Monday, May 25, 2020

ආශාවේ ඉරණම හා ස්වභාවය

ආශාව ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්න පුළුවන්.

01. ආවේගාත්මක ආශාව
02. වින්දනීය ආශාව
ලෙසින්.

01. ආවේගාත්මක ආශාවන්

ලෝභ ද්වේශ හා මෝහ මූලික කරගෙන හෙවත් ආත්මාර්ථය මූලික කරගෙන ඇතිවන ආශාවන් ආවේගාත්මක ආශාවන් ගණයට අයත් වෙනවා. මේවායේ ස්වභාවය තමයි එවැනි ආශාවක් සම්පුර්‍රණයෙන්ම තෘප්තිමත් කර ගැනීමට අපට හැකි වුණාම ඒ ආශාව අපේ සිතෙන් ඉවත් වී යාම. එනම්, එපා වී යාම. සමහර විට ඒ ආශාව හෝ ආශාවට වස්තු විෂය වූ දෙය කෙරෙහි ද්වේශයක්, පිළිකුළක් අති වෙන්නත් පුළුවන්. අලුත් මෝස්තරයක ඇඳුමක් එන විට පරණ මෝස්තරයේ ඇඳුම අපිට එපා වේවා. අලුත් මෝස්තරයක ෆෝන් එකක් ආවම පරණ එක දකිනකොට තරහා යනවා.

බොහෝ දුරට දෙන්නෙක් අතර සම්බන්ධයකට මූලික වෙන්නෙත් මේ ආවේගාත්මක ආශාවම තමයි. ඉතින් ටික කාලයක් යද්දි දෙන්නටම දෙන්නව එපා වෙනවා. ඒත් දරුවන්, සමාජ සංස්කෘතික බැඳීම්, තනිකම, විවිධ අවශ්‍යතාවන් අනෙකා මතින් ඉටු කර ගැනීමට තිබීම වගේ හේතු නිසා එපා වුණත් එකට ඉන්න සිද්ධ වෙනවා.

බොහෝ දෙනෙක් අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ මේ නිසා. අනියම් සම්බන්ධයකදී අපේ ආශාවන් සම්පූර්ණයෙන් තෘප්තිමත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ සඳහා විවිධ බාධා තියෙනවා. ඒවා භෞතික හෝ මානසික විය හැකියි. ඉතින් ආශාව සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන නිසා ආශාව එපා වීමටකට ලක් නොවී එලෙසම පවතිනවා. බැරි වෙලාවත් දෙන්නා විවාහ වෙන්න කල්පනා කළොත් එදාට ආයෙත් දෙන්නට දෙන්නා එපා වීම සිද්ධ වෙනවා.

02. වින්දනීය ආශාවන්

මේ වර්ගයේ ආශාවන් හට ගන්නේ අලෝභ, අදෝෂ අමෝහ සිතිවිලි හෙවත් පරාර්ථය මූලික කරගත් සිතිවිලි මගින්. මේ ආශාවන්ගේ ස්වභාවය වන්නේ ඒවා කොයි තරම් තෘප්තිමත් වූවත් එපා නොවීම. ඒවා හැමදාමත් එකම තත්වයේ නැවුම් ආකාරයෙන් පවතිනවා.

ආදරය පවතින විට දෙන්නෙක් අතර හෝ වස්තුවක් කෙරෙහි අපි තුළ ඇති වෙන්නේ වින්දනීය ආශාවක්. ඒ නිසා කවදාවත් එපා වීමක් සිදු වෙන්නේ නෑ. අනික ආදරයේ ස්වභාවය තමයි එය දිනෙන් දින වර්ධනය වන සුළු වීම. ඉතින් ඇඳුමක් කෙරෙහි, ෆෝන් එක කෙරෙහි අපි තුළ තියෙන්නේ වින්දනීය ආශාවක් නම් ඒක අපිට එපා වෙන්නේ නෑ

අලුත් ෆෝන් එකකට ගියත් පරණ එක පරෙස්සමට අරන් තියනවා. ඒත් ෆෝන් එකක් වගේ නෙවිනි මිනිස් බැඳීමක්. ඒක ඊට වඩා ඉතාමත් ගැඹුරු එකක්. ඒ නිසා කවදාවත් තවත් අලුත් බැඳීමක් අවශ්‍ය වෙන්නේ නෑ. වෙන කිසිම දෙයක් ඕනේ නෑ. ආදරය කරන කෙනා ලඟ ඉඳීමම පමණක් ප්‍රමාණවත් හිත සැනසෙන්න.

අපේ හිත අයිති වෙන්නේ මින් කොයිකටද?

ඒක තීරණය වෙන්නේ අපි අපේ හිත සකස් කරගෙන ඇති ආකාරය සහ සකස් කරගනිමින් පවතින ආකාරය අනුව. අපේ හිතේ දැනට පදනම ආවේගාත්මක ආශාව නම් සියළු ආශාවන් වලට පදනම වෙන්නේ ඒක. එතකොට ප්‍රතිඵල ලැබෙන්නෙත් ඉහත ආකාරයට. 

සිතේ සාමාන්‍ය ස්වභාවය තමයි ආත්මාර්ථය. එය සියළු සත්වයන්ටම පොදුයි. ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ අපේම උත්සාහයෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීම තුළ. එවිට අභ්‍යන්තරයෙන්ම අපේ සිත වෙනස් වෙනවා.

වඩාත්ම සතුටින් සිටින්නේ කවුද?

ආවේගාත්මක ආශාවන් සිතේ පවතින විට අපිට ලැබෙන්නේ ඒ ආවේගයන් සමහන් වීමෙන් ලැබෙන සහනයක් පමණයි. එය 'සතුටක්" ලෙසින් අපි වරදවා වටහා ගන්නවා. ඒක ඇදුම්කන තුවාලයක් සුව වීමෙන් ලැබෙන සහනය වගේ එකක්.

එහෙත් වින්දනීය ආශාව කියන්නේ අපි සිත තුළ අලුතින් වර්ධනය කර ගන්නා හැඟීමක්. එය අපිට ස්වභාවයෙන් ලැබෙන දෙයක් නෙවි. මේ තුළ පවතින්නේ ආවේගයන් සමනය කර ගැනීමක් නොව අදාල දෙය, අවස්ථාව වින්දනය කිරීමක්. ඒ නිසා ඇත්තටම සතුටින් සිටින්නේ මේ දෙවැන්නායි.

මුල් ගණයට අයත් වන අය නිරන්තරයෙන් දැවෙමින් එම ගින්න තාවකාලිකව නිවා ගනිමින් නැවත් දැවෙමින් සිටින් පිරිසක්. ඒ අයට කිසිදු අවස්ථාවක සතුට කියන දේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

අපේ ජීවත්වීමේ අරමුණ "සතුට". ජීවිතය විඳීම. ඔන්න ඕකයි සතුටේ හා විඳීමේ පදනම.