පින් සහ පව් පිළිබඳව සඳහන් වන්නේ බෞද්ධ දර්ශනයේ පමණක් නෙවි. ලොව සෑම ආගමක්ම පාහේ මෙය විවිධ අයුරින් සාකච්ඡාවට ලක් කරයි. මේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ගත් විට එය, බෞද්ධ දාර්ශනික සහ ආගමික වශයෙන්ද වෙනසක් දක්වන බව පෙනී යයි.
පින යනු සත්ත්වයාට මෙලොව මෙන්ම පරලොව ආයු, වර්ණ, සැප, බල , ප්‍රඥා යනාදී යහපත් සැප විපාක ලබා දෙන ක්‍රියා ඵල වේ. පව යනු, ඊට ප්‍රතිවිරුද්ධ එනම්, සංසාරික සත්ත්වයාට දුක් විපාක ගෙන දෙන තවත් ලෙසකින් ඉහත සඳහන් කළ සැප විපාක අහිමි වන කර්ම ඵල වේ.
බෞද්ධ විග්‍රහය අනුව, අචේතනිකව කරන ක්‍රියාවන්ගෙන් පවක් හෝ පිනක් සිදු නොවේ.
සියලු ආකාරයෙන් දැනුවත් ක්‍රියාවකින් කවරෙකුට හෝ කවදාක හෝ දුක, කදුළු පිණිස වේ නම් එය පාපයක් ම වේ. යමක් ක්‍රියාවකින් තමන්ට හෝ අනුන්ට යහපත වේ නම් එය පින නම් වේ. තවද තමන්ගේ පින, පව විඳීම හෝ විඳවීම අනුන් විසින් පවරා ගැනීමක් නොවන අතර කර්ම ඵල විඳීම හෝ විඳවීම තමන්ටම වේ.
කොහොම වුණත් මේ අර්ථ දැක්වීමේ පවත්නා සංකීර්ණතාව නිසාම එය එක් එක් දේශකයන්, එක් එක් ධර්ම කුලකයන් විසින් තම තම නැණ පමණින්, තම තම අවශ්‍යතාව පරිද්දෙන් විග්‍රහ කරන බව පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස, පටු අවශ්‍යතාවන් මත සිට තම දරුවෙකුගේ ආදර සම්බන්ධයකට මාපියන් විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ආදරය වෙනුවෙන් පෙනී සිටීමත් බරපතල පාපයක් බව දේශනා කරන අවස්ථා දැක ගන්නට ඇත.
මන්ද, තමන් සාධාරණ පැත්තේ සිටියද මාපියන් වැරදි වුවද, එහෙත් මේ ක්‍රියාවෙන් ඔවුන් බලවත් වේදනාවකට පත් වන නිසාය. මේ අනුව ඉහත අර්ථ දැක්වීම ආචාර ධාර්මික අර්බුදයක් මතු කරයි. එහෙත් මෙය ලිහා නොගත හැකි ගැටලුවක් නොවේ. ඇතැම් විට, කොතරම් යහපත් ක්‍රියාවකින් වුවද තවත් පාර්ශවයක් වේදනාවට දුකට පත් වීම වැලැක්විය නොහැකිය. නිදසුනක් ලෙස, නොදැනුවත් බව මත ජනතාව පහසුවෙන් සූරාකෑම සිදු කරමින් පවතින විට, කිසිවෙක් එකී ජනතාව දැනුවත් කරන්නේ නම් සූරාකන්නන් පීඩාවට පත් වීම වැලැක්විය නොහැකිය. ඒනයින් මෙය පාප කර්මයක් යැයි ප්‍රකාශ කිරීම සත්‍යයක් වන්නේද? නැත.
එසේම විශේෂයෙන් ඉස්මතු කර දක්වන පස් පව්, දස පුණ්‍ය ක්‍රියා, අට මහා කුසල් ආදී වශයෙන් වූ ඒවාද ඇත්තේය. ඇත්ත වශයෙන්ම කිවහොත්, මේ වන විට සමාජයේ
පින = දානය
කියන තැනට නව අර්ථකථනයක්, නව සමීකරණයක් ආගමික වශයෙන් ඇති කර ඇත.
පරාර්ථකාමය මත පිහිටා යමෙක් කටයුතු කරන විට ඔහු සැම විටම අවධානය යොමු කරනු ලබන්නේ අනෙකාගේ පැත්තෙන් බලා අනෙකාගේ සතුට, යහපත වෙනුවන් ක්‍රියා කිරීම කෙරෙහිය. එවිට සැම විටම සිදු වන්නේ යහපත් ක්‍රියාය. මෙහි අනෙක් පැත්ත සිදු වන විට සිදු වන්නේ පාප ක්‍රියාය.
එසේ නම් මේ අනුව අප අතින් ගෙවී යමින් පවතින සෑම තත්පරයකදීම, පාපකර්මයක් හෝ පුණ්‍යකර්මයක් සිදු වෙමින් පවතියි. එය සිතිවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවකින් විය හැකියි.
එහෙත්
සමාජය ගොදුරු කර දමා ඇති ඉහත සමීකරණය හේතුවෙන් සැබෑවටම සිදු වන, මොහොතක්
පාසා එක් රැස් වන පින් පව් පසෙක දමා, ඒ වෙනුවට කිසියම් නිශ්චිත නිමේෂයක
සිදු කරන ක්‍රියාවක් පමණක් පුන්‍යකර්ම සේ දක්වා ඇත. මෙය දේශපාලනික
ක්‍රියාවකි. එනම්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ගොනාට ඇන්දවීමකි.
කොහොම
වුණත් මේ ඇඳ ගැනීමට ජනතාවද ඉතා කැමතිය. ඒ තමන්ගේ සැබෑ අධ්‍යාත්ම විමුක්තිය
පිළිබඳ කිසිදු ප්‍රඥාවක් නොමැති ඔවුන්ට තමන්ගේ කුහක පැවැත්ම එවිට කිසි
කරදරයකින් තොරව ගෙන යාමට හැකි වන නිසාය. ජීවිතයේ වැඩිම කාලයක් පව්කම් කර ඒ
පව් සියල්ල සෝදා හැර දිව්‍යලෝකයෙන් ඉඩකුත් වෙන් කර ගැනීමට ඉඳ හිටක කරන මහා
පින්කම් වලට හැකි නිසාය. මේ අනුව ගත් විට සමාජයේ පවතින ප්‍රතිගාමී සංකල්ප,
ඒවා ඉදිරිපත් කළ අයගේ මෙන්ම පවත්වාගෙන යන්නන්ගේද අනොන්‍ය එකඟතාවකින්ම
පවත්වාගෙන යන ඒවා බව පෙනේ.
No comments:
Post a Comment