මූලිකම කරුණ තමයි එය අවසන් වූ වේගවත් ආකාරය. ඉතා සුළු සිදුවීම් කතාංග විශාල ප්‍රමාණයක් පුරා ගෙන යාමට කටයුතු කළ අතරේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් අයත් පරිච්ඡේද නොසලකා හැර තිබීම. ඒ වගේම අශෝක සහ කෞර්වකී අතර ආදරය මහා ආදරයක් ලෙසින් කතාව පුරා ගෙන හැර දැක්වීමට උත්සාහ කළත් අවසානයේ එය පුස්සක් බවට පත් කර දැමීම. සිත් තුළ පරමාදර්ශ ඇති කර එය කඩා බිඳ දැමීම බලවත් හානියක් ඒ පුද්ගලයන් තුළ ඇති කරනවා. එය, කිසිසේත් නොකළ යුතු දෙයක්.
ඉතිහාසයේ ඇත්තටම කුමක් සිදු වුවත්, කතාව තුළ මේ දෙදෙනා අතර ආදරය මහා උත්කර්ෂයකට නැගෙනවා. කෞර්වකීව බේරා ගැනීමට ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන අශෝක, අවසානයේ කාලිංගය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම විකාර සහගතයි. ඒ වගේම අශෝක අතින් කෙසේ වුවත් සැම විටම වාගේ ආදරයේ පවිත්‍රත්වය ආකරක්ෂා කර ගැනීමට, එහි පූජනීය බව උත්කර්ෂයට නැගීමට සමත් වූ කෞර්වකීත් ඔහු හා යුධ වැදීමට ක්‍රියා කිරීම අතාර්කිකයි.
ප්‍රේමය වෙනුවෙන් කෞර්වකී කරන කැපවීම සැලකූ විට ඇය වන්දනීය චරිතයක්. එහෙත් එයට අශෝකගෙන් ලැබෙන ප්‍රතිචාරය? කිසිසේත් නොලැබෙන කෞර්වකීගේ පියාගේ ආශීර්වාදය ලබා ගැනීමට මහා උත්තම පුරුෂයෙක් ලෙසින් සැරසෙන එය නොමැතිව ඇය විවාහ කරගැනීමටත් අකමැති වන අශෝක, එක වරම ඒ පියාටම කිනිස්සෙන් ඇනීම සාධාරණීය කරන්න පුළුවන්ද. කතාව පුරාවටම මේ වගේ කැවුම් - ලුණු මිරිස් වර්ගයේ සිදුවීම් දැක ගන්න පුළුවන්.
මෙවැන්නක් සිදුවීමට බොහෝ දුරට හේතුව ලෙසින් සලකන්න හැකි වෙන්නේ මෙගා ටෙලියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ත්‍රාසය, භීතිය, ප්‍රේමය, කුතුහලය, පරමාදර්ශී ස්වභාවයන් එකට කැලතීමට යාමේ අවශ්‍යතාවයි. කිසියම් කතා වස්තුවකට යා හැකි යම් දුරක් තිබෙනවා. එයින් ඔබ්බට එය ගෙන යාමට යන්නේ නම් සිදුවෙන්නේ එකිනෙකට නොගැලපෙන, ආතාර්කික සිදුවීම් එයට එක් වීමයි. එයට තවත් උදාහරණයක් ලෙස, අතිශය ජනාදරයට පත් වෙමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත් වූ සිදූ නාට්‍යයයි. ඒ ජනප්‍රියත්වය නිසාම එය චුවින්ගම් එකක් සේ ඇදීමට යාමෙන් වූයේ කතාවේ මුලින් සිටි චරිතවල හැසිරීමට කිසිසේත් නොගැලපෙන සිදුවීම්, හැසිරීම් එයට එක් වී විකාරයක් බවට පත් වීමයි. වරක් එක් නාලිකාවක විකාශය වූ එක් නාට්‍යයක් මෙසේ දිගින් දිගමට ඇදීමට ගොස් සිදු වූයේ රචකයා මානසික රෝගියෙක් බවට පත් වීමයි.
කොහොම වුණත් මේ කතාවේ විකෘතියට හසු නොවූ චරිතයන්ද තිබෙනවා. දේවී, ධර්මා, ආචාර්ය රාධගුප්ත ඒ අතරට අයත්. ඔවුන් එසේ ආකරක්ෂා වුණේ ඒවාහි භූමිකාවන් අනවශ්‍ය ලෙස නිර්මාණය කිරීමට නොයාම නිසායි. දේවීගේ හැසිරීම ඉතාම පරමාදර්ශී එකක්. එසේම ඉතිහාසයේ කියවෙන ආකාරයටද ඇය රාජ භවනේ හෝ වාසය කිරීමට පැමිණ නැහැ. නිහඬ ජීවිතයක් ඇය ගත කර ඇත්තේ. ඒ වගේම ඇය මිහිඳු මහ රහතන් වහන්සේගේ හා සංඝමිත්තා රහත් තෙරණියගේද සත්‍ය මවයි.
කිසියම් කලා නිර්මාණයක් අවසන් වන විට රසිකයා තුළ සදානුස්මරණීය මතකයක්, කිසියම් පරමාදර්ශ සමූහයක සිතුවමක් ඇති වූයේ නම් එය, සාර්ථක හා උසස් නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුලුවන්. එයට එක් යම් සාර්ථක ආසන්න නිදසුනක් ලෙස බැද්දෙ කුලවමිය නාට්‍යය දැක්විය හැකියි.
No comments:
Post a Comment