Tuesday, January 3, 2017

මේ ආදරයද...? The Meaning of Love

 ''මගේ ආදර අවනඩුව'' ටෙලි නාට්‍යය නිමා වුණා. එහි අවසානයේ මෙහෙම සඳහන් වුණා.
 

''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරී මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".

ඇත්තටම නම් ඒක මෙහෙමයි සඳහන් වෙන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ...

 ''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරේ මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".

මොකද ඔහු සමාජයට ආදරය කළ, පවුලට ආදරය කළ ප්‍රතිපත්තිගරුක ආදරණීය පුද්ගලයක් නිසාවෙන්. ඔහු නොමැතිකමින් වැලපෙන්නේ ඔහුගේ පෙම්වතිය නොව ''ආදරයයි''.


නේශාධ දුලාට වඩාත් ලං වෙන්නේ ඇය මාලින්ද හමුවේ පීඩාවට පත් වන්නියක්ය යන තතු ඔහුට දැන ගන්නට ලැබීමත් සමග. මේ නිසා, දෙදෙනෙකුගේ ආදරයක් මැදට පැමිණ එය විනාශ කළ පුද්ගලයෙක්ය යන චෝදනාව ඔහුට නැගිය හැකි වන්නේ නෑ.

කොහොම වුණත් අවසානයේ වෙන්නේ මොකක්ද... නේෂාධ සහ මාලින්ද අතර ගැටුමේදී දුලා විසින් මාලින්දට පහර දීම අපට සාධාරණීය කරන්න බෑ. මාලින්ද නේෂාධව මරන්න හදන මොහොතක එහෙම කළා නම් හැර. මේ නිසා දුලා සතු මනුෂ්‍යත්වය ඇත්තටම ප්‍රශ්නයට බඳුන් වන්නේ මේ අවස්ථාවේදීයි. එතැනදී මනුෂ්‍යත්වය කඩ කරන ඇය අන්තිමේ නේෂාධ හමුවේ ද්‍රෝහී වීම කිසිසේත් අරුමයක් වන්නේ නෑ.

අපිට 'විද්‍යාවක්' අවශ්‍ය වෙන්නේ දෙයක් වුණාම ඒකට හේතු හොයන්න නෙවි. දෙයක් වෙන්න කලින් ඒක වළක්වා ගන්නයි. ඒක නිසා කෙනෙක් තුළ මනුෂ්‍යත්වය කොයි තරමින් පවතිනවාද කියන එක කල් ඇතිවම දැන ගැනීම තුළින් අපිට විනාශයක් සිදු වීම වලක්වා ගන්න පුළුවන්. කෙනෙක්ව කල් ඇතිවම තේරුම් ගන්නේ කොහොමද කියන එකට න්‍යායාත්මක පසුබිමක් අපි ''මිනිසුන් හඳුනා ගැනීම'' ලිපියෙනුත් සකසා දුන්නා.


දැන් මෙතනදීත් අපිට පුළුවන්ද දුලා ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක කල් ඇතිව හඳුනා ගන්න. ඇත්තටම පුලුවන්. ඒ තමයි එයා නේෂාධට කතා කරන්න ඉදිරිපත් වෙන්නේ එයාගේ තනිකම පාළුව මකා ගන්න. පස්සේ නේෂාධගේ වුවමනාවටයි ඒක ආදර සම්බන්ධයක් බවට පෙරලෙන්නේ. ඒ වගේම නේෂාධගේ රූපය දැක්කාම, ඒ වගේම එයා රැකියාව සම්බන්ධයෙන් බොරු කළා කියලා දැන ගත්තාම එයා සම්පූර්ණයෙන්ම ඔහුව අමතක කරන්න තීරණය කරනවා.

මගේ යාලුවෙක් ඉන්නවා එයා සෑහෙන්න බුද්ධිමත් කෙනෙක්. දාර්ශනිකව ලෝකය දකින කෙනෙක්. ඒත් එයා තුළ අභ්‍යන්තර ගැටලු ගණනාවක්ම තියෙනවා. ඒවා ගැන විශ්ලේෂණය කරන්න මේක අවස්ථාවක් නෙවි. මෙතනදී අපි කතා කරන්න යන්නේ එයාගේ සහ පෙම්වතියගේ ආදරය ගැන. මන් එයාට කිව්වා ඔයා ඉස්සරහට ඩොක්ට කෙනෙක් වෙලා වෙනම පන්ති සමාජයකට ඇතුල් වෙනකොට ඔය දුප්පත් පෙම්වතිය ඔයාට එපා වෙන්න ඉඩක් තියෙනවා කියලා. මොකද, එයා වෙනස් නොකරනවා කිව්ව සමහර දේවල් වෙනස් කරලා තියෙන ආකාරය මන් දන්න නිසා. එආත් එයා කිව්වා 'මන් ආදරය හොයලා හොඳටම විඩාපත් වෙලා ඉන්නේ. මේක මගේ අවසාන ආදරය. එයා මාව දාලා ගියොත් හැර මම නම් මොන හේතුවක් නිසාවත් එයාව දාල යන්නේ නෑ.'' කියලා.


මම එතකොට කිව්වා, ''ඒ ගැන මට නිගමනයකට එන්න තවම කල් වැඩියි'' කියලා. ''එයාගෙන් මට ඕන තරම් ආදරය හම්බ වෙනවා. ඔක්කෝටම හොරෙන් බත් කටක් අරන් පාරට ඇවිත් මට කවනවා. මගේ ආත්මය එයා සරසනවා. සනසනවා. එයා මට වඩා ගොඩක් වයසින් බාලයි. ලස්සන සුදු කෙනෙක් නොවුණත් එයා කැත නෑ. ඒ වගේ කෙල්ලෙක් මට ආයිත් හොයා ගන්නත් බෑ'' කියලා එතකොට එයා කිව්වා.

ඒ වගේම එයා පිලිගත්තා ඒ කිව්ව කාරණා එයාගේ පැත්තෙන් සලකලා කිව්ව ආත්මාර්ථකාමී ඒවා කියන එකත්. නමුත් එහෙම කිව් පමණින් අපිට පිලිගන්න බෑ එයා වෙනස් නොවේවි කියලා. මොකද එයා ඇත්ත අර්ථයෙන් පෙම්වතියට ආදරය කරන්නේ නැති නිසා. ඇත්ත අර්ථයෙන් ආදරය කරනවා නම් අර සාධක ටික ඉදිරිපත් කරන්න ඕන වෙන්නෙ නෑ. එහෙම කරනවා නම් එයා කියන්නේ, 'ආදරය කරන කෙනෙක් දාල යනවා කියන වචනයේ තේරුම දන්නේ නෑ'' කියන කරුණ. ඒක ඒ විදියටම හෝ ඒ ආසන්න තේරුමක් එන ආකාරයෙන්.


තමන් වෙනස් නොවේවි කියලා පෙන්වන්න අර වගේ සාධක ඉදිරිපත් කරන්න ඕන නෑ. ඒවා ඉදිරිපත් කිරීම තුල තියෙන්නේම එයාගේ පෙම්වතියට තියෙන ආදරය පදනම් වෙන්නේම එයාගෙන් ඔහුට ලැබෙන ඒ දේවල් මත කියන එක. ඒ දේවල් ටික ලැබෙන එයාට වඩා ලස්සන, ඉහල සමාජයක කෙනෙක් හමුවේ මේක කඩා වැටෙන්න ඉඩක් නෑ කියලා අපිට සහතික වෙන්න බෑ.

ඒ වගේම මේ යාලුවා, ''බඩු ගහනවා'', ''කෙල්ලට ගහනවා' කියන වචනය නිතර පාවිච්චි කරන කෙනෙක් තමන්ගේ නොවන වෙනත් සිද්ධි විස්තර කිරීමේදී. තමන්ගේ පෙම්වතියට ඇත්තට ආදරය කරන කෙනෙක් කාන්තාවක් එක්ක කායිකව එකතු වීම සඳහා මේ වගේ අසික්කිත වචනයක් පාවිච්චි කරන්න හැකීයාවක් කොහෙත්ම නෑ. එහෙම කෙනෙකුට ඒ වගේ වචනයක් ඇහුණත් හිතට දුකයි. කෙල්ලට ආදරය කරන කෙනෙක්ට ගණිකාවක් දැක්කත් හිතෙන්නේ ''අනේ මෙයා මේක ඇත්හැර දාලා ලස්සන ජීවිතයක් ගත කලා නම්'' කියලා.


''ආදරය'' කියන දේ තනි මනුස්සයෙක් පමණක් ඉලක්ක කරගෙන කරන්න බෑ. ඒක පොදු විශ්වීය දෙයක්. තනි කෙනෙක් ඉලක්ක වෙනවා නම් එතන තියෙන්නේම ආත්මාර්ථකාමීත්වය. එයාගෙන් ලැබෙන දේවල් නිසා ඇති වී තියෙන ඇලීම. ඒ ඇලීම ඊට වඩා හොඳ ඇලීමක් හමුවේ බිඳිලා යනවා. නැති නම් කාලයත් එක්ක රැස් අඩු වෙලා යනවා.

ඒ වගේම මේ පෙම්වතියත් මේ මොහොතේ තමන්ට ලැබෙන ඉතාමත් හැඟීම්බර ආදරය, ඔහුගෙන් ලැබෙන ආරක්ෂාව, දැනුම, ජීවිතාවබෝධය සහ ආත්මය නගා සිටුවීම වගේ කාරණත් එක්ක ඔහු හා ඉතාමත් තදින් බැඳී ඉන්නවා. ඒත් ඇයගේ 'තත්වයනුත්'' ඉදිරියේදී වෙනස් වෙන්න පුලුවන්. ඇයත් ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක ඔහුගේ ලැප්ටොප් පරිගණකය තමන් ළඟ තියෙන්න ඇරීම තුළින් වටහා ගන්න පුළුවන්. ඒක ඔහුගේ ජීවිතය එක්ක ගොඩක් තදින් බද්ධ වෙලා තියෙන දෙයක්. අඩු වශයෙන් ඔහු ලඟත් මේක දිනක් දෙකක්වත් තියෙන්න අරිනවා නම් අපිට හිතන්න පුළුවන් ඇය ඔහු ගැන හිතන බව.


අනිත් එක ඇය කලින් පෙම්වතාටත් කියලා තියෙනවා ලැප් එකක් අරන් දෙන්න කියලා. ආදරය කරන කෙනෙක් ඒ ආකාරයට දේවල් අමුවෙන් ඉල්ලලා ගන්න සිරිතක් නෑ. ලේසියෙන් ඉල්ලීමක් නොකරන අතරම අත්‍යවශ්‍ය ඉල්ලීමක් වුණත් කරන්නේ ඉතාමත් ආදරණීය ලෙස සහ අනෙකාගේ පැත්තෙනුත් කල්පනා කරමින්. ආදරය කරන කෙනෙක් සතුටු වෙන්නේ අනෙකාගෙන් ස්වේච්ඡාවෙන් ලැබෙන දේවල් තුලින්.

ඉතින් මේ අනුව මේ දෙන්නා අතර තියෙන්නේ සැබෑ ආදරයක් නොවෙන නිසා මේක ''තත්වයන්ගේ' වෙනස් වීමත් එක්ක කඩා වැටීමේ අවදානමින් යුතුයි. ඒ වගේම මේ අයට සැබෑ ආදරයේ ගුණ සුවඳ විඳින්න අවස්ථාවත් අහිමි වෙලා යනවා. වඩාත්ම ඛේදනීය තත්වය තමයි ඒක. ඇත්ත ආදරයේ ගුන සුවඳ විඳින කෙනෙක් හොයා ගන්න හරිම අමාරුයි මේ ලෝකයේ. මන් මේ ලිපිය ලිව්වේ රැකියාවෙන් වරුවක නිවාඩුවක් අරන්. ඒ, ඔබ අතරින් එක්කෙනෙක් හරි ජීවිතය ලස්සන ඉමකට ගෙන යන්න එහි ජීවිතාශ්වාදය විඳින්න උත්සාහ කරාවි කියන අපේක්ෂාවෙන්.

No comments:

Post a Comment