Friday, December 9, 2016

කාන්තාවකට බුදු වෙන්න බැරිද....?

කාන්තාවකට බුදු වෙන්න බැහැ, එයා පිරිමි ආත්මයක් ලබලා ඕනි එහෙම වෙනවා නම් වෙන්න... මෙහෙමලු ධර්මයේ සඳහන් වෙන්නේ. ඒත් ඒ සඳහා මොනවා හරි හේතුවකුත් දක්වලා ඇති. ඒක හොයා ගන්න උත්සාහ කළත් මේ අවස්ථාවේ නොහැකි වුණා. ඒ හේතුව හරියටම නොදැන මේ ගැන කතා කරන එක නිශ්ඵලයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒක එහෙම නොවෙන එක වලක්වන්න අපි වෙනත් දිශාවකින් ඒ හේතුව හොයන්න ප්‍රවිශ්ට වෙමු. කිසියම් තැනකට ලඟා වෙන්න එකම මගක් නෙවිනේ තියෙන්නේ... මඟවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේම අලුත් මගක් හදාගෙනත් පුළුවන්.

ධර්මයේ සඳහන් වෙන ආකාරයට, බුදුන් වහන්සේ කාන්තාවට පැවිදි වීම සඳහා අවස්ථාව දීමටවත් මුලින් කැමති වෙලා නැහැ. දැන් සිදුහතුන් ජීවිතය කැප කරලා සෙව්වේ මොකක්ද... ජීවිතයේ පරම විමුක්තිය. ඒක අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේට උවමනා වුණේ සකල සත්වයා වෙත පතල මහා කරුණාවෙන් ඒ තමන් වහන්සේ අවබෝධ කරගත් සත්‍යය හුදී ජනයාගේ ජීවිත වලටත් අවබෝධ කර දීලා ඔවුන්ටත් විමුක්තිය අත් කර දීම. මෙතනදී කාන්තාවත් ඒ විමුක්ති මග ගමන් කිරීම සඳහා උත්සාහ ගත්තා.

''බුදුරදුන් කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩ සිටියයදී මහා ප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ කරා එලඹ වැඳ එකත්පසක සිට කාන්තාවට බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙන මෙන් ඉල්ලා සිටියාය. බුදු රජාණන් වහන්සේ එම ඉල්ලීම පළමු, දෙවන හා තෙවන වරටත් ප්‍රතික්ෂේප කළහ. එහිදී උන් වහන්සේ දේශණා කළේ ''තථාගත ශාසනයේ කාන්තා පැවිද්ද තමන්ට රුචි නොවන බැවින් ඒ කැමැත්ත අත්හරින්න'' යනුවෙන්.

''බුදු සසුනේ කාන්තාව පැවිදි වීම වනාහී වැඩුණු ඇල් වී කෙතක බොල් වී වැඩීමක්'' ලෙසින් උපමා කළ බව චුල්ලවග්ග පාලියේ භික්ඛු නික්ඛන්ධකයේ දැක්වෙනවා.


කොහොම වුණත් මහා ප්‍රජාපතී ගෝතමිය සිය උත්සාහය අත්හැරියේ නෑ. ඇය, බුදුන් වහන්සේ ඊලඟට වස් වැඩ සිටි විශාලා මහනුවර කූඨාගාර ශාලා විහාරයට ශාක්‍ය කෝලිය කුමාරවරුන්ගේ දෙරට බින්දෑවරුන් පන්සියයක් කැටුව, කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර ගෙන ඉතා දුක සේ සැතපුම් ගණනාවක් මග ගෙවාගෙන උන්වහන්සේ හමු වීමට පැමිණියා.

යොදුන් පනස් එකක් මග ගෙවාගෙන ආපු නිසා මේ අයගේ ඉදිමිලා තිබුණා. ශරීර දදියෙන් තෙත් වෙලා. හොඳටම වෙහෙසයි. මේ නිසා මේ පිරිස විහාරයට ඇතුල් නොවී දොරටුව අබියස ශෝකීව සිටියා. ආනන්ද හිමියන්ට තමන් පැමිණි අරමුණ ප්‍රජාපතී ගෝතමිය පැවසුවා. ඉතින් ආනන්ද හිමියන් මේ බව බුදු හිමියන්ට සැල කළාම උන්වහන්සේ කලින් වගේම එම ඉල්ලීම එක හෙළා තෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව සහ පෙරැත්තය නිසාම මහා ප්‍රජාපතිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදි වීම සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා. හැබැයි කොන්දේසි සහිතව. ඒ, ''අෂ්ට ගරු ධර්ම'' නම් කොන්දේසි 8ක් යටතේයි.


1. උපසම්පදාවෙන් වසර 100ක් ගත වූ මෙහෙණියක වුවද එදින උපසපන් වූ භික්ෂුව දැක වැඳුම් පිදුම්, හුනස්නෙන් නැගිටීම් ආදී ගෞරව කළ යුතුය.

2. භිෂුණිය, තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භිෂුවක නොමැති ප්‍රදේශයක වූ මෙහෙණවරක වස් නොවිසිය යුතුය.

3. අඩ මසක් පාස මෙහෙණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාල කළ යුතුය.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය විසින් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන්ගේ අවවාද පිළිගත යුතුය.

මේ කොන්දේසි ටික දිහා බැලුවාම ඉතාම පැහැදිලිව පේන සරල කාරණය තමයි කාන්තාව පාගාගෙන සිටීමේ වුවමනාව. කෙනෙක්ට තව කෙනෙක් පාගා ගන්න වුවමනා වෙන්නේ හේතු දෙකක් නිසා. එකක් එයාව සූරා කෑම. අනෙක එයා තමන්ට අභියෝගයක් වීම. භික්ෂු සසුනේ සම්ප්‍රදාය තමයි උපසපන් වූ දින පිලිවෙලට අනුව ඔවුනොවුන්ට ගරු සත්කාර කිරීම. ඒත් කාන්තාවට පමණක් එය අහිමි කරලා උපසම්පදාවෙන් වසර 100ක් ගත වුනත් අද උපසපන් වූ භික්ෂුවට වැඳිය යුතු බවට දාන කොන්දේසිය මොන තරම් නිර්ලජ්ජිත එක්කද... මේ වගේ කොන්දේසියක් බුදු කෙනෙක් ඉදිරිපත් කරනවා නම් බුද්ධත්වය කියන්නේ කුමක්ද කියන පැනය මතු වෙනවා.


ඒ වගේම කෙනෙක් තව කෙනෙක්ට වඳින්නේ, ආසනයෙන් නැගිටින්නේ එයා කෙරෙහි ඇති ගරුත්වයෙන්. ඒක ගරු කරන්නාගේ හදවතින් පැමිණිය යුතු දෙයක්. මට ගරු කරපන් කියා කෙනෙක් එහෙම ඉල්ලනවා නම් ඒ පුද්ගලයා කවරෙක්ද යන්න කියන්න ඕනේ නැහැනේ. මේ වගේ තිරස්චීන අදහස් බුදු දහම තුළට ඇතුලත් වී තිබීමෙන් පැහැදිලි වෙන්නේ එය කොයි තරම් නම් දුරකට අනුගාමිකයන් විසින් විකෘති කර තිබෙනවාද යන්න.

දහමට, බුදුන් වහන්සේට කළ හැකි ඉහළම නිගරු කිරීම් කර ඇත්තේ වෙනත් මිත්‍යා දෘෂ්ටිකයන් විසින් නොව ඒ මග යන්නේ යයි කියමින් තමන් එහි උරමකරුවන් ලෙසින් ක්‍රියාකරමින් මේ විදියට දහම විකෘති කළ පුද්ගලයනුයි.

''ගෙදර බුදුන් අම්මා'' යයි ධර්මයේම සඳහන් වෙනවා. ''අමා මෑනි'' ලෙසින් බුදු හිමියන්ව හඳුන්වා තිබෙනවා. ඉතින් එහෙම ගරුත්වයක් කාන්තාවට එක් පසෙකින් දෙන අතරේ මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද... ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් මෙහිලා හේතු වී තිබෙන බව කියන්න පුළුවන්.

අනෙක් අතට, බුදු හිමියන්ට කාන්තාවට විමුක්තිය අත් කර දිය යුතු බවට අවබෝධ කරවන්න, මාර්ග ඵලයක්වත් ලබා නැති ආනන්ද හිමියන් වුවමනා වුණාද... කතාවේ හැටියට, ආනන්ද හිමියන් නොවෙන්න කාන්තාව කියන මිනිස් අර්ධය සඳහා විමුක්ති මාර්ගයක් නෑ කවදාවත්. ඒ සඳහා ඇය අනිවාර්යෙන්ම පිරිමි ආත්මයක් ලබන්න ඕනේ... ඒත් කාන්තාවක් තිරිසන් ආතමයක උපත ලැබුවත් ඒත් කාන්තාවක් ලෙසින්ම බවට ධර්මයේ සඳහන් වෙනවා කියලා ධර්ම දේශනාවකදී සඳහන් වෙලා තියෙනවා. ඒ විදියට බැලුවාම ආනන්ද හිමියන් නොවෙන්න කවදාවත් කාන්තාවට විමුක්තියක් නෑ.


සකල සත්වයාට උපත දෙන, මහ පොළවේ ජීවත් වෙන්න හයි හත්තිය ලැබෙනකල් මහා කැප කිරීමකින් හදා වඩන, බුදු වරයෙක්ටත් උපත දෙන, කාන්තාවට විමුක්ති මාර්ගය ඇහිරෙනවා සම්පූර්ණයෙන්ම ආනන්ද හිමියන් නොවෙන්න... මට කල්පනා වෙන්නේ මේ වගේ කතා කියූ අය කුමන අපායක ඇතිද යන්න....

2 comments:

  1. පලමුව ආනන්ද වහන්සේ සෝවාන් මර්ගපලය ලබා සිටියේ.
    දෙවනුව ගැහැනුන් පිරිමින් කියා බුද්ද සාසනේ සඳහන් කරන්නේ පිරිමි ගතිය ගැහැනු ගතිය මිස ඇසට පේන පිරිමියා ගැන නොවේ. ගැහැනුන් පිරිමි අති ඇතිව සිටිය් හැක.
    සාමාන්‍යයෙන් පිරිමියා යනු පිරුනු ස්වාභාවය ක් හඳුන්වනවා.
    ස්ත්‍රීන් කගේ හෝ සහයක් උවමනා කරනවා.
    ඔය හේතුව මූලික උනා මෙහිනි සස්න පිහිටවන්නට අකැමැති වෙන්න.
    උදාහරනයක් විදියට ගැහැනියක් දහැන් වැඩුවත් පූර්ණ වශයෙන් පිරුමියෙකුගේ තත්ත්වය එන්නෙ නැ.
    වෙනස් කමේ ප්‍රශ්නය මිසක් . පහත් කර නොවේ

    ReplyDelete
    Replies
    1. සිදුහත් කුමරුන් සොයා ගියේ විමුක්ති මාර්ගයකි. විමුක්තිය සොයා ගත් විට ඒ මාර්ගය ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් පෙන්වා දුන්නේය. ඒ වෙනුවෙන් ආයතන පිහිටුවීමක් කළේ යැයි සිතීම උන් වහන්සේට කරන අගෞරවයක් යැයි සිතමි. මන්ද මේ දර්ශනය තුළින් ඉදිරිපත් කෙරෙන්නේ තමන් ස්වාධීනව තේරුම් ගනිමින් අධ්‍යයනය කරමින් ගමන් කළ යුතු මාර්ගයක් වන බැවිනි.
      බුදු දහම තුළ පසු කාලීනව ඇති වී තිබෙන "ආයතනික ව්‍යුහයන්" දේශපාලනයක් තුළ ඇති වූ ඒවා වේ. අද ඒවායේ ක්‍රියාකාරීත්වය තුළින් අපට ඒ බව නිමානය කළ හැකිය.
      අර්හත්වය කරා යාමට හැකි නම් ඉන් ඔබ්බට ගමන් කිරීමට නොහැකිය යයි කිසිවෙක් විසින් උත්සාහ කරන්නටත් පෙර එය කළ නොහැකි බවට ප්‍රකාශ කරන්නේ කෙසේද? එය අපහසු විය හැකියි. ඒත් උත්සාහ කර බලන්න කියාවත් ප්‍රකාශ නොකරතැයි සිතිය හැකිද? අනෙක් අතට උන්වහන්සේ සොයා ගත්තේ අළුත් දෙයකි. එවිට ඒ අලුත් දෙය තුළ ඉදිරියට කෙතරම් අලුත් ප්‍රවණතා ඇති විය හැකිද?
      බුද්ධත්වය 'අවසානය" නොවී තවත් ඉන් ඔබ්බට ගමන් කළ හැකි තත්ව පවා නොතිබිය හැකිද? ඒවා අණාවරණය කර ගත යුතු විවෘත අවකාශයන් බැවින් පුරෝකථන දිය නොහැක.

      Delete