන්න සිදු වුණු වේදනාවෙන් තැවෙන බර වුණු හදින් යුතුව මං ඇවිදගෙන ඇවිත් කැබ් එකට ගොඩ වුණා.

ඔන්න ඔය විදියට එදා සිද්ධිය අවසන් වුණා. ඒත් මට කොහොමවත් මේ සිදුවීම හිතෙන් අමතක කරන්න බැරි වුණා. හැම මොහොතකම වේදනා දෙමින් එය එය මතකයේ රැව් දෙන්න ගත්තා. ඒත් කරන්න පුළුවන් කිසිම දෙයක් නොවීම නිසා අපේක්ෂා භංගත්වය තුළින් ඇති වන දැඩි වේදනාවේ උරුමකරුවෙක් වීමට පමණක් සිදු වුණා. දැන් මේ ගැන කල්පනා කිරීම කොයි තරම් ඵලක් නැති දෙයක් බව හිත කීවත් හදවත නම් එයාගේ වැඩේ අත්හැරියේ නෑ. මේ තරම් සොඳුරු යුවතියක් ජීවිතයේ මුණ ගස්වලා දීලත් ඒ වාසනාවට පයින් ගහපු මේ මෝඩයා කෙරේ තරහින් වගේ හදවත, මට නිරන්තරයෙන්ම වේදනාව ගෙන එන්න වුණා.

මං දහ අතේ කල්පනා කළා එයාව නැවත මුණ ගැහන විදියක් ගැන. ඒත් කොහොම කියල හොයා ගන්නද... එයා නගරය අවට ප්‍රදේශයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් නගරය සහ අවට වටා විහිදුණු ගම්මාන නම් කී දාහක්ද... කොහොම එයා හොයන්නද... ඇය නැවත නැවත අම්මා එක්ක බැංකුවට එනවා වෙන්න බැරිද... ඉතින් දියේ ගිලෙන්න යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මාත් මේ සිතිවිල්ලේ එල්ලුනා. ඉතින් මං ඊලඟට කල්පන්න කරන්න ගත්තා එයා එනවා නම් එන්න වඩාත් පුළුවන් මොන වගේ දිනවල, මොන වගේ වෙලාවලද කියලා.

ඒත් ඒක නිකම් මායාවක් විතරයි කියලා මට දින කීපයක් ගත වෙද්දි හිතෙන්න ගත්තා. මොකද, එයාගේ අම්මා ව්‍යාපාරයක් වෙනුවෙන් බැංකු කටයුතු කරන කෙනෙක් නෙවි... අනික, ඒ ආවේ අම්මා නොවී නැන්දෙක් වෙගේ කෙනෙක් වෙන්නත් පුලුවන්. මෙහෙම බැලුවාම එයා ආයෙමත් බැංකුවට එන දිනයක් අල්ලාගන්න නම් සෑම වැඩ කරන දිනයකම මුළු දිනේම බැංකුවට වෙලා ඉන්න වෙනවා.

ඒත් මේ යුවතිය මගේ හදවතේ ආපසු නොයන්නටම ලැගුම් අරන් තිබීම නිසා කුමක් හෝ කළ යුතුමයි කියන පෙරැත්තය හදවතින් නිරතුරු එල්ල වෙන්න වුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙසින් මගේ ඔලුවට අලුත් අදහසක් ආවා. ඒ තමයි මේ සිද්ධිය ගැන කෙටියෙන් සඳහන් කරලා, ප්‍රදේශවාසීන්ගෙන් උදව් පැතිය යුතු බවට. ඒ අනුව මං කෙටි පණිවිඩයක් තුළ මේ අදහස සටහන් කරලා එයාව දන්න කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංකයට දැනුම් දෙන්න කියලා කාරුණික ඉල්ලීමකුත් කළා. මේ පණිවිඩය යැවීම සඳහා මං තෝරා ගත්තේ ප්‍රදේශයේ සී. ඩී. එම් දුරකකථන විශේෂය. මොකද, මොබයිල් නම්බර්වලින් හොයා ගන්න බෑඅ අපේ ප්‍රදේශයේ අය. රැහැන් සහිත ස්ථාවර දුරකථන බොහෝමයක කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඒත් සතියක් විතර ගත වුණත් එක මුස්ලිම් ජාතිකයෙක්ගෙන් හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් පැමිණියේ නෑ. ඔන්න ඔහොම ඒ වැඩෙත් අසාර්ථකත්වයෙන් අවසන් වුණා. ඒත් එහෙමයි කියලා ඒ සොඳුරු යුවතියව අමතක කරන්න මට හැකියාවක් තිබුණේ නෑ. මේ අතරේ මගේ ඔලුවට තවත් අලුත් අදහසක් ආවා. ඒ තමයි මේ ගැන පත්තරේ දැන්වීමක් දැම්මොත් මොකද කියලා. මේ වගේ දැන්වීමක් ගැන ආදර්ශයක් නම් මගේ ජීවිතේට දැකලා නැති වුණත් මගේ ඔලුවට එහෙම අදහසක් පැමිණියා.

ඉතින් ඒ උත්සාහය, බොහෝ දුරට සාර්ථක විය හැකි දෙයක් සේ මගේ හිතට පේන්න ගත්තා. ඉන් පස්සේ ඉතින් මගේ සිතිවිලි වැඩ කරන්න වුණේ මේක සාර්ථක කරගත හැකි එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න. පොදු වශයෙන් වැඩිම අලෙවියක් තිබුණේ සති අන්ත ජාතික පුවත් පත්. ඒත් මේවා කියවන වැඩි දෙනෙක් වැඩිහිටි පිරිමි අය. තරුණ අය කියෙව්වොත් ඉතින් එහි ටැබ්ලොයිඩ් අතිරේකය. එහෙම නම් කාන්තා පුවත් පත්...?

ඉන් පස්සේ මං හෙව්වා වැඩිම අලෙවියක් තියෙන සහ වැඩිපුර තරුණියන් කියවන කාන්තා පුවත්පත මොකක්ද කියලා. එහිදී එක්තරා කාන්තා පුවත්පතක් හඳුනා ගන්න ලැබුණා. ඇත්තටම මගේ ජීවිතයට මේ පුවත්පත විසින් දක්වපු අනුග්‍රහය සැලකුවාම එහි නම සඳහන් කරන්නම ඕනේ. ඒ තමයි 'සිරිකත' පුවත්පත.

ඉන් පස්සේ මගේ අවධානය යොමු වුණේ මේක වැඩි පිරිසකගේ ඇස ගැටෙන ආකාරයට නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන. දැන්වීම් ගොඩක් අතර මේකට ඇස යොමු නොවී මග හැරෙන්න ඕනේ තරම් අවස්ථාව තියෙනවා. එතකොට තමයි මගේ ඔලුවට අපූරු අදහසක් ආවේ. ඒ තමයි 2012 වර්ෂයේ තියෙන වැදගත්කම. ඒ වන විට මුළු ලොවම, ඒ වර්ෂයේ සිදු වන ලෝක විනාශයක් පිළිබඳව කතා කරමින් සිටියා. ඒ ගැන ලෝකවාසී හැම කෙනෙක්මත් කිසියම් හෝ අවධානයක් යොමු කරමින් සිටියා.

ඉතින් මෙන්න මේ පොයින්ට් එක මගේ දැන්වීමටත් ආදේශ කර ගන්න මං කල්පනා කළා. ඒ අනුව දැන්වීමේ 2012 යන්න අනෙක් හැම දේටම වඩා හයිලයිට් වන අයුරින් මං නිර්මාණය කළා. එවිට ඕනම කෙනෙකුගේ ඇස් දෙසට යොමු වෙන්න තියෙන අවස්ථාව සාපේක්ෂව වැඩියි.

පරිගණකය ආශ්‍රයෙන් මං දැන්වීම නිර්මාණය කරගෙන මහත් අපේක්ෂා පෙරදැරිව, සතුටීන් ගියා ප්‍රදේශයේ දැන්වීම් නියෝජිත කාර්යාලය වෙතට. එහිදී දැන්වීම කියෙව්වේ තරුණ අයියා කෙනෙක්. ඔහුගේ මූණේ සිදුවෙන වෙනස්කම් මං නිරීක්ෂණය කළා.

''මේ වගේ ඒවා පළ කරන්න බෑ...''

ඔහු අවඥාවෙන් යුතුව කීවා. ඒ අසල සිටි තවත් අංකල් කෙනෙකුත් ඒක දැකලා කියෙව්වට පස්සේ ඒක අනුමත කළා.

ඉතින් ඔවුන්ගේ ක්‍රියාවෙන් ඇති වූ අපහාසයට වඩා මට දැන්වීම පළ කරගන්න නොහැකි වීම ගැන ඇති වුණේ දරා ගන්න බැරි දුකක්. ඒ වගේම මේ මුස්පේන්තුවන් ගැන ලොකු කේන්තියක්. දැන්වීම පළ කරන්න අවස්ථාවක් නෑ කියමු, ඒත් අඩු ගානේ මේ දිහා මානුෂික විදියට බලන්න තිබුණා.

No comments:

Post a Comment