Sunday, July 29, 2018

ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස..... - The Theory for A Extreme Happiness Life

ආත්මාර්ථය යන්න විවිධ සංස්කෘතික, ආගමික සන්දර්භයන් මත විවිධ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. ඒත් අපේ මේ හැදෑරීම් සන්දර්භයට සාපේක්ෂව සැලකූ විට, එය මේ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. එය බොහෝ දුරට ඒ සඳහා නිවැරදි අර්ථ දැක්වීමද වේයැයි සැළකිය හැකියි.

බටහිර මනෝ විද්‍යාව අනුව සැලකුවොත් ''ආශාව'' යන්න සැලකෙන්නේ එය පුර්ණ වශයෙන් සපුරා ගැනීමට හැකි වුවොත් ඒ හා සමගම ''අතුරුදන්'' වන දෙයක් ලෙස. එහි තේරුම, තව දුරටත් ඒ ''ආශාව'' ආශාවක් ලෙසින් යම් කාලසීමාවකට අපේ සිතේ ඇති නොවන බව. එසේ නම් ''ආශාවක්'' යළි යළිත් අපේ සිතේ ඇති වන්නට නම් එය පූර්ණ වශයෙන් තෘප්ත වීමට කිසියම් ''බාධාවක් හෝ බාධාවන් සමූහයක්'' අප ඉදිරියේ තිබිය යුතුයි.


එවිට ''ආශාව'' අඛණ්ඩව එක දිගටම තබා ගැනීමට හැකි වෙනවා. විවාහක අයට තම සහකරුවා ඉතා ඉක්මනින්ම එපා වන්නේත් අනියම් සම්බන්ධයකට අයත් සහකරුවා ඉතා නැවුම් ලෙසින් හැම මොහොතකම දිගටම හැඟී යන්නේත් මේ සිද්ධාන්තය නිසයි. විවාහක අයට බොහෝ දුරට ''බාධාවන්'' ඇත්තේම නැති තරම්. එහෙත් අනියම් සම්බන්ධයක් කියන්නේ මරණය අතේ තියන් ඉන්නවා වගේ වැඩක්.


බෞද්ධ දර්ශනයට අනුව නම් ආශාවන් කවදාවත් තෘප්තියෙන් අවසන් වන්නේ නෑ. සෑහීමකට පත් වන්නේ නෑ. ඒ වෙනුවට තව තවත් ආශාව පසු පස්සේම ගමන් කරනවා. එය සපුරා ගත හැකි නව ආකාර ගැන සොයනවා. ඇත්තටම මේ කියන්නේ අර අපි කළින් කතා කළ අවස්ථාවේම ඊලඟ පියවර. එනම්, ආශාවක් සම්පූර්ණයෙන් සපුරා ගත් විට සිතේ ඇති වන අතෘප්තිය හේතුවෙන් එම ආශාවේම නව ආකාරයක්, දිගුවක්, නව සංස්කරණයක් අපේ සිත ඉල්ලා සිටිනවා. එයත් සම්පූර්ණයෙන් තෘප්ත වුවොත් එහිත් නව ආකාරයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ''ආවේගයන්'', ''ආතතීන්'' කියන්නේ විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ජාන මගින් ඇති කරන හෝ අපට පහසුවෙන් සපුරා ගැනීමට හැකි නොවීම නිසා හෝ ඇති වන හැඟීම් විශේෂයක්. මේ නිසා අප තුළ ''හීනමානයක්'' ඇති වනවා. මේ නිසා අපට ආවේගයන්, ආතතීන් සපුරා ගත් විට ඇති වන්නේ ආවේගයන් සමනය වීමෙන් ඇති වන සහනය හෝ ''වාඩුව'' ගැනීම නිසා ඇති වන ආකාරයේ සතුටක්. එය ''ප්‍රමෝදය'' ලෙසින් හඳුන්වන්න පුළුවන්. මේ නිසා ආවේගයන් සපුරා ගැනීමට එදිරි සාධක වෙනුවෙන් පළි ගැනීමේ චේතනාවක් අපේ සිතේ ඇති වෙනවා.


 ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව, ආශාවන් යන්න, අපේ විවිධ ''වේදනාවන්'' දුරු කර ගැනීමට දරන උත්සාහයක් මිස ''සැබෑ විඳීමක්'' නොවන බවද පෙනවා දෙනවා. නිදසුනක් ලෙස කුසගින්න නම් වේදනාව දුරු කර ගැනීමට අප ආහාර වෙනුවෙන් ආශා කරනවා. ජානවලින් මෙහෙයවන ආවේගයන් හේතුවෙන් ලිංගිකාශාවන් අපේ සිතේ ජනිත වෙනවා. එම ආවේගයේ වේදනාවෙන් දුරු වීමට අප එම සම්බන්ධයකට යොමු වෙනවා. එවිට එම ආවේගය සමහන් වීම හේතුවෙන් අපට දැනෙන ''සහනය'' අප ''විඳීමක්'' ලෙසින් වරදවා තේරුම් ගන්නවා.

මේ කරුණු සියල්ල මතකයේ තබාගෙන අපේ නව සිද්ධාන්තය වෙත යොමු වෙමු. එනම්,

ආත්මාර්ථකාමය පදනම් වෙමින් අපේ සිතේ ඇති වෙන්නේ ආවේගයන් සහ ආතතීන් වන අතර ඒවා අප විසින් පොදුවේ ''ආශාවන්'' ලෙසින් නාමකරණය කරගන්නවා. එහෙත් ආවේගයන් සහ ආතතීන් තෘප්ත කර ගැනීමට යාමෙන් අපට ''විඳීමක්'' ලබා ගත නොහැකි අතර එම ආවේගයන් යම් මොහොතකට සමහන් වීමෙන් ඇති වන ''සහනය'' පමණක් අත්දකිනවා.

ආත්මාර්ථය පදනම් කරගත් සිතක ඇති වන ආවේගයන් හෝ ආතතීන් සමහන් කර ගැනීමට යාමේදී ඒ පුද්ගලයා සිතන්නේ එය කෙසේ හෝ කුමන අයුරකින් හෝ සපුරා ගන්නා ආකාරය පමණයි. එහිදී එයට සම්බන්ධ වන කිසිදු සාධයක යහ පැවැත්ම කෙරේ ඔහුගේ අවධානය යොමු නොවෙයි.


එහෙත් පරාර්ථය පදනම් කරගත් පුද්ගලයාගේ සිතේ ආශාවක් ඇති වූ විට ඔහුගේ ඊට සම්බන්ධ සෑම සාධකයක් ගැනම අවධානය යොමු වෙනවා. ඒ හැම සාධකයකම යහ පැවැත්ම කෙරෙහි ඔහුගේ සිත නිසගයෙන්ම යොමු වන නිසා. එවිට ඔහුගේ ආශාව තෘප්ත කරගැනීම සාමූහික එකක් වනවා. හුදු ආවේගයන් පහ කර ගැනීමක් නොවෙයි. මේ නිසා මේ එය ''විඳීමක්'' බවට පත් වෙනවා. එනම් එය, ආවේගයන්ට දක්වන ප්‍රතිචාරයක් වෙනුවට, අපම විසින් උත්පාදනය කර ගන්නා නව සොඳුරු හැඟීම් විශේෂයක් බවට පත් වෙනවා. ඒ නිසා එයට අර ''ආශාවේ පොදු න්‍යාය'' සත්‍යයක් වන්න්නේ නෑ. මේ නිසා ඔහුගේ විඳීම දිගින් දිගටම එකම ආකරයේ එකක් වුවත් එය ඒකාකාරී නීරස එකක් බවට පත් වන්නේ නෑ. එහෙත් ආවේගයන් සමහන් කර ගැනීමට යන්නාට එකක් පසුපස එකක් නව නව ආකාරයේ අත්දැකීම් හිමි කර දුන්නත් ඔහුට කිසි විටකවත් ''සබෑ සතුට'' හෝ ''විඳීම'' හමු වන්නේ නෑ.

යමක් ''විඳීමක්'' බවට පත් වීමට නම් එය ''ආදරය'' සහ ''පරාර්ථය'' මත පදනම් විය යුතු වෙනවා. එසේ නොමැතිව ආත්මාර්ථය මතින් පදනම් වේ නම් එය හුදු ආවේගයන්, ආතතීන් සමහන් කර ගැනීමක් පමණයි. එතැන ''විඳීමක්'' නැහැ.

ආදරණීය සිතක් තුළ ඇති වන ''විඳීම'' වනාහි හැම විටම නව උත්සවකාරී දෙයක්. එහි පිළුනු වීමක් නෑ. නිතරම නැවුම්. ඒ ඔහු නිතරම අනෙකා සමගින් ආදරණීය ලෙසින්, සොඳුරු ලෙසින් සම්බන්ධ වන නිසා. එහෙත් ආත්මාර්ථකාමී සිතක් තුළ ඇති වන ආශාව වනාහි ස්වකේන්ද්‍රීය එකක්. අවශෝෂණීය එකක්. එය උරා ගැනීමෙන් අවසන් වන එකක්. එහි නව නිමැවුමක් නෑ. හරියට විශ්වයේ තියෙන කළු කුහරයක් වගේ.


ආශාවක් කියන එකේ තේරුමම, එය තවමත් අප වෙත නොලැබීම නිසා ඇති වන ආවේගයක් යන්න. ඉතින් එය ලැබුණු පසුව තව දුරටත් එයට ''ආශාව'' යන්න සත්‍යයක් වන්නේ නෑ. නොලැබීම නිසා ඇති වන හැඟීම, ලැබුනු පසුව තව දුරටත් පැවතීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙත් ආදරණීය පුද්ගලයෙක් තමන් තුළ ඇති වන ආශාව, වෙනත් තත්වයක් බවට පත් කර ගන්නා නිසා ඔහුට අර නොළැබීමේ න්‍යාය අදාළ වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින්, අඩු වශයෙන් එය උත්පාදනය වන පුද්ගලයාගේවත් යහපැවැත්ම ඇති කරන්නේ නෑ. එය පුද්ගලයාව ගෙන යනු ලබන්නේ මිරිඟුවක් දෙසට වන අතර විනාශයේ අවසානය වෙතටයි. නිදසුනක් ලෙස අනෙකාව සූරාකෑම තුළින් ධනවත් වන පුද්ගලයෙක් සලකන්න. ඔහු ඒ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරන්නේ ආශාවේ වහලෙක් බවට පත් වෙමින්. ඒ තුළ ඔහුට අහිමි වන සතුට සොයා යමින් ඔහු විවිධ අත්හදා බැලීම්හි නිරත වන නමුත් කිසිදා ආතතීන් සමනය වීමක් විනා සැබෑ සතුට හමු වීමක් සිදු වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින් එක් තැනක පැවැත්මක් වෙනුවෙන් තවත් පැවැත්මන් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීම සිදු වෙනවා. ඒ නිසා එතැන මූලික ප්‍රතිඵලය ''විනාශය''. එහෙත් පරාර්ථය තුළ සාමූහික, විශ්වීය පැවැත්මක් අරමුණු කෙරෙනවා. තහවුරු කෙරෙනවා. මේ නිසා එතැන ප්‍රතිඵලය, ''පැවැත්ම'', ''විඳීම''.


ඒ වගේම පරාර්ථය සහ ආදරය කියන්නේ අනෙකෙකුගේ පැවැත්ම වෙනුවෙන් සවිඥානික ලෙස සහ ස්නේහයෙන් යුතුව සිදුවන මැදිහත් වීමකට. එය, විඥානය විසින් උත්පාදනය කළ උතුම්ම සිතිවිල්ලයි. සිත, මේ සමස්ත විශ්වයේ, ද්‍රව්‍යයේ බලවත්ම දෙය වන විට, ඒ බලවත්ම දෙය විසින් නිපදවූ බලවත්ම හා උත්තරීතරම දෙය පරාර්ථය සහ ආදරයයි. සිත, මේ විශ්වයේ බලවත්ම දෙය වන්නේ, ද්‍රව්‍යය විසින් නිමවී, ඒ තමන්ව නිමවූ ද්‍රව්‍යය දෙසම ආපසු බැලීමට හැකි එකම දෙය එය වන නිසයි.

No comments:

Post a Comment