තලකැරලිවල තල නෑ, තක්කාලි සෝස්වල තක්කාලි නෑ...
තල කියන්නේ රස ගුණ ආහාරයක්... ඉතින් මේ නිසා අපේ මල්ලි තලකැරලි පැකට් එකක් නිතර ගෙදර ගේන්න පුරුදු වෙලා ඉන්නවා... බිස්කට් වගේ දේවල් කෘතිමයි... රසායනික යොදලා... ඒ නිසා මේ වගේ දෙයක් ඒ පැත්තෙනුත් හොඳයි. හොඳ වෙලාවට ගෙදර ඉන්න රෙක්සුත් ඒවා කනවා. ඒ නිසා ඉතින් බිස්කට්වලට සම්බාධක පනවන්න බාධාවක් නෑ.
විවිධ නිෂ්පාදකයෙන්ගේ තල කැරලි ගත්තාම අපිට නම් තල ටිකක් තියෙන (ප්‍රමාණවත් තරමින්) එකක් හමු වුණේ එක නිෂ්පාදකයෙක්ගේ පමණයි..
මෙන්න බොලේ එයාත් මේ ලඟදි ඉඳලා අනෙක් නිෂ්පාදකයන් යන මගම යන්න පටන් අරන්.... අහෝ ඛේදයකි....
නමට 'තල' වුණාට මේවායේ සම්පුර්ණයෙන්ම පාහේ තියෙන්නේ සීනි හෝ සීනි වලින් තැනූ හකුරු... ගණන් කරන්න පුළුවන් තරමේ තල ඇට කීපයක් දකින්න පුළුවන්.
මීට කාලෙකට කලින් වගකිවයුතු අංශ විසින් වටලනු ලැබුවා ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයක්... එතන්දී අනාවරණය වුණේ ඔවුන් විසින් නිෂ්පාදනය කරන තක්කාලි සෝස්වලට යොදන්නේ ඉටි වර්ගයක්, ඩයි සහ තවත් රසායනික කීපයක් බව. ඉතින් බලන්න එතන නැත්තේම 'තක්කාලි'.
මේ වෙලාවේ මට මතක් වෙනවා හාස්‍ය කතාවක්... එක් වෙළෙන්දෙක් පාරේ තියාගෙන හකුරු විකුණනවා... පිරිසිදු හකුරු කියමීන්... ඉතින් ඒ අතරේ එයා කියනවා ''නෝනා මහත්තයා ගන්න හකුරු කිලෝ එකක් ගන්න, නොමිලේ සීනි කිලෝ එකක් දෙනවා'' කියලා... ඉතින් කට්ටිය හකුරු අරන් සීනි කිලෝ එකක් ඉල්ලුවාම එයා හකුරු එක පෙන්වලා කියන්නේ ''ඕක තමයි නොමිලේ දෙන සීනි කිලෝ එක' කියලා. ඉතින් මොකක්ද මේ කතාවේ තේරුම... මේ 'පිරිසිදු කිතුල් හකුරු' වල තියෙන්නේ සීනිම පමණයි කියන එක....
ඉතින් මේ තත්වය අපේ ගති ගුණ සම්බන්ධයෙන් ගත්තාමත් එහෙමයි... ධාර්මික ලෙසින් පෙනී ඉන්න අය තුළ ධර්මය නෑ... කාරුණිකයි කියන අය තුළ කරුණාව නෑ... ආදරණීයයි කියන අය තුළ ආදරය නෑ...
ඉතින් මෙහෙම විකාර සහගත තත්වයක් ඇති වෙලා තියෙන්නේ ඇයි.
ඒකට හේතුව තමයි අපේ උරුම කරුමය.. ඒ කියන්නේ ආත්මාර්ථය පදනම කර ගනිමින් අපි බිහි වී තිබීම... ඒ නිසා එයට පටහැනි වන පරාර්ථය, සහජීවනය වගේ දේවල් අපිට ආගන්තුකයි... ඒවා අපේ සිත් තුළ ඇති කරවන්නේ සමාජීය මෙහෙයුමක් තුළින් අපේ සිත ශිෂ්ටාචාරගත කිරීමෙන්.. ඉතින් එතන සිදු වෙන අර්බුදයන් මත නිතරම උඩ මතු වෙන්නේ ආත්මාර්ථය.
No comments:
Post a Comment