Sunday, November 4, 2018

පින් සහ පව් - Pin saha Paw

පින් සහ පව් පිළිබඳව සඳහන් වන්නේ බෞද්ධ දර්ශනයේ පමණක් නෙවි. ලොව සෑම ආගමක්ම පාහේ මෙය විවිධ අයුරින් සාකච්ඡාවට ලක් කරයි. මේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ගත් විට එය, බෞද්ධ දාර්ශනික සහ ආගමික වශයෙන්ද වෙනසක් දක්වන බව පෙනී යයි.

පින යනු සත්ත්වයාට මෙලොව මෙන්ම පර‍ලොව ආයු, වර්ණ, සැප, බල , ප්‍රඥා යනාදී යහපත් සැප විපාක ලබා දෙන ක්‍රියා ඵල වේ. පව යනු, ඊට ප්‍රතිවිරුද්ධ එනම්, සංසාරික සත්ත්වයාට දුක් විපාක ගෙන දෙන තවත් ලෙසකින් ඉහත සඳහන් කළ සැප විපාක අහිමි වන කර්ම ඵල වේ.

බෞද්ධ විග්‍රහය අනුව, අචේතනිකව කරන ක්‍රියාවන්ගෙන් පවක් හෝ පිනක් සිදු නොවේ.


සියලු ආකාරයෙන් දැනුවත් ක්‍රියාවකින් කවරෙකුට හෝ කවදාක හෝ දුක, කදුළු පිණිස වේ නම් එය පාපයක් ම වේ. යමක් ක්‍රියාවකින් තමන්ට හෝ අනුන්ට යහපත වේ නම් එය පින නම් වේ. තවද තමන්ගේ පින, පව විඳීම හෝ විඳවීම අනුන් විසින් පවරා ගැනීමක් නොවන අතර කර්ම ඵල විඳීම හෝ විඳවීම තමන්ටම වේ.

කොහොම වුණත් මේ අර්ථ දැක්වීමේ පවත්නා සංකීර්ණතාව නිසාම එය එක් එක් දේශකයන්, එක් එක් ධර්ම කුලකයන් විසින් තම තම නැණ පමණින්, තම තම අවශ්‍යතාව පරිද්දෙන් විග්‍රහ කරන බව පෙනෙන්නට තිබේ. නිදසුනක් ලෙස, පටු අවශ්‍යතාවන් මත සිට තම දරුවෙකුගේ ආදර සම්බන්ධයකට මාපියන් විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ආදරය වෙනුවෙන් පෙනී සිටීමත් බරපතල පාපයක් බව දේශනා කරන අවස්ථා දැක ගන්නට ඇත.


මන්ද, තමන් සාධාරණ පැත්තේ සිටියද මාපියන් වැරදි වුවද, එහෙත් මේ ක්‍රියාවෙන් ඔවුන් බලවත් වේදනාවකට පත් වන නිසාය. මේ අනුව ඉහත අර්ථ දැක්වීම ආචාර ධාර්මික අර්බුදයක් මතු කරයි. එහෙත් මෙය ලිහා නොගත හැකි ගැටලුවක් නොවේ. ඇතැම් විට, කොතරම් යහපත් ක්‍රියාවකින් වුවද තවත් පාර්ශවයක් වේදනාවට දුකට පත් වීම වැලැක්විය නොහැකිය. නිදසුනක් ලෙස, නොදැනුවත් බව මත ජනතාව පහසුවෙන් සූරාකෑම සිදු කරමින් පවතින විට, කිසිවෙක් එකී ජනතාව දැනුවත් කරන්නේ නම් සූරාකන්නන් පීඩාවට පත් වීම වැලැක්විය නොහැකිය. ඒනයින් මෙය පාප කර්මයක් යැයි ප්‍රකාශ කිරීම සත්‍යයක් වන්නේද? නැත.


එසේම විශේෂයෙන් ඉස්මතු කර දක්වන පස් පව්, දස පුණ්‍ය ක්‍රියා, අට මහා කුසල් ආදී වශයෙන් වූ ඒවාද ඇත්තේය. ඇත්ත වශයෙන්ම කිවහොත්, මේ වන විට සමාජයේ
පින = දානය
කියන තැනට නව අර්ථකථනයක්, නව සමීකරණයක් ආගමික වශයෙන් ඇති කර ඇත.


පරාර්ථකාමය මත පිහිටා යමෙක් කටයුතු කරන විට ඔහු සැම විටම අවධානය යොමු කරනු ලබන්නේ අනෙකාගේ පැත්තෙන් බලා අනෙකාගේ සතුට, යහපත වෙනුවන් ක්‍රියා කිරීම කෙරෙහිය. එවිට සැම විටම සිදු වන්නේ යහපත් ක්‍රියාය. මෙහි අනෙක් පැත්ත සිදු වන විට සිදු වන්නේ පාප ක්‍රියාය.

එසේ නම් මේ අනුව අප අතින් ගෙවී යමින් පවතින සෑම තත්පරයකදීම, පාපකර්මයක් හෝ පුණ්‍යකර්මයක් සිදු වෙමින් පවතියි. එය සිතිවිල්ලෙන්, වචනයෙන් හෝ ක්‍රියාවකින් විය හැකියි.


එහෙත් සමාජය ගොදුරු කර දමා ඇති ඉහත සමීකරණය හේතුවෙන් සැබෑවටම සිදු වන, මොහොතක් පාසා එක් රැස් වන පින් පව් පසෙක දමා, ඒ වෙනුවට කිසියම් නිශ්චිත නිමේෂයක සිදු කරන ක්‍රියාවක් පමණක් පුන්‍යකර්ම සේ දක්වා ඇත. මෙය දේශපාලනික ක්‍රියාවකි. එනම්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව ගොනාට ඇන්දවීමකි.

කොහොම වුණත් මේ ඇඳ ගැනීමට ජනතාවද ඉතා කැමතිය. ඒ තමන්ගේ සැබෑ අධ්‍යාත්ම විමුක්තිය පිළිබඳ කිසිදු ප්‍රඥාවක් නොමැති ඔවුන්ට තමන්ගේ කුහක පැවැත්ම එවිට කිසි කරදරයකින් තොරව ගෙන යාමට හැකි වන නිසාය. ජීවිතයේ වැඩිම කාලයක් පව්කම් කර ඒ පව් සියල්ල සෝදා හැර දිව්‍යලෝකයෙන් ඉඩකුත් වෙන් කර ගැනීමට ඉඳ හිටක කරන මහා පින්කම් වලට හැකි නිසාය. මේ අනුව ගත් විට සමාජයේ පවතින ප්‍රතිගාමී සංකල්ප, ඒවා ඉදිරිපත් කළ අයගේ මෙන්ම පවත්වාගෙන යන්නන්ගේද අනොන්‍ය එකඟතාවකින්ම පවත්වාගෙන යන ඒවා බව පෙනේ.

Sunday, October 28, 2018

19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය - 19th amendment & Democracy

19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් ශක්තිමත් කිරීමට බවයි එය ඉදිරිපත් කළ මෙන්ම එයට විචාරයෙන් තොරව එකඟතාවය පළ කළ අයගේද අදහස වූයේ. එහෙත් එය එසේමද යන්න අප අවධානයට යොමු කළ යුතුව තිබෙනවා.

විශේෂයෙන්ම, ජනාධිපතිවරයා සතු විධායක බලතල කප්පාදු කිරීම, එයට එක් විය හැකි වාර ගණන සීමා කිරීම මෙන්ම පාර්ලිමේන්තුවක් ස්ථාපිත වූවායින් පසුව එය එහි සභිකයන්ගේ තුනෙන් දෙකක එකඟතාවයෙන් තොරව, වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීමද අයත්.


විධායක ජනාධිපතිවරයෙක් යනු, රටේ සමස්ත ජනතාවගේම බහුතරයේ කැමැත්තෙන් පත් වන පුද්ගලයෙක්. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු මැතිවරණ කොට්ඨාශයක සීමිත ජනතාවකගේ කැමැත්තෙන් බලයට පත් වන පුද්ගයෙක්. මේ නිසා ජනාධිපතිවරයෙක් තීරණ ගනිද්දී මුළු රටටම ඇති තම වගකීම සැලකිල්ලට ගෙනයි ක්‍රියා කරන්නේ. ඒ නිසා විධායක ජනාධිපතිවරයා සතුව එහි වචනයේ පරිසමාප්ත අර්ථයටම අනුව යම් විධායක බලතල ප්‍රමාණයක් පැවතිය යුතු වෙයි.

එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම හරය වන්නේ එහි පරමාධිපත්‍ය බලය ජනතාව සතුව පැවතිය යුතු වීමයි. එවිට ජනතාවට තමන් පත් කල ඕනෑම නියෝජිතයෙක් කාල සීමා නිර්ණයකින් තොරව අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ හැකියාව තිබිය යුතුයි. පාර්ලිමේන්තුව ජනතා මතයට පිටින් කටයුතු කරන විටක, එකී පාර්ලිමේන්තුව ස්වකීය කැමැත්තෙන් විසිරී යාමට කිසිසේත් ක්‍රියා කරනු ඇත්ද...? ඒ වෙනුවට සිදු වන්නේ හැකි තරම් කල් බලයේ සිටීමට උත්සාහ දැරීම සහ හැකි නම් මැතිවරණද කල් දැමීමට කූට උපායන් ක්‍රියාත්මක කිරීමයි.


මේ අනුව බලන විට පැහැදිලිව පෙනී යන සත්‍යය වන්නේ මෙකී සංශෝධනයෙන් පාර්ලිමේන්තුව වසර 4 1/2ක් යන තෙක් විසුරුවා හැරීමට නොහැකි ලෙස සැකසීම ජනතා බලයට පයින් ගැසීමක් බවයි. ජනාධිපතිවරයෙක් තමන්ට එකඟ නැති එහෙත් ජනතා හිතවාදී පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියායයි සිතමු. එවිට ජනතාව විසින් නැවත පත් කරනු ලබන්නේද ඊටත් වැඩි බලයකින් එකී පාර්ලිමේන්තුවමයි. ඒ අනුව ජනාධිපතිවරයෙකුට ඒකාධිපතිවරයෙක් ලෙස අත්තනෝමතිකව ක්‍රියා කිරීමෙන් ඵලයක් ලද නොහැකියි.

එසේ නම් මෙකී සංශෝධනයේ වාසිය පැහැදිලිවම අයත් වන්නේ ජන පීඩක පාර්ලිමේන්තුවකට බලෙන් පැවතීම සඳහා බව පෙනී යයි.


එසේම ජනාධිපතිවරණයකට ජනතාව කැමති නම් ඕනෑම වාර ගණනක් ඉදිරිපත් වීමේ හැකියාවද පුද්ගලයෙකුට තිබිය යුතුයි. ජනතාවට ඔහුව අවශ්‍ය නම් වෙනත් පාර්ශවයක් විසින් එය වැලැක්විය හැක්කේ කෙලෙසද? එයත් පැහැදිලි ලෙස ජනතාව සතු බලය පැහැර ගැනීමක් වෙයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්, දැනටමත් තටු කපා ඇති ජනාධිපතිවරයා සම්පුර්ණයෙන්ම නිරායුධ කිරීමට අපේක්ෂිතයි. මේ සියල්ල තුළින් සිදු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය තව දුරටත් වළ දැමීම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

Friday, August 10, 2018

ශර්මි කුමාර්, කාන්තා ලිංගිකත්වය - Sharmi Kumar, Women's sexuality

ශර්මි කුමාර් (Sharmi Kumar), අන්තර්ජාල රූපවාහිනි චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආන්දෝලනාත්මක අදහස් රැසක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධයෙන් ඇය ඉදිරිපත් කළ අදහස්. Porn Videos වල පෙනී සිටීමෙන් හා මුදලට කය අලෙවි කිරීම තුළින් ඇය බලාපොරොත්තු වන්නේ මුදල් හා ලිංගිකත්ව තෘප්තිය යන දෙකම ලබා ගැනීම බව ඇය ප්‍රකාශ කළා.

මෙය සත්‍යදැයි අපි සොයා බලමු. එය එසේ නම් ගණිකා වෘත්තිය නීතිගත කිරීමේත් මානුෂීය පදනමක් නිර්මාණය වෙනවා. ලිංගිකත්ව තෘප්තිය සම්බන්ධ බටහිර රටවල පර්යේෂණවල ඉතිහාසය 60 දශකය පමණ ඈතට දිව යනවා. වර්තමානය වන විට තහවුරු කර ඇති කරුණ වන්නේ ලිංගිකත්වයේ උපරිම සතුට, සූරතාන්තය මත පදනම් නොවන බව. එය, ලිංගිකත්ව සම්බන්ධයක ආරම්භයේ සිට අවසානය අතර දක්වා පරාසයේ කවර හෝ අවස්ථාවක අත්දැකිය හැකි බවයි එමගින් පෙන්වා දෙන්නේ.


ඒ සඳහා බලපාන මුඛ්‍ය කරුණ වන්නේ දෙදෙනා අතර පවතින මානසික බැඳීම හා ආදරයයි. ඒ වගේම අදාළ මොහොතේ සිදුවන ආදරණීයත්වය මත පදනම් වෙමින් සිදුවන ක්‍රියාකාරකම්.

ඒ වගේම අවිවාදිතව පිළිගත් සත්‍යය වන්නේ කාන්තාවකගේ ලිංගික තෘප්තිය අනිවාර්ය ලෙසම තම සහකරු සමග පවතින මානසික බැඳීම හා අනුපාතිකව සමාන බව.

ඕනෑම අවස්ථාවක මුදල කිසියම් සිදුවීමක් සඳහා ඉදිරියට පැමිණේ නම් එතැන තව දුරටත් මානුෂීය සම්බන්ධයක් ඉතිරි වන්නේ නෑ. අප කඩයකට ගොස් බඩුවක් මිළදී ගත් විට අප තුළ සොඳුරු මතකයක් ඉතිරි වන්නේ එහි සේවකයා අපට දැක්වූ සුහද පිළිගැනීම හා සත්කාරය මත. එය මුදල හා කුඩා හෝ සම්බන්ධයක් පවතින බවක් හැඟී ගියහොත් ඒ හැඟීම තව දුරටත් ඉවත් වී ඇති වන්නේ පිළිකුල් සහගත හැඟීමක්.


ඒ වගේම අපට ඉතාමත් තද බැඳීමක් ඇති කරගත හැක්කේ එක් අයෙක් සමග පමණයි. කායික සබඳතාවක් නොව කායික සමීප වීමක් සඳහා වුවද මෙවැනි බැඳීමක් අවශ්‍ය වෙනවා. ඒ අනුව විවිධ පුද්ගලයන් හා අපට මෙවැනි සම්බන්ධයක් ඇති කරගත නොහැකියි.

ඒ වගේම කැමරාකරුවන්, ආලෝකකරණ ශිල්පීන් වැනි පුද්ගලයන් රාශියක් ඉදිරිපිට සිදුවන ලිංගික සබඳතාවක් තුළින් තෘප්තියක් අත්කරගත හැකියයි කීම හාස්‍යජනක කරුණක්. එවැනි අවස්ථාවක ලිංගික උත්තේජනයක් හෝ ඇති කරගත හැකි වන්නේ බලහත්කාරයෙන් සිදු කරන කායික උත්තේජනයන් තුළින්.

මේ අනුව අපට එළඹිය හැකි නිගමන දෙකක් තිබෙනවා. එකක් වන්නේ මෙය මනෝ විද්‍යාවේ එන ''සංරක්ෂණ ප්‍රයෝගයක්''  විය හැකි බව. දෙවැන්න, මෙය අලෙවි උපායමාර්ගයක් (marketing strategy) විය හැකි බව.


කාන්තාවකට සිදු කළ හැකි බරපතලම අපරාධය, ඇය ගණිකාවක් බවට පත් කිරීමයැයි ඕෂෝ පවසා තිබෙනවා. ඔහු එසේ කියන්නේ ඉතාමත් ගැඹුරු හේතූන් ඇතිව. එය එසේ නම්, කිසියම් හෝ දිනක සත්‍යය වැටහුණු විටක ගත වූ කාලය සම්බන්ධයෙන් බොහෝ දුක් වීම වැලැක්විය නොහැකියි.

ප්‍රස්තුත සම්මුඛ සාකච්ඡාවට අදාළ වීඩියෝව.

Sunday, August 5, 2018

වහල් ක්‍රමය, ගොදුරු න්‍යාය සහ කාන්තාව - Slavery, The Theory of Prey and Women

අපේ මේ සමස්ත පෘථිවි ලෝකය තුළම පවතින පොදු න්‍යාය වන්නේ කැළේ නීතිය හෙවත් ''ගොදුරු න්‍යායයි''. එනම්, සාපේක්ෂව බලවත් පුද්ගලයාගේ අවශ්‍යතාවන් වෙනුවෙන් සාහසික ලෙස සාපේක්ෂව බලයෙන් අඩු පුද්ගලයාව යොදා ගැනීමයි. එය මිනිසාගේ සිට සමස්ත සත්ව ප්‍රාජාව දක්වාම පොදු වේ.

ම්ලේච්ඡ අවදියේදී එක් ජන කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ආක්‍රමණය කර ඔවුන්ව සමූල ඝාතනය කර දැමුනා. තවත් විටක කාන්තාවන් තමන් සතු කරගෙන පිරිමින්ව මරා දැමුණා. කාන්තාවන් තමන් සතු කර ගැනීම සිදු වුණා. ක්‍රමයෙන් නිෂ්පාදන ක්‍රම වර්ධනය වෙද්දී ශ්‍රමයේ අවශ්‍යතාවක් උද්ගත වීම නිසා පසුව අක්‍රමණික ප්‍රදේශවල පිරිමි මරා නොදමා වහලුන් බවට පත් කර ගත්තා.


සමාජය තවත් ඉදිරියට යද්දී වැඩවසම් ක්‍රමය ඇති වුණා. නිෂ්පාදන බලවේග විශාල ලෙස වර්ධනය වෙද්දී ශ්‍රමයට කලින් තිබූ අධි වටිනාකම නැතිව යාමත් සමග වහලුන් සහ ප්‍රවේණි දාසයන් පවත්වා ගැනීම අලාබ දායක ක්‍රියාවක් වූ හෙයින් ඔවුන් නිදහස් ශ්‍රමිකයන් බවට පත් කරනු ලැබුවා. තාක්ෂණය තව දුරටත් වර්ධනය වෙමින් යන මේ අවදියේ තමන්ගේම ආයතනවල නිල සේවකයන් තබා ගැනීමත් අලාබයක් වන හෙයින් මේ වන විට ලොව පුරාම ෆ්‍රීලාන්සර්ස් හෙවත් නිදහස් සේවකයන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. එවිට සේවක අර්ථසාධක වගේ කිසිම වරප්‍රාදයක් දෙන්න ඕනෙ නෑ. වගකීමක් දරන්න ඕනේ නෑ.


මේ අනුව, ම්ලේච්ඡ අවදියට වඩා යම් සුබදායක තත්වයක් ලෝකයේ පවතින්නේ නිෂ්පාදන බලවේග දියුණු කල අතලොස්සක් මිනිසුන්ට පින් සිද්ධ වෙන්න. එහෙම නැතිව අදටත් ඉන්නේ එදා හිටපු ම්ලේච්ඡයාමයි.

ප්‍රාථමික යුගයේ මාතෘ මූලික සමාජයක් පැවතුණාට එයින් කාන්තාවට අමුතුවෙන් අත් වූ සෙතක් නෑ. එය මුල්ම කාලයේ මුලු ගෝත්‍රයේම පිරිමින්ගේ කාම ගොදුර බවට පත් වුණා. ක්‍රමයෙන් සමාන ජාන නිසා විවිධ සංජානීය ආබාධ සහිත දරුවන් බිහිවෙන බව අවබෝධ කර ගැනීමත් එක්ක පියවරෙන් පියවර සීයලා, තාත්තලා, සහෝදරවරු මේ කාම ගොදුරු ක්‍රියාවෙන් අයින් වුණා.

නිෂ්පාදන බලවේග දියුණු වෙලා අතිරික්ත සම්පත් එක් රැස් වෙනකොට ඔන්න පිරිමියාට ඕනේ වුණා තමන්ගේම ලේ තියෙන දරුවෙකුට ඒ ධනය පවරන්න. නිල පතිනියක් පිරිමියාට ඕනේ වෙන්නේ ඒ අනුව. ඒත් ඔහුගේ බහු කාන්තා සේවනයේ අවශ්‍යතාව හේතුවෙන් ඔහු ගණිකා වෘත්තිය නිර්මාණය කළා. ඒ වගේම, ඔහුට කාන්තාව රිසි සේ සූරා කෑමේ අවශ්‍යතාව හේතුවෙන් විවිධ සංකල්ප ගොඩනගමින් ඒවා ප්‍රශ්න කළ නොහැකි පොදු සමාජ සම්මතයන් බවට පත් කළා. ගෝත්‍රික අදහස් දරන ජන සමූහ අදටත් කාන්තාව සලකන්නේ තමන්ට පරිහරණය කළ හැකි භාණ්ඩයක් ලෙස. ඔවුන්ගේ අඳින ඇඳුමේ සිට සිතන පතන දේ දක්වා සියල්ල සිරගත කර තිබෙනවා.


ඒ වගේම දියුණු ශිෂ්ට යැයි කියන සමාජයද ඔවුනට දෙවෙනි වන්නේ නෑ. ඔවුන් කාන්තා කාම වෙළඳපළක් නිර්මාණය කරමින් ඔවුන්ව රිසි සේ සූරාකෑම සහ තම මනෝ ව්‍යාධීන්ගේ ගොදුරු බවට පත් කර ගැනීමද සිදු කරනවා. ''කෲර ලිංගිකත්වය'', ''සමූහ ලිංගිකත්වය'' වැනි නූතන ක්‍රියාවන් ඊට නිදසුන්.

යම් සමාජයක් කාන්තාව මුළුමනින්ම ආවරණය කරන්නේද එහි අර්ථය ඔවුන්ට කාන්තාව කාම භාණඩයකට වඩා දෙයක් නොවන බව. ඒ වගේම යම් සමාජයක් කාන්තාව වඩ වඩාත් නිරාවරණය කරන්නේද එහි අර්ථය ඔවුනට ව්‍යාජ නිදහසක් ලබා දෙමින් කාම භාණඩයක් බවට පත් කර ඇති බවයි.


මේ අනුව සමස්තයක් වශයෙන් ගත් විට අද වැදගත් ලෙස කතා කරමින් වැදගත් ලෙස අඳිමින් පළඳිමින් සිටින්නේද එදා සිටි ම්ලේච්ඡයාම බව ඉතා පැහැදිලිව පෙනී යනවා. මෙහි ඇති ශෝචනීය තත්වය අන් කිසිවක්වත් නෙවි. ම්ලේච්ඡයෙකුට, කවදාවත් ජීවිතයෙන් ලබන්න පුළුවන් අනන්ත අපරිමාණ සතුටෙන් බින්දුවක්වත් ලබන්න බැරි වීම. සතෙකුටත් වඩා අන්ත දුක්ඛිත තත්වයකින් ජීවිතය ගෙවා මිය යාම. ජීවිතයේ සතුට තියෙන්නේ කොතනද කියන එක අපි, '' ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස'' යන ලිපියෙන් සාකච්ඡා කර තිබෙනවා.

Sunday, July 29, 2018

ආශාවේ ආත්මාර්ථයේ සහ පරාර්ථයේ වෙනස..... - The Theory for A Extreme Happiness Life

ආත්මාර්ථය යන්න විවිධ සංස්කෘතික, ආගමික සන්දර්භයන් මත විවිධ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. ඒත් අපේ මේ හැදෑරීම් සන්දර්භයට සාපේක්ෂව සැලකූ විට, එය මේ අයුරින් අර්ථ දක්වන්න පුළුවන්. එය බොහෝ දුරට ඒ සඳහා නිවැරදි අර්ථ දැක්වීමද වේයැයි සැළකිය හැකියි.

බටහිර මනෝ විද්‍යාව අනුව සැලකුවොත් ''ආශාව'' යන්න සැලකෙන්නේ එය පුර්ණ වශයෙන් සපුරා ගැනීමට හැකි වුවොත් ඒ හා සමගම ''අතුරුදන්'' වන දෙයක් ලෙස. එහි තේරුම, තව දුරටත් ඒ ''ආශාව'' ආශාවක් ලෙසින් යම් කාලසීමාවකට අපේ සිතේ ඇති නොවන බව. එසේ නම් ''ආශාවක්'' යළි යළිත් අපේ සිතේ ඇති වන්නට නම් එය පූර්ණ වශයෙන් තෘප්ත වීමට කිසියම් ''බාධාවක් හෝ බාධාවන් සමූහයක්'' අප ඉදිරියේ තිබිය යුතුයි.


එවිට ''ආශාව'' අඛණ්ඩව එක දිගටම තබා ගැනීමට හැකි වෙනවා. විවාහක අයට තම සහකරුවා ඉතා ඉක්මනින්ම එපා වන්නේත් අනියම් සම්බන්ධයකට අයත් සහකරුවා ඉතා නැවුම් ලෙසින් හැම මොහොතකම දිගටම හැඟී යන්නේත් මේ සිද්ධාන්තය නිසයි. විවාහක අයට බොහෝ දුරට ''බාධාවන්'' ඇත්තේම නැති තරම්. එහෙත් අනියම් සම්බන්ධයක් කියන්නේ මරණය අතේ තියන් ඉන්නවා වගේ වැඩක්.


බෞද්ධ දර්ශනයට අනුව නම් ආශාවන් කවදාවත් තෘප්තියෙන් අවසන් වන්නේ නෑ. සෑහීමකට පත් වන්නේ නෑ. ඒ වෙනුවට තව තවත් ආශාව පසු පස්සේම ගමන් කරනවා. එය සපුරා ගත හැකි නව ආකාර ගැන සොයනවා. ඇත්තටම මේ කියන්නේ අර අපි කළින් කතා කළ අවස්ථාවේම ඊලඟ පියවර. එනම්, ආශාවක් සම්පූර්ණයෙන් සපුරා ගත් විට සිතේ ඇති වන අතෘප්තිය හේතුවෙන් එම ආශාවේම නව ආකාරයක්, දිගුවක්, නව සංස්කරණයක් අපේ සිත ඉල්ලා සිටිනවා. එයත් සම්පූර්ණයෙන් තෘප්ත වුවොත් එහිත් නව ආකාරයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම ''ආවේගයන්'', ''ආතතීන්'' කියන්නේ විවිධ අවශ්‍යතාවන් වෙනුවෙන් ජාන මගින් ඇති කරන හෝ අපට පහසුවෙන් සපුරා ගැනීමට හැකි නොවීම නිසා හෝ ඇති වන හැඟීම් විශේෂයක්. මේ නිසා අප තුළ ''හීනමානයක්'' ඇති වනවා. මේ නිසා අපට ආවේගයන්, ආතතීන් සපුරා ගත් විට ඇති වන්නේ ආවේගයන් සමනය වීමෙන් ඇති වන සහනය හෝ ''වාඩුව'' ගැනීම නිසා ඇති වන ආකාරයේ සතුටක්. එය ''ප්‍රමෝදය'' ලෙසින් හඳුන්වන්න පුළුවන්. මේ නිසා ආවේගයන් සපුරා ගැනීමට එදිරි සාධක වෙනුවෙන් පළි ගැනීමේ චේතනාවක් අපේ සිතේ ඇති වෙනවා.


 ඒ වගේම බෞද්ධ දර්ශනයට අනුව, ආශාවන් යන්න, අපේ විවිධ ''වේදනාවන්'' දුරු කර ගැනීමට දරන උත්සාහයක් මිස ''සැබෑ විඳීමක්'' නොවන බවද පෙනවා දෙනවා. නිදසුනක් ලෙස කුසගින්න නම් වේදනාව දුරු කර ගැනීමට අප ආහාර වෙනුවෙන් ආශා කරනවා. ජානවලින් මෙහෙයවන ආවේගයන් හේතුවෙන් ලිංගිකාශාවන් අපේ සිතේ ජනිත වෙනවා. එම ආවේගයේ වේදනාවෙන් දුරු වීමට අප එම සම්බන්ධයකට යොමු වෙනවා. එවිට එම ආවේගය සමහන් වීම හේතුවෙන් අපට දැනෙන ''සහනය'' අප ''විඳීමක්'' ලෙසින් වරදවා තේරුම් ගන්නවා.

මේ කරුණු සියල්ල මතකයේ තබාගෙන අපේ නව සිද්ධාන්තය වෙත යොමු වෙමු. එනම්,

ආත්මාර්ථකාමය පදනම් වෙමින් අපේ සිතේ ඇති වෙන්නේ ආවේගයන් සහ ආතතීන් වන අතර ඒවා අප විසින් පොදුවේ ''ආශාවන්'' ලෙසින් නාමකරණය කරගන්නවා. එහෙත් ආවේගයන් සහ ආතතීන් තෘප්ත කර ගැනීමට යාමෙන් අපට ''විඳීමක්'' ලබා ගත නොහැකි අතර එම ආවේගයන් යම් මොහොතකට සමහන් වීමෙන් ඇති වන ''සහනය'' පමණක් අත්දකිනවා.

ආත්මාර්ථය පදනම් කරගත් සිතක ඇති වන ආවේගයන් හෝ ආතතීන් සමහන් කර ගැනීමට යාමේදී ඒ පුද්ගලයා සිතන්නේ එය කෙසේ හෝ කුමන අයුරකින් හෝ සපුරා ගන්නා ආකාරය පමණයි. එහිදී එයට සම්බන්ධ වන කිසිදු සාධයක යහ පැවැත්ම කෙරේ ඔහුගේ අවධානය යොමු නොවෙයි.


එහෙත් පරාර්ථය පදනම් කරගත් පුද්ගලයාගේ සිතේ ආශාවක් ඇති වූ විට ඔහුගේ ඊට සම්බන්ධ සෑම සාධකයක් ගැනම අවධානය යොමු වෙනවා. ඒ හැම සාධකයකම යහ පැවැත්ම කෙරෙහි ඔහුගේ සිත නිසගයෙන්ම යොමු වන නිසා. එවිට ඔහුගේ ආශාව තෘප්ත කරගැනීම සාමූහික එකක් වනවා. හුදු ආවේගයන් පහ කර ගැනීමක් නොවෙයි. මේ නිසා මේ එය ''විඳීමක්'' බවට පත් වෙනවා. එනම් එය, ආවේගයන්ට දක්වන ප්‍රතිචාරයක් වෙනුවට, අපම විසින් උත්පාදනය කර ගන්නා නව සොඳුරු හැඟීම් විශේෂයක් බවට පත් වෙනවා. ඒ නිසා එයට අර ''ආශාවේ පොදු න්‍යාය'' සත්‍යයක් වන්න්නේ නෑ. මේ නිසා ඔහුගේ විඳීම දිගින් දිගටම එකම ආකරයේ එකක් වුවත් එය ඒකාකාරී නීරස එකක් බවට පත් වන්නේ නෑ. එහෙත් ආවේගයන් සමහන් කර ගැනීමට යන්නාට එකක් පසුපස එකක් නව නව ආකාරයේ අත්දැකීම් හිමි කර දුන්නත් ඔහුට කිසි විටකවත් ''සබෑ සතුට'' හෝ ''විඳීම'' හමු වන්නේ නෑ.

යමක් ''විඳීමක්'' බවට පත් වීමට නම් එය ''ආදරය'' සහ ''පරාර්ථය'' මත පදනම් විය යුතු වෙනවා. එසේ නොමැතිව ආත්මාර්ථය මතින් පදනම් වේ නම් එය හුදු ආවේගයන්, ආතතීන් සමහන් කර ගැනීමක් පමණයි. එතැන ''විඳීමක්'' නැහැ.

ආදරණීය සිතක් තුළ ඇති වන ''විඳීම'' වනාහි හැම විටම නව උත්සවකාරී දෙයක්. එහි පිළුනු වීමක් නෑ. නිතරම නැවුම්. ඒ ඔහු නිතරම අනෙකා සමගින් ආදරණීය ලෙසින්, සොඳුරු ලෙසින් සම්බන්ධ වන නිසා. එහෙත් ආත්මාර්ථකාමී සිතක් තුළ ඇති වන ආශාව වනාහි ස්වකේන්ද්‍රීය එකක්. අවශෝෂණීය එකක්. එය උරා ගැනීමෙන් අවසන් වන එකක්. එහි නව නිමැවුමක් නෑ. හරියට විශ්වයේ තියෙන කළු කුහරයක් වගේ.


ආශාවක් කියන එකේ තේරුමම, එය තවමත් අප වෙත නොලැබීම නිසා ඇති වන ආවේගයක් යන්න. ඉතින් එය ලැබුණු පසුව තව දුරටත් එයට ''ආශාව'' යන්න සත්‍යයක් වන්නේ නෑ. නොලැබීම නිසා ඇති වන හැඟීම, ලැබුනු පසුව තව දුරටත් පැවතීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙත් ආදරණීය පුද්ගලයෙක් තමන් තුළ ඇති වන ආශාව, වෙනත් තත්වයක් බවට පත් කර ගන්නා නිසා ඔහුට අර නොළැබීමේ න්‍යාය අදාළ වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින්, අඩු වශයෙන් එය උත්පාදනය වන පුද්ගලයාගේවත් යහපැවැත්ම ඇති කරන්නේ නෑ. එය පුද්ගලයාව ගෙන යනු ලබන්නේ මිරිඟුවක් දෙසට වන අතර විනාශයේ අවසානය වෙතටයි. නිදසුනක් ලෙස අනෙකාව සූරාකෑම තුළින් ධනවත් වන පුද්ගලයෙක් සලකන්න. ඔහු ඒ මාර්ගයේ දිගින් දිගටම ගමන් කරන්නේ ආශාවේ වහලෙක් බවට පත් වෙමින්. ඒ තුළ ඔහුට අහිමි වන සතුට සොයා යමින් ඔහු විවිධ අත්හදා බැලීම්හි නිරත වන නමුත් කිසිදා ආතතීන් සමනය වීමක් විනා සැබෑ සතුට හමු වීමක් සිදු වන්නේ නෑ.

ආත්මාර්ථය තුළින් එක් තැනක පැවැත්මක් වෙනුවෙන් තවත් පැවැත්මන් විශාල ප්‍රමාණයක් විනාශ කර දැමීම සිදු වෙනවා. ඒ නිසා එතැන මූලික ප්‍රතිඵලය ''විනාශය''. එහෙත් පරාර්ථය තුළ සාමූහික, විශ්වීය පැවැත්මක් අරමුණු කෙරෙනවා. තහවුරු කෙරෙනවා. මේ නිසා එතැන ප්‍රතිඵලය, ''පැවැත්ම'', ''විඳීම''.


ඒ වගේම පරාර්ථය සහ ආදරය කියන්නේ අනෙකෙකුගේ පැවැත්ම වෙනුවෙන් සවිඥානික ලෙස සහ ස්නේහයෙන් යුතුව සිදුවන මැදිහත් වීමකට. එය, විඥානය විසින් උත්පාදනය කළ උතුම්ම සිතිවිල්ලයි. සිත, මේ සමස්ත විශ්වයේ, ද්‍රව්‍යයේ බලවත්ම දෙය වන විට, ඒ බලවත්ම දෙය විසින් නිපදවූ බලවත්ම හා උත්තරීතරම දෙය පරාර්ථය සහ ආදරයයි. සිත, මේ විශ්වයේ බලවත්ම දෙය වන්නේ, ද්‍රව්‍යය විසින් නිමවී, ඒ තමන්ව නිමවූ ද්‍රව්‍යය දෙසම ආපසු බැලීමට හැකි එකම දෙය එය වන නිසයි.

Saturday, June 23, 2018

සැබෑ වැද්දෝ නම් කවුරුන්ද?

නූතන වැදි නායක, ඌරු වරිගයේ වන්නියලැ ඇත්තෝ වෙසක් මාසයේ ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුනේ තව දුරටත් ''වැදි බණ'' යන යෙදුම තාර්කික නොවන බවයි. සංකල්පීය තලයේ එකක් පවසමින් ප්‍රායෝගික තලයේ එහි පරස්පරය ක්‍රියාත්මක කරන අයගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සුලබ යෙදුමක් වන්නේ ''වැදි බණ දේශනා කරනවාය'' යන්න.

නූතන වන ජීවි සංරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන් වැදි ජනතාව දඩයමෙන් ඈත් වී තිබෙනවා. වන්නියලැ ඇත්තෝ නම්, වසර 37ක පමණ කාලයක සිටම දඩයමෙන් පමණක් නොව මස් මාලු කෑමෙන්ද වැලකී සිටින බවයි පවසන්නේ. ඒ වගේම අනෙක් ශිකෂා පද හතරද බොහෝ දුරට වැදි ජනතාව ආරක්ෂා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ. එහෙත් අපේ මහා සමාජය එයට විලෝමව බෙහෙවින් දූෂිත බවට පත් වෙමින් පවතින බවත් ඔහු දකිනවා.


පෝයට සිල් ගන්නවාදැයි ඇසූ විට ඔහු පවසා තිබුනේ ''ශීලය'' ඔහුගේ ජීවිතය තුළ හැම මොහොතකම පවතින නිසා බොරුවට පෝය දිනට පමණක් සුදු රෙදි පොරවා ගැනීමේ අවශ්‍යතාවක් තමන් නොදකින බව.

එසේම දඩයමේ යෙදෙන කාලයේ වුවද ඔවුන් සතුව ඒ සම්බන්ධයෙන් ආචාර ධර්ම සමූහයක් තිබූ බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව ගැබ්බර සතුන්, නිදැල්ලේ සැතපී සිටින සතුන්, දිය බොන සතුන් දඩයම් කිරීම තහන්චි වෙයි. ඒ වගේ සතුන් දරුවන් මෙන් කවා පොවා ඇති දැඩි කර ඔවුන් මරා කෑමද වැදි ජනතාව පිලිකෙව් කරයි. ඔවුන් ගවයන් හා කුකුළන් ඇති කළද ගව හෝ කුකුල් මස් හෝ බිත්තර ආහාරයට නොගනියි.


පරමාදර්ශ වශයෙන් සලකා බලන විට, ඉහත ආචාර ධර්ම අපට සැලකිය හැක්කේ ''සාපේක්ෂ'' ඒවා වශයෙන් පමණයි. නමුත් එවැනි මට්ටමක්වත් ඔවුන් තුළ පවතින විට හා ''ශිෂ්ට'' යැයි කියන මහා සමාජය තුළ එවැන්නක්වත් නොපවතින විට මහා සමාජයේ ''ශිෂ්ට'' බව ඇත්තේ කොතැනදැයි ඔහු අසන ප්‍රශ්නයට අපට දෙන්න පුළුවන් පිළිතුර කුමක්ද? අප අංශක 360ක් ආපසු කරකැවී ම්ලේච්ඡත්වයට ගමන් කර ඇති බවද?

මිනිසුන් ආගම් නිර්මාණය කර ගත්තේ තමන්ට ජීවිතය, එහි ඉරණම, තමන්ගේ ආරම්භය, පැවැත්ම සම්බන්ධයෙන් ඇති වූ ගැටලු වලට පිළියමක් ලෙස විනා ඔහුට පළමුව ආගම් පැවතුනා නොවේ. ඒ නිසා ආගම් යනුද ඒ ඒ සමාජවල අවශ්‍යතාවන්ගේ නිර්මිතයක් පමණි. ඉහත ප්‍රශ්නවලට අදාළ 'සත්‍යය'' සෙවීමේ අරමුණක් මිනිසා තුළ පැවතුණා නම් මේ වන විට ඔහු එය සොයාගෙන හෝ තව දුරටත් සොයමින් සිටිනවා ඇත. එවිට, ''එක් සත්‍යයක්'' මිස ''සත්‍යයන් සමූහයක්'' නොපවතිනු ඇත.  එවැන්නක් එහෙත් එවැන්නක් ලෙහෙසියෙන් විය නොහැක්කේ ''ආත්මාර්ථය'' විසින් ඔහුගේ බුද්ධිය අවුරාලනු ලබන බැවින්.


පුද්ගලයෙකුට ඇසෙන්නේ තමන් ඇසීමට කැමති දේ පමණක්ය යනුවෙන් කියමනක් ඇත. එයට, ''පුද්ගයන් සත්‍යය සොයා යන්නේද තමන් දැකීමට කැමති සත්‍යය වෙනුවෙන්'' බවට තවත් කියමනක් එකතු විය යුතුය.

ස්වභාව ධර්මයේ සංකීර්ණ හා අපූර්ව භාවය, අභියෝග, සමස්ත සත්ව ප්‍රජාවේම ආත්මාර්ථකාමී සාහසික ස්වභාවය නිසා ඔහු තුළ ඇති වන අසරණ අනාථභාවය තුළ සරණක් පතා ඔහු ආගම නිර්මාණය කර ගත්තේය. ඔහුගේ ආත්මය යම් තාක් දුරට හෝ පවත්වා ගත හැක්කේ ඒ මතය. එහෙත් එය කිසිසේත් සුන්දර ජීවිතයක් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බව, මිනිසුන්ගේ අසතුට, ගැටුම්, ආනාරක්ෂිතබව තුළින් මනාව පැහැදිලි වෙනවා.

එකිනෙකාව ගොදුරු කර ගැනීමෙන්, සූරාකෑමෙන්, හිංසාවට පත් කිරීමෙන් වෙනුවට එකිනෙකාට ආදරය කරන, උපකාර කරන, සාමූහික පැවැත්මක් වෙනුවෙන් ක්‍රියා කරන, සිතන සමාජයක් නිර්මාණය වන්නේ එකිනෙකාගේ සිත්වලින් අපව පෙළන රුදුරු ''ආත්මාර්ථය'' ක්ෂය වී ගිය දිනටය. වසර ලක්ෂ ගණනකින් හෝ උදා විය හැකි ඒ දිනට සියලු සත්වයෝ සතුටින් ජීවිතය ''විඳිනු'' ඇත.


Sunday, May 27, 2018

ක්ෂේම භූමිය සොයා යාම.....

මිනිසාද ඇතුළත් පෘථිවි ලෝකයේ සත්වයාගේ සිත්වල පදනම ආත්මාර්ථකාමිත්වයයි. එය යම් යම් ආකාරයෙන් කලමනාකරණය වීමක් සියලුම සත්ව සමාජයන් තුළ සිදු වෙයි. ඒ වගේම යම් යම් භාවමය සාධක මත එය යම් යම් සන්දර්භයන් තුළ පුද්ගලයාගේ අඩු වැඩි වීමක්ද සිදු වෙයි. ඒ හැර, පදනමින් ගත් විට පුද්ගලයා පෙළන මෙම ආත්මාර්ථකාමීත්වය ක්ෂය වීමක් මහේක්ෂ ලෝකය තුළ කිසිසේත් සිදු වන්නේ නෑ.

ඇත්තටම මේ ලෝකයේ සියළුම අංශයන්ගේ සංවර්ධනයට ඇති මූලිකම බාධකයද එයයි. දැනට ලෝකය අත් පත් කර ගනිමින් සිටින භෞතික සංවර්ධනය හා සමාජ සංවර්ධනය යනු, මිනිසාගේ ආත්මාර්ථකාමීත්වය උපක්‍රමික ලෙස පාලනය කරමින් ලබාගෙන ඇති එකක් පමණයි. එය ඒ නිසාම ඕනෑම මොහොතක බිඳ වැටී යන්නටද පුළුවන්. නිදසුනක් ලෙස, ස්වාභාවික විපත්, යුද්ධ වැනි අවස්ථා දැක්විය හැකියි. ඒ වගේම කිසියම් හේතුවක් නිසා මේ පවතින සමාජ ආර්ථික රාමු බිඳ වැටුණහොත් සමාජය නැවත ගෝත්‍රික යුගයකට යාමට වැඩි වේලාවක් ගත වෙන්නේ නෑ.


මේ පූර්විකාව ඉදිරිපත් කළේ ක්ෂේම භූමි චිත්‍රපටය ගැන විමසුමකට පිවිසුමක් ලෙසින්. "සිටු කුමරියෝ, ආරාධනා, දඬුමොණර, දුහුළු මලක්‌" ඇතුළු අපේ සිනමාවේ චිත්‍රපට ගණනාවක්‌ අධ්‍යක්‍ෂණය කළ අභාවප්‍රාප්ත විජය ධර්ම ශ්‍රී සිනමාකරුවාණන් අවසන් වරට නිර්මාණය කළ "ක්‌ෂේම භූමි" චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය කරනු ලැබුවා. අයිලින් සිරිවර්ධන ලියූ සම්මානනීය නවකතාව පාදක කරගෙන සිනමාවට නැගුණු "ක්‌ෂේම භූමි" චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්‍රේමසිරි කේමදාසයන් විසින්. විජය නන්දසිරි, සංගීතා වීරරත්න, ජැක්‌සන් ඇන්තනි, යශෝධා විමලධර්ම, පාලිත සිල්වා, ශ්‍රියන්ත මෙන්ඩිස්‌ ඇතුළු දක්‌ෂ නළු නිළි පිරිසක්‌ මෙහි චරිත නිරූපනය කරනු ලබනවා. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය අධ්‍යක්‍ෂ විජය ධර්ම ශ්‍රී වියෝ වීමෙන් පසු අතපසු වී තිබියදී චිත්‍රපට සංරක්‌ෂකයකු හා ප්‍රදර්ශකයකු වන තිස්‌ස නාගොඩවිතානයන් මැදිහත් වීමෙන් 2010 වසරේදී මුල්වරට ප්‍රදර්ශනය වුණා.

80 ජූලි වර්ජනයට සහභාගී වීම නිසාත් වාමාංශික දේශපාලනයට සහභාගී වීම නිසාත් රැකියාව අහිමි වන අහිංසක ලිපිකරුවෙක් වටායි මේ කතාව ගෙතෙන්නේ. යන එන මං නැති තත්වයට පත් වන ඔහු අවසානයේ නතර වෙන්නේ විශාල ව්‍යාපරිකයෙක් බවට පත් වෙමින්.


සාමාන්‍ය පුද්ගලයෙකුව සිටි කාලයේ දූ දරුවන් හා බිරිඳ සමගින් ඉතා සතුටින් කෙළි දෙළෙන් ගත කළ ඔවුන් දියුණුවේ හිනි පෙත්තට ගමන් කරන විට එකිනෙකාගෙන් දුරස් වීමත්, තනි වීමත් සිදු වන අතරම කලින් තිබූ සතුට අහිමි වී යන ආකාරයත් පෙන්නුම් කෙරෙනවා. වැඩිමල් සහෝදරයා රැකියාවකුත් නැතිව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය සිටියේ විශ්වවිද්‍යාල වරම් ලබා ඔහුට වඩා ඉහළ ස්තරයක.

එහෙත් ඔවුන් නොසිතූ ස්ථානයකට ගමන් කරන විට ඇය, සාපේක්ෂව පහළ ස්ථරයකට වැටෙනවා. ඒ නිසා ඔහුට සිදු වන්නේ මාපියන්නේ සිතැඟිවලට ඉඩ දී ඇයව හැර දැමීමට. එහෙත් එයින් ඔහු අර්ධ වශයෙන් මල පුද්ගලයෙක් බවට අධ්‍යාත්මිකව පත් වීමයි සිදු වන්නේ. එහෙත් ඒ බව පෙන්වා දුන් විට පිළිගැනීමටවත් වැඩිහිටියන් සූදානම් නොවන විට පෙනී යන්නේ ඔවුන් ''ක්‍රමය'' තුළ කොතරම් ගොදුරු වී ඇත්ද යන්නයි.


අති විසල් නිවසේ නාමය ලෙස ''ක්ෂේම භූමි'' ලෙස නම් කර තිබුණත් එය, සැබවින්ම ගත් විට ඔවුන්ට ජීවිතය අහිමි කර සිරගත කළ බන්ධනාගාරයක් බව පැහැදිලි වෙනවා. මේ සිරගෙයින් පළා ගොස් ජීවිතය සොයා ගැනීමට බාල පුතු ක්‍රියා කරන්නේ ඔහු ''ජීවත් වීමට'' ආශා කරන බැවින්. ''ව්‍යාපාරය අපේ බව ඇත්ත මල්ලි. ඒත් ඇත්තටම ඒක අපේ නෙවෙයි'' යන්නෙන් වැඩිහිටි සහෝදරයා පෙන්වා දෙන්නේ තමන්ම විසින් ගමන් කළේ වුවද වර්ධනය කළේ වුවද ''ක්‍රමය'' විසින් අවසන් වශයෙන් තමන්ටද පාලනය කරගත නොහැකි අයුරින් එයට ගොදුරු කරගන්නා බව. ඉන් මිදෙන්නට, ''ක්‍රමය'' තුළ සිටිමින් නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ආත්මාර්ථය තුළින් අවසන් වශයෙන් සිදු වෙන එකම දෙය, අනුන්ටත් ජීවිතය අහිමි කරමින් තමන්ටත් ජීවිතය අහිමි කර ගැනීම.


මේ වැනි සත්‍යම සිදු වීම් ඔබ අවට මෙන්ම අපේම ජීවිතවලින්ද ඕනෑ තරම් සොයා ගැනීමට හැකියාව තිබෙනවා. මේ තුළින් පෙන්වා දෙන සත්‍යය, අන් කිසිවක් නොව අප පදනමින් ආත්මාර්ථකාමීන් බව. ''අවස්ථාවන්ට'' අපව සහමුලින්ම වෙනස් පුද්ගලයන් බවට පත් කිරීමට හැකි වෙන්නේ ඒ නිසායි.

ආත්මාර්ථය පදනම් වන්නේ ''ආශාවන්'' මත. ''ආශාවන්'' යනු කිසිදා තෘප්තියෙන් අවසන් වන ඒවා නොවේ. එකක් පසුපස එකක් බැගින් ආශාව - තෘප්තිය - අතෘප්තිය - නව ආශාව යන දාමයේ ඒ ඒ අවස්ථාවේ ප්‍රතිඵලයත් අතෘප්තියම වන අතර එය අවසන් වන්නේ පුද්ගයා වල්මත් වී මානසික රෝගියෙකු බවට පත් වීමෙන්. ජීවිතයේ විඳීම් ඇත්තේ එයට විලෝම වන පරාර්ථයත් ඒ තුළින් ඇති වන ආදරයත් මත පමණයි.

Saturday, May 26, 2018

තරු අතරින් මිහිබට සුරංගනාවිය, තාරා ........

ඇය නම් බොහෝ පැතිවලින් බලන විට සුරංගනාවියක්ම තමයි. සම්පූර්ණයෙන්ම සුරංගනාවියක් සේ කියන්න අපහසු, තව පූර්ණය කරගත යුතු දේවල් තියෙන නිසයි. තාරා ටෙලි සිතුවම ඇරඹෙන්නේම ඇය කුමන වැන්නියක්දැයි අපට විෂද කරවමින්. ඒ වගේම ජීවිතය ගැන බොහෝ දේ හිතන්නට ඉඩහසර ලබා දෙමින්.

ඒ වගේම ශලනි තාරකාගේ භාව පූර්ණ රංගනයද ඉතාමත් විශිෂ්ට බව කිව යුතුයි. ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණය, නාමල් ජයසිංහගේ රූපවාහිනී රචනය සේම හොඳ නිර්මාණ සඳහා කවදත් දායක වන ෆාහිම් මවුජූඩ්ගේ නිෂ්පාදන දායකත්වයද මෙහිදී මෙම නිර්මාණය සාර්ථක කර ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. කවදත් විශිෂ්ට රංගනයකින් දායක වන චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර ගැන වගේම සම්මානයෙන්ද ඇගයීමට ලක් වූ ළමා නිළි සහේලි සදෙත්මා ගැනද අප සිහිපත් කළ යුතුමයි.


කතාව ඇරඹෙන්නේ නන්දිතා, හදිසියේම එරන්දගේ නිවසට යාමට තීරණය කිරීමෙන්. එහෙත් සාම්ප්‍රදායිකත්වයේ, ගතානුගතිකත්වයේ ඉහළින්ම සිටින එරන්දගේ මව නන්දිතාව දකින්නේ වෙනත්ම කෝණයකින්. එනම්, සෙල්ලක්කාර, නාගරික හිස් චරිතයක් ලෙසින්. ඇය සිතන්නේ ප්‍රේම සබඳතා, කායික සබඳතා නන්දිතාට සාමාන්‍ය දෙයක් වන බවයි. ලාංකීය සමාජයේ සදාචාර ධර්ම ගැන අඩුම තරමේ හැඟීමක්වත් නැති බවයි මවට හැඟී යන්නේ. ඇය ඒ නිසාමයි කියන්නේ කන්‍යාභාවය සෙවීම අනිවාර්ය ලෙස තම පාර්ශවයෙන් කෙරෙන බව. එහෙත් එය කියන්නට ගොස් සිදු වෙන්නේ එතැන කාටවත් හිස ඉසවීමට නොහැකි හාස්‍යජනක තත්වයක් නිර්මාණය වීම.


ඇත්තෙන්ම එරන්දගේ මව තුළින් අපට ලාංකීය සිතුවිලි විශ්වයේ පැතිකඩවල් ගණනාවක්ම ගැන අනාවරණය කර ගන්නට හැකි වෙනවා. ඒ තමයි, ආදර සම්බන්ධයක් යන්න හුදෙක් ලිංගික සම්බන්ධයක් හැඳින්වීම සඳහා කෙරෙන නාමකරණයක්ය යන විශ්වාසය, එසේම ලිංගික සම්බන්ධයක් යන්න, අශ්ලීල පහත් දෙයක්ය යන සිතේ එක් පසෙක ඇති හැඟීම, ලිංගික සම්බන්ධයක් පැවැත්වූ විට කාන්තාව අපවිත්‍රකරණයට ලක් වූ ජීවියෙක්ය යන හැඟීම, කාන්තාව යනු හුදෙක්ම ලිංගික භාණ්ඩයක්ය යන හැඟීම යනාදියයි. නියම් හෝ අනියම් හෝ අයුරින් ලිංගික සම්බන්ධයක් පැවැත් වූ පසු ජීවිතයේ කිසිදාක ඇයට කලින් තිබුණු පිළිගැනීම හිමි වන්නේ නෑ.

එහෙත් මනෝ විශ්ලේෂණාත්මකව බැලූ විට මේ සදාචාරවාදීන් ලෙස පෙනී සිටින අයවලුන්, ඉතාම දැඩි මානසික රෝගීන් පිරිසක් බව පැහැදිලි වෙනවා. ඒ වගේම නිර්දය හා සාහසික ආත්මාර්ථකාමීන් පිරිසක්. එහෙත් මතු පිටට පෙනෙන්නේ එහි අනෙක් පැත්ත. නන්දිතා, තමන් මීට කලින් ප්‍රේම සබඳතා දෙකක් පැවැත් වූ නමුත් ඒවා සෙක්ෂුවල් සම්බන්ධතා නොවූ බව පවසන විට එරන්දගේ පියාට පිට උගුරේ යන්නේත්, මවට හිස උස්සන්නට බැරි වෙන්නේත් ඒ නිසයි. එහෙත් නන්දිතා ආදරය සේම එහි ආංශික පැතිකඩක් වන ලිංගික සම්බන්ධතා ගැනද බොහෝ දුරට නිවැරදි දැක්මක සිටින බව ඇය විවෘතව කතා කරන ආකාරයෙන් අපට පෙනී යනවා. ඒ වගේම ඇය වොෂ් එකක් දා ගන්න එරන්දගේ ටීෂර්ට් එකක් ඉල්ලීම, ඔහුගේ වොෂ් රූම් එකටම යන්න සුදානම් වීම තුළින්ද එය මනාව පේනවා. හුදෙක් සම්පූර්ණ දෑස්ම ලිංගිකත්වයේ කණ්නාඩියකින් වැසී ඇති බොහෝ දෙනාට මේවා ජුගුප්සා ජනක දේවල්. ඔවුන්ට මේවා හැඟී යන්නේ මහ දවල් සාලයේ පූර්ව රති කෙළියක් සිදු වන්නට යන අයුරින්....!


තමන් මුල් දෙදෙනා සමග ලිංගික සම්බන්ධතාවක් නොපැවැත්වූයේ එය වරදක් ලෙසින් සිතීම නිසා නොව, එවැනි හැඟීමක් ඔවුන් සම්බන්ධයෙන් ඇති නොවූ නිසා බව ඇයගේ ප්‍රකාශයෙන් පැහැදිලිව විද්‍යමාන වනවා. ''හැඟීමක් ඇති වුණා නම් ඉතින් මෙයා ගැන තමයි'' යනුවෙන් පවසා එරන්දගේ උරහිසට තට්ටු කරන විට වැඩිහියන්ට සිතෙන්න ඇත්තේ පොළොව පලාගෙන යන්න.


මෙම ලිංගික නියුරෝසීය රෝගී තත්වය ඇති වෙන්නේ එකිනෙකට පරස්පර සංකල්ප දෙකක් අපේ මනසේ නිරන්තර ගැටීමට ලක් වීමත් ඒ ගැටීමෙන් නිගමනයකට ඒමට අප අපොහොසත් වීමත් නිසයි. මේ ගැන නම් ඉතින් වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ඒ නිසා එය වෙනත් අවස්ථාවකට කල් තබමු. කොහොම වුණත් යම් අදහසක් ගන්න කියන්න තියෙන්නේ, මෙහෙම වෙන්නේ, අපට සහජාශයෙන් සහ සංකල්පීය වශයෙන් යන දෙකින්ම එන ලිංගික ආවේගයන් සහ ලිංගිකත්වය පහත් අශ්ලීල දෙයක්ය යන හැඟීම් එකිනෙක ගැටීමත්, ඒ තුළින් අවසන් නිගමනයකට ඒමට පුද්ගලයාට නොහැකි වීමත් මතයි. මේ තුළින් නිර්මාණය වන මානසික රෝගී පුද්ගලයාට මරණ මංචකය දක්වාවත් මෙයින් මිදීමට හැකි වන්නේ නැති අතරම, එය ඒ පුද්ගලයාට ජීවිතයේ සාරය අහිමි වීමටත් සමස්ත සමාජයක විශාල ගැටලු සමුදායක් ඇති කරමින් අර්බුදයක් නිර්මාණය කිරීමටත් හේතු වෙනවා.

තාරා තුළින් අපට ජීවිතය ගැන කතා කරන්න මාතෘකා රැසක්ම විවර කර දෙනවා.


දෙන්නා වෙනුවෙන් කේන්දර බලනවාට නන්දිතා විරුද්ධ වන්නේ ඇගේ කේන්දරය නරක් වීම නිසා නොව, එවිට එය ආදරය කියන යන ආස්ථානයෙන් විතැන් වී හුදෙක් සමාජයේ බහුලව සිදු වන තවත් එක් ගණුදෙනු ක්‍රියාවලියක් බවට පත් වන නිසයි. ගුණාත්මයක් නැති මනුස්ස සම්බන්ධයකින් ඉතිරි වන්නේ උදාසීනතාව, විඩාව, කලකිරීම, අප්‍රසන්නතාව, කෝපය වැනි හැඟීම් පමණයි. එසේම දෙන්නා එකිනෙකාට යෝග්‍ය වන්නේද යන්න එකිනෙකාගේ අවබෝධයෙන් සිදු වනවා වෙනුවට එය වෙනත් මානයකට භාර දෙනවා යන්නේ අර්ථයම, දෙදෙනා අතර අවබෝධයක් නොමැති බව සහ නොගැලපෙන බව නොවේද?

'' දානය '' යනු කිසි සේත් පුණ්‍ය කටයුත්තක් නොව අති විශාල ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් කෙරෙන ආයෝජන ක්‍රියාවලියක්ය යන සත්‍යයද මෙහිදී අපට පෙන්වා දෙනවා. නන්දිතා තුළ අවට ලෝකය කෙරෙහි ආදරයක් මිස එවැනි පටු ආත්මාර්ථකාමී හැඟීමක් නොමැති බව ''නෑ ආන්ටි මේක එහෙම දෙයක් නෙවි, මන් ආසයි පොඩිවුන්ට උදවු කරන්න'' යන ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.


 ඒ වගේම චාරිත්‍ර ලෙස පළමුවෙන් යුවතියගේ නිවසට පැමිණිය යුතු බව මව කියද්දී, ''එන්න ආන්ටි එන්න. ඕනි වෙලාවක එන්න'' යන සැහැල්ලු ප්‍රකාශයෙන් ඇය තුළ ආදරය පිළිබඳ හැඟීමක් සහ ඇගයීමක් විනා හුදෙක් සමාජ සම්මුතියක් සේ සිදු කෙරෙන පිරිමියෙක් හා ගැහැනියක් අතර විවාහයක් යන්න කෙරෙහි හැඟීමක් නොමැති බව පෙනී යනවා. ඒ, එහි හුදෙක් මානව පරපුරේ අඛණ්ඩතාව පවත්වාගැනීමේ ජානමය වුවනාවට වඩා කිසිදු දෙයක් නොමැති නිසාවෙන්.

කෙනෙක් විවාහ වෙන්නේ නිල ලිංගික තෘප්තිය ලබා ගැනීම සහ සමාජ සම්මුතීන් වෙනුවෙන් නම් ඔහුට අත් වන්නේ ඉතාම ඛේදනීය මරණයක්. ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම ජානවල රූකඩයක් සේ නැටවී මිය යන්න. ලෝකයේ යමෙකුට මීටත් වඩා දෙන්න දරුණු දඬුවමක් තියෙන්න පුළුවන්ද කියලා ඔබම සිතන්න. මේ ගැන අපි වෙන වෙලාවක විස්තර වශයෙන් කතා කරමු.

ඒ වගේම මං හිතන්නේ අපිට මේ තාරා කතාන්දරය තුළදී අවස්ථා කීපයක්ම උදා වෙයි ජීවිතය ගැන කතා කරන්න. ඉදිරියේදී අපි හමු වෙමු. පහත ලින්ක් එක තුළින් තාරා ටෙලි සිතුවමේ පළමු කතාංගය නරඹන්න පුළුවන්.


https://youtu.be/4hkd0ycuqhk

Wednesday, May 23, 2018

සත්‍ය ආදරය ඉන්දිගේද? (පියවි ගැන විමසුමක්)

 පියවි ටෙලි සිතුවම මේ වන විට දෙවරක්ම රූප තිරයෙන් දැක ගන්නට ලැබුණා. එය මුල් වර විකාශයේදී අතිශය ජනප්‍රිය වූ එකක්. මේ කතාව විකාශය වන දිශානතිය අනුව, හැඟීම්බර වන ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වන්නේ ඉන්දි සහ විසල් අතර එක් වීමක් වීම වලක්වන්න බෑ. එතනදී ප්‍රේක්ෂකයාද අපහසුතාවට පත් වන තත්වයකුයි නිර්මාණය වන්නේ.

ඇත්තටම විසල් පසුගිය ආත්මයේදී ඉන්දිට ස්ව ආත්මයෙන්ම ආදරය කළේ නම් මේ ආත්මයේදී ඇයව අහිමි වන තීරණයක් ගන්නේ නැත. මන්ද මේ ආත්මයේදී වෙනත් කෙනෙකුට ආදරය කරන විට ඉන්දිව ඊලඟ බවයන්හිත් අහිමි වන බැවින්. එසේ නම් ඔහු කරන්නේ තත්වය වර්තමාන පෙම්වතියට කරුණාවෙන් පැහැදිලි කර දී ඇගේ අනුමැතිය ඇතිව ඉන්දි හා එක් වීමයි. ඒ වගේම වර්තමාන පෙම්වතියට ඔහු ඇත්තටම ආදරය කළේ නම් කිසි සේත් පසුගිය ආත්මයේ පෙම්වතිය වෙනුවෙන් ඇයව ඇත්හැරීමේ අදහසක් ඔහුට එන්නේ නැත. මෙය, හතර බීරි කතාවක් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් සත්‍යය එයයි.


ඉන්දිගේ ආදරය, පසුගිය ආත්මයේදී පමණක් නොව, මේ ආත්මයේදීත් පරම පවිත්‍ර සේ පවතියි. විසල්ට පෙම්වතියක් සිටින බව දැනගත් විට ඔහුව අත්හැරීමට පවා ඇයට හැකි වන්නේ ඇය තුළ උදාර හදවතක්, එතුළින් පණ ලබන ආදරයක් පවතින බැවින්. එහෙත් විසල්, පසුගිය ආත්මයේදී හෝ මේ ආත්මයෙදී හෝ දෙකින් එකකවත් තම හදවත තුළ සැබෑ ආදරය ඇති කර ගැනීමට අසමත් වූ අයෙක්.

කෙසේ වුණත් මේ කතාවේ හැටියට ඉන්දි වගේම වර්තමාන පෙම්වතියත් විසල්ට ආදරය කරන බැවින් සසරේදී ඔහු දිගටම අමාරුවේ වැටෙන්නට නියමිතයි. ඔහු පමණක් නෙවි ඉතින් පෙම්වතියන් දෙදෙනාත්. මේ වගේ ශෝචනීය සිදුවීම් වලට සසරේ මූණ නොපාන්නට නම් කරන්න තියෙන්නේ හැමදාමත් එකම කෙනෙක්ට මුළු හදවතින්ම ආදරය කරන එකයි. එවිට සිදුහත් යශෝදරා, පිප්පලී මානවක සහ භද්‍රකාපිලානී වගේ සසරේ හැමදාමත් එක්ව යන්න පුළුවන්.


Friday, May 18, 2018

ධර්මාශෝක සහ ධර්මාශෝක

ධර්මාශෝක චරිතය ලාංකීයයන් තුළ කවදත් ජීවත් වූ එකක් වුවත්, එය ඉතාමත් තදින් හදවත් තුළ සටහන් වූ අවස්ථාවක් ලෙස, අධිරජ ධර්මාශෝක නාට්‍යය හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් බොහෝ රසිකයන් එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් සතුටු වන බවක් දකින්නට නෑ. එයට හේතු කීපයක්ම තිබෙනවා.

මූලිකම කරුණ තමයි එය අවසන් වූ වේගවත් ආකාරය. ඉතා සුළු සිදුවීම් කතාංග විශාල ප්‍රමාණයක් පුරා ගෙන යාමට කටයුතු කළ අතරේ ඔහුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් අයත් පරිච්ඡේද නොසලකා හැර තිබීම. ඒ වගේම අශෝක සහ කෞර්වකී අතර ආදරය මහා ආදරයක් ලෙසින් කතාව පුරා ගෙන හැර දැක්වීමට උත්සාහ කළත් අවසානයේ එය පුස්සක් බවට පත් කර දැමීම. සිත් තුළ පරමාදර්ශ ඇති කර එය කඩා බිඳ දැමීම බලවත් හානියක් ඒ පුද්ගලයන් තුළ ඇති කරනවා. එය, කිසිසේත් නොකළ යුතු දෙයක්.


ඉතිහාසයේ ඇත්තටම කුමක් සිදු වුවත්, කතාව තුළ මේ දෙදෙනා අතර ආදරය මහා උත්කර්ෂයකට නැගෙනවා. කෞර්වකීව බේරා ගැනීමට ජීවිතය පරදුවට තබා ක්‍රියා කරන අශෝක, අවසානයේ කාලිංගය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම විකාර සහගතයි. ඒ වගේම අශෝක අතින් කෙසේ වුවත් සැම විටම වාගේ ආදරයේ පවිත්‍රත්වය ආකරක්ෂා කර ගැනීමට, එහි පූජනීය බව උත්කර්ෂයට නැගීමට සමත් වූ කෞර්වකීත් ඔහු හා යුධ වැදීමට ක්‍රියා කිරීම අතාර්කිකයි.

ප්‍රේමය වෙනුවෙන් කෞර්වකී කරන කැපවීම සැලකූ විට ඇය වන්දනීය චරිතයක්. එහෙත් එයට අශෝකගෙන් ලැබෙන ප්‍රතිචාරය? කිසිසේත් නොලැබෙන කෞර්වකීගේ පියාගේ ආශීර්වාදය ලබා ගැනීමට මහා උත්තම පුරුෂයෙක් ලෙසින් සැරසෙන එය නොමැතිව ඇය විවාහ කරගැනීමටත් අකමැති වන අශෝක, එක වරම ඒ පියාටම කිනිස්සෙන් ඇනීම සාධාරණීය කරන්න පුළුවන්ද. කතාව පුරාවටම මේ වගේ කැවුම් - ලුණු මිරිස් වර්ගයේ සිදුවීම් දැක ගන්න පුළුවන්.


මෙවැන්නක් සිදුවීමට බොහෝ දුරට හේතුව ලෙසින් සලකන්න හැකි වෙන්නේ මෙගා ටෙලියක් නිර්මාණය කිරීමට අවශ්‍ය ත්‍රාසය, භීතිය, ප්‍රේමය, කුතුහලය, පරමාදර්ශී ස්වභාවයන් එකට කැලතීමට යාමේ අවශ්‍යතාවයි. කිසියම් කතා වස්තුවකට යා හැකි යම් දුරක් තිබෙනවා. එයින් ඔබ්බට එය ගෙන යාමට යන්නේ නම් සිදුවෙන්නේ එකිනෙකට නොගැලපෙන, ආතාර්කික සිදුවීම් එයට එක් වීමයි. එයට තවත් උදාහරණයක් ලෙස, අතිශය ජනාදරයට පත් වෙමින් වාර්තා පිට වාර්තා තැබීමට සමත් වූ සිදූ නාට්‍යයයි. ඒ ජනප්‍රියත්වය නිසාම එය චුවින්ගම් එකක් සේ ඇදීමට යාමෙන් වූයේ කතාවේ මුලින් සිටි චරිතවල හැසිරීමට කිසිසේත් නොගැලපෙන සිදුවීම්, හැසිරීම් එයට එක් වී විකාරයක් බවට පත් වීමයි. වරක් එක් නාලිකාවක විකාශය වූ එක් නාට්‍යයක් මෙසේ දිගින් දිගමට ඇදීමට ගොස් සිදු වූයේ රචකයා මානසික රෝගියෙක් බවට පත් වීමයි.

කොහොම වුණත් මේ කතාවේ විකෘතියට හසු නොවූ චරිතයන්ද තිබෙනවා. දේවී, ධර්මා, ආචාර්ය රාධගුප්ත ඒ අතරට අයත්. ඔවුන් එසේ ආකරක්ෂා වුණේ ඒවාහි භූමිකාවන් අනවශ්‍ය ලෙස නිර්මාණය කිරීමට නොයාම නිසායි. දේවීගේ හැසිරීම ඉතාම පරමාදර්ශී එකක්. එසේම ඉතිහාසයේ කියවෙන ආකාරයටද ඇය රාජ භවනේ හෝ වාසය කිරීමට පැමිණ නැහැ. නිහඬ ජීවිතයක් ඇය ගත කර ඇත්තේ. ඒ වගේම ඇය මිහිඳු මහ රහතන් වහන්සේගේ හා සංඝමිත්තා රහත් තෙරණියගේද සත්‍ය මවයි.

කිසියම් කලා නිර්මාණයක් අවසන් වන විට රසිකයා තුළ සදානුස්මරණීය මතකයක්, කිසියම් පරමාදර්ශ සමූහයක සිතුවමක් ඇති වූයේ නම් එය, සාර්ථක හා උසස් නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුලුවන්. එයට එක් යම් සාර්ථක ආසන්න නිදසුනක් ලෙස බැද්දෙ කුලවමිය නාට්‍යය දැක්විය හැකියි.

Sunday, April 29, 2018

වැඩ කරන එක පාපයක්ද....? (ගිරි දුර්ග ගැන....)

ජීවිතයේ හමු වන ගිරි දුර්ග ගැන බෞද්ධ ආගමික පසුබිමක සිට විග්‍රහ කිරීමක් වෙසක් පෝදා විකාශය වූ ගිරි දුර්ග ටෙලි සිතුවමින් සිදු වුණා. තම සිතූ මනාපයේ තමන් ආදරය කරන පුද්ගලයා සමග පැමිණීම නිසා හතර වරිගයම අහිමි වූ ඇයට, තම සහකරුවාත් නීතී විරෝධී දැව ප්‍රවාහනය කිරීමේ වරද යටතේ රිමාන්ඩ් ගත වීම නිසා, ඇයටත් ඇගේ කුඩා දියනියටත් මුහුණ දීමට සිදුවන දුක් කරදර සමූහයයි මෙහි තේමාව වූයේ.


මෙහිදී ඇය රබර් කිරි කපන, රබර් ශීට් සාදන අවස්ථා අපට හමු වන්නේ ඇය විශාල ඛේදවාචකයකට හසු වූ විලාශයෙන්. එහි රූප රාමු, පසුබිම් සංගීතය තුළින් ඉස්මතු කරලන්නේ එයයි. එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ කෙනෙක් ''වැඩ කිරීම'' වනාහී ''පාපකර්මයක් පළිසන් දීමක්ද'' යන්නයි. එසේ නම් එහි විලෝමය වන්නේ ''වැඩ නොකර සිටීම'' පින් පළ දීමක් ලෙසයි. එවිට අපට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගන්නේ කවර මාර්ගයකින්ද?


එක්කෝ ''පව්කාරයින්'' විසින් ''පින්කාරයින්'' උදෙසා වෙහෙස වී ඒවා ඉටු කර දිය යුතුය. එහෙත් එවිට ඇති වන ප්‍රශ්නය වන්නේ ''පින්කාරයින්'' බවට පත් වන්නේ කෙලෙසද යන්නයි. පින්කාරයින් බවට පත් වීමට ඇති මඟ වන්නේ වැඩ කරන අයව සූරා කා එක් රැස් කර ගන්නා අතිරික්තයෙන් කොටසක් වැය කර දාන මානාදී පින්කම් කිරීමයි. ධර්මය යනු එවැනි නිර්දය කියවීමක්ද?


සමාජය ලබා ඇති සෑම දියුණුවක්ම, ප්‍රගතියක්ම ලබා ඇත්තේ මිනිසුන්ගේ කායික හා මානසික නොපසුබට ධෛර්යයෙන් බව ඉතාමත් පැහැදිලි කරුණක්ව තිබියදී ''වැඩ කිරීම'' පාපකර්මයක් ලෙස පෙන්වාදීම තරම් පාපකර්මයක් තවත් තිබිය හැකිද? මෙතැන පාපකර්මය වන්නේ වැඩ කිරීම නොව, කරන වැඩය සඳහා ජීවත් වීමට තරම් සරිලන ගෙවීමක් ලබා නොදීමයි. ශ්‍රම සූරාකෑමයි. එසේම තවත් පිරිසක්, තමන් ලබන ගෙවීමට තරම් කිසිසේත් නොසරිලන ශ්‍රමයක් ලබා දීමයි. එනම්, වැඩ නොකර සිටීමයි. සමාජයේ බහුතරයකට දුක් විඳීමට සිදු වන එක් ප්‍රධාන කරුණක් වන්නේ එය. එසේම නිෂ්පාදන බලවේග, තවමත් ප්‍රමාණවත් තරමින් වර්ධනය වී නොතිබීමද තවත් ප්‍රධාන සාධකයක්. එසේ වර්ධනය නොවී සමාජයේ සැමට සුවදායක ජීවිතයක් එකසේ ලබා දීමද අපහසු කාර්යයක්.


මාපියන්ට විරුද්ධව තමන් ආදරය කරන පුද්ගලයා තෝරා ගැනීමද බරපතල පාපකර්මයක් සේ පෙන්වාදීමට මේ කතාව තුළ පමණක් නොව බොහෝ බෞද්ධාගමික පසුබිමක් ඇති කතා තුළදී උත්සාහ කරනවා දැකිය හැකියි. එයද, තවත් එක් ඉතා පසුගාමි ගෝත්‍රික දෘෂ්ටිවාදයක්. පාපකර්මය වන්නේ ආදරය කරන දෙදෙනෙක් වෙන් කරවීමට උත්සාහ කරවීමයි. 

Saturday, March 24, 2018

පාපකර්මය කොතනද....?

පසුගිය පෝයදා දෙරණ රූපවාහිණියෙන් විකාශය වුණු ''නික්ම යෑම'' නම් පෝදා නාට්‍යය මගින් පෙන්වා දෙන්නට උත්සාහ කළ මුඛ්‍ය කරුණක් වූයේ කවර කරුණක් මත වුවද මාපිය සිතැඟි වලට එරෙහිව කටයුතු කිරීම බරපතල පාපකර්මයක් හා වරදක් බව. කතාවේ ආකාරයට ආදරවන්තයන් යුවලකගේ සම්බන්ධයට ආදරවන්තයාගේ පියා තදින්ම විරුද්ධ වන්නේ ආදරවන්තිය දුප්පත් වීම නිසාවෙන්. තරුණයාගේ පියා විරුද්ධ බැවින් සදාචාරවාදී නොවේ‍ය යන පදනම මත තරුණියගේ මාපියන්ද මේ සම්බන්ධයට විරුද්ධ වනවා.

අවසානයේ ආදරවන්තයන්ට සිදු වන්නේ දෙපැත්තේම මාපියන් නොමැතිව තනිවම ජීවිතයට මුහුණ දීමට සිදු වීම. කෙසේ වුවත් කතා රචකයා පෙම්වතුන් ලවාම අපට කියවන්නේ කවර තත්වයක් මත වුවත් මාපිය සිතැඟි වලට විරුද්ධ වීම නොකළ යුතු මහා පාපකර්මයක් බවයි. කිසිවක්, වරදක් හෝ පාපකර්මයක් වන්නේ කවර ආචාර ධර්මීය පදනමක් මතද?

එයට පොදු සූත්‍රයක් තනා ගැනීමට අපහසුයි. එයට හේතුව වන්නේ එය ''තත්වයන්'' අනුව බෙහෙවින් වෙනස් වන සුළු බැවින්. ''යම් ක්‍රියාවක් නිසා යම් කවර හෝ අයෙකුට අගතියක් වන්නේ නම් එය වරදක්'' ලෙසින් අර්ථ දක්වන්න පුළුවන්ද... බැහැ. යමෙක් තවත් අයෙකුගෙන් ලිංගික එක්වීමක් සඳහා ඉල්ලීමක් කරනවා යැයි සිතන්න. එහෙත් එයට අනෙකාගේ සිතේ කිසිදු කැමැත්තක් නැහැ. එවිට අපට කියන්න පුළුවන්ද එම ඉල්ලීමට එකඟ නොවීම මගින් අනෙකාට අගතියක් වීම නිසා එය වරදක් යැයි කියා. එයට එකඟ වීම සිදු වුණොත් අනෙකාට අගතියක් සිදු වෙනවා. මේ නිසා මේ සිදුවීම ගත් විට අපට කියන්නට සිදු වෙන්නේ, ලිංගික එක්වීමක් සිදු විය යුත්තේ දෙදෙනෙකුගේ ස්වාධීන කැමැත්තෙන්ම පමණක් විය යුතු අතර ඒ සඳහා බල කිරීමට ඒ දෙදෙනාට හෝ වෙනත් කිසිවෙකුට හෝ බල කිරීමට අයිතියක් නොමැති බව.

වැඩිහිටි, ආදර සම්බන්ධයක් ගත් විට එයට එරෙහි වීමට නොව, තමන්ගේ අකමැත්ත හෝ ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් මාපියන්ට ඇත්තේ හුදෙක් එය තමන්ගේ අදහසක්, උපදෙසක් ලෙසින් පමණයි. එවිට කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන් යමෙක් රැවටීමකට හසු වෙන්න යන විටක හෝ එයට විරුද්ධ වීමට අයිතියක් නැද්ද කියා. තිබෙනවා. ඒත් ඒ සත්‍යය පහදා දීමෙන්. එය වටහා ගැනීමට ඔවුනට නොහැකි නම් හොඳම දෙය එය අත්දැකීමෙන්ම වටහා ගැනීමට ඉඩ හැරීමයි.

තමන්ව මේ ලෝකයට ගෙනවිත් කවා පොවා හදා වැඩීම කිසි ලෙසකින් යලි පියවිය නොහැකි උතුම් කාර්යයක් වුණත් ඒ උතුම් බව එයට ලැබෙන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාපියන් දරුවන්ට ආදරය කළහොත් පමණයි. එසේ නොවී තමන්ගේ ආත්මය අඛණ්ඩ කර ගැනීමට, තම දේපළ තම මරණයෙන් පසුවත් අඛණ්ඩ කර ගන්න, තමන්ගේ සිහිනයන්, බල වුවමනාවන් දරුවන් ලවා ඉටු කර ගන්න යම් මාපියෙක් කටයුතු කරන්නේ නම් ඔවුන් හා, මසට සතුන් ඇති කරන්නෙක් අතර වෙනසක් ඇත්තේ නෑ.

දරුවන්ට ආදරය කරන මාපියන් කිසි විටක පටු ආස්ථානයන් මත සිටිමින් දරුවන්ගේ සිහින මරා දැමීමට කටයුතු කිරීම තබා එවැන්නක් සිතකින් සිතන්නේවත් නෑ. ඒ නිසා එවැනි මාපියන්ගේ සිත් තම ආත්මාර්ථකාමී සිතැඟි වෙනුවෙන් දරුවන් තලා පෙලා දමන්නේ නම් එය බලවත් පාපකර්මයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. සමහර දරුවන්, ඉගෙනගෙන සමාජයේ සම්මත ඉහල තැනකට ආ විට මාපියන්ව පිටත සමාජයට හඳුන්වා දීමට පවා හීනමානිකව පැකිලෙන ආකාරය දැක ගන්න පුළුවන්.

එහෙත් පටු නරුම ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් දරුවාගේ ආදරයට විරුද්ධ වන විට එයට එකඟ නොවී තම ලෝකය තනා ගැනීමට ක්‍රියා කිරීම පාප කර්මයක් ලෙසින් හඳුන්වනවා නම් එය අපට හැඳින්වීමට සිදු වන්නේ ''නරුමවාදයක්'' ලෙසිනුයි. ''ධර්මයේ'' නාමයෙන් පසුගාමී නරුමවාදයන් සාමාජගත කිරීමෙන් මිනිස් චින්තනයට, ජීවිතයට සිදු කරන්නේ බලවත් නපුරක්. සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද? සැබෑ පාපකර්මය ඇති තැන සඟවා, අහිංසකයන්ගේ සිහින, පාපකර්මයක් ලෙසින් හැඳින්වීම තරම් පාපකර්මයක් තවත් තිබෙන්න පුළුවන්ද?