රට මේ සා විනාශයකට පත් කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නේ පාලකයන් වෙතය. නිදහසින් පසු මෙරට අනුගමනය කළ අමනෝඥ ආර්ථික වැඩපිළිවෙලෙහි වගකිව යුත්තෝ ඔවුන්ය. මෙරට 1980 සිටම සිය පැවැත්ම පවත්වා ගත්තේ එක දිගටම ණය ගැනීමේ ක්‍රියාවලිය තුළය. ණය පියවීම සිදු වූයේද තව දුරටත් ණය ගැනීමෙනි. එවැනි වූ ගමනක් කෙළවර විය හැක්කේ අති විශාල ඛේදවාචකයකිනි. වර්තමානයේ අප අත් විඳිමින් සිටින්නේ එයයි.
අපගේ ආදායම මෙන් කිහිප ගුණයක ණය ගනිමින් එම ණය ආදායම් උපදවන ක්‍රියාවලියක යොදනවා වෙනුවට එදිදෙනා යැපීම සඳහා වසර 40ක් පමණ කිසියම් පුද්ගලයෙකු විසින් කටයුතු කළේ නම් ඔහුගේ සිට ඔහුගේ දරු මුණුපුරන් දක්වා පරම්පරා විශාල ගණනක් මොන තරමේ ව්‍යවසනයකට පත් වේද යන්න මොහොතකට සිතන්න. එය රටකට ආදේශ කළ විට අප රට පත්ව ඇති විනාශය අවබෝධ කර ගත හැකිය.
අප රට මෙවැනි ව්‍යවසනයකට ගමන් කළේ ඇයි. ඒ අප රට වෙළා ගත් "ත්‍රිවිධ මාර සේනාව" හේතුවෙනි. ඒ මාරයන් තිදෙනා නම් අන් කවරෙකුවත් නොව,• දූෂණය හා වංචාව
• නිසරු ව්‍යාපෘති හා
• බැලුමක් මෙන් පුම්බන ලද රාජ්‍ය සේවය වේ.
මේ රට ලබා ගත් අතිශය විශාල විදෙස් ණය කන්දරාවෙන් වත්කම් ලෙස පවතින්නේ 20%කටත් අඩු ප්‍රතිශතයක් බවට කියවේ. අපේ රටේ පවතින දූෂණය හා වංචාවේ තරම ඉන් වටහා ගත හැකිය.
ආදායමක් නොඋපදන හුදෙක් ඉදිකිරීම් පමණක් වන මහා පරිමාණ ව්‍යාපෘති නිසා සිදු වූ එකම දෙය නම් උප නූපන් පරම්පරාවක් ඒවාට වැය කළ මහා ණය කන්ද ගෙවිය යුත්තෝ බවට පත් වීමය.
අපේ රටේ පාලකයන් කිසි දිනක රටේ අනාගතය ගැන සිහිනෙකින්වත් සිතා නැත. සිතුව එකම කාරණය නම් තමන්, තමන් වටා සිටින අයගේ අනාගතය ගැනය. මේ නිසා ඔවුන් සිය සැලසුම් සැම විටම සකස් කළේ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙනය. තමන් වටා තාවකාලික වාසිය සඳහා ඒකරාශී වන ජනයා සතුටු කිරීම සඳහා ඔවුන් රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණය මෙන් තෙගුණයක් බවට පත් කළේය. සිය හිතවතුන්, උදව්කාරයන්ගෙන් රාජ්‍ය ආයතන පුරවා දැම්මේය. අළුතින් ඒ වෙනුවෙන් ආයතන ව්‍යුහයන් නිර්මාණය කළේය.
එහි එකම ප්‍රතිඵලය වූයේ රාජ්‍ය ආදායමින් 90%කට වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැය වන තත්වයක් දක්වා වර්තමානය වන විට එය ඔඩු දිවීමය.
ඉහත වූ ත්‍රිවිධ මාරයන්ගේ මාරාවේශය නිසා අප රටේ හැමදාමත් අය වැය අතර විශාල පරතරයක් පැවතුනේය. එය පියවීම සිදු වූයේ හැමදාමත් ණය ගැනීමෙනි. අද පවතින අර්බුදය නිර්මාණය වූයේ තව දුරටත් ණය ගත නොහැකි තත්වයට රට පත් වීමත් සමගය. ඒ, ගත් ණය පියවීමට නොහැකි අන්දමින් ණය කන්ද වර්ධනය වීම නිසාය.
බොහෝ විට රටේ විපක්ෂය හා ජනමාධ්‍ය, ඉහත ත්‍රිවිධ මාරයන්ගෙන් දෙදෙනෙකු ගැන කතා කළත් අනෙකා ගැන ගොළුවත රකින්නේ ඔවුන්ද වර්තමාන ආර්ථික ක්‍රියාවලිය තුළ හුදෙක් බිස්නස්කාරයන් පමණක් බවට පත්ව සිටින නිසාය. ඔවුනට තම පාරිභෝගික පර්ෂදය අහිමි කර ගත නොහැක.
රට පත්ව සිටින මේ විපතින් මිදීමට නම් ඉහත වූ ත්‍රිවිධ මාරයන්ගෙන් අප මිදිය යුතු බව ඉතා පැහැදිලිය. බොහෝ විට දූෂණයෙන් තොර පිරිසක් බලයට පත් වන්නේ නම් මේ මාරයන් දෙදෙනෙකුගෙන්ම අපට මිදිය හැකිය. එහෙත් තෙවැන්නාගෙන් මිදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එයට අත ගැසීම නොව කතා කිරීමටත් වාමාංශික පක්ෂ පවා බිය වන්නේ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් විශාල පිරිසක්ද මේ තුළ සිටීම නිසාය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයේ සහාය ලබාගෙන අර්ධ රාජ්‍ය ආයතන බවට පත් කිරීම කළ හැකිය. එහෙත් අති විශාල සේවක අතිරික්තය මහ මගට ඇද දැමිය නොහැකිය. රැකියා මවා බඳවා ගත්තද අද ඔවුන් ජීවිකාව පවත්වා ගන්නේ ඒ රැකියාව තුළිනි. අද රට පවතින තත්වය තුළ යමෙකුගේ රැකියාව අහිමි වීම යනු "මරණය" හා සමාන අත්දැකීමකි.
මේ නිසා කළ හැකි එකම දෙය මේ විශාල ශ්‍රම හමුදාව උකහා ගත හැකි ඔවුන්ගෙන් රටේ ආර්තිකයට නිෂ්පාදනයක් එක් කළ හැකි ව්‍යාපෘති ප්‍රමාණයක් වහ වහා උත්පාදනය කිරීමය. එසේ නොවී අති විශාල ලෙස බදු බර රටේ පෞද්ගලික අංශයේ පොදු ජනයා වෙත පටවනු ලබන්නේ නම් එය සහ ගහන අපරාධයකි. ජීවිතය පණ නල ගැට ගසා ගැනීමටම පමණක් සින්න කර ඇති පොදු ජනයා තව දුරටත් මිරිකා රටේම තවත් පිරිසක් නිකරුණේ වැඩක් නොගෙන නඩත්තු කිරීම මහා අපරාධයකි. ඒ ආකාරයෙන් වැටුප් ගන්නා පුද්ගලයාද ඉබේටම මංකොල්ලකාරයෙක් බවට පත් වේ.
ලෝකයේ කන්න අඳින්න නැතිව සිටි රටවල් අප රට පසු කර ගව් ගණනක් ඉදිරියට ගොස්ය. ඔවුන් ජීවිතය පහසු කර ගෙන ජීවිතය විඳිමින් සිටී. එහෙත් අපේ රට අන්ත දුගී භාවයට පත්ව ඇත. අද දවසෙ පෝෂ්‍යදායක, රසවත් ආහාරයක් ගැනීම නොව හුදෙක් කුසගින්න නිවා ගැනීමට යමක් බඩට දමා ගැනීමත් පොදු ජනයාට විශාල අභියෝගයකි.තමන්ගේ අනාගතය වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම යනු සිහිනයක් ම බවට පත් වෙමින් ඇත්තේය. රෝද දෙකක් වෙනුවට රෝද හතරක් දෙන්නට පොරොන්දු වෙමින් බලය ගත්තෝ පොදු බස් රථයක ගමන් කිරීමත් දෙවරක් සිතන තැනට ජනයා ඇද දමා ඇත්තේය.
උපන්නාට නොමැරී සිටින්නට වෙර දරනවාද, නො එසේ නම් ලබා ගත් ජීවිතය විඳින්නට හැකි සේ පරිසරය වෙනස් කර ගන්නවාද යන්න තීරණය අප විසින් ගත යුත්තේය.