'නිවන' කියන්නේ අපේ පැවැත්ම සසරටම බලපාන පරිදි නවතා දැමීම. එතකොට දිවි නසා ගැනීම කියන්නේ අපේ මේ ජීවිතය පමණක් අවසන් කර ගැනීම. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ, ධර්මය තුළත් නීතිය තුළත්, ආචාර ධර්ම තුළත් දිවි නසා ගැනීම පාපයක්, අපරාධයක්, නොකළ යුත්තක් ලෙසින් සඳහන් වෙද්දී, 'නිවන', පරම සැප ඇති ඒ වගේම මේ ලෝකයේ ඇති උත්තරීතරම දෙයක් ලෙසින් ප්‍රකාශ වීම.
දිවි නසා ගත්තොත් අහිමි වෙන්නේ මේ ජීවිත කාලය පමණයි. නැවත අලුත් තැනකින්, අලුත් ආකාරයකින් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒත් නිවන් දැක්කොත් සහමුලින්ම අපේ ජීවිතය එතනින් අහිමි වෙනවා. ඉතින් එහෙම බලනවා නම් විශාලතම අපරාධය වෙන්නේ නිවන් දැකීම නෙවිද...
කෙනෙක් දිවි නසා ගන්න හිතන්නේ මේ ජීවිතයේ දුක් පීඩාවන් දරා ගන්න බැරිව. කෙනෙක් නිවන් දකින්න හිතන්නේ මේ ජීවිතයේ නොව, හැම ජීවිතයකම වාගේ දකින්න ලැබෙන දුක් කරදර විඳින්න තියෙන අකමැත්තෙන්. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවාද..?
ඉතින් මෙහෙම බැලුවාම හරි නම් මිනිස්සුන්ට දිවි නසා ගැනීම සඳහා හැම උපකාරයක්ම කරන්න ඕනේ... දිවි නසා ගැනීම සඳහා පහසුකම් ව්‍යාප්ත කරන්න ඕනේ... ඒත් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ ඇයි....?
අපි හිතමු බැරි වෙලාවත් සමාජයෙන් අඩක් හෝ ආසන්න පිරිසක් නිවන් දකින්න සමත් වෙනවා කියලා. එහෙනම් අනිවාර්ය ලෙසම නීතිය දේශපාලනය මැදිහත් වෙලා මේ නිවන් දකින එකටත් තහංචි පනවන්න අනිවාර්ය ලෙසම කටයුතු කරනවා. මොකද සමාජයේ පැවැත්ම එතනදී අර්බුදයට යන නිසා. නිවන් මග යන්න අවම වයස් සීමාව අවුරුදු 60 හෝ 65 ඉක්මවන්න ඕනේ කියලා නීතියක් අනිවාර්ය ලෙසම එනවා. නිවන් මග කියා දෙන අයත් ඒක අනුමත කරාවි තමන්ට උපාසක උපාසිකාවන් කියන පිරිස නැති වෙලා යන හින්දා...
සමාජයෙන් වැඩි පිරිසක් නිවන් දකින්න ගියොත් උපත් අනුපාතය එන්න එන්නම අඩු වෙන නිසා නිවන් දැකීම උදෙසා වන සීමාවන් තව තවත් පුළුල් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට සම්පූර්ණයෙන්ම තහනම් කරන්න වුණත් ඉඩ තියෙනවා. ඒත් දැන් අපි කතා කරන නිවන ලඟා කරගන්න බොහොම අසීරුයි. නිවන් දැක්ක කෙනෙක් හොයා ගන්නත් නෑ... නිවන් මග දන්න, ඒ ගැන කියා දෙන, ඒ මග යන අය පමණයි ඉන්නේ. ඒ නිසා සමාජයට කිසිම බලපෑමක් නෑ. ඒ නිසා එවැනි ප්‍රතිවිරෝධයක් එන්නේ නෑ.
හැබැයි මෙතනදී තව දෙයකුත් වෙන්න පුලුවන්. ඒ තමයි සමාජය තුළ නිවන කියන එක අධි තක්සේරුවකට භාජනය වෙලා ඒක ජීවිතයේ ලැබිය හැකි පරම විමුක්තිය ලෙසින් පෙනී යනවා නම් ඒ සමාජය අතුරුදන් වෙලා ගියත් කමක් නෑ කියලා සම්පූර්ණයෙන්ම එයට ආධාර අනුබල ලැබෙන්නත් පුළුවන්.
දිවි නසා ගැනීම පාපයක් වෙලා, දුර්වලකමක් වෙලා, නිවන් දැකීම ලොකුම කුසලයක්, උත්තරීතරකමක් වෙන තැන මොකක්ද... ඒ තැන තමයි, නිවන් දකින්න නම් අපේ සිත පාරිශුද්ධ වෙන්න ඕනේ කියන තැන. ඒ කියන්නේ ලෝබ, ද්වේශ, මෝහ තුනෙන් අපේ සිත මිදෙන්න ඕන. එතකොට, සසර ගමන සඳහා වන ශක්තීන් ඇන හිටීමක් සිදු වෙන බවයි සඳහන් වෙන්නේ. නමුත් කෙනෙක් දිවි නසා ගන්නේ ලෝබ, ද්වේශ, මෝහ තුනම එක් වෙලා වෙන්න පුලුවන්.
ඉතින් කෙනෙක් ඉපදීමට, ලෙඩ වීමට, මරණයට පත් වීමට, වියපත් වීමට, ප්‍රියයන්ගෙන් වෙන් වීමට බියෙන් නිවන් දකින්න හිතනවා නම් එතන තියෙන්නෙත් ලෝභ, ද්වේශ, මෝහ තුනම නෙවිද...? මේ දේවල් උපේක්ෂාවෙන් දරාගෙන ජීවිතයට මූණ දෙන්න බැරිකම තුළ තියෙන්නේ අධික රාගය, තන්හාව, ද්වේශය සහ මෝහය.
අපේ සිත් තුළ, අලෝභය, අද්වේශය, අමෝහය ඇති වෙලා නම් ඒ ජීවිත තුළ පුදුමාකාර නිවීමක්, ශාන්තියක්, සැනසීම, ප්‍රභාෂ්වර බවක්, ප්‍රඥාවන්ත බවක් දිස් වෙන්න ඕන නේද... සිත් තුළ ආදරය, කරුණාව දයාව උතුරලා යන්න ඕනේ.... ඒත් නිවන් මග ගැන අපට කියා දෙන බොහෝ අය තුළත්, ඒ මග ගමන් කරනවායයි කියන බොහෝ අය තුළත් දැක ගන්න තියෙනවාද ඒ ලක්ෂණ....
ඒ වෙනුවට දකින්න තියෙන්නේ සාමාන්‍ය අයටත් වඩා පහළ වැටුණු මානසික තත්වයන්. සමහර අය විකෘති ලිංගික ආශාවෙන් පෙළෙනවා. තවත් අය වෙනත් ලිංගික නියුරෝසීය රෝගීන්. තවත් අය ජීවිතය හොඳටෝම කලකිරිලා. ඔවුන්ගේ ජීවිත තුළ සතුටක් කියා දෙයක් ඇත්තේම නෑ. තවත් අය අත්හරිනවා යයි කියමින් දේවල් බදා ගනිමින් සිටිනවා. බලය වෙනුවෙන් උමතු වී කටයුතු කරමින් සිටිනවා. සම්පූර්ණයෙන්ම දෙබිඩි ජීවිත තමයි මේ අය ගත කරමින් සිටින්නේ. ඒ අනුව අපිට පේනවා මොකක්දෝ වරදක් මෙතනදී සිදු වී ඇති බව. ඇත්තටම මොකක්ද අපිට වැරදුණු තැන...?
ඒ වැරදුණු තැන තමයි, ජීවිතයට බියෙන් හෝ අධික රාගයෙන් ජීවිතය කිසිම දුකක් කරදරයක් නැතිව පරිපූර්ණ සැපයෙන්ම ගෙවිලා යන්නේ නැති නම්, ඒ කියන්නේ ඉපදීම දුකක් වෙන්න බෑ, ලෙඩ දුක් හැදෙන්නම බෑ, වියපත් වෙන්න බෑ, මැරෙනවා නම් ඒ අවුරුදු දහස් ගණනක්වත් ජීවත් වෙලා, ඔන්න ඔය ආකාරයෙන් ලැබෙන්නේ නැති නම් මට ඒ ජීවිතය එපා, ඊට වඩා හොඳයි මේ ඉපදීම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක කියලා හිතලා කටයුතු කරන එක. නමුත් මේ මගින් කවදාවත් අපිට අපේ සිත් පාරිශුද්ධ බවට පත් කර ගන්න බෑ තව දුරටත් අපවිත්‍ර වෙනවා හැරෙන්න.
එහෙනම් මොකක්ද නිවැරදි මඟ... ඒක තමයි අපේ සිත පරාර්ථයෙන් පුරවා ගන්න එක. ඒ තුළ ලෝභ, ද්වේශ, මෝහ වලට හේතු වෙන බොහෝ සිතිවිලි ක්ෂය වී යනවා. ඉන් පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් දිගටම පැවැත්ම තුළම ඉඳිමින් එහි ලඟා කරගන්න පුළුවන් උත්තරීතරම තත්වයක් වෙතට ගමන් කරනවාද, එහෙමත් නැත්නම් උපේක්ෂාවෙන් යුතුව පැවැත්ම නතර කිරීමට ක්‍රියා කරනවාද කියන එක. අපි කවුරුවත් දන්නේ නෑ අපේ සිත් ඉතාම පවිත්‍ර බවට පත් කර ගත්තොත් පැවැත්ම තුළ ලඟා කර ගන්න පුළුවන් උත්තරීතර තත්වය, විඳීම මොකක්ද කියන එක... දිව්‍ය, බ්‍රහ්ම වැනි පැවැත්මවල් ඒ වගේ ජීවිතවලට සාමාන්‍යයෙන් නිදසුන් හැටියට දැක්වෙනවා.
නමුත් අපි ඒවායේ ජීවිත විඳීම, සිතේ පවත්නා ශාන්තිය, සතුට කොයි වගේ වෙන්න පුළුවන්ද කියලා හොයා බලා නෑ... ඒ වගේම නිවනටම ප්‍රමුඛස්ථානය දීම නිසා, අපේ සිත් පැවැත්ම තුළ කොයි තරම් උත්තරීතර දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක සම්පූර්ණයෙන්ම අවධානයෙන් ගිලිහිලා තියෙනවා. ඒ ගැන කිසිම කෙනෙක් සොයා බලන්නේ නෑ. ජීවිතයේ විමුක්තිය පිළිබඳ ගමන් මාර්ගයේදී කෙනෙක් නිවන හෝ පැවැත්ම කියන දේ තෝරා ගන්න ඕනේ ඒ දෙකම ගැන අවබෝධයෙන්.
No comments:
Post a Comment