Sunday, April 29, 2018

වැඩ කරන එක පාපයක්ද....? (ගිරි දුර්ග ගැන....)

ජීවිතයේ හමු වන ගිරි දුර්ග ගැන බෞද්ධ ආගමික පසුබිමක සිට විග්‍රහ කිරීමක් වෙසක් පෝදා විකාශය වූ ගිරි දුර්ග ටෙලි සිතුවමින් සිදු වුණා. තම සිතූ මනාපයේ තමන් ආදරය කරන පුද්ගලයා සමග පැමිණීම නිසා හතර වරිගයම අහිමි වූ ඇයට, තම සහකරුවාත් නීතී විරෝධී දැව ප්‍රවාහනය කිරීමේ වරද යටතේ රිමාන්ඩ් ගත වීම නිසා, ඇයටත් ඇගේ කුඩා දියනියටත් මුහුණ දීමට සිදුවන දුක් කරදර සමූහයයි මෙහි තේමාව වූයේ.


මෙහිදී ඇය රබර් කිරි කපන, රබර් ශීට් සාදන අවස්ථා අපට හමු වන්නේ ඇය විශාල ඛේදවාචකයකට හසු වූ විලාශයෙන්. එහි රූප රාමු, පසුබිම් සංගීතය තුළින් ඉස්මතු කරලන්නේ එයයි. එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ කෙනෙක් ''වැඩ කිරීම'' වනාහී ''පාපකර්මයක් පළිසන් දීමක්ද'' යන්නයි. එසේ නම් එහි විලෝමය වන්නේ ''වැඩ නොකර සිටීම'' පින් පළ දීමක් ලෙසයි. එවිට අපට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගන්නේ කවර මාර්ගයකින්ද?


එක්කෝ ''පව්කාරයින්'' විසින් ''පින්කාරයින්'' උදෙසා වෙහෙස වී ඒවා ඉටු කර දිය යුතුය. එහෙත් එවිට ඇති වන ප්‍රශ්නය වන්නේ ''පින්කාරයින්'' බවට පත් වන්නේ කෙලෙසද යන්නයි. පින්කාරයින් බවට පත් වීමට ඇති මඟ වන්නේ වැඩ කරන අයව සූරා කා එක් රැස් කර ගන්නා අතිරික්තයෙන් කොටසක් වැය කර දාන මානාදී පින්කම් කිරීමයි. ධර්මය යනු එවැනි නිර්දය කියවීමක්ද?


සමාජය ලබා ඇති සෑම දියුණුවක්ම, ප්‍රගතියක්ම ලබා ඇත්තේ මිනිසුන්ගේ කායික හා මානසික නොපසුබට ධෛර්යයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණක්ව තිබියදී ''වැඩ කිරීම'' පාපකර්මයක් ලෙස පෙන්වාදීම තරම් පාපකර්මයක් තවත් තිබිය හැකිද? මෙතැන පාපකර්මය වන්නේ වැඩ කිරීම නොව, කරන වැඩය සඳහා ජීවත් වීමට තරම් සරිලන ගෙවීමක් ලබා නොදීමයි. ශ්‍රම සූරාකෑමයි. එසේම තවත් පිරිසක්, තමන් ලබන ගෙවීමට තරම් කිසිසේත් නොසරිලන ශ්‍රමයක් ලබා දීමයි. එනම්, වැඩ නොකර සිටීමයි. සමාජයේ බහුතරයකට දුක් විඳීමට සිදු වන එක් ප්‍රධාන කරුණක් වන්නේ එය. එසේම නිෂ්පාදන බලවේග, තවමත් ප්‍රමාණවත් තරමින් වර්ධනය වී නොතිබීමද තවත් ප්‍රධාන සාධකයක්. එසේ වර්ධනය නොවී සමාජයේ සැමට සුවදායක ජීවිතයක් එකසේ ලබා දීමද අපහසු කාර්යයක්.


මාපියන්ට විරුද්ධව තමන් ආදරය කරන පුද්ගලයා තෝරා ගැනීමද බරපතල පාපකර්මයක් සේ පෙන්වාදීමට මේ කතාව තුළ පමණක් නොව බොහෝ බෞද්ධාගමික පසුබිමක් ඇති කතා තුළදී උත්සාහ කරනවා දැකිය හැකියි. එයද, තවත් එක් ඉතා පසුගාමි ගෝත්‍රික දෘෂ්ටිවාදයක්. පාපකර්මය වන්නේ ආදරය කරන දෙදෙනෙක් වෙන් කරවීමට උත්සාහ කරවීමයි.