Friday, August 10, 2018

ශර්මි කුමාර්, කාන්තා ලිංගිකත්වය - Sharmi Kumar, Women's sexuality

ශර්මි කුමාර් (Sharmi Kumar), අන්තර්ජාල රූපවාහිනි චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ අදහස්. Porn Videos වල පෙනී සිටීමෙන් හා මුදලට කය අලෙවි කිරීම තුළින් ඇය බලාපොරොත්තු වන්නේ මුදල් හා ලිංගිකත්ව තෘප්තිය යන දෙකම ලබා ගැනීම බව ඇය ප්‍රකාශ කළා.

මෙය සත්‍යදැයි අපි සොයා බලමු. එය එසේ නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමේත් මානුෂීය පදනමක් නිර්මාණය වෙනවා. ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධ බටහිර රටවල පර්යේෂණවල ඉතිහාසය 60 දශකය පමණ ඈතට දිව යනවා. වර්තමානය වන විට තහවුරු කර ඇති කරුණ වන්නේ ලිංගිකත්වයේ උපරිම සතුට, සූරතාන්තය මත පදනම් නොවන බව. එය, ලිංගිකත්ව සම්බන්ධයක ආරම්භයේ සිට අවසානය අතර දක්වා පරාසයේ කවර හෝ අවස්ථාවක අත්දැකිය හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.


ඒ සඳහා බලපාන මුඛ්‍ය කරුණ වන්නේ දෙදෙනා අතර පවතින මානසික බැඳීම හා ආදරයයි. ඒ වගේම අදාළ මොහොතේ සිදුවන ආදරණීයත්වය මත පදනම් වෙමින් සිදුවන ක්‍රියාකාරකම්.

ඒ වගේම අවිවාදිතව පිළිගත් සත්‍යය වන්නේ කාන්තාවකගේ ලිංගික තෘප්තිය අනිවාර්ය ලෙසම තම සහකරු සමග පවතින මානසික බැඳීම හා අනුපාතිකව සමාන බව.

ඕනෑම අවස්ථාවක මුදල කිසියම් සිදුවීමක් සඳහා ඉදිරියට පැමිණේ නම් එතැන තව දුරටත් මානුෂීය සම්බන්ධයක් ඉතිරි වන්නේ නෑ. අප කඩයකට ගොස් බඩුවක් මිළදී ගත් විට අප තුළ සොඳුරු මතකයක් ඉතිරි වන්නේ එහි සේවකයා අපට දැක්වූ සුහද පිළිගැනීම හා සත්කාරය මත. එය මුදල හා කුඩා හෝ සම්බන්ධයක් පවතින බවක් හැඟී ගියහොත් ඒ හැඟීම තව දුරටත් ඉවත් වී ඇති වන්නේ පිළිකුල් සහගත හැඟීමක්.


ඒ වගේම අපට ඉතාමත් තද බැඳීමක් ඇති කරගත හැක්කේ එක් අයෙක් සමග පමණයි. කායික සබඳතාවක් නොව කායික සමීප වීමක් සඳහා වුවද මෙවැනි බැඳීමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව විවිධ පුද්ගලයන් හා අපට මෙවැනි සම්බන්ධයක් ඇති කරගත නොහැකියි.

ඒ වගේම කැමරාකරුවන්, ආලෝකකරණ ශිල්පීන් වැනි පුද්ගලයන් රාශියක් ඉදිරිපිට සිදුවන ලිංගික සබඳතාවක් තුළින් තෘප්තියක් අත්කරගත හැකියයි කීම හාස්‍යජනක කරුණක්. එවැනි අවස්ථාවක ලිංගික උත්තේජනයක් හෝ ඇති කරගත හැකි වන්නේ බලහත්කාරයෙන් සිදු කරන කායික උත්තේජනයන් තුළින්.

මේ අනුව අපට එළඹිය හැකි නිගමන දෙකක් තිබෙනවා. එකක් වන්නේ මෙය මනෝ විද්‍යාවේ එන ''සංරක්ෂණ ප්‍රයෝගයක්''  විය හැකි බව. දෙවැන්න, මෙය අලෙවි උපායමාර්ගයක් (marketing strategy) විය හැකි බව.


කාන්තාවකට සිදු කළ හැකි බරපතලම අපරාධය, ඇය ගණිකාවක් බවට පත් කිරීමයැයි ඕෂෝ පවසා තිබෙනවා. ඔහු එසේ කියන්නේ ඉතාමත් ගැඹුරු හේතූන් ඇතිව. එය එසේ නම්, කිසියම් හෝ දිනක සත්‍යය වැටහුණු විටක ගත වූ කාලය සම්බන්ධයෙන් බොහෝ දුක් වීම වැලැක්විය නොහැකියි.

ප්‍රස්තුත සම්මුඛ සාකච්ඡාවට අදාළ වීඩියෝව.

Sunday, August 5, 2018

වහල් ක්‍රමය, ගොදුරු න්‍යාය සහ කාන්තාව - Slavery, The Theory of Prey and Women

අපේ මේ සමස්ත පෘථිවි ලෝකය තුළම පවතින පොදු න්‍යාය වන්නේ කැළේ නීතිය හෙවත් ''ගොදුරු න්‍යායයි''. එනම්, සාපේක්ෂව බලවත් පුද්ගලයාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සාහසික ලෙස සාපේක්ෂව බලයෙන් අඩු පුද්ගලයාව යොදා ගැනීමයි. එය මිනිසාගේ සිට සමස්ත සත්ව ප්‍රාජාව දක්වාම පොදු වේ.

ම්ලේච්ඡ අවදියේදී එක් ජන කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ආක්‍රමණය කර ඔවුන්ව සමූල ඝාතනය කර දැමුනා. තවත් විටක කාන්තාවන් තමන් සතු කරගෙන පිරිමින්ව මරා දැමුණා. කාන්තාවන් තමන් සතු කර ගැනීම සිදු වුණා. ක්‍රමයෙන් නිෂ්පාදන ක්‍රම වර්ධනය වෙද්දී ශ්‍රමයේ අවශ්‍යතාවක් උද්ගත වීම නිසා පසුව අක්‍රමණික ප්‍රදේශවල පිරිමි මරා නොදමා වහලුන් බවට පත් කර ගත්තා.


සමාජය තවත් ඉදිරියට යද්දී වැඩවසම් ක්‍රමය ඇති වුණා. නිෂ්පාදන බලවේග විශාල ලෙස වර්ධනය වෙද්දී ශ්‍රමයට කලින් තිබූ අධි වටිනාකම නැතිව යාමත් සමග වහලුන් සහ ප්‍රවේණි දාසයන් පවත්වා ගැනීම අලාබ දායක ක්‍රියාවක් වූ හෙයින් ඔවුන් නිදහස් ශ්‍රමිකයන් බවට පත් කරනු ලැබුවා. තාක්ෂණය තව දුරටත් වර්ධනය වෙමින් යන මේ අවදියේ තමන්ගේම ආයතනවල නිල සේවකයන් තබා ගැනීමත් අලාබයක් වන හෙයින් මේ වන විට ලොව පුරාම ෆ්‍රීලාන්සර්ස් හෙවත් නිදහස් සේවකයන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එවිට සේවක අර්ථසාධක වගේ කිසිම වරප්‍රාදයක් දෙන්න ඕනෙ නෑ. වගකීමක් දරන්න ඕනේ නෑ.


මේ අනුව, ම්ලේච්ඡ අවදියට වඩා යම් සුබදායක තත්වයක් ලෝකයේ පවතින්නේ නිෂ්පාදන බලවේග දියුණු කල අතලොස්සක් මිනිසුන්ට පින් සිද්ධ වෙන්න. එහෙම නැතිව අදටත් ඉන්නේ එදා හිටපු ම්ලේච්ඡයාමයි.

ප්‍රාථමික යුගයේ මාතෘ මූලික සමාජයක් පැවතුණාට එයින් කාන්තාවට අමුතුවෙන් අත් වූ සෙතක් නෑ. එය මුල්ම කාලයේ මුලු ගෝත්‍රයේම පිරිමින්ගේ කාම ගොදුර බවට පත් වුණා. ක්‍රමයෙන් සමාන ජාන නිසා විවිධ සංජානීය ආබාධ සහිත දරුවන් බිහිවෙන බව අවබෝධ කර ගැනීමත් එක්ක පියවරෙන් පියවර සීයලා, තාත්තලා, සහෝදරවරු මේ කාම ගොදුරු ක්‍රියාවෙන් අයින් වුණා.

නිෂ්පාදන බලවේග දියුණු වෙලා අතිරික්ත සම්පත් එක් රැස් වෙනකොට ඔන්න පිරිමියාට ඕනේ වුණා තමන්ගේම ලේ තියෙන දරුවෙකුට ඒ ධනය පවරන්න. නිල පතිනියක් පිරිමියාට ඕනේ වෙන්නේ ඒ අනුව. ඒත් ඔහුගේ බහු කාන්තා සේවනයේ අවශ්‍යතාව හේතුවෙන් ඔහු ගණිකා වෘත්තිය නිර්මාණය කළා. ඒ වගේම, ඔහුට කාන්තාව රිසි සේ සූරා කෑමේ අවශ්‍යතාව හේතුවෙන් විවිධ සංකල්ප ගොඩනගමින් ඒවා ප්‍රශ්න කළ නොහැකි පොදු සමාජ සම්මතයන් බවට පත් කළා. ගෝත්‍රික අදහස් දරන ජන සමූහ අදටත් කාන්තාව සලකන්නේ තමන්ට පරිහරණය කළ හැකි භාණ්ඩයක් ලෙස. ඔවුන්ගේ අඳින ඇඳුමේ සිට සිතන පතන දේ දක්වා සියල්ල සිරගත කර තිබෙනවා.


ඒ වගේම දියුණු ශිෂ්ට යැයි කියන සමාජයද ඔවුනට දෙවෙනි වන්නේ නෑ. ඔවුන් කාන්තා කාම වෙළඳපළක් නිර්මාණය කරමින් ඔවුන්ව රිසි සේ සූරාකෑම සහ තම මනෝ ව්‍යාධීන්ගේ ගොදුරු බවට පත් කර ගැනීමද සිදු කරනවා. ''කෲර ලිංගිකත්වය'', ''සමූහ ලිංගිකත්වය'' වැනි නූතන ක්‍රියාවන් ඊට නිදසුන්.

යම් සමාජයක් කාන්තාව මුළුමනින්ම ආවරණය කරන්නේද එහි අර්ථය ඔවුන්ට කාන්තාව කාම භාණඩයකට වඩා දෙයක් නොවන බව. ඒ වගේම යම් සමාජයක් කාන්තාව වඩ වඩාත් නිරාවරණය කරන්නේද එහි අර්ථය ඔවුනට ව්‍යාජ නිදහසක් ලබා දෙමින් කාම භාණඩයක් බවට පත් කර ඇති බවයි.


මේ අනුව සමස්තයක් වශයෙන් ගත් විට අද වැදගත් ලෙස කතා කරමින් වැදගත් ලෙස අඳිමින් පළඳිමින් සිටින්නේද එදා සිටි ම්ලේච්ඡයාම බව ඉතා පැහැදිලිව පෙනී යනවා. මෙහි ඇති ශෝචනීය තත්වය අන් කිසිවක්වත් නෙවි. ම්ලේච්ඡයෙකුට, කවදාවත් ජීවිතයෙන් ලබන්න පුළුවන් අනන්ත අපරිමාණ සතුටෙන් බින්දුවක්වත් ලබන්න බැරි වීම. සතෙකුටත් වඩා අන්ත දුක්ඛිත තත්වයකින් ජීවිතය ගෙවා මිය යාම. ජීවිතයේ සතුට තියෙන්නේ කොතනද කියන එක අපි, '' ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස'' යන ලිපියෙන් සාකච්ඡා කර තිබෙනවා.