Wednesday, October 26, 2016

වචනවලට අරුතක් නෑ....

 භාෂාව කියන්නේ මිනිසා තමන්ගේ බුද්ධිය වැඩීමත් එක්ක තමන්ගේ අදහස්, හැඟීම් තවත් අයට සන්නිවේදනය කරන්න හදා ගත්තු මාධ්‍යයක්. මිනිසා ක්‍රමයෙන් දියුණු වෙන්න බලපෑ මූලිකම කාරණයත් මේක... කිසියම් ජීවී කොට්ඨාශයකට භාෂාවක් කියලා දෙයක් නැති නම් ඔවුන්ට කවදාවත් චින්තනයෙන් ඉදිරියට යන්න බෑ... අපි හිතන්නෙත් භාෂාවක් තුළින්... ඒ කියන්නේ භාෂාවක් නැති විට අපේ චින්තනයත් සීමා වෙනවා නිකන්ම.

භාෂාවේ අඩංගු වෙලා තියෙන හැම වචනයකටම නිශ්චිත අරුතක් හෝ අරුත් සමූහයක් තියෙනවා... ඒවායින් කිසියම් අදහසක්, ක්‍රියාවක්, හැඳින්වීමක්, හැඟීමක් අරුත් ගන්වනවා. ඒත් මිනිසා තුළ ක්‍රියාත්මක වන ආත්මාර්ථය නිසාත්, අනවබෝධය නිසත් ඒ වගේම ස්වයං රැවටිලිකාරීත්වය හෙවත් සංරක්ෂණ ප්‍රයෝගී ක්‍රියාකාරීත්වය නිසත් මේ වන විට භාෂාවේ ඇති වචන, අරුත් සුන් බවට පත් කර තියෙනවා.

අපි මේක සරලව වටහා ගන්න උත්සාහ කරමු. තරුණයෙක් තරුණියකගෙන් රාගික අවශ්‍යතාවන් තෘප්ත කරගැනීමේ අදහසින් එයාට කියනවා, ''මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි'' කියලා. දැන් එතකොට මොකද වෙන්නේ... මේ වචනවල අරුත අර තරුණිය විශ්වාස කළොත් නොබෝ දිනකින්ම ඇය අවබෝධ කරගන්නවා වචනවලට අරුතක් නෑ කියන එක. ඒ වචනවලට භාවිත අරුතක් තිබුණා නම් සාහසික විදියට ඇයට රැවටීමට ලක් වෙන්න සිදු වෙන්නේ නැහැනේ.

තරුණියක් තරුණයෙක්ට කියනවා ''ඔයා මගේ ජීවිතේ'' කියලා... ඒත් එයාට වඩා හොඳයි කියලා හිතෙන තරුණයෙක් හමු වුණාම එයා අර තරුණයාව දාලා යනවා ඉතාම දරුණු විදියට. දැන් මෙතනදී මොකද වුණේ... අර තරුණියට ජීවිතේ ඒ වෙලාවේ දැනුණු තනිකම සහ ආදරය, සහ වෙනත් අවශ්‍යතාවන් වෙනුවෙන් ඒ මොහොතේ හිතනවා අර මුල් තරුණයාට තමන් ඇත්තටම ආදරෙයි කියලා... ඒ වෙලාවේ එයා ඒක කියන්නේ අවංකවමයි. ඒත් දෙවන තරුණයා හමු වුණාම තත්වය වෙනස් වෙනවා. මුල් තරුණයා කරදරකාරයෙක් ලෙස හැඟී යනවා. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ මොකක්ද..?

අර තරුණිය දැනගෙන හිටියේ නෑ ආදරය කියන වචනයේ අරුත. ඇය ඒක අරුත් ගන්වා ගත්තේ තමනගේ සන්දර්භයක් තුළ. (සාමාන්‍යයෙන් ඉතින් බොහෝ දෙනෙක් තුළ වෙන්නේම මේ දේ තමයි. සැබෑ අරුත් මොනවාද කියලා හොයන්න කවුරුත් මහන්සි වෙන්නේ නෑ.) ඒ කියන්නේ අනවබෝධය. ඉතින් මේක නිසත් වචනවලට තියෙන අරුත ගිලිහිලා යනවා.

එක තරුණියක් හා තරුණයෙක් අවුරුදු 5ක් තිස්සේ සිතින් ආදරය කළා. දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් හැකි වුණේ නෑ මේක ප්‍රකාශ කර ගන්න. ඔය අතරේ තරුණියගේ පවුල පොහොසත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ තරුණියගේ මාපියන් වගේම තරුණියත් මේ තරුණයාව අත්හැරලා දැම්මා. මෙතනදී තරුණිය හිතුවේ තරුණයාට ඒ තරම් ජීවිතේ වගකීමක් නෑ, දියුණු වෙන්න උත්සාහයක් නෑ, ආදරයක් තියෙනවා නම් ඉතින් මීට වඩා උත්සාහවන්ත වෙන්න එපාය කියලා. අනික, ඉදිරිපත් වෙලා ආදරය ප්‍රකාශ කරන්න එපාය කියලා.. ඒත් මේ ඔක්කෝම ඇය විසින් ගොඩ නගා ගත්තේ තරුණයාව අත්හැරලා දැන්න හිත හදා ගන්නයි... ඒ කියන්නේ හෘද සාක්ෂියෙන් බේරෙන්න... මේවට මනෝ විද්‍යාවේ කියන්නේ සංරක්ෂණ ප්‍රයෝග කියල.


ඉතින් තමන් කරන වැරදි වැඩේ වහගන්න මොකාක් හරි තර්කයක් මිනිස්සු හොයා ගන්න නිසත් වචනවලට අරුතක් නැති වෙලා තියෙනවා.
මෙන්න මේ තත්වය නිසා අද කාලයේ ඉතින් අන්තිම අහිංකසකයෙක් හැරෙන්න කරුවත් වචන කියන දේ විශ්වාස නොකරන තැනට පත් වෙලා. එහෙම නම් ඉතින් අපිට මේ භාෂාව කියන එකෙන් වැඩක් තියෙනවද...? භාෂාවේ තියෙන වචන කවුරුත් විශ්වාස කරන්නේ නැති නම් භාෂාවෙන් ඇති වැඩේ මොකක්ද...?

දැනට භාෂාව කියන එක ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ ශිල්පීය ඥානය කියන දේ ඊලඟ පරම්පරාවට උරුම කර දෙන්න කියන කාරණය සම්බන්ධයෙන් පමණයි... ඒ හැර මිනිස් සම්බන්ධතා කියන දේට නම් මේ වන විට භාෂාවේ අදාලත්වයක් ඇත්තේම නෑ.

No comments:

Post a Comment