Saturday, September 24, 2022

දේශයක් විනාශ කළ ත්‍රිවිධ මාරයන්

මේ වන විට ඉන්දියන් සාගරයේ මුතු ඇටය, එහිම ගිලෙමින් තිබේ. දරිද්‍රතාවෙන්, මන්දපෝෂණයෙන්, උද්ධමනයෙන් ලෝකයෙන්ම කප් ගසමින් ඉදිරියට පැමිණෙමින් සිටී. එහෙත් දූෂිත දේශපාලකයන්, දූෂිත ව්‍යාපාරිකයන් හා රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් පමණක් රටේ සාරය උරා බී යෙහෙන් වැජඹෙමින් සිටිති. අප රට දශක ගණනාවක් තිස්සේම ගත කළේ ඉතා දුෂ්කර දිවියකි. පොදු ජනතාවගේ ආදායමින් 60-80% ත් අතර ප්‍රතිශතයක් ආහාර සඳහා වියදම් කිරීමට සිදු වීම එයට හොඳම නිදසුනයි. සාමන්‍යයෙන් එය 20%න් පහළ අගයක් විය යුතුය. කාලයක් දැඩි සාගතයෙන් මරණයේ දොරටුව අසල සිටි ඉතියෝපියාවේ පවා එම අගය වර්තමානය වන විට 20%ට අඩු අගයකට පවතී. අපේ රටේ පාලකයන් විසින් රට ගෙනැවිත් ඇති තැන ඉන් වටහා ගත හැකිය.

රට මේ සා විනාශයකට පත් කිරීමේ මූලිකම වගකීම පැවරෙන්නේ පාලකයන් වෙතය. නිදහසින් පසු මෙරට අනුගමනය කළ අමනෝඥ ආර්ථික වැඩපිළිවෙලෙහි වගකිව යුත්තෝ ඔවුන්ය. මෙරට 1980 සිටම සිය පැවැත්ම පවත්වා ගත්තේ එක දිගටම ණය ගැනීමේ ක්‍රියාවලිය තුළය. ණය පියවීම සිදු වූයේද තව දුරටත් ණය ගැනීමෙනි. එවැනි වූ ගමනක් කෙළවර විය හැක්කේ අති විශාල ඛේදවාචකයකිනි. වර්තමානයේ අප අත් විඳිමින් සිටින්නේ එයයි.

අපගේ ආදායම මෙන් කිහිප ගුණයක ණය ගනිමින් එම ණය ආදායම් උපදවන ක්‍රියාවලියක යොදනවා වෙනුවට එදිදෙනා යැපීම සඳහා වසර 40ක් පමණ කිසියම් පුද්ගලයෙකු විසින් කටයුතු කළේ නම් ඔහුගේ සිට ඔහුගේ දරු මුණුපුරන් දක්වා පරම්පරා විශාල ගණනක් මොන තරමේ ව්‍යවසනයකට පත් වේද යන්න මොහොතකට සිතන්න. එය රටකට ආදේශ කළ විට අප රට පත්ව ඇති විනාශය අවබෝධ කර ගත හැකිය.

අප රට මෙවැනි ව්‍යවසනයකට ගමන් කළේ ඇයි. ඒ අප රට වෙළා ගත් "ත්‍රිවිධ මාර සේනාව" හේතුවෙනි. ඒ මාරයන් තිදෙනා නම් අන් කවරෙකුවත් නොව,

• දූෂණය හා වංචාව

• නිසරු ව්‍යාපෘති හා

• බැලුමක් මෙන් පුම්බන ලද රාජ්‍ය සේවය වේ.

මේ රට ලබා ගත් අතිශය විශාල විදෙස් ණය කන්දරාවෙන් වත්කම් ලෙස පවතින්නේ 20%කටත් අඩු ප්‍රතිශතයක් බවට කියවේ. අපේ රටේ පවතින දූෂණය හා වංචාවේ තරම ඉන් වටහා ගත හැකිය.

ආදායමක් නොඋපදන හුදෙක් ඉදිකිරීම් පමණක් වන මහා පරිමාණ ව්‍යාපෘති නිසා සිදු වූ එකම දෙය නම් උප නූපන් පරම්පරාවක් ඒවාට වැය කළ මහා ණය කන්ද ගෙවිය යුත්තෝ බවට පත් වීමය.

අපේ රටේ පාලකයන් කිසි දිනක රටේ අනාගතය ගැන සිහිනෙකින්වත් සිතා නැත. සිතුව එකම කාරණය නම් තමන්, තමන් වටා සිටින අයගේ අනාගතය ගැනය. මේ නිසා ඔවුන් සිය සැලසුම් සැම විටම සකස් කළේ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගෙනය. තමන් වටා තාවකාලික වාසිය සඳහා ඒකරාශී වන ජනයා සතුටු කිරීම සඳහා ඔවුන් රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රමාණය මෙන් තෙගුණයක් බවට පත් කළේය. සිය හිතවතුන්, උදව්කාරයන්ගෙන් රාජ්‍ය ආයතන පුරවා දැම්මේය. අළුතින් ඒ වෙනුවෙන් ආයතන ව්‍යුහයන් නිර්මාණය කළේය.

එහි එකම ප්‍රතිඵලය වූයේ රාජ්‍ය ආදායමින් 90%කට වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වැය වන තත්වයක් දක්වා වර්තමානය වන විට එය ඔඩු දිවීමය.

ඉහත වූ ත්‍රිවිධ මාරයන්ගේ මාරාවේශය නිසා අප රටේ හැමදාමත් අය වැය අතර විශාල පරතරයක් පැවතුනේය. එය පියවීම සිදු වූයේ හැමදාමත් ණය ගැනීමෙනි. අද පවතින අර්බුදය නිර්මාණය වූයේ තව දුරටත් ණය ගත නොහැකි තත්වයට රට පත් වීමත් සමගය. ඒ, ගත් ණය පියවීමට නොහැකි අන්දමින් ණය කන්ද වර්ධනය වීම නිසාය.

බොහෝ විට රටේ විපක්ෂය හා ජනමාධ්‍ය, ඉහත ත්‍රිවිධ මාරයන්ගෙන් දෙදෙනෙකු ගැන කතා කළත් අනෙකා ගැන ගොළුවත රකින්නේ ඔවුන්ද වර්තමාන ආර්ථික ක්‍රියාවලිය තුළ හුදෙක් බිස්නස්කාරයන් පමණක් බවට පත්ව සිටින නිසාය. ඔවුනට තම පාරිභෝගික පර්ෂදය අහිමි කර ගත නොහැක.

රට පත්ව සිටින මේ විපතින් මිදීමට නම් ඉහත වූ ත්‍රිවිධ මාරයන්ගෙන් අප මිදිය යුතු බව ඉතා පැහැදිලිය. බොහෝ විට දූෂණයෙන් තොර පිරිසක් බලයට පත් වන්නේ නම් මේ මාරයන් දෙදෙනෙකුගෙන්ම අපට මිදිය හැකිය. එහෙත් තෙවැන්නාගෙන් මිදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එයට අත ගැසීම නොව කතා කිරීමටත් වාමාංශික පක්ෂ පවා බිය වන්නේ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් විශාල පිරිසක්ද මේ තුළ සිටීම නිසාය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයේ සහාය ලබාගෙන අර්ධ රාජ්‍ය ආයතන බවට පත් කිරීම කළ හැකිය. එහෙත් අති විශාල සේවක අතිරික්තය මහ මගට ඇද දැමිය නොහැකිය. රැකියා මවා බඳවා ගත්තද අද ඔවුන් ජීවිකාව පවත්වා ගන්නේ ඒ රැකියාව තුළිනි. අද රට පවතින තත්වය තුළ යමෙකුගේ රැකියාව අහිමි වීම යනු "මරණය" හා සමාන අත්දැකීමකි.

මේ නිසා කළ හැකි එකම දෙය මේ විශාල ශ්‍රම හමුදාව උකහා ගත හැකි ඔවුන්ගෙන් රටේ ආර්තිකයට නිෂ්පාදනයක් එක් කළ හැකි ව්‍යාපෘති ප්‍රමාණයක් වහ වහා උත්පාදනය කිරීමය. එසේ නොවී අති විශාල ලෙස බදු බර රටේ පෞද්ගලික අංශයේ පොදු ජනයා වෙත පටවනු ලබන්නේ නම් එය සහ ගහන අපරාධයකි. ජීවිතය පණ නල ගැට ගසා ගැනීමටම පමණක් සින්න කර ඇති පොදු ජනයා තව දුරටත් මිරිකා රටේම තවත් පිරිසක් නිකරුණේ වැඩක් නොගෙන නඩත්තු කිරීම මහා අපරාධයකි. ඒ ආකාරයෙන් වැටුප් ගන්නා පුද්ගලයාද ඉබේටම මංකොල්ලකාරයෙක් බවට පත් වේ.

ලෝකයේ කන්න අඳින්න නැතිව සිටි රටවල් අප රට පසු කර ගව් ගණනක් ඉදිරියට ගොස්ය. ඔවුන් ජීවිතය පහසු කර ගෙන ජීවිතය විඳිමින් සිටී. එහෙත් අපේ රට අන්ත දුගී භාවයට පත්ව ඇත. අද දවසෙ පෝෂ්‍යදායක, රසවත් ආහාරයක් ගැනීම නොව හුදෙක් කුසගින්න නිවා ගැනීමට යමක් බඩට දමා ගැනීමත් පොදු ජනයාට විශාල අභියෝගයකි.

සාමාන්‍ය ආදායමක් ලබන පවුලකින් රුපියල් 28000ක් පමණ වක්‍ර බදු ලෙසින් අය වන බව විශ්ව විද්‍යාල අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. දුගී භාවයේ පසුවන පවුලක ආදායමින් රුපියල් 14000ක් පමණ මුදලක් මෙලෙස වක්‍ර බදු ලෙසින් අය වන බවද පෙන්වාදී ඇත. අද දවසේ රුපියල් ලක්ෂයක පමණ මාසික ආදායමක් තිබුණද එය දරුවන් සිටින පවුලක අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව පෙන්වා දී ඇත. එවන් පසුබිමක මෙවන් බදු අයවීමක් සිදු වීම සිදු වන්නේ නම් එය සාධාරණීයකරණය කළ හැක්කේ කවර තතු යටතේද?  

තමන්ගේ අනාගතය වෙනුවෙන් නිවසක් ඉදිකර ගැනීම යනු සිහිනයක් ම බවට පත් වෙමින් ඇත්තේය. රෝද දෙකක් වෙනුවට රෝද හතරක් දෙන්නට පොරොන්දු වෙමින් බලය ගත්තෝ පොදු බස් රථයක ගමන් කිරීමත් දෙවරක් සිතන තැනට ජනයා ඇද දමා ඇත්තේය.

උපන්නාට නොමැරී සිටින්නට වෙර දරනවාද, නො එසේ නම් ලබා ගත් ජීවිතය විඳින්නට හැකි සේ පරිසරය වෙනස් කර ගන්නවාද යන්න තීරණය අප විසින් ගත යුත්තේය.

Sunday, September 11, 2022

ෆෝල් සිනමා සිත්තම හා දැනෙන විදියට ජීවත්වීම (Fall Movie and Living as you feel)

ඉතා හොඳ සිනමා පටයක් ලෙසින් මෙය හඳුන්වා දුන්නේ මගේ මිතුරෙක් වෙන දුලාජ්. සති අන්තයේ ඉස්පාසුවක් ලද වේලේ මෙය නැරඹූ විට ඇත්තෙන්ම එය සත්‍යයක් බව වැටහුණා.

ඔබත් සමග කරන මේ කතාබහ තුළ එහි කතාව දිග හරින්නට මා උත්සාහ කරන්නේ නෑ. ඒ, එය අනිවාර්ය ලෙසම ඔබ විසින්ම නරඹා එහි අර්ථ රසය විඳිය යුතු බැවින්. ඒ නිසා දැනටමත් එය නරඹා නොමැති නම් එය පළමුව රසවිඳ මේ කියවීමට එක්වන්නැයි මා ආරාධනා කරනවා. 

ත්‍රාසජනක කඳු නැගීම විනෝදාංශය කර ගත් තිදෙනෙක් වටා මේ කතාව ගෙතෙනවා. අපේ රටවලත් කඳු නැගීම යම් තරමක විනෝදාංශයක් වුණත් මේ ආකාරයේ ත්‍රාසජනක කඳු නැගීමේ ප්‍රවනතාවයක් දක්නට නැහැ. එයට හේතුව අපේ සංස්කෘතිය තුළ හැදී වැඩෙන දරුවා මාපියන් විසින් නිදහසේ වැඩෙන්නට නොදී දැඩි සීමා පවුරු යටතට පත් කිරීම. මේ නිසාවෙන් ඔහුගේ හෝ ඇයගේ සියලු විභවතාවන් යටපත් වී හුදෙක් මා පියන්ගේ කොපියක් බවට පත් වෙනවා. බුද්ධියටත් ඒ දේ අදාලයි. බුදු වෙන්නට පවා හැකියාවක් සහිතව මෙලොව එළිය දකින දරුවාගේ ඒ සියළු හැකියාවන් විනාශ කරනු ලබන්නේ මා පියන් විසින් බව වරක ඕෂෝ නම් දාර්ශනිකයාද පවසා තිබෙනවා. 

මේ කථාව තුළින් අපට පෙන්වා දෙන මුඛ්‍ය පණිවිඩය වන්නේ "අපේ ජීවිතය ඉතා කෙටි හා අනිත්‍ය බවත් ඒ නිසාම අත් හැරීමට තරම් සුළු හෝ කාලයක් නැති බවත්, ඒ කෙටි ජීවිතය අප ගත කළ බවට සෑහීමකට පත් වීමට නම් සෑම මොහොතක්ම දැනෙන සුළු ලෙසින්" ජීවත් විය යුතු බවත්ය. එසේ නොමැති විටක අප මේ ගත කළ ජීවිතයෙන් කිසිදු අර්ථයක් නොමැති බවත් ය. 

දාර්ශනික පර්ෂද තුළත් ඉතා විවාදාපන්න කරුණක් ලෙස මෙම "පැවැත්ම" පිළිබඳ අර්ථකථනයන් සැලකිය හැකිය. බොහෝ භික්ෂූන් වහන්සේලා වෙතින් ප්‍රකාශ වනු දක්නට ලැබෙන්නේ සැබැවින්ම පවතින "පුද්ගලයෙකු හෝ පැවැත්මක්" දක්නට නොමැති බවත් එය මනස විසින් මවා ගන්නා හුදු "මායාවක්" බවත්ය. සැබවින්ම පවත්නා ලෝකය අපට කිසි දිනක සංජානනය කළ නොහැකි බවත් මනසින් මවා ගන්නා ලෝකයක් හා පුද්ගලයන් අප සැබෑ ලෝකය ලෙසින් සලකා මුලාවට පවත් වන බවත් ප්‍රකාශ වේ.

කෙසේ වුවත් ද්‍රව්‍යයේ විකාශය හා පරිණාමය දෙස බලන විට, ඒත් සමගම සමගාමීව සංවර්ධනය වූ ජීවයට පවත්නා ලෝකයෙන් (තමන් ජීවත්වන මානයට අයත්) වැඩි කොටසක් ග්‍රහනය කර ගත හැකි බව මගේ නම් අදහසයි. ඒ ජීවියාට තමන්ගේ ජීවිතයට වැදගත් වන ලෝකය ග්‍රහනය කර ගැනීමේ හැකියාවක් පවතී. නිදසුනක් ලෙස අපට ක්ෂුද්‍ර ජීවීන්  දර්ශනය නොවේ. එහෙත් ඔවුන් දර්ශනය නොවීම අපගේ ජීවිතය පහසු කරයි.

ජීවිතයේ අප එක් එක් අය ප්‍රිය කරන දේ විවිධාකාරය. එහෙත් අප බොහෝ දෙනෙකු ගත කරන්නේ ඒ ප්‍රිය කරන ජීවිතය නොවේ. ඒ නිසාම අපට ජීවිතය ඉතා නීරසය. විඩාකාරීය. "සංචාරකයා" ලෙසින් හැඳින්වෙන්නේ ජීවිතය සවිඥානික ලෙසින් විඳීම අරමුණු කරගෙන සැරිසරන්නෙකි. සැබවින්ම නම් විය යුත්තේ අප ජීවිතය පුරාවටම එවැනි "සංචාරකයෙකු" විය යුතු වීමය.

අප ජීවත්වන බව, ජීවිතය වින්දනය කරන බව, ජීවිතය යනු සුන්දර දෙයක් බව අපට දැනෙන්නේ අප එලෙස ජීවිතය තුළ සවිඥානික සංචාරයක නිරත වන විටය. අජීවය බහුළ ලෝකයක ඒ ලෝකය ග්‍රහනය කළ හැකි එකම වස්තුව වනාහී "ජීවියා"ය. ඒ නයින් ගත් විට, "ජීවිතය යනු අර්ථ විරහිත, සම්පූර්ණයෙන්ම දුකක් පමණක් වන එකක් ය" යන ආගමික චින්තාවට නම් මගේ එකඟත්වයක් නැත.

ජීවිතය එලෙස දුකක් බවට පත් වී ඇත්තේ ජීවියා හුදු "ආත්මාර්ථකාමයෙන්" මිරිකී "අප" යන තැනින් "මම" යන තැනට පත්ව අනෙකා විනාශ කර අවසානයේ තමන්ද ඒ හුදු "අත්පත් කරගැනීම්" තුළ අතෘප්තියට පත්ව විනාශ වීම තුළය. ඒ වෙනුවට "අප" යන තැනට ඔහුගේ දැක්ම වෙනස් වන්නේ නම් ජීවිතය හා ලෝකය, "සුරපුරයක්" බවට එසැනින්ම පත් වන්නේය.

බෙකී, ඩෑන් හා හන්ටර් ජීවිතයේ තෘප්තියට පත් වන්නේ ඉතා අවදානම්කාරී කඳු තරණයන්හි කූටප්‍රාප්තියන් තුළිනි. එහෙත් එක් අවස්ථාවක සිදු වූ හදිසි අනතුරක් නිසා ඩෑන් මිය යාමත් සමග බෙකීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙයි. ඩෑන්ගේ වියෝවේ වේදනාව ඇය යම් තරමකින් හෝ යටපත් කරගන්නේ බීමත්කමිනි.

විනාශයට පත් වෙමින් යන බෙකීගේ ජීවිතය ඉන් මුදවා ගැනීම සඳහා ඇගේ පියා උදව් පතන්නේ හන්ටර් වෙතිනි. එවැනි ඉල්ලීමකින් තොරව ස්වේච්ඡාවෙන්ම සිය මිතුරිය වෙනුවෙන් එවැනි එළඹීමක් හන්ටර් වෙතින් විය යුතු වුවත් එසේ නොවීමට හේතුව අණාවරණය වන්නේ මිතුරියන් දෙදෙනාම ජීවිතයට වඩා මරණයට සමීප අවස්ථාවකට පත් වූ විටය.

හන්ටර් පත් වූ ආකාරයේ ඉරණමකට අප බොහෝ දෙනෙකුද ජීවිතයේ යම් යම් අව්ස්ථාවල පත් වී ඇති බව නිසැකය. එහෙත් හන්ටර් මෙන් නොව අප බොහෝ විට ඒවා අප සිත් පතුලේම සඟවා තැබීමට තරම් පරෙස්සම් වේ. කෙසේ වුවත් බෙකී මේ සිද්ධිය දැන ගැනීමත් සමග වෙනත් අය මෙන් මිතුරිය සමග වෛර බැඳ ගැනීම වෙනුවට සංවේගයට පත් වන්නේ ඔහුත් සමග ගොඩ නඟා ගැනීමට අපේක්ෂා කළ ආදරය ඒ ලෙසින්ම ගොඩ නගා ගැනීමට නොහැකි වීමට හේතුව අනාවරණය වීම තුළිනි.

සිය මිතුරිය වෙත පැවති ආදරය ඒ ලෙසින්ම තව දුරටත් ඉතිරි වූ බව මේ අන්තරාකාරී මොහොතේ බෙකීගේ හැසිරීම තුළින් අපට දැක ගත හැකි වේ. එසේම වෙනත් අය මෙන් නොව හන්ටර් ද ඔහුව බෙකීගෙන් උදුරාගෙන තමන්ගේ කර ගැනීමට උත්සාහ නොකිරීමත් සිය මිතුරියට පැවති ආදරය එලෙසින්ම පැවතීමත් තුළින් සිය උදාර බව පෙන්වා දෙයි.

ඉතාමත් මරණකාරී අපේක්ෂා රහිත මොහොතක වුවද ඒ වෙනුවට බලාපොරොත්තු අත් නොහැර ජීවිතය වෙනුවෙන් දැඩි ලෙස නැගී සිටිය යුතු බවට වන සඥාව අපට මේ ආඛ්‍යානය තුළින් විදහන තවත් එකකි.

මේ සිනමාපටය තුළින් අවසානයේ ප්‍රීතියකට පත් වීමට මට නම් නොහැකි වූ එකම හේතුව සිය මිතුරියගේ විනාශ වෙමින් යන ජීවිතය ප්‍රතිස්ථාපනය වෙනුවෙන් අතිශය අවදානම්කාරී ලෙස සිය  ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන හන්ටර් ඉතාමත් වේදනාකාරී මරණයකට පත් වීම නිසාය. එය විශාල ලෙස මගේ හදවත කම්පනයට පත් කළේය.


ඔබට සැබවින්ම ජීවිතය විඳීමට අවශ්‍ය නම් ඔබ ආශා කරන දෙයක් ඔබගේ වෘත්තීය බවට පත් කර ගන්න. ඔබ ආශා කරන දේවල් විනෝදාංශය බවට පත් කරගෙන ඉහි නිරත වීම සඳහා අවශ්‍ය කාලය හා අවකාශය සලසා ගන්න. ඔබ ආශා කරන ප්‍රියයන් හා ජීවිතය ගත කරන්න. අන් අයට වුවමනා අයුරින් ඔබගේ ජීවිතය හසුරුවාලීමට ඉඩ නොදෙන්න. විවිධ දෘෂ්ටිවාදයන්ට ඔබගේ ජීවිතය රූකඩයක් බවට පත් කර ගැනීමට ඉඩ නොදෙන්න. ඒ දෘෂ්ටිවාදයන් පවත්වාගැනීම වෙනුවෙන් ගොඩ නැගී ඇති සංස්කෘතික යදම් කඩා බිඳ ඉන් නිදහස් වන්න. 

ජීවිතය කොටු කරවන දෘෂ්ටිවාදයන් විශ්ලේෂණය කරන විට පැහැදිලි වන කරුණ නම් ඒවා අතීත අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතවල සාරය උරා බීම සඳහා සැහැසි හා කෛරාටික ලෙස ගොඩ නඟා ඇති බවයි. අදටත් ඔවුන්ගේ පරම්පරාවල අය පාලකයන් ලෙසින් (සංස්කෘතික පාලකයන්) ජීවත් වන නිසා ඔවුන් ඒ දෘෂ්ටිවාදයන් පත්වා ගැනීම වෙනුවෙන් වෙහෙසෙයි.

සිංහල උප සිරැසි සහිතව ඔබට මෙම සිනමා සිත්තම පහත වෙබ් අඩවියෙන් නැරඹිය හැකියි.

https://cineru.lk/fall-2022-sinhala-sub/

Monday, May 25, 2020

ආශාවේ ඉරණම හා ස්වභාවය

ආශාව ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදන්න පුළුවන්.

01. ආවේගාත්මක ආශාව
02. වින්දනීය ආශාව
ලෙසින්.

01. ආවේගාත්මක ආශාවන්

ලෝභ ද්වේශ හා මෝහ මූලික කරගෙන හෙවත් ආත්මාර්ථය මූලික කරගෙන ඇතිවන ආශාවන් ආවේගාත්මක ආශාවන් ගණයට අයත් වෙනවා. මේවායේ ස්වභාවය තමයි එවැනි ආශාවක් සම්පුර්‍රණයෙන්ම තෘප්තිමත් කර ගැනීමට අපට හැකි වුණාම ඒ ආශාව අපේ සිතෙන් ඉවත් වී යාම. එනම්, එපා වී යාම. සමහර විට ඒ ආශාව හෝ ආශාවට වස්තු විෂය වූ දෙය කෙරෙහි ද්වේශයක්, පිළිකුළක් අති වෙන්නත් පුළුවන්. අලුත් මෝස්තරයක ඇඳුමක් එන විට පරණ මෝස්තරයේ ඇඳුම අපිට එපා වේවා. අලුත් මෝස්තරයක ෆෝන් එකක් ආවම පරණ එක දකිනකොට තරහා යනවා.

බොහෝ දුරට දෙන්නෙක් අතර සම්බන්ධයකට මූලික වෙන්නෙත් මේ ආවේගාත්මක ආශාවම තමයි. ඉතින් ටික කාලයක් යද්දි දෙන්නටම දෙන්නව එපා වෙනවා. ඒත් දරුවන්, සමාජ සංස්කෘතික බැඳීම්, තනිකම, විවිධ අවශ්‍යතාවන් අනෙකා මතින් ඉටු කර ගැනීමට තිබීම වගේ හේතු නිසා එපා වුණත් එකට ඉන්න සිද්ධ වෙනවා.

බොහෝ දෙනෙක් අනියම් සම්බන්ධතාවලට යොමු වෙන්නේ මේ නිසා. අනියම් සම්බන්ධයකදී අපේ ආශාවන් සම්පූර්ණයෙන් තෘප්තිමත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ සඳහා විවිධ බාධා තියෙනවා. ඒවා භෞතික හෝ මානසික විය හැකියි. ඉතින් ආශාව සම්පූර්ණයෙන් තෘප්තිමත් නොවන නිසා ආශාව එපා වීමටකට ලක් නොවී එලෙසම පවතිනවා. බැරි වෙලාවත් දෙන්නා විවාහ වෙන්න කල්පනා කළොත් එදාට ආයෙත් දෙන්නට දෙන්නා එපා වීම සිද්ධ වෙනවා.

02. වින්දනීය ආශාවන්

මේ වර්ගයේ ආශාවන් හට ගන්නේ අලෝභ, අදෝෂ අමෝහ සිතිවිලි හෙවත් පරාර්ථය මූලික කරගත් සිතිවිලි මගින්. මේ ආශාවන්ගේ ස්වභාවය වන්නේ ඒවා කොයි තරම් තෘප්තිමත් වූවත් එපා නොවීම. ඒවා හැමදාමත් එකම තත්වයේ නැවුම් ආකාරයෙන් පවතිනවා.

ආදරය පවතින විට දෙන්නෙක් අතර හෝ වස්තුවක් කෙරෙහි අපි තුළ ඇති වෙන්නේ වින්දනීය ආශාවක්. ඒ නිසා කවදාවත් එපා වීමක් සිදු වෙන්නේ නෑ. අනික ආදරයේ ස්වභාවය තමයි එය දිනෙන් දින වර්ධනය වන සුළු වීම. ඉතින් ඇඳුමක් කෙරෙහි, ෆෝන් එක කෙරෙහි අපි තුළ තියෙන්නේ වින්දනීය ආශාවක් නම් ඒක අපිට එපා වෙන්නේ නෑ

අලුත් ෆෝන් එකකට ගියත් පරණ එක පරෙස්සමට අරන් තියනවා. ඒත් ෆෝන් එකක් වගේ නෙවිනි මිනිස් බැඳීමක්. ඒක ඊට වඩා ඉතාමත් ගැඹුරු එකක්. ඒ නිසා කවදාවත් තවත් අලුත් බැඳීමක් අවශ්‍ය වෙන්නේ නෑ. වෙන කිසිම දෙයක් ඕනේ නෑ. ආදරය කරන කෙනා ලඟ ඉඳීමම පමණක් ප්‍රමාණවත් හිත සැනසෙන්න.

අපේ හිත අයිති වෙන්නේ මින් කොයිකටද?

ඒක තීරණය වෙන්නේ අපි අපේ හිත සකස් කරගෙන ඇති ආකාරය සහ සකස් කරගනිමින් පවතින ආකාරය අනුව. අපේ හිතේ දැනට පදනම ආවේගාත්මක ආශාව නම් සියළු ආශාවන් වලට පදනම වෙන්නේ ඒක. එතකොට ප්‍රතිඵල ලැබෙන්නෙත් ඉහත ආකාරයට. 

සිතේ සාමාන්‍ය ස්වභාවය තමයි ආත්මාර්ථය. එය සියළු සත්වයන්ටම පොදුයි. ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ අපේම උත්සාහයෙන් ප්‍රඥාව වර්ධනය කර ගැනීම තුළ. එවිට අභ්‍යන්තරයෙන්ම අපේ සිත වෙනස් වෙනවා.

වඩාත්ම සතුටින් සිටින්නේ කවුද?

ආවේගාත්මක ආශාවන් සිතේ පවතින විට අපිට ලැබෙන්නේ ඒ ආවේගයන් සමහන් වීමෙන් ලැබෙන සහනයක් පමණයි. එය 'සතුටක්" ලෙසින් අපි වරදවා වටහා ගන්නවා. ඒක ඇදුම්කන තුවාලයක් සුව වීමෙන් ලැබෙන සහනය වගේ එකක්.

එහෙත් වින්දනීය ආශාව කියන්නේ අපි සිත තුළ අලුතින් වර්ධනය කර ගන්නා හැඟීමක්. එය අපිට ස්වභාවයෙන් ලැබෙන දෙයක් නෙවි. මේ තුළ පවතින්නේ ආවේගයන් සමනය කර ගැනීමක් නොව අදාල දෙය, අවස්ථාව වින්දනය කිරීමක්. ඒ නිසා ඇත්තටම සතුටින් සිටින්නේ මේ දෙවැන්නායි.

මුල් ගණයට අයත් වන අය නිරන්තරයෙන් දැවෙමින් එම ගින්න තාවකාලිකව නිවා ගනිමින් නැවත් දැවෙමින් සිටින් පිරිසක්. ඒ අයට කිසිදු අවස්ථාවක සතුට කියන දේ විඳින්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

අපේ ජීවත්වීමේ අරමුණ "සතුට". ජීවිතය විඳීම. ඔන්න ඕකයි සතුටේ හා විඳීමේ පදනම.

Sunday, March 24, 2019

එස්.එම්.එස් එකක වටිනාකම කීයද? (What is the value of a SMS?)

අනුරුද්ධ ජයසිංහ නම් ප්‍රතිභාපූර්ණ නිර්මාණවේදියා විසින් ඉදිරිපත් කරන ලද ''එක දවසක අපි'' නම් සිනමා නිර්මාණය  පිළිබඳව අවධානය යොමු කරන විට ඒ තුළින් මා නම් දකින්නේ ''ආදරය'' යන්න, මේ ලොවට අයිති නොවන්නක් බවට වඩාත් හැඟීම්බරව, උත්ප්‍රාසාත්මකව පෙන්වා දෙන්නක් ලෙසයි. සිය යෙහෙළියට යවා තිබූ කෙටි පණිවිඩය විමුක්ති විසින් නොදකින්නට, ''අම්මේ මං එනවා'' යනුවෙන් කිවූ ලෙසටම සියල්ල සිදු වන්නට තිබුණි.

එය එසේ සිදු වූවා නම් ''එයාට මං ආදරෙයි.... ඒත් මට මේ කෲර ලෝකේ ඒ ආදරය යථාර්ථයක් කර ගන්න කවදාවත් බෑ.... මට මගේ අම්මා දුක් විඳලා මැරිලා යනවා බලං ඉන්න බෑ... එයා කොහේ හරි හොඳ තැනක ඇති.... මේ සාහසික ලෝකේ මැරි මැරී ජීවත් වෙනවට වඩා එක අතකින් ඒක හොඳයි....'' මෙන්න මේ අයුරින් කියා හිත හදාගෙන දැහැමෙන් සෙමෙන් විමුක්ති නිෂූ ආදර අන්දරය ගෙවෙනු ඇති.


එහෙත් පාරමී නිම්මිට යැවූ එස්.එම්.එස් එක නිසා විමුක්තිට ''අම්මේ මට එන්න වෙන්නෙ නෑ'' යනුවෙන් කියන්නට සිදු වුණි.

පාරමී විසින් විමුක්තිට ආදරය කළද ඔහු තුළ කිසි දවසක එය නොතිබූ බව තේරුම් ගන්නට තරම් බුද්ධිමත්කමක් ඇය තුළ නොතිබුණි. එය අප බොහෝ දෙනෙකු මූණ පානා ඛේදවාචකයයි. ගොදුරු ලෝකයක් වන මේ පෘථිවි ජීවිතය තුළ තමන් අභිමුව සිටිනා සාතිශය බහුතරයම ඒ ගොදුරු න්‍යාය මතින් පැමිණෙන්නන් බවට අපේ සිතට වර නගමින් නැවත නැවතත් සිහි කැඳවිය යුතුව තිබේ. එය අමතක වන සෑම නිමේෂයකම සිදු වන්නේ අප අනෙකාගේ ගොදුරක් බවට පත් වීමයි.


ගොදුරු න්‍යායේ අප සිටින්නේ කොතනකද යන්න අනුව සහ එයට අප මූණ දෙන ආකාරය අනුව අපේ ජීවිත පැවැත්ම තීරණය වනු ඇති. අපට ඉහළින් සිටින එකා අප ගොදුරු කර ගන්නට මාන බලන අතර, අපට පහළින් සිටින එකා ගොදුරු කර ගැනීමට අප විසින් මාන බලමින් සිටියි. සියළු මනුෂ්‍ය සබඳතාවන්ට මෙය අදාලය.

''එක දවසක අපි'' විශේෂ වන්නේ මේ යථාර්ථය ඉතාමත් සංවේදී හා උත්ප්‍රාසාත්මක ආකාරයෙන් පෙන්වා දීම තුළය. එහෙත් මා එක් විචාරයක කියවූ ආකාරයට මෙය වාණිජ වශයෙන් සාර්ථක වී නැත. එහි තේරුම සැවොම අනෙකාව ගිලිමින් අනෙකාට ගිලෙමින් ගමන් කිරීම ප්‍රමෝදයක් කරගෙන ඇති බවද?

නයනතාරා වික්‍රමාරච්චිගේ රංගනය ඉතාමත් විශිෂ්ටය. පුබුදු චතුරංග, මේධා ජයරත්න, වීණා ජයකොඩි පුරුදු පරිදිම අගනා දායකත්වයක් ලබා දී තිබේ.

Sunday, November 4, 2018

පින් සහ පව් - Pin saha Paw

පින් සහ පව් පිළිබඳව සඳහන් වන්නේ බෞද්ධ දර්ශනයේ පමණක් නෙවි. ලොව සෑම ආගමක්ම පාහේ මෙය විවිධ අයුරින් සාකච්ඡාවට ලක් කරයි. මේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ගත් විට එය, බෞද්ධ දාර්ශනික සහ ආගමික වශයෙන්ද වෙනසක් දක්වන බව පෙනී යයි.

පින යනු සත්ත්වයාට මෙලොව මෙන්ම පර‍ලොව ආයු, වර්ණ, සැප, බල , ප්‍රඥා යනාදී යහපත් සැප විපාක ලබා දෙන ක්‍රියා ඵල වේ. පව යනු, ඊට ප්‍රතිවිරුද්ධ එනම්, සංසාරික සත්ත්වයාට දුක් විපාක ගෙන දෙන තවත් ලෙසකින් ඉහත සඳහන් කළ සැප විපාක අහිමි වන කර්ම ඵල වේ.

බෞද්ධ විග්‍රහය අනුව, අචේතනිකව කරන ක්‍රියාවන්ගෙන් පවක් හෝ පිනක් සිදු නොවේ.


සියලු ආකාරයෙන් දැනුවත් ක්‍රියාවකින් කවරෙකුට හෝ කවදාක හෝ දුක, කදුළු පිණිස වේ නම් එය පාපයක් ම වේ. යමක් ක්‍රියාවකින් තමන්ට හෝ අනුන්ට යහපත වේ නම් එය පින නම් වේ. තවද තමන්ගේ පින, පව විඳීම හෝ විඳවීම අනුන් විසින් පවරා ගැනීමක් නොවන අතර කර්ම ඵල විඳීම හෝ විඳවීම තමන්ටම වේ.

කොහොම වුණත් මේ අර්ථ දැක්වීමේ පවත්නා සංකීර්ණතාව නිසාම එය එක් එක් දේශකයන්, එක් එක් ධර්ම කුලකයන් විසින් තම තම නැණ පමණින්, තම තම අවශ්‍යතාව පරිද්දෙන් විග්‍රහ කරන බව පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස, පටු අවශ්‍යතාවන් මත සිට තම දරුවෙකුගේ ආදර සම්බන්ධයකට මාපියන් විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ආදරය වෙනුවෙන් පෙනී සිටීමත් බරපතල පාපයක් බව දේශනා කරන අවස්ථා දැක ගන්නට ඇත.


මන්ද, තමන් සාධාරණ පැත්තේ සිටියද මාපියන් වැරදි වුවද, එහෙත් මේ ක්‍රියාවෙන් ඔවුන් බලවත් වේදනාවකට පත් වන නිසාය. මේ අනුව ඉහත අර්ථ දැක්වීම ආචාර ධාර්මික අර්බුදයක් මතු කරයි. එහෙත් මෙය ලිහා නොගත හැකි ගැටලුවක් නොවේ. ඇතැම් විට, කොතරම් යහපත් ක්‍රියාවකින් වුවද තවත් පාර්ශවයක් වේදනාවට දුකට පත් වීම වැලැක්විය නොහැකිය. නිදසුනක් ලෙස, නොදැනුවත් බව මත ජනතාව පහසුවෙන් සූරාකෑම සිදු කරමින් පවතින විට, කිසිවෙක් එකී ජනතාව දැනුවත් කරන්නේ නම් සූරාකන්නන් පීඩාවට පත් වීම වැලැක්විය නොහැකිය. ඒනයින් මෙය පාප කර්මයක් යැයි ප්‍රකාශ කිරීම සත්‍යයක් වන්නේද? නැත.


එසේම විශේෂයෙන් ඉස්මතු කර දක්වන පස් පව්, දස පුණ්‍ය ක්‍රියා, අට මහා කුසල් ආදී වශයෙන් වූ ඒවාද ඇත්තේය. ඇත්ත වශයෙන්ම කිවහොත්, මේ වන විට සමාජයේ
පින = දානය
කියන තැනට නව අර්ථකථනයක්, නව සමීකරණයක් ආගමික වශයෙන් ඇති කර ඇත.


පරාර්ථකාමය මත පිහිටා යමෙක් කටයුතු කරන විට ඔහු සැම විටම අවධානය යොමු කරනු ලබන්නේ අනෙකාගේ පැත්තෙන් බලා අනෙකාගේ සතුට, යහපත වෙනුවන් ක්‍රියා කිරීම කෙරෙහිය. එවිට සැම විටම සිදු වන්නේ යහපත් ක්‍රියාය. මෙහි අනෙක් පැත්ත සිදු වන විට සිදු වන්නේ පාප ක්‍රියාය.

එසේ නම් මේ අනුව අප අතින් ගෙවී යමින් පවතින සෑම තත්පරයකදීම, පාපකර්මයක් හෝ පුණ්‍යකර්මයක් සිදු වෙමින් පවතියි. එය සිතිවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවකින් විය හැකියි.


එහෙත් සමාජය ගොදුරු කර දමා ඇති ඉහත සමීකරණය හේතුවෙන් සැබෑවටම සිදු වන, මොහොතක් පාසා එක් රැස් වන පින් පව් පසෙක දමා, ඒ වෙනුවට කිසියම් නිශ්චිත නිමේෂයක සිදු කරන ක්‍රියාවක් පමණක් පුන්‍යකර්ම සේ දක්වා ඇත. මෙය දේශපාලනික ක්‍රියාවකි. එනම්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ගොනාට ඇන්දවීමකි.

කොහොම වුණත් මේ ඇඳ ගැනීමට ජනතාවද ඉතා කැමතිය. ඒ තමන්ගේ සැබෑ අධ්‍යාත්ම විමුක්තිය පිළිබඳ කිසිදු ප්‍රඥාවක් නොමැති ඔවුන්ට තමන්ගේ කුහක පැවැත්ම එවිට කිසි කරදරයකින් තොරව ගෙන යාමට හැකි වන නිසාය. ජීවිතයේ වැඩිම කාලයක් පව්කම් කර ඒ පව් සියල්ල සෝදා හැර දිව්‍යලෝකයෙන් ඉඩකුත් වෙන් කර ගැනීමට ඉඳ හිටක කරන මහා පින්කම් වලට හැකි නිසාය. මේ අනුව ගත් විට සමාජයේ පවතින ප්‍රතිගාමී සංකල්ප, ඒවා ඉදිරිපත් කළ අයගේ මෙන්ම පවත්වාගෙන යන්නන්ගේද අනොන්‍ය එකඟතාවකින්ම පවත්වාගෙන යන ඒවා බව පෙනේ.

Sunday, October 28, 2018

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය - 19th amendment & Democracy

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමට බවයි එය ඉදිරිපත් කළ මෙන්ම එයට විචාරයෙන් තොරව එකඟතාවය පළ කළ අයගේද අදහස වූයේ. එහෙත් එය එසේමද යන්න අප අවධානයට යොමු කළ යුතුව තිබෙනවා.

විශේෂයෙන්ම, ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදු කිරීම, එයට එක් විය හැකි වාර ගණන සීමා කිරීම මෙන්ම පාර්ලිමේන්තුවක් ස්ථාපිත වූවායින් පසුව එය එහි සභිකයන්ගේ තුනෙන් දෙකක එකඟතාවයෙන් තොරව, වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීමද අයත්.


විධායක ජනාධිපතිවරයෙක් යනු, රටේ සමස්ත ජනතාවගේම බහුතරයේ කැමැත්තෙන් පත් වන පුද්ගලයෙක්. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු මැතිවරණ කොට්ඨාශයක සීමිත ජනතාවකගේ කැමැත්තෙන් බලයට පත් වන පුද්ගයෙක්. මේ නිසා ජනාධිපතිවරයෙක් තීරණ ගනිද්දී මුළු රටටම ඇති තම වගකීම සැලකිල්ලට ගෙනයි ක්‍රියා කරන්නේ. ඒ නිසා විධායක ජනාධිපතිවරයා සතුව එහි වචනයේ පරිසමාප්ත අර්ථයටම අනුව යම් විධායක බලතල ප්‍රමාණයක් පැවතිය යුතු වෙයි.

එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම හරය වන්නේ එහි පරමාධිපත්‍ය බලය ජනතාව සතුව පැවතිය යුතු වීමයි. එවිට ජනතාවට තමන් පත් කල ඕනෑම නියෝජිතයෙක් කාල සීමා නිර්ණයකින් තොරව අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. පාර්ලිමේන්තුව ජනතා මතයට පිටින් කටයුතු කරන විටක, එකී පාර්ලිමේන්තුව ස්වකීය කැමැත්තෙන් විසිරී යාමට කිසිසේත් ක්‍රියා කරනු ඇත්ද...? ඒ වෙනුවට සිදු වන්නේ හැකි තරම් කල් බලයේ සිටීමට උත්සාහ දැරීම සහ හැකි නම් මැතිවරණද කල් දැමීමට කූට උපායන් ක්‍රියාත්මක කිරීමයි.


මේ අනුව බලන විට පැහැදිලිව පෙනී යන සත්‍යය වන්නේ මෙකී සංශෝධනයෙන් පාර්ලිමේන්තුව වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීම ජනතා බලයට පයින් ගැසීමක් බවයි. ජනාධිපතිවරයෙක් තමන්ට එකඟ නැති එහෙත් ජනතා හිතවාදී පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියායයි සිතමු. එවිට ජනතාව විසින් නැවත පත් කරනු ලබන්නේද ඊටත් වැඩි බලයකින් එකී පාර්ලිමේන්තුවමයි. ඒ අනුව ජනාධිපතිවරයෙකුට ඒකාධිපතිවරයෙක් ලෙස අත්තනෝමතිකව ක්‍රියා කිරීමෙන් ඵලයක් ලද නොහැකියි.

එසේ නම් මෙකී සංශෝධනයේ වාසිය පැහැදිලිවම අයත් වන්නේ ජන පීඩක පාර්ලිමේන්තුවකට බලෙන් පැවතීම සඳහා බව පෙනී යයි.


එසේම ජනාධිපතිවරණයකට ජනතාව කැමති නම් ඕනෑම වාර ගණනක් ඉදිරිපත් වීමේ හැකියාවද පුද්ගලයෙකුට තිබිය යුතුයි. ජනතාවට ඔහුව අවශ්‍ය නම් වෙනත් පාර්ශවයක් විසින් එය වැලැක්විය හැක්කේ කෙලෙසද? එයත් පැහැදිලි ලෙස ජනතාව සතු බලය පැහැර ගැනීමක් වෙයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්, දැනටමත් තටු කපා ඇති ජනාධිපතිවරයා සම්පුර්ණයෙන්ම නිරායුධ කිරීමට අපේක්ෂිතයි. මේ සියල්ල තුළින් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය තව දුරටත් වළ දැමීම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

Friday, August 10, 2018

ශර්මි කුමාර්, කාන්තා ලිංගිකත්වය - Sharmi Kumar, Women's sexuality

ශර්මි කුමාර් (Sharmi Kumar), අන්තර්ජාල රූපවාහිනි චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ අදහස්. Porn Videos වල පෙනී සිටීමෙන් හා මුදලට කය අලෙවි කිරීම තුළින් ඇය බලාපොරොත්තු වන්නේ මුදල් හා ලිංගිකත්ව තෘප්තිය යන දෙකම ලබා ගැනීම බව ඇය ප්‍රකාශ කළා.

මෙය සත්‍යදැයි අපි සොයා බලමු. එය එසේ නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමේත් මානුෂීය පදනමක් නිර්මාණය වෙනවා. ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධ බටහිර රටවල පර්යේෂණවල ඉතිහාසය 60 දශකය පමණ ඈතට දිව යනවා. වර්තමානය වන විට තහවුරු කර ඇති කරුණ වන්නේ ලිංගිකත්වයේ උපරිම සතුට, සූරතාන්තය මත පදනම් නොවන බව. එය, ලිංගිකත්ව සම්බන්ධයක ආරම්භයේ සිට අවසානය අතර දක්වා පරාසයේ කවර හෝ අවස්ථාවක අත්දැකිය හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.


ඒ සඳහා බලපාන මුඛ්‍ය කරුණ වන්නේ දෙදෙනා අතර පවතින මානසික බැඳීම හා ආදරයයි. ඒ වගේම අදාළ මොහොතේ සිදුවන ආදරණීයත්වය මත පදනම් වෙමින් සිදුවන ක්‍රියාකාරකම්.

ඒ වගේම අවිවාදිතව පිළිගත් සත්‍යය වන්නේ කාන්තාවකගේ ලිංගික තෘප්තිය අනිවාර්ය ලෙසම තම සහකරු සමග පවතින මානසික බැඳීම හා අනුපාතිකව සමාන බව.

ඕනෑම අවස්ථාවක මුදල කිසියම් සිදුවීමක් සඳහා ඉදිරියට පැමිණේ නම් එතැන තව දුරටත් මානුෂීය සම්බන්ධයක් ඉතිරි වන්නේ නෑ. අප කඩයකට ගොස් බඩුවක් මිළදී ගත් විට අප තුළ සොඳුරු මතකයක් ඉතිරි වන්නේ එහි සේවකයා අපට දැක්වූ සුහද පිළිගැනීම හා සත්කාරය මත. එය මුදල හා කුඩා හෝ සම්බන්ධයක් පවතින බවක් හැඟී ගියහොත් ඒ හැඟීම තව දුරටත් ඉවත් වී ඇති වන්නේ පිළිකුල් සහගත හැඟීමක්.


ඒ වගේම අපට ඉතාමත් තද බැඳීමක් ඇති කරගත හැක්කේ එක් අයෙක් සමග පමණයි. කායික සබඳතාවක් නොව කායික සමීප වීමක් සඳහා වුවද මෙවැනි බැඳීමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව විවිධ පුද්ගලයන් හා අපට මෙවැනි සම්බන්ධයක් ඇති කරගත නොහැකියි.

ඒ වගේම කැමරාකරුවන්, ආලෝකකරණ ශිල්පීන් වැනි පුද්ගලයන් රාශියක් ඉදිරිපිට සිදුවන ලිංගික සබඳතාවක් තුළින් තෘප්තියක් අත්කරගත හැකියයි කීම හාස්‍යජනක කරුණක්. එවැනි අවස්ථාවක ලිංගික උත්තේජනයක් හෝ ඇති කරගත හැකි වන්නේ බලහත්කාරයෙන් සිදු කරන කායික උත්තේජනයන් තුළින්.

මේ අනුව අපට එළඹිය හැකි නිගමන දෙකක් තිබෙනවා. එකක් වන්නේ මෙය මනෝ විද්‍යාවේ එන ''සංරක්ෂණ ප්‍රයෝගයක්''  විය හැකි බව. දෙවැන්න, මෙය අලෙවි උපායමාර්ගයක් (marketing strategy) විය හැකි බව.


කාන්තාවකට සිදු කළ හැකි බරපතලම අපරාධය, ඇය ගණිකාවක් බවට පත් කිරීමයැයි ඕෂෝ පවසා තිබෙනවා. ඔහු එසේ කියන්නේ ඉතාමත් ගැඹුරු හේතූන් ඇතිව. එය එසේ නම්, කිසියම් හෝ දිනක සත්‍යය වැටහුණු විටක ගත වූ කාලය සම්බන්ධයෙන් බොහෝ දුක් වීම වැලැක්විය නොහැකියි.

ප්‍රස්තුත සම්මුඛ සාකච්ඡාවට අදාළ වීඩියෝව.

Sunday, August 5, 2018

වහල් ක්‍රමය, ගොදුරු න්‍යාය සහ කාන්තාව - Slavery, The Theory of Prey and Women

අපේ මේ සමස්ත පෘථිවි ලෝකය තුළම පවතින පොදු න්‍යාය වන්නේ කැළේ නීතිය හෙවත් ''ගොදුරු න්‍යායයි''. එනම්, සාපේක්ෂව බලවත් පුද්ගලයාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සාහසික ලෙස සාපේක්ෂව බලයෙන් අඩු පුද්ගලයාව යොදා ගැනීමයි. එය මිනිසාගේ සිට සමස්ත සත්ව ප්‍රාජාව දක්වාම පොදු වේ.

ම්ලේච්ඡ අවදියේදී එක් ජන කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ආක්‍රමණය කර ඔවුන්ව සමූල ඝාතනය කර දැමුනා. තවත් විටක කාන්තාවන් තමන් සතු කරගෙන පිරිමින්ව මරා දැමුණා. කාන්තාවන් තමන් සතු කර ගැනීම සිදු වුණා. ක්‍රමයෙන් නිෂ්පාදන ක්‍රම වර්ධනය වෙද්දී ශ්‍රමයේ අවශ්‍යතාවක් උද්ගත වීම නිසා පසුව අක්‍රමණික ප්‍රදේශවල පිරිමි මරා නොදමා වහලුන් බවට පත් කර ගත්තා.


සමාජය තවත් ඉදිරියට යද්දී වැඩවසම් ක්‍රමය ඇති වුණා. නිෂ්පාදන බලවේග විශාල ලෙස වර්ධනය වෙද්දී ශ්‍රමයට කලින් තිබූ අධි වටිනාකම නැතිව යාමත් සමග වහලුන් සහ ප්‍රවේණි දාසයන් පවත්වා ගැනීම අලාබ දායක ක්‍රියාවක් වූ හෙයින් ඔවුන් නිදහස් ශ්‍රමිකයන් බවට පත් කරනු ලැබුවා. තාක්ෂණය තව දුරටත් වර්ධනය වෙමින් යන මේ අවදියේ තමන්ගේම ආයතනවල නිල සේවකයන් තබා ගැනීමත් අලාබයක් වන හෙයින් මේ වන විට ලොව පුරාම ෆ්‍රීලාන්සර්ස් හෙවත් නිදහස් සේවකයන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එවිට සේවක අර්ථසාධක වගේ කිසිම වරප්‍රාදයක් දෙන්න ඕනෙ නෑ. වගකීමක් දරන්න ඕනේ නෑ.


මේ අනුව, ම්ලේච්ඡ අවදියට වඩා යම් සුබදායක තත්වයක් ලෝකයේ පවතින්නේ නිෂ්පාදන බලවේග දියුණු කල අතලොස්සක් මිනිසුන්ට පින් සිද්ධ වෙන්න. එහෙම නැතිව අදටත් ඉන්නේ එදා හිටපු ම්ලේච්ඡයාමයි.

ප්‍රාථමික යුගයේ මාතෘ මූලික සමාජයක් පැවතුණාට එයින් කාන්තාවට අමුතුවෙන් අත් වූ සෙතක් නෑ. එය මුල්ම කාලයේ මුලු ගෝත්‍රයේම පිරිමින්ගේ කාම ගොදුර බවට පත් වුණා. ක්‍රමයෙන් සමාන ජාන නිසා විවිධ සංජානීය ආබාධ සහිත දරුවන් බිහිවෙන බව අවබෝධ කර ගැනීමත් එක්ක පියවරෙන් පියවර සීයලා, තාත්තලා, සහෝදරවරු මේ කාම ගොදුරු ක්‍රියාවෙන් අයින් වුණා.

නිෂ්පාදන බලවේග දියුණු වෙලා අතිරික්ත සම්පත් එක් රැස් වෙනකොට ඔන්න පිරිමියාට ඕනේ වුණා තමන්ගේම ලේ තියෙන දරුවෙකුට ඒ ධනය පවරන්න. නිල පතිනියක් පිරිමියාට ඕනේ වෙන්නේ ඒ අනුව. ඒත් ඔහුගේ බහු කාන්තා සේවනයේ අවශ්‍යතාව හේතුවෙන් ඔහු ගණිකා වෘත්තිය නිර්මාණය කළා. ඒ වගේම, ඔහුට කාන්තාව රිසි සේ සූරා කෑමේ අවශ්‍යතාව හේතුවෙන් විවිධ සංකල්ප ගොඩනගමින් ඒවා ප්‍රශ්න කළ නොහැකි පොදු සමාජ සම්මතයන් බවට පත් කළා. ගෝත්‍රික අදහස් දරන ජන සමූහ අදටත් කාන්තාව සලකන්නේ තමන්ට පරිහරණය කළ හැකි භාණ්ඩයක් ලෙස. ඔවුන්ගේ අඳින ඇඳුමේ සිට සිතන පතන දේ දක්වා සියල්ල සිරගත කර තිබෙනවා.


ඒ වගේම දියුණු ශිෂ්ට යැයි කියන සමාජයද ඔවුනට දෙවෙනි වන්නේ නෑ. ඔවුන් කාන්තා කාම වෙළඳපළක් නිර්මාණය කරමින් ඔවුන්ව රිසි සේ සූරාකෑම සහ තම මනෝ ව්‍යාධීන්ගේ ගොදුරු බවට පත් කර ගැනීමද සිදු කරනවා. ''කෲර ලිංගිකත්වය'', ''සමූහ ලිංගිකත්වය'' වැනි නූතන ක්‍රියාවන් ඊට නිදසුන්.

යම් සමාජයක් කාන්තාව මුළුමනින්ම ආවරණය කරන්නේද එහි අර්ථය ඔවුන්ට කාන්තාව කාම භාණඩයකට වඩා දෙයක් නොවන බව. ඒ වගේම යම් සමාජයක් කාන්තාව වඩ වඩාත් නිරාවරණය කරන්නේද එහි අර්ථය ඔවුනට ව්‍යාජ නිදහසක් ලබා දෙමින් කාම භාණඩයක් බවට පත් කර ඇති බවයි.


මේ අනුව සමස්තයක් වශයෙන් ගත් විට අද වැදගත් ලෙස කතා කරමින් වැදගත් ලෙස අඳිමින් පළඳිමින් සිටින්නේද එදා සිටි ම්ලේච්ඡයාම බව ඉතා පැහැදිලිව පෙනී යනවා. මෙහි ඇති ශෝචනීය තත්වය අන් කිසිවක්වත් නෙවි. ම්ලේච්ඡයෙකුට, කවදාවත් ජීවිතයෙන් ලබන්න පුළුවන් අනන්ත අපරිමාණ සතුටෙන් බින්දුවක්වත් ලබන්න බැරි වීම. සතෙකුටත් වඩා අන්ත දුක්ඛිත තත්වයකින් ජීවිතය ගෙවා මිය යාම. ජීවිතයේ සතුට තියෙන්නේ කොතනද කියන එක අපි, '' ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස'' යන ලිපියෙන් සාකච්ඡා කර තිබෙනවා.

Sunday, July 29, 2018

ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස..... - The Theory for A Extreme Happiness Life

ආත්මාර්ථය යන්න විවිධ සංස්කෘතික, ආගමික සන්දර්භයන් මත විවිධ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. ඒත් අපේ මේ හැදෑරීම් සන්දර්භයට සාපේක්ෂව සැලකූ විට, එය මේ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. එය බොහෝ දුරට ඒ සඳහා නිවැරදි අර්ථ දැක්වීමද වේයැයි සැළකිය හැකියි.

බටහිර මනෝ විද්‍යාව අනුව සැලකුවොත් ''ආශාව'' යන්න සැලකෙන්නේ එය පුර්ණ වශයෙන් සපුරා ගැනීමට හැකි වුවොත් ඒ හා සමගම ''අතුරුදන්'' වන දෙයක් ලෙස. එහි තේරුම, තව දුරටත් ඒ ''ආශාව'' ආශාවක් ලෙසින් යම් කාලසීමාවකට අපේ සිතේ ඇති නොවන බව. එසේ නම් ''ආශාවක්'' යළි යළිත් අපේ සිතේ ඇති වන්නට නම් එය පූර්ණ වශයෙන් තෘප්ත වීමට කිසියම් ''බාධාවක් හෝ බාධාවන් සමූහයක්'' අප ඉදිරියේ තිබිය යුතුයි.


එවිට ''ආශාව'' අඛණ්ඩව එක දිගටම තබා ගැනීමට හැකි වෙනවා. විවාහක අයට තම සහකරුවා ඉතා ඉක්මනින්ම එපා වන්නේත් අනියම් සම්බන්ධයකට අයත් සහකරුවා ඉතා නැවුම් ලෙසින් හැම මොහොතකම දිගටම හැඟී යන්නේත් මේ සිද්ධාන්තය නිසයි. විවාහක අයට බොහෝ දුරට ''බාධාවන්'' ඇත්තේම නැති තරම්. එහෙත් අනියම් සම්බන්ධයක් කියන්නේ මරණය අතේ තියන් ඉන්නවා වගේ වැඩක්.


බෞද්ධ දර්ශනයට අනුව නම් ආශාවන් කවදාවත් තෘප්තියෙන් අවසන් වන්නේ නෑ. සෑහීමකට පත් වන්නේ නෑ. ඒ වෙනුවට තව තවත් ආශාව පසු පස්සේම ගමන් කරනවා. එය සපුරා ගත හැකි නව ආකාර ගැන සොයනවා. ඇත්තටම මේ කියන්නේ අර අපි කළින් කතා කළ අවස්ථාවේම ඊලඟ පියවර. එනම්, ආශාවක් සම්පූර්ණයෙන් සපුරා ගත් විට සිතේ ඇති වන අතෘප්තිය හේතුවෙන් එම ආශාවේම නව ආකාරයක්, දිගුවක්, නව සංස්කරණයක් අපේ සිත ඉල්ලා සිටිනවා. එයත් සම්පූර්ණයෙන් තෘප්ත වුවොත් එහිත් නව ආකාරයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ''ආවේගයන්'', ''ආතතීන්'' කියන්නේ විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ජාන මගින් ඇති කරන හෝ අපට පහසුවෙන් සපුරා ගැනීමට හැකි නොවීම නිසා හෝ ඇති වන හැඟීම් විශේෂයක්. මේ නිසා අප තුළ ''හීනමානයක්'' ඇති වනවා. මේ නිසා අපට ආවේගයන්, ආතතීන් සපුරා ගත් විට ඇති වන්නේ ආවේගයන් සමනය වීමෙන් ඇති වන සහනය හෝ ''වාඩුව'' ගැනීම නිසා ඇති වන ආකාරයේ සතුටක්. එය ''ප්‍රමෝදය'' ලෙසින් හඳුන්වන්න පුළුවන්. මේ නිසා ආවේගයන් සපුරා ගැනීමට එදිරි සාධක වෙනුවෙන් පළි ගැනීමේ චේතනාවක් අපේ සිතේ ඇති වෙනවා.


 ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව, ආශාවන් යන්න, අපේ විවිධ ''වේදනාවන්'' දුරු කර ගැනීමට දරන උත්සාහයක් මිස ''සැබෑ විඳීමක්'' නොවන බවද පෙනවා දෙනවා. නිදසුනක් ලෙස කුසගින්න නම් වේදනාව දුරු කර ගැනීමට අප ආහාර වෙනුවෙන් ආශා කරනවා. ජානවලින් මෙහෙයවන ආවේගයන් හේතුවෙන් ලිංගිකාශාවන් අපේ සිතේ ජනිත වෙනවා. එම ආවේගයේ වේදනාවෙන් දුරු වීමට අප එම සම්බන්ධයකට යොමු වෙනවා. එවිට එම ආවේගය සමහන් වීම හේතුවෙන් අපට දැනෙන ''සහනය'' අප ''විඳීමක්'' ලෙසින් වරදවා තේරුම් ගන්නවා.

මේ කරුණු සියල්ල මතකයේ තබාගෙන අපේ නව සිද්ධාන්තය වෙත යොමු වෙමු. එනම්,

ආත්මාර්ථකාමය පදනම් වෙමින් අපේ සිතේ ඇති වෙන්නේ ආවේගයන් සහ ආතතීන් වන අතර ඒවා අප විසින් පොදුවේ ''ආශාවන්'' ලෙසින් නාමකරණය කරගන්නවා. එහෙත් ආවේගයන් සහ ආතතීන් තෘප්ත කර ගැනීමට යාමෙන් අපට ''විඳීමක්'' ලබා ගත නොහැකි අතර එම ආවේගයන් යම් මොහොතකට සමහන් වීමෙන් ඇති වන ''සහනය'' පමණක් අත්දකිනවා.

ආත්මාර්ථය පදනම් කරගත් සිතක ඇති වන ආවේගයන් හෝ ආතතීන් සමහන් කර ගැනීමට යාමේදී ඒ පුද්ගලයා සිතන්නේ එය කෙසේ හෝ කුමන අයුරකින් හෝ සපුරා ගන්නා ආකාරය පමණයි. එහිදී එයට සම්බන්ධ වන කිසිදු සාධයක යහ පැවැත්ම කෙරේ ඔහුගේ අවධානය යොමු නොවෙයි.


එහෙත් පරාර්ථය පදනම් කරගත් පුද්ගලයාගේ සිතේ ආශාවක් ඇති වූ විට ඔහුගේ ඊට සම්බන්ධ සෑම සාධකයක් ගැනම අවධානය යොමු වෙනවා. ඒ හැම සාධකයකම යහ පැවැත්ම කෙරෙහි ඔහුගේ සිත නිසගයෙන්ම යොමු වන නිසා. එවිට ඔහුගේ ආශාව තෘප්ත කරගැනීම සාමූහික එකක් වනවා. හුදු ආවේගයන් පහ කර ගැනීමක් නොවෙයි. මේ නිසා මේ එය ''විඳීමක්'' බවට පත් වෙනවා. එනම් එය, ආවේගයන්ට දක්වන ප්‍රතිචාරයක් වෙනුවට, අපම විසින් උත්පාදනය කර ගන්නා නව සොඳුරු හැඟීම් විශේෂයක් බවට පත් වෙනවා. ඒ නිසා එයට අර ''ආශාවේ පොදු න්‍යාය'' සත්‍යයක් වන්න්නේ නෑ. මේ නිසා ඔහුගේ විඳීම දිගින් දිගටම එකම ආකරයේ එකක් වුවත් එය ඒකාකාරී නීරස එකක් බවට පත් වන්නේ නෑ. එහෙත් ආවේගයන් සමහන් කර ගැනීමට යන්නාට එකක් පසුපස එකක් නව නව ආකාරයේ අත්දැකීම් හිමි කර දුන්නත් ඔහුට කිසි විටකවත් ''සබෑ සතුට'' හෝ ''විඳීම'' හමු වන්නේ නෑ.

යමක් ''විඳීමක්'' බවට පත් වීමට නම් එය ''ආදරය'' සහ ''පරාර්ථය'' මත පදනම් විය යුතු වෙනවා. එසේ නොමැතිව ආත්මාර්ථය මතින් පදනම් වේ නම් එය හුදු ආවේගයන්, ආතතීන් සමහන් කර ගැනීමක් පමණයි. එතැන ''විඳීමක්'' නැහැ.

ආදරණීය සිතක් තුළ ඇති වන ''විඳීම'' වනාහි හැම විටම නව උත්සවකාරී දෙයක්. එහි පිළුනු වීමක් නෑ. නිතරම නැවුම්. ඒ ඔහු නිතරම අනෙකා සමගින් ආදරණීය ලෙසින්, සොඳුරු ලෙසින් සම්බන්ධ වන නිසා. එහෙත් ආත්මාර්ථකාමී සිතක් තුළ ඇති වන ආශාව වනාහි ස්වකේන්ද්‍රීය එකක්. අවශෝෂණීය එකක්. එය උරා ගැනීමෙන් අවසන් වන එකක්. එහි නව නිමැවුමක් නෑ. හරියට විශ්වයේ තියෙන කළු කුහරයක් වගේ.


ආශාවක් කියන එකේ තේරුමම, එය තවමත් අප වෙත නොලැබීම නිසා ඇති වන ආවේගයක් යන්න. ඉතින් එය ලැබුණු පසුව තව දුරටත් එයට ''ආශාව'' යන්න සත්‍යයක් වන්නේ නෑ. නොලැබීම නිසා ඇති වන හැඟීම, ලැබුනු පසුව තව දුරටත් පැවතීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙත් ආදරණීය පුද්ගලයෙක් තමන් තුළ ඇති වන ආශාව, වෙනත් තත්වයක් බවට පත් කර ගන්නා නිසා ඔහුට අර නොළැබීමේ න්‍යාය අදාළ වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින්, අඩු වශයෙන් එය උත්පාදනය වන පුද්ගලයාගේවත් යහපැවැත්ම ඇති කරන්නේ නෑ. එය පුද්ගලයාව ගෙන යනු ලබන්නේ මිරිඟුවක් දෙසට වන අතර විනාශයේ අවසානය වෙතටයි. නිදසුනක් ලෙස අනෙකාව සූරාකෑම තුළින් ධනවත් වන පුද්ගලයෙක් සලකන්න. ඔහු ඒ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරන්නේ ආශාවේ වහලෙක් බවට පත් වෙමින්. ඒ තුළ ඔහුට අහිමි වන සතුට සොයා යමින් ඔහු විවිධ අත්හදා බැලීම්හි නිරත වන නමුත් කිසිදා ආතතීන් සමනය වීමක් විනා සැබෑ සතුට හමු වීමක් සිදු වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින් එක් තැනක පැවැත්මක් වෙනුවෙන් තවත් පැවැත්මන් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීම සිදු වෙනවා. ඒ නිසා එතැන මූලික ප්‍රතිඵලය ''විනාශය''. එහෙත් පරාර්ථය තුළ සාමූහික, විශ්වීය පැවැත්මක් අරමුණු කෙරෙනවා. තහවුරු කෙරෙනවා. මේ නිසා එතැන ප්‍රතිඵලය, ''පැවැත්ම'', ''විඳීම''.


ඒ වගේම පරාර්ථය සහ ආදරය කියන්නේ අනෙකෙකුගේ පැවැත්ම වෙනුවෙන් සවිඥානික ලෙස සහ ස්නේහයෙන් යුතුව සිදුවන මැදිහත් වීමකට. එය, විඥානය විසින් උත්පාදනය කළ උතුම්ම සිතිවිල්ලයි. සිත, මේ සමස්ත විශ්වයේ, ද්‍රව්‍යයේ බලවත්ම දෙය වන විට, ඒ බලවත්ම දෙය විසින් නිපදවූ බලවත්ම හා උත්තරීතරම දෙය පරාර්ථය සහ ආදරයයි. සිත, මේ විශ්වයේ බලවත්ම දෙය වන්නේ, ද්‍රව්‍යය විසින් නිමවී, ඒ තමන්ව නිමවූ ද්‍රව්‍යය දෙසම ආපසු බැලීමට හැකි එකම දෙය එය වන නිසයි.

Saturday, June 23, 2018

සැබෑ වැද්දෝ නම් කවුරුන්ද?

නූතන වැදි නායක, ඌරු වරිගයේ වන්නියලැ ඇත්තෝ වෙසක් මාසයේ ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුනේ තව දුරටත් ''වැදි බණ'' යන යෙදුම තාර්කික නොවන බවයි. සංකල්පීය තලයේ එකක් පවසමින් ප්‍රායෝගික තලයේ එහි පරස්පරය ක්‍රියාත්මක කරන අයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සුලබ යෙදුමක් වන්නේ ''වැදි බණ දේශනා කරනවාය'' යන්න.

නූතන වන ජීවි සංරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් වැදි ජනතාව දඩයමෙන් ඈත් වී තිබෙනවා. වන්නියලැ ඇත්තෝ නම්, වසර 37ක පමණ කාලයක සිටම දඩයමෙන් පමණක් නොව මස් මාලු කෑමෙන්ද වැලකී සිටින බවයි පවසන්නේ. ඒ වගේම අනෙක් ශිකෂා පද හතරද බොහෝ දුරට වැදි ජනතාව ආරක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එහෙත් අපේ මහා සමාජය එයට විලෝමව බෙහෙවින් දූෂිත බවට පත් වෙමින් පවතින බවත් ඔහු දකිනවා.


පෝයට සිල් ගන්නවාදැයි ඇසූ විට ඔහු පවසා තිබුනේ ''ශීලය'' ඔහුගේ ජීවිතය තුළ හැම මොහොතකම පවතින නිසා බොරුවට පෝය දිනට පමණක් සුදු රෙදි පොරවා ගැනීමේ අවශ්‍යතාවක් තමන් නොදකින බව.

එසේම දඩයමේ යෙදෙන කාලයේ වුවද ඔවුන් සතුව ඒ සම්බන්ධයෙන් ආචාර ධර්ම සමූහයක් තිබූ බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව ගැබ්බර සතුන්, නිදැල්ලේ සැතපී සිටින සතුන්, දිය බොන සතුන් දඩයම් කිරීම තහන්චි වෙයි. ඒ වගේ සතුන් දරුවන් මෙන් කවා පොවා ඇති දැඩි කර ඔවුන් මරා කෑමද වැදි ජනතාව පිලිකෙව් කරයි. ඔවුන් ගවයන් හා කුකුළන් ඇති කළද ගව හෝ කුකුල් මස් හෝ බිත්තර ආහාරයට නොගනියි.


පරමාදර්ශ වශයෙන් සලකා බලන විට, ඉහත ආචාර ධර්ම අපට සැලකිය හැක්කේ ''සාපේක්ෂ'' ඒවා වශයෙන් පමණයි. නමුත් එවැනි මට්ටමක්වත් ඔවුන් තුළ පවතින විට හා ''ශිෂ්ට'' යැයි කියන මහා සමාජය තුළ එවැන්නක්වත් නොපවතින විට මහා සමාජයේ ''ශිෂ්ට'' බව ඇත්තේ කොතැනදැයි ඔහු අසන ප්‍රශ්නයට අපට දෙන්න පුළුවන් පිළිතුර කුමක්ද? අප අංශක 360ක් ආපසු කරකැවී ම්ලේච්ඡත්වයට ගමන් කර ඇති බවද?

මිනිසුන් ආගම් නිර්මාණය කර ගත්තේ තමන්ට ජීවිතය, එහි ඉරණම, තමන්ගේ ආරම්භය, පැවැත්ම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු වලට පිළියමක් ලෙස විනා ඔහුට පළමුව ආගම් පැවතුනා නොවේ. ඒ නිසා ආගම් යනුද ඒ ඒ සමාජවල අවශ්‍යතාවන්ගේ නිර්මිතයක් පමණි. ඉහත ප්‍රශ්නවලට අදාළ 'සත්‍යය'' සෙවීමේ අරමුණක් මිනිසා තුළ පැවතුණා නම් මේ වන විට ඔහු එය සොයාගෙන හෝ තව දුරටත් සොයමින් සිටිනවා ඇත. එවිට, ''එක් සත්‍යයක්'' මිස ''සත්‍යයන් සමූහයක්'' නොපවතිනු ඇත.  එවැන්නක් එහෙත් එවැන්නක් ලෙහෙසියෙන් විය නොහැක්කේ ''ආත්මාර්ථය'' විසින් ඔහුගේ බුද්ධිය අවුරාලනු ලබන බැවින්.


පුද්ගලයෙකුට ඇසෙන්නේ තමන් ඇසීමට කැමති දේ පමණක්ය යනුවෙන් කියමනක් ඇත. එයට, ''පුද්ගයන් සත්‍යය සොයා යන්නේද තමන් දැකීමට කැමති සත්‍යය වෙනුවෙන්'' බවට තවත් කියමනක් එකතු විය යුතුය.

ස්වභාව ධර්මයේ සංකීර්ණ හා අපූර්ව භාවය, අභියෝග, සමස්ත සත්ව ප්‍රජාවේම ආත්මාර්ථකාමී සාහසික ස්වභාවය නිසා ඔහු තුළ ඇති වන අසරණ අනාථභාවය තුළ සරණක් පතා ඔහු ආගම නිර්මාණය කර ගත්තේය. ඔහුගේ ආත්මය යම් තාක් දුරට හෝ පවත්වා ගත හැක්කේ ඒ මතය. එහෙත් එය කිසිසේත් සුන්දර ජීවිතයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව, මිනිසුන්ගේ අසතුට, ගැටුම්, ආනාරක්ෂිතබව තුළින් මනාව පැහැදිලි වෙනවා.

එකිනෙකාව ගොදුරු කර ගැනීමෙන්, සූරාකෑමෙන්, හිංසාවට පත් කිරීමෙන් වෙනුවට එකිනෙකාට ආදරය කරන, උපකාර කරන, සාමූහික පැවැත්මක් වෙනුවෙන් ක්‍රියා කරන, සිතන සමාජයක් නිර්මාණය වන්නේ එකිනෙකාගේ සිත්වලින් අපව පෙළන රුදුරු ''ආත්මාර්ථය'' ක්ෂය වී ගිය දිනටය. වසර ලක්ෂ ගණනකින් හෝ උදා විය හැකි ඒ දිනට සියලු සත්වයෝ සතුටින් ජීවිතය ''විඳිනු'' ඇත.


Sunday, May 27, 2018

ක්ෂේම භූමිය සොයා යාම.....

මිනිසාද ඇතුළත් පෘථිවි ලෝකයේ සත්වයාගේ සිත්වල පදනම ආත්මාර්ථකාමිත්වයයි. එය යම් යම් ආකාරයෙන් කලමනාකරණය වීමක් සියලුම සත්ව සමාජයන් තුළ සිදු වෙයි. ඒ වගේම යම් යම් භාවමය සාධක මත එය යම් යම් සන්දර්භයන් තුළ පුද්ගලයාගේ අඩු වැඩි වීමක්ද සිදු වෙයි. ඒ හැර, පදනමින් ගත් විට පුද්ගලයා පෙළන මෙම ආත්මාර්ථකාමීත්වය ක්ෂය වීමක් මහේක්ෂ ලෝකය තුළ කිසිසේත් සිදු වන්නේ නෑ.

ඇත්තටම මේ ලෝකයේ සියළුම අංශයන්ගේ සංවර්ධනයට ඇති මූලිකම බාධකයද එයයි. දැනට ලෝකය අත් පත් කර ගනිමින් සිටින භෞතික සංවර්ධනය හා සමාජ සංවර්ධනය යනු, මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය උපක්‍රමික ලෙස පාලනය කරමින් ලබාගෙන ඇති එකක් පමණයි. එය ඒ නිසාම ඕනෑම මොහොතක බිඳ වැටී යන්නටද පුළුවන්. නිදසුනක් ලෙස, ස්වාභාවික විපත්, යුද්ධ වැනි අවස්ථා දැක්විය හැකියි. ඒ වගේම කිසියම් හේතුවක් නිසා මේ පවතින සමාජ ආර්ථික රාමු බිඳ වැටුණහොත් සමාජය නැවත ගෝත්‍රික යුගයකට යාමට වැඩි වේලාවක් ගත වෙන්නේ නෑ.


මේ පූර්විකාව ඉදිරිපත් කළේ ක්ෂේම භූමි චිත්‍රපටය ගැන විමසුමකට පිවිසුමක් ලෙසින්. "සිටු කුමරියෝ, ආරාධනා, දඬුමොණර, දුහුළු මලක්‌" ඇතුළු අපේ සිනමාවේ චිත්‍රපට ගණනාවක්‌ අධ්‍යක්‍ෂණය කළ අභාවප්‍රාප්ත විජය ධර්ම ශ්‍රී සිනමාකරුවාණන් අවසන් වරට නිර්මාණය කළ "ක්‌ෂේම භූමි" චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවා. අයිලින් සිරිවර්ධන ලියූ සම්මානනීය නවකතාව පාදක කරගෙන සිනමාවට නැගුණු "ක්‌ෂේම භූමි" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්‍රේමසිරි කේමදාසයන් විසින්. විජය නන්දසිරි, සංගීතා වීරරත්න, ජැක්‌සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස්‌ ඇතුළු දක්‌ෂ නළු නිළි පිරිසක්‌ මෙහි චරිත නිරූපනය කරනු ලබනවා. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අධ්‍යක්‍ෂ විජය ධර්ම ශ්‍රී වියෝ වීමෙන් පසු අතපසු වී තිබියදී චිත්‍රපට සංරක්‌ෂකයකු හා ප්‍රදර්ශකයකු වන තිස්‌ස නාගොඩවිතානයන් මැදිහත් වීමෙන් 2010 වසරේදී මුල්වරට ප්‍රදර්ශනය වුණා.

80 ජූලි වර්ජනයට සහභාගී වීම නිසාත් වාමාංශික දේශපාලනයට සහභාගී වීම නිසාත් රැකියාව අහිමි වන අහිංසක ලිපිකරුවෙක් වටායි මේ කතාව ගෙතෙන්නේ. යන එන මං නැති තත්වයට පත් වන ඔහු අවසානයේ නතර වෙන්නේ විශාල ව්‍යාපරිකයෙක් බවට පත් වෙමින්.


සාමාන්‍ය පුද්ගලයෙකුව සිටි කාලයේ දූ දරුවන් හා බිරිඳ සමගින් ඉතා සතුටින් කෙළි දෙළෙන් ගත කළ ඔවුන් දියුණුවේ හිනි පෙත්තට ගමන් කරන විට එකිනෙකාගෙන් දුරස් වීමත්, තනි වීමත් සිදු වන අතරම කලින් තිබූ සතුට අහිමි වී යන ආකාරයත් පෙන්නුම් කෙරෙනවා. වැඩිමල් සහෝදරයා රැකියාවකුත් නැතිව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය සිටියේ විශ්වවිද්‍යාල වරම් ලබා ඔහුට වඩා ඉහළ ස්තරයක.

එහෙත් ඔවුන් නොසිතූ ස්ථානයකට ගමන් කරන විට ඇය, සාපේක්ෂව පහළ ස්ථරයකට වැටෙනවා. ඒ නිසා ඔහුට සිදු වන්නේ මාපියන්නේ සිතැඟිවලට ඉඩ දී ඇයව හැර දැමීමට. එහෙත් එයින් ඔහු අර්ධ වශයෙන් මල පුද්ගලයෙක් බවට අධ්‍යාත්මිකව පත් වීමයි සිදු වන්නේ. එහෙත් ඒ බව පෙන්වා දුන් විට පිළිගැනීමටවත් වැඩිහිටියන් සූදානම් නොවන විට පෙනී යන්නේ ඔවුන් ''ක්‍රමය'' තුළ කොතරම් ගොදුරු වී ඇත්ද යන්නයි.


අති විසල් නිවසේ නාමය ලෙස ''ක්ෂේම භූමි'' ලෙස නම් කර තිබුණත් එය, සැබවින්ම ගත් විට ඔවුන්ට ජීවිතය අහිමි කර සිරගත කළ බන්ධනාගාරයක් බව පැහැදිලි වෙනවා. මේ සිරගෙයින් පළා ගොස් ජීවිතය සොයා ගැනීමට බාල පුතු ක්‍රියා කරන්නේ ඔහු ''ජීවත් වීමට'' ආශා කරන බැවින්. ''ව්‍යාපාරය අපේ බව ඇත්ත මල්ලි. ඒත් ඇත්තටම ඒක අපේ නෙවෙයි'' යන්නෙන් වැඩිහිටි සහෝදරයා පෙන්වා දෙන්නේ තමන්ම විසින් ගමන් කළේ වුවද වර්ධනය කළේ වුවද ''ක්‍රමය'' විසින් අවසන් වශයෙන් තමන්ටද පාලනය කරගත නොහැකි අයුරින් එයට ගොදුරු කරගන්නා බව. ඉන් මිදෙන්නට, ''ක්‍රමය'' තුළ සිටිමින් නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ආත්මාර්ථය තුළින් අවසන් වශයෙන් සිදු වෙන එකම දෙය, අනුන්ටත් ජීවිතය අහිමි කරමින් තමන්ටත් ජීවිතය අහිමි කර ගැනීම.


මේ වැනි සත්‍යම සිදු වීම් ඔබ අවට මෙන්ම අපේම ජීවිතවලින්ද ඕනෑ තරම් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. මේ තුළින් පෙන්වා දෙන සත්‍යය, අන් කිසිවක් නොව අප පදනමින් ආත්මාර්ථකාමීන් බව. ''අවස්ථාවන්ට'' අපව සහමුලින්ම වෙනස් පුද්ගලයන් බවට පත් කිරීමට හැකි වෙන්නේ ඒ නිසායි.

ආත්මාර්ථය පදනම් වන්නේ ''ආශාවන්'' මත. ''ආශාවන්'' යනු කිසිදා තෘප්තියෙන් අවසන් වන ඒවා නොවේ. එකක් පසුපස එකක් බැගින් ආශාව - තෘප්තිය - අතෘප්තිය - නව ආශාව යන දාමයේ ඒ ඒ අවස්ථාවේ ප්‍රතිඵලයත් අතෘප්තියම වන අතර එය අවසන් වන්නේ පුද්ගයා වල්මත් වී මානසික රෝගියෙකු බවට පත් වීමෙන්. ජීවිතයේ විඳීම් ඇත්තේ එයට විලෝම වන පරාර්ථයත් ඒ තුළින් ඇති වන ආදරයත් මත පමණයි.

Saturday, May 26, 2018

තරු අතරින් මිහිබට සුරංගනාවිය, තාරා ........

ඇය නම් බොහෝ පැතිවලින් බලන විට සුරංගනාවියක්ම තමයි. සම්පූර්ණයෙන්ම සුරංගනාවියක් සේ කියන්න අපහසු, තව පූර්ණය කරගත යුතු දේවල් තියෙන නිසයි. තාරා ටෙලි සිතුවම ඇරඹෙන්නේම ඇය කුමන වැන්නියක්දැයි අපට විෂද කරවමින්. ඒ වගේම ජීවිතය ගැන බොහෝ දේ හිතන්නට ඉඩහසර ලබා දෙමින්.

ඒ වගේම ශලනි තාරකාගේ භාව පූර්ණ රංගනයද ඉතාමත් විශිෂ්ට බව කිව යුතුයි. ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණය, නාමල් ජයසිංහගේ රූපවාහිනී රචනය සේම හොඳ නිර්මාණ සඳහා කවදත් දායක වන ෆාහිම් මවුජූඩ්ගේ නිෂ්පාදන දායකත්වයද මෙහිදී මෙම නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. කවදත් විශිෂ්ට රංගනයකින් දායක වන චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර ගැන වගේම සම්මානයෙන්ද ඇගයීමට ලක් වූ ළමා නිළි සහේලි සදෙත්මා ගැනද අප සිහිපත් කළ යුතුමයි.


කතාව ඇරඹෙන්නේ නන්දිතා, හදිසියේම එරන්දගේ නිවසට යාමට තීරණය කිරීමෙන්. එහෙත් සාම්ප්‍රදායිකත්වයේ, ගතානුගතිකත්වයේ ඉහළින්ම සිටින එරන්දගේ මව නන්දිතාව දකින්නේ වෙනත්ම කෝණයකින්. එනම්, සෙල්ලක්කාර, නාගරික හිස් චරිතයක් ලෙසින්. ඇය සිතන්නේ ප්‍රේම සබඳතා, කායික සබඳතා නන්දිතාට සාමාන්‍ය දෙයක් වන බවයි. ලාංකීය සමාජයේ සදාචාර ධර්ම ගැන අඩුම තරමේ හැඟීමක්වත් නැති බවයි මවට හැඟී යන්නේ. ඇය ඒ නිසාමයි කියන්නේ කන්‍යාභාවය සෙවීම අනිවාර්ය ලෙස තම පාර්ශවයෙන් කෙරෙන බව. එහෙත් එය කියන්නට ගොස් සිදු වෙන්නේ එතැන කාටවත් හිස ඉසවීමට නොහැකි හාස්‍යජනක තත්වයක් නිර්මාණය වීම.


ඇත්තෙන්ම එරන්දගේ මව තුළින් අපට ලාංකීය සිතුවිලි විශ්වයේ පැතිකඩවල් ගණනාවක්ම ගැන අනාවරණය කර ගන්නට හැකි වෙනවා. ඒ තමයි, ආදර සම්බන්ධයක් යන්න හුදෙක් ලිංගික සම්බන්ධයක් හැඳින්වීම සඳහා කෙරෙන නාමකරණයක්ය යන විශ්වාසය, එසේම ලිංගික සම්බන්ධයක් යන්න, අශ්ලීල පහත් දෙයක්ය යන සිතේ එක් පසෙක ඇති හැඟීම, ලිංගික සම්බන්ධයක් පැවැත්වූ විට කාන්තාව අපවිත්‍රකරණයට ලක් වූ ජීවියෙක්ය යන හැඟීම, කාන්තාව යනු හුදෙක්ම ලිංගික භාණ්ඩයක්ය යන හැඟීම යනාදියයි. නියම් හෝ අනියම් හෝ අයුරින් ලිංගික සම්බන්ධයක් පැවැත් වූ පසු ජීවිතයේ කිසිදාක ඇයට කලින් තිබුණු පිළිගැනීම හිමි වන්නේ නෑ.

එහෙත් මනෝ විශ්ලේෂණාත්මකව බැලූ විට මේ සදාචාරවාදීන් ලෙස පෙනී සිටින අයවලුන්, ඉතාම දැඩි මානසික රෝගීන් පිරිසක් බව පැහැදිලි වෙනවා. ඒ වගේම නිර්දය හා සාහසික ආත්මාර්ථකාමීන් පිරිසක්. එහෙත් මතු පිටට පෙනෙන්නේ එහි අනෙක් පැත්ත. නන්දිතා, තමන් මීට කලින් ප්‍රේම සබඳතා දෙකක් පැවැත් වූ නමුත් ඒවා සෙක්ෂුවල් සම්බන්ධතා නොවූ බව පවසන විට එරන්දගේ පියාට පිට උගුරේ යන්නේත්, මවට හිස උස්සන්නට බැරි වෙන්නේත් ඒ නිසයි. එහෙත් නන්දිතා ආදරය සේම එහි ආංශික පැතිකඩක් වන ලිංගික සම්බන්ධතා ගැනද බොහෝ දුරට නිවැරදි දැක්මක සිටින බව ඇය විවෘතව කතා කරන ආකාරයෙන් අපට පෙනී යනවා. ඒ වගේම ඇය වොෂ් එකක් දා ගන්න එරන්දගේ ටීෂර්ට් එකක් ඉල්ලීම, ඔහුගේ වොෂ් රූම් එකටම යන්න සුදානම් වීම තුළින්ද එය මනාව පේනවා. හුදෙක් සම්පූර්ණ දෑස්ම ලිංගිකත්වයේ කණ්නාඩියකින් වැසී ඇති බොහෝ දෙනාට මේවා ජුගුප්සා ජනක දේවල්. ඔවුන්ට මේවා හැඟී යන්නේ මහ දවල් සාලයේ පූර්ව රති කෙළියක් සිදු වන්නට යන අයුරින්....!


තමන් මුල් දෙදෙනා සමග ලිංගික සම්බන්ධතාවක් නොපැවැත්වූයේ එය වරදක් ලෙසින් සිතීම නිසා නොව, එවැනි හැඟීමක් ඔවුන් සම්බන්ධයෙන් ඇති නොවූ නිසා බව ඇයගේ ප්‍රකාශයෙන් පැහැදිලිව විද්‍යමාන වනවා. ''හැඟීමක් ඇති වුණා නම් ඉතින් මෙයා ගැන තමයි'' යනුවෙන් පවසා එරන්දගේ උරහිසට තට්ටු කරන විට වැඩිහියන්ට සිතෙන්න ඇත්තේ පොළොව පලාගෙන යන්න.


මෙම ලිංගික නියුරෝසීය රෝගී තත්වය ඇති වෙන්නේ එකිනෙකට පරස්පර සංකල්ප දෙකක් අපේ මනසේ නිරන්තර ගැටීමට ලක් වීමත් ඒ ගැටීමෙන් නිගමනයකට ඒමට අප අපොහොසත් වීමත් නිසයි. මේ ගැන නම් ඉතින් වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ඒ නිසා එය වෙනත් අවස්ථාවකට කල් තබමු. කොහොම වුණත් යම් අදහසක් ගන්න කියන්න තියෙන්නේ, මෙහෙම වෙන්නේ, අපට සහජාශයෙන් සහ සංකල්පීය වශයෙන් යන දෙකින්ම එන ලිංගික ආවේගයන් සහ ලිංගිකත්වය පහත් අශ්ලීල දෙයක්ය යන හැඟීම් එකිනෙක ගැටීමත්, ඒ තුළින් අවසන් නිගමනයකට ඒමට පුද්ගලයාට නොහැකි වීමත් මතයි. මේ තුළින් නිර්මාණය වන මානසික රෝගී පුද්ගලයාට මරණ මංචකය දක්වාවත් මෙයින් මිදීමට හැකි වන්නේ නැති අතරම, එය ඒ පුද්ගලයාට ජීවිතයේ සාරය අහිමි වීමටත් සමස්ත සමාජයක විශාල ගැටලු සමුදායක් ඇති කරමින් අර්බුදයක් නිර්මාණය කිරීමටත් හේතු වෙනවා.

තාරා තුළින් අපට ජීවිතය ගැන කතා කරන්න මාතෘකා රැසක්ම විවර කර දෙනවා.


දෙන්නා වෙනුවෙන් කේන්දර බලනවාට නන්දිතා විරුද්ධ වන්නේ ඇගේ කේන්දරය නරක් වීම නිසා නොව, එවිට එය ආදරය කියන යන ආස්ථානයෙන් විතැන් වී හුදෙක් සමාජයේ බහුලව සිදු වන තවත් එක් ගණුදෙනු ක්‍රියාවලියක් බවට පත් වන නිසයි. ගුණාත්මයක් නැති මනුස්ස සම්බන්ධයකින් ඉතිරි වන්නේ උදාසීනතාව, විඩාව, කලකිරීම, අප්‍රසන්නතාව, කෝපය වැනි හැඟීම් පමණයි. එසේම දෙන්නා එකිනෙකාට යෝග්‍ය වන්නේද යන්න එකිනෙකාගේ අවබෝධයෙන් සිදු වනවා වෙනුවට එය වෙනත් මානයකට භාර දෙනවා යන්නේ අර්ථයම, දෙදෙනා අතර අවබෝධයක් නොමැති බව සහ නොගැලපෙන බව නොවේද?

'' දානය '' යනු කිසි සේත් පුණ්‍ය කටයුත්තක් නොව අති විශාල ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් කෙරෙන ආයෝජන ක්‍රියාවලියක්ය යන සත්‍යයද මෙහිදී අපට පෙන්වා දෙනවා. නන්දිතා තුළ අවට ලෝකය කෙරෙහි ආදරයක් මිස එවැනි පටු ආත්මාර්ථකාමී හැඟීමක් නොමැති බව ''නෑ ආන්ටි මේක එහෙම දෙයක් නෙවි, මන් ආසයි පොඩිවුන්ට උදවු කරන්න'' යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.


 ඒ වගේම චාරිත්‍ර ලෙස පළමුවෙන් යුවතියගේ නිවසට පැමිණිය යුතු බව මව කියද්දී, ''එන්න ආන්ටි එන්න. ඕනි වෙලාවක එන්න'' යන සැහැල්ලු ප්‍රකාශයෙන් ඇය තුළ ආදරය පිළිබඳ හැඟීමක් සහ ඇගයීමක් විනා හුදෙක් සමාජ සම්මුතියක් සේ සිදු කෙරෙන පිරිමියෙක් හා ගැහැනියක් අතර විවාහයක් යන්න කෙරෙහි හැඟීමක් නොමැති බව පෙනී යනවා. ඒ, එහි හුදෙක් මානව පරපුරේ අඛණ්ඩතාව පවත්වාගැනීමේ ජානමය වුවනාවට වඩා කිසිදු දෙයක් නොමැති නිසාවෙන්.

කෙනෙක් විවාහ වෙන්නේ නිල ලිංගික තෘප්තිය ලබා ගැනීම සහ සමාජ සම්මුතීන් වෙනුවෙන් නම් ඔහුට අත් වන්නේ ඉතාම ඛේදනීය මරණයක්. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ජානවල රූකඩයක් සේ නැටවී මිය යන්න. ලෝකයේ යමෙකුට මීටත් වඩා දෙන්න දරුණු දඬුවමක් තියෙන්න පුළුවන්ද කියලා ඔබම සිතන්න. මේ ගැන අපි වෙන වෙලාවක විස්තර වශයෙන් කතා කරමු.

ඒ වගේම මං හිතන්නේ අපිට මේ තාරා කතාන්දරය තුළදී අවස්ථා කීපයක්ම උදා වෙයි ජීවිතය ගැන කතා කරන්න. ඉදිරියේදී අපි හමු වෙමු. පහත ලින්ක් එක තුළින් තාරා ටෙලි සිතුවමේ පළමු කතාංගය නරඹන්න පුළුවන්.


https://youtu.be/4hkd0ycuqhk