Showing posts with label දර්ශනය. Show all posts
Showing posts with label දර්ශනය. Show all posts

Sunday, September 11, 2022

ෆෝල් සිනමා සිත්තම හා දැනෙන විදියට ජීවත්වීම (Fall Movie and Living as you feel)

ඉතා හොඳ සිනමා පටයක් ලෙසින් මෙය හඳුන්වා දුන්නේ මගේ මිතුරෙක් වෙන දුලාජ්. සති අන්තයේ ඉස්පාසුවක් ලද වේලේ මෙය නැරඹූ විට ඇත්තෙන්ම එය සත්‍යයක් බව වැටහුණා.

ඔබත් සමග කරන මේ කතාබහ තුළ එහි කතාව දිග හරින්නට මා උත්සාහ කරන්නේ නෑ. ඒ, එය අනිවාර්ය ලෙසම ඔබ විසින්ම නරඹා එහි අර්ථ රසය විඳිය යුතු බැවින්. ඒ නිසා දැනටමත් එය නරඹා නොමැති නම් එය පළමුව රසවිඳ මේ කියවීමට එක්වන්නැයි මා ආරාධනා කරනවා. 

ත්‍රාසජනක කඳු නැගීම විනෝදාංශය කර ගත් තිදෙනෙක් වටා මේ කතාව ගෙතෙනවා. අපේ රටවලත් කඳු නැගීම යම් තරමක විනෝදාංශයක් වුණත් මේ ආකාරයේ ත්‍රාසජනක කඳු නැගීමේ ප්‍රවනතාවයක් දක්නට නැහැ. එයට හේතුව අපේ සංස්කෘතිය තුළ හැදී වැඩෙන දරුවා මාපියන් විසින් නිදහසේ වැඩෙන්නට නොදී දැඩි සීමා පවුරු යටතට පත් කිරීම. මේ නිසාවෙන් ඔහුගේ හෝ ඇයගේ සියලු විභවතාවන් යටපත් වී හුදෙක් මා පියන්ගේ කොපියක් බවට පත් වෙනවා. බුද්ධියටත් ඒ දේ අදාලයි. බුදු වෙන්නට පවා හැකියාවක් සහිතව මෙලොව එළිය දකින දරුවාගේ ඒ සියළු හැකියාවන් විනාශ කරනු ලබන්නේ මා පියන් විසින් බව වරක ඕෂෝ නම් දාර්ශනිකයාද පවසා තිබෙනවා. 

මේ කථාව තුළින් අපට පෙන්වා දෙන මුඛ්‍ය පණිවිඩය වන්නේ "අපේ ජීවිතය ඉතා කෙටි හා අනිත්‍ය බවත් ඒ නිසාම අත් හැරීමට තරම් සුළු හෝ කාලයක් නැති බවත්, ඒ කෙටි ජීවිතය අප ගත කළ බවට සෑහීමකට පත් වීමට නම් සෑම මොහොතක්ම දැනෙන සුළු ලෙසින්" ජීවත් විය යුතු බවත්ය. එසේ නොමැති විටක අප මේ ගත කළ ජීවිතයෙන් කිසිදු අර්ථයක් නොමැති බවත් ය. 

දාර්ශනික පර්ෂද තුළත් ඉතා විවාදාපන්න කරුණක් ලෙස මෙම "පැවැත්ම" පිළිබඳ අර්ථකථනයන් සැලකිය හැකිය. බොහෝ භික්ෂූන් වහන්සේලා වෙතින් ප්‍රකාශ වනු දක්නට ලැබෙන්නේ සැබැවින්ම පවතින "පුද්ගලයෙකු හෝ පැවැත්මක්" දක්නට නොමැති බවත් එය මනස විසින් මවා ගන්නා හුදු "මායාවක්" බවත්ය. සැබවින්ම පවත්නා ලෝකය අපට කිසි දිනක සංජානනය කළ නොහැකි බවත් මනසින් මවා ගන්නා ලෝකයක් හා පුද්ගලයන් අප සැබෑ ලෝකය ලෙසින් සලකා මුලාවට පවත් වන බවත් ප්‍රකාශ වේ.

කෙසේ වුවත් ද්‍රව්‍යයේ විකාශය හා පරිණාමය දෙස බලන විට, ඒත් සමගම සමගාමීව සංවර්ධනය වූ ජීවයට පවත්නා ලෝකයෙන් (තමන් ජීවත්වන මානයට අයත්) වැඩි කොටසක් ග්‍රහනය කර ගත හැකි බව මගේ නම් අදහසයි. ඒ ජීවියාට තමන්ගේ ජීවිතයට වැදගත් වන ලෝකය ග්‍රහනය කර ගැනීමේ හැකියාවක් පවතී. නිදසුනක් ලෙස අපට ක්ෂුද්‍ර ජීවීන්  දර්ශනය නොවේ. එහෙත් ඔවුන් දර්ශනය නොවීම අපගේ ජීවිතය පහසු කරයි.

ජීවිතයේ අප එක් එක් අය ප්‍රිය කරන දේ විවිධාකාරය. එහෙත් අප බොහෝ දෙනෙකු ගත කරන්නේ ඒ ප්‍රිය කරන ජීවිතය නොවේ. ඒ නිසාම අපට ජීවිතය ඉතා නීරසය. විඩාකාරීය. "සංචාරකයා" ලෙසින් හැඳින්වෙන්නේ ජීවිතය සවිඥානික ලෙසින් විඳීම අරමුණු කරගෙන සැරිසරන්නෙකි. සැබවින්ම නම් විය යුත්තේ අප ජීවිතය පුරාවටම එවැනි "සංචාරකයෙකු" විය යුතු වීමය.

අප ජීවත්වන බව, ජීවිතය වින්දනය කරන බව, ජීවිතය යනු සුන්දර දෙයක් බව අපට දැනෙන්නේ අප එලෙස ජීවිතය තුළ සවිඥානික සංචාරයක නිරත වන විටය. අජීවය බහුළ ලෝකයක ඒ ලෝකය ග්‍රහනය කළ හැකි එකම වස්තුව වනාහී "ජීවියා"ය. ඒ නයින් ගත් විට, "ජීවිතය යනු අර්ථ විරහිත, සම්පූර්ණයෙන්ම දුකක් පමණක් වන එකක් ය" යන ආගමික චින්තාවට නම් මගේ එකඟත්වයක් නැත.

ජීවිතය එලෙස දුකක් බවට පත් වී ඇත්තේ ජීවියා හුදු "ආත්මාර්ථකාමයෙන්" මිරිකී "අප" යන තැනින් "මම" යන තැනට පත්ව අනෙකා විනාශ කර අවසානයේ තමන්ද ඒ හුදු "අත්පත් කරගැනීම්" තුළ අතෘප්තියට පත්ව විනාශ වීම තුළය. ඒ වෙනුවට "අප" යන තැනට ඔහුගේ දැක්ම වෙනස් වන්නේ නම් ජීවිතය හා ලෝකය, "සුරපුරයක්" බවට එසැනින්ම පත් වන්නේය.

බෙකී, ඩෑන් හා හන්ටර් ජීවිතයේ තෘප්තියට පත් වන්නේ ඉතා අවදානම්කාරී කඳු තරණයන්හි කූටප්‍රාප්තියන් තුළිනි. එහෙත් එක් අවස්ථාවක සිදු වූ හදිසි අනතුරක් නිසා ඩෑන් මිය යාමත් සමග බෙකීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙයි. ඩෑන්ගේ වියෝවේ වේදනාව ඇය යම් තරමකින් හෝ යටපත් කරගන්නේ බීමත්කමිනි.

විනාශයට පත් වෙමින් යන බෙකීගේ ජීවිතය ඉන් මුදවා ගැනීම සඳහා ඇගේ පියා උදව් පතන්නේ හන්ටර් වෙතිනි. එවැනි ඉල්ලීමකින් තොරව ස්වේච්ඡාවෙන්ම සිය මිතුරිය වෙනුවෙන් එවැනි එළඹීමක් හන්ටර් වෙතින් විය යුතු වුවත් එසේ නොවීමට හේතුව අණාවරණය වන්නේ මිතුරියන් දෙදෙනාම ජීවිතයට වඩා මරණයට සමීප අවස්ථාවකට පත් වූ විටය.

හන්ටර් පත් වූ ආකාරයේ ඉරණමකට අප බොහෝ දෙනෙකුද ජීවිතයේ යම් යම් අව්ස්ථාවල පත් වී ඇති බව නිසැකය. එහෙත් හන්ටර් මෙන් නොව අප බොහෝ විට ඒවා අප සිත් පතුලේම සඟවා තැබීමට තරම් පරෙස්සම් වේ. කෙසේ වුවත් බෙකී මේ සිද්ධිය දැන ගැනීමත් සමග වෙනත් අය මෙන් මිතුරිය සමග වෛර බැඳ ගැනීම වෙනුවට සංවේගයට පත් වන්නේ ඔහුත් සමග ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කළ ආදරය ඒ ලෙසින්ම ගොඩ නගා ගැනීමට නොහැකි වීමට හේතුව අනාවරණය වීම තුළිනි.

සිය මිතුරිය වෙත පැවති ආදරය ඒ ලෙසින්ම තව දුරටත් ඉතිරි වූ බව මේ අන්තරාකාරී මොහොතේ බෙකීගේ හැසිරීම තුළින් අපට දැක ගත හැකි වේ. එසේම වෙනත් අය මෙන් නොව හන්ටර් ද ඔහුව බෙකීගෙන් උදුරාගෙන තමන්ගේ කර ගැනීමට උත්සාහ නොකිරීමත් සිය මිතුරියට පැවති ආදරය එලෙසින්ම පැවතීමත් තුළින් සිය උදාර බව පෙන්වා දෙයි.

ඉතාමත් මරණකාරී අපේක්ෂා රහිත මොහොතක වුවද ඒ වෙනුවට බලාපොරොත්තු අත් නොහැර ජීවිතය වෙනුවෙන් දැඩි ලෙස නැගී සිටිය යුතු බවට වන සඥාව අපට මේ ආඛ්‍යානය තුළින් විදහන තවත් එකකි.

මේ සිනමාපටය තුළින් අවසානයේ ප්‍රීතියකට පත් වීමට මට නම් නොහැකි වූ එකම හේතුව සිය මිතුරියගේ විනාශ වෙමින් යන ජීවිතය ප්‍රතිස්ථාපනය වෙනුවෙන් අතිශය අවදානම්කාරී ලෙස සිය  ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන හන්ටර් ඉතාමත් වේදනාකාරී මරණයකට පත් වීම නිසාය. එය විශාල ලෙස මගේ හදවත කම්පනයට පත් කළේය.


ඔබට සැබවින්ම ජීවිතය විඳීමට අවශ්‍ය නම් ඔබ ආශා කරන දෙයක් ඔබගේ වෘත්තීය බවට පත් කර ගන්න. ඔබ ආශා කරන දේවල් විනෝදාංශය බවට පත් කරගෙන ඉහි නිරත වීම සඳහා අවශ්‍ය කාලය හා අවකාශය සලසා ගන්න. ඔබ ආශා කරන ප්‍රියයන් හා ජීවිතය ගත කරන්න. අන් අයට වුවමනා අයුරින් ඔබගේ ජීවිතය හසුරුවාලීමට ඉඩ නොදෙන්න. විවිධ දෘෂ්ටිවාදයන්ට ඔබගේ ජීවිතය රූකඩයක් බවට පත් කර ගැනීමට ඉඩ නොදෙන්න. ඒ දෘෂ්ටිවාදයන් පවත්වාගැනීම වෙනුවෙන් ගොඩ නැගී ඇති සංස්කෘතික යදම් කඩා බිඳ ඉන් නිදහස් වන්න. 

ජීවිතය කොටු කරවන දෘෂ්ටිවාදයන් විශ්ලේෂණය කරන විට පැහැදිලි වන කරුණ නම් ඒවා අතීත අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතවල සාරය උරා බීම සඳහා සැහැසි හා කෛරාටික ලෙස ගොඩ නඟා ඇති බවයි. අදටත් ඔවුන්ගේ පරම්පරාවල අය පාලකයන් ලෙසින් (සංස්කෘතික පාලකයන්) ජීවත් වන නිසා ඔවුන් ඒ දෘෂ්ටිවාදයන් පත්වා ගැනීම වෙනුවෙන් වෙහෙසෙයි.

සිංහල උප සිරැසි සහිතව ඔබට මෙම සිනමා සිත්තම පහත වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.

https://cineru.lk/fall-2022-sinhala-sub/

Monday, May 25, 2020

ආශාවේ ඉරණම හා ස්වභාවය

ආශාව ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්න පුළුවන්.

01. ආවේගාත්මක ආශාව
02. වින්දනීය ආශාව
ලෙසින්.

01. ආවේගාත්මක ආශාවන්

ලෝභ ද්වේශ හා මෝහ මූලික කරගෙන හෙවත් ආත්මාර්ථය මූලික කරගෙන ඇතිවන ආශාවන් ආවේගාත්මක ආශාවන් ගණයට අයත් වෙනවා. මේවායේ ස්වභාවය තමයි එවැනි ආශාවක් සම්පුර්‍රණයෙන්ම තෘප්තිමත් කර ගැනීමට අපට හැකි වුණාම ඒ ආශාව අපේ සිතෙන් ඉවත් වී යාම. එනම්, එපා වී යාම. සමහර විට ඒ ආශාව හෝ ආශාවට වස්තු විෂය වූ දෙය කෙරෙහි ද්වේශයක්, පිළිකුළක් අති වෙන්නත් පුළුවන්. අලුත් මෝස්තරයක ඇඳුමක් එන විට පරණ මෝස්තරයේ ඇඳුම අපිට එපා වේවා. අලුත් මෝස්තරයක ෆෝන් එකක් ආවම පරණ එක දකිනකොට තරහා යනවා.

බොහෝ දුරට දෙන්නෙක් අතර සම්බන්ධයකට මූලික වෙන්නෙත් මේ ආවේගාත්මක ආශාවම තමයි. ඉතින් ටික කාලයක් යද්දි දෙන්නටම දෙන්නව එපා වෙනවා. ඒත් දරුවන්, සමාජ සංස්කෘතික බැඳීම්, තනිකම, විවිධ අවශ්‍යතාවන් අනෙකා මතින් ඉටු කර ගැනීමට තිබීම වගේ හේතු නිසා එපා වුණත් එකට ඉන්න සිද්ධ වෙනවා.

බොහෝ දෙනෙක් අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ මේ නිසා. අනියම් සම්බන්ධයකදී අපේ ආශාවන් සම්පූර්ණයෙන් තෘප්තිමත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ සඳහා විවිධ බාධා තියෙනවා. ඒවා භෞතික හෝ මානසික විය හැකියි. ඉතින් ආශාව සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන නිසා ආශාව එපා වීමටකට ලක් නොවී එලෙසම පවතිනවා. බැරි වෙලාවත් දෙන්නා විවාහ වෙන්න කල්පනා කළොත් එදාට ආයෙත් දෙන්නට දෙන්නා එපා වීම සිද්ධ වෙනවා.

02. වින්දනීය ආශාවන්

මේ වර්ගයේ ආශාවන් හට ගන්නේ අලෝභ, අදෝෂ අමෝහ සිතිවිලි හෙවත් පරාර්ථය මූලික කරගත් සිතිවිලි මගින්. මේ ආශාවන්ගේ ස්වභාවය වන්නේ ඒවා කොයි තරම් තෘප්තිමත් වූවත් එපා නොවීම. ඒවා හැමදාමත් එකම තත්වයේ නැවුම් ආකාරයෙන් පවතිනවා.

ආදරය පවතින විට දෙන්නෙක් අතර හෝ වස්තුවක් කෙරෙහි අපි තුළ ඇති වෙන්නේ වින්දනීය ආශාවක්. ඒ නිසා කවදාවත් එපා වීමක් සිදු වෙන්නේ නෑ. අනික ආදරයේ ස්වභාවය තමයි එය දිනෙන් දින වර්ධනය වන සුළු වීම. ඉතින් ඇඳුමක් කෙරෙහි, ෆෝන් එක කෙරෙහි අපි තුළ තියෙන්නේ වින්දනීය ආශාවක් නම් ඒක අපිට එපා වෙන්නේ නෑ

අලුත් ෆෝන් එකකට ගියත් පරණ එක පරෙස්සමට අරන් තියනවා. ඒත් ෆෝන් එකක් වගේ නෙවිනි මිනිස් බැඳීමක්. ඒක ඊට වඩා ඉතාමත් ගැඹුරු එකක්. ඒ නිසා කවදාවත් තවත් අලුත් බැඳීමක් අවශ්‍ය වෙන්නේ නෑ. වෙන කිසිම දෙයක් ඕනේ නෑ. ආදරය කරන කෙනා ලඟ ඉඳීමම පමණක් ප්‍රමාණවත් හිත සැනසෙන්න.

අපේ හිත අයිති වෙන්නේ මින් කොයිකටද?

ඒක තීරණය වෙන්නේ අපි අපේ හිත සකස් කරගෙන ඇති ආකාරය සහ සකස් කරගනිමින් පවතින ආකාරය අනුව. අපේ හිතේ දැනට පදනම ආවේගාත්මක ආශාව නම් සියළු ආශාවන් වලට පදනම වෙන්නේ ඒක. එතකොට ප්‍රතිඵල ලැබෙන්නෙත් ඉහත ආකාරයට. 

සිතේ සාමාන්‍ය ස්වභාවය තමයි ආත්මාර්ථය. එය සියළු සත්වයන්ටම පොදුයි. ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ අපේම උත්සාහයෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීම තුළ. එවිට අභ්‍යන්තරයෙන්ම අපේ සිත වෙනස් වෙනවා.

වඩාත්ම සතුටින් සිටින්නේ කවුද?

ආවේගාත්මක ආශාවන් සිතේ පවතින විට අපිට ලැබෙන්නේ ඒ ආවේගයන් සමහන් වීමෙන් ලැබෙන සහනයක් පමණයි. එය 'සතුටක්" ලෙසින් අපි වරදවා වටහා ගන්නවා. ඒක ඇදුම්කන තුවාලයක් සුව වීමෙන් ලැබෙන සහනය වගේ එකක්.

එහෙත් වින්දනීය ආශාව කියන්නේ අපි සිත තුළ අලුතින් වර්ධනය කර ගන්නා හැඟීමක්. එය අපිට ස්වභාවයෙන් ලැබෙන දෙයක් නෙවි. මේ තුළ පවතින්නේ ආවේගයන් සමනය කර ගැනීමක් නොව අදාල දෙය, අවස්ථාව වින්දනය කිරීමක්. ඒ නිසා ඇත්තටම සතුටින් සිටින්නේ මේ දෙවැන්නායි.

මුල් ගණයට අයත් වන අය නිරන්තරයෙන් දැවෙමින් එම ගින්න තාවකාලිකව නිවා ගනිමින් නැවත් දැවෙමින් සිටින් පිරිසක්. ඒ අයට කිසිදු අවස්ථාවක සතුට කියන දේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

අපේ ජීවත්වීමේ අරමුණ "සතුට". ජීවිතය විඳීම. ඔන්න ඕකයි සතුටේ හා විඳීමේ පදනම.

Sunday, November 4, 2018

පින් සහ පව් - Pin saha Paw

පින් සහ පව් පිළිබඳව සඳහන් වන්නේ බෞද්ධ දර්ශනයේ පමණක් නෙවි. ලොව සෑම ආගමක්ම පාහේ මෙය විවිධ අයුරින් සාකච්ඡාවට ලක් කරයි. මේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ගත් විට එය, බෞද්ධ දාර්ශනික සහ ආගමික වශයෙන්ද වෙනසක් දක්වන බව පෙනී යයි.

පින යනු සත්ත්වයාට මෙලොව මෙන්ම පර‍ලොව ආයු, වර්ණ, සැප, බල , ප්‍රඥා යනාදී යහපත් සැප විපාක ලබා දෙන ක්‍රියා ඵල වේ. පව යනු, ඊට ප්‍රතිවිරුද්ධ එනම්, සංසාරික සත්ත්වයාට දුක් විපාක ගෙන දෙන තවත් ලෙසකින් ඉහත සඳහන් කළ සැප විපාක අහිමි වන කර්ම ඵල වේ.

බෞද්ධ විග්‍රහය අනුව, අචේතනිකව කරන ක්‍රියාවන්ගෙන් පවක් හෝ පිනක් සිදු නොවේ.


සියලු ආකාරයෙන් දැනුවත් ක්‍රියාවකින් කවරෙකුට හෝ කවදාක හෝ දුක, කදුළු පිණිස වේ නම් එය පාපයක් ම වේ. යමක් ක්‍රියාවකින් තමන්ට හෝ අනුන්ට යහපත වේ නම් එය පින නම් වේ. තවද තමන්ගේ පින, පව විඳීම හෝ විඳවීම අනුන් විසින් පවරා ගැනීමක් නොවන අතර කර්ම ඵල විඳීම හෝ විඳවීම තමන්ටම වේ.

කොහොම වුණත් මේ අර්ථ දැක්වීමේ පවත්නා සංකීර්ණතාව නිසාම එය එක් එක් දේශකයන්, එක් එක් ධර්ම කුලකයන් විසින් තම තම නැණ පමණින්, තම තම අවශ්‍යතාව පරිද්දෙන් විග්‍රහ කරන බව පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස, පටු අවශ්‍යතාවන් මත සිට තම දරුවෙකුගේ ආදර සම්බන්ධයකට මාපියන් විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ආදරය වෙනුවෙන් පෙනී සිටීමත් බරපතල පාපයක් බව දේශනා කරන අවස්ථා දැක ගන්නට ඇත.


මන්ද, තමන් සාධාරණ පැත්තේ සිටියද මාපියන් වැරදි වුවද, එහෙත් මේ ක්‍රියාවෙන් ඔවුන් බලවත් වේදනාවකට පත් වන නිසාය. මේ අනුව ඉහත අර්ථ දැක්වීම ආචාර ධාර්මික අර්බුදයක් මතු කරයි. එහෙත් මෙය ලිහා නොගත හැකි ගැටලුවක් නොවේ. ඇතැම් විට, කොතරම් යහපත් ක්‍රියාවකින් වුවද තවත් පාර්ශවයක් වේදනාවට දුකට පත් වීම වැලැක්විය නොහැකිය. නිදසුනක් ලෙස, නොදැනුවත් බව මත ජනතාව පහසුවෙන් සූරාකෑම සිදු කරමින් පවතින විට, කිසිවෙක් එකී ජනතාව දැනුවත් කරන්නේ නම් සූරාකන්නන් පීඩාවට පත් වීම වැලැක්විය නොහැකිය. ඒනයින් මෙය පාප කර්මයක් යැයි ප්‍රකාශ කිරීම සත්‍යයක් වන්නේද? නැත.


එසේම විශේෂයෙන් ඉස්මතු කර දක්වන පස් පව්, දස පුණ්‍ය ක්‍රියා, අට මහා කුසල් ආදී වශයෙන් වූ ඒවාද ඇත්තේය. ඇත්ත වශයෙන්ම කිවහොත්, මේ වන විට සමාජයේ
පින = දානය
කියන තැනට නව අර්ථකථනයක්, නව සමීකරණයක් ආගමික වශයෙන් ඇති කර ඇත.


පරාර්ථකාමය මත පිහිටා යමෙක් කටයුතු කරන විට ඔහු සැම විටම අවධානය යොමු කරනු ලබන්නේ අනෙකාගේ පැත්තෙන් බලා අනෙකාගේ සතුට, යහපත වෙනුවන් ක්‍රියා කිරීම කෙරෙහිය. එවිට සැම විටම සිදු වන්නේ යහපත් ක්‍රියාය. මෙහි අනෙක් පැත්ත සිදු වන විට සිදු වන්නේ පාප ක්‍රියාය.

එසේ නම් මේ අනුව අප අතින් ගෙවී යමින් පවතින සෑම තත්පරයකදීම, පාපකර්මයක් හෝ පුණ්‍යකර්මයක් සිදු වෙමින් පවතියි. එය සිතිවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවකින් විය හැකියි.


එහෙත් සමාජය ගොදුරු කර දමා ඇති ඉහත සමීකරණය හේතුවෙන් සැබෑවටම සිදු වන, මොහොතක් පාසා එක් රැස් වන පින් පව් පසෙක දමා, ඒ වෙනුවට කිසියම් නිශ්චිත නිමේෂයක සිදු කරන ක්‍රියාවක් පමණක් පුන්‍යකර්ම සේ දක්වා ඇත. මෙය දේශපාලනික ක්‍රියාවකි. එනම්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ගොනාට ඇන්දවීමකි.

කොහොම වුණත් මේ ඇඳ ගැනීමට ජනතාවද ඉතා කැමතිය. ඒ තමන්ගේ සැබෑ අධ්‍යාත්ම විමුක්තිය පිළිබඳ කිසිදු ප්‍රඥාවක් නොමැති ඔවුන්ට තමන්ගේ කුහක පැවැත්ම එවිට කිසි කරදරයකින් තොරව ගෙන යාමට හැකි වන නිසාය. ජීවිතයේ වැඩිම කාලයක් පව්කම් කර ඒ පව් සියල්ල සෝදා හැර දිව්‍යලෝකයෙන් ඉඩකුත් වෙන් කර ගැනීමට ඉඳ හිටක කරන මහා පින්කම් වලට හැකි නිසාය. මේ අනුව ගත් විට සමාජයේ පවතින ප්‍රතිගාමී සංකල්ප, ඒවා ඉදිරිපත් කළ අයගේ මෙන්ම පවත්වාගෙන යන්නන්ගේද අනොන්‍ය එකඟතාවකින්ම පවත්වාගෙන යන ඒවා බව පෙනේ.

Friday, August 10, 2018

ශර්මි කුමාර්, කාන්තා ලිංගිකත්වය - Sharmi Kumar, Women's sexuality

ශර්මි කුමාර් (Sharmi Kumar), අන්තර්ජාල රූපවාහිනි චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ අදහස්. Porn Videos වල පෙනී සිටීමෙන් හා මුදලට කය අලෙවි කිරීම තුළින් ඇය බලාපොරොත්තු වන්නේ මුදල් හා ලිංගිකත්ව තෘප්තිය යන දෙකම ලබා ගැනීම බව ඇය ප්‍රකාශ කළා.

මෙය සත්‍යදැයි අපි සොයා බලමු. එය එසේ නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමේත් මානුෂීය පදනමක් නිර්මාණය වෙනවා. ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධ බටහිර රටවල පර්යේෂණවල ඉතිහාසය 60 දශකය පමණ ඈතට දිව යනවා. වර්තමානය වන විට තහවුරු කර ඇති කරුණ වන්නේ ලිංගිකත්වයේ උපරිම සතුට, සූරතාන්තය මත පදනම් නොවන බව. එය, ලිංගිකත්ව සම්බන්ධයක ආරම්භයේ සිට අවසානය අතර දක්වා පරාසයේ කවර හෝ අවස්ථාවක අත්දැකිය හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.


ඒ සඳහා බලපාන මුඛ්‍ය කරුණ වන්නේ දෙදෙනා අතර පවතින මානසික බැඳීම හා ආදරයයි. ඒ වගේම අදාළ මොහොතේ සිදුවන ආදරණීයත්වය මත පදනම් වෙමින් සිදුවන ක්‍රියාකාරකම්.

ඒ වගේම අවිවාදිතව පිළිගත් සත්‍යය වන්නේ කාන්තාවකගේ ලිංගික තෘප්තිය අනිවාර්ය ලෙසම තම සහකරු සමග පවතින මානසික බැඳීම හා අනුපාතිකව සමාන බව.

ඕනෑම අවස්ථාවක මුදල කිසියම් සිදුවීමක් සඳහා ඉදිරියට පැමිණේ නම් එතැන තව දුරටත් මානුෂීය සම්බන්ධයක් ඉතිරි වන්නේ නෑ. අප කඩයකට ගොස් බඩුවක් මිළදී ගත් විට අප තුළ සොඳුරු මතකයක් ඉතිරි වන්නේ එහි සේවකයා අපට දැක්වූ සුහද පිළිගැනීම හා සත්කාරය මත. එය මුදල හා කුඩා හෝ සම්බන්ධයක් පවතින බවක් හැඟී ගියහොත් ඒ හැඟීම තව දුරටත් ඉවත් වී ඇති වන්නේ පිළිකුල් සහගත හැඟීමක්.


ඒ වගේම අපට ඉතාමත් තද බැඳීමක් ඇති කරගත හැක්කේ එක් අයෙක් සමග පමණයි. කායික සබඳතාවක් නොව කායික සමීප වීමක් සඳහා වුවද මෙවැනි බැඳීමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව විවිධ පුද්ගලයන් හා අපට මෙවැනි සම්බන්ධයක් ඇති කරගත නොහැකියි.

ඒ වගේම කැමරාකරුවන්, ආලෝකකරණ ශිල්පීන් වැනි පුද්ගලයන් රාශියක් ඉදිරිපිට සිදුවන ලිංගික සබඳතාවක් තුළින් තෘප්තියක් අත්කරගත හැකියයි කීම හාස්‍යජනක කරුණක්. එවැනි අවස්ථාවක ලිංගික උත්තේජනයක් හෝ ඇති කරගත හැකි වන්නේ බලහත්කාරයෙන් සිදු කරන කායික උත්තේජනයන් තුළින්.

මේ අනුව අපට එළඹිය හැකි නිගමන දෙකක් තිබෙනවා. එකක් වන්නේ මෙය මනෝ විද්‍යාවේ එන ''සංරක්ෂණ ප්‍රයෝගයක්''  විය හැකි බව. දෙවැන්න, මෙය අලෙවි උපායමාර්ගයක් (marketing strategy) විය හැකි බව.


කාන්තාවකට සිදු කළ හැකි බරපතලම අපරාධය, ඇය ගණිකාවක් බවට පත් කිරීමයැයි ඕෂෝ පවසා තිබෙනවා. ඔහු එසේ කියන්නේ ඉතාමත් ගැඹුරු හේතූන් ඇතිව. එය එසේ නම්, කිසියම් හෝ දිනක සත්‍යය වැටහුණු විටක ගත වූ කාලය සම්බන්ධයෙන් බොහෝ දුක් වීම වැලැක්විය නොහැකියි.

ප්‍රස්තුත සම්මුඛ සාකච්ඡාවට අදාළ වීඩියෝව.

Sunday, August 5, 2018

වහල් ක්‍රමය, ගොදුරු න්‍යාය සහ කාන්තාව - Slavery, The Theory of Prey and Women

අපේ මේ සමස්ත පෘථිවි ලෝකය තුළම පවතින පොදු න්‍යාය වන්නේ කැළේ නීතිය හෙවත් ''ගොදුරු න්‍යායයි''. එනම්, සාපේක්ෂව බලවත් පුද්ගලයාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සාහසික ලෙස සාපේක්ෂව බලයෙන් අඩු පුද්ගලයාව යොදා ගැනීමයි. එය මිනිසාගේ සිට සමස්ත සත්ව ප්‍රාජාව දක්වාම පොදු වේ.

ම්ලේච්ඡ අවදියේදී එක් ජන කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ආක්‍රමණය කර ඔවුන්ව සමූල ඝාතනය කර දැමුනා. තවත් විටක කාන්තාවන් තමන් සතු කරගෙන පිරිමින්ව මරා දැමුණා. කාන්තාවන් තමන් සතු කර ගැනීම සිදු වුණා. ක්‍රමයෙන් නිෂ්පාදන ක්‍රම වර්ධනය වෙද්දී ශ්‍රමයේ අවශ්‍යතාවක් උද්ගත වීම නිසා පසුව අක්‍රමණික ප්‍රදේශවල පිරිමි මරා නොදමා වහලුන් බවට පත් කර ගත්තා.


සමාජය තවත් ඉදිරියට යද්දී වැඩවසම් ක්‍රමය ඇති වුණා. නිෂ්පාදන බලවේග විශාල ලෙස වර්ධනය වෙද්දී ශ්‍රමයට කලින් තිබූ අධි වටිනාකම නැතිව යාමත් සමග වහලුන් සහ ප්‍රවේණි දාසයන් පවත්වා ගැනීම අලාබ දායක ක්‍රියාවක් වූ හෙයින් ඔවුන් නිදහස් ශ්‍රමිකයන් බවට පත් කරනු ලැබුවා. තාක්ෂණය තව දුරටත් වර්ධනය වෙමින් යන මේ අවදියේ තමන්ගේම ආයතනවල නිල සේවකයන් තබා ගැනීමත් අලාබයක් වන හෙයින් මේ වන විට ලොව පුරාම ෆ්‍රීලාන්සර්ස් හෙවත් නිදහස් සේවකයන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එවිට සේවක අර්ථසාධක වගේ කිසිම වරප්‍රාදයක් දෙන්න ඕනෙ නෑ. වගකීමක් දරන්න ඕනේ නෑ.


මේ අනුව, ම්ලේච්ඡ අවදියට වඩා යම් සුබදායක තත්වයක් ලෝකයේ පවතින්නේ නිෂ්පාදන බලවේග දියුණු කල අතලොස්සක් මිනිසුන්ට පින් සිද්ධ වෙන්න. එහෙම නැතිව අදටත් ඉන්නේ එදා හිටපු ම්ලේච්ඡයාමයි.

ප්‍රාථමික යුගයේ මාතෘ මූලික සමාජයක් පැවතුණාට එයින් කාන්තාවට අමුතුවෙන් අත් වූ සෙතක් නෑ. එය මුල්ම කාලයේ මුලු ගෝත්‍රයේම පිරිමින්ගේ කාම ගොදුර බවට පත් වුණා. ක්‍රමයෙන් සමාන ජාන නිසා විවිධ සංජානීය ආබාධ සහිත දරුවන් බිහිවෙන බව අවබෝධ කර ගැනීමත් එක්ක පියවරෙන් පියවර සීයලා, තාත්තලා, සහෝදරවරු මේ කාම ගොදුරු ක්‍රියාවෙන් අයින් වුණා.

නිෂ්පාදන බලවේග දියුණු වෙලා අතිරික්ත සම්පත් එක් රැස් වෙනකොට ඔන්න පිරිමියාට ඕනේ වුණා තමන්ගේම ලේ තියෙන දරුවෙකුට ඒ ධනය පවරන්න. නිල පතිනියක් පිරිමියාට ඕනේ වෙන්නේ ඒ අනුව. ඒත් ඔහුගේ බහු කාන්තා සේවනයේ අවශ්‍යතාව හේතුවෙන් ඔහු ගණිකා වෘත්තිය නිර්මාණය කළා. ඒ වගේම, ඔහුට කාන්තාව රිසි සේ සූරා කෑමේ අවශ්‍යතාව හේතුවෙන් විවිධ සංකල්ප ගොඩනගමින් ඒවා ප්‍රශ්න කළ නොහැකි පොදු සමාජ සම්මතයන් බවට පත් කළා. ගෝත්‍රික අදහස් දරන ජන සමූහ අදටත් කාන්තාව සලකන්නේ තමන්ට පරිහරණය කළ හැකි භාණ්ඩයක් ලෙස. ඔවුන්ගේ අඳින ඇඳුමේ සිට සිතන පතන දේ දක්වා සියල්ල සිරගත කර තිබෙනවා.


ඒ වගේම දියුණු ශිෂ්ට යැයි කියන සමාජයද ඔවුනට දෙවෙනි වන්නේ නෑ. ඔවුන් කාන්තා කාම වෙළඳපළක් නිර්මාණය කරමින් ඔවුන්ව රිසි සේ සූරාකෑම සහ තම මනෝ ව්‍යාධීන්ගේ ගොදුරු බවට පත් කර ගැනීමද සිදු කරනවා. ''කෲර ලිංගිකත්වය'', ''සමූහ ලිංගිකත්වය'' වැනි නූතන ක්‍රියාවන් ඊට නිදසුන්.

යම් සමාජයක් කාන්තාව මුළුමනින්ම ආවරණය කරන්නේද එහි අර්ථය ඔවුන්ට කාන්තාව කාම භාණඩයකට වඩා දෙයක් නොවන බව. ඒ වගේම යම් සමාජයක් කාන්තාව වඩ වඩාත් නිරාවරණය කරන්නේද එහි අර්ථය ඔවුනට ව්‍යාජ නිදහසක් ලබා දෙමින් කාම භාණඩයක් බවට පත් කර ඇති බවයි.


මේ අනුව සමස්තයක් වශයෙන් ගත් විට අද වැදගත් ලෙස කතා කරමින් වැදගත් ලෙස අඳිමින් පළඳිමින් සිටින්නේද එදා සිටි ම්ලේච්ඡයාම බව ඉතා පැහැදිලිව පෙනී යනවා. මෙහි ඇති ශෝචනීය තත්වය අන් කිසිවක්වත් නෙවි. ම්ලේච්ඡයෙකුට, කවදාවත් ජීවිතයෙන් ලබන්න පුළුවන් අනන්ත අපරිමාණ සතුටෙන් බින්දුවක්වත් ලබන්න බැරි වීම. සතෙකුටත් වඩා අන්ත දුක්ඛිත තත්වයකින් ජීවිතය ගෙවා මිය යාම. ජීවිතයේ සතුට තියෙන්නේ කොතනද කියන එක අපි, '' ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස'' යන ලිපියෙන් සාකච්ඡා කර තිබෙනවා.

Sunday, July 29, 2018

ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස..... - The Theory for A Extreme Happiness Life

ආත්මාර්ථය යන්න විවිධ සංස්කෘතික, ආගමික සන්දර්භයන් මත විවිධ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. ඒත් අපේ මේ හැදෑරීම් සන්දර්භයට සාපේක්ෂව සැලකූ විට, එය මේ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. එය බොහෝ දුරට ඒ සඳහා නිවැරදි අර්ථ දැක්වීමද වේයැයි සැළකිය හැකියි.

බටහිර මනෝ විද්‍යාව අනුව සැලකුවොත් ''ආශාව'' යන්න සැලකෙන්නේ එය පුර්ණ වශයෙන් සපුරා ගැනීමට හැකි වුවොත් ඒ හා සමගම ''අතුරුදන්'' වන දෙයක් ලෙස. එහි තේරුම, තව දුරටත් ඒ ''ආශාව'' ආශාවක් ලෙසින් යම් කාලසීමාවකට අපේ සිතේ ඇති නොවන බව. එසේ නම් ''ආශාවක්'' යළි යළිත් අපේ සිතේ ඇති වන්නට නම් එය පූර්ණ වශයෙන් තෘප්ත වීමට කිසියම් ''බාධාවක් හෝ බාධාවන් සමූහයක්'' අප ඉදිරියේ තිබිය යුතුයි.


එවිට ''ආශාව'' අඛණ්ඩව එක දිගටම තබා ගැනීමට හැකි වෙනවා. විවාහක අයට තම සහකරුවා ඉතා ඉක්මනින්ම එපා වන්නේත් අනියම් සම්බන්ධයකට අයත් සහකරුවා ඉතා නැවුම් ලෙසින් හැම මොහොතකම දිගටම හැඟී යන්නේත් මේ සිද්ධාන්තය නිසයි. විවාහක අයට බොහෝ දුරට ''බාධාවන්'' ඇත්තේම නැති තරම්. එහෙත් අනියම් සම්බන්ධයක් කියන්නේ මරණය අතේ තියන් ඉන්නවා වගේ වැඩක්.


බෞද්ධ දර්ශනයට අනුව නම් ආශාවන් කවදාවත් තෘප්තියෙන් අවසන් වන්නේ නෑ. සෑහීමකට පත් වන්නේ නෑ. ඒ වෙනුවට තව තවත් ආශාව පසු පස්සේම ගමන් කරනවා. එය සපුරා ගත හැකි නව ආකාර ගැන සොයනවා. ඇත්තටම මේ කියන්නේ අර අපි කළින් කතා කළ අවස්ථාවේම ඊලඟ පියවර. එනම්, ආශාවක් සම්පූර්ණයෙන් සපුරා ගත් විට සිතේ ඇති වන අතෘප්තිය හේතුවෙන් එම ආශාවේම නව ආකාරයක්, දිගුවක්, නව සංස්කරණයක් අපේ සිත ඉල්ලා සිටිනවා. එයත් සම්පූර්ණයෙන් තෘප්ත වුවොත් එහිත් නව ආකාරයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ''ආවේගයන්'', ''ආතතීන්'' කියන්නේ විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ජාන මගින් ඇති කරන හෝ අපට පහසුවෙන් සපුරා ගැනීමට හැකි නොවීම නිසා හෝ ඇති වන හැඟීම් විශේෂයක්. මේ නිසා අප තුළ ''හීනමානයක්'' ඇති වනවා. මේ නිසා අපට ආවේගයන්, ආතතීන් සපුරා ගත් විට ඇති වන්නේ ආවේගයන් සමනය වීමෙන් ඇති වන සහනය හෝ ''වාඩුව'' ගැනීම නිසා ඇති වන ආකාරයේ සතුටක්. එය ''ප්‍රමෝදය'' ලෙසින් හඳුන්වන්න පුළුවන්. මේ නිසා ආවේගයන් සපුරා ගැනීමට එදිරි සාධක වෙනුවෙන් පළි ගැනීමේ චේතනාවක් අපේ සිතේ ඇති වෙනවා.


 ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව, ආශාවන් යන්න, අපේ විවිධ ''වේදනාවන්'' දුරු කර ගැනීමට දරන උත්සාහයක් මිස ''සැබෑ විඳීමක්'' නොවන බවද පෙනවා දෙනවා. නිදසුනක් ලෙස කුසගින්න නම් වේදනාව දුරු කර ගැනීමට අප ආහාර වෙනුවෙන් ආශා කරනවා. ජානවලින් මෙහෙයවන ආවේගයන් හේතුවෙන් ලිංගිකාශාවන් අපේ සිතේ ජනිත වෙනවා. එම ආවේගයේ වේදනාවෙන් දුරු වීමට අප එම සම්බන්ධයකට යොමු වෙනවා. එවිට එම ආවේගය සමහන් වීම හේතුවෙන් අපට දැනෙන ''සහනය'' අප ''විඳීමක්'' ලෙසින් වරදවා තේරුම් ගන්නවා.

මේ කරුණු සියල්ල මතකයේ තබාගෙන අපේ නව සිද්ධාන්තය වෙත යොමු වෙමු. එනම්,

ආත්මාර්ථකාමය පදනම් වෙමින් අපේ සිතේ ඇති වෙන්නේ ආවේගයන් සහ ආතතීන් වන අතර ඒවා අප විසින් පොදුවේ ''ආශාවන්'' ලෙසින් නාමකරණය කරගන්නවා. එහෙත් ආවේගයන් සහ ආතතීන් තෘප්ත කර ගැනීමට යාමෙන් අපට ''විඳීමක්'' ලබා ගත නොහැකි අතර එම ආවේගයන් යම් මොහොතකට සමහන් වීමෙන් ඇති වන ''සහනය'' පමණක් අත්දකිනවා.

ආත්මාර්ථය පදනම් කරගත් සිතක ඇති වන ආවේගයන් හෝ ආතතීන් සමහන් කර ගැනීමට යාමේදී ඒ පුද්ගලයා සිතන්නේ එය කෙසේ හෝ කුමන අයුරකින් හෝ සපුරා ගන්නා ආකාරය පමණයි. එහිදී එයට සම්බන්ධ වන කිසිදු සාධයක යහ පැවැත්ම කෙරේ ඔහුගේ අවධානය යොමු නොවෙයි.


එහෙත් පරාර්ථය පදනම් කරගත් පුද්ගලයාගේ සිතේ ආශාවක් ඇති වූ විට ඔහුගේ ඊට සම්බන්ධ සෑම සාධකයක් ගැනම අවධානය යොමු වෙනවා. ඒ හැම සාධකයකම යහ පැවැත්ම කෙරෙහි ඔහුගේ සිත නිසගයෙන්ම යොමු වන නිසා. එවිට ඔහුගේ ආශාව තෘප්ත කරගැනීම සාමූහික එකක් වනවා. හුදු ආවේගයන් පහ කර ගැනීමක් නොවෙයි. මේ නිසා මේ එය ''විඳීමක්'' බවට පත් වෙනවා. එනම් එය, ආවේගයන්ට දක්වන ප්‍රතිචාරයක් වෙනුවට, අපම විසින් උත්පාදනය කර ගන්නා නව සොඳුරු හැඟීම් විශේෂයක් බවට පත් වෙනවා. ඒ නිසා එයට අර ''ආශාවේ පොදු න්‍යාය'' සත්‍යයක් වන්න්නේ නෑ. මේ නිසා ඔහුගේ විඳීම දිගින් දිගටම එකම ආකරයේ එකක් වුවත් එය ඒකාකාරී නීරස එකක් බවට පත් වන්නේ නෑ. එහෙත් ආවේගයන් සමහන් කර ගැනීමට යන්නාට එකක් පසුපස එකක් නව නව ආකාරයේ අත්දැකීම් හිමි කර දුන්නත් ඔහුට කිසි විටකවත් ''සබෑ සතුට'' හෝ ''විඳීම'' හමු වන්නේ නෑ.

යමක් ''විඳීමක්'' බවට පත් වීමට නම් එය ''ආදරය'' සහ ''පරාර්ථය'' මත පදනම් විය යුතු වෙනවා. එසේ නොමැතිව ආත්මාර්ථය මතින් පදනම් වේ නම් එය හුදු ආවේගයන්, ආතතීන් සමහන් කර ගැනීමක් පමණයි. එතැන ''විඳීමක්'' නැහැ.

ආදරණීය සිතක් තුළ ඇති වන ''විඳීම'' වනාහි හැම විටම නව උත්සවකාරී දෙයක්. එහි පිළුනු වීමක් නෑ. නිතරම නැවුම්. ඒ ඔහු නිතරම අනෙකා සමගින් ආදරණීය ලෙසින්, සොඳුරු ලෙසින් සම්බන්ධ වන නිසා. එහෙත් ආත්මාර්ථකාමී සිතක් තුළ ඇති වන ආශාව වනාහි ස්වකේන්ද්‍රීය එකක්. අවශෝෂණීය එකක්. එය උරා ගැනීමෙන් අවසන් වන එකක්. එහි නව නිමැවුමක් නෑ. හරියට විශ්වයේ තියෙන කළු කුහරයක් වගේ.


ආශාවක් කියන එකේ තේරුමම, එය තවමත් අප වෙත නොලැබීම නිසා ඇති වන ආවේගයක් යන්න. ඉතින් එය ලැබුණු පසුව තව දුරටත් එයට ''ආශාව'' යන්න සත්‍යයක් වන්නේ නෑ. නොලැබීම නිසා ඇති වන හැඟීම, ලැබුනු පසුව තව දුරටත් පැවතීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙත් ආදරණීය පුද්ගලයෙක් තමන් තුළ ඇති වන ආශාව, වෙනත් තත්වයක් බවට පත් කර ගන්නා නිසා ඔහුට අර නොළැබීමේ න්‍යාය අදාළ වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින්, අඩු වශයෙන් එය උත්පාදනය වන පුද්ගලයාගේවත් යහපැවැත්ම ඇති කරන්නේ නෑ. එය පුද්ගලයාව ගෙන යනු ලබන්නේ මිරිඟුවක් දෙසට වන අතර විනාශයේ අවසානය වෙතටයි. නිදසුනක් ලෙස අනෙකාව සූරාකෑම තුළින් ධනවත් වන පුද්ගලයෙක් සලකන්න. ඔහු ඒ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරන්නේ ආශාවේ වහලෙක් බවට පත් වෙමින්. ඒ තුළ ඔහුට අහිමි වන සතුට සොයා යමින් ඔහු විවිධ අත්හදා බැලීම්හි නිරත වන නමුත් කිසිදා ආතතීන් සමනය වීමක් විනා සැබෑ සතුට හමු වීමක් සිදු වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින් එක් තැනක පැවැත්මක් වෙනුවෙන් තවත් පැවැත්මන් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීම සිදු වෙනවා. ඒ නිසා එතැන මූලික ප්‍රතිඵලය ''විනාශය''. එහෙත් පරාර්ථය තුළ සාමූහික, විශ්වීය පැවැත්මක් අරමුණු කෙරෙනවා. තහවුරු කෙරෙනවා. මේ නිසා එතැන ප්‍රතිඵලය, ''පැවැත්ම'', ''විඳීම''.


ඒ වගේම පරාර්ථය සහ ආදරය කියන්නේ අනෙකෙකුගේ පැවැත්ම වෙනුවෙන් සවිඥානික ලෙස සහ ස්නේහයෙන් යුතුව සිදුවන මැදිහත් වීමකට. එය, විඥානය විසින් උත්පාදනය කළ උතුම්ම සිතිවිල්ලයි. සිත, මේ සමස්ත විශ්වයේ, ද්‍රව්‍යයේ බලවත්ම දෙය වන විට, ඒ බලවත්ම දෙය විසින් නිපදවූ බලවත්ම හා උත්තරීතරම දෙය පරාර්ථය සහ ආදරයයි. සිත, මේ විශ්වයේ බලවත්ම දෙය වන්නේ, ද්‍රව්‍යය විසින් නිමවී, ඒ තමන්ව නිමවූ ද්‍රව්‍යය දෙසම ආපසු බැලීමට හැකි එකම දෙය එය වන නිසයි.

Saturday, June 23, 2018

සැබෑ වැද්දෝ නම් කවුරුන්ද?

නූතන වැදි නායක, ඌරු වරිගයේ වන්නියලැ ඇත්තෝ වෙසක් මාසයේ ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුනේ තව දුරටත් ''වැදි බණ'' යන යෙදුම තාර්කික නොවන බවයි. සංකල්පීය තලයේ එකක් පවසමින් ප්‍රායෝගික තලයේ එහි පරස්පරය ක්‍රියාත්මක කරන අයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සුලබ යෙදුමක් වන්නේ ''වැදි බණ දේශනා කරනවාය'' යන්න.

නූතන වන ජීවි සංරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් වැදි ජනතාව දඩයමෙන් ඈත් වී තිබෙනවා. වන්නියලැ ඇත්තෝ නම්, වසර 37ක පමණ කාලයක සිටම දඩයමෙන් පමණක් නොව මස් මාලු කෑමෙන්ද වැලකී සිටින බවයි පවසන්නේ. ඒ වගේම අනෙක් ශිකෂා පද හතරද බොහෝ දුරට වැදි ජනතාව ආරක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එහෙත් අපේ මහා සමාජය එයට විලෝමව බෙහෙවින් දූෂිත බවට පත් වෙමින් පවතින බවත් ඔහු දකිනවා.


පෝයට සිල් ගන්නවාදැයි ඇසූ විට ඔහු පවසා තිබුනේ ''ශීලය'' ඔහුගේ ජීවිතය තුළ හැම මොහොතකම පවතින නිසා බොරුවට පෝය දිනට පමණක් සුදු රෙදි පොරවා ගැනීමේ අවශ්‍යතාවක් තමන් නොදකින බව.

එසේම දඩයමේ යෙදෙන කාලයේ වුවද ඔවුන් සතුව ඒ සම්බන්ධයෙන් ආචාර ධර්ම සමූහයක් තිබූ බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව ගැබ්බර සතුන්, නිදැල්ලේ සැතපී සිටින සතුන්, දිය බොන සතුන් දඩයම් කිරීම තහන්චි වෙයි. ඒ වගේ සතුන් දරුවන් මෙන් කවා පොවා ඇති දැඩි කර ඔවුන් මරා කෑමද වැදි ජනතාව පිලිකෙව් කරයි. ඔවුන් ගවයන් හා කුකුළන් ඇති කළද ගව හෝ කුකුල් මස් හෝ බිත්තර ආහාරයට නොගනියි.


පරමාදර්ශ වශයෙන් සලකා බලන විට, ඉහත ආචාර ධර්ම අපට සැලකිය හැක්කේ ''සාපේක්ෂ'' ඒවා වශයෙන් පමණයි. නමුත් එවැනි මට්ටමක්වත් ඔවුන් තුළ පවතින විට හා ''ශිෂ්ට'' යැයි කියන මහා සමාජය තුළ එවැන්නක්වත් නොපවතින විට මහා සමාජයේ ''ශිෂ්ට'' බව ඇත්තේ කොතැනදැයි ඔහු අසන ප්‍රශ්නයට අපට දෙන්න පුළුවන් පිළිතුර කුමක්ද? අප අංශක 360ක් ආපසු කරකැවී ම්ලේච්ඡත්වයට ගමන් කර ඇති බවද?

මිනිසුන් ආගම් නිර්මාණය කර ගත්තේ තමන්ට ජීවිතය, එහි ඉරණම, තමන්ගේ ආරම්භය, පැවැත්ම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු වලට පිළියමක් ලෙස විනා ඔහුට පළමුව ආගම් පැවතුනා නොවේ. ඒ නිසා ආගම් යනුද ඒ ඒ සමාජවල අවශ්‍යතාවන්ගේ නිර්මිතයක් පමණි. ඉහත ප්‍රශ්නවලට අදාළ 'සත්‍යය'' සෙවීමේ අරමුණක් මිනිසා තුළ පැවතුණා නම් මේ වන විට ඔහු එය සොයාගෙන හෝ තව දුරටත් සොයමින් සිටිනවා ඇත. එවිට, ''එක් සත්‍යයක්'' මිස ''සත්‍යයන් සමූහයක්'' නොපවතිනු ඇත.  එවැන්නක් එහෙත් එවැන්නක් ලෙහෙසියෙන් විය නොහැක්කේ ''ආත්මාර්ථය'' විසින් ඔහුගේ බුද්ධිය අවුරාලනු ලබන බැවින්.


පුද්ගලයෙකුට ඇසෙන්නේ තමන් ඇසීමට කැමති දේ පමණක්ය යනුවෙන් කියමනක් ඇත. එයට, ''පුද්ගයන් සත්‍යය සොයා යන්නේද තමන් දැකීමට කැමති සත්‍යය වෙනුවෙන්'' බවට තවත් කියමනක් එකතු විය යුතුය.

ස්වභාව ධර්මයේ සංකීර්ණ හා අපූර්ව භාවය, අභියෝග, සමස්ත සත්ව ප්‍රජාවේම ආත්මාර්ථකාමී සාහසික ස්වභාවය නිසා ඔහු තුළ ඇති වන අසරණ අනාථභාවය තුළ සරණක් පතා ඔහු ආගම නිර්මාණය කර ගත්තේය. ඔහුගේ ආත්මය යම් තාක් දුරට හෝ පවත්වා ගත හැක්කේ ඒ මතය. එහෙත් එය කිසිසේත් සුන්දර ජීවිතයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව, මිනිසුන්ගේ අසතුට, ගැටුම්, ආනාරක්ෂිතබව තුළින් මනාව පැහැදිලි වෙනවා.

එකිනෙකාව ගොදුරු කර ගැනීමෙන්, සූරාකෑමෙන්, හිංසාවට පත් කිරීමෙන් වෙනුවට එකිනෙකාට ආදරය කරන, උපකාර කරන, සාමූහික පැවැත්මක් වෙනුවෙන් ක්‍රියා කරන, සිතන සමාජයක් නිර්මාණය වන්නේ එකිනෙකාගේ සිත්වලින් අපව පෙළන රුදුරු ''ආත්මාර්ථය'' ක්ෂය වී ගිය දිනටය. වසර ලක්ෂ ගණනකින් හෝ උදා විය හැකි ඒ දිනට සියලු සත්වයෝ සතුටින් ජීවිතය ''විඳිනු'' ඇත.


Sunday, April 29, 2018

වැඩ කරන එක පාපයක්ද....? (ගිරි දුර්ග ගැන....)

ජීවිතයේ හමු වන ගිරි දුර්ග ගැන බෞද්ධ ආගමික පසුබිමක සිට විග්‍රහ කිරීමක් වෙසක් පෝදා විකාශය වූ ගිරි දුර්ග ටෙලි සිතුවමින් සිදු වුණා. තම සිතූ මනාපයේ තමන් ආදරය කරන පුද්ගලයා සමග පැමිණීම නිසා හතර වරිගයම අහිමි වූ ඇයට, තම සහකරුවාත් නීතී විරෝධී දැව ප්‍රවාහනය කිරීමේ වරද යටතේ රිමාන්ඩ් ගත වීම නිසා, ඇයටත් ඇගේ කුඩා දියනියටත් මුහුණ දීමට සිදුවන දුක් කරදර සමූහයයි මෙහි තේමාව වූයේ.


මෙහිදී ඇය රබර් කිරි කපන, රබර් ශීට් සාදන අවස්ථා අපට හමු වන්නේ ඇය විශාල ඛේදවාචකයකට හසු වූ විලාශයෙන්. එහි රූප රාමු, පසුබිම් සංගීතය තුළින් ඉස්මතු කරලන්නේ එයයි. එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ කෙනෙක් ''වැඩ කිරීම'' වනාහී ''පාපකර්මයක් පළිසන් දීමක්ද'' යන්නයි. එසේ නම් එහි විලෝමය වන්නේ ''වැඩ නොකර සිටීම'' පින් පළ දීමක් ලෙසයි. එවිට අපට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගන්නේ කවර මාර්ගයකින්ද?


එක්කෝ ''පව්කාරයින්'' විසින් ''පින්කාරයින්'' උදෙසා වෙහෙස වී ඒවා ඉටු කර දිය යුතුය. එහෙත් එවිට ඇති වන ප්‍රශ්නය වන්නේ ''පින්කාරයින්'' බවට පත් වන්නේ කෙලෙසද යන්නයි. පින්කාරයින් බවට පත් වීමට ඇති මඟ වන්නේ වැඩ කරන අයව සූරා කා එක් රැස් කර ගන්නා අතිරික්තයෙන් කොටසක් වැය කර දාන මානාදී පින්කම් කිරීමයි. ධර්මය යනු එවැනි නිර්දය කියවීමක්ද?


සමාජය ලබා ඇති සෑම දියුණුවක්ම, ප්‍රගතියක්ම ලබා ඇත්තේ මිනිසුන්ගේ කායික හා මානසික නොපසුබට ධෛර්යයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණක්ව තිබියදී ''වැඩ කිරීම'' පාපකර්මයක් ලෙස පෙන්වාදීම තරම් පාපකර්මයක් තවත් තිබිය හැකිද? මෙතැන පාපකර්මය වන්නේ වැඩ කිරීම නොව, කරන වැඩය සඳහා ජීවත් වීමට තරම් සරිලන ගෙවීමක් ලබා නොදීමයි. ශ්‍රම සූරාකෑමයි. එසේම තවත් පිරිසක්, තමන් ලබන ගෙවීමට තරම් කිසිසේත් නොසරිලන ශ්‍රමයක් ලබා දීමයි. එනම්, වැඩ නොකර සිටීමයි. සමාජයේ බහුතරයකට දුක් විඳීමට සිදු වන එක් ප්‍රධාන කරුණක් වන්නේ එය. එසේම නිෂ්පාදන බලවේග, තවමත් ප්‍රමාණවත් තරමින් වර්ධනය වී නොතිබීමද තවත් ප්‍රධාන සාධකයක්. එසේ වර්ධනය නොවී සමාජයේ සැමට සුවදායක ජීවිතයක් එකසේ ලබා දීමද අපහසු කාර්යයක්.


මාපියන්ට විරුද්ධව තමන් ආදරය කරන පුද්ගලයා තෝරා ගැනීමද බරපතල පාපකර්මයක් සේ පෙන්වාදීමට මේ කතාව තුළ පමණක් නොව බොහෝ බෞද්ධාගමික පසුබිමක් ඇති කතා තුළදී උත්සාහ කරනවා දැකිය හැකියි. එයද, තවත් එක් ඉතා පසුගාමි ගෝත්‍රික දෘෂ්ටිවාදයක්. පාපකර්මය වන්නේ ආදරය කරන දෙදෙනෙක් වෙන් කරවීමට උත්සාහ කරවීමයි. 

Saturday, March 24, 2018

පාපකර්මය කොතනද....?

පසුගිය පෝයදා දෙරණ රූපවාහිණියෙන් විකාශය වුණු ''නික්ම යෑම'' නම් පෝදා නාට්‍යය මගින් පෙන්වා දෙන්නට උත්සාහ කළ මුඛ්‍ය කරුණක් වූයේ කවර කරුණක් මත වුවද මාපිය සිතැඟි වලට එරෙහිව කටයුතු කිරීම බරපතල පාපකර්මයක් හා වරදක් බව. කතාවේ ආකාරයට ආදරවන්තයන් යුවලකගේ සම්බන්ධයට ආදරවන්තයාගේ පියා තදින්ම විරුද්ධ වන්නේ ආදරවන්තිය දුප්පත් වීම නිසාවෙන්. තරුණයාගේ පියා විරුද්ධ බැවින් සදාචාරවාදී නොවේ‍ය යන පදනම මත තරුණියගේ මාපියන්ද මේ සම්බන්ධයට විරුද්ධ වනවා.

අවසානයේ ආදරවන්තයන්ට සිදු වන්නේ දෙපැත්තේම මාපියන් නොමැතිව තනිවම ජීවිතයට මුහුණ දීමට සිදු වීම. කෙසේ වුවත් කතා රචකයා පෙම්වතුන් ලවාම අපට කියවන්නේ කවර තත්වයක් මත වුවත් මාපිය සිතැඟි වලට විරුද්ධ වීම නොකළ යුතු මහා පාපකර්මයක් බවයි. කිසිවක්, වරදක් හෝ පාපකර්මයක් වන්නේ කවර ආචාර ධර්මීය පදනමක් මතද?

එයට පොදු සූත්‍රයක් තනා ගැනීමට අපහසුයි. එයට හේතුව වන්නේ එය ''තත්වයන්'' අනුව බෙහෙවින් වෙනස් වන සුළු බැවින්. ''යම් ක්‍රියාවක් නිසා යම් කවර හෝ අයෙකුට අගතියක් වන්නේ නම් එය වරදක්'' ලෙසින් අර්ථ දක්වන්න පුළුවන්ද... බැහැ. යමෙක් තවත් අයෙකුගෙන් ලිංගික එක්වීමක් සඳහා ඉල්ලීමක් කරනවා යැයි සිතන්න. එහෙත් එයට අනෙකාගේ සිතේ කිසිදු කැමැත්තක් නැහැ. එවිට අපට කියන්න පුළුවන්ද එම ඉල්ලීමට එකඟ නොවීම මගින් අනෙකාට අගතියක් වීම නිසා එය වරදක් යැයි කියා. එයට එකඟ වීම සිදු වුණොත් අනෙකාට අගතියක් සිදු වෙනවා. මේ නිසා මේ සිදුවීම ගත් විට අපට කියන්නට සිදු වෙන්නේ, ලිංගික එක්වීමක් සිදු විය යුත්තේ දෙදෙනෙකුගේ ස්වාධීන කැමැත්තෙන්ම පමණක් විය යුතු අතර ඒ සඳහා බල කිරීමට ඒ දෙදෙනාට හෝ වෙනත් කිසිවෙකුට හෝ බල කිරීමට අයිතියක් නොමැති බව.

වැඩිහිටි, ආදර සම්බන්ධයක් ගත් විට එයට එරෙහි වීමට නොව, තමන්ගේ අකමැත්ත හෝ ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් මාපියන්ට ඇත්තේ හුදෙක් එය තමන්ගේ අදහසක්, උපදෙසක් ලෙසින් පමණයි. එවිට කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් යමෙක් රැවටීමකට හසු වෙන්න යන විටක හෝ එයට විරුද්ධ වීමට අයිතියක් නැද්ද කියා. තිබෙනවා. ඒත් ඒ සත්‍යය පහදා දීමෙන්. එය වටහා ගැනීමට ඔවුනට නොහැකි නම් හොඳම දෙය එය අත්දැකීමෙන්ම වටහා ගැනීමට ඉඩ හැරීමයි.

තමන්ව මේ ලෝකයට ගෙනවිත් කවා පොවා හදා වැඩීම කිසි ලෙසකින් යලි පියවිය නොහැකි උතුම් කාර්යයක් වුණත් ඒ උතුම් බව එයට ලැබෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාපියන් දරුවන්ට ආදරය කළහොත් පමණයි. එසේ නොවී තමන්ගේ ආත්මය අඛණ්ඩ කර ගැනීමට, තම දේපළ තම මරණයෙන් පසුවත් අඛණ්ඩ කර ගන්න, තමන්ගේ සිහිනයන්, බල වුවමනාවන් දරුවන් ලවා ඉටු කර ගන්න යම් මාපියෙක් කටයුතු කරන්නේ නම් ඔවුන් හා, මසට සතුන් ඇති කරන්නෙක් අතර වෙනසක් ඇත්තේ නෑ.

දරුවන්ට ආදරය කරන මාපියන් කිසි විටක පටු ආස්ථානයන් මත සිටිමින් දරුවන්ගේ සිහින මරා දැමීමට කටයුතු කිරීම තබා එවැන්නක් සිතකින් සිතන්නේවත් නෑ. ඒ නිසා එවැනි මාපියන්ගේ සිත් තම ආත්මාර්ථකාමී සිතැඟි වෙනුවෙන් දරුවන් තලා පෙලා දමන්නේ නම් එය බලවත් පාපකර්මයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සමහර දරුවන්, ඉගෙනගෙන සමාජයේ සම්මත ඉහල තැනකට ආ විට මාපියන්ව පිටත සමාජයට හඳුන්වා දීමට පවා හීනමානිකව පැකිලෙන ආකාරය දැක ගන්න පුළුවන්.

එහෙත් පටු නරුම ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් දරුවාගේ ආදරයට විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ලෝකය තනා ගැනීමට ක්‍රියා කිරීම පාප කර්මයක් ලෙසින් හඳුන්වනවා නම් එය අපට හැඳින්වීමට සිදු වන්නේ ''නරුමවාදයක්'' ලෙසිනුයි. ''ධර්මයේ'' නාමයෙන් පසුගාමී නරුමවාදයන් සාමාජගත කිරීමෙන් මිනිස් චින්තනයට, ජීවිතයට සිදු කරන්නේ බලවත් නපුරක්. සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද? සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද?

Saturday, June 3, 2017

අපේ ජීවිතය අයිති කාටද?

 පේරාදෙනිය සිසුවියගේ අනුවේදනීය ජීවිතයෙන් සමුගැනීමේ සිදුවීමත් සමග සමාජ ජාල තුළ හුවමාරු වූ අදහස් අතර ඒ දෙස මානුෂිකව හා බුද්ධිමත්ව බැලීමක් දක්නට තිබුණේ නෑ. ඇය අඥාණ තරුණියක් බවත්, ඒ වගේම ඇය මෙයින් පසු හතර අපායේ යන බවටත් අපහාස කර තිබුණා. පුද්ගලයෙක් ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කරන්නේ තමන්ට ඇති ප්‍රශ්නයට ඇති එකම විසඳුම එය ලෙසින් පෙනී යාම සහ විශාල අපේක්ෂා භංගත්වය නිසා.

එයට වෙනසත් පිළිගත හැකි විසඳුමක් තමන් තුළින් හෝ පිටතින් හෝ ඇති බවක් පෙනී යන්නේ නම් කිසිවෙක් මෙවැනි තීරණයකට යන්නේ නෑ. දිවිය තොර කර ගැනීම අපට කිසිසේත් අනුමත කරන්න බැරි වුණත් එය ඒ පුද්ගලයාගේ කෝණයෙන් බලා අවබෝධ කර ගැනීමට හැකියාවක් අපට තිබිය යුතුයි. එවැනි සංවේදී මිනිසුන් නොමැති වීම නිසාමයි මෙවැනි සිදුවීම් වාර්ථා වන්නේත්. මහා බුද්ධිමතුන් ලෙසින් බක පන්ඩිත කතා කියන පුද්ගලයන් තුළ ඇත්ත වශයෙන්ම ගත්විට මානව දයාව හෝ ගරුත්වය නැහැ.



ආදරය වනාහී මේ ලොව ඇති බලවත්ම වගේම සුන්දරතම හැඟීම. මෙහිදී පුද්ලයා සම්පූර්ණයෙන්ම පාහේ අනෙක් පුද්ගයා තුළ දිය වී යාමක් සිදු වෙනවා. එවැනි පසුබිමක ඒ ආදරය බිඳී වැටීම යනු ඒ පුද්ගයාගේ ආත්මීය විනාශයක් වනවා. එය කවරෙකුට වුණත් දරා ගැනීමට හැකියාවක් නෑ. එහෙත්, මෙසේ වන හැම කෙනෙක්ම ජීවිතය තොර කර ගැනීමට ක්‍රියා කරන්නේ නෑ. එයට හේතුව ඒ ඒ පුද්ගයාගේ සිතේ ස්වභාවය.

පවුලෙන් හෝ පිටත සමාජයෙන් හෝ වෙනත් සංවේදී ආදරයක් අර සිසුවියට ලැබෙමින් තිබුණේ නම් මේ අවාසනාවන්ත සිදුවීම වලකා ගන්නට තිබුණා. කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නට සිතන්නේ තමන් ලෝකය තුළ සම්පූර්ණයෙන්ම අසරණය, හුදකලාය කියන හැඟීමත් එක්ක.

පුද්ගලයෙක් දිවි නසා ගත් විට හතර අපායේ යන්නේය යන්න එය වැලැක්වීමේ අටියෙන් බිය ගැන්වීම සඳහා යොදන ලද්දක් මිස එහි කිසිදු සත්‍යතාවයක් තිබිය නොහැකියි. අනෙක් අතට අප කරන හොඳ නරක ප්‍රතිපල අප වෙතටම විවිධ ආකාරයෙන් පැමිණෙනවා මිසක ''අපාය'' නමින් ආයතනයක්ද ලොව පැවතිය නොහැකියි. එය වෙනම කතා කළ යුත් කරුණක්. දිවි නසා ගත් විට හතර අපායේ යන්නේ නම් ''නිවන්'' දැකීමට ක්‍රියා කරන විටද පුද්ගයා අපායගාමී විය යුතුයි. මන්ද එහිදී කරන්නේද එක් වරකට නොව සම්පූර්ණ සසර ගමනටම බලපාන පරිදි අපේ ආත්මය නසා දැමීම වන බැවින්. එසේ නම් බලවත්ම අපායගාමී ක්‍රියාව නිවන් දැකීමයි.

කළ යුතුව ඇත්තේ, පුද්ගලයන් දිවි තොර කර ගන්නට යොමු වන හේතූන් නැති කිරීම මිස බිය ගැන්වීම නොවෙයි. නීතිය තුළින් කරනු ලබන්නේද බිය ගැන්වීම තුළින් අධෛර්ය කිරීම පමණයි. එහෙත් මේ කිසිදු ක්‍රියා මාර්ගයක් තුළින් මේ ලෝකයෙන් සමු ගන්නා අසරණ හදවත් නැවැත්වීමට නම් හැකි වී නෑ.

Friday, December 16, 2016

රාගය, ආශාව සහ අතහැර දැමීම....

ආදරය පිළිබඳ ශෝචනීය සිදුවීම්වලදී ගැහැනු ළමුන්ගේ පැත්තෙන් ඇහෙන පොදු කතාව තමයි, එයා රාගය ඉටු කර ගන්නකම් පණ දෙන්න වගේ හිටියා. ඊට පස්සේ එයාට මාව එපා වුණා කියන එක. තරුණයන්ගෙන් ඇහෙන්නේ, ''එයාට මට වඩා ලස්සන, එහෙමත් නැත්නම් පෝසත් කොල්ලෙක් සෙට් වුණාට පස්සේ මාව වහ කදුරු වගේ වුණා'' කියන එක.

දැන් මේ මුල් සිදුවීම ගත්තම එතන තරුණයා තුළ තිබුණු හැඟීම තමයි රාගය මතින් නිර්මාණය වුණු බලවත් ආශාව. 'ආශාවේ' මූලිකම ස්වභාවය තමයි 'එය ඉටු වූ වහා අතෘප්තියට පත් වීම'. මේ නිසා හැමදාම 'ආශාව' තියා ගන්න නම් ඒක කවදාවත් 'පරිපූර්ණ' තත්වයට පත් වෙන්න දෙන්න හොඳ නෑ. අඩුවක් තියා ගන්න ඕනෙ... පරිපූර්ණ වුණු ගමන් ආශාව 'අතුරුදන්' වෙනව.

ඒ යුවතියන්ටත් පුලුවන් වුණා නම් පෙම්වතුන්ව සම්පූර්ණ තෘප්තියට පත් වෙන එක වලක්වාගන්න, ඔවුන්ට හැකි වෙන්න තිබුණා සමහර විට ඔවුන්ව රඳවා ගන්න. හැබැයි කාමය සන්සිඳවා ගෙන යන්නම එන අය නම් ඉටු වුණත් නැතත් නවතින්නේ නෑ. ඔවුන් එන්නේම යන්න බලාගෙන. ඉටු වුණත් යනවා. නොවුණත් යනවා.


ඉන්න කොල්ලට වඩා ලස්සන උගත් ධනවත් කොල්ලෙක් හමු වුණාම කෙල්ලට පරණ කොල්ලා පේන්න ගන්නේ හරියට ලොම් හැලුණු දිරා ගිය බල්ලෙක් වගේ. ඉතින් එයා ඉතාම ඉක්මනින් එයා වෙතින් පලා යනවා. ඒක වලක්වන්න බෑ. නමුත් යම් දවසක මේ අයගෙන් කොටසකට යථාර්ථය අවබෝධ වෙනවා. තවත් කොටසකට අවබෝධ නොවුණත් ජීවිතය නීරස වෙනවා.

ඒත් ඉතින් පරිපූර්ණ නොවී ආශාවක් තියා ගන්න නම් බාහිරින් එන බාධක තියෙන්න ඕන. විවාහය තුළ තියෙන සම්බන්ධය එපා වෙලා, අනියම් සම්බන්ධතා කියන එක බොහෝ අයට ඉතාමත් රසවත් අත්දැකීමක් වෙන්න මූලිකම හේතුවක් තමයි මේක. තව හේතු තියෙනවා. මොකද අනියම් සම්බන්ධයක් කියන්නේ ජීවිතයත් මරණයත් අතර අතුරේ යාමක්. ඒ නිසා කවදාවත් පරිපූර්ණ තත්වයට පත් වෙන්න අවස්ථාවක් නෑ... අපි හිතමු නිකන් හරි මේ දෙන්නා පැනලා යනවා කියලා විවාහ වෙන්න. ඉතාම ඉක්මනින් දෙන්නට දෙන්නව එපා වෙනවා.


දැන් බලන්න යුවතියන් බිකිනි ඇඳගෙන පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙනවා. ජිම්නාස්ටික් කරනවා. ඒව දකින පිරිමින්ට බොහෝ විට සෙක්ස් හැඟීම් ඇති වෙන්නේ නෑ. ඒත් යාන්තම් සායක් ටිකක් කොට වුනාම, බ්ලවුසයක අත් කොට වුණාම, කර පුළුල් වෙලා පියයුරු යාන්තම් පේන්න ගත්තම ඔවුන් බොහෝ කලබල වෙනවා. හැඟීම් පාලනය කරගන්න බැරි පිරිමි මෙහිදී කාන්තාවන්ගේ ඇඳුම් පාලනය කරන්න සදාචාරවාදී නිර්නායක ඉදිරිපත් කරන්න ගන්නවා. මෙතනදී වෙන්නෙත් අර දේමයි. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී අපේ ආශාව කියන එක පරිපූර්ණ තෘප්තියට පැමිනෙනවා. ඒ නිසා එය ඒ හාම අතුරුදන් වෙනවා. ඒත් දෙවන අවස්ථාවේදී ආශාවෙන් ඉතාම ස්වල්පයයි සපුරා ගන්න ලැබෙන්නේ. ඒ නිසා ආශාව කියන දේ තව දුරටත් වර්ධනය වෙනවා.

එතකොට, කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් නිල් චිත්‍රපට මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ කොහොමද කියලා. එතන පදනම් වෙන්නේ රාගය මත. එනම් ලිංගික හැඟීම. ඒවා තුළ කාන්තා ශරීරය පදනම් කරගත් ශුංගාරය කියන දේ නෑ... සංසර්ග කේන්ද්‍රීයත්වය පමණයි දකින්න තියෙන්නේ. රාගය කියන එක හෝමෝන තියෙනකම් උත්පාදනය වෙන හැඟීමක්. ඒ වගේම තමයි ඒක අපි විසින් භෞතිකව අත් විඳින අත්දැකීමක් නෙවි. දෘෂ්‍යමය අත්දැකීමක්. ඒක අපි විඳින්න්නේ ඔලුවෙන්. ඒ කියන්නේ මනසින්. හැම වෙලාවේම අපි ඔලුවෙන් මවා ගන්න අත්දැකීම භෞතික අත්දැකීමට වඩා උත්කර්ෂවත්. මේ නිසා තමයි සමහර අය හැඟීම් පහල කර ගන්න කියලා නිල් චිත්‍රපටයක් ප්ලේ වෙන්න තියලා රමණයේ යෙදෙන්නේ. මොකද සැබවින් අත්දකින දේ තුළ අර බලාපොරොත්තු වෙන රසවත් බව නෑ.


අනෙක් එක නිල් චිත්‍රපට කියන්නේ විශාල කර්මාන්තයක්. එක් දිනක් තුළ විශාල ප්‍රමාණයක් ලෝකයේ නිෂ්පාදනය වෙනවා. ඒ තුල ලමුන් යොදා  ගැනීම, විකෘති ක්‍රියා ඉතාමත්ම බහුලයි. ඉතින් මේ තුළින් පෙන්නුම් කරන්නේ මොකක්ද... අර ආශාවේ න්‍යායම තමයි. එකක් බැලුවාම ඒක එපා වෙන නිසා අලුත් එකක් නිෂ්පාදනය වෙනවා. ඒවත් එපා වෙනකොට විකෘති ක්‍රියා තුළට යොමු වෙනවා. මේකේ කෙලවරක් නෑ.

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝක ස්වභාවය මෙහෙම නම් ජීවිතය කියන්නේ හරිම නිෂ්පල දෙයක්නේ කියලා. නෑ එහෙම නෑ. ජීවිතය බොහොම අර්ථවත් උත්කර්ෂවත් දෙයක්. ඒත් ඒක ලඟා කර ගන්න නම් අපේ සිත් ප්‍රභාශ්වර වෙන්න ඕන. පරාර්ථයෙන්, ආදරයෙන් සිත් පිරී යන්න ඕන. එහෙම සිතක් ලඟ අතෘප්තිය කියන වචනයට ලැගුම් ගන්න අවසර නෑ.



හාමුදුරුවරු බණට කියනවා, ලෙඩ වෙන නිසා, මහලු වෙන නිසා, මරණයට පත් වෙන නිසා මේ ජීවිතය අසාරයිලු. ඒ නිසා ජීවත් වෙන එක නතර කර ගන්නලු. මේ තුළ ඇත්ත වශයෙන්ම තියෙන්න අධික රාගය සහ ආශාවත්, ඒවා රිසි පරිදි ඉටු කර ගන්න ඉඩ ලැබෙන්නේ නැතිනම් එහෙම ජීවිතේ මට ඕනෙම නෑ කියන ද්වේශය නෙවිද... ලෙඩ වෙන්නේ නැති, මහලු වෙන්නේ නැති, මරණයට පත් වෙන්නේ නැති ජීවිතයක් තියෙනවා නම් නිවන ඕනේ නෑ. එහෙම නැති නම් ජීවිතය එපාම එපා....

Friday, December 9, 2016

කාන්තාවකට බුදු වෙන්න බැරිද....?

කාන්තාවකට බුදු වෙන්න බැහැ, එයා පිරිමි ආත්මයක් ලබලා ඕනි එහෙම වෙනවා නම් වෙන්න... මෙහෙමලු ධර්මයේ සඳහන් වෙන්නේ. ඒත් ඒ සඳහා මොනවා හරි හේතුවකුත් දක්වලා ඇති. ඒක හොයා ගන්න උත්සාහ කළත් මේ අවස්ථාවේ නොහැකි වුණා. ඒ හේතුව හරියටම නොදැන මේ ගැන කතා කරන එක නිශ්ඵලයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒක එහෙම නොවෙන එක වලක්වන්න අපි වෙනත් දිශාවකින් ඒ හේතුව හොයන්න ප්‍රවිශ්ට වෙමු. කිසියම් තැනකට ලඟා වෙන්න එකම මගක් නෙවිනේ තියෙන්නේ... මඟවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේම අලුත් මගක් හදාගෙනත් පුළුවන්.

ධර්මයේ සඳහන් වෙන ආකාරයට, බුදුන් වහන්සේ කාන්තාවට පැවිදි වීම සඳහා අවස්ථාව දීමටවත් මුලින් කැමති වෙලා නැහැ. දැන් සිදුහතුන් ජීවිතය කැප කරලා සෙව්වේ මොකක්ද... ජීවිතයේ පරම විමුක්තිය. ඒක අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේට උවමනා වුණේ සකල සත්වයා වෙත පතල මහා කරුණාවෙන් ඒ තමන් වහන්සේ අවබෝධ කරගත් සත්‍යය හුදී ජනයාගේ ජීවිත වලටත් අවබෝධ කර දීලා ඔවුන්ටත් විමුක්තිය අත් කර දීම. මෙතනදී කාන්තාවත් ඒ විමුක්ති මග ගමන් කිරීම සඳහා උත්සාහ ගත්තා.

''බුදුරදුන් කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩ සිටියයදී මහා ප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ කරා එලඹ වැඳ එකත්පසක සිට කාන්තාවට බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙන මෙන් ඉල්ලා සිටියාය. බුදු රජාණන් වහන්සේ එම ඉල්ලීම පළමු, දෙවන හා තෙවන වරටත් ප්‍රතික්ෂේප කළහ. එහිදී උන් වහන්සේ දේශණා කළේ ''තථාගත ශාසනයේ කාන්තා පැවිද්ද තමන්ට රුචි නොවන බැවින් ඒ කැමැත්ත අත්හරින්න'' යනුවෙන්.

''බුදු සසුනේ කාන්තාව පැවිදි වීම වනාහී වැඩුණු ඇල් වී කෙතක බොල් වී වැඩීමක්'' ලෙසින් උපමා කළ බව චුල්ලවග්ග පාලියේ භික්ඛු නික්ඛන්ධකයේ දැක්වෙනවා.


කොහොම වුණත් මහා ප්‍රජාපතී ගෝතමිය සිය උත්සාහය අත්හැරියේ නෑ. ඇය, බුදුන් වහන්සේ ඊලඟට වස් වැඩ සිටි විශාලා මහනුවර කූඨාගාර ශාලා විහාරයට ශාක්‍ය කෝලිය කුමාරවරුන්ගේ දෙරට බින්දෑවරුන් පන්සියයක් කැටුව, කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර ගෙන ඉතා දුක සේ සැතපුම් ගණනාවක් මග ගෙවාගෙන උන්වහන්සේ හමු වීමට පැමිණියා.

යොදුන් පනස් එකක් මග ගෙවාගෙන ආපු නිසා මේ අයගේ ඉදිමිලා තිබුණා. ශරීර දදියෙන් තෙත් වෙලා. හොඳටම වෙහෙසයි. මේ නිසා මේ පිරිස විහාරයට ඇතුල් නොවී දොරටුව අබියස ශෝකීව සිටියා. ආනන්ද හිමියන්ට තමන් පැමිණි අරමුණ ප්‍රජාපතී ගෝතමිය පැවසුවා. ඉතින් ආනන්ද හිමියන් මේ බව බුදු හිමියන්ට සැල කළාම උන්වහන්සේ කලින් වගේම එම ඉල්ලීම එක හෙළා තෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව සහ පෙරැත්තය නිසාම මහා ප්‍රජාපතිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදි වීම සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා. හැබැයි කොන්දේසි සහිතව. ඒ, ''අෂ්ට ගරු ධර්ම'' නම් කොන්දේසි 8ක් යටතේයි.


1. උපසම්පදාවෙන් වසර 100ක් ගත වූ මෙහෙණියක වුවද එදින උපසපන් වූ භික්ෂුව දැක වැඳුම් පිදුම්, හුනස්නෙන් නැගිටීම් ආදී ගෞරව කළ යුතුය.

2. භිෂුණිය, තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භිෂුවක නොමැති ප්‍රදේශයක වූ මෙහෙණවරක වස් නොවිසිය යුතුය.

3. අඩ මසක් පාස මෙහෙණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාල කළ යුතුය.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය විසින් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන්ගේ අවවාද පිළිගත යුතුය.

මේ කොන්දේසි ටික දිහා බැලුවාම ඉතාම පැහැදිලිව පේන සරල කාරණය තමයි කාන්තාව පාගාගෙන සිටීමේ වුවමනාව. කෙනෙක්ට තව කෙනෙක් පාගා ගන්න වුවමනා වෙන්නේ හේතු දෙකක් නිසා. එකක් එයාව සූරා කෑම. අනෙක එයා තමන්ට අභියෝගයක් වීම. භික්ෂු සසුනේ සම්ප්‍රදාය තමයි උපසපන් වූ දින පිලිවෙලට අනුව ඔවුනොවුන්ට ගරු සත්කාර කිරීම. ඒත් කාන්තාවට පමණක් එය අහිමි කරලා උපසම්පදාවෙන් වසර 100ක් ගත වුනත් අද උපසපන් වූ භික්ෂුවට වැඳිය යුතු බවට දාන කොන්දේසිය මොන තරම් නිර්ලජ්ජිත එක්කද... මේ වගේ කොන්දේසියක් බුදු කෙනෙක් ඉදිරිපත් කරනවා නම් බුද්ධත්වය කියන්නේ කුමක්ද කියන පැනය මතු වෙනවා.


ඒ වගේම කෙනෙක් තව කෙනෙක්ට වඳින්නේ, ආසනයෙන් නැගිටින්නේ එයා කෙරෙහි ඇති ගරුත්වයෙන්. ඒක ගරු කරන්නාගේ හදවතින් පැමිණිය යුතු දෙයක්. මට ගරු කරපන් කියා කෙනෙක් එහෙම ඉල්ලනවා නම් ඒ පුද්ගලයා කවරෙක්ද යන්න කියන්න ඕනේ නැහැනේ. මේ වගේ තිරස්චීන අදහස් බුදු දහම තුළට ඇතුලත් වී තිබීමෙන් පැහැදිලි වෙන්නේ එය කොයි තරම් නම් දුරකට අනුගාමිකයන් විසින් විකෘති කර තිබෙනවාද යන්න.

දහමට, බුදුන් වහන්සේට කළ හැකි ඉහළම නිගරු කිරීම් කර ඇත්තේ වෙනත් මිත්‍යා දෘෂ්ටිකයන් විසින් නොව ඒ මග යන්නේ යයි කියමින් තමන් එහි උරමකරුවන් ලෙසින් ක්‍රියාකරමින් මේ විදියට දහම විකෘති කළ පුද්ගලයනුයි.

''ගෙදර බුදුන් අම්මා'' යයි ධර්මයේම සඳහන් වෙනවා. ''අමා මෑනි'' ලෙසින් බුදු හිමියන්ව හඳුන්වා තිබෙනවා. ඉතින් එහෙම ගරුත්වයක් කාන්තාවට එක් පසෙකින් දෙන අතරේ මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද... ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් මෙහිලා හේතු වී තිබෙන බව කියන්න පුළුවන්.

අනෙක් අතට, බුදු හිමියන්ට කාන්තාවට විමුක්තිය අත් කර දිය යුතු බවට අවබෝධ කරවන්න, මාර්ග ඵලයක්වත් ලබා නැති ආනන්ද හිමියන් වුවමනා වුණාද... කතාවේ හැටියට, ආනන්ද හිමියන් නොවෙන්න කාන්තාව කියන මිනිස් අර්ධය සඳහා විමුක්ති මාර්ගයක් නෑ කවදාවත්. ඒ සඳහා ඇය අනිවාර්යෙන්ම පිරිමි ආත්මයක් ලබන්න ඕනේ... ඒත් කාන්තාවක් තිරිසන් ආතමයක උපත ලැබුවත් ඒත් කාන්තාවක් ලෙසින්ම බවට ධර්මයේ සඳහන් වෙනවා කියලා ධර්ම දේශනාවකදී සඳහන් වෙලා තියෙනවා. ඒ විදියට බැලුවාම ආනන්ද හිමියන් නොවෙන්න කවදාවත් කාන්තාවට විමුක්තියක් නෑ.


සකල සත්වයාට උපත දෙන, මහ පොළවේ ජීවත් වෙන්න හයි හත්තිය ලැබෙනකල් මහා කැප කිරීමකින් හදා වඩන, බුදු වරයෙක්ටත් උපත දෙන, කාන්තාවට විමුක්ති මාර්ගය ඇහිරෙනවා සම්පූර්ණයෙන්ම ආනන්ද හිමියන් නොවෙන්න... මට කල්පනා වෙන්නේ මේ වගේ කතා කියූ අය කුමන අපායක ඇතිද යන්න....

Tuesday, December 6, 2016

නිවන සහ සිය දිවි නසා ගැනීම....

 'නිවන' කියන්නේ අපේ පැවැත්ම සසරටම බලපාන පරිදි නවතා දැමීම. එතකොට දිවි නසා ගැනීම කියන්නේ අපේ මේ ජීවිතය පමණක් අවසන් කර ගැනීම. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ, ධර්මය තුළත් නීතිය තුළත්, ආචාර ධර්ම තුළත් දිවි නසා ගැනීම පාපයක්, අපරාධයක්, නොකළ යුත්තක් ලෙසින් සඳහන් වෙද්දී, 'නිවන', පරම සැප ඇති ඒ වගේම මේ ලෝකයේ ඇති උත්තරීතරම දෙයක් ලෙසින් ප්‍රකාශ වීම.

දිවි නසා ගත්තොත් අහිමි වෙන්නේ මේ ජීවිත කාලය පමණයි. නැවත අලුත් තැනකින්, අලුත් ආකාරයකින් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒත් නිවන් දැක්කොත් සහමුලින්ම අපේ ජීවිතය එතනින් අහිමි වෙනවා. ඉතින් එහෙම බලනවා නම් විශාලතම අපරාධය වෙන්නේ නිවන් දැකීම නෙවිද...

කෙනෙක් දිවි නසා ගන්න හිතන්නේ මේ ජීවිතයේ දුක් පීඩාවන් දරා ගන්න බැරිව. කෙනෙක් නිවන් දකින්න හිතන්නේ මේ ජීවිතයේ නොව, හැම ජීවිතයකම වාගේ දකින්න ලැබෙන දුක් කරදර විඳින්න තියෙන අකමැත්තෙන්. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවාද..?


ඉතින් මෙහෙම බැලුවාම හරි නම් මිනිස්සුන්ට දිවි නසා ගැනීම සඳහා හැම උපකාරයක්ම කරන්න ඕනේ... දිවි නසා ගැනීම සඳහා පහසුකම් ව්‍යාප්ත කරන්න ඕනේ... ඒත් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ ඇයි....?

අපි හිතමු බැරි වෙලාවත් සමාජයෙන් අඩක් හෝ ආසන්න පිරිසක් නිවන් දකින්න සමත් වෙනවා කියලා. එහෙනම් අනිවාර්ය ලෙසම නීතිය දේශපාලනය මැදිහත් වෙලා මේ නිවන් දකින එකටත් තහංචි පනවන්න අනිවාර්ය ලෙසම  කටයුතු කරනවා. මොකද සමාජයේ පැවැත්ම එතනදී අර්බුදයට යන නිසා. නිවන් මග යන්න අවම වයස් සීමාව අවුරුදු 60 හෝ 65 ඉක්මවන්න ඕනේ කියලා නීතියක් අනිවාර්ය ලෙසම එනවා. නිවන් මග කියා දෙන අයත් ඒක අනුමත කරාවි තමන්ට උපාසක උපාසිකාවන් කියන පිරිස නැති වෙලා යන හින්දා...

සමාජයෙන් වැඩි පිරිසක් නිවන් දකින්න ගියොත් උපත් අනුපාතය එන්න එන්නම අඩු වෙන නිසා නිවන් දැකීම උදෙසා වන සීමාවන් තව තවත් පුළුල් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට සම්පූර්ණයෙන්ම තහනම් කරන්න වුණත් ඉඩ තියෙනවා. ඒත් දැන් අපි කතා කරන නිවන ලඟා කරගන්න බොහොම අසීරුයි. නිවන් දැක්ක කෙනෙක් හොයා ගන්නත් නෑ... නිවන් මග දන්න, ඒ ගැන කියා දෙන, ඒ මග යන අය පමණයි ඉන්නේ. ඒ නිසා සමාජයට කිසිම බලපෑමක් නෑ. ඒ නිසා එවැනි ප්‍රතිවිරෝධයක් එන්නේ නෑ.

හැබැයි මෙතනදී තව දෙයකුත් වෙන්න පුලුවන්. ඒ තමයි සමාජය තුළ නිවන කියන එක අධි තක්සේරුවකට භාජනය වෙලා ඒක ජීවිතයේ ලැබිය හැකි පරම විමුක්තිය ලෙසින් පෙනී යනවා නම් ඒ සමාජය අතුරුදන් වෙලා ගියත් කමක් නෑ කියලා සම්පූර්ණයෙන්ම එයට ආධාර අනුබල ලැබෙන්නත් පුළුවන්.


දිවි නසා ගැනීම පාපයක් වෙලා, දුර්වලකමක් වෙලා, නිවන් දැකීම ලොකුම කුසලයක්, උත්තරීතරකමක් වෙන තැන මොකක්ද... ඒ තැන තමයි, නිවන් දකින්න නම් අපේ සිත පාරිශුද්ධ වෙන්න ඕනේ කියන තැන. ඒ කියන්නේ ලෝබ, ද්වේශ, මෝහ තුනෙන් අපේ සිත මිදෙන්න ඕන. එතකොට, සසර ගමන සඳහා වන ශක්තීන් ඇන හිටීමක් සිදු වෙන බවයි සඳහන් වෙන්නේ. නමුත් කෙනෙක් දිවි නසා ගන්නේ ලෝබ, ද්වේශ, මෝහ තුනම එක් වෙලා වෙන්න පුලුවන්.

ඉතින් කෙනෙක් ඉපදීමට, ලෙඩ වීමට, මරණයට පත් වීමට, වියපත් වීමට, ප්‍රියයන්ගෙන් වෙන් වීමට බියෙන් නිවන් දකින්න හිතනවා නම් එතන තියෙන්නෙත් ලෝභ, ද්වේශ, මෝහ තුනම නෙවිද...? මේ දේවල් උපේක්ෂාවෙන් දරාගෙන ජීවිතයට මූණ දෙන්න බැරිකම තුළ තියෙන්නේ අධික රාගය, තන්හාව, ද්වේශය සහ මෝහය.

අපේ සිත් තුළ, අලෝභය, අද්වේශය, අමෝහය ඇති වෙලා නම් ඒ ජීවිත තුළ පුදුමාකාර නිවීමක්, ශාන්තියක්, සැනසීම, ප්‍රභාෂ්වර බවක්, ප්‍රඥාවන්ත බවක් දිස් වෙන්න ඕන නේද... සිත් තුළ ආදරය, කරුණාව දයාව උතුරලා යන්න ඕනේ.... ඒත් නිවන් මග ගැන අපට කියා දෙන බොහෝ අය තුළත්, ඒ මග ගමන් කරනවායයි කියන බොහෝ අය තුළත් දැක ගන්න තියෙනවාද ඒ ලක්ෂණ....


ඒ වෙනුවට දකින්න තියෙන්නේ සාමාන්‍ය අයටත් වඩා පහළ වැටුණු මානසික තත්වයන්. සමහර අය විකෘති ලිංගික ආශාවෙන් පෙළෙනවා. තවත් අය වෙනත් ලිංගික නියුරෝසීය රෝගීන්. තවත් අය ජීවිතය හොඳටෝම කලකිරිලා. ඔවුන්ගේ ජීවිත තුළ සතුටක් කියා දෙයක් ඇත්තේම නෑ. තවත් අය අත්හරිනවා යයි කියමින් දේවල් බදා ගනිමින් සිටිනවා. බලය වෙනුවෙන් උමතු වී කටයුතු කරමින් සිටිනවා.  සම්පූර්ණයෙන්ම දෙබිඩි ජීවිත තමයි මේ අය ගත කරමින් සිටින්නේ. ඒ අනුව අපිට පේනවා මොකක්දෝ වරදක් මෙතනදී සිදු වී ඇති බව. ඇත්තටම මොකක්ද අපිට වැරදුණු තැන...?

ඒ වැරදුණු තැන තමයි, ජීවිතයට බියෙන් හෝ අධික රාගයෙන් ජීවිතය කිසිම දුකක් කරදරයක් නැතිව පරිපූර්ණ සැපයෙන්ම ගෙවිලා යන්නේ නැති නම්, ඒ කියන්නේ ඉපදීම දුකක් වෙන්න බෑ, ලෙඩ දුක් හැදෙන්නම බෑ, වියපත් වෙන්න බෑ, මැරෙනවා නම් ඒ අවුරුදු දහස් ගණනක්වත් ජීවත් වෙලා, ඔන්න ඔය ආකාරයෙන් ලැබෙන්නේ නැති නම් මට ඒ ජීවිතය එපා, ඊට වඩා හොඳයි මේ ඉපදීම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක කියලා හිතලා කටයුතු කරන එක. නමුත් මේ මගින් කවදාවත් අපිට අපේ සිත් පාරිශුද්ධ බවට පත් කර ගන්න බෑ තව දුරටත් අපවිත්‍ර වෙනවා හැරෙන්න.

එහෙනම් මොකක්ද නිවැරදි මඟ... ඒක තමයි අපේ සිත පරාර්ථයෙන් පුරවා ගන්න එක. ඒ තුළ ලෝභ, ද්වේශ, මෝහ වලට හේතු වෙන බොහෝ සිතිවිලි ක්ෂය වී යනවා. ඉන් පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් දිගටම පැවැත්ම තුළම ඉඳිමින් එහි ලඟා කරගන්න පුළුවන් උත්තරීතරම තත්වයක් වෙතට ගමන් කරනවාද, එහෙමත් නැත්නම් උපේක්ෂාවෙන් යුතුව පැවැත්ම නතර කිරීමට ක්‍රියා කරනවාද කියන එක. අපි කවුරුවත් දන්නේ නෑ අපේ සිත් ඉතාම පවිත්‍ර බවට පත් කර ගත්තොත් පැවැත්ම තුළ ලඟා කර ගන්න පුළුවන් උත්තරීතර තත්වය, විඳීම මොකක්ද කියන එක... දිව්‍ය, බ්‍රහ්ම වැනි පැවැත්මවල් ඒ වගේ ජීවිතවලට සාමාන්‍යයෙන් නිදසුන් හැටියට දැක්වෙනවා.


නමුත් අපි ඒවායේ ජීවිත විඳීම, සිතේ පවත්නා ශාන්තිය, සතුට කොයි වගේ වෙන්න පුළුවන්ද කියලා හොයා බලා නෑ... ඒ වගේම නිවනටම ප්‍රමුඛස්ථානය දීම නිසා, අපේ සිත් පැවැත්ම තුළ කොයි තරම් උත්තරීතර දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක සම්පූර්ණයෙන්ම අවධානයෙන් ගිලිහිලා තියෙනවා. ඒ ගැන කිසිම කෙනෙක් සොයා බලන්නේ නෑ.  ජීවිතයේ විමුක්තිය පිළිබඳ ගමන් මාර්ගයේදී කෙනෙක් නිවන හෝ පැවැත්ම කියන දේ තෝරා ගන්න ඕනේ ඒ දෙකම ගැන අවබෝධයෙන්.