Friday, December 16, 2016

රාගය, ආශාව සහ අතහැර දැමීම....

ආදරය පිළිබඳ ශෝචනීය සිදුවීම්වලදී ගැහැනු ළමුන්ගේ පැත්තෙන් ඇහෙන පොදු කතාව තමයි, එයා රාගය ඉටු කර ගන්නකම් පණ දෙන්න වගේ හිටියා. ඊට පස්සේ එයාට මාව එපා වුණා කියන එක. තරුණයන්ගෙන් ඇහෙන්නේ, ''එයාට මට වඩා ලස්සන, එහෙමත් නැත්නම් පෝසත් කොල්ලෙක් සෙට් වුණාට පස්සේ මාව වහ කදුරු වගේ වුණා'' කියන එක.

දැන් මේ මුල් සිදුවීම ගත්තම එතන තරුණයා තුළ තිබුණු හැඟීම තමයි රාගය මතින් නිර්මාණය වුණු බලවත් ආශාව. 'ආශාවේ' මූලිකම ස්වභාවය තමයි 'එය ඉටු වූ වහා අතෘප්තියට පත් වීම'. මේ නිසා හැමදාම 'ආශාව' තියා ගන්න නම් ඒක කවදාවත් 'පරිපූර්ණ' තත්වයට පත් වෙන්න දෙන්න හොඳ නෑ. අඩුවක් තියා ගන්න ඕනෙ... පරිපූර්ණ වුණු ගමන් ආශාව 'අතුරුදන්' වෙනව.

ඒ යුවතියන්ටත් පුලුවන් වුණා නම් පෙම්වතුන්ව සම්පූර්ණ තෘප්තියට පත් වෙන එක වලක්වාගන්න, ඔවුන්ට හැකි වෙන්න තිබුණා සමහර විට ඔවුන්ව රඳවා ගන්න. හැබැයි කාමය සන්සිඳවා ගෙන යන්නම එන අය නම් ඉටු වුණත් නැතත් නවතින්නේ නෑ. ඔවුන් එන්නේම යන්න බලාගෙන. ඉටු වුණත් යනවා. නොවුණත් යනවා.


ඉන්න කොල්ලට වඩා ලස්සන උගත් ධනවත් කොල්ලෙක් හමු වුණාම කෙල්ලට පරණ කොල්ලා පේන්න ගන්නේ හරියට ලොම් හැලුණු දිරා ගිය බල්ලෙක් වගේ. ඉතින් එයා ඉතාම ඉක්මනින් එයා වෙතින් පලා යනවා. ඒක වලක්වන්න බෑ. නමුත් යම් දවසක මේ අයගෙන් කොටසකට යථාර්ථය අවබෝධ වෙනවා. තවත් කොටසකට අවබෝධ නොවුණත් ජීවිතය නීරස වෙනවා.

ඒත් ඉතින් පරිපූර්ණ නොවී ආශාවක් තියා ගන්න නම් බාහිරින් එන බාධක තියෙන්න ඕන. විවාහය තුළ තියෙන සම්බන්ධය එපා වෙලා, අනියම් සම්බන්ධතා කියන එක බොහෝ අයට ඉතාමත් රසවත් අත්දැකීමක් වෙන්න මූලිකම හේතුවක් තමයි මේක. තව හේතු තියෙනවා. මොකද අනියම් සම්බන්ධයක් කියන්නේ ජීවිතයත් මරණයත් අතර අතුරේ යාමක්. ඒ නිසා කවදාවත් පරිපූර්ණ තත්වයට පත් වෙන්න අවස්ථාවක් නෑ... අපි හිතමු නිකන් හරි මේ දෙන්නා පැනලා යනවා කියලා විවාහ වෙන්න. ඉතාම ඉක්මනින් දෙන්නට දෙන්නව එපා වෙනවා.


දැන් බලන්න යුවතියන් බිකිනි ඇඳගෙන පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙනවා. ජිම්නාස්ටික් කරනවා. ඒව දකින පිරිමින්ට බොහෝ විට සෙක්ස් හැඟීම් ඇති වෙන්නේ නෑ. ඒත් යාන්තම් සායක් ටිකක් කොට වුනාම, බ්ලවුසයක අත් කොට වුණාම, කර පුළුල් වෙලා පියයුරු යාන්තම් පේන්න ගත්තම ඔවුන් බොහෝ කලබල වෙනවා. හැඟීම් පාලනය කරගන්න බැරි පිරිමි මෙහිදී කාන්තාවන්ගේ ඇඳුම් පාලනය කරන්න සදාචාරවාදී නිර්නායක ඉදිරිපත් කරන්න ගන්නවා. මෙතනදී වෙන්නෙත් අර දේමයි. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී අපේ ආශාව කියන එක පරිපූර්ණ තෘප්තියට පැමිනෙනවා. ඒ නිසා එය ඒ හාම අතුරුදන් වෙනවා. ඒත් දෙවන අවස්ථාවේදී ආශාවෙන් ඉතාම ස්වල්පයයි සපුරා ගන්න ලැබෙන්නේ. ඒ නිසා ආශාව කියන දේ තව දුරටත් වර්ධනය වෙනවා.

එතකොට, කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් නිල් චිත්‍රපට මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ කොහොමද කියලා. එතන පදනම් වෙන්නේ රාගය මත. එනම් ලිංගික හැඟීම. ඒවා තුළ කාන්තා ශරීරය පදනම් කරගත් ශුංගාරය කියන දේ නෑ... සංසර්ග කේන්ද්‍රීයත්වය පමණයි දකින්න තියෙන්නේ. රාගය කියන එක හෝමෝන තියෙනකම් උත්පාදනය වෙන හැඟීමක්. ඒ වගේම තමයි ඒක අපි විසින් භෞතිකව අත් විඳින අත්දැකීමක් නෙවි. දෘෂ්‍යමය අත්දැකීමක්. ඒක අපි විඳින්න්නේ ඔලුවෙන්. ඒ කියන්නේ මනසින්. හැම වෙලාවේම අපි ඔලුවෙන් මවා ගන්න අත්දැකීම භෞතික අත්දැකීමට වඩා උත්කර්ෂවත්. මේ නිසා තමයි සමහර අය හැඟීම් පහල කර ගන්න කියලා නිල් චිත්‍රපටයක් ප්ලේ වෙන්න තියලා රමණයේ යෙදෙන්නේ. මොකද සැබවින් අත්දකින දේ තුළ අර බලාපොරොත්තු වෙන රසවත් බව නෑ.


අනෙක් එක නිල් චිත්‍රපට කියන්නේ විශාල කර්මාන්තයක්. එක් දිනක් තුළ විශාල ප්‍රමාණයක් ලෝකයේ නිෂ්පාදනය වෙනවා. ඒ තුල ලමුන් යොදා  ගැනීම, විකෘති ක්‍රියා ඉතාමත්ම බහුලයි. ඉතින් මේ තුළින් පෙන්නුම් කරන්නේ මොකක්ද... අර ආශාවේ න්‍යායම තමයි. එකක් බැලුවාම ඒක එපා වෙන නිසා අලුත් එකක් නිෂ්පාදනය වෙනවා. ඒවත් එපා වෙනකොට විකෘති ක්‍රියා තුළට යොමු වෙනවා. මේකේ කෙලවරක් නෑ.

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝක ස්වභාවය මෙහෙම නම් ජීවිතය කියන්නේ හරිම නිෂ්පල දෙයක්නේ කියලා. නෑ එහෙම නෑ. ජීවිතය බොහොම අර්ථවත් උත්කර්ෂවත් දෙයක්. ඒත් ඒක ලඟා කර ගන්න නම් අපේ සිත් ප්‍රභාශ්වර වෙන්න ඕන. පරාර්ථයෙන්, ආදරයෙන් සිත් පිරී යන්න ඕන. එහෙම සිතක් ලඟ අතෘප්තිය කියන වචනයට ලැගුම් ගන්න අවසර නෑ.



හාමුදුරුවරු බණට කියනවා, ලෙඩ වෙන නිසා, මහලු වෙන නිසා, මරණයට පත් වෙන නිසා මේ ජීවිතය අසාරයිලු. ඒ නිසා ජීවත් වෙන එක නතර කර ගන්නලු. මේ තුළ ඇත්ත වශයෙන්ම තියෙන්න අධික රාගය සහ ආශාවත්, ඒවා රිසි පරිදි ඉටු කර ගන්න ඉඩ ලැබෙන්නේ නැතිනම් එහෙම ජීවිතේ මට ඕනෙම නෑ කියන ද්වේශය නෙවිද... ලෙඩ වෙන්නේ නැති, මහලු වෙන්නේ නැති, මරණයට පත් වෙන්නේ නැති ජීවිතයක් තියෙනවා නම් නිවන ඕනේ නෑ. එහෙම නැති නම් ජීවිතය එපාම එපා....

No comments:

Post a Comment