Sunday, May 27, 2018

ක්ෂේම භූමිය සොයා යාම.....

මිනිසාද ඇතුළත් පෘථිවි ලෝකයේ සත්වයාගේ සිත්වල පදනම ආත්මාර්ථකාමිත්වයයි. එය යම් යම් ආකාරයෙන් කලමනාකරණය වීමක් සියලුම සත්ව සමාජයන් තුළ සිදු වෙයි. ඒ වගේම යම් යම් භාවමය සාධක මත එය යම් යම් සන්දර්භයන් තුළ පුද්ගලයාගේ අඩු වැඩි වීමක්ද සිදු වෙයි. ඒ හැර, පදනමින් ගත් විට පුද්ගලයා පෙළන මෙම ආත්මාර්ථකාමීත්වය ක්ෂය වීමක් මහේක්ෂ ලෝකය තුළ කිසිසේත් සිදු වන්නේ නෑ.

ඇත්තටම මේ ලෝකයේ සියළුම අංශයන්ගේ සංවර්ධනයට ඇති මූලිකම බාධකයද එයයි. දැනට ලෝකය අත් පත් කර ගනිමින් සිටින භෞතික සංවර්ධනය හා සමාජ සංවර්ධනය යනු, මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය උපක්‍රමික ලෙස පාලනය කරමින් ලබාගෙන ඇති එකක් පමණයි. එය ඒ නිසාම ඕනෑම මොහොතක බිඳ වැටී යන්නටද පුළුවන්. නිදසුනක් ලෙස, ස්වාභාවික විපත්, යුද්ධ වැනි අවස්ථා දැක්විය හැකියි. ඒ වගේම කිසියම් හේතුවක් නිසා මේ පවතින සමාජ ආර්ථික රාමු බිඳ වැටුණහොත් සමාජය නැවත ගෝත්‍රික යුගයකට යාමට වැඩි වේලාවක් ගත වෙන්නේ නෑ.


මේ පූර්විකාව ඉදිරිපත් කළේ ක්ෂේම භූමි චිත්‍රපටය ගැන විමසුමකට පිවිසුමක් ලෙසින්. "සිටු කුමරියෝ, ආරාධනා, දඬුමොණර, දුහුළු මලක්‌" ඇතුළු අපේ සිනමාවේ චිත්‍රපට ගණනාවක්‌ අධ්‍යක්‍ෂණය කළ අභාවප්‍රාප්ත විජය ධර්ම ශ්‍රී සිනමාකරුවාණන් අවසන් වරට නිර්මාණය කළ "ක්‌ෂේම භූමි" චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවා. අයිලින් සිරිවර්ධන ලියූ සම්මානනීය නවකතාව පාදක කරගෙන සිනමාවට නැගුණු "ක්‌ෂේම භූමි" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්‍රේමසිරි කේමදාසයන් විසින්. විජය නන්දසිරි, සංගීතා වීරරත්න, ජැක්‌සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස්‌ ඇතුළු දක්‌ෂ නළු නිළි පිරිසක්‌ මෙහි චරිත නිරූපනය කරනු ලබනවා. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අධ්‍යක්‍ෂ විජය ධර්ම ශ්‍රී වියෝ වීමෙන් පසු අතපසු වී තිබියදී චිත්‍රපට සංරක්‌ෂකයකු හා ප්‍රදර්ශකයකු වන තිස්‌ස නාගොඩවිතානයන් මැදිහත් වීමෙන් 2010 වසරේදී මුල්වරට ප්‍රදර්ශනය වුණා.

80 ජූලි වර්ජනයට සහභාගී වීම නිසාත් වාමාංශික දේශපාලනයට සහභාගී වීම නිසාත් රැකියාව අහිමි වන අහිංසක ලිපිකරුවෙක් වටායි මේ කතාව ගෙතෙන්නේ. යන එන මං නැති තත්වයට පත් වන ඔහු අවසානයේ නතර වෙන්නේ විශාල ව්‍යාපරිකයෙක් බවට පත් වෙමින්.


සාමාන්‍ය පුද්ගලයෙකුව සිටි කාලයේ දූ දරුවන් හා බිරිඳ සමගින් ඉතා සතුටින් කෙළි දෙළෙන් ගත කළ ඔවුන් දියුණුවේ හිනි පෙත්තට ගමන් කරන විට එකිනෙකාගෙන් දුරස් වීමත්, තනි වීමත් සිදු වන අතරම කලින් තිබූ සතුට අහිමි වී යන ආකාරයත් පෙන්නුම් කෙරෙනවා. වැඩිමල් සහෝදරයා රැකියාවකුත් නැතිව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය සිටියේ විශ්වවිද්‍යාල වරම් ලබා ඔහුට වඩා ඉහළ ස්තරයක.

එහෙත් ඔවුන් නොසිතූ ස්ථානයකට ගමන් කරන විට ඇය, සාපේක්ෂව පහළ ස්ථරයකට වැටෙනවා. ඒ නිසා ඔහුට සිදු වන්නේ මාපියන්නේ සිතැඟිවලට ඉඩ දී ඇයව හැර දැමීමට. එහෙත් එයින් ඔහු අර්ධ වශයෙන් මල පුද්ගලයෙක් බවට අධ්‍යාත්මිකව පත් වීමයි සිදු වන්නේ. එහෙත් ඒ බව පෙන්වා දුන් විට පිළිගැනීමටවත් වැඩිහිටියන් සූදානම් නොවන විට පෙනී යන්නේ ඔවුන් ''ක්‍රමය'' තුළ කොතරම් ගොදුරු වී ඇත්ද යන්නයි.


අති විසල් නිවසේ නාමය ලෙස ''ක්ෂේම භූමි'' ලෙස නම් කර තිබුණත් එය, සැබවින්ම ගත් විට ඔවුන්ට ජීවිතය අහිමි කර සිරගත කළ බන්ධනාගාරයක් බව පැහැදිලි වෙනවා. මේ සිරගෙයින් පළා ගොස් ජීවිතය සොයා ගැනීමට බාල පුතු ක්‍රියා කරන්නේ ඔහු ''ජීවත් වීමට'' ආශා කරන බැවින්. ''ව්‍යාපාරය අපේ බව ඇත්ත මල්ලි. ඒත් ඇත්තටම ඒක අපේ නෙවෙයි'' යන්නෙන් වැඩිහිටි සහෝදරයා පෙන්වා දෙන්නේ තමන්ම විසින් ගමන් කළේ වුවද වර්ධනය කළේ වුවද ''ක්‍රමය'' විසින් අවසන් වශයෙන් තමන්ටද පාලනය කරගත නොහැකි අයුරින් එයට ගොදුරු කරගන්නා බව. ඉන් මිදෙන්නට, ''ක්‍රමය'' තුළ සිටිමින් නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ආත්මාර්ථය තුළින් අවසන් වශයෙන් සිදු වෙන එකම දෙය, අනුන්ටත් ජීවිතය අහිමි කරමින් තමන්ටත් ජීවිතය අහිමි කර ගැනීම.


මේ වැනි සත්‍යම සිදු වීම් ඔබ අවට මෙන්ම අපේම ජීවිතවලින්ද ඕනෑ තරම් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. මේ තුළින් පෙන්වා දෙන සත්‍යය, අන් කිසිවක් නොව අප පදනමින් ආත්මාර්ථකාමීන් බව. ''අවස්ථාවන්ට'' අපව සහමුලින්ම වෙනස් පුද්ගලයන් බවට පත් කිරීමට හැකි වෙන්නේ ඒ නිසායි.

ආත්මාර්ථය පදනම් වන්නේ ''ආශාවන්'' මත. ''ආශාවන්'' යනු කිසිදා තෘප්තියෙන් අවසන් වන ඒවා නොවේ. එකක් පසුපස එකක් බැගින් ආශාව - තෘප්තිය - අතෘප්තිය - නව ආශාව යන දාමයේ ඒ ඒ අවස්ථාවේ ප්‍රතිඵලයත් අතෘප්තියම වන අතර එය අවසන් වන්නේ පුද්ගයා වල්මත් වී මානසික රෝගියෙකු බවට පත් වීමෙන්. ජීවිතයේ විඳීම් ඇත්තේ එයට විලෝම වන පරාර්ථයත් ඒ තුළින් ඇති වන ආදරයත් මත පමණයි.

Saturday, May 26, 2018

තරු අතරින් මිහිබට සුරංගනාවිය, තාරා ........

ඇය නම් බොහෝ පැතිවලින් බලන විට සුරංගනාවියක්ම තමයි. සම්පූර්ණයෙන්ම සුරංගනාවියක් සේ කියන්න අපහසු, තව පූර්ණය කරගත යුතු දේවල් තියෙන නිසයි. තාරා ටෙලි සිතුවම ඇරඹෙන්නේම ඇය කුමන වැන්නියක්දැයි අපට විෂද කරවමින්. ඒ වගේම ජීවිතය ගැන බොහෝ දේ හිතන්නට ඉඩහසර ලබා දෙමින්.

ඒ වගේම ශලනි තාරකාගේ භාව පූර්ණ රංගනයද ඉතාමත් විශිෂ්ට බව කිව යුතුයි. ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණය, නාමල් ජයසිංහගේ රූපවාහිනී රචනය සේම හොඳ නිර්මාණ සඳහා කවදත් දායක වන ෆාහිම් මවුජූඩ්ගේ නිෂ්පාදන දායකත්වයද මෙහිදී මෙම නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. කවදත් විශිෂ්ට රංගනයකින් දායක වන චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර ගැන වගේම සම්මානයෙන්ද ඇගයීමට ලක් වූ ළමා නිළි සහේලි සදෙත්මා ගැනද අප සිහිපත් කළ යුතුමයි.


කතාව ඇරඹෙන්නේ නන්දිතා, හදිසියේම එරන්දගේ නිවසට යාමට තීරණය කිරීමෙන්. එහෙත් සාම්ප්‍රදායිකත්වයේ, ගතානුගතිකත්වයේ ඉහළින්ම සිටින එරන්දගේ මව නන්දිතාව දකින්නේ වෙනත්ම කෝණයකින්. එනම්, සෙල්ලක්කාර, නාගරික හිස් චරිතයක් ලෙසින්. ඇය සිතන්නේ ප්‍රේම සබඳතා, කායික සබඳතා නන්දිතාට සාමාන්‍ය දෙයක් වන බවයි. ලාංකීය සමාජයේ සදාචාර ධර්ම ගැන අඩුම තරමේ හැඟීමක්වත් නැති බවයි මවට හැඟී යන්නේ. ඇය ඒ නිසාමයි කියන්නේ කන්‍යාභාවය සෙවීම අනිවාර්ය ලෙස තම පාර්ශවයෙන් කෙරෙන බව. එහෙත් එය කියන්නට ගොස් සිදු වෙන්නේ එතැන කාටවත් හිස ඉසවීමට නොහැකි හාස්‍යජනක තත්වයක් නිර්මාණය වීම.


ඇත්තෙන්ම එරන්දගේ මව තුළින් අපට ලාංකීය සිතුවිලි විශ්වයේ පැතිකඩවල් ගණනාවක්ම ගැන අනාවරණය කර ගන්නට හැකි වෙනවා. ඒ තමයි, ආදර සම්බන්ධයක් යන්න හුදෙක් ලිංගික සම්බන්ධයක් හැඳින්වීම සඳහා කෙරෙන නාමකරණයක්ය යන විශ්වාසය, එසේම ලිංගික සම්බන්ධයක් යන්න, අශ්ලීල පහත් දෙයක්ය යන සිතේ එක් පසෙක ඇති හැඟීම, ලිංගික සම්බන්ධයක් පැවැත්වූ විට කාන්තාව අපවිත්‍රකරණයට ලක් වූ ජීවියෙක්ය යන හැඟීම, කාන්තාව යනු හුදෙක්ම ලිංගික භාණ්ඩයක්ය යන හැඟීම යනාදියයි. නියම් හෝ අනියම් හෝ අයුරින් ලිංගික සම්බන්ධයක් පැවැත් වූ පසු ජීවිතයේ කිසිදාක ඇයට කලින් තිබුණු පිළිගැනීම හිමි වන්නේ නෑ.

එහෙත් මනෝ විශ්ලේෂණාත්මකව බැලූ විට මේ සදාචාරවාදීන් ලෙස පෙනී සිටින අයවලුන්, ඉතාම දැඩි මානසික රෝගීන් පිරිසක් බව පැහැදිලි වෙනවා. ඒ වගේම නිර්දය හා සාහසික ආත්මාර්ථකාමීන් පිරිසක්. එහෙත් මතු පිටට පෙනෙන්නේ එහි අනෙක් පැත්ත. නන්දිතා, තමන් මීට කලින් ප්‍රේම සබඳතා දෙකක් පැවැත් වූ නමුත් ඒවා සෙක්ෂුවල් සම්බන්ධතා නොවූ බව පවසන විට එරන්දගේ පියාට පිට උගුරේ යන්නේත්, මවට හිස උස්සන්නට බැරි වෙන්නේත් ඒ නිසයි. එහෙත් නන්දිතා ආදරය සේම එහි ආංශික පැතිකඩක් වන ලිංගික සම්බන්ධතා ගැනද බොහෝ දුරට නිවැරදි දැක්මක සිටින බව ඇය විවෘතව කතා කරන ආකාරයෙන් අපට පෙනී යනවා. ඒ වගේම ඇය වොෂ් එකක් දා ගන්න එරන්දගේ ටීෂර්ට් එකක් ඉල්ලීම, ඔහුගේ වොෂ් රූම් එකටම යන්න සුදානම් වීම තුළින්ද එය මනාව පේනවා. හුදෙක් සම්පූර්ණ දෑස්ම ලිංගිකත්වයේ කණ්නාඩියකින් වැසී ඇති බොහෝ දෙනාට මේවා ජුගුප්සා ජනක දේවල්. ඔවුන්ට මේවා හැඟී යන්නේ මහ දවල් සාලයේ පූර්ව රති කෙළියක් සිදු වන්නට යන අයුරින්....!


තමන් මුල් දෙදෙනා සමග ලිංගික සම්බන්ධතාවක් නොපැවැත්වූයේ එය වරදක් ලෙසින් සිතීම නිසා නොව, එවැනි හැඟීමක් ඔවුන් සම්බන්ධයෙන් ඇති නොවූ නිසා බව ඇයගේ ප්‍රකාශයෙන් පැහැදිලිව විද්‍යමාන වනවා. ''හැඟීමක් ඇති වුණා නම් ඉතින් මෙයා ගැන තමයි'' යනුවෙන් පවසා එරන්දගේ උරහිසට තට්ටු කරන විට වැඩිහියන්ට සිතෙන්න ඇත්තේ පොළොව පලාගෙන යන්න.


මෙම ලිංගික නියුරෝසීය රෝගී තත්වය ඇති වෙන්නේ එකිනෙකට පරස්පර සංකල්ප දෙකක් අපේ මනසේ නිරන්තර ගැටීමට ලක් වීමත් ඒ ගැටීමෙන් නිගමනයකට ඒමට අප අපොහොසත් වීමත් නිසයි. මේ ගැන නම් ඉතින් වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ඒ නිසා එය වෙනත් අවස්ථාවකට කල් තබමු. කොහොම වුණත් යම් අදහසක් ගන්න කියන්න තියෙන්නේ, මෙහෙම වෙන්නේ, අපට සහජාශයෙන් සහ සංකල්පීය වශයෙන් යන දෙකින්ම එන ලිංගික ආවේගයන් සහ ලිංගිකත්වය පහත් අශ්ලීල දෙයක්ය යන හැඟීම් එකිනෙක ගැටීමත්, ඒ තුළින් අවසන් නිගමනයකට ඒමට පුද්ගලයාට නොහැකි වීමත් මතයි. මේ තුළින් නිර්මාණය වන මානසික රෝගී පුද්ගලයාට මරණ මංචකය දක්වාවත් මෙයින් මිදීමට හැකි වන්නේ නැති අතරම, එය ඒ පුද්ගලයාට ජීවිතයේ සාරය අහිමි වීමටත් සමස්ත සමාජයක විශාල ගැටලු සමුදායක් ඇති කරමින් අර්බුදයක් නිර්මාණය කිරීමටත් හේතු වෙනවා.

තාරා තුළින් අපට ජීවිතය ගැන කතා කරන්න මාතෘකා රැසක්ම විවර කර දෙනවා.


දෙන්නා වෙනුවෙන් කේන්දර බලනවාට නන්දිතා විරුද්ධ වන්නේ ඇගේ කේන්දරය නරක් වීම නිසා නොව, එවිට එය ආදරය කියන යන ආස්ථානයෙන් විතැන් වී හුදෙක් සමාජයේ බහුලව සිදු වන තවත් එක් ගණුදෙනු ක්‍රියාවලියක් බවට පත් වන නිසයි. ගුණාත්මයක් නැති මනුස්ස සම්බන්ධයකින් ඉතිරි වන්නේ උදාසීනතාව, විඩාව, කලකිරීම, අප්‍රසන්නතාව, කෝපය වැනි හැඟීම් පමණයි. එසේම දෙන්නා එකිනෙකාට යෝග්‍ය වන්නේද යන්න එකිනෙකාගේ අවබෝධයෙන් සිදු වනවා වෙනුවට එය වෙනත් මානයකට භාර දෙනවා යන්නේ අර්ථයම, දෙදෙනා අතර අවබෝධයක් නොමැති බව සහ නොගැලපෙන බව නොවේද?

'' දානය '' යනු කිසි සේත් පුණ්‍ය කටයුත්තක් නොව අති විශාල ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් කෙරෙන ආයෝජන ක්‍රියාවලියක්ය යන සත්‍යයද මෙහිදී අපට පෙන්වා දෙනවා. නන්දිතා තුළ අවට ලෝකය කෙරෙහි ආදරයක් මිස එවැනි පටු ආත්මාර්ථකාමී හැඟීමක් නොමැති බව ''නෑ ආන්ටි මේක එහෙම දෙයක් නෙවි, මන් ආසයි පොඩිවුන්ට උදවු කරන්න'' යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.


 ඒ වගේම චාරිත්‍ර ලෙස පළමුවෙන් යුවතියගේ නිවසට පැමිණිය යුතු බව මව කියද්දී, ''එන්න ආන්ටි එන්න. ඕනි වෙලාවක එන්න'' යන සැහැල්ලු ප්‍රකාශයෙන් ඇය තුළ ආදරය පිළිබඳ හැඟීමක් සහ ඇගයීමක් විනා හුදෙක් සමාජ සම්මුතියක් සේ සිදු කෙරෙන පිරිමියෙක් හා ගැහැනියක් අතර විවාහයක් යන්න කෙරෙහි හැඟීමක් නොමැති බව පෙනී යනවා. ඒ, එහි හුදෙක් මානව පරපුරේ අඛණ්ඩතාව පවත්වාගැනීමේ ජානමය වුවනාවට වඩා කිසිදු දෙයක් නොමැති නිසාවෙන්.

කෙනෙක් විවාහ වෙන්නේ නිල ලිංගික තෘප්තිය ලබා ගැනීම සහ සමාජ සම්මුතීන් වෙනුවෙන් නම් ඔහුට අත් වන්නේ ඉතාම ඛේදනීය මරණයක්. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ජානවල රූකඩයක් සේ නැටවී මිය යන්න. ලෝකයේ යමෙකුට මීටත් වඩා දෙන්න දරුණු දඬුවමක් තියෙන්න පුළුවන්ද කියලා ඔබම සිතන්න. මේ ගැන අපි වෙන වෙලාවක විස්තර වශයෙන් කතා කරමු.

ඒ වගේම මං හිතන්නේ අපිට මේ තාරා කතාන්දරය තුළදී අවස්ථා කීපයක්ම උදා වෙයි ජීවිතය ගැන කතා කරන්න. ඉදිරියේදී අපි හමු වෙමු. පහත ලින්ක් එක තුළින් තාරා ටෙලි සිතුවමේ පළමු කතාංගය නරඹන්න පුළුවන්.


https://youtu.be/4hkd0ycuqhk

Wednesday, May 23, 2018

සත්‍ය ආදරය ඉන්දිගේද? (පියවි ගැන විමසුමක්)

 පියවි ටෙලි සිතුවම මේ වන විට දෙවරක්ම රූප තිරයෙන් දැක ගන්නට ලැබුණා. එය මුල් වර විකාශයේදී අතිශය ජනප්‍රිය වූ එකක්. මේ කතාව විකාශය වන දිශානතිය අනුව, හැඟීම්බර වන ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ ඉන්දි සහ විසල් අතර එක් වීමක් වීම වලක්වන්න බෑ. එතනදී ප්‍රේක්ෂකයාද අපහසුතාවට පත් වන තත්වයකුයි නිර්මාණය වන්නේ.

ඇත්තටම විසල් පසුගිය ආත්මයේදී ඉන්දිට ස්ව ආත්මයෙන්ම ආදරය කළේ නම් මේ ආත්මයේදී ඇයව අහිමි වන තීරණයක් ගන්නේ නැත. මන්ද මේ ආත්මයේදී වෙනත් කෙනෙකුට ආදරය කරන විට ඉන්දිව ඊලඟ බවයන්හිත් අහිමි වන බැවින්. එසේ නම් ඔහු කරන්නේ තත්වය වර්තමාන පෙම්වතියට කරුණාවෙන් පැහැදිලි කර දී ඇගේ අනුමැතිය ඇතිව ඉන්දි හා එක් වීමයි. ඒ වගේම වර්තමාන පෙම්වතියට ඔහු ඇත්තටම ආදරය කළේ නම් කිසි සේත් පසුගිය ආත්මයේ පෙම්වතිය වෙනුවෙන් ඇයව ඇත්හැරීමේ අදහසක් ඔහුට එන්නේ නැත. මෙය, හතර බීරි කතාවක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් සත්‍යය එයයි.


ඉන්දිගේ ආදරය, පසුගිය ආත්මයේදී පමණක් නොව, මේ ආත්මයේදීත් පරම පවිත්‍ර සේ පවතියි. විසල්ට පෙම්වතියක් සිටින බව දැනගත් විට ඔහුව අත්හැරීමට පවා ඇයට හැකි වන්නේ ඇය තුළ උදාර හදවතක්, එතුළින් පණ ලබන ආදරයක් පවතින බැවින්. එහෙත් විසල්, පසුගිය ආත්මයේදී හෝ මේ ආත්මයෙදී හෝ දෙකින් එකකවත් තම හදවත තුළ සැබෑ ආදරය ඇති කර ගැනීමට අසමත් වූ අයෙක්.

කෙසේ වුණත් මේ කතාවේ හැටියට ඉන්දි වගේම වර්තමාන පෙම්වතියත් විසල්ට ආදරය කරන බැවින් සසරේදී ඔහු දිගටම අමාරුවේ වැටෙන්නට නියමිතයි. ඔහු පමණක් නෙවි ඉතින් පෙම්වතියන් දෙදෙනාත්. මේ වගේ ශෝචනීය සිදුවීම් වලට සසරේ මූණ නොපාන්නට නම් කරන්න තියෙන්නේ හැමදාමත් එකම කෙනෙක්ට මුළු හදවතින්ම ආදරය කරන එකයි. එවිට සිදුහත් යශෝදරා, පිප්පලී මානවක සහ භද්‍රකාපිලානී වගේ සසරේ හැමදාමත් එක්ව යන්න පුළුවන්.


Friday, May 18, 2018

ධර්මාශෝක සහ ධර්මාශෝක

ධර්මාශෝක චරිතය ලාංකීයයන් තුළ කවදත් ජීවත් වූ එකක් වුවත්, එය ඉතාමත් තදින් හදවත් තුළ සටහන් වූ අවස්ථාවක් ලෙස, අධිරජ ධර්මාශෝක නාට්‍යය හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් බොහෝ රසිකයන් එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් සතුටු වන බවක් දකින්නට නෑ. එයට හේතු කීපයක්ම තිබෙනවා.

මූලිකම කරුණ තමයි එය අවසන් වූ වේගවත් ආකාරය. ඉතා සුළු සිදුවීම් කතාංග විශාල ප්‍රමාණයක් පුරා ගෙන යාමට කටයුතු කළ අතරේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් අයත් පරිච්ඡේද නොසලකා හැර තිබීම. ඒ වගේම අශෝක සහ කෞර්වකී අතර ආදරය මහා ආදරයක් ලෙසින් කතාව පුරා ගෙන හැර දැක්වීමට උත්සාහ කළත් අවසානයේ එය පුස්සක් බවට පත් කර දැමීම. සිත් තුළ පරමාදර්ශ ඇති කර එය කඩා බිඳ දැමීම බලවත් හානියක් ඒ පුද්ගලයන් තුළ ඇති කරනවා. එය, කිසිසේත් නොකළ යුතු දෙයක්.


ඉතිහාසයේ ඇත්තටම කුමක් සිදු වුවත්, කතාව තුළ මේ දෙදෙනා අතර ආදරය මහා උත්කර්ෂයකට නැගෙනවා. කෞර්වකීව බේරා ගැනීමට ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන අශෝක, අවසානයේ කාලිංගය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම විකාර සහගතයි. ඒ වගේම අශෝක අතින් කෙසේ වුවත් සැම විටම වාගේ ආදරයේ පවිත්‍රත්වය ආකරක්ෂා කර ගැනීමට, එහි පූජනීය බව උත්කර්ෂයට නැගීමට සමත් වූ කෞර්වකීත් ඔහු හා යුධ වැදීමට ක්‍රියා කිරීම අතාර්කිකයි.

ප්‍රේමය වෙනුවෙන් කෞර්වකී කරන කැපවීම සැලකූ විට ඇය වන්දනීය චරිතයක්. එහෙත් එයට අශෝකගෙන් ලැබෙන ප්‍රතිචාරය? කිසිසේත් නොලැබෙන කෞර්වකීගේ පියාගේ ආශීර්වාදය ලබා ගැනීමට මහා උත්තම පුරුෂයෙක් ලෙසින් සැරසෙන එය නොමැතිව ඇය විවාහ කරගැනීමටත් අකමැති වන අශෝක, එක වරම ඒ පියාටම කිනිස්සෙන් ඇනීම සාධාරණීය කරන්න පුළුවන්ද. කතාව පුරාවටම මේ වගේ කැවුම් - ලුණු මිරිස් වර්ගයේ සිදුවීම් දැක ගන්න පුළුවන්.


මෙවැන්නක් සිදුවීමට බොහෝ දුරට හේතුව ලෙසින් සලකන්න හැකි වෙන්නේ මෙගා ටෙලියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ත්‍රාසය, භීතිය, ප්‍රේමය, කුතුහලය, පරමාදර්ශී ස්වභාවයන් එකට කැලතීමට යාමේ අවශ්‍යතාවයි. කිසියම් කතා වස්තුවකට යා හැකි යම් දුරක් තිබෙනවා. එයින් ඔබ්බට එය ගෙන යාමට යන්නේ නම් සිදුවෙන්නේ එකිනෙකට නොගැලපෙන, ආතාර්කික සිදුවීම් එයට එක් වීමයි. එයට තවත් උදාහරණයක් ලෙස, අතිශය ජනාදරයට පත් වෙමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත් වූ සිදූ නාට්‍යයයි. ඒ ජනප්‍රියත්වය නිසාම එය චුවින්ගම් එකක් සේ ඇදීමට යාමෙන් වූයේ කතාවේ මුලින් සිටි චරිතවල හැසිරීමට කිසිසේත් නොගැලපෙන සිදුවීම්, හැසිරීම් එයට එක් වී විකාරයක් බවට පත් වීමයි. වරක් එක් නාලිකාවක විකාශය වූ එක් නාට්‍යයක් මෙසේ දිගින් දිගමට ඇදීමට ගොස් සිදු වූයේ රචකයා මානසික රෝගියෙක් බවට පත් වීමයි.

කොහොම වුණත් මේ කතාවේ විකෘතියට හසු නොවූ චරිතයන්ද තිබෙනවා. දේවී, ධර්මා, ආචාර්ය රාධගුප්ත ඒ අතරට අයත්. ඔවුන් එසේ ආකරක්ෂා වුණේ ඒවාහි භූමිකාවන් අනවශ්‍ය ලෙස නිර්මාණය කිරීමට නොයාම නිසායි. දේවීගේ හැසිරීම ඉතාම පරමාදර්ශී එකක්. එසේම ඉතිහාසයේ කියවෙන ආකාරයටද ඇය රාජ භවනේ හෝ වාසය කිරීමට පැමිණ නැහැ. නිහඬ ජීවිතයක් ඇය ගත කර ඇත්තේ. ඒ වගේම ඇය මිහිඳු මහ රහතන් වහන්සේගේ හා සංඝමිත්තා රහත් තෙරණියගේද සත්‍ය මවයි.

කිසියම් කලා නිර්මාණයක් අවසන් වන විට රසිකයා තුළ සදානුස්මරණීය මතකයක්, කිසියම් පරමාදර්ශ සමූහයක සිතුවමක් ඇති වූයේ නම් එය, සාර්ථක හා උසස් නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුලුවන්. එයට එක් යම් සාර්ථක ආසන්න නිදසුනක් ලෙස බැද්දෙ කුලවමිය නාට්‍යය දැක්විය හැකියි.

Sunday, April 29, 2018

වැඩ කරන එක පාපයක්ද....? (ගිරි දුර්ග ගැන....)

ජීවිතයේ හමු වන ගිරි දුර්ග ගැන බෞද්ධ ආගමික පසුබිමක සිට විග්‍රහ කිරීමක් වෙසක් පෝදා විකාශය වූ ගිරි දුර්ග ටෙලි සිතුවමින් සිදු වුණා. තම සිතූ මනාපයේ තමන් ආදරය කරන පුද්ගලයා සමග පැමිණීම නිසා හතර වරිගයම අහිමි වූ ඇයට, තම සහකරුවාත් නීතී විරෝධී දැව ප්‍රවාහනය කිරීමේ වරද යටතේ රිමාන්ඩ් ගත වීම නිසා, ඇයටත් ඇගේ කුඩා දියනියටත් මුහුණ දීමට සිදුවන දුක් කරදර සමූහයයි මෙහි තේමාව වූයේ.


මෙහිදී ඇය රබර් කිරි කපන, රබර් ශීට් සාදන අවස්ථා අපට හමු වන්නේ ඇය විශාල ඛේදවාචකයකට හසු වූ විලාශයෙන්. එහි රූප රාමු, පසුබිම් සංගීතය තුළින් ඉස්මතු කරලන්නේ එයයි. එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ කෙනෙක් ''වැඩ කිරීම'' වනාහී ''පාපකර්මයක් පළිසන් දීමක්ද'' යන්නයි. එසේ නම් එහි විලෝමය වන්නේ ''වැඩ නොකර සිටීම'' පින් පළ දීමක් ලෙසයි. එවිට අපට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගන්නේ කවර මාර්ගයකින්ද?


එක්කෝ ''පව්කාරයින්'' විසින් ''පින්කාරයින්'' උදෙසා වෙහෙස වී ඒවා ඉටු කර දිය යුතුය. එහෙත් එවිට ඇති වන ප්‍රශ්නය වන්නේ ''පින්කාරයින්'' බවට පත් වන්නේ කෙලෙසද යන්නයි. පින්කාරයින් බවට පත් වීමට ඇති මඟ වන්නේ වැඩ කරන අයව සූරා කා එක් රැස් කර ගන්නා අතිරික්තයෙන් කොටසක් වැය කර දාන මානාදී පින්කම් කිරීමයි. ධර්මය යනු එවැනි නිර්දය කියවීමක්ද?


සමාජය ලබා ඇති සෑම දියුණුවක්ම, ප්‍රගතියක්ම ලබා ඇත්තේ මිනිසුන්ගේ කායික හා මානසික නොපසුබට ධෛර්යයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණක්ව තිබියදී ''වැඩ කිරීම'' පාපකර්මයක් ලෙස පෙන්වාදීම තරම් පාපකර්මයක් තවත් තිබිය හැකිද? මෙතැන පාපකර්මය වන්නේ වැඩ කිරීම නොව, කරන වැඩය සඳහා ජීවත් වීමට තරම් සරිලන ගෙවීමක් ලබා නොදීමයි. ශ්‍රම සූරාකෑමයි. එසේම තවත් පිරිසක්, තමන් ලබන ගෙවීමට තරම් කිසිසේත් නොසරිලන ශ්‍රමයක් ලබා දීමයි. එනම්, වැඩ නොකර සිටීමයි. සමාජයේ බහුතරයකට දුක් විඳීමට සිදු වන එක් ප්‍රධාන කරුණක් වන්නේ එය. එසේම නිෂ්පාදන බලවේග, තවමත් ප්‍රමාණවත් තරමින් වර්ධනය වී නොතිබීමද තවත් ප්‍රධාන සාධකයක්. එසේ වර්ධනය නොවී සමාජයේ සැමට සුවදායක ජීවිතයක් එකසේ ලබා දීමද අපහසු කාර්යයක්.


මාපියන්ට විරුද්ධව තමන් ආදරය කරන පුද්ගලයා තෝරා ගැනීමද බරපතල පාපකර්මයක් සේ පෙන්වාදීමට මේ කතාව තුළ පමණක් නොව බොහෝ බෞද්ධාගමික පසුබිමක් ඇති කතා තුළදී උත්සාහ කරනවා දැකිය හැකියි. එයද, තවත් එක් ඉතා පසුගාමි ගෝත්‍රික දෘෂ්ටිවාදයක්. පාපකර්මය වන්නේ ආදරය කරන දෙදෙනෙක් වෙන් කරවීමට උත්සාහ කරවීමයි. 

Saturday, March 24, 2018

පාපකර්මය කොතනද....?

පසුගිය පෝයදා දෙරණ රූපවාහිණියෙන් විකාශය වුණු ''නික්ම යෑම'' නම් පෝදා නාට්‍යය මගින් පෙන්වා දෙන්නට උත්සාහ කළ මුඛ්‍ය කරුණක් වූයේ කවර කරුණක් මත වුවද මාපිය සිතැඟි වලට එරෙහිව කටයුතු කිරීම බරපතල පාපකර්මයක් හා වරදක් බව. කතාවේ ආකාරයට ආදරවන්තයන් යුවලකගේ සම්බන්ධයට ආදරවන්තයාගේ පියා තදින්ම විරුද්ධ වන්නේ ආදරවන්තිය දුප්පත් වීම නිසාවෙන්. තරුණයාගේ පියා විරුද්ධ බැවින් සදාචාරවාදී නොවේ‍ය යන පදනම මත තරුණියගේ මාපියන්ද මේ සම්බන්ධයට විරුද්ධ වනවා.

අවසානයේ ආදරවන්තයන්ට සිදු වන්නේ දෙපැත්තේම මාපියන් නොමැතිව තනිවම ජීවිතයට මුහුණ දීමට සිදු වීම. කෙසේ වුවත් කතා රචකයා පෙම්වතුන් ලවාම අපට කියවන්නේ කවර තත්වයක් මත වුවත් මාපිය සිතැඟි වලට විරුද්ධ වීම නොකළ යුතු මහා පාපකර්මයක් බවයි. කිසිවක්, වරදක් හෝ පාපකර්මයක් වන්නේ කවර ආචාර ධර්මීය පදනමක් මතද?

එයට පොදු සූත්‍රයක් තනා ගැනීමට අපහසුයි. එයට හේතුව වන්නේ එය ''තත්වයන්'' අනුව බෙහෙවින් වෙනස් වන සුළු බැවින්. ''යම් ක්‍රියාවක් නිසා යම් කවර හෝ අයෙකුට අගතියක් වන්නේ නම් එය වරදක්'' ලෙසින් අර්ථ දක්වන්න පුළුවන්ද... බැහැ. යමෙක් තවත් අයෙකුගෙන් ලිංගික එක්වීමක් සඳහා ඉල්ලීමක් කරනවා යැයි සිතන්න. එහෙත් එයට අනෙකාගේ සිතේ කිසිදු කැමැත්තක් නැහැ. එවිට අපට කියන්න පුළුවන්ද එම ඉල්ලීමට එකඟ නොවීම මගින් අනෙකාට අගතියක් වීම නිසා එය වරදක් යැයි කියා. එයට එකඟ වීම සිදු වුණොත් අනෙකාට අගතියක් සිදු වෙනවා. මේ නිසා මේ සිදුවීම ගත් විට අපට කියන්නට සිදු වෙන්නේ, ලිංගික එක්වීමක් සිදු විය යුත්තේ දෙදෙනෙකුගේ ස්වාධීන කැමැත්තෙන්ම පමණක් විය යුතු අතර ඒ සඳහා බල කිරීමට ඒ දෙදෙනාට හෝ වෙනත් කිසිවෙකුට හෝ බල කිරීමට අයිතියක් නොමැති බව.

වැඩිහිටි, ආදර සම්බන්ධයක් ගත් විට එයට එරෙහි වීමට නොව, තමන්ගේ අකමැත්ත හෝ ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් මාපියන්ට ඇත්තේ හුදෙක් එය තමන්ගේ අදහසක්, උපදෙසක් ලෙසින් පමණයි. එවිට කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් යමෙක් රැවටීමකට හසු වෙන්න යන විටක හෝ එයට විරුද්ධ වීමට අයිතියක් නැද්ද කියා. තිබෙනවා. ඒත් ඒ සත්‍යය පහදා දීමෙන්. එය වටහා ගැනීමට ඔවුනට නොහැකි නම් හොඳම දෙය එය අත්දැකීමෙන්ම වටහා ගැනීමට ඉඩ හැරීමයි.

තමන්ව මේ ලෝකයට ගෙනවිත් කවා පොවා හදා වැඩීම කිසි ලෙසකින් යලි පියවිය නොහැකි උතුම් කාර්යයක් වුණත් ඒ උතුම් බව එයට ලැබෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාපියන් දරුවන්ට ආදරය කළහොත් පමණයි. එසේ නොවී තමන්ගේ ආත්මය අඛණ්ඩ කර ගැනීමට, තම දේපළ තම මරණයෙන් පසුවත් අඛණ්ඩ කර ගන්න, තමන්ගේ සිහිනයන්, බල වුවමනාවන් දරුවන් ලවා ඉටු කර ගන්න යම් මාපියෙක් කටයුතු කරන්නේ නම් ඔවුන් හා, මසට සතුන් ඇති කරන්නෙක් අතර වෙනසක් ඇත්තේ නෑ.

දරුවන්ට ආදරය කරන මාපියන් කිසි විටක පටු ආස්ථානයන් මත සිටිමින් දරුවන්ගේ සිහින මරා දැමීමට කටයුතු කිරීම තබා එවැන්නක් සිතකින් සිතන්නේවත් නෑ. ඒ නිසා එවැනි මාපියන්ගේ සිත් තම ආත්මාර්ථකාමී සිතැඟි වෙනුවෙන් දරුවන් තලා පෙලා දමන්නේ නම් එය බලවත් පාපකර්මයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සමහර දරුවන්, ඉගෙනගෙන සමාජයේ සම්මත ඉහල තැනකට ආ විට මාපියන්ව පිටත සමාජයට හඳුන්වා දීමට පවා හීනමානිකව පැකිලෙන ආකාරය දැක ගන්න පුළුවන්.

එහෙත් පටු නරුම ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් දරුවාගේ ආදරයට විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ලෝකය තනා ගැනීමට ක්‍රියා කිරීම පාප කර්මයක් ලෙසින් හඳුන්වනවා නම් එය අපට හැඳින්වීමට සිදු වන්නේ ''නරුමවාදයක්'' ලෙසිනුයි. ''ධර්මයේ'' නාමයෙන් පසුගාමී නරුමවාදයන් සාමාජගත කිරීමෙන් මිනිස් චින්තනයට, ජීවිතයට සිදු කරන්නේ බලවත් නපුරක්. සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද? සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද?

Saturday, June 3, 2017

අපේ ජීවිතය අයිති කාටද?

 පේරාදෙනිය සිසුවියගේ අනුවේදනීය ජීවිතයෙන් සමුගැනීමේ සිදුවීමත් සමග සමාජ ජාල තුළ හුවමාරු වූ අදහස් අතර ඒ දෙස මානුෂිකව හා බුද්ධිමත්ව බැලීමක් දක්නට තිබුණේ නෑ. ඇය අඥාණ තරුණියක් බවත්, ඒ වගේම ඇය මෙයින් පසු හතර අපායේ යන බවටත් අපහාස කර තිබුණා. පුද්ගලයෙක් ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කරන්නේ තමන්ට ඇති ප්‍රශ්නයට ඇති එකම විසඳුම එය ලෙසින් පෙනී යාම සහ විශාල අපේක්ෂා භංගත්වය නිසා.

එයට වෙනසත් පිළිගත හැකි විසඳුමක් තමන් තුළින් හෝ පිටතින් හෝ ඇති බවක් පෙනී යන්නේ නම් කිසිවෙක් මෙවැනි තීරණයකට යන්නේ නෑ. දිවිය තොර කර ගැනීම අපට කිසිසේත් අනුමත කරන්න බැරි වුණත් එය ඒ පුද්ගලයාගේ කෝණයෙන් බලා අවබෝධ කර ගැනීමට හැකියාවක් අපට තිබිය යුතුයි. එවැනි සංවේදී මිනිසුන් නොමැති වීම නිසාමයි මෙවැනි සිදුවීම් වාර්ථා වන්නේත්. මහා බුද්ධිමතුන් ලෙසින් බක පන්ඩිත කතා කියන පුද්ගලයන් තුළ ඇත්ත වශයෙන්ම ගත්විට මානව දයාව හෝ ගරුත්වය නැහැ.



ආදරය වනාහී මේ ලොව ඇති බලවත්ම වගේම සුන්දරතම හැඟීම. මෙහිදී පුද්ලයා සම්පූර්ණයෙන්ම පාහේ අනෙක් පුද්ගයා තුළ දිය වී යාමක් සිදු වෙනවා. එවැනි පසුබිමක ඒ ආදරය බිඳී වැටීම යනු ඒ පුද්ගයාගේ ආත්මීය විනාශයක් වනවා. එය කවරෙකුට වුණත් දරා ගැනීමට හැකියාවක් නෑ. එහෙත්, මෙසේ වන හැම කෙනෙක්ම ජීවිතය තොර කර ගැනීමට ක්‍රියා කරන්නේ නෑ. එයට හේතුව ඒ ඒ පුද්ගයාගේ සිතේ ස්වභාවය.

පවුලෙන් හෝ පිටත සමාජයෙන් හෝ වෙනත් සංවේදී ආදරයක් අර සිසුවියට ලැබෙමින් තිබුණේ නම් මේ අවාසනාවන්ත සිදුවීම වලකා ගන්නට තිබුණා. කෙනෙක් ජීවිතයෙන් සමු ගන්නට සිතන්නේ තමන් ලෝකය තුළ සම්පූර්ණයෙන්ම අසරණය, හුදකලාය කියන හැඟීමත් එක්ක.

පුද්ගලයෙක් දිවි නසා ගත් විට හතර අපායේ යන්නේය යන්න එය වැලැක්වීමේ අටියෙන් බිය ගැන්වීම සඳහා යොදන ලද්දක් මිස එහි කිසිදු සත්‍යතාවයක් තිබිය නොහැකියි. අනෙක් අතට අප කරන හොඳ නරක ප්‍රතිපල අප වෙතටම විවිධ ආකාරයෙන් පැමිණෙනවා මිසක ''අපාය'' නමින් ආයතනයක්ද ලොව පැවතිය නොහැකියි. එය වෙනම කතා කළ යුත් කරුණක්. දිවි නසා ගත් විට හතර අපායේ යන්නේ නම් ''නිවන්'' දැකීමට ක්‍රියා කරන විටද පුද්ගයා අපායගාමී විය යුතුයි. මන්ද එහිදී කරන්නේද එක් වරකට නොව සම්පූර්ණ සසර ගමනටම බලපාන පරිදි අපේ ආත්මය නසා දැමීම වන බැවින්. එසේ නම් බලවත්ම අපායගාමී ක්‍රියාව නිවන් දැකීමයි.

කළ යුතුව ඇත්තේ, පුද්ගලයන් දිවි තොර කර ගන්නට යොමු වන හේතූන් නැති කිරීම මිස බිය ගැන්වීම නොවෙයි. නීතිය තුළින් කරනු ලබන්නේද බිය ගැන්වීම තුළින් අධෛර්ය කිරීම පමණයි. එහෙත් මේ කිසිදු ක්‍රියා මාර්ගයක් තුළින් මේ ලෝකයෙන් සමු ගන්නා අසරණ හදවත් නැවැත්වීමට නම් හැකි වී නෑ.