Thursday, October 20, 2016

මාංශ සහ නිර්මාංශ ප්‍රශ්නය....

 
වර්තමාන සමාජයේ ඉතාමත් ලොකු ප්‍රශ්නයක් තමයි අපි විසින් නිර්මාංශී විය යුතුද නැද්ද කියන එක... මේ ගැන සමාජ සංස්කෘතික තලයේ ලොකු කතා බහක් පවතිනවා. මේක අපේ රටේ විතරක් නෙවි බටහිර සමාජයේත් සැලකිය යුතු ගැටලුවක්... ඒත් අපේ සමාජයේ ඊට වඩා ප්‍රබලයි... මේකට හේතුව අපේ ආගමික සංස්කෘතික ස්වරූපය.


මස් මාංශ කෑවත් නොකෑවත් අපි බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි ඒක අයහපත් දෙයක් සහ පාපයක් වන බව. සමහර හිමිවරුන් පොත් පවා ලියමින් ධර්ම දේශනා පවත්වමින් බුදු දහමේ මස් මාංශ කන්න එපා කියලා නෑ කියලා උපාසක උපාසිකාවන්ට පෙන්වාදීමට ලොකු මහන්සියක් ගත්තත් ඒ කතාව විශ්වාස කරන්නෙත් අහන අයගෙන් කොටසක් විතරයි.

ඉතින් මේ තත්වය යටතේ අපි මුලින්ම සලකා බලන්න ඕනේ මස් මාංශ කන එක පාපයක්ද නැද්ද කියන එක... මොකද ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය ඕකනේ... සතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕනේ, ඒක පැහැර ගන්නවා කියන්නේ ඉතාම නින්දිත සහ නරුම දෙයක් කියන කාරණේ සලකා බලන්නේ බොහොම ටික දෙනයි.

මේ ලෝකය සම්පූර්ණයෙන්ම වාගේ නිර්මාණය වෙලා තියෙන්නේ බලය මත පදනම් වූ ගොදුරු න්‍යාය මත. ඒ තුළ 'යහපත' කියන දේට තැනක් නෑ... මේ ලෝකයේ අපි විසින් නිර්මාණය කරගෙන තියෙන 'යහපත' පිළිබඳ සංකල්පවලින් අති බහුතරයක් සාපේක්ෂ, අපේ වාසියට හදා ගත් ඒවා.

දැන් එතකොට පාපය කියලා කියන්නේ මොකක්ද... සරලව බැලුවත් අයහයපත් කායික, මානසික, වාචසික ක්‍රියාවන්. එවිට ආයිමත් එන ප්‍රශ්නය තමයි, 'අයහපත' පිළිබඳ අර්ථ දැක්වීම මොකක්ද කියන එක. මේ ගැන ආචාර විද්‍යාව තුළ කෙස් පැලෙන තර්ක් ඉදිරිපත් කළත් ඒකටත් සරල පිළිතුරයි තියෙන්නේ... ඒ තමයි, තමන්ට හෝ අනුන්ට හානිකර ක්‍රියාවන් කියන එක.

තමන් විසින් සතෙක් මරන්නේ නැති නිසත් මරන්න කියන්නේ නැති නිසත් මෙතනදී කන කෙනාට පාපයක් වෙන්නේ නෑ කියලා කට්ටියක් තලු මරමින් තර්ක කරනවා. ඒත්, මේවා කන කෙනා තුළ ලෝක සත්වයා කෙරේ වෙන කරුණාව, ආදරය, දයාව කියන සිතිවිලි ඇති වෙන්නේ නෑ... ඒ වෙනුවට හැඟීම්බර වීම්, ගනු දෙනු, එකට ජීවත් වීම් වගේ හේතු නිසා ඇති වන හැඟීම් විතරයි ඉතිරි වෙන්නේ. සිදු වෙන පාපය ඒක තමයි. ඒ කියන්නේ මේ ගොදුරු ලෝකයෙන් මිදෙන්න, මිදිලා උසස් ලොවකට යන්න තරම් චිත්ත පාරිශුද්ධියක් ඇති වෙන්නේ නෑ... මේ ලෝකෙම තැග්ගැහෙන්න නම් ඉතින් පුලුවන්.

අනෙක් කරුණ තමයි මස් මාංශ, මත් ද්‍රව්‍ය, අයහපත් මිනිස් හැසිරීම් එක්ක ගොඩාක් බද්ධයි. මේවා විෂම චක්‍රයක්, දම්වැලක් වගේ ක්‍රියා කරනවා.

 කොහොම වුණත් ඉතින් චිත්ත පාරිශුද්ධිය කියන එක ඇති වෙන්න නම් මස් මාංශ වලින් ඈත් වෙන්න ඕනේ සතුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය දයාවෙන් කරුණාවෙන් යුතුව සලකා බැලීමෙන් විතරයි... පාපයට බිය වීම නිසා නම් නෙවි. සතුනුත් ජීවත් වෙනවා දැකීමෙන් සතුටු වීමේ සිතක් අපි තුළ ඇති වී තියෙන්න ඕනේ... සියලු සත්වයෝ, නිදුක් වෙත්වා, සුවපත් වේවා කියන්නේ ඒකටනේ.

No comments:

Post a Comment