කවීෂා සහ අපි....
මියගිය කවීශා කලාකාරිණියගේ මිනී පෙට්ටිය ලඟ ඉඳන් අපේ රටේ කලාකරුවන් පිරිසක් ගත්තු සෙල්ෆියක් මේ දිනවල දැඩි කතා බහට ලක් වෙලා තියෙනවා. තමන් එක්ක එකට ඉඳපු සහෝදරිය ලඟ ඉඳන් මේ වගේ ඡායාරූපයක් ගන්න හිත් පිත් තියෙන කෙනෙක්ට පුලුවන්ද කියන එක ප්‍රශ්නය මේත් සමග ඇති වෙනවා...
එක අතකින් ඉතින් ඉහත සෙල්ෆියට අපි දොස් කියන එක වැරදියි... මොකද ඒ ඡායාරූපය නිර්ව්‍යාජයි. තමන්ගේ හදවතේ ඇත්ත ස්වරූපය එමගින් පෙන්වා දෙනවා... හදවතේ නැති ශෝකයක් පෙන්වනවාට වඩා ඒක හොඳයිනේ.
කොහොමත් ලාංකීය සමාජය තුළ අවංක මානුෂීය බැඳීම් කියන ඒවා දකින්න නැති තරම්... පවුල තුළත් නෑ, සමාජය තුළත් නෑ... මේ නිසා ඉතින් කෙනෙක් මිය ගියා කියලා හදවතින් එන සංවේගයක් බොහෝ දෙනෙක් තුළ හට ගන්නේ නෑ.
ඒ නිසා තමයි බජව් දමමින් බස් එකේ ගිහින් මල ගෙදර ලං වෙනකොට නිහඬ වෙලා මූණු හදාගෙන හිතේ නැති ශෝකයක් පෙන්වන්න හදන්නේ. අපේ ආත්තම්මා මිය ගියාට පස්සේ ඔන්න එයාගේ එක ලේලියක් එයාගේ දරුවන් එක්ක මල ගෙදර වැඩ වලට සහභාගී වෙනවා. එයලා කවුරුවත් තුළ ශෝකයක් පේන්න නෑ... ඔන්න මේ අතරේ එයාගේ එක පුතෙක් කැමරාවක් අරන් ඇවිත් දේහය ලඟ ඉඳන් ඒ අයගෙ ඡායාරූපයක් ගන්න සූදානම් වුණා... මෙන්න බොලේ මේ හොඳට හිටිය නැන්දා එක පාරටම අඬන්න ගත්තා. මට අදහා ගන්න බැරිව ගියා... අපේ ජාතිය හරියට කටුස්සෝ වගේමයි... තැනේ හැටියට පාට වෙනස් කරන්නේ කටුස්සන්ටත් වඩා ඉදිරියෙන් සිටිමින්. මේ කටුසු මානසිකත්වය මිසක් ඔවුන් තුළ හදවතේ ක්‍රියාත්මක වෙන පරමාදර්ශ කියලා ජාතියක් ඇත්තේම නැති තරම්. තියෙන එකම පරමාදර්ශය ආත්මාර්ථය.
හිත්වල තියෙන මේ නරුම ආත්මාර්ථය පොඩි දරුවෙක්ව ඉද්දිත් මට දැනිලා තිබුණා සමහර අවස්ථාවලදි. තමන්ගේ ඥාතියෙක් මිය ගියාම බොහෝ දෙනෙක් විලාප තියන්නේ ''අනේ දෙයියනේ මට කන්න බොන්න දීපු කෙනා. දැන් කවුද ඉතින් අපිව බලා ගන්නේ'' වගේ දේ කියමින්... මට ඒ කාලෙම හිතුණු දේ තමයි මේ අය දුක් වෙන්නේ මිය ගිය කෙනා අහිමි වීමේ වේදනාවෙන් නෙවි එයා අහිමි වීම නිසා තමන්ට අහිමි වූ දේවල් වෙනුවෙන් කියන එක. පවුලක් තුලවත් සැබෑ ආදරණීය බැඳීම් නෑ කියන එක මට ඒ කාලෙම දැණුනු දෙයක්.
සමාජය විසින් හෝ කලාකරුවන් විසින් හෝ මේ දෙගොල්ලෝම එකතුව හෝ හදලා තියෙන සංකල්පයක් තමයි කලාකාරයෝ කියන්නේ බොහොම සංවේදී ආදරණීය පිරිසක් කියන එක. ඒත් මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් මගෙත් එක්ක කිව්ව දෙයක් තමයි කලාකරුවන් තරම් කුහක රළු පිරිසක් එයා දැකලා නෑ කියන එක.
කලාකරුවෝ කියන්නේ ඉතින් පිටසක්වලයන් පිරිසක් නෙවිනේ.. ඔවුනුත් අපේ සමාජයේම කොටසක්... ඒ වගේම තරඟකාරී සමාජ ස්ථරයේ කොටසක්. ඒ නිසා සරල ගැමියෙක්ට වඩා කුහකකම්, පහත් වැඩ ඔවුන් අතර තියෙන්න පුළුවන්. ආත්මාර්ථය එක්ක බල ආශක්තභාවය එක් වුණාම ඕනම කෙනෙක්ට, සමාජ ස්ථරයකට අත්වෙන ඉරණම තමයි ඒ.
කෙනෙක් යෝජනා කරන්න පුළුවන් සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය අනුව අට ලෝ දහම ගැන අවබෝධයෙන්, මරණානුස්සතිය වැඩීම නිසා අපේ අය තුළින් මෙහෙම තත්වයක් දැකින්න ලැබෙන්නේ කියලා. ඇත්තටම ඒක මිත්‍යාවක්... බුදු හිමියන්ම තමන්ගේ ආදරණීයයන් වෙන් වුණාම ධර්ම සංවේගයට පත් වුණු අවස්ථා, ඔවුන්ට බුහුමන් දැක්වූ අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. අපේ අය තුළ දකින්න ලැබෙන්නේ එවැන්නක් නෙවි, හුදු නරුම ආත්මාර්ථය.
අපිට කෙනෙක් වෙන් වුණාම ඇත්ත ගැඹුරු ශෝකයක්, සංවේගයක් හට ගන්න නම් එයා එක්ක බැඳීමක් තියෙන්න ඕන... අපේ හදවත ආදරණීය එකක් වෙන්න ඕනේ... එහෙම නැතිව ඉතින් ඒ දේ වෙන්නෙ නෑ... එකට ජීවත් වීම නිසා, එයාගෙන් තිබුණු වාසි ප්‍රයෝජන නිසා ඇති වුණු බැඳීම් නිසා හටගන්න ශෝකය තාවකාලිකයි... ටික කාලයක් ගත්වෙද්දි ආයෙ මතක් වෙන්නෙවත් නෑ ශෝකය කොහොම වුණත්.
ගැඹුරෙන් හට ගන්න ශෝකය, වේදනාව අපිට කෙනෙක් දිහා බැලුවම වුණත් හඳුන ගන්න පුලුවන්.
No comments:
Post a Comment