Saturday, November 5, 2016

සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(4 වන කොටස)

ඔයාලට කියන්න ඕනේ මේ සත්‍ය ආදර කතා පුවතේ ඉතාමත් තීරණාත්මක, ඔබට කිසිසේත් සිත අදහා ගත නොහැකි ලක්ෂ්‍යයකට එලඹෙනවා 2015 මැයි මාසයේදී... ඒ වගේම අපේ අධ්‍යාත්මික ලෝකය ගැනත් ඔබට ඉතාමත් වැදගත් සිත් අදහා ගන්න අපහසු තොරතුරු මේ කතා පුවතේ අන්තර්ගතයි...

මේ කතා පුවතේ තවත් විශේෂත්වයක් වෙන්නේ තවමත් මේ කතාව නිමාවට පත් වී නොතිබීම නිසා. එය කවර ආකාරයකින් අවසන් වේද යන්න මෙහි කතා නායකයාවත් දන්නේ නැහැ....


දැන් ඉතින් මට පුදුම සතුටක්. ලබන සතියේ පුවත් පතේ මගේ දැන්වීම පළ වෙයි. මේ වන විට ඒ යුවතිය හමු වෙලා සති 3ක් විතර ඉක්ම ගොස් තිබුණත් එයාට වුණත් ඉතින් මේ මතකය කොහොමවත් අමතක වෙලා යන්න ඉඩක් නෑනේ. වැඩේ තියෙන්නේ ඉතින් මගේ දැන්වීම එයා දකිනවාද කියන එකයි. පළමුවෙන්ම එයා පොත් පත් කියවන කෙනෙක් වෙන්න ඕනේ. ඊළඟට එයා කාන්තා පුවත් පත් කියවන්නියක් විය යුතුයි. ඊටත් පස්සේ කාන්තා පුවත් පත් රාශියක් අතුරින් සිරිකත පුවත්පතද කියවන්නියක් විය යුතුයි. එපමණකිනුත් මේක නිමා වෙන්නේ නෑ.

එයා සති පතාම හෝ අඩුම ගණනේ විටින් විට කියවන කෙනෙක් වුණද් මේ දවසේ පුවත් පත කියවන්න ඕනේ. එච්චරද...? පුවත් පතේ පිටු 40 ගණනක් තියෙනවා. ඒ අතරින් ඇගේ ඇස මේ දැන්වීම ඇති පිටුව වත යොමු වෙන්නත් ඕනේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අවධානය පුවත් පතක සෑම පිටුවක් වෙතම යොමු වෙන්නේ නෑ. විශේෂයෙන්ම ඒ පුවත් පත නිතර කියවන කෙනෙක්ගේ නම් කෙළින්ම ඇස යොමු වෙන්නේ තමන්ගේ ප්‍රියතම විශේෂාංග වෙතට.

අනෙක් එක මේක ලිපියකුත් නෙවි. දැන්වීමක්. සාමාන්‍යයෙන් දැන්වීම් සඳහා අවධානය යොමු කරන්නේ ඒවායින් කියවෙන දේවල් සඳහා උනන්දුවක් තියෙන කෙනෙක් විතරයි. නිදසුනක් හැටියට ගෙයක් හොයන කෙනෙක් ඒ සඳහා උනන්දු වෙනවා වගේ. ලිපියක් අතරේ තියෙන දැන්වීමක් කෙරේ නම් කියවන අතරේ වුණත් අහම්බෙන් වගේ ඇස යොමු වෙන්න පුළුවන් සමහර විට. ඒත් ඉතින් මගේ මේ පුංචි දැන්වීම ඒ වගේ තැනක පළ වෙයිද, එහෙමත් නැති නම් සම්පූර්ණයෙන්ම ලුහුඬු දැන්වීම් පමණක් අඩංගු පිටුවක පළ වෙයිද කියන්න කවුද දන්නේ. මම නෙවිනේ පිටු සැලසුම් කරන්නේ.

සම්පූර්ණයෙන්ම ලුහුඬු දැන්වීම් අඩංගු පිටුවක පළ වුණෝතින් නම් ඉතින් එය සාමාන්‍ය කෙනෙකුගේ ඇස ගැටෙන්න තියෙන හැකියාව ඉතාම අඩු බව මට පෙනී ගියා.

අනෙක් අතට මේක පුංචි දැන්වීමක්. කලු සුදු එකක්. අවසන් වශයෙන් ඒ පිටුවේ තියෙන දැන්වීම් රාශියක් අතරින් ඒ වෙතට අවධානය යොමු වෙන්න ඕනේ. අහම්බෙන් හරි ඒක වෙන්න නම් පහසුවෙන් ඇස යොමු වෙන තැනක ඒක ස්ථාපිත වෙලා තිබිය යුතුයි.

මේවා කල්පනා කරනකොට, දැන්වීම පළ කිරීමට ලැබීමෙන් හිතේ ඇති වූ සතුට දිය වෙලා යන්න ගත්තා. අපේක්ෂා භංගත්වයක් තුළින් හට ගන්න ශෝකයක් සහ බියක් මගේ හිතේ ඇති වුණා. මේ තරම් කොන්දේසි ගණනාවක් ඉටු වී ඇය විසින් මෙම දැන්වීම දකිනු ලැබීම හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වැනි අවස්ථාවක් බව මට ඒත්තු යමින් තිබුණා.

ඒත් ඇය කෙරෙහි හට ගත්තු මහත් වූ අමතක කළ නොහැකි සෙනෙහස නිසා 'කණ කැස්බෑවා කෙසේ හෝ විය සිදුරෙන් අහස බලනු ඇතිය' යනුවෙන් හදවත කියන්න වුණා. ඒ නිසා, අර බිය යටපත් කරමින්, අපේක්ෂාවේ සුබ සිහින දැල්වෙන්න වුණා. ඒත් බිය කියන එක යටපත් වෙමින් වුණත් දිගටම හදවත පසුබිමේ ක්‍රියාත්මක වෙමින් තිබුණා.

ඇනෙක් අතට, මම මේ තරම් පස් මහ බැලුම් බලමින් සැලසුම් කරමින් දැන්වීම නිර්මාණය කළේත් මේ කණ කැස්බෑවාට සිය ඇස විය සිදුරෙහි තැබීම සඳා කුඩා හෝ උපකාරයක් වනු පිණිස. ඉතින් ඒ කරුණ පමණයි යාන්තමට සැනසීමකට තිබුණේ. එවැන්නකුත් නොකළා නම් මේ වන විට 'සිහිනයක්' පමණක් හැරෙන්නට යථාර්ථවත් බලාපොරොත්තු කියන එක බින්දුවටම පහළ බසින්න ඉඩ තිබුණා.

සුබ පැතූ නංගීගේ පණිවිඩය.....

සිරිකත පුවත් පත නිකුත් වන දිනය ලෙසින් එහි සඳහන් වෙලා තියෙන්නේ සඳුදා. ඉතින් මං සඳුදා දිනේ මගේ ඉන්ටනෙට් සම්බන්ධතාවය සඳහා යොදා ගනිමින් තිබුණු සිම්පත් ෆෝන් එකට යොදා ගැනීම ප්‍රමාණවත්. ඒත් මට දෙයක් අමතකව තිබුණා. ඒ තමයි බොහෝ පුවත් පත් අදාල නාමික දිනයට කලින් වෙළඳ පළට පැමිණෙන බව... සිරිකත පුවත් පත, බ්‍රහස්පතින්දා වන විටම වෙළඳ පළට නිකුත්ව තිබුණා. ඒ නිසා දැන්වීම දැක ලබා දී තිබූ ප්‍රතිචාර සියල්ලම ලැබී තිබුණේ ඒ වන විට ඒ සිම්පත භාවිතා කරමින් සිටි මගේ මල්ලී වෙත.

මල්ලිත් ඒක භාවිත කරමින් සිට ඇත්තේ එයාගේ සිම්පතේ මුදල් අවසන් වීම නිසා. මුදල් රීලෝඩ් කරගන්න යන්න කම්මැලිකමේ එයා මේක පාවිච්චි කරලා. ඒත් මල්ලි එහෙමවත් නොකරන්න මට වෙන්නේ හරිම අකරතැබ්බයක්. දැන්වීමට සංවේදී වන අය ප්‍රතිචාර දක්වන විට අදාල අංකයෙන් ප්‍රතිචාරයක් නැතිව යාම.... බ්‍රහස්පතින්දා ඉඳන් සඳුදා වෙනකන් දින 5ක්. ඉතින් ඒ වගේ කාලයක් කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ වෙන්න හොඳටම ප්‍රමාණවත්.

පුවත් පත වෙළඳපළට පැමිණි දිනයේම මේ දැන්වීමට ලැබී තිබූ මිස් කෝල්ස් සහ මෙසේජස් එකතුව 11ක් පමණ. ඉතින් ඇහැ ගැටෙන්නේ නෑ කියලා හිතුවට මොකද මේ තරම් ප්‍රතිචාර ලැබෙන්න තරම් විශාල පිරිසක් මේක දැකලා තියෙනවා. ඔය විදියට ප්‍රතිචාර දක්වන්න ඇත්තෙත් බලපු අයගෙන් සුළු කොටසක්. ඒ අනුව විශාල පිරිසක් මේක දැකලා තියෙනවා. ඉතින් ඒක ලොකු සතුටක්. අඩුම ගණනේ එයා නොදැක්කත් එයාගේ යාලුවෙක්වත් මේක දැකලා කතා බහක් ඇති වුණොත් ඒ ගැන...

No comments:

Post a Comment