අනුරුද්ධ ජයසිංහ නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදියා විසින් ඉදිරිපත් කරන ලද ''එක දවසක අපි'' නම් සිනමා නිර්මාණය පිළිබඳව අවධානය යොමු කරන විට ඒ තුළින් මා නම් දකින්නේ ''ආදරය'' යන්න, මේ ලොවට අයිති නොවන්නක් බවට වඩාත් හැඟීම්බරව, උත්ප්‍රාසාත්මකව පෙන්වා දෙන්නක් ලෙසයි. සිය යෙහෙළියට යවා තිබූ කෙටි පණිවිඩය විමුක්ති විසින් නොදකින්නට, ''අම්මේ මං එනවා'' යනුවෙන් කිවූ ලෙසටම සියල්ල සිදු වන්නට තිබුණි.
එය එසේ සිදු වූවා නම් ''එයාට මං ආදරෙයි.... ඒත් මට මේ කෲර ලෝකේ ඒ ආදරය යථාර්ථයක් කර ගන්න කවදාවත් බෑ.... මට මගේ අම්මා දුක් විඳලා මැරිලා යනවා බලං ඉන්න බෑ... එයා කොහේ හරි හොඳ තැනක ඇති.... මේ සාහසික ලෝකේ මැරි මැරී ජීවත් වෙනවට වඩා එක අතකින් ඒක හොඳයි....'' මෙන්න මේ අයුරින් කියා හිත හදාගෙන දැහැමෙන් සෙමෙන් විමුක්ති නිෂූ ආදර අන්දරය ගෙවෙනු ඇති.
එහෙත් පාරමී නිම්මිට යැවූ එස්.එම්.එස් එක නිසා විමුක්තිට ''අම්මේ මට එන්න වෙන්නෙ නෑ'' යනුවෙන් කියන්නට සිදු වුණි.
පාරමී විසින් විමුක්තිට ආදරය කළද ඔහු තුළ කිසි දවසක එය නොතිබූ බව තේරුම් ගන්නට තරම් බුද්ධිමත්කමක් ඇය තුළ නොතිබුණි. එය අප බොහෝ දෙනෙකු මූණ පානා ඛේදවාචකයයි. ගොදුරු ලෝකයක් වන මේ පෘථිවි ජීවිතය තුළ තමන් අභිමුව සිටිනා සාතිශය බහුතරයම ඒ ගොදුරු න්‍යාය මතින් පැමිණෙන්නන් බවට අපේ සිතට වර නගමින් නැවත නැවතත් සිහි කැඳවිය යුතුව තිබේ. එය අමතක වන සෑම නිමේෂයකම සිදු වන්නේ අප අනෙකාගේ ගොදුරක් බවට පත් වීමයි.
ගොදුරු න්‍යායේ අප සිටින්නේ කොතනකද යන්න අනුව සහ එයට අප මූණ දෙන ආකාරය අනුව අපේ ජීවිත පැවැත්ම තීරණය වනු ඇති. අපට ඉහළින් සිටින එකා අප ගොදුරු කර ගන්නට මාන බලන අතර, අපට පහළින් සිටින එකා ගොදුරු කර ගැනීමට අප විසින් මාන බලමින් සිටියි. සියළු මනුෂ්‍ය සබඳතාවන්ට මෙය අදාලය.
''එක දවසක අපි'' විශේෂ වන්නේ මේ යථාර්ථය ඉතාමත් සංවේදී හා උත්ප්‍රාසාත්මක ආකාරයෙන් පෙන්වා දීම තුළය. එහෙත් මා එක් විචාරයක කියවූ ආකාරයට මෙය වාණිජ වශයෙන් සාර්ථක වී නැත. එහි තේරුම සැවොම අනෙකාව ගිලිමින් අනෙකාට ගිලෙමින් ගමන් කිරීම ප්‍රමෝදයක් කරගෙන ඇති බවද?
නයනතාරා වික්‍රමාරච්චිගේ රංගනය ඉතාමත් විශිෂ්ටය. පුබුදු චතුරංග, මේධා ජයරත්න, වීණා ජයකොඩි පුරුදු පරිදිම අගනා දායකත්වයක් ලබා දී තිබේ.