Wednesday, October 12, 2016

ආදරය මේ ලෝකයට අයිති දෙයක් නෙවි....

අපි වචනයට කියන්නේ අපි විසින් කෙනෙක්ට ආදරය කරනවා කියලයි... එතකොට එහෙනම් ඒ තුළ තියෙන්න ඕන පරාර්ථය. කරුණාව, දයාව. ඒත් ඇත්තටම වෙන්නේ එකද... එහෙම නෑ... අපේ ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් කෙනෙක් සමග හෝ දෙයක් සමග සම්බන්ධතා ඇති කර ගන්න එකයි... මේක මිනිසුන් මිනිසුන් අතර විතරක් නෙවි සතුන් හා මිනිසුන් අතර සම්බන්ධතාවලට පවා අදාලයි.. මගේ ජීවිත කාලයේ මං ගොඩාක් සතුන් ඇසුරු කරලා තියෙනවා... ඒත් ආත්මාර්ථය ප්‍රමුඛ කර ගන්නේ නැතිව සිටි සතෙක්ට මං දැක්කේ එක පූසෙක් සහ බල්ලෙක් විතරයි...

මගේ මුස්ලිම් යාලුවෙක් කිව්ව කතාවක් මේ... එයාට පාසල් යන වයසේ මුස්ලිම් තරුණියක් ආදරය කරලා තියෙනවා... මේක පටන් අරගෙන තියෙන්නෙත් ඒ යුවතිය විසින්මයි. මෙහෙම ගලාගෙන ගිය ඒ ආදරය වසර 5ක් දක්වා පැමිණියා... මේ තරුණයා ඒ අතරේ රට රැකියාවකටත් ගියා... එහෙදි රෑ 1-2 වෙනකන් කතා කර කර ඉඳලා පසුවදා ඔහු වැඩටත් යනවා. එහෙම තිබුණු ආදරය අවසානයේ ඒ ගෑනු ලමයගේ අම්මා අකමැතියි කියලා ඒ තරුණිය විසින් නතර කරලා දැම්මා... තරුණයාගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන් කඩා වැටුණා.. ඔහු බොන්න පටන් ගත්තා...

''ගෑනු කියන්නේ හරිම සෙල්ෆිශ් ජාතියක්... තමන්ගේ ආත්මය පුරව ගන්න කාලයක් කාට හරි ආදරය කරනවා... ඊට පස්සේ කවුරු හරි දෙමව්පියෝ හොයලා දෙන සල්ලි තියෙන මිනිහෙක්ව කසාද බැඳ ගන්නවා. මුස්ලිම් ගෑනු නම් හරිම සෙල්ෆිශ්...''

ඔහු කිව්වේ එහෙමයි.

නමුත් අපි දන්නවා ආත්මාර්ථය තුළින් තාවකාලික පටු ආස්වාදයක් මිසක් සැබෑ ජීවිතය අත්පත් වෙන්නෙ නෑ... සතුට අත්පත් වෙන්නෙ නෑ... ඒක මේ කතාව තුළින්මත් ඔප්පු කරමින් මේ තරුණිය විවාහ වෙලත් අවුරුදු කීපයකට පස්සේ ෆේස්බුක් එකෙන් මෙයාව හොයාගෙන ආයිමත් කතා බහ කරලා තියෙනවා.

ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් කෙනෙක්ට ආදරෙයි කිව්වට පස්සේ හෝ කෙනෙක්ගේ ආදරය පිළිගත්තට පස්සේ කවදාවත් එයාගෙන් වෙන් වෙන්න හිතන්නේ නෑ... එයාගෙන් තමන්ට හිරිහැර වෙන අවස්ථාවක වුණත් උත්සාහ කරන්නේ කොහොම හරි එයාව හදා ගන්න. බැරිම වුණොත් විතරයි වෙන් වෙන්න හිතන්නේ උපරිම උත්සාහය දැරීමෙන් අනතුරුව.

ඒත් මේ ලෝකය තුළ වෙන්නේ ඒකේ අනෙක් පැත්ත.. ''ඔයා මගේ ජීවිතය' කියන කෙනා හෙට දවසේ 'මට කරදර කරන්න එපා' කියලා වෙන කෙනෙක් එක්ක යන එක. එහෙම නොයන එකට ඉන්න අය අතර වුණත් ආදරය කියන එක දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්... මගේ මේ ජීවිතය තුළ නම් ආවාසනාවකට වෙන්න ඇති පූර්ණ වශයෙන් ඇත්තට ආදරය කරන කෙනෙක් දැක ගන්න ලැබිලාම නෑ...

එකට ඉන්න අය බොහෝ දෙනෙක් එකට ඉන්නේ එක්කෝ වෙන හොඳ කෙනෙක් නොලැබීම නිසා.. එහෙමත් නැති නම් වෙන් වෙලා යන්න බැරි හේතු නිසා. සමහර විට ඒක තමන්ගේ හෘද සාක්ෂිය වෙන්න පුළුවන්... එහෙමත් නැති නම් වගකීම්වලින් බැඳිලා සිටීම වෙන්න පුළුවන්... සමාජීය හෝ නෛතික බලපෑම් වෙන්න පුළුවන්.

දෙන්නෙක් ඇත්තට එකට ඉන්නවා කියන්නේ ඒ දෙන්නට අසීමිත සතුටක් තියෙන්න ඕන ඒ එකට ඉඳීම තුළින්. ඒ ඉඳීමම පමණක් මහා සතුටක් වෙන්න ඕනේ වෙනත් කිසිම දෙයක් නැතිව.

මිනිසුන් අතෘප්තියෙන් දිවි ගෙවීමේ රහස තියෙන්නේ වෙන කොතනකවත් නෙවි තමන්ගේ සහ ලෝකයේ තියෙන ආත්මාර්ථය තුළ. එහෙම නොවී හැමෝගේම සිත් පරාර්ථයෙන් යුක්ත වුණා නම් හැමෝගේම ජීවිත ආනන්දයෙන් පිරිලා යන්න තිබුණා..

No comments:

Post a Comment