Saturday, June 3, 2017

අපේ ජීවිතය අයිති කාටද?

 පේරාදෙනිය සිසුවියගේ අනුවේදනීය ජීවිතයෙන් සමුගැනීමේ සිදුවීමත් සමග සමාජ ජාල තුළ හුවමාරු වූ අදහස් අතර ඒ දෙස මානුෂිකව හා බුද්ධිමත්ව බැලීමක් දක්නට තිබුණේ නෑ. ඇය අඥාණ තරුණියක් බවත්, ඒ වගේම ඇය මෙයින් පසු හතර අපායේ යන බවටත් අපහාස කර තිබුණා. පුද්ගලයෙක් ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කරන්නේ තමන්ට ඇති ප්‍රශ්නයට ඇති එකම විසඳුම එය ලෙසින් පෙනී යාම සහ විශාල අපේක්ෂා භංගත්වය නිසා.

එයට වෙනසත් පිළිගත හැකි විසඳුමක් තමන් තුළින් හෝ පිටතින් හෝ ඇති බවක් පෙනී යන්නේ නම් කිසිවෙක් මෙවැනි තීරණයකට යන්නේ නෑ. දිවිය තොර කර ගැනීම අපට කිසිසේත් අනුමත කරන්න බැරි වුණත් එය ඒ පුද්ගලයාගේ කෝණයෙන් බලා අවබෝධ කර ගැනීමට හැකියාවක් අපට තිබිය යුතුයි. එවැනි සංවේදී මිනිසුන් නොමැති වීම නිසාමයි මෙවැනි සිදුවීම් වාර්ථා වන්නේත්. මහා බුද්ධිමතුන් ලෙසින් බක පන්ඩිත කතා කියන පුද්ගලයන් තුළ ඇත්ත වශයෙන්ම ගත්විට මානව දයාව හෝ ගරුත්වය නැහැ.



ආදරය වනාහී මේ ලොව ඇති බලවත්ම වගේම සුන්දරතම හැඟීම. මෙහිදී පුද්ලයා සම්පූර්ණයෙන්ම පාහේ අනෙක් පුද්ගයා තුළ දිය වී යාමක් සිදු වෙනවා. එවැනි පසුබිමක ඒ ආදරය බිඳී වැටීම යනු ඒ පුද්ගයාගේ ආත්මීය විනාශයක් වනවා. එය කවරෙකුට වුණත් දරා ගැනීමට හැකියාවක් නෑ. එහෙත්, මෙසේ වන හැම කෙනෙක්ම ජීවිතය තොර කර ගැනීමට ක්‍රියා කරන්නේ නෑ. එයට හේතුව ඒ ඒ පුද්ගයාගේ සිතේ ස්වභාවය.

පවුලෙන් හෝ පිටත සමාජයෙන් හෝ වෙනත් සංවේදී ආදරයක් අර සිසුවියට ලැබෙමින් තිබුණේ නම් මේ අවාසනාවන්ත සිදුවීම වලකා ගන්නට තිබුණා. කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නට සිතන්නේ තමන් ලෝකය තුළ සම්පූර්ණයෙන්ම අසරණය, හුදකලාය කියන හැඟීමත් එක්ක.

පුද්ගලයෙක් දිවි නසා ගත් විට හතර අපායේ යන්නේය යන්න එය වැලැක්වීමේ අටියෙන් බිය ගැන්වීම සඳහා යොදන ලද්දක් මිස එහි කිසිදු සත්‍යතාවයක් තිබිය නොහැකියි. අනෙක් අතට අප කරන හොඳ නරක ප්‍රතිපල අප වෙතටම විවිධ ආකාරයෙන් පැමිණෙනවා මිසක ''අපාය'' නමින් ආයතනයක්ද ලොව පැවතිය නොහැකියි. එය වෙනම කතා කළ යුත් කරුණක්. දිවි නසා ගත් විට හතර අපායේ යන්නේ නම් ''නිවන්'' දැකීමට ක්‍රියා කරන විටද පුද්ගයා අපායගාමී විය යුතුයි. මන්ද එහිදී කරන්නේද එක් වරකට නොව සම්පූර්ණ සසර ගමනටම බලපාන පරිදි අපේ ආත්මය නසා දැමීම වන බැවින්. එසේ නම් බලවත්ම අපායගාමී ක්‍රියාව නිවන් දැකීමයි.

කළ යුතුව ඇත්තේ, පුද්ගලයන් දිවි තොර කර ගන්නට යොමු වන හේතූන් නැති කිරීම මිස බිය ගැන්වීම නොවෙයි. නීතිය තුළින් කරනු ලබන්නේද බිය ගැන්වීම තුළින් අධෛර්ය කිරීම පමණයි. එහෙත් මේ කිසිදු ක්‍රියා මාර්ගයක් තුළින් මේ ලෝකයෙන් සමු ගන්නා අසරණ හදවත් නැවැත්වීමට නම් හැකි වී නෑ.

No comments:

Post a Comment