ඉතාම පැහැදිලි සත්‍යයක් තමයි 99%කටත් වැඩි දෙනෙක් ජීවිතය ගත කරන්නේ උපන්නාට අනුව හෝ දුකින් පීඩාවෙන් හෝ අතෘප්තියෙන්, උදාසීනත්වයෙන් කියන එක. ජීවිතයේ සතුට අත්කර ගැනීම වෙනුවෙන් හැම දෙනෙක්ම හැම වෙලාවෙම වෙහෙසෙන බවක් දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ සතුට සොයනවාටත් වඩා, තියෙන පීඩාවලින් අත්මිදෙන්න ක්‍රම හොයන එක.
කෙනෙක් මේ සඳහා බීමත්කම තෝරා ගන්නවා... නැති නම් දුම්වැටිය තෝරා ගන්නවා. ලිංගිකත්වය තෝරා ගන්නවා. කල්ලි ගැසීම තෝරා ගන්නවා. සමහර විට මේ ඔක්කෝම තෝරා ගන්නවා. කාන්තාවන් නම් අනියම් සම්බන්ධතා, රූපවාහිනිය තෝරා ගන්නවා.
ඉතා විශාල අවදානමක් අරගෙන සමහර අය අනියම් සම්බන්ධතා පවත්වාගෙන යනවා. සමහර අය පාර දිහා බලාගෙන සැමියා එනවද කියලා රතියේ යෙදෙනවා. ඉතින් මේ වගේ මොහොතක් තුළ මිනිසෙකුට සතුටක් ලබන්න පුළුවන්ද... නිදහස් පරිසරයක්, නිදහස් මනසක්, ආදරයක්, බැඳීමක් නැතිව මෙහෙම දේකින් සතුටක් ලබන්න පුළුවන්ද...
මෙතනදී වෙන්නේ ජීවිතයේ තියෙන මහා අසහනයෙන් මිදෙන්න මේ වගේ දෙයක් සමහන්කාරකයක්, එහෙමත් නැති නම් ආවේගයන් මුදා හැරීමේ මගක් ලෙසින් උපයෝගී කර ගැනීම පමණයි. මත්ද්‍රව්‍ය භාවිතයේ අරුතත් ඒකමයි... කෙනෙකුට සතුට කියන එක අත්විඳින්න පුළුවන් වෙන්නේ පියවි මනසින්... ඉතින් මත්ද්‍රව්‍ය ගත්තාම පියවි මනසක් පවතිනවද... එතනදී වෙන්නේ මේ දුක්ඛදායි ජීවිතයෙන් පලා යාමේ මගක් ලෙසින් ඒවා උපයෝගී කර ගැනීම.
ජීවිතයේ නැති බැඳීම් රූපවාහිනියේ චරිත සමගින් ඇති කර ගන්නවා. සැබෑ ජීවිතයේ පීඩාවට එරෙහිව සටන් කරන්න හැකියාවක් නැති නිසා තිරයේ මර්දනයට එරෙහිව සටන් කරන අය සමගින් ඒකාත්මික වෙනවා. ජීවිතයට නොලැබෙන ආදරය, තිරයේ ආදරයක් සමග එක් වීමෙන් අත් කර ගන්නවා. මනසේ සමාජීය වෙන්න තියෙන ඕනකම මේ මගින් යම් තරමකට සපුරා ගන්නවා.
බටහිර රටවල කරපු අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා රතියේ යෙදෙන අයගෙන් හතරෙන් එකක් විතර ඒ අතරේ සමාජ ජාලවල තමන්ගේ ලයික්, කමෙන්ට්ස් බලන බව. මේක අපිට හිනා යන කතාවක් වෙන්න පුළුවන්. ඒත් මේ යට සැඟවිලා තියෙන අරුත මොකක්ද...? අපේ සිතට ඕන කරන ඇගයීම, තැකීම, ගෞරවය කියන දේ නේද මේ සොයන්නේ.
තවත් කොටසක් ජීවිතය දුකක් නිසා ජීවිතයෙන් පලා යන්න හිතනවා. ඉතින් අපේ සමාජයේ අය නම් ඒ සඳහා තෝරාගන්නේ නිවන. ඇත්තටම සාතිශය බහුතරයකට නිවන යනු, දිවිනසා ගැනීමේ ක්‍රමවේදයක්. ධර්ම ග්‍රන්ථ ලියපු අය මේක දක්වලා තියෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. නිවන උත්තරීතර දෙයක් බවට පත් වෙන්නේ පැවැත්ම උපේක්ෂාවෙන් දකිමින් එය නිම කිරීමට සවිඥානික ලෙසින් මැදිහත් වෙනවා නම් පමණයි. එහෙම සිතක් ඇති වෙන්න නම් අපේ සිත ලෝභ ද්වේශ මෝහ වලින් මිදිලා තියෙන්න ඕන.
ජීවිතය සතුටින් ගත කරන්න නම්, එය ඉතාමත් උත්තර ලෙසින් විඳින්න නම් අපේ සිත ආත්මාර්ථයෙන් පරාර්ථය වෙතට මාරු වෙන්න ඕන. හිත තුළ ආදරය, දයාව, කරුණාව, මුදිතාව ඇති වෙන්න ඕන. පැවැත්ම නිමා කිරීමේ අවශ්‍යතාවක් නැති නම් කෙනෙක්ට සතුටින් ජීවත් වෙන්න ආදරය කරන්නත්, තමන්ට ආදරය ලැබෙන්නත් ඕන. ඉතින් මේ ටික කර ගන්න බැරිකම නිසා තමයි අපි විශාල දුකක් පීඩාවක් විඳිමින් සිටින්නේ... මේ සාධකවලින් ගොඩක් ඒවා අපි විසින්ම සපුරාගන්න ඕනි දේවල්. තවත් කොටසක් සමාජීයව සම්පූර්ණ වෙන්න ඕනි... අපිට කෙනෙක් ආදරය කරන්නේ සමාජීයව. අම්මා තාත්තගේ ආදරය වුණත් සමාජීය එකක්.
No comments:
Post a Comment