Thursday, October 13, 2016

ජ්‍යෝතිෂ්‍යය සත්‍යයක්ද...?

ජෝතිෂය කියන්නේ අපේ සමාජයට අතිශයින්ම තීරණාත්මක ලෙසින් බලපානු ලබන ප්‍රපංචයක්. එය,  අපි එක් එක්කෙනාගේ විතරක් නෙවි සමස්ත රටේ ඉරණම, දෛවයන් පවා තීරණය කරන්න පුළුවන් බලවේගයක් බවට පත් වෙලා. ඉතින් මෙහි බලපෑමේ යහපත් හෝ අයහපත් බව අපිට තීරණය කරන්න හැකි වෙන්නේ මෙය, සත්‍ය පදනමක් මත ගොඩ නැගිලා තියෙන ශාස්ත්‍රයක්ද විද්‍යාවක්ද යන්න මත.

මේ මොහොතේ ඔබට එහි සැලකිය යුතු බලපෑමක් ඇති වී නොතිබෙනවා වෙන්න පුළුවන්... ඒත් ඉදිරි නිමේෂයක එසේ සිදුවෙන්න තියෙන හැකියාව විශාල එකක්.

ජෝතිෂය සම්බන්ධයෙන් ගත්තාම බොහෝ දෙනෙක් ඉන්නේ අන්ත දෙකක... ඒ තමයි එය සත්‍යයක් ලෙසින් විමසා බැලීමකින් තොරවම පිළිගන්නා කොටස සහ ඒ විදියටම එය මිත්‍යාවක් සේ බැහැර කරන කොටස.... මීට වෙනස්ව යමින් මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට යොමු වන කෙනෙක් හොයා ගන්න එක හරිම අමාරුයි.

ජෝතිෂයට නූතන විද්‍යාත්මක දැනුමෙන් එල්ල වී තියෙන අභියෝගය නිසා ජෝතිෂවේදීන් එය නව අර්ථකථනයන්ට භාජනය කරන්නත් යොමු වෙලා තියෙනවා. ඒත් අපිට වැදගත් වෙන්නේ අර්ථකථනයන් නෙවි... මූලිකවම මෙහි සත්‍ය අසත්‍යතාව හොයන එකයි.

හේතුවාදීන් අල්ලාගන්නේ ජෝතිෂයේ තියෙන ග්‍රහයන් ටික. ඒ මත ඔවුන් පහසුවෙන්ම එය ප්‍රතික්ෂේප කරනු ලබනවා... ඒත් ග්‍රහයන් කියන්නේ අප විසින් පෙර ජීවිතවල සිදු කරගත් ක්‍රියාවන්වල ප්‍රතිඵල සංකේතවත් කිරීම සඳහා යොදාගන්න සංකේත සමූහයක් විතරයි කියලා ජෝතිෂවේදීන් කිව්වාම ඔවුන් කරන්නේ කර්ම සිද්ධාන්තය බොරුවක් කියලා ඒත් එක්ක ගැටෙන එක...

ඒත් 'කර්මය' කිව්වාම ඉන් ආගමික අදහසක් ජනිත වුණත් සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතික්‍රියාවක් පවතිනවා කියන විද්‍යාත්මක නියමය ගැන අවධානය යොමු කළාම අපි පිටුපසින් එවැනි බලපෑමක් තියෙන්න පුළුවන් කියන අදහසක් ජනිත වෙනවා.

ජෝතිෂයේ පුද්ගලයන්ට තියෙන ඉතාමත් ප්‍රබලම බලපෑම තමයි විවාහ වෙන්න යන පෙම්වතුන්ට සිදුවන බලපෑම. එහෙම වෙන්නේ කෙනෙක්ගේ අපල හෝ සඵල තවත් කෙනෙක්ට බලපාන්න පුළුවන් කියන ජෝතිෂ සිද්ධාන්තය මත. මේ නිසා යෝජිත විවාහ වලට නෙවි, ප්‍රේම සම්බන්ධතාවලට ජෝතිෂය මැදිහත් කර ගැනීමට යාම නිසා විශාල මානුෂික අර්බුදයක්, ව්‍යසනයක් අපේ සමාජයේ ජනිත වෙලා තියෙනවා. එය හට ගන්නේ ප්‍රේමයේ කූටප්‍රාප්තිය ලෙසින් දෙදෙනා විවාහ වීමට සූදානම් වන අවස්ථාවේ වැඩිහිටියන් විසින් මැදිහත්ව ඔවුන් දෙදෙනාගේ ඒ සඳහා වන යෝග්‍යතාව, ජෝතිෂය නම් කෝවේ දමා පරීක්ෂා කිරීමට යාමේදීයි.

No comments:

Post a Comment