Sunday, October 30, 2016

මේක ගොදුරු ලෝකයක්..... දුකින් පිරුණු පාරුවක්....

අපි මේ ජීවත් වන මහ පොළොව කියන්නේ සම්පූර්ණයෙන්ම ගොදුරු න්‍යාය මත පදනම් වූ එකක්... බලය වැඩි කෙනා බලයෙන් අඩු කෙනාව ඩැහැ ගැනීම තමයි මෙහෙ යාන්ත්‍රනය. බලය කියන එක විටක සාපේක්ෂයි... සමහර විටක බලයෙන් අඩු කෙනා බලවත් වන අවස්ථාත් තියෙනවා.

නිදසුනක් විදියට, මුවා ගොදුරු කර ගන්න යන කොටියා සමහර විටක මුවාගේ අං පහරින් මිය යන අවස්ථා තියෙනවා. වරක් තරුණියක් අපයෝජනය කරන්න සැරසුණු තරුණයන් කීප දෙනෙක්ට වැඩ වැරදුණේ ඇය සටන් කලා ශිල්පිණියක් වීම නිසා.

ශුද්ධ වූ පවුලේ සම්බන්ධතාවල ඉඳන් සමාජීය සම්බන්ධතා දක්වා සියල්ලේම අඩු වැඩි ප්‍රමාණවලින් තියෙන්නේ ගොදුරු න්‍යාය. සත්ව ලෝකයේ ආහාර ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ ගොදුරු න්‍යාය මත. මේක කොයි තරම් පදාර්ථයට කාවැදිලාද කියනවා නම් මාංශ භක්ෂක ශාක පවා නිර්මාණය වෙලා තියෙනවා.

මනසින් උසස් යයි කියන අපේ ඉතිහාසය ගත්තාම යුද ගැටුම් නැති කාලයක් සඳහන් කරන්න පුළුවන්ද... එයට මුල් වුණේ ගොදුරු න්‍යාය මිස වෙන මොකක්ද...? මිනිස් සමාජය අධිකරණ, පොලීසි, හමුදා සහ වෙනත් පාලන යාන්ත්‍රණ නිර්මාණය කරගෙන තියෙන්නේ ඇයි. සාපේක්ෂ වශයෙන් සමාජය පාලනය කරගන්න.


දුෂ්කර ගම්මාන වල ජීවත් වන මාපියන් තමන්ගේ දරුවන්ව පාසල් යවන්නේ යාන්තම් අකුරු ටිකක් කියවා ගන්න තෙක් පමණයි. ඉන් පසුව ඔවුන් තමන්ගේ වැඩට ඔවුන්ව යොදවා ගන්නවා. ගුරුවරුන් දරුවන්ට දෑස් පාදන්න මහන්සි වෙන වෙලාවක පවා ඊට සහයෝගය දෙන්නෙ නෑ... ඒ ඇයි... ඔවුන්ගේ සිහින ලෝකය තුළ නෑ දරුවන් ඉහල සමාජීය තලයකට පත් කරන්න. නමුත් මීට සාපේක්ෂව නාගරික සහ තදාසන්න මාපියන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන් දරුවාගේ මූලික අයිතිවාසිකම් පවා කඩ කරමින් උත්සාහ ගන්නේ දරුවන් සමාජයේ ඉහළම තැනකට යවමින් තමන්ගේ සිහින සැබෑ කර ගන්න...

මේ මාපියන් දෙගොල්ලන්ගේම අරමුණ එකයි... ආත්මාර්ථකාමීයි. ගොදුරු කර ගැනීමයි අරමුණ.

දරුවන් හිතන්නේ මාපියන් යනු තමන්ව ජීවත් කරවීම වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් මවා දුන් භාණ්ඩ කියලා... ඒ මත ඉඳගෙනයි ඔවුන් මාපියන් හා සම්බන්ධතා පවත්වාගන්නේ. එසේ නොසිතන අය වුණත් මාපියන්ට ආදරය කරන්නේ ඔවුන් තමන්ට දැක්වූ ආදරය හා කැප කිරීම් වෙනුවෙනුයි. දිළිඳුකම වැනි හේතු නිසා අඩු පාඩු සිදු වූ මාපියන්ට ඒ ආදරය හිමි වෙන්නේ නෑ..


තරුණයෙක් සහ තරුණියක් එකිනෙකාට ආදරෙයි කියන්නේ තනිකම, විෂම ලිංගික ආකර්ෂණය සහ අවශ්‍යතාවන්, පවුලක් ගොඩ නැගීම, දරුවන් හැදීම, බලය ගොඩ නගා ගැනීම, ධනය වර්ධනය කර ගැනීම වගේ දේවල් වෙනුවෙන්... මෙතනදී වෙන්නේ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාව ගොදුරු කර ගැනීම. පවුල තුළ සම්බන්ධතා මෙහෙම නම් ඉතින් සමාජීය සම්බන්ධතා ගැන කතා කරන්න ඕනේ නැහැනේ නේද...

ඉතින් හැම කෙනෙක්ම ආත්මාර්ථයෙන් යුතුව එකිනෙකාව ගොදුරු කර ගැනීමේ න්‍යාය පත්‍රයක් මත කටයුතු කරන නිසා කිසිම කෙනෙක්ට ජීවිතයේ සැබෑ සතුට, විඳීම කියන එක අත්දකින්න ලැබෙන්නේ නෑ. මිනිසා සංකල්පීය සත්වයෙක් නිසා ඔහුගේ සතුට, විඳීම තීරණය වෙන්නේ ඒ සංකල්පවල ස්වභාවය විසින් පාලනය කරන මනසේ ස්වභාවය මතයි.

කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්මාර්ථයෙන් අනෙකාව ගොදුරු කරගන්නා අය සතුටින් සිටින බවක්. ඔවුන් ඒ තුළින් තාවකාලික සහ පහළ මට්ට්මේ තෘප්තියක් ලැබුවත් ඔවුන් ජීවිතයේ සැබෑ තෘප්තිය අත් කරගන්නේ නෑ... සාරය අත් කර ගන්නේ නෑ... ඔවුන් නිතරම සිටින්නේ අතෘප්තියෙන්, අසහනයෙන්. සතුට සොයමින්. ඒ නිසා අවසන් විග්‍රහයේදී ඔවුන් පරාදයි. විනාශ වෙලා.


එතකොට ගොදුරු වෙන්නන්ගේ තත්වය. ඔවුන් සැමදා දුකින් සහ පීඩාවෙන්. ඒ නිසා ගොදුරු කර ගන්නාත්, ගොදුරු වන්නාත් යන දෙදෙනාම අවසන් වශයෙන් ගත්තාම දුකින්. එහෙම නම් මේක දුකින් පිරුණු ලෝකයක් නෙවිද... මින් මිදී ජීවිතයේ සාරය අත්පත් කරගන්න නම් මේ පාරුවෙන් අපි මේ දුක් ගඟ තරණය කරලා පරාර්ථයෙන් පිරුණු, ආදරය කරුණාව, දයාව රජ කරන දූපත වෙතට පිවිසෙන්න ඕනේ...

No comments:

Post a Comment