කොහොම හරි මෙහෙම සංකල්පීය සත්වයෙක් වීම නිසා මිනිසාට වුණු ''හොඳ'' වගේම 'නරකත්' තියෙනවා. ''හොඳ'' තමයි, ලෝකය, ජීවිතය ගැන අර්ථකථනයක යෙදෙන්න ඔහුට හැකි වීම. ඒ මගින් ජීවිතයේ විඳීම් පරාසය පුළුල් වීම. ඒ කියන්නේ ජීවිතය ලස්සන වීම. ඒ වගේම ඒ මගින් ඔහු නිපදවා ගත් ''දැනුම' නිසා ඔහුගේ භෞතික ජීවිතයත් වඩ වඩාත් සැපවත් සහ ස්ථාවර වුණා.
''නරක'' තමයි, ඔහු විසින් ලෝකය සහ ජීවිතය ගැන සපයා ගත් අර්ථකථන වනාහී බොහෝ විටම 'යථාර්ථය' මත පදනම් වූවක් නොවන නිසා ඒවායින් ඔහුටම අනේක විධ ගැහැට විඳින්න සිදු වීම. මිනිසාට මෙහෙම වුණේ ඔහුගේ ලෝකය සංවේදනය කර ගැනීමේ සංජානන ඉන්ද්‍රිය පද්ධතියේ සීමාකමක් බලපාලා එහෙම නෙවි... ඒකට ප්‍රධානතම හේතුව ඔහුගේ සිත අරක්ගත් ආත්මාර්ථය.
ඒ 'ආත්මාර්ථය' නොවෙන්න ඔහුට බොහෝ දුරට 'යථාර්ථයට'ට සමීප වෙන්න හැකියාව තිබුණා. මිනිසා, සියලු ආචාර ධර්ම, දර්ශනයන් තනාගෙන තියෙන්නේ මේ ආත්මාර්ථය තුළ බොහෝ විට. ඉන් මිදී තිබෙනවා නම් ඒ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක්. 'සත්‍යය' යනුවෙන්, 'යථාර්ථය' යනුවෙන් එකක් මිසක් දෙකක් තියෙන්න බෑ යම් කරුණක් සම්බන්ධයෙන් ගත්තාම. ඒත් ලෝකයේ එකම කරුණක් සම්බන්ධයෙන් සත්‍යයන්, යථාර්ථයන් කීයක් නම් පවතිනවාද... මේකෙන් පේන්නේ මොකක්ද... මේවායින් එක්කෝ එකක් සත්‍යයයි. නැති නම් සියල්ලම අසත්‍යයයි කියන එක.
''කන්න ඕනෙ වුනාම කබරගොයාත් තලගොයා වෙනවා'' කියන පිරුළ තමයි ලෝකයේ තියෙන 'දැනුම' සම්බන්ධයෙන් ගත්තාම දෙන්න තියෙන හොඳම අර්ථකථනය. දැන් බලන්න කාන්තාව කියන කෙනා සම්බන්ධයෙන් බටහිර ජාතිකයෙක් තුළත්, ඉස්ලාමීය මූලධර්මවාදියෙක් තුළත්, ආසියාතිකයෙක් තුළත් තියෙන හැඟීම.... මේ තුන් දෙන්නාට එයාව හැඟෙන්නේ එකිනෙකට වෙනස්ම විදියට... ඒ වෙනස ඇති කළේ කවුද... ඒ ඒ සමාජයේ දෘෂ්ටිවාදයන් විසින් නෙවිද... එතකොට ඒ සමාජයට එන අලුත් දරුවන් ඒ දෘෂ්ටියේ ගොදුරක් බවට පත් වෙනවා. බැරි වෙලාවත් ළදරු කාලෙම ඒ දරුවා වෙනත් සමාජයකට ඇදලා දැම්මොත් මොකද වෙන්නේ...

කෙනෙක් කියා තිබෙනවා 'මිනිසා වෙනස් වී නැහැ'' කියලා. ඒකේ අදහස, එදා හිටපු මිනිසාමයි අදත් ඉන්නේ කියන එක. ඔහු කායික සහ බුද්ධිමය පරිණාමයකට හසුව තිබුණත් අධ්‍යාත්මික පරිණාමයකට හසුව නෑ කියන එක. හොඳින් බැලුවාම අපිට පේනවා ඒ කරුණ සත්‍යයක් කියන එක. එදා ඔහු සතුව තිබූ දුර්ගුණයන් එකක්වත් අදටත් වෙනස් වී නෑ... ඒත් සංකල්පීයව යම් පාලනයක් බාහිරින් ඇති කර තිබෙනවා. ඒත් ඒක උත්තරාරෝපිත දෙයක් නිසා 'තත්වයන්' වෙනස් වන විට ඒ හා සමගම ඔහුගේ මුල් ස්වභාවය වහා ඉස්මතු වීම සිදු වෙනවා.
මනෝ විද්‍යාවේ දැක්වෙනවා අපේ සිතේ පදනම, 'ඉඩ්' අහංභාවය යනුවෙන්. ඒ තුළ තියෙන්නේ නරුම ආත්මාර්ථකාමීත්වය. කෙසේ හෝ තම අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ වුවමනාව පමණයි... එහෙත් ඒ තුළින් පොදුවේ තම වර්ගයාගේ පැවැත්ම අනතුරට ලක් වන බව යම් යම් අයට ඒත්තු යාම නිසයි ඒ ඒ සමාජයන් තුළ 'ආචාර ධර්ම' පහළ වෙන්නේ.
ඒත් මිනිස් සිතේ පදනම, 'පරාර්ථය' බවට පත් වුණා නම් මේ ලෝකයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. අපි කියවන 'සුරංගනා ලෝකයක්' වගේ වෙන්න තිබුණා. කෙනෙක් කියන්න පුළුවන් විද්‍යාත්මක බැලුවාම 'ආත්මාර්ථය' මිසක් 'පරාර්ථය' මේ ජීව ලෝකයේ උරුමය වෙන්න හැකියාවක් නෑ කියලා. නොයෙකුත් විද්‍යාවන් ඔස්සේ සොයා බලනකොට නම් එහෙම හිතන්නත් හිතෙනවා. ඒත් ටිකක් රාමුවෙන් පිට පැනලා අපි කල්පනා කළොත්, ජීවය කියන එක එහෙම ආත්මාර්ථකාමීම වෙන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. අජීවයට සාපේක්ශව ගත්තාම ජීවය කියන්නේ විස්මිත නිමැවුමක්. ඒක ඇත්තයි.
ඒත් ජීවය කියන දේ, ජීවය එක්කම සටන් කරන්න ඕනෙ නැහැනේ... එතන තියෙන්නේ ආත්මාර්ථය. එහෙම නොවී ජීවයට සිය සටන අජීවය සමග පමණක් පවත්වා ගන්න තිබුණා. ඒත් අපි දන්න පෘථිවිය තුළ ඒක එහෙම වෙලා නෑ. මේ මහා විශ්වයේ වෙනත් සොඳුරු ලෝකයක එසේ වී තිබෙනවාද යන්න අපිට කියන්න බෑ. මේ ආත්මාර්ථය කියන දේ වඩාත් වර්ධනය වෙන්නේ ජීවය සංවර්ධනය වීමත් එක්ක කියන එක අපිට පේනවා. ඒ කියන්නේ ශාක ලෝකයේ මේක සාපේක්ෂව අඩුයි. ඒත් සත්ව ලෝකයට එන විට මේක වර්ධනය වී තිබෙනවා. ලොකු කුඩා හැම සත්වයෙක් තුළම වාගේ මූලික ගාමක බලවේගය මේක. සමහර විටක අනන්ත කාලයක සිට ජීවය ආත්මාර්ථය සහ පරාර්ථය ලෙසට බෙදී යාම නිසා පෘථිවිය වැනි ලෝකයක මෙවැනි තත්වයක් ඇති වුණා වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් සමාජ සංවර්ධන උපකරණ මගින් මිනිසුන් සතු ඉඩ් අහංභාවය යම් තරමකට පාලනය කරන්න පුළුවන්. ඒත් ඒක තාවකාලිකයි. මහින්දාගමනයෙන් පසුව අහිංසාවාදී පිළිවෙතකට ගිය අපේ ජනතාව අද ඉන්න තත්වය දිහා බැලුවාම ඒක අවබෝධ කරගන්න ලේසියි. ඒත් ඉඩ් එක ක්ෂය කරන්න නම් මේ ගැන ඔහුටම අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒක අභියෝගාත්මක කාර්යයක්. අනන්ත කාලයක් තිස්සේ ආත්මාර්ථයටම හුරු පුරුදු වීම නිසයි එහෙම තත්වයක් ඇති වෙලයි තියෙන්නේ.
No comments:
Post a Comment