Saturday, June 23, 2018

සැබෑ වැද්දෝ නම් කවුරුන්ද?

නූතන වැදි නායක, ඌරු වරිගයේ වන්නියලැ ඇත්තෝ වෙසක් මාසයේ ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුනේ තව දුරටත් ''වැදි බණ'' යන යෙදුම තාර්කික නොවන බවයි. සංකල්පීය තලයේ එකක් පවසමින් ප්‍රායෝගික තලයේ එහි පරස්පරය ක්‍රියාත්මක කරන අයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සුලබ යෙදුමක් වන්නේ ''වැදි බණ දේශනා කරනවාය'' යන්න.

නූතන වන ජීවි සංරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් වැදි ජනතාව දඩයමෙන් ඈත් වී තිබෙනවා. වන්නියලැ ඇත්තෝ නම්, වසර 37ක පමණ කාලයක සිටම දඩයමෙන් පමණක් නොව මස් මාලු කෑමෙන්ද වැලකී සිටින බවයි පවසන්නේ. ඒ වගේම අනෙක් ශිකෂා පද හතරද බොහෝ දුරට වැදි ජනතාව ආරක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එහෙත් අපේ මහා සමාජය එයට විලෝමව බෙහෙවින් දූෂිත බවට පත් වෙමින් පවතින බවත් ඔහු දකිනවා.


පෝයට සිල් ගන්නවාදැයි ඇසූ විට ඔහු පවසා තිබුනේ ''ශීලය'' ඔහුගේ ජීවිතය තුළ හැම මොහොතකම පවතින නිසා බොරුවට පෝය දිනට පමණක් සුදු රෙදි පොරවා ගැනීමේ අවශ්‍යතාවක් තමන් නොදකින බව.

එසේම දඩයමේ යෙදෙන කාලයේ වුවද ඔවුන් සතුව ඒ සම්බන්ධයෙන් ආචාර ධර්ම සමූහයක් තිබූ බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව ගැබ්බර සතුන්, නිදැල්ලේ සැතපී සිටින සතුන්, දිය බොන සතුන් දඩයම් කිරීම තහන්චි වෙයි. ඒ වගේ සතුන් දරුවන් මෙන් කවා පොවා ඇති දැඩි කර ඔවුන් මරා කෑමද වැදි ජනතාව පිලිකෙව් කරයි. ඔවුන් ගවයන් හා කුකුළන් ඇති කළද ගව හෝ කුකුල් මස් හෝ බිත්තර ආහාරයට නොගනියි.


පරමාදර්ශ වශයෙන් සලකා බලන විට, ඉහත ආචාර ධර්ම අපට සැලකිය හැක්කේ ''සාපේක්ෂ'' ඒවා වශයෙන් පමණයි. නමුත් එවැනි මට්ටමක්වත් ඔවුන් තුළ පවතින විට හා ''ශිෂ්ට'' යැයි කියන මහා සමාජය තුළ එවැන්නක්වත් නොපවතින විට මහා සමාජයේ ''ශිෂ්ට'' බව ඇත්තේ කොතැනදැයි ඔහු අසන ප්‍රශ්නයට අපට දෙන්න පුළුවන් පිළිතුර කුමක්ද? අප අංශක 360ක් ආපසු කරකැවී ම්ලේච්ඡත්වයට ගමන් කර ඇති බවද?

මිනිසුන් ආගම් නිර්මාණය කර ගත්තේ තමන්ට ජීවිතය, එහි ඉරණම, තමන්ගේ ආරම්භය, පැවැත්ම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු වලට පිළියමක් ලෙස විනා ඔහුට පළමුව ආගම් පැවතුනා නොවේ. ඒ නිසා ආගම් යනුද ඒ ඒ සමාජවල අවශ්‍යතාවන්ගේ නිර්මිතයක් පමණි. ඉහත ප්‍රශ්නවලට අදාළ 'සත්‍යය'' සෙවීමේ අරමුණක් මිනිසා තුළ පැවතුණා නම් මේ වන විට ඔහු එය සොයාගෙන හෝ තව දුරටත් සොයමින් සිටිනවා ඇත. එවිට, ''එක් සත්‍යයක්'' මිස ''සත්‍යයන් සමූහයක්'' නොපවතිනු ඇත.  එවැන්නක් එහෙත් එවැන්නක් ලෙහෙසියෙන් විය නොහැක්කේ ''ආත්මාර්ථය'' විසින් ඔහුගේ බුද්ධිය අවුරාලනු ලබන බැවින්.


පුද්ගලයෙකුට ඇසෙන්නේ තමන් ඇසීමට කැමති දේ පමණක්ය යනුවෙන් කියමනක් ඇත. එයට, ''පුද්ගයන් සත්‍යය සොයා යන්නේද තමන් දැකීමට කැමති සත්‍යය වෙනුවෙන්'' බවට තවත් කියමනක් එකතු විය යුතුය.

ස්වභාව ධර්මයේ සංකීර්ණ හා අපූර්ව භාවය, අභියෝග, සමස්ත සත්ව ප්‍රජාවේම ආත්මාර්ථකාමී සාහසික ස්වභාවය නිසා ඔහු තුළ ඇති වන අසරණ අනාථභාවය තුළ සරණක් පතා ඔහු ආගම නිර්මාණය කර ගත්තේය. ඔහුගේ ආත්මය යම් තාක් දුරට හෝ පවත්වා ගත හැක්කේ ඒ මතය. එහෙත් එය කිසිසේත් සුන්දර ජීවිතයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව, මිනිසුන්ගේ අසතුට, ගැටුම්, ආනාරක්ෂිතබව තුළින් මනාව පැහැදිලි වෙනවා.

එකිනෙකාව ගොදුරු කර ගැනීමෙන්, සූරාකෑමෙන්, හිංසාවට පත් කිරීමෙන් වෙනුවට එකිනෙකාට ආදරය කරන, උපකාර කරන, සාමූහික පැවැත්මක් වෙනුවෙන් ක්‍රියා කරන, සිතන සමාජයක් නිර්මාණය වන්නේ එකිනෙකාගේ සිත්වලින් අපව පෙළන රුදුරු ''ආත්මාර්ථය'' ක්ෂය වී ගිය දිනටය. වසර ලක්ෂ ගණනකින් හෝ උදා විය හැකි ඒ දිනට සියලු සත්වයෝ සතුටින් ජීවිතය ''විඳිනු'' ඇත.