Sunday, October 16, 2016

ආදරයේ රුව ගුණ (ආදරය කියන්නේ මොකක්ද... - 2)

අපි, ආදරය ගැන කතා බහ පටන් ගත්තේ 'ආදරය මොන වගේද' කියන තේමාවෙන්. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද...? මොන වගේ දෙයක්ද... ජීවිතය සඳහා එහි තියෙන වැදගත්කම, වටිනාකම මොකක්ද... ලෝකය සඳහා එහි තියෙන වටිනාකම මොකක්ද.. ආදරයේ රුව ගුණ මොන වගේද... ආදරය ඒකල හැඟීමක්ද....  නැතිනම් පුළුල් පරාසයකට අයිති එකක්ද... ආදරය මේ තරම් තීරණාත්මක ලෙසින් මිනිසාගේ පමණක් නොව සියලුම ජීවීන්ගේද, එතනිනුත් නොනැවතී අජීවී පදාර්ථයට පවා විශාල ලෙසින් බලපෑම් කළ හැකි හැඟීමක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි... මෙන්න මේ මූලික ප්‍රශ්න ටික ගැන අපේ ලොකු අවධානයක් යොමු විය යුතුව තියෙනවා.

  ආදරය පිළිබඳව ඕනෑම පුද්ගලයෙක් තුළ ඇතිවෙන හැඟීමක් තියෙනවා. ඒකට බලපාන කරුණුත් ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ නිසා හැම කෙනෙක්ම තමන්ට දැනෙන අයුරින් ආදරය ගැන හිතනවා... බුදු හිමියන්ට වගේම හිට්ලර්ටත් ආදරය ගැන අදහසක් තියෙනවා. ඒත් මේ ආදරයන් දෙක කොයි තරම් වෙනස්ද... ඉතින් මේ තත්වය හමුවේ හැම කෙනෙක්ම තමන්ට දැනෙන අයුරින් ආදරය ගැන හිතනවා. සංවේදී වෙනවා. කතා කරනවා. විවිධ චින්තකයන් විසිනුත් ආදරය ගැන කතා කරලා තියෙනවා. අදටත් කතා කරනවා.

කොහොම හරි, එතෙක් මෙතෙක් කාලය තුළ ආදරය ගැන මිනිසා විසින් ගොඩ නගලා තියෙන සංකල්ප විශාල ප්‍රමාණය දිහා බැලුවාම අපට වටහා ගන්න තියෙන එක කරුණක් තමයි මේක සරල හැඟීමක් නෙවි කියන එක. විශාල පරාසයක් තුළ විහිදී ගිය එකක් කියන එක...

සාමන්‍යයෙන් විවිධ විෂය කරුණු අරබයා පොදුවේ පිලිගත් අර්ථ දැක්වීම් තියෙනවා... ඉතින් ආදරය සඳහාත් එහෙම තියෙනවද... යම් යම් පොදු අදහස් තිබුණත්, පොදුවේ වැඩි දෙනෙක් එකඟ වුණු අර්ථ දැක්වීමක් දකින්න නෑ. පොදුවේ වැඩි පිරිසක් එකඟතාවට පත් වෙච්ච අර්ථ දැක්වීමක් නැති නම් එහි අදහස මොකක්ද... ඒක ඉතාම සංකීර්ණ දෙයක් කියන එක නේද...

එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මේ තත්වය හමුවේ ආදරය සඳහා කිසියම් අර්ථ දැක්වීමක් දෙන්න අපි කාටවත් හැකියාවක් නෑ කියලා. එහෙම දුන්නොත් ඒක තාර්කික නෑ, තම තමන්ගේ අර්ථ දැක්වීමක් පමණක් බවට පත් වෙනවා කියලා... පොදුවේ වැඩි දෙනෙක් එකඟ වූ පමණින් යම් කරුණක් සත්‍යයක් බවට පත් වෙනවා කියලා නියමයක් නෑ... ඒ නිසා යම් කරුණක් තාර්කික නම්, බුද්ධිගෝචර නම් එය නොපිළිගෙන ඉන්න හේතුවක් නෑ... 

ආදරය 'ජලය' වගේ....

ජලයට, එයටම ආවේණික වුණු හැඩයක් නෑ... එහි හැඩය සකස් වෙන්නේ එය රඳන භාජනය මත. එහෙම වුණත් ජලයට ආවේණික වුණු ගුණයන් ගණනාවක් තියෙනවා... ඒවා විස්තර කරන්න පුළුවන්. ආදරයත් ඒ වගේ තමයි. ඒක පවතින පුද්ගලයා මත එහි හැඩය තීරණය වෙනවා. ක්‍රියාකාරීත්වය තීරණය වෙනවා. ඒත් ආදරයටත් ආවේණික ගුණයන් ගණනාවක් තියෙනවා.. ඒවා විස්තර කරන්න පුළුවන්.

ආදරය කියන්නේ බැඳීම් අතරින් එකකට... සමහර අය නම් කියනවා සැබෑ ආදරය තුළ බැඳීමක් නෑ, හුදෙක් ආදරය ලබා දෙන්නා විසින් ආදරය මුදා හැරීමක් පමණයි තියෙන්නේ කියලා. ඒත් ඒ කතාවේ ඇත්තක් නෑ... බැඳීමක් නැති තැන ආදරයක් නෑ... එවැනි තැනක තියෙන්නේ කරුණාව, දයාව වැනි හැඟීමක් වෙන්න පුළුවන්. මනුස්සයෙක්ට හෝ සතෙක්ට හෝ පරිසරයට හෝ භාණ්ඩයකට හෝ ආදරයක් තියෙනවා නම් එතන බැඳීමක් තියෙන්නම ඕන.

හැබැයි මෙතනදී අපි පරෙස්සම් වෙන්න ඕන ආදරය කියන්නේ කිසියම් පුද්ගලයෙක්, වස්තුවක් ඉලක්ක කරගත් යොමු වූ එකක් නෙවි. ආදරය කියන හැඟීම හට ගන්නේ සමස්ත ලෝකයම වෙනුවෙන්මයි... සමස්ත පැවැත්මම වෙනුවෙනුයි. ඒ වෙනුවට කිසියම් පුද්ගලයෙක්, වස්තුවක් සම්බන්ධයෙන් පමණක් මේක හට ගන්නවා නම් ඒ සැබෑ පිවිතුරු ආදරය නෙවි...

එවැනි ආදරයක් හට ගන්නේ කිසියම් භෞතික හෝ මනෝ මූලික අවශ්‍යතාවක් වෙනුවෙන්. නමුත් එහෙමයි කියලා ඒ වර්ගයේ ආදරයන් වුණත් අපට ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නෑ... ඒවා අතර වුණත් ගොඩාක් උසස්, සුන්දර ආදරයන් හමු වෙනවා... නිදසුනක් විදියට සුරතල් බල්ලෙක් ගන්න.... එයා අපිට විශාල විදියට ආදරය කරන්න පුළුවන්... ඒත් දඬු ලේනෙක්ව කුරිරු විදියට මරා දාන්න පුළුවන්.

ජීවයේ පැවැත්ම සංකීර්ණ වීමත් එක්ක, තව කෙනෙක්ගේ සහාය ඒ වෙනුවෙන් ඕනි වුණාම ඒ වෙනුවෙන් ජීවය තුළම හට ගත්තු හැඟීමකින් තමයි 'ආදරය' ප්‍රභවය ලබන්නේ...

මේ තුළ තියෙන්නේ 'ජීවයේ අඛන්ඩතාව' කියන අරමුණ. සත්ව සමාජයේ අම්මා කෙනෙක් තුළ දරුවා වෙත ආදරය ඇති වෙන්නේ මානව ජාන ඊලඟ පරම්පරාවට ගෙනියන්න. මානව සමාජයේ තාත්තා කෙනෙක් තුළ ආදරය ඇති වෙන්නේ 'මානව ශ්‍රමය' වෙනුවෙන් සහ තමන්ගේ ආත්මයේ දිගු කර ගැනීම වෙනුවෙන්... නූතනයේදී නම් දේපළ ඉදිරියට ගෙන යන්නත් එක්ක.

පෙම්වතුන් අතර, සහෝදර සහෝදරියන් අතර, සතුන් සහ මිනිසා අතර ඔය වගේ සියලුම සම්බන්ධතා තුළ ආදරය නිර්මාණය වෙන්නේ එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් වන ගනුදෙනුවකට...

ජානවල පැවැත්ම වෙනුවෙන් නොවී, 'සමස්ත පැවැත්මම' වෙනුවෙන් හැඟීම්බර වෙන්න පුළුවන් මට්ටම (සැබෑ ආදරය/විශාලිත ආදරය ) ඇතු වුණේ මනස, ජීවිතය සහ ලෝකය අවලෝකනය කරමින් 'ආත්මාර්ථයෙන්' 'පරාර්ථය' වෙත ආවාම.

ගනු දෙනු ආදරය ස්ථිර නෑ වගේම ඒකෙදි වගේ සිය දහස් ගුණයක් ප්‍රබල හැඟීම්බර බවක්, විශාලිත ආදරයක් තියෙන එක හදවතක් තවත් සාමන්‍ය හදවත් එක්ක එකතු වුණත් එතන නිර්මාණය වෙනවා.

සමහර අය අතර මතයක් තියෙනවා, සමාජීය ආදරයක් තියෙන අය පෞද්ගලික ආදරයේදී දක්වන කැපවීම අඩුයි කියලා. එක මිත්‍යාවක්. එහෙම අඩු නම් ඒ අය සමාජයට ලෝකයට දක්වන්නෙත් 'පාළු කපා ගන්න' ආකාරයේ ආදරයක්...

No comments:

Post a Comment