පියවි ටෙලි සිතුවම මේ වන විට දෙවරක්ම රූප තිරයෙන් දැක ගන්නට ලැබුණා. එය මුල් වර විකාශයේදී අතිශය ජනප්‍රිය වූ එකක්. මේ කතාව විකාශය වන දිශානතිය අනුව, හැඟීම්බර වන ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ ඉන්දි සහ විසල් අතර එක් වීමක් වීම වලක්වන්න බෑ. එතනදී ප්‍රේක්ෂකයාද අපහසුතාවට පත් වන තත්වයකුයි නිර්මාණය වන්නේ.
ඇත්තටම විසල් පසුගිය ආත්මයේදී ඉන්දිට ස්ව ආත්මයෙන්ම ආදරය කළේ නම් මේ ආත්මයේදී ඇයව අහිමි වන තීරණයක් ගන්නේ නැත. මන්ද මේ ආත්මයේදී වෙනත් කෙනෙකුට ආදරය කරන විට ඉන්දිව ඊලඟ බවයන්හිත් අහිමි වන බැවින්. එසේ නම් ඔහු කරන්නේ තත්වය වර්තමාන පෙම්වතියට කරුණාවෙන් පැහැදිලි කර දී ඇගේ අනුමැතිය ඇතිව ඉන්දි හා එක් වීමයි. ඒ වගේම වර්තමාන පෙම්වතියට ඔහු ඇත්තටම ආදරය කළේ නම් කිසි සේත් පසුගිය ආත්මයේ පෙම්වතිය වෙනුවෙන් ඇයව ඇත්හැරීමේ අදහසක් ඔහුට එන්නේ නැත. මෙය, හතර බීරි කතාවක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් සත්‍යය එයයි.

ඉන්දිගේ ආදරය, පසුගිය ආත්මයේදී පමණක් නොව, මේ ආත්මයේදීත් පරම පවිත්‍ර සේ පවතියි. විසල්ට පෙම්වතියක් සිටින බව දැනගත් විට ඔහුව අත්හැරීමට පවා ඇයට හැකි වන්නේ ඇය තුළ උදාර හදවතක්, එතුළින් පණ ලබන ආදරයක් පවතින බැවින්. එහෙත් විසල්, පසුගිය ආත්මයේදී හෝ මේ ආත්මයෙදී හෝ දෙකින් එකකවත් තම හදවත තුළ සැබෑ ආදරය ඇති කර ගැනීමට අසමත් වූ අයෙක්.
කෙසේ වුණත් මේ කතාවේ හැටියට ඉන්දි වගේම වර්තමාන පෙම්වතියත් විසල්ට ආදරය කරන බැවින් සසරේදී ඔහු දිගටම අමාරුවේ වැටෙන්නට නියමිතයි. ඔහු පමණක් නෙවි ඉතින් පෙම්වතියන් දෙදෙනාත්. මේ වගේ ශෝචනීය සිදුවීම් වලට සසරේ මූණ නොපාන්නට නම් කරන්න තියෙන්නේ හැමදාමත් එකම කෙනෙක්ට මුළු හදවතින්ම ආදරය කරන එකයි. එවිට සිදුහත් යශෝදරා, පිප්පලී මානවක සහ භද්‍රකාපිලානී වගේ සසරේ හැමදාමත් එක්ව යන්න පුළුවන්.
ධර්මාශෝක චරිතය ලාංකීයයන් තුළ කවදත් ජීවත් වූ එකක් වුවත්, එය ඉතාමත් තදින් හදවත් තුළ සටහන් වූ අවස්ථාවක් ලෙස, අධිරජ ධර්මාශෝක නාට්‍යය හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් බොහෝ රසිකයන් එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් සතුටු වන බවක් දකින්නට නෑ. එයට හේතු කීපයක්ම තිබෙනවා.
මූලිකම කරුණ තමයි එය අවසන් වූ වේගවත් ආකාරය. ඉතා සුළු සිදුවීම් කතාංග විශාල ප්‍රමාණයක් පුරා ගෙන යාමට කටයුතු කළ අතරේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් අයත් පරිච්ඡේද නොසලකා හැර තිබීම. ඒ වගේම අශෝක සහ කෞර්වකී අතර ආදරය මහා ආදරයක් ලෙසින් කතාව පුරා ගෙන හැර දැක්වීමට උත්සාහ කළත් අවසානයේ එය පුස්සක් බවට පත් කර දැමීම. සිත් තුළ පරමාදර්ශ ඇති කර එය කඩා බිඳ දැමීම බලවත් හානියක් ඒ පුද්ගලයන් තුළ ඇති කරනවා. එය, කිසිසේත් නොකළ යුතු දෙයක්.

ඉතිහාසයේ ඇත්තටම කුමක් සිදු වුවත්, කතාව තුළ මේ දෙදෙනා අතර ආදරය මහා උත්කර්ෂයකට නැගෙනවා. කෞර්වකීව බේරා ගැනීමට ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන අශෝක, අවසානයේ කාලිංගය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම විකාර සහගතයි. ඒ වගේම අශෝක අතින් කෙසේ වුවත් සැම විටම වාගේ ආදරයේ පවිත්‍රත්වය ආකරක්ෂා කර ගැනීමට, එහි පූජනීය බව උත්කර්ෂයට නැගීමට සමත් වූ කෞර්වකීත් ඔහු හා යුධ වැදීමට ක්‍රියා කිරීම අතාර්කිකයි.
ප්‍රේමය වෙනුවෙන් කෞර්වකී කරන කැපවීම සැලකූ විට ඇය වන්දනීය චරිතයක්. එහෙත් එයට අශෝකගෙන් ලැබෙන ප්‍රතිචාරය? කිසිසේත් නොලැබෙන කෞර්වකීගේ පියාගේ ආශීර්වාදය ලබා ගැනීමට මහා උත්තම පුරුෂයෙක් ලෙසින් සැරසෙන එය නොමැතිව ඇය විවාහ කරගැනීමටත් අකමැති වන අශෝක, එක වරම ඒ පියාටම කිනිස්සෙන් ඇනීම සාධාරණීය කරන්න පුළුවන්ද. කතාව පුරාවටම මේ වගේ කැවුම් - ලුණු මිරිස් වර්ගයේ සිදුවීම් දැක ගන්න පුළුවන්.

මෙවැන්නක් සිදුවීමට බොහෝ දුරට හේතුව ලෙසින් සලකන්න හැකි වෙන්නේ මෙගා ටෙලියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ත්‍රාසය, භීතිය, ප්‍රේමය, කුතුහලය, පරමාදර්ශී ස්වභාවයන් එකට කැලතීමට යාමේ අවශ්‍යතාවයි. කිසියම් කතා වස්තුවකට යා හැකි යම් දුරක් තිබෙනවා. එයින් ඔබ්බට එය ගෙන යාමට යන්නේ නම් සිදුවෙන්නේ එකිනෙකට නොගැලපෙන, ආතාර්කික සිදුවීම් එයට එක් වීමයි. එයට තවත් උදාහරණයක් ලෙස, අතිශය ජනාදරයට පත් වෙමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත් වූ සිදූ නාට්‍යයයි. ඒ ජනප්‍රියත්වය නිසාම එය චුවින්ගම් එකක් සේ ඇදීමට යාමෙන් වූයේ කතාවේ මුලින් සිටි චරිතවල හැසිරීමට කිසිසේත් නොගැලපෙන සිදුවීම්, හැසිරීම් එයට එක් වී විකාරයක් බවට පත් වීමයි. වරක් එක් නාලිකාවක විකාශය වූ එක් නාට්‍යයක් මෙසේ දිගින් දිගමට ඇදීමට ගොස් සිදු වූයේ රචකයා මානසික රෝගියෙක් බවට පත් වීමයි.

කොහොම වුණත් මේ කතාවේ විකෘතියට හසු නොවූ චරිතයන්ද තිබෙනවා. දේවී, ධර්මා, ආචාර්ය රාධගුප්ත ඒ අතරට අයත්. ඔවුන් එසේ ආකරක්ෂා වුණේ ඒවාහි භූමිකාවන් අනවශ්‍ය ලෙස නිර්මාණය කිරීමට නොයාම නිසායි. දේවීගේ හැසිරීම ඉතාම පරමාදර්ශී එකක්. එසේම ඉතිහාසයේ කියවෙන ආකාරයටද ඇය රාජ භවනේ හෝ වාසය කිරීමට පැමිණ නැහැ. නිහඬ ජීවිතයක් ඇය ගත කර ඇත්තේ. ඒ වගේම ඇය මිහිඳු මහ රහතන් වහන්සේගේ හා සංඝමිත්තා රහත් තෙරණියගේද සත්‍ය මවයි.
කිසියම් කලා නිර්මාණයක් අවසන් වන විට රසිකයා තුළ සදානුස්මරණීය මතකයක්, කිසියම් පරමාදර්ශ සමූහයක සිතුවමක් ඇති වූයේ නම් එය, සාර්ථක හා උසස් නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුලුවන්. එයට එක් යම් සාර්ථක ආසන්න නිදසුනක් ලෙස බැද්දෙ කුලවමිය නාට්‍යය දැක්විය හැකියි.
ජීවිතයේ හමු වන ගිරි දුර්ග ගැන බෞද්ධ ආගමික පසුබිමක සිට විග්‍රහ කිරීමක් වෙසක් පෝදා විකාශය වූ ගිරි දුර්ග ටෙලි සිතුවමින් සිදු වුණා. තම සිතූ මනාපයේ තමන් ආදරය කරන පුද්ගලයා සමග පැමිණීම නිසා හතර වරිගයම අහිමි වූ ඇයට, තම සහකරුවාත් නීතී විරෝධී දැව ප්‍රවාහනය කිරීමේ වරද යටතේ රිමාන්ඩ් ගත වීම නිසා, ඇයටත් ඇගේ කුඩා දියනියටත් මුහුණ දීමට සිදුවන දුක් කරදර සමූහයයි මෙහි තේමාව වූයේ.
මෙහිදී ඇය රබර් කිරි කපන, රබර් ශීට් සාදන අවස්ථා අපට හමු වන්නේ ඇය විශාල ඛේදවාචකයකට හසු වූ විලාශයෙන්. එහි රූප රාමු, පසුබිම් සංගීතය තුළින් ඉස්මතු කරලන්නේ එයයි. එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ කෙනෙක් ''වැඩ කිරීම'' වනාහී ''පාපකර්මයක් පළිසන් දීමක්ද'' යන්නයි. එසේ නම් එහි විලෝමය වන්නේ ''වැඩ නොකර සිටීම'' පින් පළ දීමක් ලෙසයි. එවිට අපට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගන්නේ කවර මාර්ගයකින්ද?
එක්කෝ ''පව්කාරයින්'' විසින් ''පින්කාරයින්'' උදෙසා වෙහෙස වී ඒවා ඉටු කර දිය යුතුය. එහෙත් එවිට ඇති වන ප්‍රශ්නය වන්නේ ''පින්කාරයින්'' බවට පත් වන්නේ කෙලෙසද යන්නයි. පින්කාරයින් බවට පත් වීමට ඇති මඟ වන්නේ වැඩ කරන අයව සූරා කා එක් රැස් කර ගන්නා අතිරික්තයෙන් කොටසක් වැය කර දාන මානාදී පින්කම් කිරීමයි. ධර්මය යනු එවැනි නිර්දය කියවීමක්ද?
සමාජය ලබා ඇති සෑම දියුණුවක්ම, ප්‍රගතියක්ම ලබා ඇත්තේ මිනිසුන්ගේ කායික හා මානසික නොපසුබට ධෛර්යයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණක්ව තිබියදී ''වැඩ කිරීම'' පාපකර්මයක් ලෙස පෙන්වාදීම තරම් පාපකර්මයක් තවත් තිබිය හැකිද? මෙතැන පාපකර්මය වන්නේ වැඩ කිරීම නොව, කරන වැඩය සඳහා ජීවත් වීමට තරම් සරිලන ගෙවීමක් ලබා නොදීමයි. ශ්‍රම සූරාකෑමයි. එසේම තවත් පිරිසක්, තමන් ලබන ගෙවීමට තරම් කිසිසේත් නොසරිලන ශ්‍රමයක් ලබා දීමයි. එනම්, වැඩ නොකර සිටීමයි. සමාජයේ බහුතරයකට දුක් විඳීමට සිදු වන එක් ප්‍රධාන කරුණක් වන්නේ එය. එසේම නිෂ්පාදන බලවේග, තවමත් ප්‍රමාණවත් තරමින් වර්ධනය වී නොතිබීමද තවත් ප්‍රධාන සාධකයක්. එසේ වර්ධනය නොවී සමාජයේ සැමට සුවදායක ජීවිතයක් එකසේ ලබා දීමද අපහසු කාර්යයක්.
මාපියන්ට විරුද්ධව තමන් ආදරය කරන පුද්ගලයා තෝරා ගැනීමද බරපතල පාපකර්මයක් සේ පෙන්වාදීමට මේ කතාව තුළ පමණක් නොව බොහෝ බෞද්ධාගමික පසුබිමක් ඇති කතා තුළදී උත්සාහ කරනවා දැකිය හැකියි. එයද, තවත් එක් ඉතා පසුගාමි ගෝත්‍රික දෘෂ්ටිවාදයක්. පාපකර්මය වන්නේ ආදරය කරන දෙදෙනෙක් වෙන් කරවීමට උත්සාහ කරවීමයි.
පසුගිය පෝයදා දෙරණ රූපවාහිණියෙන් විකාශය වුණු ''නික්ම යෑම'' නම් පෝදා නාට්‍යය මගින් පෙන්වා දෙන්නට උත්සාහ කළ මුඛ්‍ය කරුණක් වූයේ කවර කරුණක් මත වුවද මාපිය සිතැඟි වලට එරෙහිව කටයුතු කිරීම බරපතල පාපකර්මයක් හා වරදක් බව. කතාවේ ආකාරයට ආදරවන්තයන් යුවලකගේ සම්බන්ධයට ආදරවන්තයාගේ පියා තදින්ම විරුද්ධ වන්නේ ආදරවන්තිය දුප්පත් වීම නිසාවෙන්. තරුණයාගේ පියා විරුද්ධ බැවින් සදාචාරවාදී නොවේය යන පදනම මත තරුණියගේ මාපියන්ද මේ සම්බන්ධයට විරුද්ධ වනවා.
අවසානයේ ආදරවන්තයන්ට සිදු වන්නේ දෙපැත්තේම මාපියන් නොමැතිව තනිවම ජීවිතයට මුහුණ දීමට සිදු වීම. කෙසේ වුවත් කතා රචකයා පෙම්වතුන් ලවාම අපට කියවන්නේ කවර තත්වයක් මත වුවත් මාපිය සිතැඟි වලට විරුද්ධ වීම නොකළ යුතු මහා පාපකර්මයක් බවයි. කිසිවක්, වරදක් හෝ පාපකර්මයක් වන්නේ කවර ආචාර ධර්මීය පදනමක් මතද?
එයට පොදු සූත්‍රයක් තනා ගැනීමට අපහසුයි. එයට හේතුව වන්නේ එය ''තත්වයන්'' අනුව බෙහෙවින් වෙනස් වන සුළු බැවින්. ''යම් ක්‍රියාවක් නිසා යම් කවර හෝ අයෙකුට අගතියක් වන්නේ නම් එය වරදක්'' ලෙසින් අර්ථ දක්වන්න පුළුවන්ද... බැහැ. යමෙක් තවත් අයෙකුගෙන් ලිංගික එක්වීමක් සඳහා ඉල්ලීමක් කරනවා යැයි සිතන්න. එහෙත් එයට අනෙකාගේ සිතේ කිසිදු කැමැත්තක් නැහැ. එවිට අපට කියන්න පුළුවන්ද එම ඉල්ලීමට එකඟ නොවීම මගින් අනෙකාට අගතියක් වීම නිසා එය වරදක් යැයි කියා. එයට එකඟ වීම සිදු වුණොත් අනෙකාට අගතියක් සිදු වෙනවා. මේ නිසා මේ සිදුවීම ගත් විට අපට කියන්නට සිදු වෙන්නේ, ලිංගික එක්වීමක් සිදු විය යුත්තේ දෙදෙනෙකුගේ ස්වාධීන කැමැත්තෙන්ම පමණක් විය යුතු අතර ඒ සඳහා බල කිරීමට ඒ දෙදෙනාට හෝ වෙනත් කිසිවෙකුට හෝ බල කිරීමට අයිතියක් නොමැති බව.
වැඩිහිටි, ආදර සම්බන්ධයක් ගත් විට එයට එරෙහි වීමට නොව, තමන්ගේ අකමැත්ත හෝ ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් මාපියන්ට ඇත්තේ හුදෙක් එය තමන්ගේ අදහසක්, උපදෙසක් ලෙසින් පමණයි. එවිට කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් යමෙක් රැවටීමකට හසු වෙන්න යන විටක හෝ එයට විරුද්ධ වීමට අයිතියක් නැද්ද කියා. තිබෙනවා. ඒත් ඒ සත්‍යය පහදා දීමෙන්. එය වටහා ගැනීමට ඔවුනට නොහැකි නම් හොඳම දෙය එය අත්දැකීමෙන්ම වටහා ගැනීමට ඉඩ හැරීමයි.
තමන්ව මේ ලෝකයට ගෙනවිත් කවා පොවා හදා වැඩීම කිසි ලෙසකින් යලි පියවිය නොහැකි උතුම් කාර්යයක් වුණත් ඒ උතුම් බව එයට ලැබෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාපියන් දරුවන්ට ආදරය කළහොත් පමණයි. එසේ නොවී තමන්ගේ ආත්මය අඛණ්ඩ කර ගැනීමට, තම දේපළ තම මරණයෙන් පසුවත් අඛණ්ඩ කර ගන්න, තමන්ගේ සිහිනයන්, බල වුවමනාවන් දරුවන් ලවා ඉටු කර ගන්න යම් මාපියෙක් කටයුතු කරන්නේ නම් ඔවුන් හා, මසට සතුන් ඇති කරන්නෙක් අතර වෙනසක් ඇත්තේ නෑ.
දරුවන්ට ආදරය කරන මාපියන් කිසි විටක පටු ආස්ථානයන් මත සිටිමින් දරුවන්ගේ සිහින මරා දැමීමට කටයුතු කිරීම තබා එවැන්නක් සිතකින් සිතන්නේවත් නෑ. ඒ නිසා එවැනි මාපියන්ගේ සිත් තම ආත්මාර්ථකාමී සිතැඟි වෙනුවෙන් දරුවන් තලා පෙලා දමන්නේ නම් එය බලවත් පාපකර්මයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සමහර දරුවන්, ඉගෙනගෙන සමාජයේ සම්මත ඉහල තැනකට ආ විට මාපියන්ව පිටත සමාජයට හඳුන්වා දීමට පවා හීනමානිකව පැකිලෙන ආකාරය දැක ගන්න පුළුවන්.
එහෙත් පටු නරුම ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් දරුවාගේ ආදරයට විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ලෝකය තනා ගැනීමට ක්‍රියා කිරීම පාප කර්මයක් ලෙසින් හඳුන්වනවා නම් එය අපට හැඳින්වීමට සිදු වන්නේ ''නරුමවාදයක්'' ලෙසිනුයි. ''ධර්මයේ'' නාමයෙන් පසුගාමී නරුමවාදයන් සාමාජගත කිරීමෙන් මිනිස් චින්තනයට, ජීවිතයට සිදු කරන්නේ බලවත් නපුරක්. සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද? සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද?
පේරාදෙනිය සිසුවියගේ අනුවේදනීය ජීවිතයෙන් සමුගැනීමේ සිදුවීමත් සමග සමාජ ජාල තුළ හුවමාරු වූ අදහස් අතර ඒ දෙස මානුෂිකව හා බුද්ධිමත්ව බැලීමක් දක්නට තිබුණේ නෑ. ඇය අඥාණ තරුණියක් බවත්, ඒ වගේම ඇය මෙයින් පසු හතර අපායේ යන බවටත් අපහාස කර තිබුණා. පුද්ගලයෙක් ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කරන්නේ තමන්ට ඇති ප්‍රශ්නයට ඇති එකම විසඳුම එය ලෙසින් පෙනී යාම සහ විශාල අපේක්ෂා භංගත්වය නිසා.
එයට වෙනසත් පිළිගත හැකි විසඳුමක් තමන් තුළින් හෝ පිටතින් හෝ ඇති බවක් පෙනී යන්නේ නම් කිසිවෙක් මෙවැනි තීරණයකට යන්නේ නෑ. දිවිය තොර කර ගැනීම අපට කිසිසේත් අනුමත කරන්න බැරි වුණත් එය ඒ පුද්ගලයාගේ කෝණයෙන් බලා අවබෝධ කර ගැනීමට හැකියාවක් අපට තිබිය යුතුයි. එවැනි සංවේදී මිනිසුන් නොමැති වීම නිසාමයි මෙවැනි සිදුවීම් වාර්ථා වන්නේත්. මහා බුද්ධිමතුන් ලෙසින් බක පන්ඩිත කතා කියන පුද්ගලයන් තුළ ඇත්ත වශයෙන්ම ගත්විට මානව දයාව හෝ ගරුත්වය නැහැ.

ආදරය වනාහී මේ ලොව ඇති බලවත්ම වගේම සුන්දරතම හැඟීම. මෙහිදී පුද්ලයා සම්පූර්ණයෙන්ම පාහේ අනෙක් පුද්ගයා තුළ දිය වී යාමක් සිදු වෙනවා. එවැනි පසුබිමක ඒ ආදරය බිඳී වැටීම යනු ඒ පුද්ගයාගේ ආත්මීය විනාශයක් වනවා. එය කවරෙකුට වුණත් දරා ගැනීමට හැකියාවක් නෑ. එහෙත්, මෙසේ වන හැම කෙනෙක්ම ජීවිතය තොර කර ගැනීමට ක්‍රියා කරන්නේ නෑ. එයට හේතුව ඒ ඒ පුද්ගයාගේ සිතේ ස්වභාවය.
පවුලෙන් හෝ පිටත සමාජයෙන් හෝ වෙනත් සංවේදී ආදරයක් අර සිසුවියට ලැබෙමින් තිබුණේ නම් මේ අවාසනාවන්ත සිදුවීම වලකා ගන්නට තිබුණා. කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නට සිතන්නේ තමන් ලෝකය තුළ සම්පූර්ණයෙන්ම අසරණය, හුදකලාය කියන හැඟීමත් එක්ක.
පුද්ගලයෙක් දිවි නසා ගත් විට හතර අපායේ යන්නේය යන්න එය වැලැක්වීමේ අටියෙන් බිය ගැන්වීම සඳහා යොදන ලද්දක් මිස එහි කිසිදු සත්‍යතාවයක් තිබිය නොහැකියි. අනෙක් අතට අප කරන හොඳ නරක ප්‍රතිපල අප වෙතටම විවිධ ආකාරයෙන් පැමිණෙනවා මිසක ''අපාය'' නමින් ආයතනයක්ද ලොව පැවතිය නොහැකියි. එය වෙනම කතා කළ යුත් කරුණක්. දිවි නසා ගත් විට හතර අපායේ යන්නේ නම් ''නිවන්'' දැකීමට ක්‍රියා කරන විටද පුද්ගයා අපායගාමී විය යුතුයි. මන්ද එහිදී කරන්නේද එක් වරකට නොව සම්පූර්ණ සසර ගමනටම බලපාන පරිදි අපේ ආත්මය නසා දැමීම වන බැවින්. එසේ නම් බලවත්ම අපායගාමී ක්‍රියාව නිවන් දැකීමයි.
කළ යුතුව ඇත්තේ, පුද්ගලයන් දිවි තොර කර ගන්නට යොමු වන හේතූන් නැති කිරීම මිස බිය ගැන්වීම නොවෙයි. නීතිය තුළින් කරනු ලබන්නේද බිය ගැන්වීම තුළින් අධෛර්ය කිරීම පමණයි. එහෙත් මේ කිසිදු ක්‍රියා මාර්ගයක් තුළින් මේ ලෝකයෙන් සමු ගන්නා අසරණ හදවත් නැවැත්වීමට නම් හැකි වී නෑ.
''මගේ ආදර අවනඩුව'' ටෙලි නාට්‍යය නිමා වුණා. එහි අවසානයේ මෙහෙම සඳහන් වුණා.
''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරී මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".
ඇත්තටම නම් ඒක මෙහෙමයි සඳහන් වෙන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ...
''අතීතය ඔබට මුණ ගැසේ නම් තවත් භවයක
ආදරේ මා නැතිව වැලපුණු අන්දම පවසන්න දවසක...".
මොකද ඔහු සමාජයට ආදරය කළ, පවුලට ආදරය කළ ප්‍රතිපත්තිගරුක ආදරණීය පුද්ගලයක් නිසාවෙන්. ඔහු නොමැතිකමින් වැලපෙන්නේ ඔහුගේ පෙම්වතිය නොව ''ආදරයයි''.

නේශාධ දුලාට වඩාත් ලං වෙන්නේ ඇය මාලින්ද හමුවේ පීඩාවට පත් වන්නියක්ය යන තතු ඔහුට දැන ගන්නට ලැබීමත් සමග. මේ නිසා, දෙදෙනෙකුගේ ආදරයක් මැදට පැමිණ එය විනාශ කළ පුද්ගලයෙක්ය යන චෝදනාව ඔහුට නැගිය හැකි වන්නේ නෑ.
කොහොම වුණත් අවසානයේ වෙන්නේ මොකක්ද... නේෂාධ සහ මාලින්ද අතර ගැටුමේදී දුලා විසින් මාලින්දට පහර දීම අපට සාධාරණීය කරන්න බෑ. මාලින්ද නේෂාධව මරන්න හදන මොහොතක එහෙම කළා නම් හැර. මේ නිසා දුලා සතු මනුෂ්‍යත්වය ඇත්තටම ප්‍රශ්නයට බඳුන් වන්නේ මේ අවස්ථාවේදීයි. එතැනදී මනුෂ්‍යත්වය කඩ කරන ඇය අන්තිමේ නේෂාධ හමුවේ ද්‍රෝහී වීම කිසිසේත් අරුමයක් වන්නේ නෑ.
අපිට 'විද්‍යාවක්' අවශ්‍ය වෙන්නේ දෙයක් වුණාම ඒකට හේතු හොයන්න නෙවි. දෙයක් වෙන්න කලින් ඒක වළක්වා ගන්නයි. ඒක නිසා කෙනෙක් තුළ මනුෂ්‍යත්වය කොයි තරමින් පවතිනවාද කියන එක කල් ඇතිවම දැන ගැනීම තුළින් අපිට විනාශයක් සිදු වීම වලක්වා ගන්න පුළුවන්. කෙනෙක්ව කල් ඇතිවම තේරුම් ගන්නේ කොහොමද කියන එකට න්‍යායාත්මක පසුබිමක් අපි ''මිනිසුන් හඳුනා ගැනීම'' ලිපියෙනුත් සකසා දුන්නා.

දැන් මෙතනදීත් අපිට පුළුවන්ද දුලා ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක කල් ඇතිව හඳුනා ගන්න. ඇත්තටම පුලුවන්. ඒ තමයි එයා නේෂාධට කතා කරන්න ඉදිරිපත් වෙන්නේ එයාගේ තනිකම පාළුව මකා ගන්න. පස්සේ නේෂාධගේ වුවමනාවටයි ඒක ආදර සම්බන්ධයක් බවට පෙරලෙන්නේ. ඒ වගේම නේෂාධගේ රූපය දැක්කාම, ඒ වගේම එයා රැකියාව සම්බන්ධයෙන් බොරු කළා කියලා දැන ගත්තාම එයා සම්පූර්ණයෙන්ම ඔහුව අමතක කරන්න තීරණය කරනවා.
මගේ යාලුවෙක් ඉන්නවා එයා සෑහෙන්න බුද්ධිමත් කෙනෙක්. දාර්ශනිකව ලෝකය දකින කෙනෙක්. ඒත් එයා තුළ අභ්‍යන්තර ගැටලු ගණනාවක්ම තියෙනවා. ඒවා ගැන විශ්ලේෂණය කරන්න මේක අවස්ථාවක් නෙවි. මෙතනදී අපි කතා කරන්න යන්නේ එයාගේ සහ පෙම්වතියගේ ආදරය ගැන. මන් එයාට කිව්වා ඔයා ඉස්සරහට ඩොක්ට කෙනෙක් වෙලා වෙනම පන්ති සමාජයකට ඇතුල් වෙනකොට ඔය දුප්පත් පෙම්වතිය ඔයාට එපා වෙන්න ඉඩක් තියෙනවා කියලා. මොකද, එයා වෙනස් නොකරනවා කිව්ව සමහර දේවල් වෙනස් කරලා තියෙන ආකාරය මන් දන්න නිසා. එආත් එයා කිව්වා 'මන් ආදරය හොයලා හොඳටම විඩාපත් වෙලා ඉන්නේ. මේක මගේ අවසාන ආදරය. එයා මාව දාලා ගියොත් හැර මම නම් මොන හේතුවක් නිසාවත් එයාව දාල යන්නේ නෑ.'' කියලා.

මම එතකොට කිව්වා, ''ඒ ගැන මට නිගමනයකට එන්න තවම කල් වැඩියි'' කියලා. ''එයාගෙන් මට ඕන තරම් ආදරය හම්බ වෙනවා. ඔක්කෝටම හොරෙන් බත් කටක් අරන් පාරට ඇවිත් මට කවනවා. මගේ ආත්මය එයා සරසනවා. සනසනවා. එයා මට වඩා ගොඩක් වයසින් බාලයි. ලස්සන සුදු කෙනෙක් නොවුණත් එයා කැත නෑ. ඒ වගේ කෙල්ලෙක් මට ආයිත් හොයා ගන්නත් බෑ'' කියලා එතකොට එයා කිව්වා.
ඒ වගේම එයා පිලිගත්තා ඒ කිව්ව කාරණා එයාගේ පැත්තෙන් සලකලා කිව්ව ආත්මාර්ථකාමී ඒවා කියන එකත්. නමුත් එහෙම කිව් පමණින් අපිට පිලිගන්න බෑ එයා වෙනස් නොවේවි කියලා. මොකද එයා ඇත්ත අර්ථයෙන් පෙම්වතියට ආදරය කරන්නේ නැති නිසා. ඇත්ත අර්ථයෙන් ආදරය කරනවා නම් අර සාධක ටික ඉදිරිපත් කරන්න ඕන වෙන්නෙ නෑ. එහෙම කරනවා නම් එයා කියන්නේ, 'ආදරය කරන කෙනෙක් දාල යනවා කියන වචනයේ තේරුම දන්නේ නෑ'' කියන කරුණ. ඒක ඒ විදියටම හෝ ඒ ආසන්න තේරුමක් එන ආකාරයෙන්.
තමන් වෙනස් නොවේවි කියලා පෙන්වන්න අර වගේ සාධක ඉදිරිපත් කරන්න ඕන නෑ. ඒවා ඉදිරිපත් කිරීම තුල තියෙන්නේම එයාගේ පෙම්වතියට තියෙන ආදරය පදනම් වෙන්නේම එයාගෙන් ඔහුට ලැබෙන ඒ දේවල් මත කියන එක. ඒ දේවල් ටික ලැබෙන එයාට වඩා ලස්සන, ඉහල සමාජයක කෙනෙක් හමුවේ මේක කඩා වැටෙන්න ඉඩක් නෑ කියලා අපිට සහතික වෙන්න බෑ.
ඒ වගේම මේ යාලුවා, ''බඩු ගහනවා'', ''කෙල්ලට ගහනවා' කියන වචනය නිතර පාවිච්චි කරන කෙනෙක් තමන්ගේ නොවන වෙනත් සිද්ධි විස්තර කිරීමේදී. තමන්ගේ පෙම්වතියට ඇත්තට ආදරය කරන කෙනෙක් කාන්තාවක් එක්ක කායිකව එකතු වීම සඳහා මේ වගේ අසික්කිත වචනයක් පාවිච්චි කරන්න හැකීයාවක් කොහෙත්ම නෑ. එහෙම කෙනෙකුට ඒ වගේ වචනයක් ඇහුණත් හිතට දුකයි. කෙල්ලට ආදරය කරන කෙනෙක්ට ගණිකාවක් දැක්කත් හිතෙන්නේ ''අනේ මෙයා මේක ඇත්හැර දාලා ලස්සන ජීවිතයක් ගත කලා නම්'' කියලා.

''ආදරය'' කියන දේ තනි මනුස්සයෙක් පමණක් ඉලක්ක කරගෙන කරන්න බෑ. ඒක පොදු විශ්වීය දෙයක්. තනි කෙනෙක් ඉලක්ක වෙනවා නම් එතන තියෙන්නේම ආත්මාර්ථකාමීත්වය. එයාගෙන් ලැබෙන දේවල් නිසා ඇති වී තියෙන ඇලීම. ඒ ඇලීම ඊට වඩා හොඳ ඇලීමක් හමුවේ බිඳිලා යනවා. නැති නම් කාලයත් එක්ක රැස් අඩු වෙලා යනවා.
ඒ වගේම මේ පෙම්වතියත් මේ මොහොතේ තමන්ට ලැබෙන ඉතාමත් හැඟීම්බර ආදරය, ඔහුගෙන් ලැබෙන ආරක්ෂාව, දැනුම, ජීවිතාවබෝධය සහ ආත්මය නගා සිටුවීම වගේ කාරණත් එක්ක ඔහු හා ඉතාමත් තදින් බැඳී ඉන්නවා. ඒත් ඇයගේ 'තත්වයනුත්'' ඉදිරියේදී වෙනස් වෙන්න පුලුවන්. ඇයත් ආත්මාර්ථකාමී කෙනෙක් කියන එක ඔහුගේ ලැප්ටොප් පරිගණකය තමන් ළඟ තියෙන්න ඇරීම තුළින් වටහා ගන්න පුළුවන්. ඒක ඔහුගේ ජීවිතය එක්ක ගොඩක් තදින් බද්ධ වෙලා තියෙන දෙයක්. අඩු වශයෙන් ඔහු ලඟත් මේක දිනක් දෙකක්වත් තියෙන්න අරිනවා නම් අපිට හිතන්න පුළුවන් ඇය ඔහු ගැන හිතන බව.

අනිත් එක ඇය කලින් පෙම්වතාටත් කියලා තියෙනවා ලැප් එකක් අරන් දෙන්න කියලා. ආදරය කරන කෙනෙක් ඒ ආකාරයට දේවල් අමුවෙන් ඉල්ලලා ගන්න සිරිතක් නෑ. ලේසියෙන් ඉල්ලීමක් නොකරන අතරම අත්‍යවශ්‍ය ඉල්ලීමක් වුණත් කරන්නේ ඉතාමත් ආදරණීය ලෙස සහ අනෙකාගේ පැත්තෙනුත් කල්පනා කරමින්. ආදරය කරන කෙනෙක් සතුටු වෙන්නේ අනෙකාගෙන් ස්වේච්ඡාවෙන් ලැබෙන දේවල් තුලින්.
ඉතින් මේ අනුව මේ දෙන්නා අතර තියෙන්නේ සැබෑ ආදරයක් නොවෙන නිසා මේක ''තත්වයන්ගේ' වෙනස් වීමත් එක්ක කඩා වැටීමේ අවදානමින් යුතුයි. ඒ වගේම මේ අයට සැබෑ ආදරයේ ගුණ සුවඳ විඳින්න අවස්ථාවත් අහිමි වෙලා යනවා. වඩාත්ම ඛේදනීය තත්වය තමයි ඒක. ඇත්ත ආදරයේ ගුන සුවඳ විඳින කෙනෙක් හොයා ගන්න හරිම අමාරුයි මේ ලෝකයේ. මන් මේ ලිපිය ලිව්වේ රැකියාවෙන් වරුවක නිවාඩුවක් අරන්. ඒ, ඔබ අතරින් එක්කෙනෙක් හරි ජීවිතය ලස්සන ඉමකට ගෙන යන්න එහි ජීවිතාශ්වාදය විඳින්න උත්සාහ කරාවි කියන අපේක්ෂාවෙන්.