Saturday, May 26, 2018

තරු අතරින් මිහිබට සුරංගනාවිය, තාරා ........

ඇය නම් බොහෝ පැතිවලින් බලන විට සුරංගනාවියක්ම තමයි. සම්පූර්ණයෙන්ම සුරංගනාවියක් සේ කියන්න අපහසු, තව පූර්ණය කරගත යුතු දේවල් තියෙන නිසයි. තාරා ටෙලි සිතුවම ඇරඹෙන්නේම ඇය කුමන වැන්නියක්දැයි අපට විෂද කරවමින්. ඒ වගේම ජීවිතය ගැන බොහෝ දේ හිතන්නට ඉඩහසර ලබා දෙමින්.

ඒ වගේම ශලනි තාරකාගේ භාව පූර්ණ රංගනයද ඉතාමත් විශිෂ්ට බව කිව යුතුයි. ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණය, නාමල් ජයසිංහගේ රූපවාහිනී රචනය සේම හොඳ නිර්මාණ සඳහා කවදත් දායක වන ෆාහිම් මවුජූඩ්ගේ නිෂ්පාදන දායකත්වයද මෙහිදී මෙම නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. කවදත් විශිෂ්ට රංගනයකින් දායක වන චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර ගැන වගේම සම්මානයෙන්ද ඇගයීමට ලක් වූ ළමා නිළි සහේලි සදෙත්මා ගැනද අප සිහිපත් කළ යුතුමයි.


කතාව ඇරඹෙන්නේ නන්දිතා, හදිසියේම එරන්දගේ නිවසට යාමට තීරණය කිරීමෙන්. එහෙත් සාම්ප්‍රදායිකත්වයේ, ගතානුගතිකත්වයේ ඉහළින්ම සිටින එරන්දගේ මව නන්දිතාව දකින්නේ වෙනත්ම කෝණයකින්. එනම්, සෙල්ලක්කාර, නාගරික හිස් චරිතයක් ලෙසින්. ඇය සිතන්නේ ප්‍රේම සබඳතා, කායික සබඳතා නන්දිතාට සාමාන්‍ය දෙයක් වන බවයි. ලාංකීය සමාජයේ සදාචාර ධර්ම ගැන අඩුම තරමේ හැඟීමක්වත් නැති බවයි මවට හැඟී යන්නේ. ඇය ඒ නිසාමයි කියන්නේ කන්‍යාභාවය සෙවීම අනිවාර්ය ලෙස තම පාර්ශවයෙන් කෙරෙන බව. එහෙත් එය කියන්නට ගොස් සිදු වෙන්නේ එතැන කාටවත් හිස ඉසවීමට නොහැකි හාස්‍යජනක තත්වයක් නිර්මාණය වීම.


ඇත්තෙන්ම එරන්දගේ මව තුළින් අපට ලාංකීය සිතුවිලි විශ්වයේ පැතිකඩවල් ගණනාවක්ම ගැන අනාවරණය කර ගන්නට හැකි වෙනවා. ඒ තමයි, ආදර සම්බන්ධයක් යන්න හුදෙක් ලිංගික සම්බන්ධයක් හැඳින්වීම සඳහා කෙරෙන නාමකරණයක්ය යන විශ්වාසය, එසේම ලිංගික සම්බන්ධයක් යන්න, අශ්ලීල පහත් දෙයක්ය යන සිතේ එක් පසෙක ඇති හැඟීම, ලිංගික සම්බන්ධයක් පැවැත්වූ විට කාන්තාව අපවිත්‍රකරණයට ලක් වූ ජීවියෙක්ය යන හැඟීම, කාන්තාව යනු හුදෙක්ම ලිංගික භාණ්ඩයක්ය යන හැඟීම යනාදියයි. නියම් හෝ අනියම් හෝ අයුරින් ලිංගික සම්බන්ධයක් පැවැත් වූ පසු ජීවිතයේ කිසිදාක ඇයට කලින් තිබුණු පිළිගැනීම හිමි වන්නේ නෑ.

එහෙත් මනෝ විශ්ලේෂණාත්මකව බැලූ විට මේ සදාචාරවාදීන් ලෙස පෙනී සිටින අයවලුන්, ඉතාම දැඩි මානසික රෝගීන් පිරිසක් බව පැහැදිලි වෙනවා. ඒ වගේම නිර්දය හා සාහසික ආත්මාර්ථකාමීන් පිරිසක්. එහෙත් මතු පිටට පෙනෙන්නේ එහි අනෙක් පැත්ත. නන්දිතා, තමන් මීට කලින් ප්‍රේම සබඳතා දෙකක් පැවැත් වූ නමුත් ඒවා සෙක්ෂුවල් සම්බන්ධතා නොවූ බව පවසන විට එරන්දගේ පියාට පිට උගුරේ යන්නේත්, මවට හිස උස්සන්නට බැරි වෙන්නේත් ඒ නිසයි. එහෙත් නන්දිතා ආදරය සේම එහි ආංශික පැතිකඩක් වන ලිංගික සම්බන්ධතා ගැනද බොහෝ දුරට නිවැරදි දැක්මක සිටින බව ඇය විවෘතව කතා කරන ආකාරයෙන් අපට පෙනී යනවා. ඒ වගේම ඇය වොෂ් එකක් දා ගන්න එරන්දගේ ටීෂර්ට් එකක් ඉල්ලීම, ඔහුගේ වොෂ් රූම් එකටම යන්න සුදානම් වීම තුළින්ද එය මනාව පේනවා. හුදෙක් සම්පූර්ණ දෑස්ම ලිංගිකත්වයේ කණ්නාඩියකින් වැසී ඇති බොහෝ දෙනාට මේවා ජුගුප්සා ජනක දේවල්. ඔවුන්ට මේවා හැඟී යන්නේ මහ දවල් සාලයේ පූර්ව රති කෙළියක් සිදු වන්නට යන අයුරින්....!


තමන් මුල් දෙදෙනා සමග ලිංගික සම්බන්ධතාවක් නොපැවැත්වූයේ එය වරදක් ලෙසින් සිතීම නිසා නොව, එවැනි හැඟීමක් ඔවුන් සම්බන්ධයෙන් ඇති නොවූ නිසා බව ඇයගේ ප්‍රකාශයෙන් පැහැදිලිව විද්‍යමාන වනවා. ''හැඟීමක් ඇති වුණා නම් ඉතින් මෙයා ගැන තමයි'' යනුවෙන් පවසා එරන්දගේ උරහිසට තට්ටු කරන විට වැඩිහියන්ට සිතෙන්න ඇත්තේ පොළොව පලාගෙන යන්න.


මෙම ලිංගික නියුරෝසීය රෝගී තත්වය ඇති වෙන්නේ එකිනෙකට පරස්පර සංකල්ප දෙකක් අපේ මනසේ නිරන්තර ගැටීමට ලක් වීමත් ඒ ගැටීමෙන් නිගමනයකට ඒමට අප අපොහොසත් වීමත් නිසයි. මේ ගැන නම් ඉතින් වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ඒ නිසා එය වෙනත් අවස්ථාවකට කල් තබමු. කොහොම වුණත් යම් අදහසක් ගන්න කියන්න තියෙන්නේ, මෙහෙම වෙන්නේ, අපට සහජාශයෙන් සහ සංකල්පීය වශයෙන් යන දෙකින්ම එන ලිංගික ආවේගයන් සහ ලිංගිකත්වය පහත් අශ්ලීල දෙයක්ය යන හැඟීම් එකිනෙක ගැටීමත්, ඒ තුළින් අවසන් නිගමනයකට ඒමට පුද්ගලයාට නොහැකි වීමත් මතයි. මේ තුළින් නිර්මාණය වන මානසික රෝගී පුද්ගලයාට මරණ මංචකය දක්වාවත් මෙයින් මිදීමට හැකි වන්නේ නැති අතරම, එය ඒ පුද්ගලයාට ජීවිතයේ සාරය අහිමි වීමටත් සමස්ත සමාජයක විශාල ගැටලු සමුදායක් ඇති කරමින් අර්බුදයක් නිර්මාණය කිරීමටත් හේතු වෙනවා.

තාරා තුළින් අපට ජීවිතය ගැන කතා කරන්න මාතෘකා රැසක්ම විවර කර දෙනවා.


දෙන්නා වෙනුවෙන් කේන්දර බලනවාට නන්දිතා විරුද්ධ වන්නේ ඇගේ කේන්දරය නරක් වීම නිසා නොව, එවිට එය ආදරය කියන යන ආස්ථානයෙන් විතැන් වී හුදෙක් සමාජයේ බහුලව සිදු වන තවත් එක් ගණුදෙනු ක්‍රියාවලියක් බවට පත් වන නිසයි. ගුණාත්මයක් නැති මනුස්ස සම්බන්ධයකින් ඉතිරි වන්නේ උදාසීනතාව, විඩාව, කලකිරීම, අප්‍රසන්නතාව, කෝපය වැනි හැඟීම් පමණයි. එසේම දෙන්නා එකිනෙකාට යෝග්‍ය වන්නේද යන්න එකිනෙකාගේ අවබෝධයෙන් සිදු වනවා වෙනුවට එය වෙනත් මානයකට භාර දෙනවා යන්නේ අර්ථයම, දෙදෙනා අතර අවබෝධයක් නොමැති බව සහ නොගැලපෙන බව නොවේද?

'' දානය '' යනු කිසි සේත් පුණ්‍ය කටයුත්තක් නොව අති විශාල ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් කෙරෙන ආයෝජන ක්‍රියාවලියක්ය යන සත්‍යයද මෙහිදී අපට පෙන්වා දෙනවා. නන්දිතා තුළ අවට ලෝකය කෙරෙහි ආදරයක් මිස එවැනි පටු ආත්මාර්ථකාමී හැඟීමක් නොමැති බව ''නෑ ආන්ටි මේක එහෙම දෙයක් නෙවි, මන් ආසයි පොඩිවුන්ට උදවු කරන්න'' යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.


 ඒ වගේම චාරිත්‍ර ලෙස පළමුවෙන් යුවතියගේ නිවසට පැමිණිය යුතු බව මව කියද්දී, ''එන්න ආන්ටි එන්න. ඕනි වෙලාවක එන්න'' යන සැහැල්ලු ප්‍රකාශයෙන් ඇය තුළ ආදරය පිළිබඳ හැඟීමක් සහ ඇගයීමක් විනා හුදෙක් සමාජ සම්මුතියක් සේ සිදු කෙරෙන පිරිමියෙක් හා ගැහැනියක් අතර විවාහයක් යන්න කෙරෙහි හැඟීමක් නොමැති බව පෙනී යනවා. ඒ, එහි හුදෙක් මානව පරපුරේ අඛණ්ඩතාව පවත්වාගැනීමේ ජානමය වුවනාවට වඩා කිසිදු දෙයක් නොමැති නිසාවෙන්.

කෙනෙක් විවාහ වෙන්නේ නිල ලිංගික තෘප්තිය ලබා ගැනීම සහ සමාජ සම්මුතීන් වෙනුවෙන් නම් ඔහුට අත් වන්නේ ඉතාම ඛේදනීය මරණයක්. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ජානවල රූකඩයක් සේ නැටවී මිය යන්න. ලෝකයේ යමෙකුට මීටත් වඩා දෙන්න දරුණු දඬුවමක් තියෙන්න පුළුවන්ද කියලා ඔබම සිතන්න. මේ ගැන අපි වෙන වෙලාවක විස්තර වශයෙන් කතා කරමු.

ඒ වගේම මං හිතන්නේ අපිට මේ තාරා කතාන්දරය තුළදී අවස්ථා කීපයක්ම උදා වෙයි ජීවිතය ගැන කතා කරන්න. ඉදිරියේදී අපි හමු වෙමු. පහත ලින්ක් එක තුළින් තාරා ටෙලි සිතුවමේ පළමු කතාංගය නරඹන්න පුළුවන්.


https://youtu.be/4hkd0ycuqhk

No comments:

Post a Comment