මිනිසාද ඇතුළත් පෘථිවි ලෝකයේ සත්වයාගේ සිත්වල පදනම ආත්මාර්ථකාමිත්වයයි. එය යම් යම් ආකාරයෙන් කලමනාකරණය වීමක් සියලුම සත්ව සමාජයන් තුළ සිදු වෙයි. ඒ වගේම යම් යම් භාවමය සාධක මත එය යම් යම් සන්දර්භයන් තුළ පුද්ගලයාගේ අඩු වැඩි වීමක්ද සිදු වෙයි. ඒ හැර, පදනමින් ගත් විට පුද්ගලයා පෙළන මෙම ආත්මාර්ථකාමීත්වය ක්ෂය වීමක් මහේක්ෂ ලෝකය තුළ කිසිසේත් සිදු වන්නේ නෑ.
ඇත්තටම මේ ලෝකයේ සියළුම අංශයන්ගේ සංවර්ධනයට ඇති මූලිකම බාධකයද එයයි. දැනට ලෝකය අත් පත් කර ගනිමින් සිටින භෞතික සංවර්ධනය හා සමාජ සංවර්ධනය යනු, මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය උපක්‍රමික ලෙස පාලනය කරමින් ලබාගෙන ඇති එකක් පමණයි. එය ඒ නිසාම ඕනෑම මොහොතක බිඳ වැටී යන්නටද පුළුවන්. නිදසුනක් ලෙස, ස්වාභාවික විපත්, යුද්ධ වැනි අවස්ථා දැක්විය හැකියි. ඒ වගේම කිසියම් හේතුවක් නිසා මේ පවතින සමාජ ආර්ථික රාමු බිඳ වැටුණහොත් සමාජය නැවත ගෝත්‍රික යුගයකට යාමට වැඩි වේලාවක් ගත වෙන්නේ නෑ.
මේ පූර්විකාව ඉදිරිපත් කළේ ක්ෂේම භූමි චිත්‍රපටය ගැන විමසුමකට පිවිසුමක් ලෙසින්. "සිටු කුමරියෝ, ආරාධනා, දඬුමොණර, දුහුළු මලක්" ඇතුළු අපේ සිනමාවේ චිත්‍රපට ගණනාවක් අධ්‍යක්‍ෂණය කළ අභාවප්‍රාප්ත විජය ධර්ම ශ්‍රී සිනමාකරුවාණන් අවසන් වරට නිර්මාණය කළ "ක්‌ෂේම භූමි" චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවා. අයිලින් සිරිවර්ධන ලියූ සම්මානනීය නවකතාව පාදක කරගෙන සිනමාවට නැගුණු "ක්‌ෂේම භූමි" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්‍රේමසිරි කේමදාසයන් විසින්. විජය නන්දසිරි, සංගීතා වීරරත්න, ජැක්‌සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස් ඇතුළු දක්‌ෂ නළු නිළි පිරිසක් මෙහි චරිත නිරූපනය කරනු ලබනවා. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අධ්‍යක්‍ෂ විජය ධර්ම ශ්‍රී වියෝ වීමෙන් පසු අතපසු වී තිබියදී චිත්‍රපට සංරක්‌ෂකයකු හා ප්‍රදර්ශකයකු වන තිස්‌ස නාගොඩවිතානයන් මැදිහත් වීමෙන් 2010 වසරේදී මුල්වරට ප්‍රදර්ශනය වුණා.
80 ජූලි වර්ජනයට සහභාගී වීම නිසාත් වාමාංශික දේශපාලනයට සහභාගී වීම නිසාත් රැකියාව අහිමි වන අහිංසක ලිපිකරුවෙක් වටායි මේ කතාව ගෙතෙන්නේ. යන එන මං නැති තත්වයට පත් වන ඔහු අවසානයේ නතර වෙන්නේ විශාල ව්‍යාපරිකයෙක් බවට පත් වෙමින්.
සාමාන්‍ය පුද්ගලයෙකුව සිටි කාලයේ දූ දරුවන් හා බිරිඳ සමගින් ඉතා සතුටින් කෙළි දෙළෙන් ගත කළ ඔවුන් දියුණුවේ හිනි පෙත්තට ගමන් කරන විට එකිනෙකාගෙන් දුරස් වීමත්, තනි වීමත් සිදු වන අතරම කලින් තිබූ සතුට අහිමි වී යන ආකාරයත් පෙන්නුම් කෙරෙනවා. වැඩිමල් සහෝදරයා රැකියාවකුත් නැතිව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය සිටියේ විශ්වවිද්‍යාල වරම් ලබා ඔහුට වඩා ඉහළ ස්තරයක.
එහෙත් ඔවුන් නොසිතූ ස්ථානයකට ගමන් කරන විට ඇය, සාපේක්ෂව පහළ ස්ථරයකට වැටෙනවා. ඒ නිසා ඔහුට සිදු වන්නේ මාපියන්නේ සිතැඟිවලට ඉඩ දී ඇයව හැර දැමීමට. එහෙත් එයින් ඔහු අර්ධ වශයෙන් මල පුද්ගලයෙක් බවට අධ්‍යාත්මිකව පත් වීමයි සිදු වන්නේ. එහෙත් ඒ බව පෙන්වා දුන් විට පිළිගැනීමටවත් වැඩිහිටියන් සූදානම් නොවන විට පෙනී යන්නේ ඔවුන් ''ක්‍රමය'' තුළ කොතරම් ගොදුරු වී ඇත්ද යන්නයි.
අති විසල් නිවසේ නාමය ලෙස ''ක්ෂේම භූමි'' ලෙස නම් කර තිබුණත් එය, සැබවින්ම ගත් විට ඔවුන්ට ජීවිතය අහිමි කර සිරගත කළ බන්ධනාගාරයක් බව පැහැදිලි වෙනවා. මේ සිරගෙයින් පළා ගොස් ජීවිතය සොයා ගැනීමට බාල පුතු ක්‍රියා කරන්නේ ඔහු ''ජීවත් වීමට'' ආශා කරන බැවින්. ''ව්‍යාපාරය අපේ බව ඇත්ත මල්ලි. ඒත් ඇත්තටම ඒක අපේ නෙවෙයි'' යන්නෙන් වැඩිහිටි සහෝදරයා පෙන්වා දෙන්නේ තමන්ම විසින් ගමන් කළේ වුවද වර්ධනය කළේ වුවද ''ක්‍රමය'' විසින් අවසන් වශයෙන් තමන්ටද පාලනය කරගත නොහැකි අයුරින් එයට ගොදුරු කරගන්නා බව. ඉන් මිදෙන්නට, ''ක්‍රමය'' තුළ සිටිමින් නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.
ආත්මාර්ථය තුළින් අවසන් වශයෙන් සිදු වෙන එකම දෙය, අනුන්ටත් ජීවිතය අහිමි කරමින් තමන්ටත් ජීවිතය අහිමි කර ගැනීම.
මේ වැනි සත්‍යම සිදු වීම් ඔබ අවට මෙන්ම අපේම ජීවිතවලින්ද ඕනෑ තරම් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. මේ තුළින් පෙන්වා දෙන සත්‍යය, අන් කිසිවක් නොව අප පදනමින් ආත්මාර්ථකාමීන් බව. ''අවස්ථාවන්ට'' අපව සහමුලින්ම වෙනස් පුද්ගලයන් බවට පත් කිරීමට හැකි වෙන්නේ ඒ නිසායි.
ආත්මාර්ථය පදනම් වන්නේ ''ආශාවන්'' මත. ''ආශාවන්'' යනු කිසිදා තෘප්තියෙන් අවසන් වන ඒවා නොවේ. එකක් පසුපස එකක් බැගින් ආශාව - තෘප්තිය - අතෘප්තිය - නව ආශාව යන දාමයේ ඒ ඒ අවස්ථාවේ ප්‍රතිඵලයත් අතෘප්තියම වන අතර එය අවසන් වන්නේ පුද්ගයා වල්මත් වී මානසික රෝගියෙකු බවට පත් වීමෙන්. ජීවිතයේ විඳීම් ඇත්තේ එයට විලෝම වන පරාර්ථයත් ඒ තුළින් ඇති වන ආදරයත් මත පමණයි.
No comments:
Post a Comment