මේ බව තමන්ට අසාධාරණයක් සිදු වූ විට බොහෝ අයත්, මධ්‍යස්ථ ඉතාම සුළු පිරිසකුත් පිළිගන්නා සත්‍යයක්. මේ වන විට සකල විධ කලාවන්ගේ තියෙන පරිහානියට එක් හේතුවක් විචාර කලාවක් නොමැති වීම. නමුත්, එය ප්‍රමුඛම හේතුව නොවෙයි. ලෝකය තුළ සිදු වූ ආර්ථික හා එමගින් ඇති වූ සමාජයීය වෙනස්කම් තමයි ප්‍රමුඛම සාධකය.
සමාජයට යුග මෙහෙවරක් ඉටු කළත් එය ඇගයීමට ලක් නොවූ අය බොහෝ සිටිනවා. ඉන් මේ මොහොතේ අපේ අවධානයට ලක් වූ දෙදෙනෙක් තමයි ළමා ලෝකයේ සුරංගනාවිය ලෙසින් හැඳින්වෙන ජානකී සූරියාරච්චි සහ සිංහල පරිගණක සාහිත්‍යයේ පුරෝගාමියෙක් වන එන්. පී. විජේරත්නයන්. මේ දෙදෙනාටම එසේ වීම සඳහා බලපෑ ප්‍රමුඛම හේතුව, ඉතා සීමිත පාඨක පිරිසක් සිටින, කියවීමේ සංස්කෘතියක් නැති අපේ රට තුළ, ඔවුන්ගේ සුවිශේෂ හැකියාවෙන් වෙළඳ පළ තුළ විශාල වශයෙන් සාර්ථක වීම.
මේ තුළ ඔවුන්ගේ සගයන් ඊර්ෂ්‍යාවෙන් මිරිකී වෛර බැඳ ගත්තා. ඔවුන්ගේම ක්ෂේත්‍රයේ නොවුණත් 'කලාකරුවන්' යන කුලකයට අයත් වීම නිසා, තමන්ට නොමැති සාර්ථකත්වයක් අත් කරගැනීමේ වේදනාව තුළ අනෙක් කලාකරුවනුත් ඒ මගම ගනු ලැබුවා. එහෙත් ඔවුන් සතු හැකියාවන් ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කළ හෙයින් ඔවුන් ජනතාවගේ හදවත තුල ආදරයෙන් ලැගුම් ගත්තා.
කියවීමට නොසන්සිඳෙන ආශාවකින් සිට මගේ කුඩා කාලයේ පොත් හළකට ගිහින් පුංචි ළමා කතා තෝරන විට මගේ සිත් ගැනීමට සමත් වුණේ ඉන් එකක් පමණයි බොහෝ විට. එයත් වෙන තෝරා ගැනීමක් සඳහා ඒ පොත් මිටියේ වෙනත් එකක් නොමැති වීම තුළ. බොහෝ පොත්වල නිමාව ඉතාම ප්‍රාථමික තත්වයේයි තිබුණේ. අක්ෂර වර්ග හා ප්‍රමාණය, කඩදාසි වර්ගය, පිට කවරය, චිත්‍ර මේ කිසිවක් සිත් ගන්නා තත්වයේ තිබුණේ නෑ. ළමා මනස අවබෝධ කරගනිමින් ඒවා නිර්මාණය වී නොතිබීමයි ඊට හේතුව.
කුඩා කාලයේ අපේ සිත් ගැනීමට සමත් චිත්‍ර හා කතා රචකයන් සිටියේ අතලොස්සක් පමණයි. සිබිල් වෙත්තසිංහ, පියල් සමරවීර, හිඟුල්වල දිසානායක ඉන් කිහිප දෙනෙක්. විජය පුවත් පතේ තවත් ළමා සිත් බෙහිවෙන් ඇද ගැනීමට සමත් චිත්‍ර ශිල්පියෙක් සිටියත් අවාසනාවට එතුමාගේ නම මගේ මතකයට පැමිණෙන්නේ නෑ මේ අවස්ථාවේ.
කොහොම වුණත් කියවීමේ නිති පිපාසයෙන් සිටි අපට ප්‍රමාණවත් තරම් කතා මේ කලාකරුවන්ගෙන් හිමි වුණේ නෑ. යම් තරමින් හෝ අපේ සිත් ඔවුන් මැවූ ලෝකය තුළ රඳවා ගැනීමට හැකි වුණේ විජය වැනි පුවත් පතකින් සති පතා හමු වූ නිසයි.
අපේ කුඩා කාලය එසේ ගෙවී ගියත් මේ යුගයේ කුඩා දරුවන් අතිශයින්ම වාසනාවන්ත වී තිබෙන්නේ සාහිත්‍ය ලෝකයට ජානකී නම් ඔවුන්ගේ සුරංගනාවිය පැමිණීම නිසයි. ළමා ලෝකය ඇය නිසා කොතරම් විචිත්‍ර වී තිබෙනවාද යන්න ඇය ලබා තිබෙන විශාල ජනතා ආදරය තුළින් පමණක් නොව මගේ පෞද්ගලික අත්දැකීමක් තුළින්ද වටා ගන්න පුළුවන්. පොත් හළක් ආරම්භ කිරීම සඳහා පොත් තොගයක් ගෙන ඒමේදී ගෙන ආ ළමා පොත් අතර විශාලම වශයෙන් තිබුණේ ඇගේ පොත්. ඒ, ලමා පොත් තේරීමේදී මගේ අතින් සිදු වූ දෙයක්.
තරුණයෙක් වුණත් ඒ අවස්ථාවේ මගේ ළමා ලෝකය මා වෙතට නැවත ගෙන ඒමට ඇගේ පොත් සමත් වුණා. ඒ පොත් සඳහා මගේ සිත කොතරම් ඇදී ගියාද කිවහොත් ඒවා අලෙවි කිරීම සඳහා යොදා ගැනීමට මගේ සිත ලෝබ වුණා. පසු කාලයක ඇගේ පොත් කියවන විට, චිත්‍ර, නිමාව පමණක් නොව ළමා ලෝකය තුළ වැජඹීමට ඇය තුළ පවත්නා සාහිත්‍යමය දක්ෂතාවද අවබෝධ කර ගැනීමට හැකි වුණා. ඒ සඳහා වන මනෝ විද්‍යාත්මක දැනුම, සමාජයීය දැනුම, භාෂා හැකියාව, පරිකල්පන ශක්තිය, ළමා ලෝකයේ ජීවත් වීමේ හැකියාව, නිර්මාණ ශක්තිය ආදී සියලුම හැකියාවන් මැනවින් ඒ තුළ දැක ගත හැකි වුණා.
ඇයට නොයෙක් නොයෙක් අවලාද නගන්නන් එසේ කරන්නේ අඩුම වශයෙන් ඇගේ පොතක් කියවාවත් නොවෙයි. සමහර විටක පෙරළා බලාවත් නොතිබෙනවා වන්නටත් පුළුවන්.
''එයාට යාන්තම් චිත්‍ර අඳින්නත්, පරිගණකයෙන් වර්ණ දාන්නත්, ඉංග්‍රීසි පොත්වලින් කොපි කරලා මොකක් හරි කතාවක් ගොතන්නත් පුළුවන්... ඒකෙන් තමයි එයා ඔය ජනප්‍රිය වෙලා තියෙන්නේ...''
මෙහෙම කිව්වේ ඇගේ ක්ෂේත්‍රයේවත් ඉන්න කෙනෙක් නෙවි. කාගෙන් හෝ අහන්න ලැබුණු දෙයක් කට පාඩම් කරගෙන.
සමහර පුද්ගලයන් ඇයට චෝදනා කළේ ඇය ප්‍රවීණ ළමා සාහිත්‍යවේදිනයක් වන සිබිල් වෙත්තසිංහයන්ගේ චිත්‍ර කොපි කර ඔය තත්වයට ආ බව. සමහර පාඨකයන් තුළත් විශ්වාසයක් තියෙනවා ඇය සිබිල් නැන්දාගේ ගෝලයෙක් වන බවට.
තවත් පුද්ගලයෙක් චෝදනා කර තිබුණේ ඇයගේ පොත් කියවන ළමුන් හිස්ටරිකයන් බවට පත්වන බවට. ඒත් ඔහු එසේ චෝදනා කළේ ඔහුගේ ඉතාම සමීප කෙනෙක්ගේ අසාර්ථකත්වය පිළිබඳ වේදනාව නිසා.
මෙවැනි ඉතාම ම්ලේච්ඡ ආකාරයේ පරිභවයන්, කුඩා ළමයෙක් වැනිම හදවතක් හිමි ඇය බෙහෙවින් වේදනාවට පත් කළ නිසා සාහිත්‍ය ලෝකයෙන් ඈත්ව ළමා කාටූන් නිර්මාණයට ඇයව යොමු කළාද යන අදහස මගේ සිතට එනවා. මේ කුරිරු ප්‍රහාරයන් හමුවේ තනිවම ඇය හඬා වැලපුණා ඇයට ඒවා දරා ගැනීමට නොහැකිව. ඒ බව මා සිතන්නේ කිසිවෙක් හෝ දන්නේ නෑ.
ළමා සාහිත්‍යයට ඇය කළ සේවය යාන්තමින් හෝ ඇගයීමට ලක් වූයේ වාර දෙකක් පමණයි.. ප්‍රථම වරට, ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරයෙක් සංස්කෘතික අමාත්‍යාංශය භාරව සිටියදී. ඊටත් පසු කාලයක 2015 වර්ෂයේදී.
අපි, ඊලඟ ලිපියෙන් විමසා බලමු, ජානකී සූරියාරච්චිගේ නිර්මාණ පිළිබඳව.
No comments:
Post a Comment