Saturday, September 24, 2022

දේශයක් විනාශ කළ ත්‍රිවිධ මාරයන්

මේ වන විට ඉන්දියන් සාගරයේ මුතු ඇටය, එහිම ගිලෙමින් තිබේ. දරිද්‍රතාවෙන්, මන්දපෝෂණයෙන්, උද්ධමනයෙන් ලෝකයෙන්ම කප් ගසමින් ඉදිරියට පැමිණෙමින් සිටී. එහෙත් දූෂිත දේශපාලකයන්, දූෂිත ව්‍යාපාරිකයන් හා රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් පමණක් රටේ සාරය උරා බී යෙහෙන් වැජඹෙමින් සිටිති. අප රට දශක ගණනාවක් තිස්සේම ගත කළේ ඉතා දුෂ්කර දිවියකි. පොදු ජනතාවගේ ආදායමින් 60-80% ත් අතර ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කිරීමට සිදු වීම එයට හොඳම නිදසුනයි. සාමන්‍යයෙන් එය 20%න් පහළ අගයක් විය යුතුය. කාලයක් දැඩි සාගතයෙන් මරණයේ දොරටුව අසල සිටි ඉතියෝපියාවේ පවා එම අගය වර්තමානය වන විට 20%ට අඩු අගයකට පවතී. අපේ රටේ පාලකයන් විසින් රට ගෙනැවිත් ඇති තැන ඉන් වටහා ගත හැකිය.

රට මේ සා විනාශයකට පත් කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නේ පාලකයන් වෙතය. නිදහසින් පසු මෙරට අනුගමනය කළ අමනෝඥ ආර්ථික වැඩපිළිවෙලෙහි වගකිව යුත්තෝ ඔවුන්ය. මෙරට 1980 සිටම සිය පැවැත්ම පවත්වා ගත්තේ එක දිගටම ණය ගැනීමේ ක්‍රියාවලිය තුළය. ණය පියවීම සිදු වූයේද තව දුරටත් ණය ගැනීමෙනි. එවැනි වූ ගමනක් කෙළවර විය හැක්කේ අති විශාල ඛේදවාචකයකිනි. වර්තමානයේ අප අත් විඳිමින් සිටින්නේ එයයි.

අපගේ ආදායම මෙන් කිහිප ගුණයක ණය ගනිමින් එම ණය ආදායම් උපදවන ක්‍රියාවලියක යොදනවා වෙනුවට එදිදෙනා යැපීම සඳහා වසර 40ක් පමණ කිසියම් පුද්ගලයෙකු විසින් කටයුතු කළේ නම් ඔහුගේ සිට ඔහුගේ දරු මුණුපුරන් දක්වා පරම්පරා විශාල ගණනක් මොන තරමේ ව්‍යවසනයකට පත් වේද යන්න මොහොතකට සිතන්න. එය රටකට ආදේශ කළ විට අප රට පත්ව ඇති විනාශය අවබෝධ කර ගත හැකිය.

අප රට මෙවැනි ව්‍යවසනයකට ගමන් කළේ ඇයි. ඒ අප රට වෙළා ගත් "ත්‍රිවිධ මාර සේනාව" හේතුවෙනි. ඒ මාරයන් තිදෙනා නම් අන් කවරෙකුවත් නොව,

• දූෂණය හා වංචාව

• නිසරු ව්‍යාපෘති හා

• බැලුමක් මෙන් පුම්බන ලද රාජ්‍ය සේවය වේ.

මේ රට ලබා ගත් අතිශය විශාල විදෙස් ණය කන්දරාවෙන් වත්කම් ලෙස පවතින්නේ 20%කටත් අඩු ප්‍රතිශතයක් බවට කියවේ. අපේ රටේ පවතින දූෂණය හා වංචාවේ තරම ඉන් වටහා ගත හැකිය.

ආදායමක් නොඋපදන හුදෙක් ඉදිකිරීම් පමණක් වන මහා පරිමාණ ව්‍යාපෘති නිසා සිදු වූ එකම දෙය නම් උප නූපන් පරම්පරාවක් ඒවාට වැය කළ මහා ණය කන්ද ගෙවිය යුත්තෝ බවට පත් වීමය.

අපේ රටේ පාලකයන් කිසි දිනක රටේ අනාගතය ගැන සිහිනෙකින්වත් සිතා නැත. සිතුව එකම කාරණය නම් තමන්, තමන් වටා සිටින අයගේ අනාගතය ගැනය. මේ නිසා ඔවුන් සිය සැලසුම් සැම විටම සකස් කළේ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙනය. තමන් වටා තාවකාලික වාසිය සඳහා ඒකරාශී වන ජනයා සතුටු කිරීම සඳහා ඔවුන් රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණය මෙන් තෙගුණයක් බවට පත් කළේය. සිය හිතවතුන්, උදව්කාරයන්ගෙන් රාජ්‍ය ආයතන පුරවා දැම්මේය. අළුතින් ඒ වෙනුවෙන් ආයතන ව්‍යුහයන් නිර්මාණය කළේය.

එහි එකම ප්‍රතිඵලය වූයේ රාජ්‍ය ආදායමින් 90%කට වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැය වන තත්වයක් දක්වා වර්තමානය වන විට එය ඔඩු දිවීමය.

ඉහත වූ ත්‍රිවිධ මාරයන්ගේ මාරාවේශය නිසා අප රටේ හැමදාමත් අය වැය අතර විශාල පරතරයක් පැවතුනේය. එය පියවීම සිදු වූයේ හැමදාමත් ණය ගැනීමෙනි. අද පවතින අර්බුදය නිර්මාණය වූයේ තව දුරටත් ණය ගත නොහැකි තත්වයට රට පත් වීමත් සමගය. ඒ, ගත් ණය පියවීමට නොහැකි අන්දමින් ණය කන්ද වර්ධනය වීම නිසාය.

බොහෝ විට රටේ විපක්ෂය හා ජනමාධ්‍ය, ඉහත ත්‍රිවිධ මාරයන්ගෙන් දෙදෙනෙකු ගැන කතා කළත් අනෙකා ගැන ගොළුවත රකින්නේ ඔවුන්ද වර්තමාන ආර්ථික ක්‍රියාවලිය තුළ හුදෙක් බිස්නස්කාරයන් පමණක් බවට පත්ව සිටින නිසාය. ඔවුනට තම පාරිභෝගික පර්ෂදය අහිමි කර ගත නොහැක.

රට පත්ව සිටින මේ විපතින් මිදීමට නම් ඉහත වූ ත්‍රිවිධ මාරයන්ගෙන් අප මිදිය යුතු බව ඉතා පැහැදිලිය. බොහෝ විට දූෂණයෙන් තොර පිරිසක් බලයට පත් වන්නේ නම් මේ මාරයන් දෙදෙනෙකුගෙන්ම අපට මිදිය හැකිය. එහෙත් තෙවැන්නාගෙන් මිදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එයට අත ගැසීම නොව කතා කිරීමටත් වාමාංශික පක්ෂ පවා බිය වන්නේ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් විශාල පිරිසක්ද මේ තුළ සිටීම නිසාය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයේ සහාය ලබාගෙන අර්ධ රාජ්‍ය ආයතන බවට පත් කිරීම කළ හැකිය. එහෙත් අති විශාල සේවක අතිරික්තය මහ මගට ඇද දැමිය නොහැකිය. රැකියා මවා බඳවා ගත්තද අද ඔවුන් ජීවිකාව පවත්වා ගන්නේ ඒ රැකියාව තුළිනි. අද රට පවතින තත්වය තුළ යමෙකුගේ රැකියාව අහිමි වීම යනු "මරණය" හා සමාන අත්දැකීමකි.

මේ නිසා කළ හැකි එකම දෙය මේ විශාල ශ්‍රම හමුදාව උකහා ගත හැකි ඔවුන්ගෙන් රටේ ආර්තිකයට නිෂ්පාදනයක් එක් කළ හැකි ව්‍යාපෘති ප්‍රමාණයක් වහ වහා උත්පාදනය කිරීමය. එසේ නොවී අති විශාල ලෙස බදු බර රටේ පෞද්ගලික අංශයේ පොදු ජනයා වෙත පටවනු ලබන්නේ නම් එය සහ ගහන අපරාධයකි. ජීවිතය පණ නල ගැට ගසා ගැනීමටම පමණක් සින්න කර ඇති පොදු ජනයා තව දුරටත් මිරිකා රටේම තවත් පිරිසක් නිකරුණේ වැඩක් නොගෙන නඩත්තු කිරීම මහා අපරාධයකි. ඒ ආකාරයෙන් වැටුප් ගන්නා පුද්ගලයාද ඉබේටම මංකොල්ලකාරයෙක් බවට පත් වේ.

ලෝකයේ කන්න අඳින්න නැතිව සිටි රටවල් අප රට පසු කර ගව් ගණනක් ඉදිරියට ගොස්ය. ඔවුන් ජීවිතය පහසු කර ගෙන ජීවිතය විඳිමින් සිටී. එහෙත් අපේ රට අන්ත දුගී භාවයට පත්ව ඇත. අද දවසෙ පෝෂ්‍යදායක, රසවත් ආහාරයක් ගැනීම නොව හුදෙක් කුසගින්න නිවා ගැනීමට යමක් බඩට දමා ගැනීමත් පොදු ජනයාට විශාල අභියෝගයකි.

සාමාන්‍ය ආදායමක් ලබන පවුලකින් රුපියල් 28000ක් පමණ වක්‍ර බදු ලෙසින් අය වන බව විශ්ව විද්‍යාල අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. දුගී භාවයේ පසුවන පවුලක ආදායමින් රුපියල් 14000ක් පමණ මුදලක් මෙලෙස වක්‍ර බදු ලෙසින් අය වන බවද පෙන්වාදී ඇත. අද දවසේ රුපියල් ලක්ෂයක පමණ මාසික ආදායමක් තිබුණද එය දරුවන් සිටින පවුලක අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව පෙන්වා දී ඇත. එවන් පසුබිමක මෙවන් බදු අයවීමක් සිදු වීම සිදු වන්නේ නම් එය සාධාරණීයකරණය කළ හැක්කේ කවර තතු යටතේද?  

තමන්ගේ අනාගතය වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම යනු සිහිනයක් ම බවට පත් වෙමින් ඇත්තේය. රෝද දෙකක් වෙනුවට රෝද හතරක් දෙන්නට පොරොන්දු වෙමින් බලය ගත්තෝ පොදු බස් රථයක ගමන් කිරීමත් දෙවරක් සිතන තැනට ජනයා ඇද දමා ඇත්තේය.

උපන්නාට නොමැරී සිටින්නට වෙර දරනවාද, නො එසේ නම් ලබා ගත් ජීවිතය විඳින්නට හැකි සේ පරිසරය වෙනස් කර ගන්නවාද යන්න තීරණය අප විසින් ගත යුත්තේය.

Sunday, September 11, 2022

ෆෝල් සිනමා සිත්තම හා දැනෙන විදියට ජීවත්වීම (Fall Movie and Living as you feel)

ඉතා හොඳ සිනමා පටයක් ලෙසින් මෙය හඳුන්වා දුන්නේ මගේ මිතුරෙක් වෙන දුලාජ්. සති අන්තයේ ඉස්පාසුවක් ලද වේලේ මෙය නැරඹූ විට ඇත්තෙන්ම එය සත්‍යයක් බව වැටහුණා.

ඔබත් සමග කරන මේ කතාබහ තුළ එහි කතාව දිග හරින්නට මා උත්සාහ කරන්නේ නෑ. ඒ, එය අනිවාර්ය ලෙසම ඔබ විසින්ම නරඹා එහි අර්ථ රසය විඳිය යුතු බැවින්. ඒ නිසා දැනටමත් එය නරඹා නොමැති නම් එය පළමුව රසවිඳ මේ කියවීමට එක්වන්නැයි මා ආරාධනා කරනවා. 

ත්‍රාසජනක කඳු නැගීම විනෝදාංශය කර ගත් තිදෙනෙක් වටා මේ කතාව ගෙතෙනවා. අපේ රටවලත් කඳු නැගීම යම් තරමක විනෝදාංශයක් වුණත් මේ ආකාරයේ ත්‍රාසජනක කඳු නැගීමේ ප්‍රවනතාවයක් දක්නට නැහැ. එයට හේතුව අපේ සංස්කෘතිය තුළ හැදී වැඩෙන දරුවා මාපියන් විසින් නිදහසේ වැඩෙන්නට නොදී දැඩි සීමා පවුරු යටතට පත් කිරීම. මේ නිසාවෙන් ඔහුගේ හෝ ඇයගේ සියලු විභවතාවන් යටපත් වී හුදෙක් මා පියන්ගේ කොපියක් බවට පත් වෙනවා. බුද්ධියටත් ඒ දේ අදාලයි. බුදු වෙන්නට පවා හැකියාවක් සහිතව මෙලොව එළිය දකින දරුවාගේ ඒ සියළු හැකියාවන් විනාශ කරනු ලබන්නේ මා පියන් විසින් බව වරක ඕෂෝ නම් දාර්ශනිකයාද පවසා තිබෙනවා. 

මේ කථාව තුළින් අපට පෙන්වා දෙන මුඛ්‍ය පණිවිඩය වන්නේ "අපේ ජීවිතය ඉතා කෙටි හා අනිත්‍ය බවත් ඒ නිසාම අත් හැරීමට තරම් සුළු හෝ කාලයක් නැති බවත්, ඒ කෙටි ජීවිතය අප ගත කළ බවට සෑහීමකට පත් වීමට නම් සෑම මොහොතක්ම දැනෙන සුළු ලෙසින්" ජීවත් විය යුතු බවත්ය. එසේ නොමැති විටක අප මේ ගත කළ ජීවිතයෙන් කිසිදු අර්ථයක් නොමැති බවත් ය. 

දාර්ශනික පර්ෂද තුළත් ඉතා විවාදාපන්න කරුණක් ලෙස මෙම "පැවැත්ම" පිළිබඳ අර්ථකථනයන් සැලකිය හැකිය. බොහෝ භික්ෂූන් වහන්සේලා වෙතින් ප්‍රකාශ වනු දක්නට ලැබෙන්නේ සැබැවින්ම පවතින "පුද්ගලයෙකු හෝ පැවැත්මක්" දක්නට නොමැති බවත් එය මනස විසින් මවා ගන්නා හුදු "මායාවක්" බවත්ය. සැබවින්ම පවත්නා ලෝකය අපට කිසි දිනක සංජානනය කළ නොහැකි බවත් මනසින් මවා ගන්නා ලෝකයක් හා පුද්ගලයන් අප සැබෑ ලෝකය ලෙසින් සලකා මුලාවට පවත් වන බවත් ප්‍රකාශ වේ.

කෙසේ වුවත් ද්‍රව්‍යයේ විකාශය හා පරිණාමය දෙස බලන විට, ඒත් සමගම සමගාමීව සංවර්ධනය වූ ජීවයට පවත්නා ලෝකයෙන් (තමන් ජීවත්වන මානයට අයත්) වැඩි කොටසක් ග්‍රහනය කර ගත හැකි බව මගේ නම් අදහසයි. ඒ ජීවියාට තමන්ගේ ජීවිතයට වැදගත් වන ලෝකය ග්‍රහනය කර ගැනීමේ හැකියාවක් පවතී. නිදසුනක් ලෙස අපට ක්ෂුද්‍ර ජීවීන්  දර්ශනය නොවේ. එහෙත් ඔවුන් දර්ශනය නොවීම අපගේ ජීවිතය පහසු කරයි.

ජීවිතයේ අප එක් එක් අය ප්‍රිය කරන දේ විවිධාකාරය. එහෙත් අප බොහෝ දෙනෙකු ගත කරන්නේ ඒ ප්‍රිය කරන ජීවිතය නොවේ. ඒ නිසාම අපට ජීවිතය ඉතා නීරසය. විඩාකාරීය. "සංචාරකයා" ලෙසින් හැඳින්වෙන්නේ ජීවිතය සවිඥානික ලෙසින් විඳීම අරමුණු කරගෙන සැරිසරන්නෙකි. සැබවින්ම නම් විය යුත්තේ අප ජීවිතය පුරාවටම එවැනි "සංචාරකයෙකු" විය යුතු වීමය.

අප ජීවත්වන බව, ජීවිතය වින්දනය කරන බව, ජීවිතය යනු සුන්දර දෙයක් බව අපට දැනෙන්නේ අප එලෙස ජීවිතය තුළ සවිඥානික සංචාරයක නිරත වන විටය. අජීවය බහුළ ලෝකයක ඒ ලෝකය ග්‍රහනය කළ හැකි එකම වස්තුව වනාහී "ජීවියා"ය. ඒ නයින් ගත් විට, "ජීවිතය යනු අර්ථ විරහිත, සම්පූර්ණයෙන්ම දුකක් පමණක් වන එකක් ය" යන ආගමික චින්තාවට නම් මගේ එකඟත්වයක් නැත.

ජීවිතය එලෙස දුකක් බවට පත් වී ඇත්තේ ජීවියා හුදු "ආත්මාර්ථකාමයෙන්" මිරිකී "අප" යන තැනින් "මම" යන තැනට පත්ව අනෙකා විනාශ කර අවසානයේ තමන්ද ඒ හුදු "අත්පත් කරගැනීම්" තුළ අතෘප්තියට පත්ව විනාශ වීම තුළය. ඒ වෙනුවට "අප" යන තැනට ඔහුගේ දැක්ම වෙනස් වන්නේ නම් ජීවිතය හා ලෝකය, "සුරපුරයක්" බවට එසැනින්ම පත් වන්නේය.

බෙකී, ඩෑන් හා හන්ටර් ජීවිතයේ තෘප්තියට පත් වන්නේ ඉතා අවදානම්කාරී කඳු තරණයන්හි කූටප්‍රාප්තියන් තුළිනි. එහෙත් එක් අවස්ථාවක සිදු වූ හදිසි අනතුරක් නිසා ඩෑන් මිය යාමත් සමග බෙකීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙයි. ඩෑන්ගේ වියෝවේ වේදනාව ඇය යම් තරමකින් හෝ යටපත් කරගන්නේ බීමත්කමිනි.

විනාශයට පත් වෙමින් යන බෙකීගේ ජීවිතය ඉන් මුදවා ගැනීම සඳහා ඇගේ පියා උදව් පතන්නේ හන්ටර් වෙතිනි. එවැනි ඉල්ලීමකින් තොරව ස්වේච්ඡාවෙන්ම සිය මිතුරිය වෙනුවෙන් එවැනි එළඹීමක් හන්ටර් වෙතින් විය යුතු වුවත් එසේ නොවීමට හේතුව අණාවරණය වන්නේ මිතුරියන් දෙදෙනාම ජීවිතයට වඩා මරණයට සමීප අවස්ථාවකට පත් වූ විටය.

හන්ටර් පත් වූ ආකාරයේ ඉරණමකට අප බොහෝ දෙනෙකුද ජීවිතයේ යම් යම් අව්ස්ථාවල පත් වී ඇති බව නිසැකය. එහෙත් හන්ටර් මෙන් නොව අප බොහෝ විට ඒවා අප සිත් පතුලේම සඟවා තැබීමට තරම් පරෙස්සම් වේ. කෙසේ වුවත් බෙකී මේ සිද්ධිය දැන ගැනීමත් සමග වෙනත් අය මෙන් මිතුරිය සමග වෛර බැඳ ගැනීම වෙනුවට සංවේගයට පත් වන්නේ ඔහුත් සමග ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කළ ආදරය ඒ ලෙසින්ම ගොඩ නගා ගැනීමට නොහැකි වීමට හේතුව අනාවරණය වීම තුළිනි.

සිය මිතුරිය වෙත පැවති ආදරය ඒ ලෙසින්ම තව දුරටත් ඉතිරි වූ බව මේ අන්තරාකාරී මොහොතේ බෙකීගේ හැසිරීම තුළින් අපට දැක ගත හැකි වේ. එසේම වෙනත් අය මෙන් නොව හන්ටර් ද ඔහුව බෙකීගෙන් උදුරාගෙන තමන්ගේ කර ගැනීමට උත්සාහ නොකිරීමත් සිය මිතුරියට පැවති ආදරය එලෙසින්ම පැවතීමත් තුළින් සිය උදාර බව පෙන්වා දෙයි.

ඉතාමත් මරණකාරී අපේක්ෂා රහිත මොහොතක වුවද ඒ වෙනුවට බලාපොරොත්තු අත් නොහැර ජීවිතය වෙනුවෙන් දැඩි ලෙස නැගී සිටිය යුතු බවට වන සඥාව අපට මේ ආඛ්‍යානය තුළින් විදහන තවත් එකකි.

මේ සිනමාපටය තුළින් අවසානයේ ප්‍රීතියකට පත් වීමට මට නම් නොහැකි වූ එකම හේතුව සිය මිතුරියගේ විනාශ වෙමින් යන ජීවිතය ප්‍රතිස්ථාපනය වෙනුවෙන් අතිශය අවදානම්කාරී ලෙස සිය  ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන හන්ටර් ඉතාමත් වේදනාකාරී මරණයකට පත් වීම නිසාය. එය විශාල ලෙස මගේ හදවත කම්පනයට පත් කළේය.


ඔබට සැබවින්ම ජීවිතය විඳීමට අවශ්‍ය නම් ඔබ ආශා කරන දෙයක් ඔබගේ වෘත්තීය බවට පත් කර ගන්න. ඔබ ආශා කරන දේවල් විනෝදාංශය බවට පත් කරගෙන ඉහි නිරත වීම සඳහා අවශ්‍ය කාලය හා අවකාශය සලසා ගන්න. ඔබ ආශා කරන ප්‍රියයන් හා ජීවිතය ගත කරන්න. අන් අයට වුවමනා අයුරින් ඔබගේ ජීවිතය හසුරුවාලීමට ඉඩ නොදෙන්න. විවිධ දෘෂ්ටිවාදයන්ට ඔබගේ ජීවිතය රූකඩයක් බවට පත් කර ගැනීමට ඉඩ නොදෙන්න. ඒ දෘෂ්ටිවාදයන් පවත්වාගැනීම වෙනුවෙන් ගොඩ නැගී ඇති සංස්කෘතික යදම් කඩා බිඳ ඉන් නිදහස් වන්න. 

ජීවිතය කොටු කරවන දෘෂ්ටිවාදයන් විශ්ලේෂණය කරන විට පැහැදිලි වන කරුණ නම් ඒවා අතීත අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතවල සාරය උරා බීම සඳහා සැහැසි හා කෛරාටික ලෙස ගොඩ නඟා ඇති බවයි. අදටත් ඔවුන්ගේ පරම්පරාවල අය පාලකයන් ලෙසින් (සංස්කෘතික පාලකයන්) ජීවත් වන නිසා ඔවුන් ඒ දෘෂ්ටිවාදයන් පත්වා ගැනීම වෙනුවෙන් වෙහෙසෙයි.

සිංහල උප සිරැසි සහිතව ඔබට මෙම සිනමා සිත්තම පහත වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.

https://cineru.lk/fall-2022-sinhala-sub/

Monday, May 25, 2020

ආශාවේ ඉරණම හා ස්වභාවය

ආශාව ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්න පුළුවන්.

01. ආවේගාත්මක ආශාව
02. වින්දනීය ආශාව
ලෙසින්.

01. ආවේගාත්මක ආශාවන්

ලෝභ ද්වේශ හා මෝහ මූලික කරගෙන හෙවත් ආත්මාර්ථය මූලික කරගෙන ඇතිවන ආශාවන් ආවේගාත්මක ආශාවන් ගණයට අයත් වෙනවා. මේවායේ ස්වභාවය තමයි එවැනි ආශාවක් සම්පුර්‍රණයෙන්ම තෘප්තිමත් කර ගැනීමට අපට හැකි වුණාම ඒ ආශාව අපේ සිතෙන් ඉවත් වී යාම. එනම්, එපා වී යාම. සමහර විට ඒ ආශාව හෝ ආශාවට වස්තු විෂය වූ දෙය කෙරෙහි ද්වේශයක්, පිළිකුළක් අති වෙන්නත් පුළුවන්. අලුත් මෝස්තරයක ඇඳුමක් එන විට පරණ මෝස්තරයේ ඇඳුම අපිට එපා වේවා. අලුත් මෝස්තරයක ෆෝන් එකක් ආවම පරණ එක දකිනකොට තරහා යනවා.

බොහෝ දුරට දෙන්නෙක් අතර සම්බන්ධයකට මූලික වෙන්නෙත් මේ ආවේගාත්මක ආශාවම තමයි. ඉතින් ටික කාලයක් යද්දි දෙන්නටම දෙන්නව එපා වෙනවා. ඒත් දරුවන්, සමාජ සංස්කෘතික බැඳීම්, තනිකම, විවිධ අවශ්‍යතාවන් අනෙකා මතින් ඉටු කර ගැනීමට තිබීම වගේ හේතු නිසා එපා වුණත් එකට ඉන්න සිද්ධ වෙනවා.

බොහෝ දෙනෙක් අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ මේ නිසා. අනියම් සම්බන්ධයකදී අපේ ආශාවන් සම්පූර්ණයෙන් තෘප්තිමත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ සඳහා විවිධ බාධා තියෙනවා. ඒවා භෞතික හෝ මානසික විය හැකියි. ඉතින් ආශාව සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන නිසා ආශාව එපා වීමටකට ලක් නොවී එලෙසම පවතිනවා. බැරි වෙලාවත් දෙන්නා විවාහ වෙන්න කල්පනා කළොත් එදාට ආයෙත් දෙන්නට දෙන්නා එපා වීම සිද්ධ වෙනවා.

02. වින්දනීය ආශාවන්

මේ වර්ගයේ ආශාවන් හට ගන්නේ අලෝභ, අදෝෂ අමෝහ සිතිවිලි හෙවත් පරාර්ථය මූලික කරගත් සිතිවිලි මගින්. මේ ආශාවන්ගේ ස්වභාවය වන්නේ ඒවා කොයි තරම් තෘප්තිමත් වූවත් එපා නොවීම. ඒවා හැමදාමත් එකම තත්වයේ නැවුම් ආකාරයෙන් පවතිනවා.

ආදරය පවතින විට දෙන්නෙක් අතර හෝ වස්තුවක් කෙරෙහි අපි තුළ ඇති වෙන්නේ වින්දනීය ආශාවක්. ඒ නිසා කවදාවත් එපා වීමක් සිදු වෙන්නේ නෑ. අනික ආදරයේ ස්වභාවය තමයි එය දිනෙන් දින වර්ධනය වන සුළු වීම. ඉතින් ඇඳුමක් කෙරෙහි, ෆෝන් එක කෙරෙහි අපි තුළ තියෙන්නේ වින්දනීය ආශාවක් නම් ඒක අපිට එපා වෙන්නේ නෑ

අලුත් ෆෝන් එකකට ගියත් පරණ එක පරෙස්සමට අරන් තියනවා. ඒත් ෆෝන් එකක් වගේ නෙවිනි මිනිස් බැඳීමක්. ඒක ඊට වඩා ඉතාමත් ගැඹුරු එකක්. ඒ නිසා කවදාවත් තවත් අලුත් බැඳීමක් අවශ්‍ය වෙන්නේ නෑ. වෙන කිසිම දෙයක් ඕනේ නෑ. ආදරය කරන කෙනා ලඟ ඉඳීමම පමණක් ප්‍රමාණවත් හිත සැනසෙන්න.

අපේ හිත අයිති වෙන්නේ මින් කොයිකටද?

ඒක තීරණය වෙන්නේ අපි අපේ හිත සකස් කරගෙන ඇති ආකාරය සහ සකස් කරගනිමින් පවතින ආකාරය අනුව. අපේ හිතේ දැනට පදනම ආවේගාත්මක ආශාව නම් සියළු ආශාවන් වලට පදනම වෙන්නේ ඒක. එතකොට ප්‍රතිඵල ලැබෙන්නෙත් ඉහත ආකාරයට. 

සිතේ සාමාන්‍ය ස්වභාවය තමයි ආත්මාර්ථය. එය සියළු සත්වයන්ටම පොදුයි. ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ අපේම උත්සාහයෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීම තුළ. එවිට අභ්‍යන්තරයෙන්ම අපේ සිත වෙනස් වෙනවා.

වඩාත්ම සතුටින් සිටින්නේ කවුද?

ආවේගාත්මක ආශාවන් සිතේ පවතින විට අපිට ලැබෙන්නේ ඒ ආවේගයන් සමහන් වීමෙන් ලැබෙන සහනයක් පමණයි. එය 'සතුටක්" ලෙසින් අපි වරදවා වටහා ගන්නවා. ඒක ඇදුම්කන තුවාලයක් සුව වීමෙන් ලැබෙන සහනය වගේ එකක්.

එහෙත් වින්දනීය ආශාව කියන්නේ අපි සිත තුළ අලුතින් වර්ධනය කර ගන්නා හැඟීමක්. එය අපිට ස්වභාවයෙන් ලැබෙන දෙයක් නෙවි. මේ තුළ පවතින්නේ ආවේගයන් සමනය කර ගැනීමක් නොව අදාල දෙය, අවස්ථාව වින්දනය කිරීමක්. ඒ නිසා ඇත්තටම සතුටින් සිටින්නේ මේ දෙවැන්නායි.

මුල් ගණයට අයත් වන අය නිරන්තරයෙන් දැවෙමින් එම ගින්න තාවකාලිකව නිවා ගනිමින් නැවත් දැවෙමින් සිටින් පිරිසක්. ඒ අයට කිසිදු අවස්ථාවක සතුට කියන දේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

අපේ ජීවත්වීමේ අරමුණ "සතුට". ජීවිතය විඳීම. ඔන්න ඕකයි සතුටේ හා විඳීමේ පදනම.

Sunday, March 24, 2019

එස්.එම්.එස් එකක වටිනාකම කීයද? (What is the value of a SMS?)

අනුරුද්ධ ජයසිංහ නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදියා විසින් ඉදිරිපත් කරන ලද ''එක දවසක අපි'' නම් සිනමා නිර්මාණය  පිළිබඳව අවධානය යොමු කරන විට ඒ තුළින් මා නම් දකින්නේ ''ආදරය'' යන්න, මේ ලොවට අයිති නොවන්නක් බවට වඩාත් හැඟීම්බරව, උත්ප්‍රාසාත්මකව පෙන්වා දෙන්නක් ලෙසයි. සිය යෙහෙළියට යවා තිබූ කෙටි පණිවිඩය විමුක්ති විසින් නොදකින්නට, ''අම්මේ මං එනවා'' යනුවෙන් කිවූ ලෙසටම සියල්ල සිදු වන්නට තිබුණි.

එය එසේ සිදු වූවා නම් ''එයාට මං ආදරෙයි.... ඒත් මට මේ කෲර ලෝකේ ඒ ආදරය යථාර්ථයක් කර ගන්න කවදාවත් බෑ.... මට මගේ අම්මා දුක් විඳලා මැරිලා යනවා බලං ඉන්න බෑ... එයා කොහේ හරි හොඳ තැනක ඇති.... මේ සාහසික ලෝකේ මැරි මැරී ජීවත් වෙනවට වඩා එක අතකින් ඒක හොඳයි....'' මෙන්න මේ අයුරින් කියා හිත හදාගෙන දැහැමෙන් සෙමෙන් විමුක්ති නිෂූ ආදර අන්දරය ගෙවෙනු ඇති.


එහෙත් පාරමී නිම්මිට යැවූ එස්.එම්.එස් එක නිසා විමුක්තිට ''අම්මේ මට එන්න වෙන්නෙ නෑ'' යනුවෙන් කියන්නට සිදු වුණි.

පාරමී විසින් විමුක්තිට ආදරය කළද ඔහු තුළ කිසි දවසක එය නොතිබූ බව තේරුම් ගන්නට තරම් බුද්ධිමත්කමක් ඇය තුළ නොතිබුණි. එය අප බොහෝ දෙනෙකු මූණ පානා ඛේදවාචකයයි. ගොදුරු ලෝකයක් වන මේ පෘථිවි ජීවිතය තුළ තමන් අභිමුව සිටිනා සාතිශය බහුතරයම ඒ ගොදුරු න්‍යාය මතින් පැමිණෙන්නන් බවට අපේ සිතට වර නගමින් නැවත නැවතත් සිහි කැඳවිය යුතුව තිබේ. එය අමතක වන සෑම නිමේෂයකම සිදු වන්නේ අප අනෙකාගේ ගොදුරක් බවට පත් වීමයි.


ගොදුරු න්‍යායේ අප සිටින්නේ කොතනකද යන්න අනුව සහ එයට අප මූණ දෙන ආකාරය අනුව අපේ ජීවිත පැවැත්ම තීරණය වනු ඇති. අපට ඉහළින් සිටින එකා අප ගොදුරු කර ගන්නට මාන බලන අතර, අපට පහළින් සිටින එකා ගොදුරු කර ගැනීමට අප විසින් මාන බලමින් සිටියි. සියළු මනුෂ්‍ය සබඳතාවන්ට මෙය අදාලය.

''එක දවසක අපි'' විශේෂ වන්නේ මේ යථාර්ථය ඉතාමත් සංවේදී හා උත්ප්‍රාසාත්මක ආකාරයෙන් පෙන්වා දීම තුළය. එහෙත් මා එක් විචාරයක කියවූ ආකාරයට මෙය වාණිජ වශයෙන් සාර්ථක වී නැත. එහි තේරුම සැවොම අනෙකාව ගිලිමින් අනෙකාට ගිලෙමින් ගමන් කිරීම ප්‍රමෝදයක් කරගෙන ඇති බවද?

නයනතාරා වික්‍රමාරච්චිගේ රංගනය ඉතාමත් විශිෂ්ටය. පුබුදු චතුරංග, මේධා ජයරත්න, වීණා ජයකොඩි පුරුදු පරිදිම අගනා දායකත්වයක් ලබා දී තිබේ.

Sunday, November 4, 2018

පින් සහ පව් - Pin saha Paw

පින් සහ පව් පිළිබඳව සඳහන් වන්නේ බෞද්ධ දර්ශනයේ පමණක් නෙවි. ලොව සෑම ආගමක්ම පාහේ මෙය විවිධ අයුරින් සාකච්ඡාවට ලක් කරයි. මේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ගත් විට එය, බෞද්ධ දාර්ශනික සහ ආගමික වශයෙන්ද වෙනසක් දක්වන බව පෙනී යයි.

පින යනු සත්ත්වයාට මෙලොව මෙන්ම පර‍ලොව ආයු, වර්ණ, සැප, බල , ප්‍රඥා යනාදී යහපත් සැප විපාක ලබා දෙන ක්‍රියා ඵල වේ. පව යනු, ඊට ප්‍රතිවිරුද්ධ එනම්, සංසාරික සත්ත්වයාට දුක් විපාක ගෙන දෙන තවත් ලෙසකින් ඉහත සඳහන් කළ සැප විපාක අහිමි වන කර්ම ඵල වේ.

බෞද්ධ විග්‍රහය අනුව, අචේතනිකව කරන ක්‍රියාවන්ගෙන් පවක් හෝ පිනක් සිදු නොවේ.


සියලු ආකාරයෙන් දැනුවත් ක්‍රියාවකින් කවරෙකුට හෝ කවදාක හෝ දුක, කදුළු පිණිස වේ නම් එය පාපයක් ම වේ. යමක් ක්‍රියාවකින් තමන්ට හෝ අනුන්ට යහපත වේ නම් එය පින නම් වේ. තවද තමන්ගේ පින, පව විඳීම හෝ විඳවීම අනුන් විසින් පවරා ගැනීමක් නොවන අතර කර්ම ඵල විඳීම හෝ විඳවීම තමන්ටම වේ.

කොහොම වුණත් මේ අර්ථ දැක්වීමේ පවත්නා සංකීර්ණතාව නිසාම එය එක් එක් දේශකයන්, එක් එක් ධර්ම කුලකයන් විසින් තම තම නැණ පමණින්, තම තම අවශ්‍යතාව පරිද්දෙන් විග්‍රහ කරන බව පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස, පටු අවශ්‍යතාවන් මත සිට තම දරුවෙකුගේ ආදර සම්බන්ධයකට මාපියන් විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ආදරය වෙනුවෙන් පෙනී සිටීමත් බරපතල පාපයක් බව දේශනා කරන අවස්ථා දැක ගන්නට ඇත.


මන්ද, තමන් සාධාරණ පැත්තේ සිටියද මාපියන් වැරදි වුවද, එහෙත් මේ ක්‍රියාවෙන් ඔවුන් බලවත් වේදනාවකට පත් වන නිසාය. මේ අනුව ඉහත අර්ථ දැක්වීම ආචාර ධාර්මික අර්බුදයක් මතු කරයි. එහෙත් මෙය ලිහා නොගත හැකි ගැටලුවක් නොවේ. ඇතැම් විට, කොතරම් යහපත් ක්‍රියාවකින් වුවද තවත් පාර්ශවයක් වේදනාවට දුකට පත් වීම වැලැක්විය නොහැකිය. නිදසුනක් ලෙස, නොදැනුවත් බව මත ජනතාව පහසුවෙන් සූරාකෑම සිදු කරමින් පවතින විට, කිසිවෙක් එකී ජනතාව දැනුවත් කරන්නේ නම් සූරාකන්නන් පීඩාවට පත් වීම වැලැක්විය නොහැකිය. ඒනයින් මෙය පාප කර්මයක් යැයි ප්‍රකාශ කිරීම සත්‍යයක් වන්නේද? නැත.


එසේම විශේෂයෙන් ඉස්මතු කර දක්වන පස් පව්, දස පුණ්‍ය ක්‍රියා, අට මහා කුසල් ආදී වශයෙන් වූ ඒවාද ඇත්තේය. ඇත්ත වශයෙන්ම කිවහොත්, මේ වන විට සමාජයේ
පින = දානය
කියන තැනට නව අර්ථකථනයක්, නව සමීකරණයක් ආගමික වශයෙන් ඇති කර ඇත.


පරාර්ථකාමය මත පිහිටා යමෙක් කටයුතු කරන විට ඔහු සැම විටම අවධානය යොමු කරනු ලබන්නේ අනෙකාගේ පැත්තෙන් බලා අනෙකාගේ සතුට, යහපත වෙනුවන් ක්‍රියා කිරීම කෙරෙහිය. එවිට සැම විටම සිදු වන්නේ යහපත් ක්‍රියාය. මෙහි අනෙක් පැත්ත සිදු වන විට සිදු වන්නේ පාප ක්‍රියාය.

එසේ නම් මේ අනුව අප අතින් ගෙවී යමින් පවතින සෑම තත්පරයකදීම, පාපකර්මයක් හෝ පුණ්‍යකර්මයක් සිදු වෙමින් පවතියි. එය සිතිවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවකින් විය හැකියි.


එහෙත් සමාජය ගොදුරු කර දමා ඇති ඉහත සමීකරණය හේතුවෙන් සැබෑවටම සිදු වන, මොහොතක් පාසා එක් රැස් වන පින් පව් පසෙක දමා, ඒ වෙනුවට කිසියම් නිශ්චිත නිමේෂයක සිදු කරන ක්‍රියාවක් පමණක් පුන්‍යකර්ම සේ දක්වා ඇත. මෙය දේශපාලනික ක්‍රියාවකි. එනම්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ගොනාට ඇන්දවීමකි.

කොහොම වුණත් මේ ඇඳ ගැනීමට ජනතාවද ඉතා කැමතිය. ඒ තමන්ගේ සැබෑ අධ්‍යාත්ම විමුක්තිය පිළිබඳ කිසිදු ප්‍රඥාවක් නොමැති ඔවුන්ට තමන්ගේ කුහක පැවැත්ම එවිට කිසි කරදරයකින් තොරව ගෙන යාමට හැකි වන නිසාය. ජීවිතයේ වැඩිම කාලයක් පව්කම් කර ඒ පව් සියල්ල සෝදා හැර දිව්‍යලෝකයෙන් ඉඩකුත් වෙන් කර ගැනීමට ඉඳ හිටක කරන මහා පින්කම් වලට හැකි නිසාය. මේ අනුව ගත් විට සමාජයේ පවතින ප්‍රතිගාමී සංකල්ප, ඒවා ඉදිරිපත් කළ අයගේ මෙන්ම පවත්වාගෙන යන්නන්ගේද අනොන්‍ය එකඟතාවකින්ම පවත්වාගෙන යන ඒවා බව පෙනේ.

Sunday, October 28, 2018

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය - 19th amendment & Democracy

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමට බවයි එය ඉදිරිපත් කළ මෙන්ම එයට විචාරයෙන් තොරව එකඟතාවය පළ කළ අයගේද අදහස වූයේ. එහෙත් එය එසේමද යන්න අප අවධානයට යොමු කළ යුතුව තිබෙනවා.

විශේෂයෙන්ම, ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදු කිරීම, එයට එක් විය හැකි වාර ගණන සීමා කිරීම මෙන්ම පාර්ලිමේන්තුවක් ස්ථාපිත වූවායින් පසුව එය එහි සභිකයන්ගේ තුනෙන් දෙකක එකඟතාවයෙන් තොරව, වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීමද අයත්.


විධායක ජනාධිපතිවරයෙක් යනු, රටේ සමස්ත ජනතාවගේම බහුතරයේ කැමැත්තෙන් පත් වන පුද්ගලයෙක්. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු මැතිවරණ කොට්ඨාශයක සීමිත ජනතාවකගේ කැමැත්තෙන් බලයට පත් වන පුද්ගයෙක්. මේ නිසා ජනාධිපතිවරයෙක් තීරණ ගනිද්දී මුළු රටටම ඇති තම වගකීම සැලකිල්ලට ගෙනයි ක්‍රියා කරන්නේ. ඒ නිසා විධායක ජනාධිපතිවරයා සතුව එහි වචනයේ පරිසමාප්ත අර්ථයටම අනුව යම් විධායක බලතල ප්‍රමාණයක් පැවතිය යුතු වෙයි.

එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම හරය වන්නේ එහි පරමාධිපත්‍ය බලය ජනතාව සතුව පැවතිය යුතු වීමයි. එවිට ජනතාවට තමන් පත් කල ඕනෑම නියෝජිතයෙක් කාල සීමා නිර්ණයකින් තොරව අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. පාර්ලිමේන්තුව ජනතා මතයට පිටින් කටයුතු කරන විටක, එකී පාර්ලිමේන්තුව ස්වකීය කැමැත්තෙන් විසිරී යාමට කිසිසේත් ක්‍රියා කරනු ඇත්ද...? ඒ වෙනුවට සිදු වන්නේ හැකි තරම් කල් බලයේ සිටීමට උත්සාහ දැරීම සහ හැකි නම් මැතිවරණද කල් දැමීමට කූට උපායන් ක්‍රියාත්මක කිරීමයි.


මේ අනුව බලන විට පැහැදිලිව පෙනී යන සත්‍යය වන්නේ මෙකී සංශෝධනයෙන් පාර්ලිමේන්තුව වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීම ජනතා බලයට පයින් ගැසීමක් බවයි. ජනාධිපතිවරයෙක් තමන්ට එකඟ නැති එහෙත් ජනතා හිතවාදී පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියායයි සිතමු. එවිට ජනතාව විසින් නැවත පත් කරනු ලබන්නේද ඊටත් වැඩි බලයකින් එකී පාර්ලිමේන්තුවමයි. ඒ අනුව ජනාධිපතිවරයෙකුට ඒකාධිපතිවරයෙක් ලෙස අත්තනෝමතිකව ක්‍රියා කිරීමෙන් ඵලයක් ලද නොහැකියි.

එසේ නම් මෙකී සංශෝධනයේ වාසිය පැහැදිලිවම අයත් වන්නේ ජන පීඩක පාර්ලිමේන්තුවකට බලෙන් පැවතීම සඳහා බව පෙනී යයි.


එසේම ජනාධිපතිවරණයකට ජනතාව කැමති නම් ඕනෑම වාර ගණනක් ඉදිරිපත් වීමේ හැකියාවද පුද්ගලයෙකුට තිබිය යුතුයි. ජනතාවට ඔහුව අවශ්‍ය නම් වෙනත් පාර්ශවයක් විසින් එය වැලැක්විය හැක්කේ කෙලෙසද? එයත් පැහැදිලි ලෙස ජනතාව සතු බලය පැහැර ගැනීමක් වෙයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්, දැනටමත් තටු කපා ඇති ජනාධිපතිවරයා සම්පුර්ණයෙන්ම නිරායුධ කිරීමට අපේක්ෂිතයි. මේ සියල්ල තුළින් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය තව දුරටත් වළ දැමීම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

Friday, August 10, 2018

ශර්මි කුමාර්, කාන්තා ලිංගිකත්වය - Sharmi Kumar, Women's sexuality

ශර්මි කුමාර් (Sharmi Kumar), අන්තර්ජාල රූපවාහිනි චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ අදහස්. Porn Videos වල පෙනී සිටීමෙන් හා මුදලට කය අලෙවි කිරීම තුළින් ඇය බලාපොරොත්තු වන්නේ මුදල් හා ලිංගිකත්ව තෘප්තිය යන දෙකම ලබා ගැනීම බව ඇය ප්‍රකාශ කළා.

මෙය සත්‍යදැයි අපි සොයා බලමු. එය එසේ නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමේත් මානුෂීය පදනමක් නිර්මාණය වෙනවා. ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධ බටහිර රටවල පර්යේෂණවල ඉතිහාසය 60 දශකය පමණ ඈතට දිව යනවා. වර්තමානය වන විට තහවුරු කර ඇති කරුණ වන්නේ ලිංගිකත්වයේ උපරිම සතුට, සූරතාන්තය මත පදනම් නොවන බව. එය, ලිංගිකත්ව සම්බන්ධයක ආරම්භයේ සිට අවසානය අතර දක්වා පරාසයේ කවර හෝ අවස්ථාවක අත්දැකිය හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.


ඒ සඳහා බලපාන මුඛ්‍ය කරුණ වන්නේ දෙදෙනා අතර පවතින මානසික බැඳීම හා ආදරයයි. ඒ වගේම අදාළ මොහොතේ සිදුවන ආදරණීයත්වය මත පදනම් වෙමින් සිදුවන ක්‍රියාකාරකම්.

ඒ වගේම අවිවාදිතව පිළිගත් සත්‍යය වන්නේ කාන්තාවකගේ ලිංගික තෘප්තිය අනිවාර්ය ලෙසම තම සහකරු සමග පවතින මානසික බැඳීම හා අනුපාතිකව සමාන බව.

ඕනෑම අවස්ථාවක මුදල කිසියම් සිදුවීමක් සඳහා ඉදිරියට පැමිණේ නම් එතැන තව දුරටත් මානුෂීය සම්බන්ධයක් ඉතිරි වන්නේ නෑ. අප කඩයකට ගොස් බඩුවක් මිළදී ගත් විට අප තුළ සොඳුරු මතකයක් ඉතිරි වන්නේ එහි සේවකයා අපට දැක්වූ සුහද පිළිගැනීම හා සත්කාරය මත. එය මුදල හා කුඩා හෝ සම්බන්ධයක් පවතින බවක් හැඟී ගියහොත් ඒ හැඟීම තව දුරටත් ඉවත් වී ඇති වන්නේ පිළිකුල් සහගත හැඟීමක්.


ඒ වගේම අපට ඉතාමත් තද බැඳීමක් ඇති කරගත හැක්කේ එක් අයෙක් සමග පමණයි. කායික සබඳතාවක් නොව කායික සමීප වීමක් සඳහා වුවද මෙවැනි බැඳීමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව විවිධ පුද්ගලයන් හා අපට මෙවැනි සම්බන්ධයක් ඇති කරගත නොහැකියි.

ඒ වගේම කැමරාකරුවන්, ආලෝකකරණ ශිල්පීන් වැනි පුද්ගලයන් රාශියක් ඉදිරිපිට සිදුවන ලිංගික සබඳතාවක් තුළින් තෘප්තියක් අත්කරගත හැකියයි කීම හාස්‍යජනක කරුණක්. එවැනි අවස්ථාවක ලිංගික උත්තේජනයක් හෝ ඇති කරගත හැකි වන්නේ බලහත්කාරයෙන් සිදු කරන කායික උත්තේජනයන් තුළින්.

මේ අනුව අපට එළඹිය හැකි නිගමන දෙකක් තිබෙනවා. එකක් වන්නේ මෙය මනෝ විද්‍යාවේ එන ''සංරක්ෂණ ප්‍රයෝගයක්''  විය හැකි බව. දෙවැන්න, මෙය අලෙවි උපායමාර්ගයක් (marketing strategy) විය හැකි බව.


කාන්තාවකට සිදු කළ හැකි බරපතලම අපරාධය, ඇය ගණිකාවක් බවට පත් කිරීමයැයි ඕෂෝ පවසා තිබෙනවා. ඔහු එසේ කියන්නේ ඉතාමත් ගැඹුරු හේතූන් ඇතිව. එය එසේ නම්, කිසියම් හෝ දිනක සත්‍යය වැටහුණු විටක ගත වූ කාලය සම්බන්ධයෙන් බොහෝ දුක් වීම වැලැක්විය නොහැකියි.

ප්‍රස්තුත සම්මුඛ සාකච්ඡාවට අදාළ වීඩියෝව.