ඔයාලට කියන්න ඕනේ මේ සත්‍ය ආදර කතා පුවතේ ඉතාමත් තීරණාත්මක, ඔබට කිසිසේත් සිත අදහා ගත නොහැකි ලක්ෂ්‍යයකට එලඹෙනවා 2015 මැයි මාසයේදී... ඒ වගේම අපේ අධ්‍යාත්මික ලෝකය ගැනත් ඔබට ඉතාමත් වැදගත් සිත් අදහා ගන්න අපහසු තොරතුරු මේ කතා පුවතේ අන්තර්ගතයි...
මේ කතා පුවතේ තවත් විශේෂත්වයක් වෙන්නේ තවමත් මේ කතාව නිමාවට පත් වී නොතිබීම නිසා. එය කවර ආකාරයකින් අවසන් වේද යන්න මෙහි කතා නායකයාවත් දන්නේ නැහැ....
ඉතින් මට එක වෙලාවකට හිතුණා දැන්වීම් බාර ගැනීමේ කිසියම් ක්‍රියා පටිපාටියකට අනුව මේ වගේ දැන්වීම් බාර නොගැනීමේ කිසියම් රෙගුලාසි පද්ධතියක් තියෙන්නත් පුළුවන් නේද කියලා. කොහොම හරි ඉතින් මං නැවතත් සුපුරුදු වේදනාවේ උරුමකරුවෙක් බවට පත් වුණා.
ඒත් මට දින කීපයකට වඩා එහෙම ඉන්න අපහසු වුණා. මට දෙයක් හිතට ආවොත් ඒ දේ නොකර අත්හරින්න බෑ. ජීවිතේ කොයි තරම් අවදානමක් හෝ අසාර්ථකත්වයක් අත් වුණත් ඒක එහෙමයි. අනෙක් එක, මේක මගේ ජීවිතයේ වැදගත්ම දෙයක් පිළිබඳ තීරණාත්මක අවස්ථාවක්. ඉතින් මං කල්පනා කලා මෙහම දැන්වීමක් බාර ගන්නම බැරි රෙගුලාසි සමූහයක් තියෙනවාද කියලා හොයලා බලලම මේ වැඩේ අත්හරින්න.
ඒ අනුව, මං කොලඹ සිරිකත ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් අංශයට කතා කළා. නමුත් මුල් අවස්ථා කීපයේ වැඩේ සාර්ථක වුණේ නෑ. ඇතැම් විට කතා කළ පුද්ගලයා වෙනත් අයෙක් වෙත යොමු කළා. ඉන් පසුව කතා කළ පුද්ගලයා දැන්වීම් අංශයේ අදාළ අය මේ මොහොතේ සම්බන්ධ කරගන්න බෑ කියලා කීවා. ඒත් මම උත්සාහය අත් හැරියේම නෑ. ඉතින් අවසානයේ එක් දවසක මට සාර්ථක තොරතුරක් ලබා ගන්න පුළුවන් වුණා. එමගින් කියවුණේ දැන්වීම් නියෝජිත ආයතනයක් නෙවි, ඔවුන්ගේම පුවත්පත් දැන්වීම් නියෝජිත ශාඛාවක් වෙත ගිහින් මේ සම්බන්ධයෙන් කතා කරගන්න කියන එක. අපේ ප්‍රදේශයට තරමක් දුර නගරයක මේ ශාඛාවක් වාසනාවට වගේ පිහිටලා තිබුණා.
ඉතින් ඔවුන් එම ප්‍රාදේශීය කාර්යාලයේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනයත් ලබා දුන්නා. ඉතින් මං ඒ සැනින් එම ප්‍රාදේශීය කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.එයට පිළිතුරු ලබා දුන්නේ තරුණ නිලධාරියෙක්. ඔහුටත් මගේ දැන්වීමේ ස්වභාවය දැන්වීම බාර දීමට ගිහින් ඇති වුණු තත්වය විස්තර කළා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් ඔහු සංවේදී වූ ආකාරයක් පෙන්නුම් කළා. ඒක මට දරා ගන්න අපහසු තරම් සතුටක් වුණා.
''අපි මේ ගැන බලමු. ඔයාට පුළුවන්ද අපේ කාර්යාලයට ඇවිත් මේ සම්බන්ධයෙන් කතා කරන්න...''
අවසානයේ ඔහු පැවසුවා. ඇයි ඉතින් මට බැරි. ඒත් කාලය කියන එකත් වටින දෙයක්නේ. ඒ නිසා මං මෙහෙම කිව්වා.
''මං ඒ දැන්වීම ඊමේල් කරලා තියෙනවා ඔයාලට. ඒක බලලා මට ඒ සම්බන්ධයෙන් ඔයලගේ අදහස කියන්න පුළුවන්ද...''
ඉතින් ඊමේල් එක පරීක්ෂා කිරීමෙන් පස්සෙත් එයාගේ අදහස වුණේ මා එහෙට ගිහින්ම මේ ගැන කතා කර ගන්න ඕනේ කියන එක. ඉතින් මේකෙන් කියවෙන්නේ දැන්වීම පළ කරගන්න යම් අවස්ථාවක් තියෙනවා කියන එකනේ... ඉතින් මගේ හිත සතුටින් පිරුණා. හදවත බර වුණා. ගැහෙන්න ගත්තා ඉතින්.
ඉතින් මං පසුවදාම ගියා ඒ ප්‍රාදේශීය කාර්යාලයට. දුරකථන ඇමතුමට පිළිතුරු දුන් තරුණ නිළධාරියාම මෙතනදී මාත් එක්ක කතා කළා. මා අත තිබුණු, පරිගණකයෙන් සකස් කරගෙන මුද්‍රණය කරගත් දැන්වීම අරගෙන ඔහු ආයතනයේ තරුණ කලමනාකාරවරිය හමු වුණා. ඇය තරුණියක් වීමත් මගේ වාසනාවක්. ඇය දැන්වීම අනුමත කර තිබුණා.
''මේක සමහර විට පොලිසි යන වැඩක් වෙන්නත් පුළුවන්. ඔයා මේකේ සම්පූර්ණ වගකීම බාර ගන්නවා නේද...''
දැන්වීමට අදාල ලියකියවිලි සකස් කරන අතරේ අර තරුණ නිලධාරියා විමසා සිටියා. මට ඒ වෙලාවේ නම් පොඩි බයකුත් ඇති වුණා. විත්තියකට තියා පැමිණිල්ලකටවත් මං පොලිසි ගිහින් තියෙන කෙනෙක් නෙමේනේ. අනිත් එක, ලංකාවේ පොලීසිය... ඒ වුණත් ඉතින් මේ හැම එකකටම වැඩියෙන් මගේ සුන්දර සුරංගනාවිය වටිනවනේ. ඒ නිසා මේ බිය පැත්තකට දැමිය යුතුව තිබුණා.
අනිත් එක, මං වැරදි වැඩක් කරනවා නෙවිනේ. දැන්වීම තුළින් එයාගේ අනන්‍යතාව කොයිම අයුරකින්වත් හෙලිදරව් වෙන්නේ නෑ. ඒ නිසා ඉතින් මේක දැක්කොත් හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඇයටම පමණයි. ප්‍රතිචාර දැක්වීම හෝ නොදැක්වීම තියෙන්නෙත් ඇයගේ අතේ. ඒත් එදා දෙව්දුවක් වගේ මත් සෙනෙහසින් එයා මා දිහා බලා සිනාසුණු ආකාරයත්, මං පිට වෙලා එද්දි සොවින් බලා සිටි ආකාරයත් අනුව, මේ දැන්වීම දුටුවොත් එයා කතා නොකර නම් ඉන්නේ නෑ කියන එක මගේ ඒකායන විශ්වාසය වුණා.
''අයියා මේකේ තියෙන්නේ ඊමේල් එඩ්‍රස් එක විතරයිනේ ඔයාගේ. මොබයිල් නම්බර් එකත් දාමු නේද...''
එහෙම විමසා සිටියේ මගේ දැන්වීම ප්‍රතිනිර්මාණය කරමින් සිටි මල්ලි. ඔහු හොඳ අහිංසක තරුණයෙක්. එයා මගේ දැන්වීම තවත් අලංකාර විදියට නිර්මාණය කළා.
''මං ඒ ගැනත් හිතුවා මල්ලි. ඒත් ෆෝන් නම්බර්ස් දාපුවාම කරදරයි නේද... අනිත් එක මගේ නම්බර්ස් ගොඩක් අය දන්නවා. ඒක ලොකු ගැටලුවක්. එහෙම නම් ඉතින් මං ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන නම්බර් එක තමා දාන්න වෙන්නේ. ඒක නම් කවුරුත් දන්නෙ නෑ...''
මටත් මේක හරියටම කල්පනාවට ආවේ මේ වෙලාවේ... ලංකාවේ කීයෙන් කී දෙනෙක්ද ඊමේල් භාවිතා කරන්නේ... අද වගේ නෙවි 2012 වසර වන විට මේ තත්වය ගොඩාක් අඩුවෙන් තිබුණේ. ස්මාර්ට් ෆෝන් සහ දුරකථන සමාගම් වලින් සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත වුණේ මෑත කාලීනවනේ ලංකාව පුරා. ඒ වෙනකොට පහසුකම් පවා තිබුණේ නාගරිකව පමණයි.
ඉතින් අර යුවතිය මේ පහසුකම් නැති කෙනෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි... ඒ ගැන නොදන්නවා වෙන්නත් පුළුවන්. බාහිර ආයතනයක් වෙත ගිහින් ඊමේල් කරන්න මෙහෙම කෙනෙක් පසුබට වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. එතකොට මේකට ප්‍රතිචාර දක්වනවද නොදක්වනවද කියන තිගැස්මේ ඉන්න එයා අධෛර්යය වෙලා යන්නම ඉඩ තියෙනවා.
ඉතින් මේ අනුව, අර මල්ලි කළ යෝජනාව ගොඩක් වටින එකක් වුණා. එයාට ඕනෙ නම් පාඩුවේ දැන්වීම හදලා දීලා නිකන් ඉන්න තිබුණනේ... ඔහුත් හදවතින් මට ඒ යුවතියව හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කළ නිසා තමයි මෙහෙම යෝජනාවක් කළේ.
No comments:
Post a Comment