Sunday, December 25, 2016

හැඟීම්බර බවට අර්ථයක් ලැබෙන්නේ බුද්ධිය තුළින්..... - Emotions and Intelligence

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන අර්ථවත් ගණයේ ටෙලි සිත්තමක් තමයි .... ගේ නවකතාවක් ඇසුරින් ගොඩනැගුණු 'බැද්දේ කුලවමිය''. කලක් අර්ථවත් නිර්මාණ වෙනුවෙන් ජාතික රූපවාහිනිය නම් දරා සිටියත් එය දැන් වර්ෂ ගණනාවක් තිස්සේම අත් කරගෙන සිටින්නේ ස්වර්ණවාහිනිය. ඔවුන් විසිනුත් නිසරු ගණයේ නාට්‍ය ඇති තරම් විකාශය කළත් අඛන්ඩව මෙසේ ගුණාත්මක නිර්මාණවලට සිය අවකාශය වෙන් කරනු ලැබීම පෞද්ගලික නාලිකාවක් ලෙසින් ගත් විට කිසිසේත් අගය නොකර බැහැ.

මේ කතාවේදී තේමිය නම් තරුණ වෛද්‍යවරයා ඔහු සේවයට පැමිණෙන දුෂ්කර ගම්මානයේ වෙසෙන, ගමේ මිනිසුන් විසින් යක්ෂයෙක් ආරූඪ වී ඇති යුවතියක් ලෙසින් හඳුන්වන චංචලාව විවාහ කරගැනීමට තීරණය කරනවා. ගමේ මිනිසුන්ට ඇය යක්ෂාරූඩයකින් වෙසෙන අයෙක් සේ පෙනී යාමට මූලික හේතුව, ඇය මිනිසුන්ව පෙලීමට අතීත කතෘන් විසින් ගොඩ නගා ඇති දෘෂ්ටිවාදයන් ප්‍රතික්ෂේප කරමින් ඒවාට එරෙහිව කටයුතු කිරීමයි. ඇත්තටම ගත් විට යක්ෂයා අරූඪ වී ඇත්තේ එසේ කියනු ලබන්නා වූ මිනිසුන්ටයි.


තේමිය, චංචලාගේ මෙම සැබෑ ජීවිතය අත්පත් කර ගැනීමේ තත්වය තේරුම් ගැනීම නිසයි ඇය කෙරෙහි පෙමින් බැඳෙන්නේ. දෘෂ්ටිවාදයන්ගේ සේම නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනය තුළ ඇති වන තත්වයන්ගේ ගොදුරක් වන තේමියගේ මව, නාගරික සැප පහසු ජීවිතයක් වෙනුවෙන් තම සැමියාව නගරයට ගෙන යනවා. එහෙත් අවසානයේ සිදු වෙන්නේ ඔහු දැන් ඇයව විවාහ කරගෙන සිටින සල්ලිකාරයා අතින් මිය යෑම. මේ පුද්ගලයා ජීවිතයේ අර්ථ සොයාගත නොහැකිව සල්ලාල ජීවිතයක් ගත කරන අයෙක්. මේ නිසා තේමියගේ මව අවසන් වශයෙන් ගත් විට ගෙවන්නේ ජීවිතය අහිමි වූ ජීවිතයක්.

'ජීවිතය' ඇත්තේ විශාල නිවෙස්, සුඛෝපභෝගි වාහන තුළ නොවන බව අවබෝධ කරගත් නිරන්තරයෙන් වන රජදහනේ ගැවසෙමින් සොබා දහමත් සමග දිවි ගෙවන ජීවිතය සැබවින්ම අත්පත් කරගත් චංචලා තේමියට පෙනෙන්නේ වටිනා සම්පතක් ලෙසින්.


තේමියට හදිසියේම විවාහ වීමට සිදු වෙන්නේ චංචලාගේ මාමා, මේ සම්බන්ධය නැවැත්වීම සඳහා ඇයව ගමෙන් පිටමං කිරීමට යන නිසා. තේමියගේ මව උත්සාහ කරන්නේ චංචලාට වන්දියක් ගෙවා හෝ මේ සම්බන්ධය කඩා දැමීමට. ඇය එසේ සිතන්නේ තේමිය අතින් චංචලාට සිදු වූ කරදරයක් නිසා මෙසේ විවාහ කරගන්නට ඇතිය යන ආකල්පයෙන්.

ජීවිතය සම්බන්ධයෙන් ගත් විට ඉතාමත් අර්ථවත් සිදුවීමක් ලෙසින් ගන්න පුළුවන් ඉහත අටියෙන් තේමිය මුණ ගැහෙන්න ගමට පැමිණෙන මවට ඔහු මුහුණ දෙන ආකාරය. ෂෙරීන්, ඔහු පමණක් කැඳවාගෙන චංචලාගේ මාමාගේ නිවසට පැමිණෙන ලෙස කරන ඉල්ලීම තේමිය එක හෙළා ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම මෙතනදී මවගේ හිත හැදීමේ යහපත් අරමුණින් වුණත් තේමිය තනියෙන් මව හමු වෙන්න ගියා නම් චංචලා තුළ තමන් 'අනාරක්ෂිතය' කියන හැඟීම හදවත තුළ ඉබේටම ඇති වීම වලක්වන්න බැහැ.

දෙදෙනා එක්ව මව හමු වීමට ගොස් ඔහු මව හමුවේ මුහුණ දෙන ආකාරයත් ඉතා වැදගත්.


''විවාහය කියන්නේ අතිශය පෞද්ගලික කාරණයක්. ඒක තීරණය කරන්න ඕනෙ තමන්. ඒකට අම්මට වුණත් මැදිහත් වෙන්න අයිතියක් නෑ....''

ඒත් අපේ වැනි පසුගාමී සමාජයක බොහෝ අය සිතා සිටින්නේ මව්පිය කැමැත්තට ඒ දේ සිදු විය යුතු බව. එසේ නොකිරීම අපරාධයක් ලෙසටත් පිලිගැනී තිබෙනවා. එසේ මව්පිය සිත් රිදවා එක් වන අයට කවදාවත් යපතක් සිදු නොවන බවටත් සමාජගත් වී තිබෙනවා. මේ පිළිගැනීම නිසාම විනාශ වී යන ජීවිත සංඛ්‍යාව ඉමහත්. හැඟීම්බර වී ආදරය කරන බොහෝ අය අවසානයේ මව්පියන් හමුවේ හැඟීම්බර වී තමන්ගේ ජීවිතය අත්හරිනු ලබනවා.

ඇත්තටම මව්පියන් විසින් තමන්ගේ දරුවා කෙරේ ආදරයකින් මෙසේ කරනු ලබන්නේයයි කියන කතාව සත්‍යයක් වන්නේ කලාතුරකින්. බොහෝ විටම සිදු වන්නේ තම පටු වුවමනාවන් වෙනුවෙන් දෙහදක් සාහසික ලෙස වෙන කරනු ලැබීම. බොහෝ විටම මේ තත්වයට ගොදුරු වන්නේ යුවතියන්. එයට හේතුව ඔවුන් හදවතට මුල්තැන දෙන පිරිසක් වීම. එහෙත් මේ නිසා බොහෝ විට ජීවිතය සදාකාලීනව අහිමි වෙන්නේ පෙම්වතුන්ට. එයට හේතුව පෙම්වතියන් තමන්ට අහිමි වූ ජීවිතය තුළ දුක දරා ගනිමින් හෝ ජීවත් වීම. එහෙත් පෙම්වතාට බොහෝ විට එසේ හැකි වෙන්නේ නැහැ.


හිත රිදවාගෙන පිටත් වන මව එදිනම කොළඹ යන්නේ නැහැ. ප්‍රදේශයේ තානායමක නතර වෙනවා. ''හෙට උදෙන් ගිහින් අම්මව බලලා ආවොත් හොඳයි නේද'' යනුවෙන් චංචලා කරන යෝජනාවට තේමිය එකඟ වෙන්නේ නෑ. ''මං කවද හරි අම්මව බලන්න යන්නේ ඔයාව ලේලි හැටියට එයා පිළිගත්තු දාට'' ඇත්තටම තේමියගේ මේ සිතිවිල්ල නරුමවාදීයි කියලා මටත් ඒ වෙලේ සිතුණා. මොකද, මොනවා වුනත් ඒ ඔහුගේ මව. මවක් දරුවා වෙනුවෙන් කරන කැප කිරීම, ඇගේ ආත්මාර්ථකාමී වුවමනාවන් හමුවේ වුණත් අපිට අමතක කරන්න බෑ. චංචලාව පිළි ගත්තත් නැතත් ඔහුට පුළුවන් මව ගැන බලන්න. එහෙත් ටිකක් දුර කල්පනා කරගෙන යද්දි තමයි මටත් හිතුණේ ඔහුගේ සිතිවිල්ල නිවැරදියි කියන එක. මව ඔහුට ඇත්තටම ආදරේ නම්, ඔහුගේ යහපත ප්‍රාර්ථනා කරනවා නම් ඔහුගේ සතුට වෙනුවෙන් තම පටු වුවමනාවන් පැත්තකින් තියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් ඇත්තටම නරුමවාදී වෙන්නේ ඔහුගේ මවයි.

Friday, December 16, 2016

රාගය, ආශාව සහ අතහැර දැමීම....

ආදරය පිළිබඳ ශෝචනීය සිදුවීම්වලදී ගැහැනු ළමුන්ගේ පැත්තෙන් ඇහෙන පොදු කතාව තමයි, එයා රාගය ඉටු කර ගන්නකම් පණ දෙන්න වගේ හිටියා. ඊට පස්සේ එයාට මාව එපා වුණා කියන එක. තරුණයන්ගෙන් ඇහෙන්නේ, ''එයාට මට වඩා ලස්සන, එහෙමත් නැත්නම් පෝසත් කොල්ලෙක් සෙට් වුණාට පස්සේ මාව වහ කදුරු වගේ වුණා'' කියන එක.

දැන් මේ මුල් සිදුවීම ගත්තම එතන තරුණයා තුළ තිබුණු හැඟීම තමයි රාගය මතින් නිර්මාණය වුණු බලවත් ආශාව. 'ආශාවේ' මූලිකම ස්වභාවය තමයි 'එය ඉටු වූ වහා අතෘප්තියට පත් වීම'. මේ නිසා හැමදාම 'ආශාව' තියා ගන්න නම් ඒක කවදාවත් 'පරිපූර්ණ' තත්වයට පත් වෙන්න දෙන්න හොඳ නෑ. අඩුවක් තියා ගන්න ඕනෙ... පරිපූර්ණ වුණු ගමන් ආශාව 'අතුරුදන්' වෙනව.

ඒ යුවතියන්ටත් පුලුවන් වුණා නම් පෙම්වතුන්ව සම්පූර්ණ තෘප්තියට පත් වෙන එක වලක්වාගන්න, ඔවුන්ට හැකි වෙන්න තිබුණා සමහර විට ඔවුන්ව රඳවා ගන්න. හැබැයි කාමය සන්සිඳවා ගෙන යන්නම එන අය නම් ඉටු වුණත් නැතත් නවතින්නේ නෑ. ඔවුන් එන්නේම යන්න බලාගෙන. ඉටු වුණත් යනවා. නොවුණත් යනවා.


ඉන්න කොල්ලට වඩා ලස්සන උගත් ධනවත් කොල්ලෙක් හමු වුණාම කෙල්ලට පරණ කොල්ලා පේන්න ගන්නේ හරියට ලොම් හැලුණු දිරා ගිය බල්ලෙක් වගේ. ඉතින් එයා ඉතාම ඉක්මනින් එයා වෙතින් පලා යනවා. ඒක වලක්වන්න බෑ. නමුත් යම් දවසක මේ අයගෙන් කොටසකට යථාර්ථය අවබෝධ වෙනවා. තවත් කොටසකට අවබෝධ නොවුණත් ජීවිතය නීරස වෙනවා.

ඒත් ඉතින් පරිපූර්ණ නොවී ආශාවක් තියා ගන්න නම් බාහිරින් එන බාධක තියෙන්න ඕන. විවාහය තුළ තියෙන සම්බන්ධය එපා වෙලා, අනියම් සම්බන්ධතා කියන එක බොහෝ අයට ඉතාමත් රසවත් අත්දැකීමක් වෙන්න මූලිකම හේතුවක් තමයි මේක. තව හේතු තියෙනවා. මොකද අනියම් සම්බන්ධයක් කියන්නේ ජීවිතයත් මරණයත් අතර අතුරේ යාමක්. ඒ නිසා කවදාවත් පරිපූර්ණ තත්වයට පත් වෙන්න අවස්ථාවක් නෑ... අපි හිතමු නිකන් හරි මේ දෙන්නා පැනලා යනවා කියලා විවාහ වෙන්න. ඉතාම ඉක්මනින් දෙන්නට දෙන්නව එපා වෙනවා.


දැන් බලන්න යුවතියන් බිකිනි ඇඳගෙන පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙනවා. ජිම්නාස්ටික් කරනවා. ඒව දකින පිරිමින්ට බොහෝ විට සෙක්ස් හැඟීම් ඇති වෙන්නේ නෑ. ඒත් යාන්තම් සායක් ටිකක් කොට වුනාම, බ්ලවුසයක අත් කොට වුණාම, කර පුළුල් වෙලා පියයුරු යාන්තම් පේන්න ගත්තම ඔවුන් බොහෝ කලබල වෙනවා. හැඟීම් පාලනය කරගන්න බැරි පිරිමි මෙහිදී කාන්තාවන්ගේ ඇඳුම් පාලනය කරන්න සදාචාරවාදී නිර්නායක ඉදිරිපත් කරන්න ගන්නවා. මෙතනදී වෙන්නෙත් අර දේමයි. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී අපේ ආශාව කියන එක පරිපූර්ණ තෘප්තියට පැමිනෙනවා. ඒ නිසා එය ඒ හාම අතුරුදන් වෙනවා. ඒත් දෙවන අවස්ථාවේදී ආශාවෙන් ඉතාම ස්වල්පයයි සපුරා ගන්න ලැබෙන්නේ. ඒ නිසා ආශාව කියන දේ තව දුරටත් වර්ධනය වෙනවා.

එතකොට, කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් නිල් චිත්‍රපට මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ කොහොමද කියලා. එතන පදනම් වෙන්නේ රාගය මත. එනම් ලිංගික හැඟීම. ඒවා තුළ කාන්තා ශරීරය පදනම් කරගත් ශුංගාරය කියන දේ නෑ... සංසර්ග කේන්ද්‍රීයත්වය පමණයි දකින්න තියෙන්නේ. රාගය කියන එක හෝමෝන තියෙනකම් උත්පාදනය වෙන හැඟීමක්. ඒ වගේම තමයි ඒක අපි විසින් භෞතිකව අත් විඳින අත්දැකීමක් නෙවි. දෘෂ්‍යමය අත්දැකීමක්. ඒක අපි විඳින්න්නේ ඔලුවෙන්. ඒ කියන්නේ මනසින්. හැම වෙලාවේම අපි ඔලුවෙන් මවා ගන්න අත්දැකීම භෞතික අත්දැකීමට වඩා උත්කර්ෂවත්. මේ නිසා තමයි සමහර අය හැඟීම් පහල කර ගන්න කියලා නිල් චිත්‍රපටයක් ප්ලේ වෙන්න තියලා රමණයේ යෙදෙන්නේ. මොකද සැබවින් අත්දකින දේ තුළ අර බලාපොරොත්තු වෙන රසවත් බව නෑ.


අනෙක් එක නිල් චිත්‍රපට කියන්නේ විශාල කර්මාන්තයක්. එක් දිනක් තුළ විශාල ප්‍රමාණයක් ලෝකයේ නිෂ්පාදනය වෙනවා. ඒ තුල ලමුන් යොදා  ගැනීම, විකෘති ක්‍රියා ඉතාමත්ම බහුලයි. ඉතින් මේ තුළින් පෙන්නුම් කරන්නේ මොකක්ද... අර ආශාවේ න්‍යායම තමයි. එකක් බැලුවාම ඒක එපා වෙන නිසා අලුත් එකක් නිෂ්පාදනය වෙනවා. ඒවත් එපා වෙනකොට විකෘති ක්‍රියා තුළට යොමු වෙනවා. මේකේ කෙලවරක් නෑ.

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝක ස්වභාවය මෙහෙම නම් ජීවිතය කියන්නේ හරිම නිෂ්පල දෙයක්නේ කියලා. නෑ එහෙම නෑ. ජීවිතය බොහොම අර්ථවත් උත්කර්ෂවත් දෙයක්. ඒත් ඒක ලඟා කර ගන්න නම් අපේ සිත් ප්‍රභාශ්වර වෙන්න ඕන. පරාර්ථයෙන්, ආදරයෙන් සිත් පිරී යන්න ඕන. එහෙම සිතක් ලඟ අතෘප්තිය කියන වචනයට ලැගුම් ගන්න අවසර නෑ.



හාමුදුරුවරු බණට කියනවා, ලෙඩ වෙන නිසා, මහලු වෙන නිසා, මරණයට පත් වෙන නිසා මේ ජීවිතය අසාරයිලු. ඒ නිසා ජීවත් වෙන එක නතර කර ගන්නලු. මේ තුළ ඇත්ත වශයෙන්ම තියෙන්න අධික රාගය සහ ආශාවත්, ඒවා රිසි පරිදි ඉටු කර ගන්න ඉඩ ලැබෙන්නේ නැතිනම් එහෙම ජීවිතේ මට ඕනෙම නෑ කියන ද්වේශය නෙවිද... ලෙඩ වෙන්නේ නැති, මහලු වෙන්නේ නැති, මරණයට පත් වෙන්නේ නැති ජීවිතයක් තියෙනවා නම් නිවන ඕනේ නෑ. එහෙම නැති නම් ජීවිතය එපාම එපා....

Friday, December 9, 2016

කාන්තාවකට බුදු වෙන්න බැරිද....?

කාන්තාවකට බුදු වෙන්න බැහැ, එයා පිරිමි ආත්මයක් ලබලා ඕනි එහෙම වෙනවා නම් වෙන්න... මෙහෙමලු ධර්මයේ සඳහන් වෙන්නේ. ඒත් ඒ සඳහා මොනවා හරි හේතුවකුත් දක්වලා ඇති. ඒක හොයා ගන්න උත්සාහ කළත් මේ අවස්ථාවේ නොහැකි වුණා. ඒ හේතුව හරියටම නොදැන මේ ගැන කතා කරන එක නිශ්ඵලයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒක එහෙම නොවෙන එක වලක්වන්න අපි වෙනත් දිශාවකින් ඒ හේතුව හොයන්න ප්‍රවිශ්ට වෙමු. කිසියම් තැනකට ලඟා වෙන්න එකම මගක් නෙවිනේ තියෙන්නේ... මඟවල් ගොඩක් තියෙන්න පුළුවන්. ඒ වගේම අලුත් මගක් හදාගෙනත් පුළුවන්.

ධර්මයේ සඳහන් වෙන ආකාරයට, බුදුන් වහන්සේ කාන්තාවට පැවිදි වීම සඳහා අවස්ථාව දීමටවත් මුලින් කැමති වෙලා නැහැ. දැන් සිදුහතුන් ජීවිතය කැප කරලා සෙව්වේ මොකක්ද... ජීවිතයේ පරම විමුක්තිය. ඒක අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේට උවමනා වුණේ සකල සත්වයා වෙත පතල මහා කරුණාවෙන් ඒ තමන් වහන්සේ අවබෝධ කරගත් සත්‍යය හුදී ජනයාගේ ජීවිත වලටත් අවබෝධ කර දීලා ඔවුන්ටත් විමුක්තිය අත් කර දීම. මෙතනදී කාන්තාවත් ඒ විමුක්ති මග ගමන් කිරීම සඳහා උත්සාහ ගත්තා.

''බුදුරදුන් කිඹුල්වත්පුර නීග්‍රෝධාරාමයේ වැඩ සිටියයදී මහා ප්‍රජාපතී ගෝතමිය උන්වහන්සේ කරා එලඹ වැඳ එකත්පසක සිට කාන්තාවට බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙන මෙන් ඉල්ලා සිටියාය. බුදු රජාණන් වහන්සේ එම ඉල්ලීම පළමු, දෙවන හා තෙවන වරටත් ප්‍රතික්ෂේප කළහ. එහිදී උන් වහන්සේ දේශණා කළේ ''තථාගත ශාසනයේ කාන්තා පැවිද්ද තමන්ට රුචි නොවන බැවින් ඒ කැමැත්ත අත්හරින්න'' යනුවෙන්.

''බුදු සසුනේ කාන්තාව පැවිදි වීම වනාහී වැඩුණු ඇල් වී කෙතක බොල් වී වැඩීමක්'' ලෙසින් උපමා කළ බව චුල්ලවග්ග පාලියේ භික්ඛු නික්ඛන්ධකයේ දැක්වෙනවා.


කොහොම වුණත් මහා ප්‍රජාපතී ගෝතමිය සිය උත්සාහය අත්හැරියේ නෑ. ඇය, බුදුන් වහන්සේ ඊලඟට වස් වැඩ සිටි විශාලා මහනුවර කූඨාගාර ශාලා විහාරයට ශාක්‍ය කෝලිය කුමාරවරුන්ගේ දෙරට බින්දෑවරුන් පන්සියයක් කැටුව, කෙස් වැටි කපා හැර, කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර ගෙන ඉතා දුක සේ සැතපුම් ගණනාවක් මග ගෙවාගෙන උන්වහන්සේ හමු වීමට පැමිණියා.

යොදුන් පනස් එකක් මග ගෙවාගෙන ආපු නිසා මේ අයගේ ඉදිමිලා තිබුණා. ශරීර දදියෙන් තෙත් වෙලා. හොඳටම වෙහෙසයි. මේ නිසා මේ පිරිස විහාරයට ඇතුල් නොවී දොරටුව අබියස ශෝකීව සිටියා. ආනන්ද හිමියන්ට තමන් පැමිණි අරමුණ ප්‍රජාපතී ගෝතමිය පැවසුවා. ඉතින් ආනන්ද හිමියන් මේ බව බුදු හිමියන්ට සැල කළාම උන්වහන්සේ කලින් වගේම එම ඉල්ලීම එක හෙළා තෙවරක්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒත් ආනන්ද හිමියන්ගේ බලවත් උනන්දුව සහ පෙරැත්තය නිසාම මහා ප්‍රජාපතිය ප්‍රමුඛ කාන්තා පිරිසට බුදු සසුනේ පැවිදි වීම සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා. හැබැයි කොන්දේසි සහිතව. ඒ, ''අෂ්ට ගරු ධර්ම'' නම් කොන්දේසි 8ක් යටතේයි.


1. උපසම්පදාවෙන් වසර 100ක් ගත වූ මෙහෙණියක වුවද එදින උපසපන් වූ භික්ෂුව දැක වැඳුම් පිදුම්, හුනස්නෙන් නැගිටීම් ආදී ගෞරව කළ යුතුය.

2. භිෂුණිය, තමාට අවවාද ලබා ගැනීමට සුදුසු භිෂුවක නොමැති ප්‍රදේශයක වූ මෙහෙණවරක වස් නොවිසිය යුතුය.

3. අඩ මසක් පාස මෙහෙණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාල කළ යුතුය.

7. කවර කරුණක් නිසා හෝ භික්ෂුණිය විසින් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය.

8. භික්ෂුණිය විසින් භික්ෂූන්ට අවවාද නොකළ යුතු අතර භික්ෂූන්ගේ අවවාද පිළිගත යුතුය.

මේ කොන්දේසි ටික දිහා බැලුවාම ඉතාම පැහැදිලිව පේන සරල කාරණය තමයි කාන්තාව පාගාගෙන සිටීමේ වුවමනාව. කෙනෙක්ට තව කෙනෙක් පාගා ගන්න වුවමනා වෙන්නේ හේතු දෙකක් නිසා. එකක් එයාව සූරා කෑම. අනෙක එයා තමන්ට අභියෝගයක් වීම. භික්ෂු සසුනේ සම්ප්‍රදාය තමයි උපසපන් වූ දින පිලිවෙලට අනුව ඔවුනොවුන්ට ගරු සත්කාර කිරීම. ඒත් කාන්තාවට පමණක් එය අහිමි කරලා උපසම්පදාවෙන් වසර 100ක් ගත වුනත් අද උපසපන් වූ භික්ෂුවට වැඳිය යුතු බවට දාන කොන්දේසිය මොන තරම් නිර්ලජ්ජිත එක්කද... මේ වගේ කොන්දේසියක් බුදු කෙනෙක් ඉදිරිපත් කරනවා නම් බුද්ධත්වය කියන්නේ කුමක්ද කියන පැනය මතු වෙනවා.


ඒ වගේම කෙනෙක් තව කෙනෙක්ට වඳින්නේ, ආසනයෙන් නැගිටින්නේ එයා කෙරෙහි ඇති ගරුත්වයෙන්. ඒක ගරු කරන්නාගේ හදවතින් පැමිණිය යුතු දෙයක්. මට ගරු කරපන් කියා කෙනෙක් එහෙම ඉල්ලනවා නම් ඒ පුද්ගලයා කවරෙක්ද යන්න කියන්න ඕනේ නැහැනේ. මේ වගේ තිරස්චීන අදහස් බුදු දහම තුළට ඇතුලත් වී තිබීමෙන් පැහැදිලි වෙන්නේ එය කොයි තරම් නම් දුරකට අනුගාමිකයන් විසින් විකෘති කර තිබෙනවාද යන්න.

දහමට, බුදුන් වහන්සේට කළ හැකි ඉහළම නිගරු කිරීම් කර ඇත්තේ වෙනත් මිත්‍යා දෘෂ්ටිකයන් විසින් නොව ඒ මග යන්නේ යයි කියමින් තමන් එහි උරමකරුවන් ලෙසින් ක්‍රියාකරමින් මේ විදියට දහම විකෘති කළ පුද්ගලයනුයි.

''ගෙදර බුදුන් අම්මා'' යයි ධර්මයේම සඳහන් වෙනවා. ''අමා මෑනි'' ලෙසින් බුදු හිමියන්ව හඳුන්වා තිබෙනවා. ඉතින් එහෙම ගරුත්වයක් කාන්තාවට එක් පසෙකින් දෙන අතරේ මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද... ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් මෙහිලා හේතු වී තිබෙන බව කියන්න පුළුවන්.

අනෙක් අතට, බුදු හිමියන්ට කාන්තාවට විමුක්තිය අත් කර දිය යුතු බවට අවබෝධ කරවන්න, මාර්ග ඵලයක්වත් ලබා නැති ආනන්ද හිමියන් වුවමනා වුණාද... කතාවේ හැටියට, ආනන්ද හිමියන් නොවෙන්න කාන්තාව කියන මිනිස් අර්ධය සඳහා විමුක්ති මාර්ගයක් නෑ කවදාවත්. ඒ සඳහා ඇය අනිවාර්යෙන්ම පිරිමි ආත්මයක් ලබන්න ඕනේ... ඒත් කාන්තාවක් තිරිසන් ආතමයක උපත ලැබුවත් ඒත් කාන්තාවක් ලෙසින්ම බවට ධර්මයේ සඳහන් වෙනවා කියලා ධර්ම දේශනාවකදී සඳහන් වෙලා තියෙනවා. ඒ විදියට බැලුවාම ආනන්ද හිමියන් නොවෙන්න කවදාවත් කාන්තාවට විමුක්තියක් නෑ.


සකල සත්වයාට උපත දෙන, මහ පොළවේ ජීවත් වෙන්න හයි හත්තිය ලැබෙනකල් මහා කැප කිරීමකින් හදා වඩන, බුදු වරයෙක්ටත් උපත දෙන, කාන්තාවට විමුක්ති මාර්ගය ඇහිරෙනවා සම්පූර්ණයෙන්ම ආනන්ද හිමියන් නොවෙන්න... මට කල්පනා වෙන්නේ මේ වගේ කතා කියූ අය කුමන අපායක ඇතිද යන්න....

Tuesday, December 6, 2016

නිවන සහ සිය දිවි නසා ගැනීම....

 'නිවන' කියන්නේ අපේ පැවැත්ම සසරටම බලපාන පරිදි නවතා දැමීම. එතකොට දිවි නසා ගැනීම කියන්නේ අපේ මේ ජීවිතය පමණක් අවසන් කර ගැනීම. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ, ධර්මය තුළත් නීතිය තුළත්, ආචාර ධර්ම තුළත් දිවි නසා ගැනීම පාපයක්, අපරාධයක්, නොකළ යුත්තක් ලෙසින් සඳහන් වෙද්දී, 'නිවන', පරම සැප ඇති ඒ වගේම මේ ලෝකයේ ඇති උත්තරීතරම දෙයක් ලෙසින් ප්‍රකාශ වීම.

දිවි නසා ගත්තොත් අහිමි වෙන්නේ මේ ජීවිත කාලය පමණයි. නැවත අලුත් තැනකින්, අලුත් ආකාරයකින් අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒත් නිවන් දැක්කොත් සහමුලින්ම අපේ ජීවිතය එතනින් අහිමි වෙනවා. ඉතින් එහෙම බලනවා නම් විශාලතම අපරාධය වෙන්නේ නිවන් දැකීම නෙවිද...

කෙනෙක් දිවි නසා ගන්න හිතන්නේ මේ ජීවිතයේ දුක් පීඩාවන් දරා ගන්න බැරිව. කෙනෙක් නිවන් දකින්න හිතන්නේ මේ ජීවිතයේ නොව, හැම ජීවිතයකම වාගේ දකින්න ලැබෙන දුක් කරදර විඳින්න තියෙන අකමැත්තෙන්. ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවාද..?


ඉතින් මෙහෙම බැලුවාම හරි නම් මිනිස්සුන්ට දිවි නසා ගැනීම සඳහා හැම උපකාරයක්ම කරන්න ඕනේ... දිවි නසා ගැනීම සඳහා පහසුකම් ව්‍යාප්ත කරන්න ඕනේ... ඒත් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ ඇයි....?

අපි හිතමු බැරි වෙලාවත් සමාජයෙන් අඩක් හෝ ආසන්න පිරිසක් නිවන් දකින්න සමත් වෙනවා කියලා. එහෙනම් අනිවාර්ය ලෙසම නීතිය දේශපාලනය මැදිහත් වෙලා මේ නිවන් දකින එකටත් තහංචි පනවන්න අනිවාර්ය ලෙසම  කටයුතු කරනවා. මොකද සමාජයේ පැවැත්ම එතනදී අර්බුදයට යන නිසා. නිවන් මග යන්න අවම වයස් සීමාව අවුරුදු 60 හෝ 65 ඉක්මවන්න ඕනේ කියලා නීතියක් අනිවාර්ය ලෙසම එනවා. නිවන් මග කියා දෙන අයත් ඒක අනුමත කරාවි තමන්ට උපාසක උපාසිකාවන් කියන පිරිස නැති වෙලා යන හින්දා...

සමාජයෙන් වැඩි පිරිසක් නිවන් දකින්න ගියොත් උපත් අනුපාතය එන්න එන්නම අඩු වෙන නිසා නිවන් දැකීම උදෙසා වන සීමාවන් තව තවත් පුළුල් වෙන්න ඉඩ තියෙනවා. සමහර විට සම්පූර්ණයෙන්ම තහනම් කරන්න වුණත් ඉඩ තියෙනවා. ඒත් දැන් අපි කතා කරන නිවන ලඟා කරගන්න බොහොම අසීරුයි. නිවන් දැක්ක කෙනෙක් හොයා ගන්නත් නෑ... නිවන් මග දන්න, ඒ ගැන කියා දෙන, ඒ මග යන අය පමණයි ඉන්නේ. ඒ නිසා සමාජයට කිසිම බලපෑමක් නෑ. ඒ නිසා එවැනි ප්‍රතිවිරෝධයක් එන්නේ නෑ.

හැබැයි මෙතනදී තව දෙයකුත් වෙන්න පුලුවන්. ඒ තමයි සමාජය තුළ නිවන කියන එක අධි තක්සේරුවකට භාජනය වෙලා ඒක ජීවිතයේ ලැබිය හැකි පරම විමුක්තිය ලෙසින් පෙනී යනවා නම් ඒ සමාජය අතුරුදන් වෙලා ගියත් කමක් නෑ කියලා සම්පූර්ණයෙන්ම එයට ආධාර අනුබල ලැබෙන්නත් පුළුවන්.


දිවි නසා ගැනීම පාපයක් වෙලා, දුර්වලකමක් වෙලා, නිවන් දැකීම ලොකුම කුසලයක්, උත්තරීතරකමක් වෙන තැන මොකක්ද... ඒ තැන තමයි, නිවන් දකින්න නම් අපේ සිත පාරිශුද්ධ වෙන්න ඕනේ කියන තැන. ඒ කියන්නේ ලෝබ, ද්වේශ, මෝහ තුනෙන් අපේ සිත මිදෙන්න ඕන. එතකොට, සසර ගමන සඳහා වන ශක්තීන් ඇන හිටීමක් සිදු වෙන බවයි සඳහන් වෙන්නේ. නමුත් කෙනෙක් දිවි නසා ගන්නේ ලෝබ, ද්වේශ, මෝහ තුනම එක් වෙලා වෙන්න පුලුවන්.

ඉතින් කෙනෙක් ඉපදීමට, ලෙඩ වීමට, මරණයට පත් වීමට, වියපත් වීමට, ප්‍රියයන්ගෙන් වෙන් වීමට බියෙන් නිවන් දකින්න හිතනවා නම් එතන තියෙන්නෙත් ලෝභ, ද්වේශ, මෝහ තුනම නෙවිද...? මේ දේවල් උපේක්ෂාවෙන් දරාගෙන ජීවිතයට මූණ දෙන්න බැරිකම තුළ තියෙන්නේ අධික රාගය, තන්හාව, ද්වේශය සහ මෝහය.

අපේ සිත් තුළ, අලෝභය, අද්වේශය, අමෝහය ඇති වෙලා නම් ඒ ජීවිත තුළ පුදුමාකාර නිවීමක්, ශාන්තියක්, සැනසීම, ප්‍රභාෂ්වර බවක්, ප්‍රඥාවන්ත බවක් දිස් වෙන්න ඕන නේද... සිත් තුළ ආදරය, කරුණාව දයාව උතුරලා යන්න ඕනේ.... ඒත් නිවන් මග ගැන අපට කියා දෙන බොහෝ අය තුළත්, ඒ මග ගමන් කරනවායයි කියන බොහෝ අය තුළත් දැක ගන්න තියෙනවාද ඒ ලක්ෂණ....


ඒ වෙනුවට දකින්න තියෙන්නේ සාමාන්‍ය අයටත් වඩා පහළ වැටුණු මානසික තත්වයන්. සමහර අය විකෘති ලිංගික ආශාවෙන් පෙළෙනවා. තවත් අය වෙනත් ලිංගික නියුරෝසීය රෝගීන්. තවත් අය ජීවිතය හොඳටෝම කලකිරිලා. ඔවුන්ගේ ජීවිත තුළ සතුටක් කියා දෙයක් ඇත්තේම නෑ. තවත් අය අත්හරිනවා යයි කියමින් දේවල් බදා ගනිමින් සිටිනවා. බලය වෙනුවෙන් උමතු වී කටයුතු කරමින් සිටිනවා.  සම්පූර්ණයෙන්ම දෙබිඩි ජීවිත තමයි මේ අය ගත කරමින් සිටින්නේ. ඒ අනුව අපිට පේනවා මොකක්දෝ වරදක් මෙතනදී සිදු වී ඇති බව. ඇත්තටම මොකක්ද අපිට වැරදුණු තැන...?

ඒ වැරදුණු තැන තමයි, ජීවිතයට බියෙන් හෝ අධික රාගයෙන් ජීවිතය කිසිම දුකක් කරදරයක් නැතිව පරිපූර්ණ සැපයෙන්ම ගෙවිලා යන්නේ නැති නම්, ඒ කියන්නේ ඉපදීම දුකක් වෙන්න බෑ, ලෙඩ දුක් හැදෙන්නම බෑ, වියපත් වෙන්න බෑ, මැරෙනවා නම් ඒ අවුරුදු දහස් ගණනක්වත් ජීවත් වෙලා, ඔන්න ඔය ආකාරයෙන් ලැබෙන්නේ නැති නම් මට ඒ ජීවිතය එපා, ඊට වඩා හොඳයි මේ ඉපදීම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එක කියලා හිතලා කටයුතු කරන එක. නමුත් මේ මගින් කවදාවත් අපිට අපේ සිත් පාරිශුද්ධ බවට පත් කර ගන්න බෑ තව දුරටත් අපවිත්‍ර වෙනවා හැරෙන්න.

එහෙනම් මොකක්ද නිවැරදි මඟ... ඒක තමයි අපේ සිත පරාර්ථයෙන් පුරවා ගන්න එක. ඒ තුළ ලෝභ, ද්වේශ, මෝහ වලට හේතු වෙන බොහෝ සිතිවිලි ක්ෂය වී යනවා. ඉන් පස්සේ අපිට තීරණය කරන්න පුළුවන් දිගටම පැවැත්ම තුළම ඉඳිමින් එහි ලඟා කරගන්න පුළුවන් උත්තරීතරම තත්වයක් වෙතට ගමන් කරනවාද, එහෙමත් නැත්නම් උපේක්ෂාවෙන් යුතුව පැවැත්ම නතර කිරීමට ක්‍රියා කරනවාද කියන එක. අපි කවුරුවත් දන්නේ නෑ අපේ සිත් ඉතාම පවිත්‍ර බවට පත් කර ගත්තොත් පැවැත්ම තුළ ලඟා කර ගන්න පුළුවන් උත්තරීතර තත්වය, විඳීම මොකක්ද කියන එක... දිව්‍ය, බ්‍රහ්ම වැනි පැවැත්මවල් ඒ වගේ ජීවිතවලට සාමාන්‍යයෙන් නිදසුන් හැටියට දැක්වෙනවා.


නමුත් අපි ඒවායේ ජීවිත විඳීම, සිතේ පවත්නා ශාන්තිය, සතුට කොයි වගේ වෙන්න පුළුවන්ද කියලා හොයා බලා නෑ... ඒ වගේම නිවනටම ප්‍රමුඛස්ථානය දීම නිසා, අපේ සිත් පැවැත්ම තුළ කොයි තරම් උත්තරීතර දුරකට ගෙනියන්න පුළුවන්ද කියන එක සම්පූර්ණයෙන්ම අවධානයෙන් ගිලිහිලා තියෙනවා. ඒ ගැන කිසිම කෙනෙක් සොයා බලන්නේ නෑ.  ජීවිතයේ විමුක්තිය පිළිබඳ ගමන් මාර්ගයේදී කෙනෙක් නිවන හෝ පැවැත්ම කියන දේ තෝරා ගන්න ඕනේ ඒ දෙකම ගැන අවබෝධයෙන්.

Monday, December 5, 2016

ළමා ලෝකයේ සුරංගනාවිය, ජානකී සූරියාරච්චි - Janaki Sooriyarachchi - The Angel in the Child World

කවර හෝ ක්ෂේත්‍රයක ප්‍රගමනය සඳහා 'විචාරය' කියන දේ විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඒත් අපේ රටේ විචාර කලාව යනු, තමන්ගේ කුමක් හෝ වාසි ප්‍රයෝජනයක් වෙනුවෙන් විචාර න්‍යායන් 'කෙන්ද කන්ද කිරීමේ' ක්‍රමයට අනුව උපයෝගී කර ගන්නා හෝ තමන්ට භෞතිකව හෝ මනෝමූලිකව හෝ තරගයක් ඇති පුද්ගලයන්ව විනාශ කිරීම සඳහා හෝ භාවිතා කරන උපකරණයක් පමණයි.

මේ බව තමන්ට අසාධාරණයක් සිදු වූ විට බොහෝ අයත්, මධ්‍යස්ථ ඉතාම සුළු පිරිසකුත් පිළිගන්නා සත්‍යයක්. මේ වන විට සකල විධ කලාවන්ගේ තියෙන පරිහානියට එක් හේතුවක් විචාර කලාවක් නොමැති වීම. නමුත්, එය ප්‍රමුඛම හේතුව නොවෙයි. ලෝකය තුළ සිදු වූ ආර්ථික හා එමගින් ඇති වූ සමාජයීය වෙනස්කම් තමයි ප්‍රමුඛම සාධකය.


සමාජයට යුග මෙහෙවරක් ඉටු කළත් එය ඇගයීමට ලක් නොවූ අය බොහෝ සිටිනවා. ඉන් මේ මොහොතේ අපේ අවධානයට ලක් වූ දෙදෙනෙක් තමයි ළමා ලෝකයේ සුරංගනාවිය ලෙසින් හැඳින්වෙන ජානකී සූරියාරච්චි සහ සිංහල පරිගණක සාහිත්‍යයේ පුරෝගාමියෙක් වන එන්. පී. විජේරත්නයන්. මේ දෙදෙනාටම එසේ වීම සඳහා බලපෑ ප්‍රමුඛම හේතුව, ඉතා සීමිත පාඨක පිරිසක් සිටින, කියවීමේ සංස්කෘතියක් නැති අපේ රට තුළ, ඔවුන්ගේ සුවිශේෂ හැකියාවෙන් වෙළඳ පළ තුළ විශාල වශයෙන් සාර්ථක වීම.

මේ තුළ ඔවුන්ගේ සගයන් ඊර්ෂ්‍යාවෙන් මිරිකී වෛර බැඳ ගත්තා. ඔවුන්ගේම ක්ෂේත්‍රයේ නොවුණත් 'කලාකරුවන්' යන කුලකයට අයත් වීම නිසා, තමන්ට නොමැති සාර්ථකත්වයක් අත් කරගැනීමේ වේදනාව තුළ අනෙක් කලාකරුවනුත් ඒ මගම ගනු ලැබුවා. එහෙත් ඔවුන් සතු හැකියාවන් ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කළ හෙයින් ඔවුන් ජනතාවගේ හදවත තුල ආදරයෙන් ලැගුම් ගත්තා.


කියවීමට නොසන්සිඳෙන ආශාවකින් සිට මගේ කුඩා කාලයේ පොත් හළකට ගිහින් පුංචි ළමා කතා තෝරන විට මගේ සිත් ගැනීමට සමත් වුණේ ඉන් එකක් පමණයි බොහෝ විට. එයත් වෙන තෝරා ගැනීමක් සඳහා ඒ පොත් මිටියේ වෙනත් එකක් නොමැති වීම තුළ. බොහෝ පොත්වල නිමාව ඉතාම ප්‍රාථමික තත්වයේයි තිබුණේ. අක්ෂර වර්ග හා ප්‍රමාණය, කඩදාසි වර්ගය, පිට කවරය, චිත්‍ර මේ කිසිවක් සිත් ගන්නා තත්වයේ තිබුණේ නෑ. ළමා මනස අවබෝධ කරගනිමින් ඒවා නිර්මාණය වී නොතිබීමයි ඊට හේතුව.

කුඩා කාලයේ අපේ සිත් ගැනීමට සමත් චිත්‍ර හා කතා රචකයන් සිටියේ අතලොස්සක් පමණයි. සිබිල් වෙත්තසිංහ, පියල් සමරවීර, හිඟුල්වල දිසානායක ඉන් කිහිප දෙනෙක්. විජය පුවත් පතේ තවත් ළමා සිත් බෙහිවෙන් ඇද ගැනීමට සමත් චිත්‍ර ශිල්පියෙක් සිටියත් අවාසනාවට එතුමාගේ නම මගේ මතකයට පැමිණෙන්නේ නෑ මේ අවස්ථාවේ.

කොහොම වුණත් කියවීමේ නිති පිපාසයෙන් සිටි අපට ප්‍රමාණවත් තරම් කතා මේ කලාකරුවන්ගෙන් හිමි වුණේ නෑ. යම් තරමින් හෝ අපේ සිත් ඔවුන් මැවූ ලෝකය තුළ රඳවා ගැනීමට හැකි වුණේ විජය වැනි පුවත් පතකින් සති පතා හමු වූ නිසයි.

අපේ කුඩා කාලය එසේ ගෙවී ගියත් මේ යුගයේ කුඩා දරුවන් අතිශයින්ම වාසනාවන්ත වී තිබෙන්නේ සාහිත්‍ය ලෝකයට ජානකී නම් ඔවුන්ගේ සුරංගනාවිය පැමිණීම නිසයි. ළමා ලෝකය ඇය නිසා කොතරම් විචිත්‍ර වී තිබෙනවාද යන්න ඇය ලබා තිබෙන විශාල ජනතා ආදරය තුළින් පමණක් නොව මගේ පෞද්ගලික අත්දැකීමක් තුළින්ද වටා ගන්න පුළුවන්. පොත් හළක් ආරම්භ කිරීම සඳහා පොත් තොගයක් ගෙන ඒමේදී ගෙන ආ ළමා පොත් අතර විශාලම වශයෙන් තිබුණේ ඇගේ පොත්. ඒ, ලමා පොත් තේරීමේදී මගේ අතින් සිදු වූ දෙයක්.


තරුණයෙක් වුණත් ඒ අවස්ථාවේ මගේ ළමා ලෝකය මා වෙතට නැවත ගෙන ඒමට ඇගේ පොත් සමත් වුණා. ඒ පොත් සඳහා මගේ සිත කොතරම් ඇදී ගියාද කිවහොත් ඒවා අලෙවි කිරීම සඳහා යොදා ගැනීමට මගේ සිත ලෝබ වුණා. පසු කාලයක ඇගේ පොත් කියවන විට, චිත්‍ර, නිමාව පමණක් නොව ළමා ලෝකය තුළ වැජඹීමට ඇය තුළ පවත්නා සාහිත්‍යමය දක්ෂතාවද අවබෝධ කර ගැනීමට හැකි වුණා. ඒ සඳහා වන මනෝ විද්‍යාත්මක දැනුම, සමාජයීය දැනුම, භාෂා හැකියාව, පරිකල්පන ශක්තිය, ළමා ලෝකයේ ජීවත් වීමේ හැකියාව, නිර්මාණ ශක්තිය ආදී සියලුම හැකියාවන් මැනවින් ඒ තුළ දැක ගත හැකි වුණා.

ඇයට නොයෙක් නොයෙක් අවලාද නගන්නන් එසේ කරන්නේ අඩුම වශයෙන් ඇගේ පොතක් කියවාවත් නොවෙයි. සමහර විටක පෙරළා බලාවත් නොතිබෙනවා වන්නටත් පුළුවන්.

''එයාට යාන්තම් චිත්‍ර අඳින්නත්, පරිගණකයෙන් වර්ණ දාන්නත්, ඉංග්‍රීසි පොත්වලින් කොපි කරලා මොකක් හරි කතාවක් ගොතන්නත් පුළුවන්... ඒකෙන් තමයි එයා ඔය ජනප්‍රිය වෙලා තියෙන්නේ...''

මෙහෙම කිව්වේ ඇගේ ක්ෂේත්‍රයේවත් ඉන්න කෙනෙක් නෙවි. කාගෙන් හෝ අහන්න ලැබුණු දෙයක් කට පාඩම් කරගෙන.


සමහර පුද්ගලයන් ඇයට චෝදනා කළේ ඇය ප්‍රවීණ ළමා සාහිත්‍යවේදිනයක් වන සිබිල් වෙත්තසිංහයන්ගේ චිත්‍ර කොපි කර ඔය තත්වයට ආ බව. සමහර පාඨකයන් තුළත් විශ්වාසයක් තියෙනවා ඇය සිබිල් නැන්දාගේ ගෝලයෙක් වන බවට.

තවත් පුද්ගලයෙක් චෝදනා කර තිබුණේ ඇයගේ පොත් කියවන ළමුන් හිස්ටරිකයන් බවට පත්වන බවට. ඒත් ඔහු එසේ චෝදනා කළේ ඔහුගේ ඉතාම සමීප කෙනෙක්ගේ අසාර්ථකත්වය පිළිබඳ වේදනාව නිසා.

මෙවැනි ඉතාම ම්ලේච්ඡ ආකාරයේ පරිභවයන්, කුඩා ළමයෙක් වැනිම හදවතක් හිමි ඇය බෙහෙවින් වේදනාවට පත් කළ නිසා සාහිත්‍ය ලෝකයෙන් ඈත්ව ළමා කාටූන් නිර්මාණයට ඇයව යොමු කළාද යන අදහස මගේ සිතට එනවා. මේ කුරිරු ප්‍රහාරයන් හමුවේ තනිවම ඇය හඬා වැලපුණා ඇයට ඒවා දරා ගැනීමට නොහැකිව. ඒ බව මා සිතන්නේ කිසිවෙක් හෝ දන්නේ නෑ.

ළමා සාහිත්‍යයට ඇය කළ සේවය යාන්තමින් හෝ ඇගයීමට ලක් වූයේ වාර දෙකක් පමණයි.. ප්‍රථම වරට, ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරයෙක් සංස්කෘතික අමාත්‍යාංශය භාරව සිටියදී. ඊටත් පසු කාලයක 2015 වර්ෂයේදී.

අපි, ඊලඟ ලිපියෙන් විමසා බලමු, ජානකී සූරියාරච්චිගේ නිර්මාණ පිළිබඳව.



Saturday, December 3, 2016

ඔලුවෙන් මැවූ ලෝකය...

මිනිසා කියන්නේ සංකල්පීය සත්වයෙක්. ඒ කියන්නේ ස්වාභාවික ලෝකයක් වෙනුවට ඔලුවෙන් මවා ගත් ලෝකයක ජීවත් වෙන පුද්ගලයෙක්. අනෙකුත් සත්වයන්ගෙන් වෙනස්ව මිනිසාට විතරක් එහෙම වුණේ ඇයි...? ඒකට හේතුව ඔහුට හිතන්න පුළුවන් වීම. අනෙක් සතුන්ගේ සිතීමේ හැකියාවන් ඉතාමත් සීමිතයි. ඒ සීමිතභාවය තව දුරටත් වර්ධනය කරනවා ඔවුන්ට 'භාෂාවක්' කියලා දෙයක් නිපදවා ගන්න නොහැකි වීම නිසා. භාෂාවක් නොතිබුණා නම් ඉතින් මිනිසාත් අනෙකුත් සත්වයන්ගෙන් ඒ තරම් වෙනස් වන එකක් නැහැ. මොකද අපි හිතන්නෙත් භාෂාවක් තුළින් නිසා.

කොහොම හරි මෙහෙම සංකල්පීය සත්වයෙක් වීම නිසා මිනිසාට වුණු ''හොඳ'' වගේම 'නරකත්' තියෙනවා. ''හොඳ'' තමයි, ලෝකය, ජීවිතය ගැන අර්ථකථනයක යෙදෙන්න ඔහුට හැකි වීම. ඒ මගින් ජීවිතයේ විඳීම් පරාසය පුළුල් වීම. ඒ කියන්නේ ජීවිතය ලස්සන වීම. ඒ වගේම ඒ මගින් ඔහු නිපදවා ගත් ''දැනුම' නිසා ඔහුගේ භෞතික ජීවිතයත් වඩ වඩාත් සැපවත් සහ ස්ථාවර වුණා.

''නරක'' තමයි, ඔහු විසින් ලෝකය සහ ජීවිතය ගැන සපයා ගත් අර්ථකථන වනාහී බොහෝ විටම 'යථාර්ථය' මත පදනම් වූවක් නොවන නිසා ඒවායින් ඔහුටම අනේක විධ ගැහැට විඳින්න සිදු වීම. මිනිසාට මෙහෙම වුණේ ඔහුගේ ලෝකය සංවේදනය කර ගැනීමේ සංජානන ඉන්ද්‍රිය පද්ධතියේ සීමාකමක් බලපාලා එහෙම නෙවි... ඒකට ප්‍රධානතම හේතුව ඔහුගේ සිත අරක්ගත් ආත්මාර්ථය.

ඒ 'ආත්මාර්ථය' නොවෙන්න ඔහුට බොහෝ දුරට 'යථාර්ථයට'ට සමීප වෙන්න හැකියාව තිබුණා. මිනිසා, සියලු ආචාර ධර්ම, දර්ශනයන් තනාගෙන තියෙන්නේ මේ ආත්මාර්ථය තුළ බොහෝ විට. ඉන් මිදී තිබෙනවා නම් ඒ ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක්. 'සත්‍යය' යනුවෙන්, 'යථාර්ථය' යනුවෙන් එකක් මිසක් දෙකක් තියෙන්න බෑ යම් කරුණක් සම්බන්ධයෙන් ගත්තාම. ඒත් ලෝකයේ එකම කරුණක් සම්බන්ධයෙන් සත්‍යයන්, යථාර්ථයන් කීයක් නම් පවතිනවාද... මේකෙන් පේන්නේ මොකක්ද... මේවායින් එක්කෝ එකක් සත්‍යයයි. නැති නම් සියල්ලම අසත්‍යයයි කියන එක.


''කන්න ඕනෙ වුනාම කබරගොයාත් තලගොයා වෙනවා'' කියන පිරුළ තමයි ලෝකයේ තියෙන 'දැනුම' සම්බන්ධයෙන් ගත්තාම දෙන්න තියෙන හොඳම අර්ථකථනය. දැන් බලන්න කාන්තාව කියන කෙනා සම්බන්ධයෙන් බටහිර ජාතිකයෙක් තුළත්, ඉස්ලාමීය මූලධර්මවාදියෙක් තුළත්, ආසියාතිකයෙක් තුළත් තියෙන හැඟීම.... මේ තුන් දෙන්නාට එයාව හැඟෙන්නේ එකිනෙකට වෙනස්ම විදියට... ඒ වෙනස ඇති කළේ කවුද... ඒ ඒ සමාජයේ දෘෂ්ටිවාදයන් විසින් නෙවිද... එතකොට ඒ සමාජයට එන අලුත් දරුවන් ඒ දෘෂ්ටියේ ගොදුරක් බවට පත් වෙනවා. බැරි වෙලාවත් ළදරු කාලෙම ඒ දරුවා වෙනත් සමාජයකට ඇදලා දැම්මොත් මොකද වෙන්නේ...

මෙතනදී අපිට පේනවා මිනිසා මැටි ගොඩක් වගේ කියන එක. එයාව ඕන ඕන හැඩේට අඹන්නේ ප්‍රතිමා ශිල්පියා විසින්. එයාගේ ආකල්පවලට අනුව. කෙනෙක් ප්‍රතිමාවක් නම් අඹන්නේ බොහෝ දුරට මුදල් වැනි සරල වුවමනාවක් වෙනුවෙන්. ඒත් සමස්ත මිනිස් සමාජයක් වෙනුවෙන් සංකල්ප නිර්මාණය කරන්නේ බල වුවමනාව, මනෝ මූලික අවශ්‍යතාවන්, මානසික රෝගී තත්වයන් වැනි සාධක හේතුවෙන්. එසේ නොවී ආදරය, කරුණාව, පරාර්ථය මතින් පදනම්ව නිර්මාණය වී ඇති සංකල්පයන් ඉතාමත් සීමිතයි. මිනිස් සමාජයේ යහපත වෙනුවෙන් නිර්මාණය වී තියෙන සංකල්පයන්ගෙන් වුණත් බොහෝ දුර නිර්මාණය වී තියෙන්නේ ආත්මාර්ථකාමීව. ඒ කියන්නේ සෙසු සත්වයන්, ශාක, පරිසරය නොසලකා හරිමින්. මීට පටහැනිව පරාර්ථය මතින් පදනම්ව ගොඩ නැගුණු සංකල්පයන් සමාජවලින් එක්කෝ ඉවත් වී තිබෙනවා. නැති නම් තමන්ට ඕනෑ ආකාරවලට සංශෝධනය කරගෙන තිබෙනවා.

කෙනෙක් කියා තිබෙනවා 'මිනිසා වෙනස් වී නැහැ'' කියලා. ඒකේ අදහස, එදා හිටපු මිනිසාමයි අදත් ඉන්නේ කියන එක. ඔහු කායික සහ බුද්ධිමය පරිණාමයකට හසුව තිබුණත් අධ්‍යාත්මික පරිණාමයකට හසුව නෑ කියන එක. හොඳින් බැලුවාම අපිට පේනවා ඒ කරුණ සත්‍යයක් කියන එක. එදා ඔහු සතුව තිබූ දුර්ගුණයන් එකක්වත් අදටත් වෙනස් වී නෑ... ඒත් සංකල්පීයව යම් පාලනයක් බාහිරින් ඇති කර තිබෙනවා. ඒත් ඒක උත්තරාරෝපිත දෙයක් නිසා 'තත්වයන්' වෙනස් වන විට ඒ හා සමගම ඔහුගේ මුල් ස්වභාවය වහා ඉස්මතු වීම සිදු වෙනවා.

මනෝ විද්‍යාවේ දැක්වෙනවා අපේ සිතේ පදනම, 'ඉඩ්' අහංභාවය යනුවෙන්. ඒ තුළ තියෙන්නේ නරුම ආත්මාර්ථකාමීත්වය. කෙසේ හෝ තම අවශ්‍යතාවන් ඉටු කර ගැනීමේ වුවමනාව පමණයි... එහෙත් ඒ තුළින් පොදුවේ තම වර්ගයාගේ පැවැත්ම අනතුරට ලක් වන බව යම් යම් අයට ඒත්තු යාම නිසයි ඒ ඒ සමාජයන් තුළ 'ආචාර ධර්ම' පහළ වෙන්නේ.


ඒත් මිනිස් සිතේ පදනම, 'පරාර්ථය' බවට පත් වුණා නම් මේ ලෝකයේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තිබුණා. අපි කියවන 'සුරංගනා ලෝකයක්' වගේ වෙන්න තිබුණා. කෙනෙක් කියන්න පුළුවන් විද්‍යාත්මක බැලුවාම 'ආත්මාර්ථය' මිසක් 'පරාර්ථය' මේ ජීව ලෝකයේ උරුමය වෙන්න හැකියාවක් නෑ කියලා. නොයෙකුත් විද්‍යාවන් ඔස්සේ සොයා බලනකොට නම් එහෙම හිතන්නත් හිතෙනවා. ඒත් ටිකක් රාමුවෙන් පිට පැනලා අපි කල්පනා කළොත්, ජීවය කියන එක එහෙම ආත්මාර්ථකාමීම වෙන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. අජීවයට සාපේක්ශව ගත්තාම ජීවය කියන්නේ විස්මිත නිමැවුමක්. ඒක ඇත්තයි.

ඒත් ජීවය කියන දේ, ජීවය එක්කම සටන් කරන්න ඕනෙ නැහැනේ... එතන තියෙන්නේ ආත්මාර්ථය. එහෙම නොවී ජීවයට සිය සටන අජීවය සමග පමණක් පවත්වා ගන්න තිබුණා. ඒත් අපි දන්න පෘථිවිය තුළ ඒක එහෙම වෙලා නෑ. මේ මහා විශ්වයේ වෙනත් සොඳුරු ලෝකයක එසේ වී තිබෙනවාද යන්න අපිට කියන්න බෑ. මේ ආත්මාර්ථය කියන දේ වඩාත් වර්ධනය වෙන්නේ ජීවය සංවර්ධනය වීමත් එක්ක කියන එක අපිට පේනවා. ඒ කියන්නේ ශාක ලෝකයේ මේක සාපේක්ෂව අඩුයි. ඒත් සත්ව ලෝකයට එන විට මේක වර්ධනය වී තිබෙනවා. ලොකු කුඩා හැම සත්වයෙක් තුළම වාගේ මූලික ගාමක බලවේගය මේක. සමහර විටක අනන්ත කාලයක සිට ජීවය ආත්මාර්ථය සහ පරාර්ථය ලෙසට බෙදී යාම නිසා පෘථිවිය වැනි ලෝකයක මෙවැනි තත්වයක් ඇති වුණා වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් සමාජ සංවර්ධන උපකරණ මගින් මිනිසුන් සතු ඉඩ් අහංභාවය යම් තරමකට පාලනය කරන්න පුළුවන්. ඒත් ඒක තාවකාලිකයි. මහින්දාගමනයෙන් පසුව අහිංසාවාදී පිළිවෙතකට ගිය අපේ ජනතාව අද ඉන්න තත්වය දිහා බැලුවාම ඒක අවබෝධ කරගන්න ලේසියි. ඒත් ඉඩ් එක ක්ෂය කරන්න නම් මේ ගැන ඔහුටම අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඒක අභියෝගාත්මක කාර්යයක්.  අනන්ත කාලයක් තිස්සේ ආත්මාර්ථයටම හුරු පුරුදු වීම නිසයි එහෙම තත්වයක් ඇති වෙලයි තියෙන්නේ.