Sunday, September 11, 2022

ෆෝල් සිනමා සිත්තම හා දැනෙන විදියට ජීවත්වීම (Fall Movie and Living as you feel)

ඉතා හොඳ සිනමා පටයක් ලෙසින් මෙය හඳුන්වා දුන්නේ මගේ මිතුරෙක් වෙන දුලාජ්. සති අන්තයේ ඉස්පාසුවක් ලද වේලේ මෙය නැරඹූ විට ඇත්තෙන්ම එය සත්‍යයක් බව වැටහුණා.

ඔබත් සමග කරන මේ කතාබහ තුළ එහි කතාව දිග හරින්නට මා උත්සාහ කරන්නේ නෑ. ඒ, එය අනිවාර්ය ලෙසම ඔබ විසින්ම නරඹා එහි අර්ථ රසය විඳිය යුතු බැවින්. ඒ නිසා දැනටමත් එය නරඹා නොමැති නම් එය පළමුව රසවිඳ මේ කියවීමට එක්වන්නැයි මා ආරාධනා කරනවා. 

ත්‍රාසජනක කඳු නැගීම විනෝදාංශය කර ගත් තිදෙනෙක් වටා මේ කතාව ගෙතෙනවා. අපේ රටවලත් කඳු නැගීම යම් තරමක විනෝදාංශයක් වුණත් මේ ආකාරයේ ත්‍රාසජනක කඳු නැගීමේ ප්‍රවනතාවයක් දක්නට නැහැ. එයට හේතුව අපේ සංස්කෘතිය තුළ හැදී වැඩෙන දරුවා මාපියන් විසින් නිදහසේ වැඩෙන්නට නොදී දැඩි සීමා පවුරු යටතට පත් කිරීම. මේ නිසාවෙන් ඔහුගේ හෝ ඇයගේ සියලු විභවතාවන් යටපත් වී හුදෙක් මා පියන්ගේ කොපියක් බවට පත් වෙනවා. බුද්ධියටත් ඒ දේ අදාලයි. බුදු වෙන්නට පවා හැකියාවක් සහිතව මෙලොව එළිය දකින දරුවාගේ ඒ සියළු හැකියාවන් විනාශ කරනු ලබන්නේ මා පියන් විසින් බව වරක ඕෂෝ නම් දාර්ශනිකයාද පවසා තිබෙනවා. 

මේ කථාව තුළින් අපට පෙන්වා දෙන මුඛ්‍ය පණිවිඩය වන්නේ "අපේ ජීවිතය ඉතා කෙටි හා අනිත්‍ය බවත් ඒ නිසාම අත් හැරීමට තරම් සුළු හෝ කාලයක් නැති බවත්, ඒ කෙටි ජීවිතය අප ගත කළ බවට සෑහීමකට පත් වීමට නම් සෑම මොහොතක්ම දැනෙන සුළු ලෙසින්" ජීවත් විය යුතු බවත්ය. එසේ නොමැති විටක අප මේ ගත කළ ජීවිතයෙන් කිසිදු අර්ථයක් නොමැති බවත් ය. 

දාර්ශනික පර්ෂද තුළත් ඉතා විවාදාපන්න කරුණක් ලෙස මෙම "පැවැත්ම" පිළිබඳ අර්ථකථනයන් සැලකිය හැකිය. බොහෝ භික්ෂූන් වහන්සේලා වෙතින් ප්‍රකාශ වනු දක්නට ලැබෙන්නේ සැබැවින්ම පවතින "පුද්ගලයෙකු හෝ පැවැත්මක්" දක්නට නොමැති බවත් එය මනස විසින් මවා ගන්නා හුදු "මායාවක්" බවත්ය. සැබවින්ම පවත්නා ලෝකය අපට කිසි දිනක සංජානනය කළ නොහැකි බවත් මනසින් මවා ගන්නා ලෝකයක් හා පුද්ගලයන් අප සැබෑ ලෝකය ලෙසින් සලකා මුලාවට පවත් වන බවත් ප්‍රකාශ වේ.

කෙසේ වුවත් ද්‍රව්‍යයේ විකාශය හා පරිණාමය දෙස බලන විට, ඒත් සමගම සමගාමීව සංවර්ධනය වූ ජීවයට පවත්නා ලෝකයෙන් (තමන් ජීවත්වන මානයට අයත්) වැඩි කොටසක් ග්‍රහනය කර ගත හැකි බව මගේ නම් අදහසයි. ඒ ජීවියාට තමන්ගේ ජීවිතයට වැදගත් වන ලෝකය ග්‍රහනය කර ගැනීමේ හැකියාවක් පවතී. නිදසුනක් ලෙස අපට ක්ෂුද්‍ර ජීවීන්  දර්ශනය නොවේ. එහෙත් ඔවුන් දර්ශනය නොවීම අපගේ ජීවිතය පහසු කරයි.

ජීවිතයේ අප එක් එක් අය ප්‍රිය කරන දේ විවිධාකාරය. එහෙත් අප බොහෝ දෙනෙකු ගත කරන්නේ ඒ ප්‍රිය කරන ජීවිතය නොවේ. ඒ නිසාම අපට ජීවිතය ඉතා නීරසය. විඩාකාරීය. "සංචාරකයා" ලෙසින් හැඳින්වෙන්නේ ජීවිතය සවිඥානික ලෙසින් විඳීම අරමුණු කරගෙන සැරිසරන්නෙකි. සැබවින්ම නම් විය යුත්තේ අප ජීවිතය පුරාවටම එවැනි "සංචාරකයෙකු" විය යුතු වීමය.

අප ජීවත්වන බව, ජීවිතය වින්දනය කරන බව, ජීවිතය යනු සුන්දර දෙයක් බව අපට දැනෙන්නේ අප එලෙස ජීවිතය තුළ සවිඥානික සංචාරයක නිරත වන විටය. අජීවය බහුළ ලෝකයක ඒ ලෝකය ග්‍රහනය කළ හැකි එකම වස්තුව වනාහී "ජීවියා"ය. ඒ නයින් ගත් විට, "ජීවිතය යනු අර්ථ විරහිත, සම්පූර්ණයෙන්ම දුකක් පමණක් වන එකක් ය" යන ආගමික චින්තාවට නම් මගේ එකඟත්වයක් නැත.

ජීවිතය එලෙස දුකක් බවට පත් වී ඇත්තේ ජීවියා හුදු "ආත්මාර්ථකාමයෙන්" මිරිකී "අප" යන තැනින් "මම" යන තැනට පත්ව අනෙකා විනාශ කර අවසානයේ තමන්ද ඒ හුදු "අත්පත් කරගැනීම්" තුළ අතෘප්තියට පත්ව විනාශ වීම තුළය. ඒ වෙනුවට "අප" යන තැනට ඔහුගේ දැක්ම වෙනස් වන්නේ නම් ජීවිතය හා ලෝකය, "සුරපුරයක්" බවට එසැනින්ම පත් වන්නේය.

බෙකී, ඩෑන් හා හන්ටර් ජීවිතයේ තෘප්තියට පත් වන්නේ ඉතා අවදානම්කාරී කඳු තරණයන්හි කූටප්‍රාප්තියන් තුළිනි. එහෙත් එක් අවස්ථාවක සිදු වූ හදිසි අනතුරක් නිසා ඩෑන් මිය යාමත් සමග බෙකීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙයි. ඩෑන්ගේ වියෝවේ වේදනාව ඇය යම් තරමකින් හෝ යටපත් කරගන්නේ බීමත්කමිනි.

විනාශයට පත් වෙමින් යන බෙකීගේ ජීවිතය ඉන් මුදවා ගැනීම සඳහා ඇගේ පියා උදව් පතන්නේ හන්ටර් වෙතිනි. එවැනි ඉල්ලීමකින් තොරව ස්වේච්ඡාවෙන්ම සිය මිතුරිය වෙනුවෙන් එවැනි එළඹීමක් හන්ටර් වෙතින් විය යුතු වුවත් එසේ නොවීමට හේතුව අණාවරණය වන්නේ මිතුරියන් දෙදෙනාම ජීවිතයට වඩා මරණයට සමීප අවස්ථාවකට පත් වූ විටය.

හන්ටර් පත් වූ ආකාරයේ ඉරණමකට අප බොහෝ දෙනෙකුද ජීවිතයේ යම් යම් අව්ස්ථාවල පත් වී ඇති බව නිසැකය. එහෙත් හන්ටර් මෙන් නොව අප බොහෝ විට ඒවා අප සිත් පතුලේම සඟවා තැබීමට තරම් පරෙස්සම් වේ. කෙසේ වුවත් බෙකී මේ සිද්ධිය දැන ගැනීමත් සමග වෙනත් අය මෙන් මිතුරිය සමග වෛර බැඳ ගැනීම වෙනුවට සංවේගයට පත් වන්නේ ඔහුත් සමග ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කළ ආදරය ඒ ලෙසින්ම ගොඩ නගා ගැනීමට නොහැකි වීමට හේතුව අනාවරණය වීම තුළිනි.

සිය මිතුරිය වෙත පැවති ආදරය ඒ ලෙසින්ම තව දුරටත් ඉතිරි වූ බව මේ අන්තරාකාරී මොහොතේ බෙකීගේ හැසිරීම තුළින් අපට දැක ගත හැකි වේ. එසේම වෙනත් අය මෙන් නොව හන්ටර් ද ඔහුව බෙකීගෙන් උදුරාගෙන තමන්ගේ කර ගැනීමට උත්සාහ නොකිරීමත් සිය මිතුරියට පැවති ආදරය එලෙසින්ම පැවතීමත් තුළින් සිය උදාර බව පෙන්වා දෙයි.

ඉතාමත් මරණකාරී අපේක්ෂා රහිත මොහොතක වුවද ඒ වෙනුවට බලාපොරොත්තු අත් නොහැර ජීවිතය වෙනුවෙන් දැඩි ලෙස නැගී සිටිය යුතු බවට වන සඥාව අපට මේ ආඛ්‍යානය තුළින් විදහන තවත් එකකි.

මේ සිනමාපටය තුළින් අවසානයේ ප්‍රීතියකට පත් වීමට මට නම් නොහැකි වූ එකම හේතුව සිය මිතුරියගේ විනාශ වෙමින් යන ජීවිතය ප්‍රතිස්ථාපනය වෙනුවෙන් අතිශය අවදානම්කාරී ලෙස සිය  ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන හන්ටර් ඉතාමත් වේදනාකාරී මරණයකට පත් වීම නිසාය. එය විශාල ලෙස මගේ හදවත කම්පනයට පත් කළේය.


ඔබට සැබවින්ම ජීවිතය විඳීමට අවශ්‍ය නම් ඔබ ආශා කරන දෙයක් ඔබගේ වෘත්තීය බවට පත් කර ගන්න. ඔබ ආශා කරන දේවල් විනෝදාංශය බවට පත් කරගෙන ඉහි නිරත වීම සඳහා අවශ්‍ය කාලය හා අවකාශය සලසා ගන්න. ඔබ ආශා කරන ප්‍රියයන් හා ජීවිතය ගත කරන්න. අන් අයට වුවමනා අයුරින් ඔබගේ ජීවිතය හසුරුවාලීමට ඉඩ නොදෙන්න. විවිධ දෘෂ්ටිවාදයන්ට ඔබගේ ජීවිතය රූකඩයක් බවට පත් කර ගැනීමට ඉඩ නොදෙන්න. ඒ දෘෂ්ටිවාදයන් පවත්වාගැනීම වෙනුවෙන් ගොඩ නැගී ඇති සංස්කෘතික යදම් කඩා බිඳ ඉන් නිදහස් වන්න. 

ජීවිතය කොටු කරවන දෘෂ්ටිවාදයන් විශ්ලේෂණය කරන විට පැහැදිලි වන කරුණ නම් ඒවා අතීත අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතවල සාරය උරා බීම සඳහා සැහැසි හා කෛරාටික ලෙස ගොඩ නඟා ඇති බවයි. අදටත් ඔවුන්ගේ පරම්පරාවල අය පාලකයන් ලෙසින් (සංස්කෘතික පාලකයන්) ජීවත් වන නිසා ඔවුන් ඒ දෘෂ්ටිවාදයන් පත්වා ගැනීම වෙනුවෙන් වෙහෙසෙයි.

සිංහල උප සිරැසි සහිතව ඔබට මෙම සිනමා සිත්තම පහත වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.

https://cineru.lk/fall-2022-sinhala-sub/

No comments:

Post a Comment