Showing posts with label ආදරය. Show all posts
Showing posts with label ආදරය. Show all posts

Sunday, March 24, 2019

එස්.එම්.එස් එකක වටිනාකම කීයද? (What is the value of a SMS?)

අනුරුද්ධ ජයසිංහ නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදියා විසින් ඉදිරිපත් කරන ලද ''එක දවසක අපි'' නම් සිනමා නිර්මාණය  පිළිබඳව අවධානය යොමු කරන විට ඒ තුළින් මා නම් දකින්නේ ''ආදරය'' යන්න, මේ ලොවට අයිති නොවන්නක් බවට වඩාත් හැඟීම්බරව, උත්ප්‍රාසාත්මකව පෙන්වා දෙන්නක් ලෙසයි. සිය යෙහෙළියට යවා තිබූ කෙටි පණිවිඩය විමුක්ති විසින් නොදකින්නට, ''අම්මේ මං එනවා'' යනුවෙන් කිවූ ලෙසටම සියල්ල සිදු වන්නට තිබුණි.

එය එසේ සිදු වූවා නම් ''එයාට මං ආදරෙයි.... ඒත් මට මේ කෲර ලෝකේ ඒ ආදරය යථාර්ථයක් කර ගන්න කවදාවත් බෑ.... මට මගේ අම්මා දුක් විඳලා මැරිලා යනවා බලං ඉන්න බෑ... එයා කොහේ හරි හොඳ තැනක ඇති.... මේ සාහසික ලෝකේ මැරි මැරී ජීවත් වෙනවට වඩා එක අතකින් ඒක හොඳයි....'' මෙන්න මේ අයුරින් කියා හිත හදාගෙන දැහැමෙන් සෙමෙන් විමුක්ති නිෂූ ආදර අන්දරය ගෙවෙනු ඇති.


එහෙත් පාරමී නිම්මිට යැවූ එස්.එම්.එස් එක නිසා විමුක්තිට ''අම්මේ මට එන්න වෙන්නෙ නෑ'' යනුවෙන් කියන්නට සිදු වුණි.

පාරමී විසින් විමුක්තිට ආදරය කළද ඔහු තුළ කිසි දවසක එය නොතිබූ බව තේරුම් ගන්නට තරම් බුද්ධිමත්කමක් ඇය තුළ නොතිබුණි. එය අප බොහෝ දෙනෙකු මූණ පානා ඛේදවාචකයයි. ගොදුරු ලෝකයක් වන මේ පෘථිවි ජීවිතය තුළ තමන් අභිමුව සිටිනා සාතිශය බහුතරයම ඒ ගොදුරු න්‍යාය මතින් පැමිණෙන්නන් බවට අපේ සිතට වර නගමින් නැවත නැවතත් සිහි කැඳවිය යුතුව තිබේ. එය අමතක වන සෑම නිමේෂයකම සිදු වන්නේ අප අනෙකාගේ ගොදුරක් බවට පත් වීමයි.


ගොදුරු න්‍යායේ අප සිටින්නේ කොතනකද යන්න අනුව සහ එයට අප මූණ දෙන ආකාරය අනුව අපේ ජීවිත පැවැත්ම තීරණය වනු ඇති. අපට ඉහළින් සිටින එකා අප ගොදුරු කර ගන්නට මාන බලන අතර, අපට පහළින් සිටින එකා ගොදුරු කර ගැනීමට අප විසින් මාන බලමින් සිටියි. සියළු මනුෂ්‍ය සබඳතාවන්ට මෙය අදාලය.

''එක දවසක අපි'' විශේෂ වන්නේ මේ යථාර්ථය ඉතාමත් සංවේදී හා උත්ප්‍රාසාත්මක ආකාරයෙන් පෙන්වා දීම තුළය. එහෙත් මා එක් විචාරයක කියවූ ආකාරයට මෙය වාණිජ වශයෙන් සාර්ථක වී නැත. එහි තේරුම සැවොම අනෙකාව ගිලිමින් අනෙකාට ගිලෙමින් ගමන් කිරීම ප්‍රමෝදයක් කරගෙන ඇති බවද?

නයනතාරා වික්‍රමාරච්චිගේ රංගනය ඉතාමත් විශිෂ්ටය. පුබුදු චතුරංග, මේධා ජයරත්න, වීණා ජයකොඩි පුරුදු පරිදිම අගනා දායකත්වයක් ලබා දී තිබේ.

Friday, August 10, 2018

ශර්මි කුමාර්, කාන්තා ලිංගිකත්වය - Sharmi Kumar, Women's sexuality

ශර්මි කුමාර් (Sharmi Kumar), අන්තර්ජාල රූපවාහිනි චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ අදහස්. Porn Videos වල පෙනී සිටීමෙන් හා මුදලට කය අලෙවි කිරීම තුළින් ඇය බලාපොරොත්තු වන්නේ මුදල් හා ලිංගිකත්ව තෘප්තිය යන දෙකම ලබා ගැනීම බව ඇය ප්‍රකාශ කළා.

මෙය සත්‍යදැයි අපි සොයා බලමු. එය එසේ නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමේත් මානුෂීය පදනමක් නිර්මාණය වෙනවා. ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධ බටහිර රටවල පර්යේෂණවල ඉතිහාසය 60 දශකය පමණ ඈතට දිව යනවා. වර්තමානය වන විට තහවුරු කර ඇති කරුණ වන්නේ ලිංගිකත්වයේ උපරිම සතුට, සූරතාන්තය මත පදනම් නොවන බව. එය, ලිංගිකත්ව සම්බන්ධයක ආරම්භයේ සිට අවසානය අතර දක්වා පරාසයේ කවර හෝ අවස්ථාවක අත්දැකිය හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.


ඒ සඳහා බලපාන මුඛ්‍ය කරුණ වන්නේ දෙදෙනා අතර පවතින මානසික බැඳීම හා ආදරයයි. ඒ වගේම අදාළ මොහොතේ සිදුවන ආදරණීයත්වය මත පදනම් වෙමින් සිදුවන ක්‍රියාකාරකම්.

ඒ වගේම අවිවාදිතව පිළිගත් සත්‍යය වන්නේ කාන්තාවකගේ ලිංගික තෘප්තිය අනිවාර්ය ලෙසම තම සහකරු සමග පවතින මානසික බැඳීම හා අනුපාතිකව සමාන බව.

ඕනෑම අවස්ථාවක මුදල කිසියම් සිදුවීමක් සඳහා ඉදිරියට පැමිණේ නම් එතැන තව දුරටත් මානුෂීය සම්බන්ධයක් ඉතිරි වන්නේ නෑ. අප කඩයකට ගොස් බඩුවක් මිළදී ගත් විට අප තුළ සොඳුරු මතකයක් ඉතිරි වන්නේ එහි සේවකයා අපට දැක්වූ සුහද පිළිගැනීම හා සත්කාරය මත. එය මුදල හා කුඩා හෝ සම්බන්ධයක් පවතින බවක් හැඟී ගියහොත් ඒ හැඟීම තව දුරටත් ඉවත් වී ඇති වන්නේ පිළිකුල් සහගත හැඟීමක්.


ඒ වගේම අපට ඉතාමත් තද බැඳීමක් ඇති කරගත හැක්කේ එක් අයෙක් සමග පමණයි. කායික සබඳතාවක් නොව කායික සමීප වීමක් සඳහා වුවද මෙවැනි බැඳීමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව විවිධ පුද්ගලයන් හා අපට මෙවැනි සම්බන්ධයක් ඇති කරගත නොහැකියි.

ඒ වගේම කැමරාකරුවන්, ආලෝකකරණ ශිල්පීන් වැනි පුද්ගලයන් රාශියක් ඉදිරිපිට සිදුවන ලිංගික සබඳතාවක් තුළින් තෘප්තියක් අත්කරගත හැකියයි කීම හාස්‍යජනක කරුණක්. එවැනි අවස්ථාවක ලිංගික උත්තේජනයක් හෝ ඇති කරගත හැකි වන්නේ බලහත්කාරයෙන් සිදු කරන කායික උත්තේජනයන් තුළින්.

මේ අනුව අපට එළඹිය හැකි නිගමන දෙකක් තිබෙනවා. එකක් වන්නේ මෙය මනෝ විද්‍යාවේ එන ''සංරක්ෂණ ප්‍රයෝගයක්''  විය හැකි බව. දෙවැන්න, මෙය අලෙවි උපායමාර්ගයක් (marketing strategy) විය හැකි බව.


කාන්තාවකට සිදු කළ හැකි බරපතලම අපරාධය, ඇය ගණිකාවක් බවට පත් කිරීමයැයි ඕෂෝ පවසා තිබෙනවා. ඔහු එසේ කියන්නේ ඉතාමත් ගැඹුරු හේතූන් ඇතිව. එය එසේ නම්, කිසියම් හෝ දිනක සත්‍යය වැටහුණු විටක ගත වූ කාලය සම්බන්ධයෙන් බොහෝ දුක් වීම වැලැක්විය නොහැකියි.

ප්‍රස්තුත සම්මුඛ සාකච්ඡාවට අදාළ වීඩියෝව.

Sunday, July 29, 2018

ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස..... - The Theory for A Extreme Happiness Life

ආත්මාර්ථය යන්න විවිධ සංස්කෘතික, ආගමික සන්දර්භයන් මත විවිධ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. ඒත් අපේ මේ හැදෑරීම් සන්දර්භයට සාපේක්ෂව සැලකූ විට, එය මේ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. එය බොහෝ දුරට ඒ සඳහා නිවැරදි අර්ථ දැක්වීමද වේයැයි සැළකිය හැකියි.

බටහිර මනෝ විද්‍යාව අනුව සැලකුවොත් ''ආශාව'' යන්න සැලකෙන්නේ එය පුර්ණ වශයෙන් සපුරා ගැනීමට හැකි වුවොත් ඒ හා සමගම ''අතුරුදන්'' වන දෙයක් ලෙස. එහි තේරුම, තව දුරටත් ඒ ''ආශාව'' ආශාවක් ලෙසින් යම් කාලසීමාවකට අපේ සිතේ ඇති නොවන බව. එසේ නම් ''ආශාවක්'' යළි යළිත් අපේ සිතේ ඇති වන්නට නම් එය පූර්ණ වශයෙන් තෘප්ත වීමට කිසියම් ''බාධාවක් හෝ බාධාවන් සමූහයක්'' අප ඉදිරියේ තිබිය යුතුයි.


එවිට ''ආශාව'' අඛණ්ඩව එක දිගටම තබා ගැනීමට හැකි වෙනවා. විවාහක අයට තම සහකරුවා ඉතා ඉක්මනින්ම එපා වන්නේත් අනියම් සම්බන්ධයකට අයත් සහකරුවා ඉතා නැවුම් ලෙසින් හැම මොහොතකම දිගටම හැඟී යන්නේත් මේ සිද්ධාන්තය නිසයි. විවාහක අයට බොහෝ දුරට ''බාධාවන්'' ඇත්තේම නැති තරම්. එහෙත් අනියම් සම්බන්ධයක් කියන්නේ මරණය අතේ තියන් ඉන්නවා වගේ වැඩක්.


බෞද්ධ දර්ශනයට අනුව නම් ආශාවන් කවදාවත් තෘප්තියෙන් අවසන් වන්නේ නෑ. සෑහීමකට පත් වන්නේ නෑ. ඒ වෙනුවට තව තවත් ආශාව පසු පස්සේම ගමන් කරනවා. එය සපුරා ගත හැකි නව ආකාර ගැන සොයනවා. ඇත්තටම මේ කියන්නේ අර අපි කළින් කතා කළ අවස්ථාවේම ඊලඟ පියවර. එනම්, ආශාවක් සම්පූර්ණයෙන් සපුරා ගත් විට සිතේ ඇති වන අතෘප්තිය හේතුවෙන් එම ආශාවේම නව ආකාරයක්, දිගුවක්, නව සංස්කරණයක් අපේ සිත ඉල්ලා සිටිනවා. එයත් සම්පූර්ණයෙන් තෘප්ත වුවොත් එහිත් නව ආකාරයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ''ආවේගයන්'', ''ආතතීන්'' කියන්නේ විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ජාන මගින් ඇති කරන හෝ අපට පහසුවෙන් සපුරා ගැනීමට හැකි නොවීම නිසා හෝ ඇති වන හැඟීම් විශේෂයක්. මේ නිසා අප තුළ ''හීනමානයක්'' ඇති වනවා. මේ නිසා අපට ආවේගයන්, ආතතීන් සපුරා ගත් විට ඇති වන්නේ ආවේගයන් සමනය වීමෙන් ඇති වන සහනය හෝ ''වාඩුව'' ගැනීම නිසා ඇති වන ආකාරයේ සතුටක්. එය ''ප්‍රමෝදය'' ලෙසින් හඳුන්වන්න පුළුවන්. මේ නිසා ආවේගයන් සපුරා ගැනීමට එදිරි සාධක වෙනුවෙන් පළි ගැනීමේ චේතනාවක් අපේ සිතේ ඇති වෙනවා.


 ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව, ආශාවන් යන්න, අපේ විවිධ ''වේදනාවන්'' දුරු කර ගැනීමට දරන උත්සාහයක් මිස ''සැබෑ විඳීමක්'' නොවන බවද පෙනවා දෙනවා. නිදසුනක් ලෙස කුසගින්න නම් වේදනාව දුරු කර ගැනීමට අප ආහාර වෙනුවෙන් ආශා කරනවා. ජානවලින් මෙහෙයවන ආවේගයන් හේතුවෙන් ලිංගිකාශාවන් අපේ සිතේ ජනිත වෙනවා. එම ආවේගයේ වේදනාවෙන් දුරු වීමට අප එම සම්බන්ධයකට යොමු වෙනවා. එවිට එම ආවේගය සමහන් වීම හේතුවෙන් අපට දැනෙන ''සහනය'' අප ''විඳීමක්'' ලෙසින් වරදවා තේරුම් ගන්නවා.

මේ කරුණු සියල්ල මතකයේ තබාගෙන අපේ නව සිද්ධාන්තය වෙත යොමු වෙමු. එනම්,

ආත්මාර්ථකාමය පදනම් වෙමින් අපේ සිතේ ඇති වෙන්නේ ආවේගයන් සහ ආතතීන් වන අතර ඒවා අප විසින් පොදුවේ ''ආශාවන්'' ලෙසින් නාමකරණය කරගන්නවා. එහෙත් ආවේගයන් සහ ආතතීන් තෘප්ත කර ගැනීමට යාමෙන් අපට ''විඳීමක්'' ලබා ගත නොහැකි අතර එම ආවේගයන් යම් මොහොතකට සමහන් වීමෙන් ඇති වන ''සහනය'' පමණක් අත්දකිනවා.

ආත්මාර්ථය පදනම් කරගත් සිතක ඇති වන ආවේගයන් හෝ ආතතීන් සමහන් කර ගැනීමට යාමේදී ඒ පුද්ගලයා සිතන්නේ එය කෙසේ හෝ කුමන අයුරකින් හෝ සපුරා ගන්නා ආකාරය පමණයි. එහිදී එයට සම්බන්ධ වන කිසිදු සාධයක යහ පැවැත්ම කෙරේ ඔහුගේ අවධානය යොමු නොවෙයි.


එහෙත් පරාර්ථය පදනම් කරගත් පුද්ගලයාගේ සිතේ ආශාවක් ඇති වූ විට ඔහුගේ ඊට සම්බන්ධ සෑම සාධකයක් ගැනම අවධානය යොමු වෙනවා. ඒ හැම සාධකයකම යහ පැවැත්ම කෙරෙහි ඔහුගේ සිත නිසගයෙන්ම යොමු වන නිසා. එවිට ඔහුගේ ආශාව තෘප්ත කරගැනීම සාමූහික එකක් වනවා. හුදු ආවේගයන් පහ කර ගැනීමක් නොවෙයි. මේ නිසා මේ එය ''විඳීමක්'' බවට පත් වෙනවා. එනම් එය, ආවේගයන්ට දක්වන ප්‍රතිචාරයක් වෙනුවට, අපම විසින් උත්පාදනය කර ගන්නා නව සොඳුරු හැඟීම් විශේෂයක් බවට පත් වෙනවා. ඒ නිසා එයට අර ''ආශාවේ පොදු න්‍යාය'' සත්‍යයක් වන්න්නේ නෑ. මේ නිසා ඔහුගේ විඳීම දිගින් දිගටම එකම ආකරයේ එකක් වුවත් එය ඒකාකාරී නීරස එකක් බවට පත් වන්නේ නෑ. එහෙත් ආවේගයන් සමහන් කර ගැනීමට යන්නාට එකක් පසුපස එකක් නව නව ආකාරයේ අත්දැකීම් හිමි කර දුන්නත් ඔහුට කිසි විටකවත් ''සබෑ සතුට'' හෝ ''විඳීම'' හමු වන්නේ නෑ.

යමක් ''විඳීමක්'' බවට පත් වීමට නම් එය ''ආදරය'' සහ ''පරාර්ථය'' මත පදනම් විය යුතු වෙනවා. එසේ නොමැතිව ආත්මාර්ථය මතින් පදනම් වේ නම් එය හුදු ආවේගයන්, ආතතීන් සමහන් කර ගැනීමක් පමණයි. එතැන ''විඳීමක්'' නැහැ.

ආදරණීය සිතක් තුළ ඇති වන ''විඳීම'' වනාහි හැම විටම නව උත්සවකාරී දෙයක්. එහි පිළුනු වීමක් නෑ. නිතරම නැවුම්. ඒ ඔහු නිතරම අනෙකා සමගින් ආදරණීය ලෙසින්, සොඳුරු ලෙසින් සම්බන්ධ වන නිසා. එහෙත් ආත්මාර්ථකාමී සිතක් තුළ ඇති වන ආශාව වනාහි ස්වකේන්ද්‍රීය එකක්. අවශෝෂණීය එකක්. එය උරා ගැනීමෙන් අවසන් වන එකක්. එහි නව නිමැවුමක් නෑ. හරියට විශ්වයේ තියෙන කළු කුහරයක් වගේ.


ආශාවක් කියන එකේ තේරුමම, එය තවමත් අප වෙත නොලැබීම නිසා ඇති වන ආවේගයක් යන්න. ඉතින් එය ලැබුණු පසුව තව දුරටත් එයට ''ආශාව'' යන්න සත්‍යයක් වන්නේ නෑ. නොලැබීම නිසා ඇති වන හැඟීම, ලැබුනු පසුව තව දුරටත් පැවතීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙත් ආදරණීය පුද්ගලයෙක් තමන් තුළ ඇති වන ආශාව, වෙනත් තත්වයක් බවට පත් කර ගන්නා නිසා ඔහුට අර නොළැබීමේ න්‍යාය අදාළ වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින්, අඩු වශයෙන් එය උත්පාදනය වන පුද්ගලයාගේවත් යහපැවැත්ම ඇති කරන්නේ නෑ. එය පුද්ගලයාව ගෙන යනු ලබන්නේ මිරිඟුවක් දෙසට වන අතර විනාශයේ අවසානය වෙතටයි. නිදසුනක් ලෙස අනෙකාව සූරාකෑම තුළින් ධනවත් වන පුද්ගලයෙක් සලකන්න. ඔහු ඒ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරන්නේ ආශාවේ වහලෙක් බවට පත් වෙමින්. ඒ තුළ ඔහුට අහිමි වන සතුට සොයා යමින් ඔහු විවිධ අත්හදා බැලීම්හි නිරත වන නමුත් කිසිදා ආතතීන් සමනය වීමක් විනා සැබෑ සතුට හමු වීමක් සිදු වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින් එක් තැනක පැවැත්මක් වෙනුවෙන් තවත් පැවැත්මන් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීම සිදු වෙනවා. ඒ නිසා එතැන මූලික ප්‍රතිඵලය ''විනාශය''. එහෙත් පරාර්ථය තුළ සාමූහික, විශ්වීය පැවැත්මක් අරමුණු කෙරෙනවා. තහවුරු කෙරෙනවා. මේ නිසා එතැන ප්‍රතිඵලය, ''පැවැත්ම'', ''විඳීම''.


ඒ වගේම පරාර්ථය සහ ආදරය කියන්නේ අනෙකෙකුගේ පැවැත්ම වෙනුවෙන් සවිඥානික ලෙස සහ ස්නේහයෙන් යුතුව සිදුවන මැදිහත් වීමකට. එය, විඥානය විසින් උත්පාදනය කළ උතුම්ම සිතිවිල්ලයි. සිත, මේ සමස්ත විශ්වයේ, ද්‍රව්‍යයේ බලවත්ම දෙය වන විට, ඒ බලවත්ම දෙය විසින් නිපදවූ බලවත්ම හා උත්තරීතරම දෙය පරාර්ථය සහ ආදරයයි. සිත, මේ විශ්වයේ බලවත්ම දෙය වන්නේ, ද්‍රව්‍යය විසින් නිමවී, ඒ තමන්ව නිමවූ ද්‍රව්‍යය දෙසම ආපසු බැලීමට හැකි එකම දෙය එය වන නිසයි.

Thursday, February 9, 2017

ආදරය කරන්නෝ කොහි වෙත්ද...?

ආදරය නම් සංකල්පය විනාශ වීම සිදු වෙන්නේ එය ජනගත වීමත් එක්කයි කියලා මගේ ආදර අවනඩුව ටෙලි සිත්තමේදී කියවුණා. සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ''මේ තරම් සියුමැලිද කලු ගල්'' ගීතයේදී මිනිස් සිත්වල පවත්නා රළු ස්වභාවය ඉතාමත් සංවේදී ආකාරයෙන් ප්‍රකාශයට පත් කෙරෙනවා.

ආදරයට එරෙහි බලවත්ම සතුරා වන ''ආත්මාර්ථය'' අපට එන්නේ ජාන වලින්මයි. ඒ නිසා එයින් ගැලවෙන එක විශාල සටනකින් කළ යුත්තක්. ඒක ජය ගන්න සමත් වෙන්නේ එහෙමත් කෙනෙක්. ඒත් අද කාලයේ නිවන් දකින්න පාර කියන්නෙත් ආත්මාර්ථය තුළින්. එවිට ඒ මග ගමන් කරන පුද්ගලයා නතර වන ස්ථානය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

සතුන් ආත්මාර්ථකාමී වුණත් ඔවුන්ගේ ලෝකය දෘෂ්ටිවාදයන්ගෙන් කිළිටි වී නැති නිසා ඔවුනට මහේක්ෂ තලයේ බැරි වුණත් ක්ෂුද්‍ර තලයේ ආදරයක් දැඩි ලෙසින් ගොඩ නගා ගන්න හැකි වෙනවා. අඵි ආදරය ගැන කතා කරන්න, මේ දිනවල විකාශනය වෙන ''බැද්දෙ කුලවමිය'' ටෙලි සිත්තම යොදා ගත්තොත් අපිට  වටහා ගන්න පුළුවන් තේමිය හෝ චංචලා හෝ සැබෑ අර්ථයෙන් එකිනෙකාට ආදරය නොකරන බව.


ආදරය කරන කෙනෙක්ගේ ආත්මය තෘප්තියට පත් වෙන්නේ අනෙකාට කුමක් හෝ සත්කාරයක් කිරීමෙන්. ඒත් චංචලා හෝ තේමිය ඒ සඳහා උනන්දුවක් දක්වන බවක් පේන්න නෑ. තේමියගේ බොහෝ කටයුතු සිදු වෙන්නේ චංචලාගේ මවගේ අතින්. ඒ වගේම තේමිය වුනත් චංචලා කෙරෙහි සත්කාර වන අවස්ථාවන් දකින්න නෑ. කොළඹට මාරුවක් හදා ගන්නා විට ඔහු තරමක් දුර බැහැර ප්‍රදේශයකට එය හදා ගන්නේ ඔහුගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. ඒත් මේ නිසා චංචලාට ඔහු නැතිව දින ගණන් ගත කිරීමට සිදු වෙනවා. ආදරය කරන කෙනෙක් හැම විටම උත්සාහ ගන්නේ එකිනෙකාගේ ලඟින් ඉන්න අවස්ථාවක් හදා ගන්න.

ඒ වගේම තේමියගේ නිවස කියන්නේ චංචලාට සැනසීම ගෙන දෙන ස්ථානයක් වන්නේත් නෑ. ඒ නිසා හොඳම විසඳුමව තිබුණේ ගමෙන් නික්මී වෙනත් ස්වාධීන ප්‍රදේශයකට ඔවුන් යාම. ඒ වගේම චංචලාගේ මව ගමේ තනිකර දමායි ඔවුන් පැමිනෙන්නේ. එතනදීත් මේ දෙදෙනාගේ ''ආදරය'' විශාල ලෙස ප්‍රශ්න කෙරෙනවා. මීට තිබුණු හොඳම විසඳුම, තේමියගේ නිවසටත් යාම් ඊම් කළ හැකි දුරක ඔවුන් වෙනම පදිංචි වී චංචලාගේ මව ඔවුන් සමග නවත්වා ගැනීම. එවිට දෙපාර්ශවයේම මව්වරුන් තනි වන්නේ නෑ.


මං දන්න යුවළක් ඉන්නවා ඒ දෙන්නා බොහෝ දුරට එකිනෙකාට ආදරයෙන් සතුටින් ඉන්න බවක් තමයි බාහිරයට විද්‍යමාන වෙන්නේ. ඒත් හොඳින් විමසා බැලුවාම පේනවා ඒ දෙන්නා අතරත් පවිත්‍ර ආදරයක් නොමැති බව. ඔවුන් විවාහ වී වසර 4ක් ගත වුණත් මිතුරාට තවමත් බැරි වුණා ඔවුන්ගේ මංගල ඡායාරූප ඇල්බමය නිම කර ගන්න. යුවතියක් ඉතාමත් ආපේක්ෂා සහගත වන දෙයක් ඒ දිනයේ තමන්ගේ සොඳුරු සිත්තම් දැක බලා ගැනීම සහ අන් අය සමග බෙදා ගැනීම. ඒ වගේම පෙම්වතා ඇයට ආදරේ නම් ඇයට වඩා උනන්දුවක් ඔහුගේ සිතේ ඇති වෙනවා නිතර නිතර ඒ සොඳුරු අවස්ථාව දැක බලා ගන්න.

ඒ වගේම දිනක් මම පරිගණක මෘදුකාංගයක් ස්ථාපිත කර ගන්න ඒ මිතුරාගේ නිවසට ගියා. ඒ සඳහා තරමක වෙලාවක් ගත වුණත් එය සාර්ථක ගන්න අපහසුවයි අපි සිටියේ. ඒ අතරේ ''අයියා.... මල ගෙදර යන්නේ කීයටද...'' කියලා මිතුරාගේ බිරිඳ දුර ඉඳන් ඇසුවා. මල ගෙදර, පසුවදා වුණත් යන්න පුලුවන්. එහෙත් ඇයට ඕන වුණේ මේ කරන කාර්යය සඳහා ගත වූ කාලය වැඩි යැයි සලකා එය අවසන් කිරීම. එය ඔහුගේ අවශ්‍යතාවක් නොව ඇගේ අවශ්‍යතාවක්. ඒ තුලින් මිතුරා වෙනුවෙන් ඇගේ හදවතේ පවතින ආදරය පිළිබිඹු වෙනවා.


මේ වගේ ඉතාමත් සරල බැලූ බැල්මට කිසිත් විශේෂයක් නොපෙනෙන සිදුවීම් තුලින් අපිට ජීවිතය ගැන, අපේ සිතිවිලි ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුලුවන්. එවැනි විශ්ලේෂණයක් තුළින් අපිට අපේ සිත්වල පවතින කිළිටි සෝදා හැර ගන්න එය අවස්ථාවක් කර ගන්න පුළුවන්.

Tuesday, January 3, 2017

මේ ආදරයද...? The Meaning of Love

 ''මගේ ආදර අවනඩුව'' ටෙලි නාට්‍යය නිමා වුණා. එහි අවසානයේ මෙහෙම සඳහන් වුණා.
 

''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරී මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".

ඇත්තටම නම් ඒක මෙහෙමයි සඳහන් වෙන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ...

 ''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරේ මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".

මොකද ඔහු සමාජයට ආදරය කළ, පවුලට ආදරය කළ ප්‍රතිපත්තිගරුක ආදරණීය පුද්ගලයක් නිසාවෙන්. ඔහු නොමැතිකමින් වැලපෙන්නේ ඔහුගේ පෙම්වතිය නොව ''ආදරයයි''.


නේශාධ දුලාට වඩාත් ලං වෙන්නේ ඇය මාලින්ද හමුවේ පීඩාවට පත් වන්නියක්ය යන තතු ඔහුට දැන ගන්නට ලැබීමත් සමග. මේ නිසා, දෙදෙනෙකුගේ ආදරයක් මැදට පැමිණ එය විනාශ කළ පුද්ගලයෙක්ය යන චෝදනාව ඔහුට නැගිය හැකි වන්නේ නෑ.

කොහොම වුණත් අවසානයේ වෙන්නේ මොකක්ද... නේෂාධ සහ මාලින්ද අතර ගැටුමේදී දුලා විසින් මාලින්දට පහර දීම අපට සාධාරණීය කරන්න බෑ. මාලින්ද නේෂාධව මරන්න හදන මොහොතක එහෙම කළා නම් හැර. මේ නිසා දුලා සතු මනුෂ්‍යත්වය ඇත්තටම ප්‍රශ්නයට බඳුන් වන්නේ මේ අවස්ථාවේදීයි. එතැනදී මනුෂ්‍යත්වය කඩ කරන ඇය අන්තිමේ නේෂාධ හමුවේ ද්‍රෝහී වීම කිසිසේත් අරුමයක් වන්නේ නෑ.

අපිට 'විද්‍යාවක්' අවශ්‍ය වෙන්නේ දෙයක් වුණාම ඒකට හේතු හොයන්න නෙවි. දෙයක් වෙන්න කලින් ඒක වළක්වා ගන්නයි. ඒක නිසා කෙනෙක් තුළ මනුෂ්‍යත්වය කොයි තරමින් පවතිනවාද කියන එක කල් ඇතිවම දැන ගැනීම තුළින් අපිට විනාශයක් සිදු වීම වලක්වා ගන්න පුළුවන්. කෙනෙක්ව කල් ඇතිවම තේරුම් ගන්නේ කොහොමද කියන එකට න්‍යායාත්මක පසුබිමක් අපි ''මිනිසුන් හඳුනා ගැනීම'' ලිපියෙනුත් සකසා දුන්නා.


දැන් මෙතනදීත් අපිට පුළුවන්ද දුලා ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක කල් ඇතිව හඳුනා ගන්න. ඇත්තටම පුලුවන්. ඒ තමයි එයා නේෂාධට කතා කරන්න ඉදිරිපත් වෙන්නේ එයාගේ තනිකම පාළුව මකා ගන්න. පස්සේ නේෂාධගේ වුවමනාවටයි ඒක ආදර සම්බන්ධයක් බවට පෙරලෙන්නේ. ඒ වගේම නේෂාධගේ රූපය දැක්කාම, ඒ වගේම එයා රැකියාව සම්බන්ධයෙන් බොරු කළා කියලා දැන ගත්තාම එයා සම්පූර්ණයෙන්ම ඔහුව අමතක කරන්න තීරණය කරනවා.

මගේ යාලුවෙක් ඉන්නවා එයා සෑහෙන්න බුද්ධිමත් කෙනෙක්. දාර්ශනිකව ලෝකය දකින කෙනෙක්. ඒත් එයා තුළ අභ්‍යන්තර ගැටලු ගණනාවක්ම තියෙනවා. ඒවා ගැන විශ්ලේෂණය කරන්න මේක අවස්ථාවක් නෙවි. මෙතනදී අපි කතා කරන්න යන්නේ එයාගේ සහ පෙම්වතියගේ ආදරය ගැන. මන් එයාට කිව්වා ඔයා ඉස්සරහට ඩොක්ට කෙනෙක් වෙලා වෙනම පන්ති සමාජයකට ඇතුල් වෙනකොට ඔය දුප්පත් පෙම්වතිය ඔයාට එපා වෙන්න ඉඩක් තියෙනවා කියලා. මොකද, එයා වෙනස් නොකරනවා කිව්ව සමහර දේවල් වෙනස් කරලා තියෙන ආකාරය මන් දන්න නිසා. එආත් එයා කිව්වා 'මන් ආදරය හොයලා හොඳටම විඩාපත් වෙලා ඉන්නේ. මේක මගේ අවසාන ආදරය. එයා මාව දාලා ගියොත් හැර මම නම් මොන හේතුවක් නිසාවත් එයාව දාල යන්නේ නෑ.'' කියලා.


මම එතකොට කිව්වා, ''ඒ ගැන මට නිගමනයකට එන්න තවම කල් වැඩියි'' කියලා. ''එයාගෙන් මට ඕන තරම් ආදරය හම්බ වෙනවා. ඔක්කෝටම හොරෙන් බත් කටක් අරන් පාරට ඇවිත් මට කවනවා. මගේ ආත්මය එයා සරසනවා. සනසනවා. එයා මට වඩා ගොඩක් වයසින් බාලයි. ලස්සන සුදු කෙනෙක් නොවුණත් එයා කැත නෑ. ඒ වගේ කෙල්ලෙක් මට ආයිත් හොයා ගන්නත් බෑ'' කියලා එතකොට එයා කිව්වා.

ඒ වගේම එයා පිලිගත්තා ඒ කිව්ව කාරණා එයාගේ පැත්තෙන් සලකලා කිව්ව ආත්මාර්ථකාමී ඒවා කියන එකත්. නමුත් එහෙම කිව් පමණින් අපිට පිලිගන්න බෑ එයා වෙනස් නොවේවි කියලා. මොකද එයා ඇත්ත අර්ථයෙන් පෙම්වතියට ආදරය කරන්නේ නැති නිසා. ඇත්ත අර්ථයෙන් ආදරය කරනවා නම් අර සාධක ටික ඉදිරිපත් කරන්න ඕන වෙන්නෙ නෑ. එහෙම කරනවා නම් එයා කියන්නේ, 'ආදරය කරන කෙනෙක් දාල යනවා කියන වචනයේ තේරුම දන්නේ නෑ'' කියන කරුණ. ඒක ඒ විදියටම හෝ ඒ ආසන්න තේරුමක් එන ආකාරයෙන්.


තමන් වෙනස් නොවේවි කියලා පෙන්වන්න අර වගේ සාධක ඉදිරිපත් කරන්න ඕන නෑ. ඒවා ඉදිරිපත් කිරීම තුල තියෙන්නේම එයාගේ පෙම්වතියට තියෙන ආදරය පදනම් වෙන්නේම එයාගෙන් ඔහුට ලැබෙන ඒ දේවල් මත කියන එක. ඒ දේවල් ටික ලැබෙන එයාට වඩා ලස්සන, ඉහල සමාජයක කෙනෙක් හමුවේ මේක කඩා වැටෙන්න ඉඩක් නෑ කියලා අපිට සහතික වෙන්න බෑ.

ඒ වගේම මේ යාලුවා, ''බඩු ගහනවා'', ''කෙල්ලට ගහනවා' කියන වචනය නිතර පාවිච්චි කරන කෙනෙක් තමන්ගේ නොවන වෙනත් සිද්ධි විස්තර කිරීමේදී. තමන්ගේ පෙම්වතියට ඇත්තට ආදරය කරන කෙනෙක් කාන්තාවක් එක්ක කායිකව එකතු වීම සඳහා මේ වගේ අසික්කිත වචනයක් පාවිච්චි කරන්න හැකීයාවක් කොහෙත්ම නෑ. එහෙම කෙනෙකුට ඒ වගේ වචනයක් ඇහුණත් හිතට දුකයි. කෙල්ලට ආදරය කරන කෙනෙක්ට ගණිකාවක් දැක්කත් හිතෙන්නේ ''අනේ මෙයා මේක ඇත්හැර දාලා ලස්සන ජීවිතයක් ගත කලා නම්'' කියලා.


''ආදරය'' කියන දේ තනි මනුස්සයෙක් පමණක් ඉලක්ක කරගෙන කරන්න බෑ. ඒක පොදු විශ්වීය දෙයක්. තනි කෙනෙක් ඉලක්ක වෙනවා නම් එතන තියෙන්නේම ආත්මාර්ථකාමීත්වය. එයාගෙන් ලැබෙන දේවල් නිසා ඇති වී තියෙන ඇලීම. ඒ ඇලීම ඊට වඩා හොඳ ඇලීමක් හමුවේ බිඳිලා යනවා. නැති නම් කාලයත් එක්ක රැස් අඩු වෙලා යනවා.

ඒ වගේම මේ පෙම්වතියත් මේ මොහොතේ තමන්ට ලැබෙන ඉතාමත් හැඟීම්බර ආදරය, ඔහුගෙන් ලැබෙන ආරක්ෂාව, දැනුම, ජීවිතාවබෝධය සහ ආත්මය නගා සිටුවීම වගේ කාරණත් එක්ක ඔහු හා ඉතාමත් තදින් බැඳී ඉන්නවා. ඒත් ඇයගේ 'තත්වයනුත්'' ඉදිරියේදී වෙනස් වෙන්න පුලුවන්. ඇයත් ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක ඔහුගේ ලැප්ටොප් පරිගණකය තමන් ළඟ තියෙන්න ඇරීම තුළින් වටහා ගන්න පුළුවන්. ඒක ඔහුගේ ජීවිතය එක්ක ගොඩක් තදින් බද්ධ වෙලා තියෙන දෙයක්. අඩු වශයෙන් ඔහු ලඟත් මේක දිනක් දෙකක්වත් තියෙන්න අරිනවා නම් අපිට හිතන්න පුළුවන් ඇය ඔහු ගැන හිතන බව.


අනිත් එක ඇය කලින් පෙම්වතාටත් කියලා තියෙනවා ලැප් එකක් අරන් දෙන්න කියලා. ආදරය කරන කෙනෙක් ඒ ආකාරයට දේවල් අමුවෙන් ඉල්ලලා ගන්න සිරිතක් නෑ. ලේසියෙන් ඉල්ලීමක් නොකරන අතරම අත්‍යවශ්‍ය ඉල්ලීමක් වුණත් කරන්නේ ඉතාමත් ආදරණීය ලෙස සහ අනෙකාගේ පැත්තෙනුත් කල්පනා කරමින්. ආදරය කරන කෙනෙක් සතුටු වෙන්නේ අනෙකාගෙන් ස්වේච්ඡාවෙන් ලැබෙන දේවල් තුලින්.

ඉතින් මේ අනුව මේ දෙන්නා අතර තියෙන්නේ සැබෑ ආදරයක් නොවෙන නිසා මේක ''තත්වයන්ගේ' වෙනස් වීමත් එක්ක කඩා වැටීමේ අවදානමින් යුතුයි. ඒ වගේම මේ අයට සැබෑ ආදරයේ ගුණ සුවඳ විඳින්න අවස්ථාවත් අහිමි වෙලා යනවා. වඩාත්ම ඛේදනීය තත්වය තමයි ඒක. ඇත්ත ආදරයේ ගුන සුවඳ විඳින කෙනෙක් හොයා ගන්න හරිම අමාරුයි මේ ලෝකයේ. මන් මේ ලිපිය ලිව්වේ රැකියාවෙන් වරුවක නිවාඩුවක් අරන්. ඒ, ඔබ අතරින් එක්කෙනෙක් හරි ජීවිතය ලස්සන ඉමකට ගෙන යන්න එහි ජීවිතාශ්වාදය විඳින්න උත්සාහ කරාවි කියන අපේක්ෂාවෙන්.

Saturday, November 5, 2016

මිනිසුන් හඳුනා ගැනීම.....

මේ ඉරිදා ලංකාදීප පුවත් පතේ සඳහන් වූ බොහොම අනුවේදනීය කතාවක් නිසයි මේ සටහන් තබන්න සිතුණේ.

''සිඟිති, මගේ මාමගේ දුව. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නා හැදුණේ වැඩුණේ එකට. නොදන්න කාලේ ඉඳලම අපි දෙන්නටම දෙන්නා නැතිව බෑ. වහලට හබරල කොළ දමල හදන සෙල්ලම් ගෙදර අම්ම, සිඟිති.... තාත්ත, මම...''

සිඟිතිට එයාගේ ගෙදරින් දෙන කෑම එයා නොකා ඔතාගෙන එන්නේ ඉස්කෝලෙදි මට කන්න දෙන්න. එයා බත් කටක් කාලා, මම දිහා ආදරෙන් බලන් ඉන්නේ හරියට තමන්ගේ දරුවට බත් කවන අම්ම කෙනෙක් වගේ.

මේ ටිකෙන්ම අපිට පේනවා පුංචි කාලේ ඉඳලම මේ දෙන්නගේ තිබුණු බැඳීම, සෙනෙහස...

මෙන්න මේ අතරෙදි තමයි සිඟිතිගේ පියා මිය යන්නේ. ඒත් එක්කම දරිද්‍රතාවට ඇද වැටෙන ඇගේ මවට සිදු වෙනවා සිඟිතිගේ පාසල් ගමන නතර කරන්න. ඒත් ධනුෂ්ක වගේම සිඟිතිත් ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. දෙන්නම විශිෂ්ට විදියට සාමාන්‍ය පෙළ සමත් වෙනවා. මේ නිසා ධනුෂ්කට තමන් පණ වගේ ආදරය කරන සිඟිතිගේ පාසල් ගමන නතර වෙන්න යන්න එක දරා ගන්න අපහසු වෙනවා.


ඒ නිසා ඔහු දැඩි තීරණයක් ගන්නවා. ඒ තමයි ඇය වෙනුවෙන් ඔහුගේ ජීවිතය කැප කරන්න. තමන්ගේ අම්මා ඉතාම තදින්ම විරුද්ධ වුණත් ඔහු තමන්ගේ ගත් තීරණය කිසිසේත් වෙනස් කරන්නේ නෑ. මේ වන විට සිඟිතිත් තමන්ගේ අම්මට බරක් නොවෙන්න ගාමන්ට් යන්න සූදානම් වෙලයි ඉන්නේ. ඒත් ධනුෂ්ක මැදිහත් වෙලා ඇයව නැවත අධ්‍යාපනය වෙත යොමු කරනවා. ඔහු, බීච් බෝයි කෙනෙක් විදියට වෙරළට පිවිසෙනවා.

මේ වගේ වෘත්තියක තියෙන නොමනාකම් හැම දේකින්ම ඔහු ඈත් වෙලා ඉන්නේ සිඟිතිගේ ආදරය ඔහුගේ ජීවිතය පුරවලා තිබුණු නිසයි. ඒ නිසා අතට හමු වෙන දේ ඉතිරි කරගෙන පවුල් දෙකම බලා ගන්න ඔහුට හැකි වෙනවා. සිඟිති, හොඳින් උසස් පෙළ සමත් වෙලා සරසවි පිවිසුමත් ලබනවා. ඒත් ඇය මේ වතාවේ තව දුරටත් ඉගෙනීම නතර කරන්න හිතුවාම ඔහු ගොඩක් කෝප වෙලා ඇයව දිරි ගන්වනවා කැම්පස් යන්න.

ඇයට සරසවි අධ්‍යාපනයට උපකාර කරන්නෙත් ඔහු. ඒත් ටික දවසකින්ම සිඟිති, කැම්පස් එකේදි හමු වූ ලස්සන තරුණයෙක් එක්ක පෙමින් බැඳෙනවා. බහ තෝරණ කාලයේ ඉඳන් ටිකෙන් ටික වැඩි වෙලා අවසානයේ ආදරයක් බවට පත් වූ මේ බැඳීමේ වියෝව දරා ගන්න කොහොමවත්ම ධනුෂ්කට පුළුවන් වෙන්නේ නෑ. ඔහු මේ දරා ගන්න බැරි ජීවිතයෙන් පලා යන්නේ කවදාවත් කටේවත් නොතියූ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන්.


අවසානයේ ඔහු ඇවිදින ඇට සැකිල්ලක් බවට පත් වෙනවා. මේ අතරේ දිනක් ඔහු තමන් සේවය සැපයු තරුණ සුද්දියෙක්ගේ මුදල් පසුම්බිය සොරකම් කරනවා.. ඒත් ඒක සුද්දිට අහු වෙනවා. ඔහු පොලිස් භාරයට පත් වෙනවා. ඒත් එයාට පසුව දුක හිතිලා ඔහුව පොලිස් කූඩුවෙන් මුදවා ගන්නවා. මෙහෙම කරන්න හේතු අහපු එයාට ඔහුගේ ජීවිත කතාව අහන්න ලැබෙනවා. එයාට ගොඩක් දුක හිතිලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානයකටත් යොමු කරනවා. ඇය වසරකට වතාවක් ලංකවට එන අතරේ ඔහුව බලන්නත් අමතක කළේ නෑ. වසර දෙක තුනක් ගත වෙනකොට ඔහු මත්ද්‍රව්‍ය රකුසාගෙන් සම්පූර්ණයෙන් මිදෙනවා.

දේවතාවියක් වගේ ඔහුට පිහිට වුණු මේ යුවතිය ඔහුට හෝටලයකුත් තනා දීලා පසුව විවාහ කර ගන්නත් යනවා. කතාව අවසන් වෙන්නේ එහෙම.

දැන් මෙතන මනුෂ්‍යත්වය සම්බන්ධ ප්‍රශ්න ගණනාවක්ම මතු වෙනවා. මුල්ම ප්‍රශ්නේ තමයි, ළමා කාලේ ඉඳන්ම අම්ම කෙනෙක් වගේ සෙනෙහසින් ඉඳපු සිඟිති මෙහෙම වෙනස් වුණේ කොහොමද කියන එක. එයා පසුව ආත්මාර්ථයේ ගොදුරක් බවට පත් වුණාද... එහෙමත් නැති නම් මුල ඉඳන්ම ඒ ස්වභාවය ඇය තුළ සැඟවිලා තිබුණාද...?

මෙතනදී අපිට හොඳින් පරීක්ෂා කළාම වටහා ගන්න හැකි වන දේ තමයි මුළ ඉඳන්ම සිඟිති ආත්මාර්ථකාමී කෙනක් කියන එක. එහෙම නොවේ නම් ධනුෂ්ක තමන්ගේ අධ්‍යාපනය නතර කරලා වෙරළට බහින්න යනකොට ඒකට ඉඩ දීලා බලන් ඉන්නෙ නෑ. එතන තමයි පොයින්ට් එක. සිඟිති ඇගේ අම්මා කුරුඳු වැඩ පොලේ වැඩට යනවට කැමති වෙන්නේ නෑ. අම්මට කියලා හම්බ කරගෙන කන්නේ කොහොමද කියලා. ඒත් ධනුෂ්ක අධ්‍යාපනයත් නතර කරලා වෙරළට බහින එක එයා ඉවසනවා. එයා ඒකටත් විරුද්ධ වෙන්න ඇති සමහර විට. ධනුෂ්ක, කියන දේ අහන්නෙ නැතිව ඉන්නත් ඇති. ඒත් එයාට කියන්න තිබුණා ''අයියේ ඔයා හම්බ කරලා ගේන ඒවයින් මම විතරක් ඉගෙන ගන්නේ නෑ... එක්කෝ අපි දෙන්නම පාරට බහිමු'' කියලා.


 දැන් ඊලඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි එතකොට සිඟිතිගේ මුල ඉඳන් තිබුණු ආදරය සෙනෙහස මොකක්ද කියන එක. ඇත්තටම අපි අපේ මානසික හෝ කායික අවශ්‍යතාවන් ඉටු කරන අය එක්කත් තදින් බැඳෙනවා. ඒක ආදරය නොවෙයි බොහෝ දුරට. ඉතින් එහෙම බැඳීමක් තමයි ඇය තුළ තියෙන්න ඇත්තේ. ආදරයක් තිබුණා නම් මේ වගේ කුරිරුකමක් කරන්න තියා හිතන්නවත් ඇයට පුළුවන් වෙන්නේ නැහැනේ.

ඉතින් මේ අවශ්‍යතාවන් වඩාත් හොඳින් ඉටු කරන කෙනෙක් අපිට හමු වෙනකොට අපිට මුල් කෙනා කුණු මාලු කෑල්ලක් වගේ පේන්න ගන්නවා. කරදරකාරයෙක් බවට පත් වෙනවා.

මොනවා වුණත් මේ තරුණයාගේ ඉරණම ඛේදාන්තයක් නොවී සුඛාන්තයක් බවට පත් වීම මනුෂ්‍යත්වයේ නාමයෙන් ගත් විට ලොකු සැනසිල්ලක් නේද...

ඉතින් අපේ ජීවිතයත් මේ වගේ ආත්මාර්ථකාමී අයගෙන් ඛේදවාචකයක් බවට පත් වීම වලක්වා ගන්න නම් ඔවුන්ව මුලින්ම තේරුම් ගැනීමේ යතුරු අප විසින් තනාගෙන තිබිය යුතුයි. ඒ සඳහා වන තර්ක බුද්ධිය ගොඩ නැගෙන්න මේ කතිකාව ඉවහල් වුණා නම් එයයි මගේ සතුට...
.

සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(4 වන කොටස)

ඔයාලට කියන්න ඕනේ මේ සත්‍ය ආදර කතා පුවතේ ඉතාමත් තීරණාත්මක, ඔබට කිසිසේත් සිත අදහා ගත නොහැකි ලක්ෂ්‍යයකට එලඹෙනවා 2015 මැයි මාසයේදී... ඒ වගේම අපේ අධ්‍යාත්මික ලෝකය ගැනත් ඔබට ඉතාමත් වැදගත් සිත් අදහා ගන්න අපහසු තොරතුරු මේ කතා පුවතේ අන්තර්ගතයි...

මේ කතා පුවතේ තවත් විශේෂත්වයක් වෙන්නේ තවමත් මේ කතාව නිමාවට පත් වී නොතිබීම නිසා. එය කවර ආකාරයකින් අවසන් වේද යන්න මෙහි කතා නායකයාවත් දන්නේ නැහැ....


දැන් ඉතින් මට පුදුම සතුටක්. ලබන සතියේ පුවත් පතේ මගේ දැන්වීම පළ වෙයි. මේ වන විට ඒ යුවතිය හමු වෙලා සති 3ක් විතර ඉක්ම ගොස් තිබුණත් එයාට වුණත් ඉතින් මේ මතකය කොහොමවත් අමතක වෙලා යන්න ඉඩක් නෑනේ. වැඩේ තියෙන්නේ ඉතින් මගේ දැන්වීම එයා දකිනවාද කියන එකයි. පළමුවෙන්ම එයා පොත් පත් කියවන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට එයා කාන්තා පුවත් පත් කියවන්නියක් විය යුතුයි. ඊටත් පස්සේ කාන්තා පුවත් පත් රාශියක් අතුරින් සිරිකත පුවත්පතද කියවන්නියක් විය යුතුයි. එපමණකිනුත් මේක නිමා වෙන්නේ නෑ.

එයා සති පතාම හෝ අඩුම ගණනේ විටින් විට කියවන කෙනෙක් වුණද් මේ දවසේ පුවත් පත කියවන්න ඕනේ. එච්චරද...? පුවත් පතේ පිටු 40 ගණනක් තියෙනවා. ඒ අතරින් ඇගේ ඇස මේ දැන්වීම ඇති පිටුව වත යොමු වෙන්නත් ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අවධානය පුවත් පතක සෑම පිටුවක් වෙතම යොමු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඒ පුවත් පත නිතර කියවන කෙනෙක්ගේ නම් කෙළින්ම ඇස යොමු වෙන්නේ තමන්ගේ ප්‍රියතම විශේෂාංග වෙතට.

අනෙක් එක මේක ලිපියකුත් නෙවි. දැන්වීමක්. සාමාන්‍යයෙන් දැන්වීම් සඳහා අවධානය යොමු කරන්නේ ඒවායින් කියවෙන දේවල් සඳහා උනන්දුවක් තියෙන කෙනෙක් විතරයි. නිදසුනක් හැටියට ගෙයක් හොයන කෙනෙක් ඒ සඳහා උනන්දු වෙනවා වගේ. ලිපියක් අතරේ තියෙන දැන්වීමක් කෙරේ නම් කියවන අතරේ වුණත් අහම්බෙන් වගේ ඇස යොමු වෙන්න පුළුවන් සමහර විට. ඒත් ඉතින් මගේ මේ පුංචි දැන්වීම ඒ වගේ තැනක පළ වෙයිද, එහෙමත් නැති නම් සම්පූර්ණයෙන්ම ලුහුඬු දැන්වීම් පමණක් අඩංගු පිටුවක පළ වෙයිද කියන්න කවුද දන්නේ. මම නෙවිනේ පිටු සැලසුම් කරන්නේ.

සම්පූර්ණයෙන්ම ලුහුඬු දැන්වීම් අඩංගු පිටුවක පළ වුණෝතින් නම් ඉතින් එය සාමාන්‍ය කෙනෙකුගේ ඇස ගැටෙන්න තියෙන හැකියාව ඉතාම අඩු බව මට පෙනී ගියා.

අනෙක් අතට මේක පුංචි දැන්වීමක්. කලු සුදු එකක්. අවසන් වශයෙන් ඒ පිටුවේ තියෙන දැන්වීම් රාශියක් අතරින් ඒ වෙතට අවධානය යොමු වෙන්න ඕනේ. අහම්බෙන් හරි ඒක වෙන්න නම් පහසුවෙන් ඇස යොමු වෙන තැනක ඒක ස්ථාපිත වෙලා තිබිය යුතුයි.

මේවා කල්පනා කරනකොට, දැන්වීම පළ කිරීමට ලැබීමෙන් හිතේ ඇති වූ සතුට දිය වෙලා යන්න ගත්තා. අපේක්ෂා භංගත්වයක් තුළින් හට ගන්න ශෝකයක් සහ බියක් මගේ හිතේ ඇති වුණා. මේ තරම් කොන්දේසි ගණනාවක් ඉටු වී ඇය විසින් මෙම දැන්වීම දකිනු ලැබීම හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වැනි අවස්ථාවක් බව මට ඒත්තු යමින් තිබුණා.

ඒත් ඇය කෙරෙහි හට ගත්තු මහත් වූ අමතක කළ නොහැකි සෙනෙහස නිසා 'කණ කැස්බෑවා කෙසේ හෝ විය සිදුරෙන් අහස බලනු ඇතිය' යනුවෙන් හදවත කියන්න වුණා. ඒ නිසා, අර බිය යටපත් කරමින්, අපේක්ෂාවේ සුබ සිහින දැල්වෙන්න වුණා. ඒත් බිය කියන එක යටපත් වෙමින් වුණත් දිගටම හදවත පසුබිමේ ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ඇනෙක් අතට, මම මේ තරම් පස් මහ බැලුම් බලමින් සැලසුම් කරමින් දැන්වීම නිර්මාණය කළේත් මේ කණ කැස්බෑවාට සිය ඇස විය සිදුරෙහි තැබීම සඳා කුඩා හෝ උපකාරයක් වනු පිණිස. ඉතින් ඒ කරුණ පමණයි යාන්තමට සැනසීමකට තිබුණේ. එවැන්නකුත් නොකළා නම් මේ වන විට 'සිහිනයක්' පමණක් හැරෙන්නට යථාර්ථවත් බලාපොරොත්තු කියන එක බින්දුවටම පහළ බසින්න ඉඩ තිබුණා.

සුබ පැතූ නංගීගේ පණිවිඩය.....

සිරිකත පුවත් පත නිකුත් වන දිනය ලෙසින් එහි සඳහන් වෙලා තියෙන්නේ සඳුදා. ඉතින් මං සඳුදා දිනේ මගේ ඉන්ටනෙට් සම්බන්ධතාවය සඳහා යොදා ගනිමින් තිබුණු සිම්පත් ෆෝන් එකට යොදා ගැනීම ප්‍රමාණවත්. ඒත් මට දෙයක් අමතකව තිබුණා. ඒ තමයි බොහෝ පුවත් පත් අදාල නාමික දිනයට කලින් වෙළඳ පළට පැමිණෙන බව... සිරිකත පුවත් පත, බ්‍රහස්පතින්දා වන විටම වෙළඳ පළට නිකුත්ව තිබුණා. ඒ නිසා දැන්වීම දැක ලබා දී තිබූ ප්‍රතිචාර සියල්ලම ලැබී තිබුණේ ඒ වන විට ඒ සිම්පත භාවිතා කරමින් සිටි මගේ මල්ලී වෙත.

මල්ලිත් ඒක භාවිත කරමින් සිට ඇත්තේ එයාගේ සිම්පතේ මුදල් අවසන් වීම නිසා. මුදල් රීලෝඩ් කරගන්න යන්න කම්මැලිකමේ එයා මේක පාවිච්චි කරලා. ඒත් මල්ලි එහෙමවත් නොකරන්න මට වෙන්නේ හරිම අකරතැබ්බයක්. දැන්වීමට සංවේදී වන අය ප්‍රතිචාර දක්වන විට අදාල අංකයෙන් ප්‍රතිචාරයක් නැතිව යාම.... බ්‍රහස්පතින්දා ඉඳන් සඳුදා වෙනකන් දින 5ක්. ඉතින් ඒ වගේ කාලයක් කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ වෙන්න හොඳටම ප්‍රමාණවත්.

පුවත් පත වෙළඳපළට පැමිණි දිනයේම මේ දැන්වීමට ලැබී තිබූ මිස් කෝල්ස් සහ මෙසේජස් එකතුව 11ක් පමණ. ඉතින් ඇහැ ගැටෙන්නේ නෑ කියලා හිතුවට මොකද මේ තරම් ප්‍රතිචාර ලැබෙන්න තරම් විශාල පිරිසක් මේක දැකලා තියෙනවා. ඔය විදියට ප්‍රතිචාර දක්වන්න ඇත්තෙත් බලපු අයගෙන් සුළු කොටසක්. ඒ අනුව විශාල පිරිසක් මේක දැකලා තියෙනවා. ඉතින් ඒක ලොකු සතුටක්. අඩුම ගණනේ එයා නොදැක්කත් එයාගේ යාලුවෙක්වත් මේක දැකලා කතා බහක් ඇති වුණොත් ඒ ගැන...

Sunday, October 30, 2016

ඔහේ ජීවත් වෙමුද... ජීවිතය උත්තර ලෙසින් විඳිමුද...

ඉතාම පැහැදිලි සත්‍යයක් තමයි 99%කටත් වැඩි දෙනෙක් ජීවිතය ගත කරන්නේ උපන්නාට අනුව හෝ දුකින් පීඩාවෙන් හෝ අතෘප්තියෙන්, උදාසීනත්වයෙන් කියන එක. ජීවිතයේ සතුට අත්කර ගැනීම වෙනුවෙන් හැම දෙනෙක්ම හැම වෙලාවෙම වෙහෙසෙන බවක් දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ සතුට සොයනවාටත් වඩා, තියෙන පීඩාවලින් අත්මිදෙන්න ක්‍රම හොයන එක.

කෙනෙක් මේ සඳහා බීමත්කම තෝරා ගන්නවා... නැති නම් දුම්වැටිය තෝරා ගන්නවා. ලිංගිකත්වය තෝරා ගන්නවා. කල්ලි ගැසීම තෝරා ගන්නවා. සමහර විට මේ ඔක්කෝම තෝරා ගන්නවා. කාන්තාවන් නම් අනියම් සම්බන්ධතා, රූපවාහිනිය තෝරා ගන්නවා.

ඉතා විශාල අවදානමක් අරගෙන සමහර අය අනියම් සම්බන්ධතා පවත්වාගෙන යනවා. සමහර අය පාර දිහා බලාගෙන සැමියා එනවද කියලා රතියේ යෙදෙනවා. ඉතින් මේ වගේ මොහොතක් තුළ මිනිසෙකුට සතුටක් ලබන්න පුළුවන්ද... නිදහස් පරිසරයක්, නිදහස් මනසක්, ආදරයක්, බැඳීමක් නැතිව මෙහෙම දේකින් සතුටක් ලබන්න පුළුවන්ද...

මෙතනදී වෙන්නේ ජීවිතයේ තියෙන මහා අසහනයෙන් මිදෙන්න මේ වගේ දෙයක් සමහන්කාරකයක්, එහෙමත් නැති නම් ආවේගයන් මුදා හැරීමේ මගක් ලෙසින් උපයෝගී කර ගැනීම පමණයි. මත්ද්‍රව්‍ය භාවිතයේ අරුතත් ඒකමයි... කෙනෙකුට සතුට කියන එක අත්විඳින්න පුළුවන් වෙන්නේ පියවි මනසින්... ඉතින් මත්ද්‍රව්‍ය ගත්තාම පියවි මනසක් පවතිනවද... එතනදී වෙන්නේ මේ දුක්ඛදායි ජීවිතයෙන් පලා යාමේ මගක් ලෙසින් ඒවා උපයෝගී කර ගැනීම.


ජීවිතයේ නැති බැඳීම් රූපවාහිනියේ චරිත සමගින් ඇති කර ගන්නවා. සැබෑ ජීවිතයේ පීඩාවට එරෙහිව සටන් කරන්න හැකියාවක් නැති නිසා තිරයේ මර්දනයට එරෙහිව සටන් කරන අය සමගින් ඒකාත්මික වෙනවා. ජීවිතයට නොලැබෙන ආදරය, තිරයේ ආදරයක් සමග එක් වීමෙන් අත් කර ගන්නවා. මනසේ සමාජීය වෙන්න තියෙන ඕනකම මේ මගින් යම් තරමකට සපුරා ගන්නවා.

බටහිර රටවල කරපු අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා රතියේ යෙදෙන අයගෙන් හතරෙන් එකක් විතර ඒ අතරේ සමාජ ජාලවල තමන්ගේ ලයික්, කමෙන්ට්ස් බලන බව. මේක අපිට හිනා යන කතාවක් වෙන්න පුළුවන්. ඒත් මේ යට සැඟවිලා තියෙන අරුත මොකක්ද...? අපේ සිතට ඕන කරන ඇගයීම, තැකීම, ගෞරවය කියන දේ නේද මේ සොයන්නේ.

තවත් කොටසක් ජීවිතය දුකක් නිසා ජීවිතයෙන් පලා යන්න හිතනවා. ඉතින් අපේ සමාජයේ අය නම් ඒ සඳහා තෝරාගන්නේ නිවන. ඇත්තටම සාතිශය බහුතරයකට නිවන යනු, දිවිනසා ගැනීමේ ක්‍රමවේදයක්. ධර්ම ග්‍රන්ථ ලියපු අය මේක දක්වලා තියෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. නිවන උත්තරීතර දෙයක් බවට පත් වෙන්නේ පැවැත්ම උපේක්ෂාවෙන් දකිමින් එය නිම කිරීමට සවිඥානික ලෙසින් මැදිහත් වෙනවා නම් පමණයි. එහෙම සිතක් ඇති වෙන්න නම් අපේ සිත ලෝභ ද්වේශ මෝහ වලින් මිදිලා තියෙන්න ඕන.


ජීවිතය සතුටින් ගත කරන්න නම්, එය ඉතාමත් උත්තර ලෙසින් විඳින්න නම් අපේ සිත ආත්මාර්ථයෙන් පරාර්ථය වෙතට මාරු වෙන්න ඕන. හිත තුළ ආදරය, දයාව, කරුණාව, මුදිතාව ඇති වෙන්න ඕන. පැවැත්ම නිමා කිරීමේ අවශ්‍යතාවක් නැති නම් කෙනෙක්ට සතුටින් ජීවත් වෙන්න ආදරය කරන්නත්, තමන්ට ආදරය ලැබෙන්නත් ඕන. ඉතින් මේ ටික කර ගන්න බැරිකම නිසා තමයි අපි විශාල දුකක් පීඩාවක් විඳිමින් සිටින්නේ... මේ සාධකවලින් ගොඩක් ඒවා අපි විසින්ම සපුරාගන්න ඕනි දේවල්. තවත් කොටසක් සමාජීයව සම්පූර්ණ වෙන්න ඕනි... අපිට කෙනෙක් ආදරය කරන්නේ සමාජීයව. අම්මා තාත්තගේ ආදරය වුණත් සමාජීය එකක්.

Saturday, October 29, 2016

සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(3 වන කොටස)

ඔයාලට කියන්න ඕනේ මේ සත්‍ය ආදර කතා පුවතේ ඉතාමත් තීරණාත්මක, ඔබට කිසිසේත් සිත අදහා ගත නොහැකි ලක්ෂ්‍යයකට එලඹෙනවා 2015 මැයි මාසයේදී... ඒ වගේම අපේ අධ්‍යාත්මික ලෝකය ගැනත් ඔබට ඉතාමත් වැදගත් සිත් අදහා ගන්න අපහසු තොරතුරු මේ කතා පුවතේ අන්තර්ගතයි...

මේ කතා පුවතේ තවත් විශේෂත්වයක් වෙන්නේ තවමත් මේ කතාව නිමාවට පත් වී නොතිබීම නිසා. එය කවර ආකාරයකින් අවසන් වේද යන්න මෙහි කතා නායකයාවත් දන්නේ නැහැ....


ඉතින් මට එක වෙලාවකට හිතුණා දැන්වීම් බාර ගැනීමේ කිසියම් ක්‍රියා පටිපාටියකට අනුව මේ වගේ දැන්වීම් බාර නොගැනීමේ කිසියම් රෙගුලාසි පද්ධතියක් තියෙන්නත් පුළුවන් නේද කියලා. කොහොම හරි ඉතින් මං නැවතත් සුපුරුදු වේදනාවේ උරුමකරුවෙක් බවට පත් වුණා.

ඒත් මට දින කීපයකට වඩා එහෙම ඉන්න අපහසු වුණා. මට දෙයක් හිතට ආවොත් ඒ දේ නොකර අත්හරින්න බෑ. ජීවිතේ කොයි තරම් අවදානමක් හෝ අසාර්ථකත්වයක් අත් වුණත් ඒක එහෙමයි. අනෙක් එක, මේක මගේ ජීවිතයේ වැදගත්ම දෙයක් පිළිබඳ තීරණාත්මක අවස්ථාවක්. ඉතින් මං කල්පනා කලා මෙහම දැන්වීමක් බාර ගන්නම බැරි රෙගුලාසි සමූහයක් තියෙනවාද කියලා හොයලා බලලම මේ වැඩේ අත්හරින්න.

ඒ අනුව, මං කොලඹ සිරිකත ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් අංශයට කතා කළා. නමුත් මුල් අවස්ථා කීපයේ වැඩේ සාර්ථක වුණේ නෑ. ඇතැම් විට කතා කළ පුද්ගලයා වෙනත් අයෙක් වෙත යොමු කළා. ඉන් පසුව කතා කළ පුද්ගලයා දැන්වීම් අංශයේ අදාළ අය මේ මොහොතේ සම්බන්ධ කරගන්න බෑ කියලා කීවා. ඒත් මම උත්සාහය අත් හැරියේම නෑ. ඉතින් අවසානයේ එක් දවසක මට සාර්ථක තොරතුරක් ලබා ගන්න පුළුවන් වුණා. එමගින් කියවුණේ දැන්වීම් නියෝජිත ආයතනයක් නෙවි, ඔවුන්ගේම පුවත්පත් දැන්වීම් නියෝජිත ශාඛාවක් වෙත ගිහින් මේ සම්බන්ධයෙන් කතා කරගන්න කියන එක. අපේ ප්‍රදේශයට තරමක් දුර නගරයක මේ ශාඛාවක් වාසනාවට වගේ පිහිටලා තිබුණා.

ඉතින් ඔවුන් එම ප්‍රාදේශීය කාර්යාලයේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනයත් ලබා දුන්නා. ඉතින් මං ඒ සැනින් එම ප්‍රාදේශීය කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.එයට පිළිතුරු ලබා දුන්නේ තරුණ නිලධාරියෙක්. ඔහුටත් මගේ දැන්වීමේ ස්වභාවය දැන්වීම බාර දීමට ගිහින් ඇති වුණු තත්වය විස්තර කළා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් ඔහු සංවේදී වූ ආකාරයක් පෙන්නුම් කළා. ඒක මට දරා ගන්න අපහසු තරම් සතුටක් වුණා.

''අපි මේ ගැන බලමු. ඔයාට පුළුවන්ද අපේ කාර්යාලයට ඇවිත් මේ සම්බන්ධයෙන් කතා කරන්න...''

අවසානයේ ඔහු පැවසුවා. ඇයි ඉතින් මට බැරි. ඒත් කාලය කියන එකත් වටින දෙයක්නේ. ඒ නිසා මං මෙහෙම කිව්වා.

''මං ඒ දැන්වීම ඊමේල් කරලා තියෙනවා ඔයාලට. ඒක බලලා මට ඒ සම්බන්ධයෙන් ඔයලගේ අදහස කියන්න පුළුවන්ද...''

ඉතින් ඊමේල් එක පරීක්ෂා කිරීමෙන් පස්සෙත් එයාගේ අදහස වුණේ මා එහෙට ගිහින්ම මේ ගැන කතා කර ගන්න ඕනේ කියන එක. ඉතින් මේකෙන් කියවෙන්නේ දැන්වීම පළ කරගන්න යම් අවස්ථාවක් තියෙනවා කියන එකනේ... ඉතින් මගේ හිත සතුටින් පිරුණා. හදවත බර වුණා. ගැහෙන්න ගත්තා ඉතින්.

ඉතින් මං පසුවදාම ගියා ඒ ප්‍රාදේශීය කාර්යාලයට. දුරකථන ඇමතුමට පිළිතුරු දුන් තරුණ නිළධාරියාම මෙතනදී මාත් එක්ක කතා කළා. මා අත තිබුණු, පරිගණකයෙන් සකස් කරගෙන මුද්‍රණය කරගත් දැන්වීම අරගෙන ඔහු ආයතනයේ තරුණ කලමනාකාරවරිය හමු වුණා. ඇය තරුණියක් වීමත් මගේ වාසනාවක්. ඇය දැන්වීම අනුමත කර තිබුණා.

''මේක සමහර විට පොලිසි යන වැඩක් වෙන්නත් පුළුවන්. ඔයා මේකේ සම්පූර්ණ වගකීම බාර ගන්නවා නේද...''

දැන්වීමට අදාල ලියකියවිලි සකස් කරන අතරේ අර තරුණ නිලධාරියා විමසා සිටියා. මට ඒ වෙලාවේ නම් පොඩි බයකුත් ඇති වුණා. විත්තියකට තියා පැමිණිල්ලකටවත් මං පොලිසි ගිහින් තියෙන කෙනෙක් නෙමේනේ. අනිත් එක, ලංකාවේ පොලීසිය... ඒ වුණත් ඉතින් මේ හැම එකකටම වැඩියෙන් මගේ සුන්දර සුරංගනාවිය වටිනවනේ. ඒ නිසා මේ බිය පැත්තකට දැමිය යුතුව තිබුණා.

අනිත් එක, මං වැරදි වැඩක් කරනවා නෙවිනේ. දැන්වීම තුළින් එයාගේ අනන්‍යතාව කොයිම අයුරකින්වත් හෙලිදරව් වෙන්නේ නෑ. ඒ නිසා ඉතින් මේක දැක්කොත් හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඇයටම පමණයි. ප්‍රතිචාර දැක්වීම හෝ නොදැක්වීම තියෙන්නෙත් ඇයගේ අතේ. ඒත් එදා දෙව්දුවක් වගේ මත් සෙනෙහසින් එයා මා දිහා බලා සිනාසුණු ආකාරයත්, මං පිට වෙලා එද්දි සොවින් බලා සිටි ආකාරයත් අනුව, මේ දැන්වීම දුටුවොත් එයා කතා නොකර නම් ඉන්නේ නෑ කියන එක මගේ ඒකායන විශ්වාසය වුණා.

''අයියා මේකේ තියෙන්නේ ඊමේල් එඩ්‍රස් එක විතරයිනේ ඔයාගේ. මොබයිල් නම්බර් එකත් දාමු නේද...''

එහෙම විමසා සිටියේ මගේ දැන්වීම ප්‍රතිනිර්මාණය කරමින් සිටි මල්ලි. ඔහු හොඳ අහිංසක තරුණයෙක්. එයා මගේ දැන්වීම තවත් අලංකාර විදියට නිර්මාණය කළා.

''මං ඒ ගැනත් හිතුවා මල්ලි. ඒත් ෆෝන් නම්බර්ස් දාපුවාම කරදරයි නේද... අනිත් එක මගේ නම්බර්ස් ගොඩක් අය දන්නවා. ඒක ලොකු ගැටලුවක්. එහෙම නම් ඉතින් මං ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන නම්බර් එක තමා දාන්න වෙන්නේ. ඒක නම් කවුරුත් දන්නෙ නෑ...''

මටත් මේක හරියටම කල්පනාවට ආවේ මේ වෙලාවේ... ලංකාවේ කීයෙන් කී දෙනෙක්ද ඊමේල් භාවිතා කරන්නේ... අද වගේ නෙවි 2012 වසර වන විට මේ තත්වය ගොඩාක් අඩුවෙන් තිබුණේ. ස්මාර්ට් ෆෝන් සහ දුරකථන සමාගම් වලින් සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත වුණේ මෑත කාලීනවනේ ලංකාව පුරා. ඒ වෙනකොට පහසුකම් පවා තිබුණේ නාගරිකව පමණයි.

ඉතින් අර යුවතිය මේ පහසුකම් නැති කෙනෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි... ඒ ගැන නොදන්නවා වෙන්නත් පුළුවන්. බාහිර ආයතනයක් වෙත ගිහින් ඊමේල් කරන්න මෙහෙම කෙනෙක් පසුබට වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. එතකොට මේකට ප්‍රතිචාර දක්වනවද නොදක්වනවද කියන තිගැස්මේ ඉන්න එයා අධෛර්යය වෙලා යන්නම ඉඩ තියෙනවා.

ඉතින් මේ අනුව, අර මල්ලි කළ යෝජනාව ගොඩක් වටින එකක් වුණා. එයාට ඕනෙ නම් පාඩුවේ දැන්වීම හදලා දීලා නිකන් ඉන්න තිබුණනේ... ඔහුත් හදවතින් මට ඒ යුවතියව හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කළ නිසා තමයි මෙහෙම යෝජනාවක් කළේ.

Monday, October 24, 2016

සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(2 වන කොටස)


ඉතින් පෝස්ට් ඔෆීස් එකට ගිහින් මිනිත්තු කීපයකින් ආයෙමත් බැංකුවට ආවත් එයා පේන්න හිටියේ නෑ. මගේ පපුව පිච්චිලා අළු වෙලා ගියා. ''ඔය ටික කර ගන්නනේ ඉතින් දැඟලුවේ... දැන් හරිනේ...'' හදවත, මටම චෝදනා කරන්න පටන් ගත්තා.

මොනවා වුණත් වෙන්න තිබුණ දේ වුණා. දැන් ඉතින් එයා කොහෙන් කියලා මේ නගරෙන් හොයන්නද... ලඟ හිටපු ළමයාට අංකයවත් දීගන්න බැරි වුණු මේ මෝඩයාට ඉතින් දැන් ඉතින් පුළුවන්ද එයාව හොයා ගන්න. ඉතාම වේදනාවෙන් වුණත් පෙරහැර ගිහින් අවසන් බව පිළි ගන්න සිදු වුණු වේදනාවෙන් තැවෙන බර වුණු හදින් යුතුව මං ඇවිදගෙන ඇවිත් කැබ් එකට ගොඩ වුණා.

ඔන්න ඔය විදියට එදා සිද්ධිය අවසන් වුණා. ඒත් මට කොහොමවත් මේ සිදුවීම හිතෙන් අමතක කරන්න බැරි වුණා. හැම මොහොතකම වේදනා දෙමින් එය එය මතකයේ රැව් දෙන්න ගත්තා. ඒත් කරන්න පුළුවන් කිසිම දෙයක් නොවීම නිසා අපේක්ෂා භංගත්වය තුළින් ඇති වන දැඩි වේදනාවේ උරුමකරුවෙක් වීමට පමණක් සිදු වුණා. දැන් මේ ගැන කල්පනා කිරීම කොයි තරම් ඵලක් නැති දෙයක් බව හිත කීවත් හදවත නම් එයාගේ වැඩේ අත්හැරියේ නෑ. මේ තරම් සොඳුරු යුවතියක් ජීවිතයේ මුණ ගස්වලා දීලත් ඒ වාසනාවට පයින් ගහපු මේ මෝඩයා කෙරේ තරහින් වගේ හදවත, මට නිරන්තරයෙන්ම වේදනාව ගෙන එන්න වුණා.

මං දහ අතේ කල්පනා කළා එයාව නැවත මුණ ගැහන විදියක් ගැන. ඒත් කොහොම කියල හොයා ගන්නද... එයා නගරය අවට ප්‍රදේශයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් නගරය සහ අවට වටා විහිදුණු ගම්මාන නම් කී දාහක්ද... කොහොම එයා හොයන්නද... ඇය නැවත නැවත අම්මා එක්ක බැංකුවට එනවා වෙන්න බැරිද... ඉතින් දියේ ගිලෙන්න යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මාත් මේ සිතිවිල්ලේ එල්ලුනා. ඉතින් මං ඊලඟට කල්පන්න කරන්න ගත්තා එයා එනවා නම් එන්න වඩාත් පුළුවන් මොන වගේ දිනවල, මොන වගේ වෙලාවලද කියලා.

ඒත් ඒක නිකම් මායාවක් විතරයි කියලා මට දින කීපයක් ගත වෙද්දි හිතෙන්න ගත්තා. මොකද, එයාගේ අම්මා ව්‍යාපාරයක් වෙනුවෙන් බැංකු කටයුතු කරන කෙනෙක් නෙවි... අනික, ඒ ආවේ අම්මා නොවී නැන්දෙක් වෙගේ කෙනෙක් වෙන්නත් පුලුවන්. මෙහෙම බැලුවාම එයා ආයෙමත් බැංකුවට එන දිනයක් අල්ලාගන්න නම් සෑම වැඩ කරන දිනයකම මුළු දිනේම බැංකුවට වෙලා ඉන්න වෙනවා.

ඒත් මේ යුවතිය මගේ හදවතේ ආපසු නොයන්නටම ලැගුම් අරන් තිබීම නිසා කුමක් හෝ කළ යුතුමයි කියන පෙරැත්තය හදවතින් නිරතුරු එල්ල වෙන්න වුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙසින් මගේ ඔලුවට අලුත් අදහසක් ආවා. ඒ තමයි මේ සිද්ධිය ගැන කෙටියෙන් සඳහන් කරලා, ප්‍රදේශවාසීන්ගෙන් උදව් පැතිය යුතු බවට. ඒ අනුව මං කෙටි පණිවිඩයක් තුළ මේ අදහස සටහන් කරලා එයාව දන්න කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංකයට දැනුම් දෙන්න කියලා කාරුණික ඉල්ලීමකුත් කළා. මේ පණිවිඩය යැවීම සඳහා මං තෝරා ගත්තේ ප්‍රදේශයේ සී. ඩී. එම් දුරකකථන විශේෂය. මොකද, මොබයිල් නම්බර්වලින් හොයා ගන්න බෑඅ අපේ ප්‍රදේශයේ අය. රැහැන් සහිත ස්ථාවර දුරකථන බොහෝමයක කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඒත් සතියක් විතර ගත වුණත් එක මුස්ලිම් ජාතිකයෙක්ගෙන් හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් පැමිණියේ නෑ. ඔන්න ඔහොම ඒ වැඩෙත් අසාර්ථකත්වයෙන් අවසන් වුණා. ඒත් එහෙමයි කියලා ඒ සොඳුරු යුවතියව අමතක කරන්න මට හැකියාවක් තිබුණේ නෑ. මේ අතරේ මගේ ඔලුවට තවත් අලුත් අදහසක් ආවා. ඒ තමයි මේ ගැන පත්තරේ දැන්වීමක් දැම්මොත් මොකද කියලා. මේ වගේ දැන්වීමක් ගැන ආදර්ශයක් නම් මගේ ජීවිතේට දැකලා නැති වුණත් මගේ ඔලුවට එහෙම අදහසක් පැමිණියා.

ඉතින් ඒ උත්සාහය, බොහෝ දුරට සාර්ථක විය හැකි දෙයක් සේ මගේ හිතට පේන්න ගත්තා. ඉන් පස්සේ ඉතින් මගේ සිතිවිලි වැඩ කරන්න වුණේ මේක සාර්ථක කරගත හැකි එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න. පොදු වශයෙන් වැඩිම අලෙවියක් තිබුණේ සති අන්ත ජාතික පුවත් පත්. ඒත් මේවා කියවන වැඩි දෙනෙක් වැඩිහිටි පිරිමි අය. තරුණ අය කියෙව්වොත් ඉතින් එහි ටැබ්ලොයිඩ් අතිරේකය. එහෙම නම් කාන්තා පුවත් පත්...?

ඉන් පස්සේ මං හෙව්වා වැඩිම අලෙවියක් තියෙන සහ වැඩිපුර තරුණියන් කියවන කාන්තා පුවත්පත මොකක්ද කියලා. එහිදී එක්තරා කාන්තා පුවත්පතක් හඳුනා ගන්න ලැබුණා. ඇත්තටම මගේ ජීවිතයට මේ පුවත්පත විසින් දක්වපු අනුග්‍රහය සැලකුවාම එහි නම සඳහන් කරන්නම ඕනේ. ඒ තමයි 'සිරිකත' පුවත්පත.

ඉන් පස්සේ මගේ අවධානය යොමු වුණේ මේක වැඩි පිරිසකගේ ඇස ගැටෙන ආකාරයට නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන. දැන්වීම් ගොඩක් අතර මේකට ඇස යොමු නොවී මග හැරෙන්න ඕනේ තරම් අවස්ථාව තියෙනවා. එතකොට තමයි මගේ ඔලුවට අපූරු අදහසක් ආවේ. ඒ තමයි 2012 වර්ෂයේ තියෙන වැදගත්කම. ඒ වන විට මුළු ලොවම, ඒ වර්ෂයේ සිදු වන ලෝක විනාශයක් පිළිබඳව කතා කරමින් සිටියා. ඒ ගැන ලෝකවාසී හැම කෙනෙක්මත් කිසියම් හෝ අවධානයක් යොමු කරමින් සිටියා.

ඉතින් මෙන්න මේ පොයින්ට් එක මගේ දැන්වීමටත් ආදේශ කර ගන්න මං කල්පනා කළා. ඒ අනුව දැන්වීමේ 2012 යන්න අනෙක් හැම දේටම වඩා හයිලයිට් වන අයුරින් මං නිර්මාණය කළා. එවිට ඕනම කෙනෙකුගේ ඇස් දෙසට යොමු වෙන්න තියෙන අවස්ථාව සාපේක්ෂව වැඩියි.

පරිගණකය ආශ්‍රයෙන් මං දැන්වීම නිර්මාණය කරගෙන මහත් අපේක්ෂා පෙරදැරිව, සතුටීන් ගියා ප්‍රදේශයේ දැන්වීම් නියෝජිත කාර්යාලය වෙතට. එහිදී දැන්වීම කියෙව්වේ තරුණ අයියා කෙනෙක්. ඔහුගේ මූණේ සිදුවෙන වෙනස්කම් මං නිරීක්ෂණය කළා.

''මේ වගේ ඒවා පළ කරන්න බෑ...''

ඔහු අවඥාවෙන් යුතුව කීවා. ඒ අසල සිටි තවත් අංකල් කෙනෙකුත් ඒක දැකලා කියෙව්වට පස්සේ ඒක අනුමත කළා.

ඉතින් ඔවුන්ගේ ක්‍රියාවෙන් ඇති වූ අපහාසයට වඩා මට දැන්වීම පළ කරගන්න නොහැකි වීම ගැන ඇති වුණේ දරා ගන්න බැරි දුකක්. ඒ වගේම මේ මුස්පේන්තුවන් ගැන ලොකු කේන්තියක්. දැන්වීම පළ කරන්න අවස්ථාවක් නෑ කියමු, ඒත් අඩු ගානේ මේ දිහා මානුෂික විදියට බලන්න තිබුණා.

Sunday, October 23, 2016

හිතන ලෝකය තරම් දකින ලෝකය ලස්සන නැද්ද...?

මිනිසා කියන්නේ සංකල්පීය සත්වයෙක්. තේරෙන්න කියනවා නම් ඔලුවෙන් මවා ගත් ලෝකයක ජීවත් වන කෙනෙක්... එතකොට ඔබ අහන්න පුළුවන් ඒ කියන්නේ මිනිසා ජීවත් වෙන්නේ යථා ලෝකය තුළ නෙවිද කියලා... ඔව්, මිනිසා ජීවත් වෙන්නේ යථා ලෝකය එහෙමත් නැති නම් ස්වාභාවික ලෝකය තුළ නෙවි. ඒක, මිනිසාගේ වරදක් නිසා සිද්ධ වුණු දෙයක් නෙවි... කිසියම් ජීවියෙක්ගේ බුද්ධිය, සවිඥානය වැඩීමත් එක්ක නිතැතින්ම සිදුවන දෙයක්.

මිනිසා ස්වභාවික ලෝකයක නෙවි ජීවත් වෙන්නේ කියන එක ලෙහෙසියෙන් වටහා ගන්න සරල නිදසුනක් දෙන්නම්... යුරෝපීය වැසියෙකුයි, මැද පෙරදිග වැසියෙකුයි, අපේ රටේ කෙනෙකුයි කාන්තාව කියන කෙනා දකින්නේ 'සංජානය කර ගන්නේ' කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න... එකිනෙකට බොහෝ වෙනස් විදියට. ඉතින් මිනිසා යථා ලෝකයක ජීවත් වන කෙනෙක් නම් මේ විදියට එකම කාන්තාව එකිනෙකට ඉතාමත් වෙනස් විදියට දකින්න පුළුවන්ද... බැහැනේ...

මේ සංකල්පීය ලෝකය තුළ දකින්න ලැබෙන තවත් ලක්ෂණයක් තමයි අපි හිතින් මවා ගන්න ලෝකය සහ යථා ලෝකය අතර වෙනසක් පැවතීම. පරතරයක් පැවතීම... බොහෝ විට හිතින් මවා ගන්න ලෝකය, යථා ලෝකයට වඩා සුන්දරයි හෝ අසුන්දරයි.


මෙහෙම වෙන්නේ ඇයි... ඒකට හේතුව තමයි මනසේ තියෙන පරිකල්පන ශක්තිය... එය සැම විටම පවත්නා තත්වයට ඔබ්බෙන් දෙයක් සිතනවා... ඒ අපේම යහපත වෙනුවෙන් වෙන්න පුළුවන්. නිදසුනක් විදියට අපි ආදරය ගැන පෙම්වතා පෙම්වතිය ගැන ඔලුවෙන් මවා ගන්න ලෝකය සැබෑ ලෝකයට වඩා බොහෝ වෙනස්. බොහෝ සුන්දර හීන දැකලා විවාහ වෙන අය ටික දිනකින්ම ඒ ගැන කලකිරෙනවා. තවත් කාලයක් යනකොට එපා වෙනවා. නැති නම් උදාසීන වෙනවා.

මිනිස් ලෝකය මේ තරම් හෝ දුරට ලස්සන හා අවලස්සන වෙලා තියෙන්නේ මේ පරිකල්පන හැකියාව නිසාම තමයි. ඒ හැකියාව ඉතාමත් ඉහල මට්ටමක තිබුණා නම් ජීවිතය බොහෝ ලස්සන වෙන්න තිබුණා. ඒත් මිහි මත ඒ හැකියාව තවමත් ඉතා ප්‍රාථමික මට්ටමකයි තියෙන්නේ.

අපේ යාලුවෙක්ගේ නෑ සහෝදරයෙක් මේ ලඟදි විවාහ වුණා. ඉතින් එයාගේ පෙම්වතිය යාලුවගේ ගෙදර ඇවිත් ගියාට පස්සේ එයාට එස් එම් එස් කරන්න පටන් අරගෙන. එයා කියනවලු අපරාදේ ඔයා කලින් හමු වුණා නම් කියලා. එන පොට හොඳ නෑ කියලා මෙයා හිමීට මෙසේජ් කරන එක නතර කරලා... යාලුවත් ඉතින් කුකුලා. අනිත් එක එයා කාන්තාවන් ගැන සමීක්ෂණය කරන කෙනෙක්...  එයා අනියම් සම්බන්ධතාවලට කැමතියි. හැබැයි ඒක නියම් සම්බන්ධයක් වෙන්න එන පාටක් පෙනුණොත් එයා හිමීට ලිස්සලා යනවා ආඳා වගේ.

දැන් මේ අලුත් විවාපත් වුණ තරුණියට මොකද වෙලා තියෙන්නේ... එයා කියන හැටියට දැන් තරුණයා එයාට කතා කරන්නෙත් දවස් දෙක තුනකට සැරයක්ලු... දෙන්න සේවය කරන්නේ තැන් දෙකක... ඉන්නෙත් තැන් දෙකක. මේ දෙන්නාට ආර්ථික ප්‍රශ්නත් නෑ.. හොඳ වැටුපකුත් ලබනවා. හොඳ ගෙදරක් තියෙනවා. වාහනයක් තියෙනවා... ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නේ.. ඒත් හිතේ සතුට කියන එක පලා ගිහින්... ඇයි මෙහෙම වුණේ...


ඒකට හේතුව තමයි මේ දෙන්නාම ආදරය කරන්න පටන් ගන්නේ අනෙක් කෙනාට ආදරය කරන්න බලාගෙන නෙවි... තමන්ට ආදරය ලබා ගන්න. ඒ වගේම හෝමෝන මගින් ඇති කරපු පෙළඹීම මත.. එතන තියෙන්නේ ආශාව... ඉතින් මේ සියල්ලම මතින් අපි ඒ ජීවිතය ගැන මනසින් අතිශය සුන්දර ලෝකයක් නිර්මාණය කර ගන්නවා. ඒත් භාවිත ලෝකය ඒ මට්ටමේ නෑ.

භාවිත ලෝකය සුන්දර නොවෙන්නේ අපේ හිත් පරාර්ථකාමී නැති නිසත් ආදරණීය නැති නිසත්.

ආශාවේ ස්වභාවය තමයි එය තෘප්ත වූ සැනින් ක්‍රමයෙන් එය අතෘප්තියට පත් වීම... එහෙම නොවෙන්න නම් ආශාව සම්පූර්ණ තෘප්තියට පත් නොවී තබා ගන්න ඕනේ... ඒත් විවාහයට එලඹුනාම සියලු බාධක අහෝසි වෙලා යනවා... ඒ වගේම අයිතිකාරත්ව හැඟීම නිසා අන්‍යෝන්‍ය ගෞරවය, නැවුම් බව, මිතුරු බව නැති වෙලා යනවා... ඉතින් මෙතන එපා වීම අහන්නත් දෙයක්ද...

ඒත් අනියම් ඇසුරකට ගියාම එතන විශාල බාධක රාශියක් පවතිනවා... ඒ නිසා ආශාව පරිසමාප්ත තෘප්තියට පත් වෙන්න අවස්ථාවක් නෑ... ඒ වගේම අයිතිකාරත්වයක් නැති නිසා අන්‍යෝන්‍ය ගරුත්වය, නැවුම් බව, මිතුරු බව ආරක්ෂා වෙනවා... ඉතින් එතන ලොකු සතුටක් දැනෙන්න ගන්නවා. හැබැයි ඉතින් අර යුවතිය අර දෙවන තරුණයාව විවාහ කරගත්තොත් ඒ සම්බන්ධයට වෙන්නෙත් මුල් එකට වුණු දේමයි.

ඉතින් එහෙම නොවී සැමදා ආදරයෙන්, සතුටින් ජීවිතය පිරී යන්න නම් අපේ හිත් පරාර්ථයෙන් පිරී යන්න ඕනේ... ආදරණීයත්වයෙන් පිරී යන්න ඕනේ... අයිතිකාර හැඟීම ඉවත් කර ගන්න ඕනේ...

Saturday, October 22, 2016

දෙයක් ආත්මය කර ගැනීම.... (ආදරය කියන්නේ මොකක්ද..3)

 අපි පසුගිය කතා බහ නතර කළේ, සමාජීය ආදරයක් තියෙන අය පෞද්ගලික ආදරයෙදි දක්වන කැපවීම අඩුයි කියන කතාව මිත්‍යාවක් කියන එක කියමින්... හැබැයි එහෙම වෙන්නේ සෛද්ධාන්තිකව.

 ඒත් අපට ප්‍රායෝගික ජීවිතයේදී දකින්න තියෙන්නේ ඇත්තටම ඔය කියන තත්වය... මෙහෙම වෙන්නේ කොහොමද...

හැම මිනිසෙක්ටම ජීවත් වෙන්න අරමුණක් ඕනේ... සිහිනයක් තියෙන්න ඕනේ.... බැඳීමක් තියෙන්නත් ඕනේ.... ඉතින් හැම කෙනෙක්ම මේ වෙනුවෙන් කුමක් හෝ දෙයක් තෝර ගන්නවා. කෙනෙක් සමහර විට මේ සඳහා නිවන වගේ දෙයක් තෝර ගන්නත් පුළුවන්.

සමහර විට මේ දේ සමාජීය දෙයක් වෙන්න පුළුවන්... නැතිනම් භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. එහෙම නැති නම් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක්. මේක අපේ ආත්මය ගොඩ නැගීම සඳහා වන අවශ්‍යතාවක්. ඒ නිසා ඒක ස්වාර්ථකාමීයි... අපේ පැවැත්මේ උරුමය බොහෝ විට ආත්මාර්ථය නිසා මේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කෙරෙන්නේත් ඒ පදනම මත. ඉතින් මෙන්න මේ අවශ්‍යතාව මත කෙනෙක් සමාජීය ආදරය තෝර ගන්නවා නම් එයා පෞද්ගලික ආදරය සඳහා දක්වන කැපවීම අඩු වෙන්න හෝ ඉතාම අඩු වෙන්න පුළුවන්.

සමහර විට අපි තෝර ගන්න අරමුණ අපට මූණ පාන්න වෙන බාහිර අභියෝගයන්, පීඩාවන්වලින් මිදෙන්න තෝරා ගන්නා එකක් වෙන්නත් පුළුවන්... නිදසුනක් විදියට කෙනෙක් තමන්ගේ ගෙදර පීඩාකාරී තැනක් වෙනකොට බෝතලය තෝර ගන්නවා. අම්මා දරුවාව ඒ සඳහා තෝර ගන්නවා... නැති නම් අනියම් සම්බන්ධයක් ඇති කර ගන්නවා. නිර්මාණ කාර්යයක නිරත වෙනවා.


 කොහොම වුණත් ආත්මාර්ථය මත අපේ මේ ආත්මීය බැඳීම ඇති කර ගත්තාම එයා අනෙක් සියලුම දේ නොසලකා හරිමින් එයට ආදරය කරන්න ගන්නවා. වෙන එකක් තබා තමන්ව පවා නොසලකා හරිමින්... ඒ කියන්නේ වෙලාවට කන්නෙ නෑ, ව්‍යායාම කරන්නේ නෑ, කොටින්ම තමන්ගේ ජීවිතයේ කිසිම දෙයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ නෑ.

ඉතින් මේක දකින කෙනෙක් කියන්න පුලුවන්,''අනේ එයා මොන තරම් තමන්ගේ දරුවට ආදරේද, නිර්මාණවලට ආදරේද, සමාජයට ආදරේද.... තමන් ගැනවත් එයා හිතන්නෙ නෑ...'' කියලා.. ඒත් ඇත්ත තත්වය තමයි එයාගේ ආත්මයට සැනසිල්ල ලැබෙන්නේ අර දේ තුළින් නිසයි ඒ වෙනුවෙන් එහෙම කැප වෙන්නේ.

පරාර්ථය මතින් පදනම් වෙලා ආදරය කරන කෙනෙක් තමන්ව නොසලකා හරින්නේ නෑ... තවත් කෙනෙක්ව නොසලකා හරින්නෙත් නෑ... එයාගේ ආදරය සමබරයි... දැන් බලන්න දුවලා පුතාලා විවාහ වුණාම ගොඩක් අය තමන්ගේ මාපියන්ව නොසලකා හරිනවා.... ඇයි ඒ... තමන්ගේ ආත්මීය සාරය අලුත් දේ මතින් ගොඩ නංවා ගන්න නිසා. අලුත් පෙම්වතෙක් පෙම්වතියක් හමු වුණාම පරණ කෙනා කුණු මාළු කෑල්ලක් වගේ පේන්න ගන්නවා.

වියපත් වෙනකොට මානසික හැකියාවන් සමහර අයගේ අඩු වෙන නිසත්, වියපත්කම නිසාම තමන් කලින් බැඳිලා හිටි අයව පාලනය කරගන්න හැකියාවක් නැති නිසත් ඒ අය නිවන, තමන්ගේ ඇඳුම් කැඩුම් ටික, ඉතිරි කරගෙන තියෙන සල්ලි ටික වගේ තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් අල්ලා ගන්නවා.

අපිට කතා කරගන්න අතපසු වුණ කරුණ තමයි, සුරතල් සතෙක් අපට දක්වන්නේත් පරාර්ථය මතින් ඇති වුණු ආදරයක් නොවුණත් ඒක මිනිස් ආදරයට වඩා අවංක වෙන්නේ, වඩාත් ආදරණීය වෙන්නේ කොහොමද කියන එක.

සතෙක් ජීවත් වෙන්නේ සංකල්පීය ලෝකයක් තුළ නෙවි. ඒ නිසා එයාගේ ලෝකය හරිම පැහැදිලියි... විකෘති වෙලා නෑ දෘෂ්ටිවාදයන්ගෙන්. ඒ වගේම අල්පේච්ඡයි. සැහැල්ලුයි. මේ නිසා එයාට පුලුවන් වෙනවා මුළු හදින්ම තමන්ගේ ඒ ආදරය, බැඳීම පවත්වාගෙන යන්න.

Friday, October 21, 2016

කවීෂා සහ අපි....

මියගිය කවීශා කලාකාරිණියගේ මිනී පෙට්ටිය ලඟ ඉඳන් අපේ රටේ කලාකරුවන් පිරිසක් ගත්තු සෙල්ෆියක් මේ දිනවල දැඩි කතා බහට ලක් වෙලා තියෙනවා. තමන් එක්ක එකට ඉඳපු සහෝදරිය ලඟ ඉඳන් මේ වගේ ඡායාරූපයක් ගන්න හිත් පිත් තියෙන කෙනෙක්ට පුලුවන්ද කියන එක ප්‍රශ්නය මේත් සමග ඇති වෙනවා...

එක අතකින් ඉතින් ඉහත සෙල්ෆියට අපි දොස් කියන එක වැරදියි... මොකද ඒ ඡායාරූපය නිර්ව්‍යාජයි. තමන්ගේ හදවතේ ඇත්ත ස්වරූපය එමගින් පෙන්වා දෙනවා... හදවතේ නැති ශෝකයක් පෙන්වනවාට වඩා ඒක හොඳයිනේ.

කොහොමත් ලාංකීය සමාජය තුළ අවංක මානුෂීය බැඳීම් කියන ඒවා දකින්න නැති තරම්... පවුල තුළත් නෑ, සමාජය තුළත් නෑ... මේ නිසා ඉතින් කෙනෙක් මිය ගියා කියලා හදවතින් එන සංවේගයක් බොහෝ දෙනෙක් තුළ හට ගන්නේ නෑ.

ඒ නිසා තමයි බජව් දමමින් බස් එකේ ගිහින් මල ගෙදර ලං වෙනකොට නිහඬ වෙලා මූණු හදාගෙන හිතේ නැති ශෝකයක් පෙන්වන්න හදන්නේ. අපේ ආත්තම්මා මිය ගියාට පස්සේ ඔන්න එයාගේ එක ලේලියක් එයාගේ දරුවන් එක්ක මල ගෙදර වැඩ වලට සහභාගී වෙනවා. එයලා කවුරුවත් තුළ ශෝකයක් පේන්න නෑ... ඔන්න මේ අතරේ එයාගේ එක පුතෙක් කැමරාවක් අරන් ඇවිත් දේහය ලඟ ඉඳන් ඒ අයගෙ ඡායාරූපයක් ගන්න සූදානම් වුණා... මෙන්න බොලේ මේ හොඳට හිටිය නැන්දා එක පාරටම අඬන්න ගත්තා. මට අදහා ගන්න බැරිව ගියා... අපේ ජාතිය හරියට කටුස්සෝ වගේමයි... තැනේ හැටියට පාට වෙනස් කරන්නේ කටුස්සන්ටත් වඩා ඉදිරියෙන් සිටිමින්. මේ කටුසු මානසිකත්වය මිසක් ඔවුන් තුළ හදවතේ ක්‍රියාත්මක වෙන පරමාදර්ශ කියලා ජාතියක් ඇත්තේම නැති තරම්. තියෙන එකම පරමාදර්ශය ආත්මාර්ථය.

හිත්වල තියෙන මේ නරුම ආත්මාර්ථය පොඩි දරුවෙක්ව ඉද්දිත් මට දැනිලා තිබුණා සමහර අවස්ථාවලදි. තමන්ගේ ඥාතියෙක් මිය ගියාම බොහෝ දෙනෙක් විලාප තියන්නේ ''අනේ දෙයියනේ මට කන්න බොන්න දීපු කෙනා. දැන් කවුද ඉතින් අපිව බලා ගන්නේ'' වගේ දේ කියමින්... මට ඒ කාලෙම හිතුණු දේ තමයි මේ අය දුක් වෙන්නේ මිය ගිය කෙනා අහිමි වීමේ වේදනාවෙන් නෙවි එයා අහිමි වීම නිසා තමන්ට අහිමි වූ දේවල් වෙනුවෙන් කියන එක. පවුලක් තුලවත් සැබෑ ආදරණීය බැඳීම් නෑ කියන එක මට ඒ කාලෙම දැණුනු දෙයක්.

සමාජය විසින් හෝ කලාකරුවන් විසින් හෝ මේ දෙගොල්ලෝම එකතුව හෝ හදලා තියෙන සංකල්පයක් තමයි කලාකාරයෝ කියන්නේ බොහොම සංවේදී ආදරණීය පිරිසක් කියන එක. ඒත් මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් මගෙත් එක්ක කිව්ව දෙයක් තමයි කලාකරුවන් තරම් කුහක රළු පිරිසක් එයා දැකලා නෑ කියන එක.

කලාකරුවෝ කියන්නේ ඉතින් පිටසක්වලයන් පිරිසක් නෙවිනේ.. ඔවුනුත් අපේ සමාජයේම කොටසක්... ඒ වගේම තරඟකාරී සමාජ ස්ථරයේ කොටසක්. ඒ නිසා සරල ගැමියෙක්ට වඩා කුහකකම්, පහත් වැඩ ඔවුන් අතර තියෙන්න පුළුවන්. ආත්මාර්ථය එක්ක බල ආශක්තභාවය එක් වුණාම ඕනම කෙනෙක්ට, සමාජ ස්ථරයකට අත්වෙන ඉරණම තමයි ඒ.

කෙනෙක් යෝජනා කරන්න පුළුවන් සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය අනුව අට ලෝ දහම ගැන අවබෝධයෙන්, මරණානුස්සතිය වැඩීම නිසා අපේ අය තුළින් මෙහෙම තත්වයක් දැකින්න ලැබෙන්නේ කියලා. ඇත්තටම ඒක මිත්‍යාවක්... බුදු හිමියන්ම තමන්ගේ ආදරණීයයන් වෙන් වුණාම ධර්ම සංවේගයට පත් වුණු අවස්ථා, ඔවුන්ට බුහුමන් දැක්වූ අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. අපේ අය තුළ දකින්න ලැබෙන්නේ එවැන්නක් නෙවි, හුදු නරුම ආත්මාර්ථය.

අපිට කෙනෙක් වෙන් වුණාම ඇත්ත ගැඹුරු ශෝකයක්, සංවේගයක් හට ගන්න නම් එයා එක්ක බැඳීමක් තියෙන්න ඕන... අපේ හදවත ආදරණීය එකක් වෙන්න ඕනේ... එහෙම නැතිව ඉතින් ඒ දේ වෙන්නෙ නෑ... එකට ජීවත් වීම නිසා, එයාගෙන් තිබුණු වාසි ප්‍රයෝජන නිසා ඇති වුණු බැඳීම් නිසා හටගන්න ශෝකය තාවකාලිකයි... ටික කාලයක් ගත්වෙද්දි ආයෙ මතක් වෙන්නෙවත් නෑ ශෝකය කොහොම වුණත්.

ගැඹුරෙන් හට ගන්න ශෝකය, වේදනාව අපිට කෙනෙක් දිහා බැලුවම වුණත් හඳුන ගන්න පුලුවන්.

Sunday, October 16, 2016

ආදරයේ රුව ගුණ (ආදරය කියන්නේ මොකක්ද... - 2)

අපි, ආදරය ගැන කතා බහ පටන් ගත්තේ 'ආදරය මොන වගේද' කියන තේමාවෙන්. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද...? මොන වගේ දෙයක්ද... ජීවිතය සඳහා එහි තියෙන වැදගත්කම, වටිනාකම මොකක්ද... ලෝකය සඳහා එහි තියෙන වටිනාකම මොකක්ද.. ආදරයේ රුව ගුණ මොන වගේද... ආදරය ඒකල හැඟීමක්ද....  නැතිනම් පුළුල් පරාසයකට අයිති එකක්ද... ආදරය මේ තරම් තීරණාත්මක ලෙසින් මිනිසාගේ පමණක් නොව සියලුම ජීවීන්ගේද, එතනිනුත් නොනැවතී අජීවී පදාර්ථයට පවා විශාල ලෙසින් බලපෑම් කළ හැකි හැඟීමක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි... මෙන්න මේ මූලික ප්‍රශ්න ටික ගැන අපේ ලොකු අවධානයක් යොමු විය යුතුව තියෙනවා.

  ආදරය පිළිබඳව ඕනෑම පුද්ගලයෙක් තුළ ඇතිවෙන හැඟීමක් තියෙනවා. ඒකට බලපාන කරුණුත් ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ නිසා හැම කෙනෙක්ම තමන්ට දැනෙන අයුරින් ආදරය ගැන හිතනවා... බුදු හිමියන්ට වගේම හිට්ලර්ටත් ආදරය ගැන අදහසක් තියෙනවා. ඒත් මේ ආදරයන් දෙක කොයි තරම් වෙනස්ද... ඉතින් මේ තත්වය හමුවේ හැම කෙනෙක්ම තමන්ට දැනෙන අයුරින් ආදරය ගැන හිතනවා. සංවේදී වෙනවා. කතා කරනවා. විවිධ චින්තකයන් විසිනුත් ආදරය ගැන කතා කරලා තියෙනවා. අදටත් කතා කරනවා.

කොහොම හරි, එතෙක් මෙතෙක් කාලය තුළ ආදරය ගැන මිනිසා විසින් ගොඩ නගලා තියෙන සංකල්ප විශාල ප්‍රමාණය දිහා බැලුවාම අපට වටහා ගන්න තියෙන එක කරුණක් තමයි මේක සරල හැඟීමක් නෙවි කියන එක. විශාල පරාසයක් තුළ විහිදී ගිය එකක් කියන එක...

සාමන්‍යයෙන් විවිධ විෂය කරුණු අරබයා පොදුවේ පිලිගත් අර්ථ දැක්වීම් තියෙනවා... ඉතින් ආදරය සඳහාත් එහෙම තියෙනවද... යම් යම් පොදු අදහස් තිබුණත්, පොදුවේ වැඩි දෙනෙක් එකඟ වුණු අර්ථ දැක්වීමක් දකින්න නෑ. පොදුවේ වැඩි පිරිසක් එකඟතාවට පත් වෙච්ච අර්ථ දැක්වීමක් නැති නම් එහි අදහස මොකක්ද... ඒක ඉතාම සංකීර්ණ දෙයක් කියන එක නේද...

එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මේ තත්වය හමුවේ ආදරය සඳහා කිසියම් අර්ථ දැක්වීමක් දෙන්න අපි කාටවත් හැකියාවක් නෑ කියලා. එහෙම දුන්නොත් ඒක තාර්කික නෑ, තම තමන්ගේ අර්ථ දැක්වීමක් පමණක් බවට පත් වෙනවා කියලා... පොදුවේ වැඩි දෙනෙක් එකඟ වූ පමණින් යම් කරුණක් සත්‍යයක් බවට පත් වෙනවා කියලා නියමයක් නෑ... ඒ නිසා යම් කරුණක් තාර්කික නම්, බුද්ධිගෝචර නම් එය නොපිළිගෙන ඉන්න හේතුවක් නෑ... 

ආදරය 'ජලය' වගේ....

ජලයට, එයටම ආවේණික වුණු හැඩයක් නෑ... එහි හැඩය සකස් වෙන්නේ එය රඳන භාජනය මත. එහෙම වුණත් ජලයට ආවේණික වුණු ගුණයන් ගණනාවක් තියෙනවා... ඒවා විස්තර කරන්න පුළුවන්. ආදරයත් ඒ වගේ තමයි. ඒක පවතින පුද්ගලයා මත එහි හැඩය තීරණය වෙනවා. ක්‍රියාකාරීත්වය තීරණය වෙනවා. ඒත් ආදරයටත් ආවේණික ගුණයන් ගණනාවක් තියෙනවා.. ඒවා විස්තර කරන්න පුළුවන්.

ආදරය කියන්නේ බැඳීම් අතරින් එකකට... සමහර අය නම් කියනවා සැබෑ ආදරය තුළ බැඳීමක් නෑ, හුදෙක් ආදරය ලබා දෙන්නා විසින් ආදරය මුදා හැරීමක් පමණයි තියෙන්නේ කියලා. ඒත් ඒ කතාවේ ඇත්තක් නෑ... බැඳීමක් නැති තැන ආදරයක් නෑ... එවැනි තැනක තියෙන්නේ කරුණාව, දයාව වැනි හැඟීමක් වෙන්න පුළුවන්. මනුස්සයෙක්ට හෝ සතෙක්ට හෝ පරිසරයට හෝ භාණ්ඩයකට හෝ ආදරයක් තියෙනවා නම් එතන බැඳීමක් තියෙන්නම ඕන.

හැබැයි මෙතනදී අපි පරෙස්සම් වෙන්න ඕන ආදරය කියන්නේ කිසියම් පුද්ගලයෙක්, වස්තුවක් ඉලක්ක කරගත් යොමු වූ එකක් නෙවි. ආදරය කියන හැඟීම හට ගන්නේ සමස්ත ලෝකයම වෙනුවෙන්මයි... සමස්ත පැවැත්මම වෙනුවෙනුයි. ඒ වෙනුවට කිසියම් පුද්ගලයෙක්, වස්තුවක් සම්බන්ධයෙන් පමණක් මේක හට ගන්නවා නම් ඒ සැබෑ පිවිතුරු ආදරය නෙවි...

එවැනි ආදරයක් හට ගන්නේ කිසියම් භෞතික හෝ මනෝ මූලික අවශ්‍යතාවක් වෙනුවෙන්. නමුත් එහෙමයි කියලා ඒ වර්ගයේ ආදරයන් වුණත් අපට ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නෑ... ඒවා අතර වුණත් ගොඩාක් උසස්, සුන්දර ආදරයන් හමු වෙනවා... නිදසුනක් විදියට සුරතල් බල්ලෙක් ගන්න.... එයා අපිට විශාල විදියට ආදරය කරන්න පුළුවන්... ඒත් දඬු ලේනෙක්ව කුරිරු විදියට මරා දාන්න පුළුවන්.

ජීවයේ පැවැත්ම සංකීර්ණ වීමත් එක්ක, තව කෙනෙක්ගේ සහාය ඒ වෙනුවෙන් ඕනි වුණාම ඒ වෙනුවෙන් ජීවය තුළම හට ගත්තු හැඟීමකින් තමයි 'ආදරය' ප්‍රභවය ලබන්නේ...

මේ තුළ තියෙන්නේ 'ජීවයේ අඛන්ඩතාව' කියන අරමුණ. සත්ව සමාජයේ අම්මා කෙනෙක් තුළ දරුවා වෙත ආදරය ඇති වෙන්නේ මානව ජාන ඊලඟ පරම්පරාවට ගෙනියන්න. මානව සමාජයේ තාත්තා කෙනෙක් තුළ ආදරය ඇති වෙන්නේ 'මානව ශ්‍රමය' වෙනුවෙන් සහ තමන්ගේ ආත්මයේ දිගු කර ගැනීම වෙනුවෙන්... නූතනයේදී නම් දේපළ ඉදිරියට ගෙන යන්නත් එක්ක.

පෙම්වතුන් අතර, සහෝදර සහෝදරියන් අතර, සතුන් සහ මිනිසා අතර ඔය වගේ සියලුම සම්බන්ධතා තුළ ආදරය නිර්මාණය වෙන්නේ එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් වන ගනුදෙනුවකට...

ජානවල පැවැත්ම වෙනුවෙන් නොවී, 'සමස්ත පැවැත්මම' වෙනුවෙන් හැඟීම්බර වෙන්න පුළුවන් මට්ටම (සැබෑ ආදරය/විශාලිත ආදරය ) ඇතු වුණේ මනස, ජීවිතය සහ ලෝකය අවලෝකනය කරමින් 'ආත්මාර්ථයෙන්' 'පරාර්ථය' වෙත ආවාම.

ගනු දෙනු ආදරය ස්ථිර නෑ වගේම ඒකෙදි වගේ සිය දහස් ගුණයක් ප්‍රබල හැඟීම්බර බවක්, විශාලිත ආදරයක් තියෙන එක හදවතක් තවත් සාමන්‍ය හදවත් එක්ක එකතු වුණත් එතන නිර්මාණය වෙනවා.

සමහර අය අතර මතයක් තියෙනවා, සමාජීය ආදරයක් තියෙන අය පෞද්ගලික ආදරයේදී දක්වන කැපවීම අඩුයි කියලා. එක මිත්‍යාවක්. එහෙම අඩු නම් ඒ අය සමාජයට ලෝකයට දක්වන්නෙත් 'පාළු කපා ගන්න' ආකාරයේ ආදරයක්...

Saturday, October 15, 2016

Bohimiyanuwa - බොහිමියානුවා - තමන්ගේ ජීවිතය අත්හරින දියණියෝ...

ආදරය කියන තැනේදී බොහෝ විට දියණියන්ට විශාල අභ්‍යන්තර අරගලයකට මූණ දෙන්න වෙනවා එයට මාපියන්ගේ විරෝධය එල්ල වන අවස්ථාවකදී... ප්‍රායෝගිකව අපිට බොහෝ විට දැක ගන්න ලැබෙන්නේ මෙතනදී ඇය මාපියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අත් හරින බව.... මෙතනදී කෙනෙක් කියන්න පුළුවන් ඒක ඇගේ ආදරයේ අඩුවක් කියලා. ඒත් ඇගේ පැත්තෙන් බැලුවාම ඇය හිතන්නේ ඒ විදියට නෙවි... තමන් දස මාසයක් කුසින් දරලා, කවා පොවා උස් මහත් කරලා හැදූ වැඩූ ඔවුන්ට දුකක් දීම කළ නොහැකි දෙයක් බව. ඒ වගේම ඇයට තමන්ගේ ආදරය අමතක කරන්නත් බෑ... මෙතනදී පෙම්වතා තමන් නැතත් වෙන කවුරුන් හෝ සමග ජීවිතයක් ගත් කරයි කියලා ඇය හිතනවා නම් ඇය මාපියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අත් හරිනවා...

ඒත් මෙතනදී කල්ප තමන් වෙනුවෙන් ජීවිතය වුණත් අත් හරින කෙනෙක් නිසා නූරි විශාල අභ්‍යන්තර අරගලයකට මූණ දෙනවා... දිළින්දෙක් ලෙසින් ජීවිතය අරඹා විශාල දුක් කරදර ඉසිලූ පියාගේ හීනමානික රෝගී ප්‍රාර්ථනාවන් බොඳ කරන්නත් එයාට බෑ... එයා හිතනවා පියා තමන්ට ඇත්තටම ආදරෙයි කියලා... ඒත් ඔහු තමන්ගේ දියණියට ආදරය කරන පුද්ගලයෙක් නෙවි කියන එක තේරුම් ගන්න නූරිට විතරක් නෙවි බොහෝ දියණිවරුන්ට හැකි වෙන්නේ නෑ...

තමන්ගේ පියාවත්, කල්පවත් තමන්ව අත් නොහරින නිසා ඇය තීරණය කරනවා තමන් ජීවිතයෙන් ඉවත් වෙන්න. වෙනත් විසඳුමක් ඇයට පේන්නේ නෑ... තමන් එසේ නොකළොත් කලින් පෙම්වතාට වගේම කල්පටත් ඒ දේම තම පියා විසින් කරයි කියලා ඇය කල්පනා කරනවා..

කොහොම වුණත් නූරිත් ගත් තීරණය, කිසිසේත් නිවැරදි එකෙක් වෙන්නේ නෑ... එතනදී එයා ආත්මාර්ථකාමී වුණා කියලයි අපිට කියන්න වෙන්නේ.... මොකද, එයාට දෙපසින්ම එල්ල වෙන පීඩනයෙන් මිදෙන්න ඇය කල්පනා කරනවා මිසක් 'වඩාත්ම යහපත් දේ' මොකක්ද කියලා හිතන්නේ නෑ... 'යහපත් දේ' හැමෝම සතුටු කරලා කරන්න හැකි වෙන්නේ නෑ... මේ ලෝකය යහපතට බර එකක් නොවෙන නිසා.

ඇය, කල්ප ළඟ සිටියා නම් පියාට අහිමි වෙන්නේ ඔහුගේ හීනමානික සිහිනය පමණයි... එය 'යහපත' කීයන අර්ථයෙන් ගත්තාම ඔහුට හෝ, දියණියට හෝ සමාජයට හෝ යහපතක් කරන සිහිනයක් නෙවි. අන්තිමේ ඇය ගන්න තීරණයෙන් ඇය වෙනුවෙන් ජීවිතය වුණත් අත්හරින්න සූදානම් කල්පට ඇත්තටම ජීවිතය අහිමි වෙනවා.

 ඒත් ජීවිතය අත්පත් කර ගන්න මග පෙන්වීමක් තුළ තබා බැලුවොත් මේ කතාව අවසන් කරන්න තිබුණේ මෙහෙම නෙවි. පියාගේ ආදරය ඇත්තටම ආදරයක් නෙවි කියන එක පෙන්වාදෙමින් කල්පටත් නූරිටත් ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙමින්...

 ඒත් බොහිමියානුවා අපට දෙන පණිවිඩය, ආත්මාර්ථය සිරස කරගත් ලෝකයේ එයට එරෙහිව අරගල කරනවා වෙනුවට පරාජය බාර ගැනීම....

 

වේදනාවේ, සුසුම් පළස මත
ජීවිතයම අතුරාලා
හීන දකිමි.....
ආදරයේ හිරිකඩවත් එතැයි කියා.....

 

 

Wednesday, October 12, 2016

ආදරය මේ ලෝකයට අයිති දෙයක් නෙවි....

අපි වචනයට කියන්නේ අපි විසින් කෙනෙක්ට ආදරය කරනවා කියලයි... එතකොට එහෙනම් ඒ තුළ තියෙන්න ඕන පරාර්ථය. කරුණාව, දයාව. ඒත් ඇත්තටම වෙන්නේ එකද... එහෙම නෑ... අපේ ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් කෙනෙක් සමග හෝ දෙයක් සමග සම්බන්ධතා ඇති කර ගන්න එකයි... මේක මිනිසුන් මිනිසුන් අතර විතරක් නෙවි සතුන් හා මිනිසුන් අතර සම්බන්ධතාවලට පවා අදාලයි.. මගේ ජීවිත කාලයේ මං ගොඩාක් සතුන් ඇසුරු කරලා තියෙනවා... ඒත් ආත්මාර්ථය ප්‍රමුඛ කර ගන්නේ නැතිව සිටි සතෙක්ට මං දැක්කේ එක පූසෙක් සහ බල්ලෙක් විතරයි...

මගේ මුස්ලිම් යාලුවෙක් කිව්ව කතාවක් මේ... එයාට පාසල් යන වයසේ මුස්ලිම් තරුණියක් ආදරය කරලා තියෙනවා... මේක පටන් අරගෙන තියෙන්නෙත් ඒ යුවතිය විසින්මයි. මෙහෙම ගලාගෙන ගිය ඒ ආදරය වසර 5ක් දක්වා පැමිණියා... මේ තරුණයා ඒ අතරේ රට රැකියාවකටත් ගියා... එහෙදි රෑ 1-2 වෙනකන් කතා කර කර ඉඳලා පසුවදා ඔහු වැඩටත් යනවා. එහෙම තිබුණු ආදරය අවසානයේ ඒ ගෑනු ලමයගේ අම්මා අකමැතියි කියලා ඒ තරුණිය විසින් නතර කරලා දැම්මා... තරුණයාගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන් කඩා වැටුණා.. ඔහු බොන්න පටන් ගත්තා...

''ගෑනු කියන්නේ හරිම සෙල්ෆිශ් ජාතියක්... තමන්ගේ ආත්මය පුරව ගන්න කාලයක් කාට හරි ආදරය කරනවා... ඊට පස්සේ කවුරු හරි දෙමව්පියෝ හොයලා දෙන සල්ලි තියෙන මිනිහෙක්ව කසාද බැඳ ගන්නවා. මුස්ලිම් ගෑනු නම් හරිම සෙල්ෆිශ්...''

ඔහු කිව්වේ එහෙමයි.

නමුත් අපි දන්නවා ආත්මාර්ථය තුළින් තාවකාලික පටු ආස්වාදයක් මිසක් සැබෑ ජීවිතය අත්පත් වෙන්නෙ නෑ... සතුට අත්පත් වෙන්නෙ නෑ... ඒක මේ කතාව තුළින්මත් ඔප්පු කරමින් මේ තරුණිය විවාහ වෙලත් අවුරුදු කීපයකට පස්සේ ෆේස්බුක් එකෙන් මෙයාව හොයාගෙන ආයිමත් කතා බහ කරලා තියෙනවා.

ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් කෙනෙක්ට ආදරෙයි කිව්වට පස්සේ හෝ කෙනෙක්ගේ ආදරය පිළිගත්තට පස්සේ කවදාවත් එයාගෙන් වෙන් වෙන්න හිතන්නේ නෑ... එයාගෙන් තමන්ට හිරිහැර වෙන අවස්ථාවක වුණත් උත්සාහ කරන්නේ කොහොම හරි එයාව හදා ගන්න. බැරිම වුණොත් විතරයි වෙන් වෙන්න හිතන්නේ උපරිම උත්සාහය දැරීමෙන් අනතුරුව.

ඒත් මේ ලෝකය තුළ වෙන්නේ ඒකේ අනෙක් පැත්ත.. ''ඔයා මගේ ජීවිතය' කියන කෙනා හෙට දවසේ 'මට කරදර කරන්න එපා' කියලා වෙන කෙනෙක් එක්ක යන එක. එහෙම නොයන එකට ඉන්න අය අතර වුණත් ආදරය කියන එක දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්... මගේ මේ ජීවිතය තුළ නම් ආවාසනාවකට වෙන්න ඇති පූර්ණ වශයෙන් ඇත්තට ආදරය කරන කෙනෙක් දැක ගන්න ලැබිලාම නෑ...

එකට ඉන්න අය බොහෝ දෙනෙක් එකට ඉන්නේ එක්කෝ වෙන හොඳ කෙනෙක් නොලැබීම නිසා.. එහෙමත් නැති නම් වෙන් වෙලා යන්න බැරි හේතු නිසා. සමහර විට ඒක තමන්ගේ හෘද සාක්ෂිය වෙන්න පුළුවන්... එහෙමත් නැති නම් වගකීම්වලින් බැඳිලා සිටීම වෙන්න පුළුවන්... සමාජීය හෝ නෛතික බලපෑම් වෙන්න පුළුවන්.

දෙන්නෙක් ඇත්තට එකට ඉන්නවා කියන්නේ ඒ දෙන්නට අසීමිත සතුටක් තියෙන්න ඕන ඒ එකට ඉඳීම තුළින්. ඒ ඉඳීමම පමණක් මහා සතුටක් වෙන්න ඕනේ වෙනත් කිසිම දෙයක් නැතිව.

මිනිසුන් අතෘප්තියෙන් දිවි ගෙවීමේ රහස තියෙන්නේ වෙන කොතනකවත් නෙවි තමන්ගේ සහ ලෝකයේ තියෙන ආත්මාර්ථය තුළ. එහෙම නොවී හැමෝගේම සිත් පරාර්ථයෙන් යුක්ත වුණා නම් හැමෝගේම ජීවිත ආනන්දයෙන් පිරිලා යන්න තිබුණා..

Saturday, October 8, 2016

ආදරය කියන්නේ මොකක්ද...? මොන වගේද...? - What is the Meaning of Love

'ආදරය' කියන එක එක වරක් හරි උච්ඡාරණය නොකළ කෙනෙක් මන් හිතන්නේ මේ ලෝකයේම නැතිව ඇති. ඒ තරම් මේක අපේ ජීවිතයත් එක්ක බද්ධයි... 

කටින් කියන්න බැරි වුණාට මකුළුවන්, කටුස්සන්, හූණන් වගේ පරිණාමිකව පහළ මට්ටමේ ඉන්න සතුන්ට පවා ආදරය දැනෙනවා... එයට බෙහෙවින් සංවේදීයි... ඒ විතරක් නෙවි මේ මහා විශ්වයේ අජීවී පදාර්ථය පවා ආදරයට සංවේදීයි... ප්‍රතිචාර දක්වනවා...

 

ඒත් පෘථිවිය මත ක්‍රියාත්මක වන පොදු යාන්ත්‍රනය 'ආත්මාර්ථය' නිසා 'ආදරයට' එහි නියමම ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. ඒ නිසා 'ආදරය' නමින් උච්ඡාරණය වෙන්නේ බොහෝ විට වෙනත් ක්‍රියාකාරකම්... ඒක නිසා තමයි ඕෂෝ කියලා තියෙන්නේ ආදරය එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි කියලා... ඉන්න තරමක් මිනිසුන්ගේ තරමට ආදර වර්ග තියෙනවා කියලා. පහළ තලයේ සිට ඉහළම තලය දක්වා.

 

කොහොම වුණත් ආදරය කියන වචනය උසුරුවුණු ගමන් පොදුවේ අපි තුළ ඇති වෙන සංජානනයක් තියෙනවා. ඒ තමයි පෙම්වතුන් අතර ඇති ආදරය. මේක අපේ රටට පමණක් නොව මං හිතන්නේ ලොව සෑම සමජයකටම කෙසේ වුණත් බොහෝ සමාජවලට පොදුයි...

 

ඒත් ආදරය කිව්වාම ඒ ආදරය විතරක්ද... මව්පිය දූ දරු ආදරය. සහෝදර ආදරය. ගුරු ශිෂ්‍ය ආදරය, මිතුරු ආදරය, ඥාති ආදරය, සත්ව ආදරය, ගහ කොළට ආදරය, පරිසරයට ආදරය, භාණ්ඩ වලට ආදරය ඔන්න ඔය වගේ විවිධාකර විදියට ආදරය ප්‍රභේදනය වෙනවා.

 

ඒත් මේ සියලුම ආදරයන් අතර, වඩාත්ම සමීපතම, වඩාත්ම සුන්දර, දෙදෙනා අතරම ඒකාකාරී හැඟීම්බර බවක් සහිත ජීවිත කාලය පුරාම වෙනසකින් තොරව පවතින ආදරය වෙන්නේ පෙම්වතුන් අතර තියෙන ආදරයයි... ආදරය කියන එකේ සංජානන අයිතිය පෙම්වතුන් විසින් අත්පත් කරගෙන තියෙන්නේ ඒ නිසයි...

 

නිකමට හිතන්න, මවක් තමන්ගේ දරුවට දැඩි ලෙසින් ආදරය කරනවා. එයා ගැන නිතරම හිතනවා. ඒත් දරුවා ගත්තම ඒ ප්‍රමාණයෙන්ම එයාට අම්මව දැනෙන්නේ නෑ.. මෙන්න මේ නිසා ඒ වර්ගයේ ආදරයකට පෙම්වතුන්ගේ ආදරයට ළං වෙන්න හැකියාවක් නෑ.

 

ඒත් සුරතල් සතෙක් සහ මිනිසෙක් අතරත් ඉතාමත් සමීප දැඩි ආදරයක් ගොඩනැගෙනවා. සමහර විටක, පෙම්වතුන් අතර ඇති ආදරයටත් වඩා. මිනිසුන් මිනිසුන් අතර ආදරයෙන් හෙම්බත් වන අය, බොහෝ විට අවසානයේ මේ වගේ සතෙක් එක්ක ආදරයක් තෝරා ගන්නවා.

 

ඒත් මෙතනදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි අපිට අපේ හැඟීම් අදහස් බෙදා ගැනීමේදී ප්‍රශ්නයකට මූණ දෙන්න වීම. මොකද සතාට ඒ දේ සඳහා විශාල භාෂාමය බාධාවක් පවතින නිසා.. ඒත් ඒ හැරෙන්න හැඟීම්මය දෙයෙක් වන 'ආදරය' සඳහා නම් බාධාවක් නෑ..

 

ආදරයේදී හදවත් අතර බැඳීම වගේම ඔවුන් අතර සිදුවන කායික බැඳීමත් ස්වාභාවිකවම සිදු වන දෙයක්. ඒ කියන්නේ ලඟින් ඉදීම, සිප වැලඳගැනීම, සුරතල් වීම වගේ දේවල්. ඉතින් මේ කාරණය ගත්තාම ආදරවන්තයන් දෙන්නෙකුටත්, මිනිසෙක් සහ සතෙක්ටත් තමයි ඉහත ආකාරයේ ඉතාම දැඩි කායික සම්බන්ධයක් ජීවිත කාලය පුරාවටම පවත්වා ගන්න හැකි වෙන්නේ...

 

මෙන්න මේ හේතු ඔක්කෝම හේතු නිසා තමයි ආදරය කියන එකේ පරවේණි උරුමය ආදරවන්තයන් විසින් හිමි කරගෙන තියෙන්නේ.