Saturday, October 22, 2016

දෙයක් ආත්මය කර ගැනීම.... (ආදරය කියන්නේ මොකක්ද..3)

 අපි පසුගිය කතා බහ නතර කළේ, සමාජීය ආදරයක් තියෙන අය පෞද්ගලික ආදරයෙදි දක්වන කැපවීම අඩුයි කියන කතාව මිත්‍යාවක් කියන එක කියමින්... හැබැයි එහෙම වෙන්නේ සෛද්ධාන්තිකව.

 ඒත් අපට ප්‍රායෝගික ජීවිතයේදී දකින්න තියෙන්නේ ඇත්තටම ඔය කියන තත්වය... මෙහෙම වෙන්නේ කොහොමද...

හැම මිනිසෙක්ටම ජීවත් වෙන්න අරමුණක් ඕනේ... සිහිනයක් තියෙන්න ඕනේ.... බැඳීමක් තියෙන්නත් ඕනේ.... ඉතින් හැම කෙනෙක්ම මේ වෙනුවෙන් කුමක් හෝ දෙයක් තෝර ගන්නවා. කෙනෙක් සමහර විට මේ සඳහා නිවන වගේ දෙයක් තෝර ගන්නත් පුළුවන්.

සමහර විට මේ දේ සමාජීය දෙයක් වෙන්න පුළුවන්... නැතිනම් භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. එහෙම නැති නම් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක්. මේක අපේ ආත්මය ගොඩ නැගීම සඳහා වන අවශ්‍යතාවක්. ඒ නිසා ඒක ස්වාර්ථකාමීයි... අපේ පැවැත්මේ උරුමය බොහෝ විට ආත්මාර්ථය නිසා මේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කෙරෙන්නේත් ඒ පදනම මත. ඉතින් මෙන්න මේ අවශ්‍යතාව මත කෙනෙක් සමාජීය ආදරය තෝර ගන්නවා නම් එයා පෞද්ගලික ආදරය සඳහා දක්වන කැපවීම අඩු වෙන්න හෝ ඉතාම අඩු වෙන්න පුළුවන්.

සමහර විට අපි තෝර ගන්න අරමුණ අපට මූණ පාන්න වෙන බාහිර අභියෝගයන්, පීඩාවන්වලින් මිදෙන්න තෝරා ගන්නා එකක් වෙන්නත් පුළුවන්... නිදසුනක් විදියට කෙනෙක් තමන්ගේ ගෙදර පීඩාකාරී තැනක් වෙනකොට බෝතලය තෝර ගන්නවා. අම්මා දරුවාව ඒ සඳහා තෝර ගන්නවා... නැති නම් අනියම් සම්බන්ධයක් ඇති කර ගන්නවා. නිර්මාණ කාර්යයක නිරත වෙනවා.


 කොහොම වුණත් ආත්මාර්ථය මත අපේ මේ ආත්මීය බැඳීම ඇති කර ගත්තාම එයා අනෙක් සියලුම දේ නොසලකා හරිමින් එයට ආදරය කරන්න ගන්නවා. වෙන එකක් තබා තමන්ව පවා නොසලකා හරිමින්... ඒ කියන්නේ වෙලාවට කන්නෙ නෑ, ව්‍යායාම කරන්නේ නෑ, කොටින්ම තමන්ගේ ජීවිතයේ කිසිම දෙයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ නෑ.

ඉතින් මේක දකින කෙනෙක් කියන්න පුලුවන්,''අනේ එයා මොන තරම් තමන්ගේ දරුවට ආදරේද, නිර්මාණවලට ආදරේද, සමාජයට ආදරේද.... තමන් ගැනවත් එයා හිතන්නෙ නෑ...'' කියලා.. ඒත් ඇත්ත තත්වය තමයි එයාගේ ආත්මයට සැනසිල්ල ලැබෙන්නේ අර දේ තුළින් නිසයි ඒ වෙනුවෙන් එහෙම කැප වෙන්නේ.

පරාර්ථය මතින් පදනම් වෙලා ආදරය කරන කෙනෙක් තමන්ව නොසලකා හරින්නේ නෑ... තවත් කෙනෙක්ව නොසලකා හරින්නෙත් නෑ... එයාගේ ආදරය සමබරයි... දැන් බලන්න දුවලා පුතාලා විවාහ වුණාම ගොඩක් අය තමන්ගේ මාපියන්ව නොසලකා හරිනවා.... ඇයි ඒ... තමන්ගේ ආත්මීය සාරය අලුත් දේ මතින් ගොඩ නංවා ගන්න නිසා. අලුත් පෙම්වතෙක් පෙම්වතියක් හමු වුණාම පරණ කෙනා කුණු මාළු කෑල්ලක් වගේ පේන්න ගන්නවා.

වියපත් වෙනකොට මානසික හැකියාවන් සමහර අයගේ අඩු වෙන නිසත්, වියපත්කම නිසාම තමන් කලින් බැඳිලා හිටි අයව පාලනය කරගන්න හැකියාවක් නැති නිසත් ඒ අය නිවන, තමන්ගේ ඇඳුම් කැඩුම් ටික, ඉතිරි කරගෙන තියෙන සල්ලි ටික වගේ තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් අල්ලා ගන්නවා.

අපිට කතා කරගන්න අතපසු වුණ කරුණ තමයි, සුරතල් සතෙක් අපට දක්වන්නේත් පරාර්ථය මතින් ඇති වුණු ආදරයක් නොවුණත් ඒක මිනිස් ආදරයට වඩා අවංක වෙන්නේ, වඩාත් ආදරණීය වෙන්නේ කොහොමද කියන එක.

සතෙක් ජීවත් වෙන්නේ සංකල්පීය ලෝකයක් තුළ නෙවි. ඒ නිසා එයාගේ ලෝකය හරිම පැහැදිලියි... විකෘති වෙලා නෑ දෘෂ්ටිවාදයන්ගෙන්. ඒ වගේම අල්පේච්ඡයි. සැහැල්ලුයි. මේ නිසා එයාට පුලුවන් වෙනවා මුළු හදින්ම තමන්ගේ ඒ ආදරය, බැඳීම පවත්වාගෙන යන්න.

No comments:

Post a Comment