Sunday, October 28, 2018

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය - 19th amendment & Democracy

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමට බවයි එය ඉදිරිපත් කළ මෙන්ම එයට විචාරයෙන් තොරව එකඟතාවය පළ කළ අයගේද අදහස වූයේ. එහෙත් එය එසේමද යන්න අප අවධානයට යොමු කළ යුතුව තිබෙනවා.

විශේෂයෙන්ම, ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදු කිරීම, එයට එක් විය හැකි වාර ගණන සීමා කිරීම මෙන්ම පාර්ලිමේන්තුවක් ස්ථාපිත වූවායින් පසුව එය එහි සභිකයන්ගේ තුනෙන් දෙකක එකඟතාවයෙන් තොරව, වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීමද අයත්.


විධායක ජනාධිපතිවරයෙක් යනු, රටේ සමස්ත ජනතාවගේම බහුතරයේ කැමැත්තෙන් පත් වන පුද්ගලයෙක්. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු මැතිවරණ කොට්ඨාශයක සීමිත ජනතාවකගේ කැමැත්තෙන් බලයට පත් වන පුද්ගයෙක්. මේ නිසා ජනාධිපතිවරයෙක් තීරණ ගනිද්දී මුළු රටටම ඇති තම වගකීම සැලකිල්ලට ගෙනයි ක්‍රියා කරන්නේ. ඒ නිසා විධායක ජනාධිපතිවරයා සතුව එහි වචනයේ පරිසමාප්ත අර්ථයටම අනුව යම් විධායක බලතල ප්‍රමාණයක් පැවතිය යුතු වෙයි.

එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම හරය වන්නේ එහි පරමාධිපත්‍ය බලය ජනතාව සතුව පැවතිය යුතු වීමයි. එවිට ජනතාවට තමන් පත් කල ඕනෑම නියෝජිතයෙක් කාල සීමා නිර්ණයකින් තොරව අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. පාර්ලිමේන්තුව ජනතා මතයට පිටින් කටයුතු කරන විටක, එකී පාර්ලිමේන්තුව ස්වකීය කැමැත්තෙන් විසිරී යාමට කිසිසේත් ක්‍රියා කරනු ඇත්ද...? ඒ වෙනුවට සිදු වන්නේ හැකි තරම් කල් බලයේ සිටීමට උත්සාහ දැරීම සහ හැකි නම් මැතිවරණද කල් දැමීමට කූට උපායන් ක්‍රියාත්මක කිරීමයි.


මේ අනුව බලන විට පැහැදිලිව පෙනී යන සත්‍යය වන්නේ මෙකී සංශෝධනයෙන් පාර්ලිමේන්තුව වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීම ජනතා බලයට පයින් ගැසීමක් බවයි. ජනාධිපතිවරයෙක් තමන්ට එකඟ නැති එහෙත් ජනතා හිතවාදී පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියායයි සිතමු. එවිට ජනතාව විසින් නැවත පත් කරනු ලබන්නේද ඊටත් වැඩි බලයකින් එකී පාර්ලිමේන්තුවමයි. ඒ අනුව ජනාධිපතිවරයෙකුට ඒකාධිපතිවරයෙක් ලෙස අත්තනෝමතිකව ක්‍රියා කිරීමෙන් ඵලයක් ලද නොහැකියි.

එසේ නම් මෙකී සංශෝධනයේ වාසිය පැහැදිලිවම අයත් වන්නේ ජන පීඩක පාර්ලිමේන්තුවකට බලෙන් පැවතීම සඳහා බව පෙනී යයි.


එසේම ජනාධිපතිවරණයකට ජනතාව කැමති නම් ඕනෑම වාර ගණනක් ඉදිරිපත් වීමේ හැකියාවද පුද්ගලයෙකුට තිබිය යුතුයි. ජනතාවට ඔහුව අවශ්‍ය නම් වෙනත් පාර්ශවයක් විසින් එය වැලැක්විය හැක්කේ කෙලෙසද? එයත් පැහැදිලි ලෙස ජනතාව සතු බලය පැහැර ගැනීමක් වෙයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්, දැනටමත් තටු කපා ඇති ජනාධිපතිවරයා සම්පුර්ණයෙන්ම නිරායුධ කිරීමට අපේක්ෂිතයි. මේ සියල්ල තුළින් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය තව දුරටත් වළ දැමීම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

No comments:

Post a Comment