Sunday, October 30, 2016

මේක ගොදුරු ලෝකයක්..... දුකින් පිරුණු පාරුවක්....

අපි මේ ජීවත් වන මහ පොළොව කියන්නේ සම්පූර්ණයෙන්ම ගොදුරු න්‍යාය මත පදනම් වූ එකක්... බලය වැඩි කෙනා බලයෙන් අඩු කෙනාව ඩැහැ ගැනීම තමයි මෙහෙ යාන්ත්‍රනය. බලය කියන එක විටක සාපේක්ෂයි... සමහර විටක බලයෙන් අඩු කෙනා බලවත් වන අවස්ථාත් තියෙනවා.

නිදසුනක් විදියට, මුවා ගොදුරු කර ගන්න යන කොටියා සමහර විටක මුවාගේ අං පහරින් මිය යන අවස්ථා තියෙනවා. වරක් තරුණියක් අපයෝජනය කරන්න සැරසුණු තරුණයන් කීප දෙනෙක්ට වැඩ වැරදුණේ ඇය සටන් කලා ශිල්පිණියක් වීම නිසා.

ශුද්ධ වූ පවුලේ සම්බන්ධතාවල ඉඳන් සමාජීය සම්බන්ධතා දක්වා සියල්ලේම අඩු වැඩි ප්‍රමාණවලින් තියෙන්නේ ගොදුරු න්‍යාය. සත්ව ලෝකයේ ආහාර ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ ගොදුරු න්‍යාය මත. මේක කොයි තරම් පදාර්ථයට කාවැදිලාද කියනවා නම් මාංශ භක්ෂක ශාක පවා නිර්මාණය වෙලා තියෙනවා.

මනසින් උසස් යයි කියන අපේ ඉතිහාසය ගත්තාම යුද ගැටුම් නැති කාලයක් සඳහන් කරන්න පුළුවන්ද... එයට මුල් වුණේ ගොදුරු න්‍යාය මිස වෙන මොකක්ද...? මිනිස් සමාජය අධිකරණ, පොලීසි, හමුදා සහ වෙනත් පාලන යාන්ත්‍රණ නිර්මාණය කරගෙන තියෙන්නේ ඇයි. සාපේක්ෂ වශයෙන් සමාජය පාලනය කරගන්න.


දුෂ්කර ගම්මාන වල ජීවත් වන මාපියන් තමන්ගේ දරුවන්ව පාසල් යවන්නේ යාන්තම් අකුරු ටිකක් කියවා ගන්න තෙක් පමණයි. ඉන් පසුව ඔවුන් තමන්ගේ වැඩට ඔවුන්ව යොදවා ගන්නවා. ගුරුවරුන් දරුවන්ට දෑස් පාදන්න මහන්සි වෙන වෙලාවක පවා ඊට සහයෝගය දෙන්නෙ නෑ... ඒ ඇයි... ඔවුන්ගේ සිහින ලෝකය තුළ නෑ දරුවන් ඉහල සමාජීය තලයකට පත් කරන්න. නමුත් මීට සාපේක්ෂව නාගරික සහ තදාසන්න මාපියන්ගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. ඔවුන් දරුවාගේ මූලික අයිතිවාසිකම් පවා කඩ කරමින් උත්සාහ ගන්නේ දරුවන් සමාජයේ ඉහළම තැනකට යවමින් තමන්ගේ සිහින සැබෑ කර ගන්න...

මේ මාපියන් දෙගොල්ලන්ගේම අරමුණ එකයි... ආත්මාර්ථකාමීයි. ගොදුරු කර ගැනීමයි අරමුණ.

දරුවන් හිතන්නේ මාපියන් යනු තමන්ව ජීවත් කරවීම වෙනුවෙන් දෙවියන් වහන්සේ විසින් මවා දුන් භාණ්ඩ කියලා... ඒ මත ඉඳගෙනයි ඔවුන් මාපියන් හා සම්බන්ධතා පවත්වාගන්නේ. එසේ නොසිතන අය වුණත් මාපියන්ට ආදරය කරන්නේ ඔවුන් තමන්ට දැක්වූ ආදරය හා කැප කිරීම් වෙනුවෙනුයි. දිළිඳුකම වැනි හේතු නිසා අඩු පාඩු සිදු වූ මාපියන්ට ඒ ආදරය හිමි වෙන්නේ නෑ..


තරුණයෙක් සහ තරුණියක් එකිනෙකාට ආදරෙයි කියන්නේ තනිකම, විෂම ලිංගික ආකර්ෂණය සහ අවශ්‍යතාවන්, පවුලක් ගොඩ නැගීම, දරුවන් හැදීම, බලය ගොඩ නගා ගැනීම, ධනය වර්ධනය කර ගැනීම වගේ දේවල් වෙනුවෙන්... මෙතනදී වෙන්නේ අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකාව ගොදුරු කර ගැනීම. පවුල තුළ සම්බන්ධතා මෙහෙම නම් ඉතින් සමාජීය සම්බන්ධතා ගැන කතා කරන්න ඕනේ නැහැනේ නේද...

ඉතින් හැම කෙනෙක්ම ආත්මාර්ථයෙන් යුතුව එකිනෙකාව ගොදුරු කර ගැනීමේ න්‍යාය පත්‍රයක් මත කටයුතු කරන නිසා කිසිම කෙනෙක්ට ජීවිතයේ සැබෑ සතුට, විඳීම කියන එක අත්දකින්න ලැබෙන්නේ නෑ. මිනිසා සංකල්පීය සත්වයෙක් නිසා ඔහුගේ සතුට, විඳීම තීරණය වෙන්නේ ඒ සංකල්පවල ස්වභාවය විසින් පාලනය කරන මනසේ ස්වභාවය මතයි.

කෙනෙකුට හිතෙන්න පුළුවන් ආත්මාර්ථයෙන් අනෙකාව ගොදුරු කරගන්නා අය සතුටින් සිටින බවක්. ඔවුන් ඒ තුළින් තාවකාලික සහ පහළ මට්ට්මේ තෘප්තියක් ලැබුවත් ඔවුන් ජීවිතයේ සැබෑ තෘප්තිය අත් කරගන්නේ නෑ... සාරය අත් කර ගන්නේ නෑ... ඔවුන් නිතරම සිටින්නේ අතෘප්තියෙන්, අසහනයෙන්. සතුට සොයමින්. ඒ නිසා අවසන් විග්‍රහයේදී ඔවුන් පරාදයි. විනාශ වෙලා.


එතකොට ගොදුරු වෙන්නන්ගේ තත්වය. ඔවුන් සැමදා දුකින් සහ පීඩාවෙන්. ඒ නිසා ගොදුරු කර ගන්නාත්, ගොදුරු වන්නාත් යන දෙදෙනාම අවසන් වශයෙන් ගත්තාම දුකින්. එහෙම නම් මේක දුකින් පිරුණු ලෝකයක් නෙවිද... මින් මිදී ජීවිතයේ සාරය අත්පත් කරගන්න නම් මේ පාරුවෙන් අපි මේ දුක් ගඟ තරණය කරලා පරාර්ථයෙන් පිරුණු, ආදරය කරුණාව, දයාව රජ කරන දූපත වෙතට පිවිසෙන්න ඕනේ...

සෑම අකුරකටම වටිනාකමක්....

චින්තනයක් සහිත, තම ඉරණම පිළිබඳ සවිඥානයක් සහිත, එය කලමනාකරණය කර ගැනීමට කටයුතු කළ හැකි මිහිමත නම් වෙසෙන එකම සත්වයා මිනිසා... ඒ වගේම ස්වභාවික ජීවිතයක් වෙනුවට තමන් නිර්මාණය කර ගත් සංකල්පීය ලෝකයක් තුළ දිවි ගෙවන එකම සත්වයාද මිනිසා... එනම්, මිනිසා කියන්නේ සංකල්පීය ලෝකයක් 'ස්වභාවික' කරගත්තු සත්වයෙක්... එහෙම වුණත් මේ ගොඩක් සංකල්ප තමන් විසින් නිර්මාණය කරගත්තු ඒවා නොවීමත් ගොඩක් ඒවා ආත්මාර්ථය මතින් පදනම් වීමත් නිසා අපේ ජීවිත පෞද්ගලිකවත් ඒ වගේම සමාජීය ලෙසත් විශාල ලෙසින් දුක්බර වී තිබෙනවා.

එයට වෙනස්ව සංකල්පවල කතෘන් සහ ඒවායේ පසුබිම විමසා බලමින් ලස්සන ජීවිතයක් අප එකිනෙකාටත් සමස්ත සමජයටත් උදා කරදීම අපේ අරමුණ... ආදරණීය, වින්දනීය ජීවිතයක්...

ඔබටත් මේ සඳහා වන අදහස්, සංකල්ප, සිතිවිලි තියෙන්න පුළුවන්... එහෙම නම් ඒ දේ අපේ සහෘදයන් සමගින් බෙදා ගනිමු ඉහත අරමුණ වෙනුවෙන්... ඔබේ ආදර්ශ ලිපියක් අපිට යොමු කරන්න. අපේ අරමුණු මතින් සැසඳෙන ප්‍රමාණය මත බ්ලොගයේ ලේඛයෙක් හෝ ලේඛිකාවක් ලෙසින් කටයුතු කරන්නත් අවස්ථාව සලසා ගන්න පුළුවන්.

ඔහේ ජීවත් වෙමුද... ජීවිතය උත්තර ලෙසින් විඳිමුද...

ඉතාම පැහැදිලි සත්‍යයක් තමයි 99%කටත් වැඩි දෙනෙක් ජීවිතය ගත කරන්නේ උපන්නාට අනුව හෝ දුකින් පීඩාවෙන් හෝ අතෘප්තියෙන්, උදාසීනත්වයෙන් කියන එක. ජීවිතයේ සතුට අත්කර ගැනීම වෙනුවෙන් හැම දෙනෙක්ම හැම වෙලාවෙම වෙහෙසෙන බවක් දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ සතුට සොයනවාටත් වඩා, තියෙන පීඩාවලින් අත්මිදෙන්න ක්‍රම හොයන එක.

කෙනෙක් මේ සඳහා බීමත්කම තෝරා ගන්නවා... නැති නම් දුම්වැටිය තෝරා ගන්නවා. ලිංගිකත්වය තෝරා ගන්නවා. කල්ලි ගැසීම තෝරා ගන්නවා. සමහර විට මේ ඔක්කෝම තෝරා ගන්නවා. කාන්තාවන් නම් අනියම් සම්බන්ධතා, රූපවාහිනිය තෝරා ගන්නවා.

ඉතා විශාල අවදානමක් අරගෙන සමහර අය අනියම් සම්බන්ධතා පවත්වාගෙන යනවා. සමහර අය පාර දිහා බලාගෙන සැමියා එනවද කියලා රතියේ යෙදෙනවා. ඉතින් මේ වගේ මොහොතක් තුළ මිනිසෙකුට සතුටක් ලබන්න පුළුවන්ද... නිදහස් පරිසරයක්, නිදහස් මනසක්, ආදරයක්, බැඳීමක් නැතිව මෙහෙම දේකින් සතුටක් ලබන්න පුළුවන්ද...

මෙතනදී වෙන්නේ ජීවිතයේ තියෙන මහා අසහනයෙන් මිදෙන්න මේ වගේ දෙයක් සමහන්කාරකයක්, එහෙමත් නැති නම් ආවේගයන් මුදා හැරීමේ මගක් ලෙසින් උපයෝගී කර ගැනීම පමණයි. මත්ද්‍රව්‍ය භාවිතයේ අරුතත් ඒකමයි... කෙනෙකුට සතුට කියන එක අත්විඳින්න පුළුවන් වෙන්නේ පියවි මනසින්... ඉතින් මත්ද්‍රව්‍ය ගත්තාම පියවි මනසක් පවතිනවද... එතනදී වෙන්නේ මේ දුක්ඛදායි ජීවිතයෙන් පලා යාමේ මගක් ලෙසින් ඒවා උපයෝගී කර ගැනීම.


ජීවිතයේ නැති බැඳීම් රූපවාහිනියේ චරිත සමගින් ඇති කර ගන්නවා. සැබෑ ජීවිතයේ පීඩාවට එරෙහිව සටන් කරන්න හැකියාවක් නැති නිසා තිරයේ මර්දනයට එරෙහිව සටන් කරන අය සමගින් ඒකාත්මික වෙනවා. ජීවිතයට නොලැබෙන ආදරය, තිරයේ ආදරයක් සමග එක් වීමෙන් අත් කර ගන්නවා. මනසේ සමාජීය වෙන්න තියෙන ඕනකම මේ මගින් යම් තරමකට සපුරා ගන්නවා.

බටහිර රටවල කරපු අධ්‍යයනයකින් සොයාගෙන තියෙනවා රතියේ යෙදෙන අයගෙන් හතරෙන් එකක් විතර ඒ අතරේ සමාජ ජාලවල තමන්ගේ ලයික්, කමෙන්ට්ස් බලන බව. මේක අපිට හිනා යන කතාවක් වෙන්න පුළුවන්. ඒත් මේ යට සැඟවිලා තියෙන අරුත මොකක්ද...? අපේ සිතට ඕන කරන ඇගයීම, තැකීම, ගෞරවය කියන දේ නේද මේ සොයන්නේ.

තවත් කොටසක් ජීවිතය දුකක් නිසා ජීවිතයෙන් පලා යන්න හිතනවා. ඉතින් අපේ සමාජයේ අය නම් ඒ සඳහා තෝරාගන්නේ නිවන. ඇත්තටම සාතිශය බහුතරයකට නිවන යනු, දිවිනසා ගැනීමේ ක්‍රමවේදයක්. ධර්ම ග්‍රන්ථ ලියපු අය මේක දක්වලා තියෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. නිවන උත්තරීතර දෙයක් බවට පත් වෙන්නේ පැවැත්ම උපේක්ෂාවෙන් දකිමින් එය නිම කිරීමට සවිඥානික ලෙසින් මැදිහත් වෙනවා නම් පමණයි. එහෙම සිතක් ඇති වෙන්න නම් අපේ සිත ලෝභ ද්වේශ මෝහ වලින් මිදිලා තියෙන්න ඕන.


ජීවිතය සතුටින් ගත කරන්න නම්, එය ඉතාමත් උත්තර ලෙසින් විඳින්න නම් අපේ සිත ආත්මාර්ථයෙන් පරාර්ථය වෙතට මාරු වෙන්න ඕන. හිත තුළ ආදරය, දයාව, කරුණාව, මුදිතාව ඇති වෙන්න ඕන. පැවැත්ම නිමා කිරීමේ අවශ්‍යතාවක් නැති නම් කෙනෙක්ට සතුටින් ජීවත් වෙන්න ආදරය කරන්නත්, තමන්ට ආදරය ලැබෙන්නත් ඕන. ඉතින් මේ ටික කර ගන්න බැරිකම නිසා තමයි අපි විශාල දුකක් පීඩාවක් විඳිමින් සිටින්නේ... මේ සාධකවලින් ගොඩක් ඒවා අපි විසින්ම සපුරාගන්න ඕනි දේවල්. තවත් කොටසක් සමාජීයව සම්පූර්ණ වෙන්න ඕනි... අපිට කෙනෙක් ආදරය කරන්නේ සමාජීයව. අම්මා තාත්තගේ ආදරය වුණත් සමාජීය එකක්.

Saturday, October 29, 2016

සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(3 වන කොටස)

ඔයාලට කියන්න ඕනේ මේ සත්‍ය ආදර කතා පුවතේ ඉතාමත් තීරණාත්මක, ඔබට කිසිසේත් සිත අදහා ගත නොහැකි ලක්ෂ්‍යයකට එලඹෙනවා 2015 මැයි මාසයේදී... ඒ වගේම අපේ අධ්‍යාත්මික ලෝකය ගැනත් ඔබට ඉතාමත් වැදගත් සිත් අදහා ගන්න අපහසු තොරතුරු මේ කතා පුවතේ අන්තර්ගතයි...

මේ කතා පුවතේ තවත් විශේෂත්වයක් වෙන්නේ තවමත් මේ කතාව නිමාවට පත් වී නොතිබීම නිසා. එය කවර ආකාරයකින් අවසන් වේද යන්න මෙහි කතා නායකයාවත් දන්නේ නැහැ....


ඉතින් මට එක වෙලාවකට හිතුණා දැන්වීම් බාර ගැනීමේ කිසියම් ක්‍රියා පටිපාටියකට අනුව මේ වගේ දැන්වීම් බාර නොගැනීමේ කිසියම් රෙගුලාසි පද්ධතියක් තියෙන්නත් පුළුවන් නේද කියලා. කොහොම හරි ඉතින් මං නැවතත් සුපුරුදු වේදනාවේ උරුමකරුවෙක් බවට පත් වුණා.

ඒත් මට දින කීපයකට වඩා එහෙම ඉන්න අපහසු වුණා. මට දෙයක් හිතට ආවොත් ඒ දේ නොකර අත්හරින්න බෑ. ජීවිතේ කොයි තරම් අවදානමක් හෝ අසාර්ථකත්වයක් අත් වුණත් ඒක එහෙමයි. අනෙක් එක, මේක මගේ ජීවිතයේ වැදගත්ම දෙයක් පිළිබඳ තීරණාත්මක අවස්ථාවක්. ඉතින් මං කල්පනා කලා මෙහම දැන්වීමක් බාර ගන්නම බැරි රෙගුලාසි සමූහයක් තියෙනවාද කියලා හොයලා බලලම මේ වැඩේ අත්හරින්න.

ඒ අනුව, මං කොලඹ සිරිකත ප්‍රධාන කාර්යාලයේ දැන්වීම් අංශයට කතා කළා. නමුත් මුල් අවස්ථා කීපයේ වැඩේ සාර්ථක වුණේ නෑ. ඇතැම් විට කතා කළ පුද්ගලයා වෙනත් අයෙක් වෙත යොමු කළා. ඉන් පසුව කතා කළ පුද්ගලයා දැන්වීම් අංශයේ අදාළ අය මේ මොහොතේ සම්බන්ධ කරගන්න බෑ කියලා කීවා. ඒත් මම උත්සාහය අත් හැරියේම නෑ. ඉතින් අවසානයේ එක් දවසක මට සාර්ථක තොරතුරක් ලබා ගන්න පුළුවන් වුණා. එමගින් කියවුණේ දැන්වීම් නියෝජිත ආයතනයක් නෙවි, ඔවුන්ගේම පුවත්පත් දැන්වීම් නියෝජිත ශාඛාවක් වෙත ගිහින් මේ සම්බන්ධයෙන් කතා කරගන්න කියන එක. අපේ ප්‍රදේශයට තරමක් දුර නගරයක මේ ශාඛාවක් වාසනාවට වගේ පිහිටලා තිබුණා.

ඉතින් ඔවුන් එම ප්‍රාදේශීය කාර්යාලයේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනයත් ලබා දුන්නා. ඉතින් මං ඒ සැනින් එම ප්‍රාදේශීය කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.එයට පිළිතුරු ලබා දුන්නේ තරුණ නිලධාරියෙක්. ඔහුටත් මගේ දැන්වීමේ ස්වභාවය දැන්වීම බාර දීමට ගිහින් ඇති වුණු තත්වය විස්තර කළා. ඇත්තෙන්ම මේ සම්බන්ධයෙන් ඔහු සංවේදී වූ ආකාරයක් පෙන්නුම් කළා. ඒක මට දරා ගන්න අපහසු තරම් සතුටක් වුණා.

''අපි මේ ගැන බලමු. ඔයාට පුළුවන්ද අපේ කාර්යාලයට ඇවිත් මේ සම්බන්ධයෙන් කතා කරන්න...''

අවසානයේ ඔහු පැවසුවා. ඇයි ඉතින් මට බැරි. ඒත් කාලය කියන එකත් වටින දෙයක්නේ. ඒ නිසා මං මෙහෙම කිව්වා.

''මං ඒ දැන්වීම ඊමේල් කරලා තියෙනවා ඔයාලට. ඒක බලලා මට ඒ සම්බන්ධයෙන් ඔයලගේ අදහස කියන්න පුළුවන්ද...''

ඉතින් ඊමේල් එක පරීක්ෂා කිරීමෙන් පස්සෙත් එයාගේ අදහස වුණේ මා එහෙට ගිහින්ම මේ ගැන කතා කර ගන්න ඕනේ කියන එක. ඉතින් මේකෙන් කියවෙන්නේ දැන්වීම පළ කරගන්න යම් අවස්ථාවක් තියෙනවා කියන එකනේ... ඉතින් මගේ හිත සතුටින් පිරුණා. හදවත බර වුණා. ගැහෙන්න ගත්තා ඉතින්.

ඉතින් මං පසුවදාම ගියා ඒ ප්‍රාදේශීය කාර්යාලයට. දුරකථන ඇමතුමට පිළිතුරු දුන් තරුණ නිළධාරියාම මෙතනදී මාත් එක්ක කතා කළා. මා අත තිබුණු, පරිගණකයෙන් සකස් කරගෙන මුද්‍රණය කරගත් දැන්වීම අරගෙන ඔහු ආයතනයේ තරුණ කලමනාකාරවරිය හමු වුණා. ඇය තරුණියක් වීමත් මගේ වාසනාවක්. ඇය දැන්වීම අනුමත කර තිබුණා.

''මේක සමහර විට පොලිසි යන වැඩක් වෙන්නත් පුළුවන්. ඔයා මේකේ සම්පූර්ණ වගකීම බාර ගන්නවා නේද...''

දැන්වීමට අදාල ලියකියවිලි සකස් කරන අතරේ අර තරුණ නිලධාරියා විමසා සිටියා. මට ඒ වෙලාවේ නම් පොඩි බයකුත් ඇති වුණා. විත්තියකට තියා පැමිණිල්ලකටවත් මං පොලිසි ගිහින් තියෙන කෙනෙක් නෙමේනේ. අනිත් එක, ලංකාවේ පොලීසිය... ඒ වුණත් ඉතින් මේ හැම එකකටම වැඩියෙන් මගේ සුන්දර සුරංගනාවිය වටිනවනේ. ඒ නිසා මේ බිය පැත්තකට දැමිය යුතුව තිබුණා.

අනිත් එක, මං වැරදි වැඩක් කරනවා නෙවිනේ. දැන්වීම තුළින් එයාගේ අනන්‍යතාව කොයිම අයුරකින්වත් හෙලිදරව් වෙන්නේ නෑ. ඒ නිසා ඉතින් මේක දැක්කොත් හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඇයටම පමණයි. ප්‍රතිචාර දැක්වීම හෝ නොදැක්වීම තියෙන්නෙත් ඇයගේ අතේ. ඒත් එදා දෙව්දුවක් වගේ මත් සෙනෙහසින් එයා මා දිහා බලා සිනාසුණු ආකාරයත්, මං පිට වෙලා එද්දි සොවින් බලා සිටි ආකාරයත් අනුව, මේ දැන්වීම දුටුවොත් එයා කතා නොකර නම් ඉන්නේ නෑ කියන එක මගේ ඒකායන විශ්වාසය වුණා.

''අයියා මේකේ තියෙන්නේ ඊමේල් එඩ්‍රස් එක විතරයිනේ ඔයාගේ. මොබයිල් නම්බර් එකත් දාමු නේද...''

එහෙම විමසා සිටියේ මගේ දැන්වීම ප්‍රතිනිර්මාණය කරමින් සිටි මල්ලි. ඔහු හොඳ අහිංසක තරුණයෙක්. එයා මගේ දැන්වීම තවත් අලංකාර විදියට නිර්මාණය කළා.

''මං ඒ ගැනත් හිතුවා මල්ලි. ඒත් ෆෝන් නම්බර්ස් දාපුවාම කරදරයි නේද... අනිත් එක මගේ නම්බර්ස් ගොඩක් අය දන්නවා. ඒක ලොකු ගැටලුවක්. එහෙම නම් ඉතින් මං ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන නම්බර් එක තමා දාන්න වෙන්නේ. ඒක නම් කවුරුත් දන්නෙ නෑ...''

මටත් මේක හරියටම කල්පනාවට ආවේ මේ වෙලාවේ... ලංකාවේ කීයෙන් කී දෙනෙක්ද ඊමේල් භාවිතා කරන්නේ... අද වගේ නෙවි 2012 වසර වන විට මේ තත්වය ගොඩාක් අඩුවෙන් තිබුණේ. ස්මාර්ට් ෆෝන් සහ දුරකථන සමාගම් වලින් සන්නිවේදන පහසුකම් ව්‍යාප්ත වුණේ මෑත කාලීනවනේ ලංකාව පුරා. ඒ වෙනකොට පහසුකම් පවා තිබුණේ නාගරිකව පමණයි.

ඉතින් අර යුවතිය මේ පහසුකම් නැති කෙනෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි... ඒ ගැන නොදන්නවා වෙන්නත් පුළුවන්. බාහිර ආයතනයක් වෙත ගිහින් ඊමේල් කරන්න මෙහෙම කෙනෙක් පසුබට වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. එතකොට මේකට ප්‍රතිචාර දක්වනවද නොදක්වනවද කියන තිගැස්මේ ඉන්න එයා අධෛර්යය වෙලා යන්නම ඉඩ තියෙනවා.

ඉතින් මේ අනුව, අර මල්ලි කළ යෝජනාව ගොඩක් වටින එකක් වුණා. එයාට ඕනෙ නම් පාඩුවේ දැන්වීම හදලා දීලා නිකන් ඉන්න තිබුණනේ... ඔහුත් හදවතින් මට ඒ යුවතියව හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කළ නිසා තමයි මෙහෙම යෝජනාවක් කළේ.

Wednesday, October 26, 2016

වචනවලට අරුතක් නෑ....

 භාෂාව කියන්නේ මිනිසා තමන්ගේ බුද්ධිය වැඩීමත් එක්ක තමන්ගේ අදහස්, හැඟීම් තවත් අයට සන්නිවේදනය කරන්න හදා ගත්තු මාධ්‍යයක්. මිනිසා ක්‍රමයෙන් දියුණු වෙන්න බලපෑ මූලිකම කාරණයත් මේක... කිසියම් ජීවී කොට්ඨාශයකට භාෂාවක් කියලා දෙයක් නැති නම් ඔවුන්ට කවදාවත් චින්තනයෙන් ඉදිරියට යන්න බෑ... අපි හිතන්නෙත් භාෂාවක් තුළින්... ඒ කියන්නේ භාෂාවක් නැති විට අපේ චින්තනයත් සීමා වෙනවා නිකන්ම.

භාෂාවේ අඩංගු වෙලා තියෙන හැම වචනයකටම නිශ්චිත අරුතක් හෝ අරුත් සමූහයක් තියෙනවා... ඒවායින් කිසියම් අදහසක්, ක්‍රියාවක්, හැඳින්වීමක්, හැඟීමක් අරුත් ගන්වනවා. ඒත් මිනිසා තුළ ක්‍රියාත්මක වන ආත්මාර්ථය නිසාත්, අනවබෝධය නිසත් ඒ වගේම ස්වයං රැවටිලිකාරීත්වය හෙවත් සංරක්ෂණ ප්‍රයෝගී ක්‍රියාකාරීත්වය නිසත් මේ වන විට භාෂාවේ ඇති වචන, අරුත් සුන් බවට පත් කර තියෙනවා.

අපි මේක සරලව වටහා ගන්න උත්සාහ කරමු. තරුණයෙක් තරුණියකගෙන් රාගික අවශ්‍යතාවන් තෘප්ත කරගැනීමේ අදහසින් එයාට කියනවා, ''මං ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි'' කියලා. දැන් එතකොට මොකද වෙන්නේ... මේ වචනවල අරුත අර තරුණිය විශ්වාස කළොත් නොබෝ දිනකින්ම ඇය අවබෝධ කරගන්නවා වචනවලට අරුතක් නෑ කියන එක. ඒ වචනවලට භාවිත අරුතක් තිබුණා නම් සාහසික විදියට ඇයට රැවටීමට ලක් වෙන්න සිදු වෙන්නේ නැහැනේ.

තරුණියක් තරුණයෙක්ට කියනවා ''ඔයා මගේ ජීවිතේ'' කියලා... ඒත් එයාට වඩා හොඳයි කියලා හිතෙන තරුණයෙක් හමු වුණාම එයා අර තරුණයාව දාලා යනවා ඉතාම දරුණු විදියට. දැන් මෙතනදී මොකද වුණේ... අර තරුණියට ජීවිතේ ඒ වෙලාවේ දැනුණු තනිකම සහ ආදරය, සහ වෙනත් අවශ්‍යතාවන් වෙනුවෙන් ඒ මොහොතේ හිතනවා අර මුල් තරුණයාට තමන් ඇත්තටම ආදරෙයි කියලා... ඒ වෙලාවේ එයා ඒක කියන්නේ අවංකවමයි. ඒත් දෙවන තරුණයා හමු වුණාම තත්වය වෙනස් වෙනවා. මුල් තරුණයා කරදරකාරයෙක් ලෙස හැඟී යනවා. ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ මොකක්ද..?

අර තරුණිය දැනගෙන හිටියේ නෑ ආදරය කියන වචනයේ අරුත. ඇය ඒක අරුත් ගන්වා ගත්තේ තමනගේ සන්දර්භයක් තුළ. (සාමාන්‍යයෙන් ඉතින් බොහෝ දෙනෙක් තුළ වෙන්නේම මේ දේ තමයි. සැබෑ අරුත් මොනවාද කියලා හොයන්න කවුරුත් මහන්සි වෙන්නේ නෑ.) ඒ කියන්නේ අනවබෝධය. ඉතින් මේක නිසත් වචනවලට තියෙන අරුත ගිලිහිලා යනවා.

එක තරුණියක් හා තරුණයෙක් අවුරුදු 5ක් තිස්සේ සිතින් ආදරය කළා. දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් හැකි වුණේ නෑ මේක ප්‍රකාශ කර ගන්න. ඔය අතරේ තරුණියගේ පවුල පොහොසත් වෙන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ තරුණියගේ මාපියන් වගේම තරුණියත් මේ තරුණයාව අත්හැරලා දැම්මා. මෙතනදී තරුණිය හිතුවේ තරුණයාට ඒ තරම් ජීවිතේ වගකීමක් නෑ, දියුණු වෙන්න උත්සාහයක් නෑ, ආදරයක් තියෙනවා නම් ඉතින් මීට වඩා උත්සාහවන්ත වෙන්න එපාය කියලා. අනික, ඉදිරිපත් වෙලා ආදරය ප්‍රකාශ කරන්න එපාය කියලා.. ඒත් මේ ඔක්කෝම ඇය විසින් ගොඩ නගා ගත්තේ තරුණයාව අත්හැරලා දැන්න හිත හදා ගන්නයි... ඒ කියන්නේ හෘද සාක්ෂියෙන් බේරෙන්න... මේවට මනෝ විද්‍යාවේ කියන්නේ සංරක්ෂණ ප්‍රයෝග කියල.


ඉතින් තමන් කරන වැරදි වැඩේ වහගන්න මොකාක් හරි තර්කයක් මිනිස්සු හොයා ගන්න නිසත් වචනවලට අරුතක් නැති වෙලා තියෙනවා.
මෙන්න මේ තත්වය නිසා අද කාලයේ ඉතින් අන්තිම අහිංකසකයෙක් හැරෙන්න කරුවත් වචන කියන දේ විශ්වාස නොකරන තැනට පත් වෙලා. එහෙම නම් ඉතින් අපිට මේ භාෂාව කියන එකෙන් වැඩක් තියෙනවද...? භාෂාවේ තියෙන වචන කවුරුත් විශ්වාස කරන්නේ නැති නම් භාෂාවෙන් ඇති වැඩේ මොකක්ද...?

දැනට භාෂාව කියන එක ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ ශිල්පීය ඥානය කියන දේ ඊලඟ පරම්පරාවට උරුම කර දෙන්න කියන කාරණය සම්බන්ධයෙන් පමණයි... ඒ හැර මිනිස් සම්බන්ධතා කියන දේට නම් මේ වන විට භාෂාවේ අදාලත්වයක් ඇත්තේම නෑ.

Monday, October 24, 2016

සිත් අදහාගත නොහැකි සත්‍ය ආදර කතාව....(2 වන කොටස)


ඉතින් පෝස්ට් ඔෆීස් එකට ගිහින් මිනිත්තු කීපයකින් ආයෙමත් බැංකුවට ආවත් එයා පේන්න හිටියේ නෑ. මගේ පපුව පිච්චිලා අළු වෙලා ගියා. ''ඔය ටික කර ගන්නනේ ඉතින් දැඟලුවේ... දැන් හරිනේ...'' හදවත, මටම චෝදනා කරන්න පටන් ගත්තා.

මොනවා වුණත් වෙන්න තිබුණ දේ වුණා. දැන් ඉතින් එයා කොහෙන් කියලා මේ නගරෙන් හොයන්නද... ලඟ හිටපු ළමයාට අංකයවත් දීගන්න බැරි වුණු මේ මෝඩයාට ඉතින් දැන් ඉතින් පුළුවන්ද එයාව හොයා ගන්න. ඉතාම වේදනාවෙන් වුණත් පෙරහැර ගිහින් අවසන් බව පිළි ගන්න සිදු වුණු වේදනාවෙන් තැවෙන බර වුණු හදින් යුතුව මං ඇවිදගෙන ඇවිත් කැබ් එකට ගොඩ වුණා.

ඔන්න ඔය විදියට එදා සිද්ධිය අවසන් වුණා. ඒත් මට කොහොමවත් මේ සිදුවීම හිතෙන් අමතක කරන්න බැරි වුණා. හැම මොහොතකම වේදනා දෙමින් එය එය මතකයේ රැව් දෙන්න ගත්තා. ඒත් කරන්න පුළුවන් කිසිම දෙයක් නොවීම නිසා අපේක්ෂා භංගත්වය තුළින් ඇති වන දැඩි වේදනාවේ උරුමකරුවෙක් වීමට පමණක් සිදු වුණා. දැන් මේ ගැන කල්පනා කිරීම කොයි තරම් ඵලක් නැති දෙයක් බව හිත කීවත් හදවත නම් එයාගේ වැඩේ අත්හැරියේ නෑ. මේ තරම් සොඳුරු යුවතියක් ජීවිතයේ මුණ ගස්වලා දීලත් ඒ වාසනාවට පයින් ගහපු මේ මෝඩයා කෙරේ තරහින් වගේ හදවත, මට නිරන්තරයෙන්ම වේදනාව ගෙන එන්න වුණා.

මං දහ අතේ කල්පනා කළා එයාව නැවත මුණ ගැහන විදියක් ගැන. ඒත් කොහොම කියල හොයා ගන්නද... එයා නගරය අවට ප්‍රදේශයේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් නගරය සහ අවට වටා විහිදුණු ගම්මාන නම් කී දාහක්ද... කොහොම එයා හොයන්නද... ඇය නැවත නැවත අම්මා එක්ක බැංකුවට එනවා වෙන්න බැරිද... ඉතින් දියේ ගිලෙන්න යන කෙනා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ මාත් මේ සිතිවිල්ලේ එල්ලුනා. ඉතින් මං ඊලඟට කල්පන්න කරන්න ගත්තා එයා එනවා නම් එන්න වඩාත් පුළුවන් මොන වගේ දිනවල, මොන වගේ වෙලාවලද කියලා.

ඒත් ඒක නිකම් මායාවක් විතරයි කියලා මට දින කීපයක් ගත වෙද්දි හිතෙන්න ගත්තා. මොකද, එයාගේ අම්මා ව්‍යාපාරයක් වෙනුවෙන් බැංකු කටයුතු කරන කෙනෙක් නෙවි... අනික, ඒ ආවේ අම්මා නොවී නැන්දෙක් වෙගේ කෙනෙක් වෙන්නත් පුලුවන්. මෙහෙම බැලුවාම එයා ආයෙමත් බැංකුවට එන දිනයක් අල්ලාගන්න නම් සෑම වැඩ කරන දිනයකම මුළු දිනේම බැංකුවට වෙලා ඉන්න වෙනවා.

ඒත් මේ යුවතිය මගේ හදවතේ ආපසු නොයන්නටම ලැගුම් අරන් තිබීම නිසා කුමක් හෝ කළ යුතුමයි කියන පෙරැත්තය හදවතින් නිරතුරු එල්ල වෙන්න වුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් ලෙසින් මගේ ඔලුවට අලුත් අදහසක් ආවා. ඒ තමයි මේ සිද්ධිය ගැන කෙටියෙන් සඳහන් කරලා, ප්‍රදේශවාසීන්ගෙන් උදව් පැතිය යුතු බවට. ඒ අනුව මං කෙටි පණිවිඩයක් තුළ මේ අදහස සටහන් කරලා එයාව දන්න කෙනෙක් ඉන්නවා නම් මගේ දුරකථන අංකයට දැනුම් දෙන්න කියලා කාරුණික ඉල්ලීමකුත් කළා. මේ පණිවිඩය යැවීම සඳහා මං තෝරා ගත්තේ ප්‍රදේශයේ සී. ඩී. එම් දුරකකථන විශේෂය. මොකද, මොබයිල් නම්බර්වලින් හොයා ගන්න බෑඅ අපේ ප්‍රදේශයේ අය. රැහැන් සහිත ස්ථාවර දුරකථන බොහෝමයක කෙටි පණිවිඩ සේවාව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ඒත් සතියක් විතර ගත වුණත් එක මුස්ලිම් ජාතිකයෙක්ගෙන් හැර වෙනත් කිසිදු ප්‍රතිචාරයක් පැමිණියේ නෑ. ඔන්න ඔහොම ඒ වැඩෙත් අසාර්ථකත්වයෙන් අවසන් වුණා. ඒත් එහෙමයි කියලා ඒ සොඳුරු යුවතියව අමතක කරන්න මට හැකියාවක් තිබුණේ නෑ. මේ අතරේ මගේ ඔලුවට තවත් අලුත් අදහසක් ආවා. ඒ තමයි මේ ගැන පත්තරේ දැන්වීමක් දැම්මොත් මොකද කියලා. මේ වගේ දැන්වීමක් ගැන ආදර්ශයක් නම් මගේ ජීවිතේට දැකලා නැති වුණත් මගේ ඔලුවට එහෙම අදහසක් පැමිණියා.

ඉතින් ඒ උත්සාහය, බොහෝ දුරට සාර්ථක විය හැකි දෙයක් සේ මගේ හිතට පේන්න ගත්තා. ඉන් පස්සේ ඉතින් මගේ සිතිවිලි වැඩ කරන්න වුණේ මේක සාර්ථක කරගත හැකි එකක් කරගන්නේ කොහොමද කියන එක ගැන හිතන්න. පොදු වශයෙන් වැඩිම අලෙවියක් තිබුණේ සති අන්ත ජාතික පුවත් පත්. ඒත් මේවා කියවන වැඩි දෙනෙක් වැඩිහිටි පිරිමි අය. තරුණ අය කියෙව්වොත් ඉතින් එහි ටැබ්ලොයිඩ් අතිරේකය. එහෙම නම් කාන්තා පුවත් පත්...?

ඉන් පස්සේ මං හෙව්වා වැඩිම අලෙවියක් තියෙන සහ වැඩිපුර තරුණියන් කියවන කාන්තා පුවත්පත මොකක්ද කියලා. එහිදී එක්තරා කාන්තා පුවත්පතක් හඳුනා ගන්න ලැබුණා. ඇත්තටම මගේ ජීවිතයට මේ පුවත්පත විසින් දක්වපු අනුග්‍රහය සැලකුවාම එහි නම සඳහන් කරන්නම ඕනේ. ඒ තමයි 'සිරිකත' පුවත්පත.

ඉන් පස්සේ මගේ අවධානය යොමු වුණේ මේක වැඩි පිරිසකගේ ඇස ගැටෙන ආකාරයට නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන. දැන්වීම් ගොඩක් අතර මේකට ඇස යොමු නොවී මග හැරෙන්න ඕනේ තරම් අවස්ථාව තියෙනවා. එතකොට තමයි මගේ ඔලුවට අපූරු අදහසක් ආවේ. ඒ තමයි 2012 වර්ෂයේ තියෙන වැදගත්කම. ඒ වන විට මුළු ලොවම, ඒ වර්ෂයේ සිදු වන ලෝක විනාශයක් පිළිබඳව කතා කරමින් සිටියා. ඒ ගැන ලෝකවාසී හැම කෙනෙක්මත් කිසියම් හෝ අවධානයක් යොමු කරමින් සිටියා.

ඉතින් මෙන්න මේ පොයින්ට් එක මගේ දැන්වීමටත් ආදේශ කර ගන්න මං කල්පනා කළා. ඒ අනුව දැන්වීමේ 2012 යන්න අනෙක් හැම දේටම වඩා හයිලයිට් වන අයුරින් මං නිර්මාණය කළා. එවිට ඕනම කෙනෙකුගේ ඇස් දෙසට යොමු වෙන්න තියෙන අවස්ථාව සාපේක්ෂව වැඩියි.

පරිගණකය ආශ්‍රයෙන් මං දැන්වීම නිර්මාණය කරගෙන මහත් අපේක්ෂා පෙරදැරිව, සතුටීන් ගියා ප්‍රදේශයේ දැන්වීම් නියෝජිත කාර්යාලය වෙතට. එහිදී දැන්වීම කියෙව්වේ තරුණ අයියා කෙනෙක්. ඔහුගේ මූණේ සිදුවෙන වෙනස්කම් මං නිරීක්ෂණය කළා.

''මේ වගේ ඒවා පළ කරන්න බෑ...''

ඔහු අවඥාවෙන් යුතුව කීවා. ඒ අසල සිටි තවත් අංකල් කෙනෙකුත් ඒක දැකලා කියෙව්වට පස්සේ ඒක අනුමත කළා.

ඉතින් ඔවුන්ගේ ක්‍රියාවෙන් ඇති වූ අපහාසයට වඩා මට දැන්වීම පළ කරගන්න නොහැකි වීම ගැන ඇති වුණේ දරා ගන්න බැරි දුකක්. ඒ වගේම මේ මුස්පේන්තුවන් ගැන ලොකු කේන්තියක්. දැන්වීම පළ කරන්න අවස්ථාවක් නෑ කියමු, ඒත් අඩු ගානේ මේ දිහා මානුෂික විදියට බලන්න තිබුණා.

Sunday, October 23, 2016

හිතන ලෝකය තරම් දකින ලෝකය ලස්සන නැද්ද...?

මිනිසා කියන්නේ සංකල්පීය සත්වයෙක්. තේරෙන්න කියනවා නම් ඔලුවෙන් මවා ගත් ලෝකයක ජීවත් වන කෙනෙක්... එතකොට ඔබ අහන්න පුළුවන් ඒ කියන්නේ මිනිසා ජීවත් වෙන්නේ යථා ලෝකය තුළ නෙවිද කියලා... ඔව්, මිනිසා ජීවත් වෙන්නේ යථා ලෝකය එහෙමත් නැති නම් ස්වාභාවික ලෝකය තුළ නෙවි. ඒක, මිනිසාගේ වරදක් නිසා සිද්ධ වුණු දෙයක් නෙවි... කිසියම් ජීවියෙක්ගේ බුද්ධිය, සවිඥානය වැඩීමත් එක්ක නිතැතින්ම සිදුවන දෙයක්.

මිනිසා ස්වභාවික ලෝකයක නෙවි ජීවත් වෙන්නේ කියන එක ලෙහෙසියෙන් වටහා ගන්න සරල නිදසුනක් දෙන්නම්... යුරෝපීය වැසියෙකුයි, මැද පෙරදිග වැසියෙකුයි, අපේ රටේ කෙනෙකුයි කාන්තාව කියන කෙනා දකින්නේ 'සංජානය කර ගන්නේ' කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න... එකිනෙකට බොහෝ වෙනස් විදියට. ඉතින් මිනිසා යථා ලෝකයක ජීවත් වන කෙනෙක් නම් මේ විදියට එකම කාන්තාව එකිනෙකට ඉතාමත් වෙනස් විදියට දකින්න පුළුවන්ද... බැහැනේ...

මේ සංකල්පීය ලෝකය තුළ දකින්න ලැබෙන තවත් ලක්ෂණයක් තමයි අපි හිතින් මවා ගන්න ලෝකය සහ යථා ලෝකය අතර වෙනසක් පැවතීම. පරතරයක් පැවතීම... බොහෝ විට හිතින් මවා ගන්න ලෝකය, යථා ලෝකයට වඩා සුන්දරයි හෝ අසුන්දරයි.


මෙහෙම වෙන්නේ ඇයි... ඒකට හේතුව තමයි මනසේ තියෙන පරිකල්පන ශක්තිය... එය සැම විටම පවත්නා තත්වයට ඔබ්බෙන් දෙයක් සිතනවා... ඒ අපේම යහපත වෙනුවෙන් වෙන්න පුළුවන්. නිදසුනක් විදියට අපි ආදරය ගැන පෙම්වතා පෙම්වතිය ගැන ඔලුවෙන් මවා ගන්න ලෝකය සැබෑ ලෝකයට වඩා බොහෝ වෙනස්. බොහෝ සුන්දර හීන දැකලා විවාහ වෙන අය ටික දිනකින්ම ඒ ගැන කලකිරෙනවා. තවත් කාලයක් යනකොට එපා වෙනවා. නැති නම් උදාසීන වෙනවා.

මිනිස් ලෝකය මේ තරම් හෝ දුරට ලස්සන හා අවලස්සන වෙලා තියෙන්නේ මේ පරිකල්පන හැකියාව නිසාම තමයි. ඒ හැකියාව ඉතාමත් ඉහල මට්ටමක තිබුණා නම් ජීවිතය බොහෝ ලස්සන වෙන්න තිබුණා. ඒත් මිහි මත ඒ හැකියාව තවමත් ඉතා ප්‍රාථමික මට්ටමකයි තියෙන්නේ.

අපේ යාලුවෙක්ගේ නෑ සහෝදරයෙක් මේ ලඟදි විවාහ වුණා. ඉතින් එයාගේ පෙම්වතිය යාලුවගේ ගෙදර ඇවිත් ගියාට පස්සේ එයාට එස් එම් එස් කරන්න පටන් අරගෙන. එයා කියනවලු අපරාදේ ඔයා කලින් හමු වුණා නම් කියලා. එන පොට හොඳ නෑ කියලා මෙයා හිමීට මෙසේජ් කරන එක නතර කරලා... යාලුවත් ඉතින් කුකුලා. අනිත් එක එයා කාන්තාවන් ගැන සමීක්ෂණය කරන කෙනෙක්...  එයා අනියම් සම්බන්ධතාවලට කැමතියි. හැබැයි ඒක නියම් සම්බන්ධයක් වෙන්න එන පාටක් පෙනුණොත් එයා හිමීට ලිස්සලා යනවා ආඳා වගේ.

දැන් මේ අලුත් විවාපත් වුණ තරුණියට මොකද වෙලා තියෙන්නේ... එයා කියන හැටියට දැන් තරුණයා එයාට කතා කරන්නෙත් දවස් දෙක තුනකට සැරයක්ලු... දෙන්න සේවය කරන්නේ තැන් දෙකක... ඉන්නෙත් තැන් දෙකක. මේ දෙන්නාට ආර්ථික ප්‍රශ්නත් නෑ.. හොඳ වැටුපකුත් ලබනවා. හොඳ ගෙදරක් තියෙනවා. වාහනයක් තියෙනවා... ඉතින් මොකක්ද තියෙන ප්‍රශ්නේ.. ඒත් හිතේ සතුට කියන එක පලා ගිහින්... ඇයි මෙහෙම වුණේ...


ඒකට හේතුව තමයි මේ දෙන්නාම ආදරය කරන්න පටන් ගන්නේ අනෙක් කෙනාට ආදරය කරන්න බලාගෙන නෙවි... තමන්ට ආදරය ලබා ගන්න. ඒ වගේම හෝමෝන මගින් ඇති කරපු පෙළඹීම මත.. එතන තියෙන්නේ ආශාව... ඉතින් මේ සියල්ලම මතින් අපි ඒ ජීවිතය ගැන මනසින් අතිශය සුන්දර ලෝකයක් නිර්මාණය කර ගන්නවා. ඒත් භාවිත ලෝකය ඒ මට්ටමේ නෑ.

භාවිත ලෝකය සුන්දර නොවෙන්නේ අපේ හිත් පරාර්ථකාමී නැති නිසත් ආදරණීය නැති නිසත්.

ආශාවේ ස්වභාවය තමයි එය තෘප්ත වූ සැනින් ක්‍රමයෙන් එය අතෘප්තියට පත් වීම... එහෙම නොවෙන්න නම් ආශාව සම්පූර්ණ තෘප්තියට පත් නොවී තබා ගන්න ඕනේ... ඒත් විවාහයට එලඹුනාම සියලු බාධක අහෝසි වෙලා යනවා... ඒ වගේම අයිතිකාරත්ව හැඟීම නිසා අන්‍යෝන්‍ය ගෞරවය, නැවුම් බව, මිතුරු බව නැති වෙලා යනවා... ඉතින් මෙතන එපා වීම අහන්නත් දෙයක්ද...

ඒත් අනියම් ඇසුරකට ගියාම එතන විශාල බාධක රාශියක් පවතිනවා... ඒ නිසා ආශාව පරිසමාප්ත තෘප්තියට පත් වෙන්න අවස්ථාවක් නෑ... ඒ වගේම අයිතිකාරත්වයක් නැති නිසා අන්‍යෝන්‍ය ගරුත්වය, නැවුම් බව, මිතුරු බව ආරක්ෂා වෙනවා... ඉතින් එතන ලොකු සතුටක් දැනෙන්න ගන්නවා. හැබැයි ඉතින් අර යුවතිය අර දෙවන තරුණයාව විවාහ කරගත්තොත් ඒ සම්බන්ධයට වෙන්නෙත් මුල් එකට වුණු දේමයි.

ඉතින් එහෙම නොවී සැමදා ආදරයෙන්, සතුටින් ජීවිතය පිරී යන්න නම් අපේ හිත් පරාර්ථයෙන් පිරී යන්න ඕනේ... ආදරණීයත්වයෙන් පිරී යන්න ඕනේ... අයිතිකාර හැඟීම ඉවත් කර ගන්න ඕනේ...

Saturday, October 22, 2016

දෙයක් ආත්මය කර ගැනීම.... (ආදරය කියන්නේ මොකක්ද..3)

 අපි පසුගිය කතා බහ නතර කළේ, සමාජීය ආදරයක් තියෙන අය පෞද්ගලික ආදරයෙදි දක්වන කැපවීම අඩුයි කියන කතාව මිත්‍යාවක් කියන එක කියමින්... හැබැයි එහෙම වෙන්නේ සෛද්ධාන්තිකව.

 ඒත් අපට ප්‍රායෝගික ජීවිතයේදී දකින්න තියෙන්නේ ඇත්තටම ඔය කියන තත්වය... මෙහෙම වෙන්නේ කොහොමද...

හැම මිනිසෙක්ටම ජීවත් වෙන්න අරමුණක් ඕනේ... සිහිනයක් තියෙන්න ඕනේ.... බැඳීමක් තියෙන්නත් ඕනේ.... ඉතින් හැම කෙනෙක්ම මේ වෙනුවෙන් කුමක් හෝ දෙයක් තෝර ගන්නවා. කෙනෙක් සමහර විට මේ සඳහා නිවන වගේ දෙයක් තෝර ගන්නත් පුළුවන්.

සමහර විට මේ දේ සමාජීය දෙයක් වෙන්න පුළුවන්... නැතිනම් භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. එහෙම නැති නම් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙක්. මේක අපේ ආත්මය ගොඩ නැගීම සඳහා වන අවශ්‍යතාවක්. ඒ නිසා ඒක ස්වාර්ථකාමීයි... අපේ පැවැත්මේ උරුමය බොහෝ විට ආත්මාර්ථය නිසා මේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කෙරෙන්නේත් ඒ පදනම මත. ඉතින් මෙන්න මේ අවශ්‍යතාව මත කෙනෙක් සමාජීය ආදරය තෝර ගන්නවා නම් එයා පෞද්ගලික ආදරය සඳහා දක්වන කැපවීම අඩු වෙන්න හෝ ඉතාම අඩු වෙන්න පුළුවන්.

සමහර විට අපි තෝර ගන්න අරමුණ අපට මූණ පාන්න වෙන බාහිර අභියෝගයන්, පීඩාවන්වලින් මිදෙන්න තෝරා ගන්නා එකක් වෙන්නත් පුළුවන්... නිදසුනක් විදියට කෙනෙක් තමන්ගේ ගෙදර පීඩාකාරී තැනක් වෙනකොට බෝතලය තෝර ගන්නවා. අම්මා දරුවාව ඒ සඳහා තෝර ගන්නවා... නැති නම් අනියම් සම්බන්ධයක් ඇති කර ගන්නවා. නිර්මාණ කාර්යයක නිරත වෙනවා.


 කොහොම වුණත් ආත්මාර්ථය මත අපේ මේ ආත්මීය බැඳීම ඇති කර ගත්තාම එයා අනෙක් සියලුම දේ නොසලකා හරිමින් එයට ආදරය කරන්න ගන්නවා. වෙන එකක් තබා තමන්ව පවා නොසලකා හරිමින්... ඒ කියන්නේ වෙලාවට කන්නෙ නෑ, ව්‍යායාම කරන්නේ නෑ, කොටින්ම තමන්ගේ ජීවිතයේ කිසිම දෙයක් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්නේ නෑ.

ඉතින් මේක දකින කෙනෙක් කියන්න පුලුවන්,''අනේ එයා මොන තරම් තමන්ගේ දරුවට ආදරේද, නිර්මාණවලට ආදරේද, සමාජයට ආදරේද.... තමන් ගැනවත් එයා හිතන්නෙ නෑ...'' කියලා.. ඒත් ඇත්ත තත්වය තමයි එයාගේ ආත්මයට සැනසිල්ල ලැබෙන්නේ අර දේ තුළින් නිසයි ඒ වෙනුවෙන් එහෙම කැප වෙන්නේ.

පරාර්ථය මතින් පදනම් වෙලා ආදරය කරන කෙනෙක් තමන්ව නොසලකා හරින්නේ නෑ... තවත් කෙනෙක්ව නොසලකා හරින්නෙත් නෑ... එයාගේ ආදරය සමබරයි... දැන් බලන්න දුවලා පුතාලා විවාහ වුණාම ගොඩක් අය තමන්ගේ මාපියන්ව නොසලකා හරිනවා.... ඇයි ඒ... තමන්ගේ ආත්මීය සාරය අලුත් දේ මතින් ගොඩ නංවා ගන්න නිසා. අලුත් පෙම්වතෙක් පෙම්වතියක් හමු වුණාම පරණ කෙනා කුණු මාළු කෑල්ලක් වගේ පේන්න ගන්නවා.

වියපත් වෙනකොට මානසික හැකියාවන් සමහර අයගේ අඩු වෙන නිසත්, වියපත්කම නිසාම තමන් කලින් බැඳිලා හිටි අයව පාලනය කරගන්න හැකියාවක් නැති නිසත් ඒ අය නිවන, තමන්ගේ ඇඳුම් කැඩුම් ටික, ඉතිරි කරගෙන තියෙන සල්ලි ටික වගේ තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් අල්ලා ගන්නවා.

අපිට කතා කරගන්න අතපසු වුණ කරුණ තමයි, සුරතල් සතෙක් අපට දක්වන්නේත් පරාර්ථය මතින් ඇති වුණු ආදරයක් නොවුණත් ඒක මිනිස් ආදරයට වඩා අවංක වෙන්නේ, වඩාත් ආදරණීය වෙන්නේ කොහොමද කියන එක.

සතෙක් ජීවත් වෙන්නේ සංකල්පීය ලෝකයක් තුළ නෙවි. ඒ නිසා එයාගේ ලෝකය හරිම පැහැදිලියි... විකෘති වෙලා නෑ දෘෂ්ටිවාදයන්ගෙන්. ඒ වගේම අල්පේච්ඡයි. සැහැල්ලුයි. මේ නිසා එයාට පුලුවන් වෙනවා මුළු හදින්ම තමන්ගේ ඒ ආදරය, බැඳීම පවත්වාගෙන යන්න.

Friday, October 21, 2016

කවීෂා සහ අපි....

මියගිය කවීශා කලාකාරිණියගේ මිනී පෙට්ටිය ලඟ ඉඳන් අපේ රටේ කලාකරුවන් පිරිසක් ගත්තු සෙල්ෆියක් මේ දිනවල දැඩි කතා බහට ලක් වෙලා තියෙනවා. තමන් එක්ක එකට ඉඳපු සහෝදරිය ලඟ ඉඳන් මේ වගේ ඡායාරූපයක් ගන්න හිත් පිත් තියෙන කෙනෙක්ට පුලුවන්ද කියන එක ප්‍රශ්නය මේත් සමග ඇති වෙනවා...

එක අතකින් ඉතින් ඉහත සෙල්ෆියට අපි දොස් කියන එක වැරදියි... මොකද ඒ ඡායාරූපය නිර්ව්‍යාජයි. තමන්ගේ හදවතේ ඇත්ත ස්වරූපය එමගින් පෙන්වා දෙනවා... හදවතේ නැති ශෝකයක් පෙන්වනවාට වඩා ඒක හොඳයිනේ.

කොහොමත් ලාංකීය සමාජය තුළ අවංක මානුෂීය බැඳීම් කියන ඒවා දකින්න නැති තරම්... පවුල තුළත් නෑ, සමාජය තුළත් නෑ... මේ නිසා ඉතින් කෙනෙක් මිය ගියා කියලා හදවතින් එන සංවේගයක් බොහෝ දෙනෙක් තුළ හට ගන්නේ නෑ.

ඒ නිසා තමයි බජව් දමමින් බස් එකේ ගිහින් මල ගෙදර ලං වෙනකොට නිහඬ වෙලා මූණු හදාගෙන හිතේ නැති ශෝකයක් පෙන්වන්න හදන්නේ. අපේ ආත්තම්මා මිය ගියාට පස්සේ ඔන්න එයාගේ එක ලේලියක් එයාගේ දරුවන් එක්ක මල ගෙදර වැඩ වලට සහභාගී වෙනවා. එයලා කවුරුවත් තුළ ශෝකයක් පේන්න නෑ... ඔන්න මේ අතරේ එයාගේ එක පුතෙක් කැමරාවක් අරන් ඇවිත් දේහය ලඟ ඉඳන් ඒ අයගෙ ඡායාරූපයක් ගන්න සූදානම් වුණා... මෙන්න බොලේ මේ හොඳට හිටිය නැන්දා එක පාරටම අඬන්න ගත්තා. මට අදහා ගන්න බැරිව ගියා... අපේ ජාතිය හරියට කටුස්සෝ වගේමයි... තැනේ හැටියට පාට වෙනස් කරන්නේ කටුස්සන්ටත් වඩා ඉදිරියෙන් සිටිමින්. මේ කටුසු මානසිකත්වය මිසක් ඔවුන් තුළ හදවතේ ක්‍රියාත්මක වෙන පරමාදර්ශ කියලා ජාතියක් ඇත්තේම නැති තරම්. තියෙන එකම පරමාදර්ශය ආත්මාර්ථය.

හිත්වල තියෙන මේ නරුම ආත්මාර්ථය පොඩි දරුවෙක්ව ඉද්දිත් මට දැනිලා තිබුණා සමහර අවස්ථාවලදි. තමන්ගේ ඥාතියෙක් මිය ගියාම බොහෝ දෙනෙක් විලාප තියන්නේ ''අනේ දෙයියනේ මට කන්න බොන්න දීපු කෙනා. දැන් කවුද ඉතින් අපිව බලා ගන්නේ'' වගේ දේ කියමින්... මට ඒ කාලෙම හිතුණු දේ තමයි මේ අය දුක් වෙන්නේ මිය ගිය කෙනා අහිමි වීමේ වේදනාවෙන් නෙවි එයා අහිමි වීම නිසා තමන්ට අහිමි වූ දේවල් වෙනුවෙන් කියන එක. පවුලක් තුලවත් සැබෑ ආදරණීය බැඳීම් නෑ කියන එක මට ඒ කාලෙම දැණුනු දෙයක්.

සමාජය විසින් හෝ කලාකරුවන් විසින් හෝ මේ දෙගොල්ලෝම එකතුව හෝ හදලා තියෙන සංකල්පයක් තමයි කලාකාරයෝ කියන්නේ බොහොම සංවේදී ආදරණීය පිරිසක් කියන එක. ඒත් මේ ගැන අත්දැකීම් තියෙන කෙනෙක් මගෙත් එක්ක කිව්ව දෙයක් තමයි කලාකරුවන් තරම් කුහක රළු පිරිසක් එයා දැකලා නෑ කියන එක.

කලාකරුවෝ කියන්නේ ඉතින් පිටසක්වලයන් පිරිසක් නෙවිනේ.. ඔවුනුත් අපේ සමාජයේම කොටසක්... ඒ වගේම තරඟකාරී සමාජ ස්ථරයේ කොටසක්. ඒ නිසා සරල ගැමියෙක්ට වඩා කුහකකම්, පහත් වැඩ ඔවුන් අතර තියෙන්න පුළුවන්. ආත්මාර්ථය එක්ක බල ආශක්තභාවය එක් වුණාම ඕනම කෙනෙක්ට, සමාජ ස්ථරයකට අත්වෙන ඉරණම තමයි ඒ.

කෙනෙක් යෝජනා කරන්න පුළුවන් සිංහල බෞද්ධ සංස්කෘතික උරුමය අනුව අට ලෝ දහම ගැන අවබෝධයෙන්, මරණානුස්සතිය වැඩීම නිසා අපේ අය තුළින් මෙහෙම තත්වයක් දැකින්න ලැබෙන්නේ කියලා. ඇත්තටම ඒක මිත්‍යාවක්... බුදු හිමියන්ම තමන්ගේ ආදරණීයයන් වෙන් වුණාම ධර්ම සංවේගයට පත් වුණු අවස්ථා, ඔවුන්ට බුහුමන් දැක්වූ අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. අපේ අය තුළ දකින්න ලැබෙන්නේ එවැන්නක් නෙවි, හුදු නරුම ආත්මාර්ථය.

අපිට කෙනෙක් වෙන් වුණාම ඇත්ත ගැඹුරු ශෝකයක්, සංවේගයක් හට ගන්න නම් එයා එක්ක බැඳීමක් තියෙන්න ඕන... අපේ හදවත ආදරණීය එකක් වෙන්න ඕනේ... එහෙම නැතිව ඉතින් ඒ දේ වෙන්නෙ නෑ... එකට ජීවත් වීම නිසා, එයාගෙන් තිබුණු වාසි ප්‍රයෝජන නිසා ඇති වුණු බැඳීම් නිසා හටගන්න ශෝකය තාවකාලිකයි... ටික කාලයක් ගත්වෙද්දි ආයෙ මතක් වෙන්නෙවත් නෑ ශෝකය කොහොම වුණත්.

ගැඹුරෙන් හට ගන්න ශෝකය, වේදනාව අපිට කෙනෙක් දිහා බැලුවම වුණත් හඳුන ගන්න පුලුවන්.

Thursday, October 20, 2016

මාංශ සහ නිර්මාංශ ප්‍රශ්නය....

 
වර්තමාන සමාජයේ ඉතාමත් ලොකු ප්‍රශ්නයක් තමයි අපි විසින් නිර්මාංශී විය යුතුද නැද්ද කියන එක... මේ ගැන සමාජ සංස්කෘතික තලයේ ලොකු කතා බහක් පවතිනවා. මේක අපේ රටේ විතරක් නෙවි බටහිර සමාජයේත් සැලකිය යුතු ගැටලුවක්... ඒත් අපේ සමාජයේ ඊට වඩා ප්‍රබලයි... මේකට හේතුව අපේ ආගමික සංස්කෘතික ස්වරූපය.


මස් මාංශ කෑවත් නොකෑවත් අපි බොහෝ දෙනෙක් විශ්වාස කරන දෙයක් තමයි ඒක අයහපත් දෙයක් සහ පාපයක් වන බව. සමහර හිමිවරුන් පොත් පවා ලියමින් ධර්ම දේශනා පවත්වමින් බුදු දහමේ මස් මාංශ කන්න එපා කියලා නෑ කියලා උපාසක උපාසිකාවන්ට පෙන්වාදීමට ලොකු මහන්සියක් ගත්තත් ඒ කතාව විශ්වාස කරන්නෙත් අහන අයගෙන් කොටසක් විතරයි.

ඉතින් මේ තත්වය යටතේ අපි මුලින්ම සලකා බලන්න ඕනේ මස් මාංශ කන එක පාපයක්ද නැද්ද කියන එක... මොකද ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නය ඕකනේ... සතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියෙන්න ඕනේ, ඒක පැහැර ගන්නවා කියන්නේ ඉතාම නින්දිත සහ නරුම දෙයක් කියන කාරණේ සලකා බලන්නේ බොහොම ටික දෙනයි.

මේ ලෝකය සම්පූර්ණයෙන්ම වාගේ නිර්මාණය වෙලා තියෙන්නේ බලය මත පදනම් වූ ගොදුරු න්‍යාය මත. ඒ තුළ 'යහපත' කියන දේට තැනක් නෑ... මේ ලෝකයේ අපි විසින් නිර්මාණය කරගෙන තියෙන 'යහපත' පිළිබඳ සංකල්පවලින් අති බහුතරයක් සාපේක්ෂ, අපේ වාසියට හදා ගත් ඒවා.

දැන් එතකොට පාපය කියලා කියන්නේ මොකක්ද... සරලව බැලුවත් අයහයපත් කායික, මානසික, වාචසික ක්‍රියාවන්. එවිට ආයිමත් එන ප්‍රශ්නය තමයි, 'අයහපත' පිළිබඳ අර්ථ දැක්වීම මොකක්ද කියන එක. මේ ගැන ආචාර විද්‍යාව තුළ කෙස් පැලෙන තර්ක් ඉදිරිපත් කළත් ඒකටත් සරල පිළිතුරයි තියෙන්නේ... ඒ තමයි, තමන්ට හෝ අනුන්ට හානිකර ක්‍රියාවන් කියන එක.

තමන් විසින් සතෙක් මරන්නේ නැති නිසත් මරන්න කියන්නේ නැති නිසත් මෙතනදී කන කෙනාට පාපයක් වෙන්නේ නෑ කියලා කට්ටියක් තලු මරමින් තර්ක කරනවා. ඒත්, මේවා කන කෙනා තුළ ලෝක සත්වයා කෙරේ වෙන කරුණාව, ආදරය, දයාව කියන සිතිවිලි ඇති වෙන්නේ නෑ... ඒ වෙනුවට හැඟීම්බර වීම්, ගනු දෙනු, එකට ජීවත් වීම් වගේ හේතු නිසා ඇති වන හැඟීම් විතරයි ඉතිරි වෙන්නේ. සිදු වෙන පාපය ඒක තමයි. ඒ කියන්නේ මේ ගොදුරු ලෝකයෙන් මිදෙන්න, මිදිලා උසස් ලොවකට යන්න තරම් චිත්ත පාරිශුද්ධියක් ඇති වෙන්නේ නෑ... මේ ලෝකෙම තැග්ගැහෙන්න නම් ඉතින් පුලුවන්.

අනෙක් කරුණ තමයි මස් මාංශ, මත් ද්‍රව්‍ය, අයහපත් මිනිස් හැසිරීම් එක්ක ගොඩාක් බද්ධයි. මේවා විෂම චක්‍රයක්, දම්වැලක් වගේ ක්‍රියා කරනවා.

 කොහොම වුණත් ඉතින් චිත්ත පාරිශුද්ධිය කියන එක ඇති වෙන්න නම් මස් මාංශ වලින් ඈත් වෙන්න ඕනේ සතුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය දයාවෙන් කරුණාවෙන් යුතුව සලකා බැලීමෙන් විතරයි... පාපයට බිය වීම නිසා නම් නෙවි. සතුනුත් ජීවත් වෙනවා දැකීමෙන් සතුටු වීමේ සිතක් අපි තුළ ඇති වී තියෙන්න ඕනේ... සියලු සත්වයෝ, නිදුක් වෙත්වා, සුවපත් වේවා කියන්නේ ඒකටනේ.

Sunday, October 16, 2016

ආදරයේ රුව ගුණ (ආදරය කියන්නේ මොකක්ද... - 2)

අපි, ආදරය ගැන කතා බහ පටන් ගත්තේ 'ආදරය මොන වගේද' කියන තේමාවෙන්. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද...? මොන වගේ දෙයක්ද... ජීවිතය සඳහා එහි තියෙන වැදගත්කම, වටිනාකම මොකක්ද... ලෝකය සඳහා එහි තියෙන වටිනාකම මොකක්ද.. ආදරයේ රුව ගුණ මොන වගේද... ආදරය ඒකල හැඟීමක්ද....  නැතිනම් පුළුල් පරාසයකට අයිති එකක්ද... ආදරය මේ තරම් තීරණාත්මක ලෙසින් මිනිසාගේ පමණක් නොව සියලුම ජීවීන්ගේද, එතනිනුත් නොනැවතී අජීවී පදාර්ථයට පවා විශාල ලෙසින් බලපෑම් කළ හැකි හැඟීමක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි... මෙන්න මේ මූලික ප්‍රශ්න ටික ගැන අපේ ලොකු අවධානයක් යොමු විය යුතුව තියෙනවා.

  ආදරය පිළිබඳව ඕනෑම පුද්ගලයෙක් තුළ ඇතිවෙන හැඟීමක් තියෙනවා. ඒකට බලපාන කරුණුත් ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ නිසා හැම කෙනෙක්ම තමන්ට දැනෙන අයුරින් ආදරය ගැන හිතනවා... බුදු හිමියන්ට වගේම හිට්ලර්ටත් ආදරය ගැන අදහසක් තියෙනවා. ඒත් මේ ආදරයන් දෙක කොයි තරම් වෙනස්ද... ඉතින් මේ තත්වය හමුවේ හැම කෙනෙක්ම තමන්ට දැනෙන අයුරින් ආදරය ගැන හිතනවා. සංවේදී වෙනවා. කතා කරනවා. විවිධ චින්තකයන් විසිනුත් ආදරය ගැන කතා කරලා තියෙනවා. අදටත් කතා කරනවා.

කොහොම හරි, එතෙක් මෙතෙක් කාලය තුළ ආදරය ගැන මිනිසා විසින් ගොඩ නගලා තියෙන සංකල්ප විශාල ප්‍රමාණය දිහා බැලුවාම අපට වටහා ගන්න තියෙන එක කරුණක් තමයි මේක සරල හැඟීමක් නෙවි කියන එක. විශාල පරාසයක් තුළ විහිදී ගිය එකක් කියන එක...

සාමන්‍යයෙන් විවිධ විෂය කරුණු අරබයා පොදුවේ පිලිගත් අර්ථ දැක්වීම් තියෙනවා... ඉතින් ආදරය සඳහාත් එහෙම තියෙනවද... යම් යම් පොදු අදහස් තිබුණත්, පොදුවේ වැඩි දෙනෙක් එකඟ වුණු අර්ථ දැක්වීමක් දකින්න නෑ. පොදුවේ වැඩි පිරිසක් එකඟතාවට පත් වෙච්ච අර්ථ දැක්වීමක් නැති නම් එහි අදහස මොකක්ද... ඒක ඉතාම සංකීර්ණ දෙයක් කියන එක නේද...

එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මේ තත්වය හමුවේ ආදරය සඳහා කිසියම් අර්ථ දැක්වීමක් දෙන්න අපි කාටවත් හැකියාවක් නෑ කියලා. එහෙම දුන්නොත් ඒක තාර්කික නෑ, තම තමන්ගේ අර්ථ දැක්වීමක් පමණක් බවට පත් වෙනවා කියලා... පොදුවේ වැඩි දෙනෙක් එකඟ වූ පමණින් යම් කරුණක් සත්‍යයක් බවට පත් වෙනවා කියලා නියමයක් නෑ... ඒ නිසා යම් කරුණක් තාර්කික නම්, බුද්ධිගෝචර නම් එය නොපිළිගෙන ඉන්න හේතුවක් නෑ... 

ආදරය 'ජලය' වගේ....

ජලයට, එයටම ආවේණික වුණු හැඩයක් නෑ... එහි හැඩය සකස් වෙන්නේ එය රඳන භාජනය මත. එහෙම වුණත් ජලයට ආවේණික වුණු ගුණයන් ගණනාවක් තියෙනවා... ඒවා විස්තර කරන්න පුළුවන්. ආදරයත් ඒ වගේ තමයි. ඒක පවතින පුද්ගලයා මත එහි හැඩය තීරණය වෙනවා. ක්‍රියාකාරීත්වය තීරණය වෙනවා. ඒත් ආදරයටත් ආවේණික ගුණයන් ගණනාවක් තියෙනවා.. ඒවා විස්තර කරන්න පුළුවන්.

ආදරය කියන්නේ බැඳීම් අතරින් එකකට... සමහර අය නම් කියනවා සැබෑ ආදරය තුළ බැඳීමක් නෑ, හුදෙක් ආදරය ලබා දෙන්නා විසින් ආදරය මුදා හැරීමක් පමණයි තියෙන්නේ කියලා. ඒත් ඒ කතාවේ ඇත්තක් නෑ... බැඳීමක් නැති තැන ආදරයක් නෑ... එවැනි තැනක තියෙන්නේ කරුණාව, දයාව වැනි හැඟීමක් වෙන්න පුළුවන්. මනුස්සයෙක්ට හෝ සතෙක්ට හෝ පරිසරයට හෝ භාණ්ඩයකට හෝ ආදරයක් තියෙනවා නම් එතන බැඳීමක් තියෙන්නම ඕන.

හැබැයි මෙතනදී අපි පරෙස්සම් වෙන්න ඕන ආදරය කියන්නේ කිසියම් පුද්ගලයෙක්, වස්තුවක් ඉලක්ක කරගත් යොමු වූ එකක් නෙවි. ආදරය කියන හැඟීම හට ගන්නේ සමස්ත ලෝකයම වෙනුවෙන්මයි... සමස්ත පැවැත්මම වෙනුවෙනුයි. ඒ වෙනුවට කිසියම් පුද්ගලයෙක්, වස්තුවක් සම්බන්ධයෙන් පමණක් මේක හට ගන්නවා නම් ඒ සැබෑ පිවිතුරු ආදරය නෙවි...

එවැනි ආදරයක් හට ගන්නේ කිසියම් භෞතික හෝ මනෝ මූලික අවශ්‍යතාවක් වෙනුවෙන්. නමුත් එහෙමයි කියලා ඒ වර්ගයේ ආදරයන් වුණත් අපට ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නෑ... ඒවා අතර වුණත් ගොඩාක් උසස්, සුන්දර ආදරයන් හමු වෙනවා... නිදසුනක් විදියට සුරතල් බල්ලෙක් ගන්න.... එයා අපිට විශාල විදියට ආදරය කරන්න පුළුවන්... ඒත් දඬු ලේනෙක්ව කුරිරු විදියට මරා දාන්න පුළුවන්.

ජීවයේ පැවැත්ම සංකීර්ණ වීමත් එක්ක, තව කෙනෙක්ගේ සහාය ඒ වෙනුවෙන් ඕනි වුණාම ඒ වෙනුවෙන් ජීවය තුළම හට ගත්තු හැඟීමකින් තමයි 'ආදරය' ප්‍රභවය ලබන්නේ...

මේ තුළ තියෙන්නේ 'ජීවයේ අඛන්ඩතාව' කියන අරමුණ. සත්ව සමාජයේ අම්මා කෙනෙක් තුළ දරුවා වෙත ආදරය ඇති වෙන්නේ මානව ජාන ඊලඟ පරම්පරාවට ගෙනියන්න. මානව සමාජයේ තාත්තා කෙනෙක් තුළ ආදරය ඇති වෙන්නේ 'මානව ශ්‍රමය' වෙනුවෙන් සහ තමන්ගේ ආත්මයේ දිගු කර ගැනීම වෙනුවෙන්... නූතනයේදී නම් දේපළ ඉදිරියට ගෙන යන්නත් එක්ක.

පෙම්වතුන් අතර, සහෝදර සහෝදරියන් අතර, සතුන් සහ මිනිසා අතර ඔය වගේ සියලුම සම්බන්ධතා තුළ ආදරය නිර්මාණය වෙන්නේ එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් වන ගනුදෙනුවකට...

ජානවල පැවැත්ම වෙනුවෙන් නොවී, 'සමස්ත පැවැත්මම' වෙනුවෙන් හැඟීම්බර වෙන්න පුළුවන් මට්ටම (සැබෑ ආදරය/විශාලිත ආදරය ) ඇතු වුණේ මනස, ජීවිතය සහ ලෝකය අවලෝකනය කරමින් 'ආත්මාර්ථයෙන්' 'පරාර්ථය' වෙත ආවාම.

ගනු දෙනු ආදරය ස්ථිර නෑ වගේම ඒකෙදි වගේ සිය දහස් ගුණයක් ප්‍රබල හැඟීම්බර බවක්, විශාලිත ආදරයක් තියෙන එක හදවතක් තවත් සාමන්‍ය හදවත් එක්ක එකතු වුණත් එතන නිර්මාණය වෙනවා.

සමහර අය අතර මතයක් තියෙනවා, සමාජීය ආදරයක් තියෙන අය පෞද්ගලික ආදරයේදී දක්වන කැපවීම අඩුයි කියලා. එක මිත්‍යාවක්. එහෙම අඩු නම් ඒ අය සමාජයට ලෝකයට දක්වන්නෙත් 'පාළු කපා ගන්න' ආකාරයේ ආදරයක්...

Saturday, October 15, 2016

Bohimiyanuwa - බොහිමියානුවා - තමන්ගේ ජීවිතය අත්හරින දියණියෝ...

ආදරය කියන තැනේදී බොහෝ විට දියණියන්ට විශාල අභ්‍යන්තර අරගලයකට මූණ දෙන්න වෙනවා එයට මාපියන්ගේ විරෝධය එල්ල වන අවස්ථාවකදී... ප්‍රායෝගිකව අපිට බොහෝ විට දැක ගන්න ලැබෙන්නේ මෙතනදී ඇය මාපියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අත් හරින බව.... මෙතනදී කෙනෙක් කියන්න පුළුවන් ඒක ඇගේ ආදරයේ අඩුවක් කියලා. ඒත් ඇගේ පැත්තෙන් බැලුවාම ඇය හිතන්නේ ඒ විදියට නෙවි... තමන් දස මාසයක් කුසින් දරලා, කවා පොවා උස් මහත් කරලා හැදූ වැඩූ ඔවුන්ට දුකක් දීම කළ නොහැකි දෙයක් බව. ඒ වගේම ඇයට තමන්ගේ ආදරය අමතක කරන්නත් බෑ... මෙතනදී පෙම්වතා තමන් නැතත් වෙන කවුරුන් හෝ සමග ජීවිතයක් ගත් කරයි කියලා ඇය හිතනවා නම් ඇය මාපියන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය අත් හරිනවා...

ඒත් මෙතනදී කල්ප තමන් වෙනුවෙන් ජීවිතය වුණත් අත් හරින කෙනෙක් නිසා නූරි විශාල අභ්‍යන්තර අරගලයකට මූණ දෙනවා... දිළින්දෙක් ලෙසින් ජීවිතය අරඹා විශාල දුක් කරදර ඉසිලූ පියාගේ හීනමානික රෝගී ප්‍රාර්ථනාවන් බොඳ කරන්නත් එයාට බෑ... එයා හිතනවා පියා තමන්ට ඇත්තටම ආදරෙයි කියලා... ඒත් ඔහු තමන්ගේ දියණියට ආදරය කරන පුද්ගලයෙක් නෙවි කියන එක තේරුම් ගන්න නූරිට විතරක් නෙවි බොහෝ දියණිවරුන්ට හැකි වෙන්නේ නෑ...

තමන්ගේ පියාවත්, කල්පවත් තමන්ව අත් නොහරින නිසා ඇය තීරණය කරනවා තමන් ජීවිතයෙන් ඉවත් වෙන්න. වෙනත් විසඳුමක් ඇයට පේන්නේ නෑ... තමන් එසේ නොකළොත් කලින් පෙම්වතාට වගේම කල්පටත් ඒ දේම තම පියා විසින් කරයි කියලා ඇය කල්පනා කරනවා..

කොහොම වුණත් නූරිත් ගත් තීරණය, කිසිසේත් නිවැරදි එකෙක් වෙන්නේ නෑ... එතනදී එයා ආත්මාර්ථකාමී වුණා කියලයි අපිට කියන්න වෙන්නේ.... මොකද, එයාට දෙපසින්ම එල්ල වෙන පීඩනයෙන් මිදෙන්න ඇය කල්පනා කරනවා මිසක් 'වඩාත්ම යහපත් දේ' මොකක්ද කියලා හිතන්නේ නෑ... 'යහපත් දේ' හැමෝම සතුටු කරලා කරන්න හැකි වෙන්නේ නෑ... මේ ලෝකය යහපතට බර එකක් නොවෙන නිසා.

ඇය, කල්ප ළඟ සිටියා නම් පියාට අහිමි වෙන්නේ ඔහුගේ හීනමානික සිහිනය පමණයි... එය 'යහපත' කීයන අර්ථයෙන් ගත්තාම ඔහුට හෝ, දියණියට හෝ සමාජයට හෝ යහපතක් කරන සිහිනයක් නෙවි. අන්තිමේ ඇය ගන්න තීරණයෙන් ඇය වෙනුවෙන් ජීවිතය වුණත් අත්හරින්න සූදානම් කල්පට ඇත්තටම ජීවිතය අහිමි වෙනවා.

 ඒත් ජීවිතය අත්පත් කර ගන්න මග පෙන්වීමක් තුළ තබා බැලුවොත් මේ කතාව අවසන් කරන්න තිබුණේ මෙහෙම නෙවි. පියාගේ ආදරය ඇත්තටම ආදරයක් නෙවි කියන එක පෙන්වාදෙමින් කල්පටත් නූරිටත් ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙමින්...

 ඒත් බොහිමියානුවා අපට දෙන පණිවිඩය, ආත්මාර්ථය සිරස කරගත් ලෝකයේ එයට එරෙහිව අරගල කරනවා වෙනුවට පරාජය බාර ගැනීම....

 

වේදනාවේ, සුසුම් පළස මත
ජීවිතයම අතුරාලා
හීන දකිමි.....
ආදරයේ හිරිකඩවත් එතැයි කියා.....

 

 

ජීවිතය කියන්නේ මේකටද...?

ඔන්න මුලින්ම දරුවා නගරයේ ජනප්‍රිය පාසලකට දා ගන්නවා... ඊට පස්සේ 1 ශ්‍රේණියේ ඉඳන් ටියුෂන් යන්න පටන් ගන්නවා... ටිකක් ඇවිදින්න යන්න යාලුවෙක් ඇසුරු කරන්න, සෙල්ලම් කරන්න අවස්ථාවක් නෑ... ඒ විදියට ළමා කාලේ අහිමි වෙනවා... ඊට පස්සේ උසස් පෙළ සමත් වෙලා වෛද්‍යවරයෙක් වෙනවා... ඉහළ මධ්‍යම පන්තියට ඇතුලත් වෙන්න කියලා රෝහල් වෙලාවෙන් පස්සේ රෑ 8, 9 වෙනකම් චැනල් සේවය සපයනවා. ඊට පස්සේ ගෙදර ගිහින් නාලා කාලා නිදා ගන්නවා...  හැම දිනක්ම ඔය විදියට ගත වෙලා යනවා.

 

අන්තිමේ විවේකය, වින්දනය, සතුට, සැනසීම නැති නිසා වෛද්‍යවරයාත් ලෙඩෙක් වෙනවා... ඉතින් ජීවිතයෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ දෙයක්ද... අඩු වැඩියෙන් අද බොහෝ දෙනෙක්ට වෙන්නේ මේ ටිකයි...

ඒත් ගමේ ගොවිතැනක් බතක් කරගෙන ජීවත් වෙන දුප්පත් මනුස්සයෙක් ඇත්තටම මීට සාපේක්ෂව ගත්තාම ජීවිතය විඳිනවා... එයාට ඕනෙ තරම් විවේකය තියෙනවා... හරිත පරිසරයක ජීවත් වෙනවා... සොබා දහමේ චමත්කාරය විඳිනවා.... නිදහස තියෙනවා...


ඒ වගේම මිනිස් ජීවිතයකට නොගැලපෙන වෘත්තීන් ගණනාවක්මත් තියෙනවා... සමහර ඒවා සංස්කරණය කර ගන්න පුළුවන් මිනිසුන් මානව දයාවෙන් යුතුව සිතනවා නම්. නිදසුනක් විදියට පෞද්ගලික ආරක්ෂක සේවය කියන එක මිනිසත්කමට ගැලපෙන්නෙම නෑ... එයාට දවසේ කරන්න කියලා වැඩක් නෑ... ඔහේ බලන් ඉන්න තියෙන්නේ... ඒක මිනිසෙක්ට දෙන්න පුළුවන් ලොකුම වධයක්...


මිනිසෙක්ට ජීවිතේ සාරය අත්වෙන්න නම් තමන්ගේ ශ්‍රමය වැය කරලා සම්පූර්ණ නිෂ්පාදනයකට දායක වෙන්න ලැබෙන්න ඕන... ඒත් මේ වෙනකොට ලාභය සහ නිෂ්පාදිතයේ පමණක් ඵලදායිතාවය අපේක්ෂා කිරීම නිසා අද පුද්ගලයෙක්ට එහෙම අවස්ථාවක් නෑ... ඔහු හෝ ඇය දායක වෙන්නේ නිෂ්පාදිතයේ කුඩා කොටසකට... ගාමන්ට් එකක කොලර් එකක්, කමිස අත සිය දහස් ගාණක් මැෂින් එකක් වගේ මහන කෙනාට අත්වෙන තෘප්තිය මොකක්ද.... පීඩාව සහ අතෘප්තිය විතරයි...


මිනිසුන්ට ජීවිතයක් අත්පත් වෙන්න ඕනේ කියලා හිතුවා නම් කෙරෙන්නේ මහන මැෂින් තාක්ෂනය තව ටිකක් දියුණු කරලා ඒවා නිවෙස්වලටම දීලා නිවසේදීම සම්පූර්ණ ඇඳුමක් මහන්න සලස්වන එක.


මිනිස්සු කාර්යක්ෂමව වැඩ කරනවා නම් පැය 8ක් තුළ කරන වැඩ ඉන් අඩක වගේ කාලයක් තුළ කරන්න පුළුවන්. ඉතින් එහෙම වෙනවා නම් මිනිසුන්ට හවස 2 වගේ වෙද්දි ගෙදර යන්න අවස්ථාව සලසා දෙන්න පුලුවන්... එතකොට දවසේ වේලාව බෙදලා සවස් සහ රාත්‍රී සේවා අවශ්‍ය වෙන සේවා වලට වෙන වෙනම සේවකයන් යොදවන්න පුළුවන්.  එතකොට කෙනෙක්ට නගරයේ සේවය කළත් ගෙදර ගිහින් ජීවිතය ගත කරන්න ප්‍රමාණවත් වේලාවක් ලැබෙනවා...

Thursday, October 13, 2016

ජ්‍යෝතිෂ්‍යය සත්‍යයක්ද...?

ජෝතිෂය කියන්නේ අපේ සමාජයට අතිශයින්ම තීරණාත්මක ලෙසින් බලපානු ලබන ප්‍රපංචයක්. එය,  අපි එක් එක්කෙනාගේ විතරක් නෙවි සමස්ත රටේ ඉරණම, දෛවයන් පවා තීරණය කරන්න පුළුවන් බලවේගයක් බවට පත් වෙලා. ඉතින් මෙහි බලපෑමේ යහපත් හෝ අයහපත් බව අපිට තීරණය කරන්න හැකි වෙන්නේ මෙය, සත්‍ය පදනමක් මත ගොඩ නැගිලා තියෙන ශාස්ත්‍රයක්ද විද්‍යාවක්ද යන්න මත.

මේ මොහොතේ ඔබට එහි සැලකිය යුතු බලපෑමක් ඇති වී නොතිබෙනවා වෙන්න පුළුවන්... ඒත් ඉදිරි නිමේෂයක එසේ සිදුවෙන්න තියෙන හැකියාව විශාල එකක්.

ජෝතිෂය සම්බන්ධයෙන් ගත්තාම බොහෝ දෙනෙක් ඉන්නේ අන්ත දෙකක... ඒ තමයි එය සත්‍යයක් ලෙසින් විමසා බැලීමකින් තොරවම පිළිගන්නා කොටස සහ ඒ විදියටම එය මිත්‍යාවක් සේ බැහැර කරන කොටස.... මීට වෙනස්ව යමින් මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට යොමු වන කෙනෙක් හොයා ගන්න එක හරිම අමාරුයි.

ජෝතිෂයට නූතන විද්‍යාත්මක දැනුමෙන් එල්ල වී තියෙන අභියෝගය නිසා ජෝතිෂවේදීන් එය නව අර්ථකථනයන්ට භාජනය කරන්නත් යොමු වෙලා තියෙනවා. ඒත් අපිට වැදගත් වෙන්නේ අර්ථකථනයන් නෙවි... මූලිකවම මෙහි සත්‍ය අසත්‍යතාව හොයන එකයි.

හේතුවාදීන් අල්ලාගන්නේ ජෝතිෂයේ තියෙන ග්‍රහයන් ටික. ඒ මත ඔවුන් පහසුවෙන්ම එය ප්‍රතික්ෂේප කරනු ලබනවා... ඒත් ග්‍රහයන් කියන්නේ අප විසින් පෙර ජීවිතවල සිදු කරගත් ක්‍රියාවන්වල ප්‍රතිඵල සංකේතවත් කිරීම සඳහා යොදාගන්න සංකේත සමූහයක් විතරයි කියලා ජෝතිෂවේදීන් කිව්වාම ඔවුන් කරන්නේ කර්ම සිද්ධාන්තය බොරුවක් කියලා ඒත් එක්ක ගැටෙන එක...

ඒත් 'කර්මය' කිව්වාම ඉන් ආගමික අදහසක් ජනිත වුණත් සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතික්‍රියාවක් පවතිනවා කියන විද්‍යාත්මක නියමය ගැන අවධානය යොමු කළාම අපි පිටුපසින් එවැනි බලපෑමක් තියෙන්න පුළුවන් කියන අදහසක් ජනිත වෙනවා.

ජෝතිෂයේ පුද්ගලයන්ට තියෙන ඉතාමත් ප්‍රබලම බලපෑම තමයි විවාහ වෙන්න යන පෙම්වතුන්ට සිදුවන බලපෑම. එහෙම වෙන්නේ කෙනෙක්ගේ අපල හෝ සඵල තවත් කෙනෙක්ට බලපාන්න පුළුවන් කියන ජෝතිෂ සිද්ධාන්තය මත. මේ නිසා යෝජිත විවාහ වලට නෙවි, ප්‍රේම සම්බන්ධතාවලට ජෝතිෂය මැදිහත් කර ගැනීමට යාම නිසා විශාල මානුෂික අර්බුදයක්, ව්‍යසනයක් අපේ සමාජයේ ජනිත වෙලා තියෙනවා. එය හට ගන්නේ ප්‍රේමයේ කූටප්‍රාප්තිය ලෙසින් දෙදෙනා විවාහ වීමට සූදානම් වන අවස්ථාවේ වැඩිහිටියන් විසින් මැදිහත්ව ඔවුන් දෙදෙනාගේ ඒ සඳහා වන යෝග්‍යතාව, ජෝතිෂය නම් කෝවේ දමා පරීක්ෂා කිරීමට යාමේදීයි.

තලකැරලිවල තල නෑ, තක්කාලි සෝස්වල තක්කාලි නෑ...

තල කියන්නේ රස ගුණ ආහාරයක්... ඉතින් මේ නිසා අපේ මල්ලි තලකැරලි පැකට් එකක් නිතර ගෙදර ගේන්න පුරුදු වෙලා ඉන්නවා...  බිස්කට් වගේ දේවල් කෘතිමයි... රසායනික යොදලා... ඒ නිසා මේ වගේ දෙයක් ඒ පැත්තෙනුත් හොඳයි. හොඳ වෙලාවට ගෙදර ඉන්න රෙක්සුත් ඒවා කනවා. ඒ නිසා ඉතින් බිස්කට්වලට සම්බාධක පනවන්න බාධාවක් නෑ.

විවිධ නිෂ්පාදකයෙන්ගේ තල කැරලි ගත්තාම අපිට නම් තල ටිකක් තියෙන (ප්‍රමාණවත් තරමින්) එකක් හමු වුණේ එක නිෂ්පාදකයෙක්ගේ පමණයි.. 

මෙන්න බොලේ එයාත් මේ ලඟදි ඉඳලා අනෙක් නිෂ්පාදකයන් යන මගම යන්න පටන් අරන්.... අහෝ ඛේදයකි....

නමට 'තල' වුණාට මේවායේ සම්පුර්ණයෙන්ම පාහේ තියෙන්නේ සීනි හෝ සීනි වලින් තැනූ හකුරු... ගණන් කරන්න පුළුවන් තරමේ තල ඇට කීපයක් දකින්න පුළුවන්.

මීට කාලෙකට කලින් වගකිවයුතු අංශ විසින් වටලනු ලැබුවා ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයක්... එතන්දී අනාවරණය වුණේ ඔවුන් විසින් නිෂ්පාදනය කරන තක්කාලි සෝස්වලට යොදන්නේ ඉටි වර්ගයක්, ඩයි සහ තවත් රසායනික කීපයක් බව. ඉතින් බලන්න එතන නැත්තේම 'තක්කාලි'.

මේ වෙලාවේ මට මතක් වෙනවා හාස්‍ය කතාවක්... එක් වෙළෙන්දෙක් පාරේ තියාගෙන හකුරු විකුණනවා... පිරිසිදු හකුරු කියමීන්... ඉතින් ඒ අතරේ එයා කියනවා ''නෝනා මහත්තයා ගන්න හකුරු කිලෝ එකක් ගන්න, නොමිලේ සීනි කිලෝ එකක් දෙනවා'' කියලා... ඉතින් කට්ටිය හකුරු අරන් සීනි කිලෝ එකක් ඉල්ලුවාම එයා හකුරු එක පෙන්වලා කියන්නේ ''ඕක තමයි නොමිලේ දෙන සීනි කිලෝ එක' කියලා. ඉතින් මොකක්ද මේ කතාවේ තේරුම... මේ 'පිරිසිදු කිතුල් හකුරු' වල තියෙන්නේ සීනිම පමණයි කියන එක....

ඉතින් මේ තත්වය අපේ ගති ගුණ සම්බන්ධයෙන් ගත්තාමත් එහෙමයි... ධාර්මික ලෙසින් පෙනී ඉන්න  අය තුළ ධර්මය නෑ... කාරුණිකයි කියන අය තුළ කරුණාව නෑ... ආදරණීයයි කියන අය තුළ ආදරය නෑ...

ඉතින් මෙහෙම විකාර සහගත තත්වයක් ඇති වෙලා තියෙන්නේ ඇයි.

ඒකට හේතුව තමයි අපේ උරුම කරුමය.. ඒ කියන්නේ ආත්මාර්ථය පදනම කර ගනිමින් අපි බිහි වී තිබීම... ඒ නිසා එයට පටහැනි වන පරාර්ථය, සහජීවනය වගේ දේවල් අපිට ආගන්තුකයි... ඒවා අපේ සිත් තුළ ඇති කරවන්නේ සමාජීය මෙහෙයුමක් තුළින් අපේ සිත ශිෂ්ටාචාරගත කිරීමෙන්.. ඉතින් එතන සිදු වෙන අර්බුදයන් මත නිතරම උඩ මතු වෙන්නේ ආත්මාර්ථය.

Wednesday, October 12, 2016

ආදරය මේ ලෝකයට අයිති දෙයක් නෙවි....

අපි වචනයට කියන්නේ අපි විසින් කෙනෙක්ට ආදරය කරනවා කියලයි... එතකොට එහෙනම් ඒ තුළ තියෙන්න ඕන පරාර්ථය. කරුණාව, දයාව. ඒත් ඇත්තටම වෙන්නේ එකද... එහෙම නෑ... අපේ ආත්මාර්ථකාමී වුවමනාවන් වෙනුවෙන් කෙනෙක් සමග හෝ දෙයක් සමග සම්බන්ධතා ඇති කර ගන්න එකයි... මේක මිනිසුන් මිනිසුන් අතර විතරක් නෙවි සතුන් හා මිනිසුන් අතර සම්බන්ධතාවලට පවා අදාලයි.. මගේ ජීවිත කාලයේ මං ගොඩාක් සතුන් ඇසුරු කරලා තියෙනවා... ඒත් ආත්මාර්ථය ප්‍රමුඛ කර ගන්නේ නැතිව සිටි සතෙක්ට මං දැක්කේ එක පූසෙක් සහ බල්ලෙක් විතරයි...

මගේ මුස්ලිම් යාලුවෙක් කිව්ව කතාවක් මේ... එයාට පාසල් යන වයසේ මුස්ලිම් තරුණියක් ආදරය කරලා තියෙනවා... මේක පටන් අරගෙන තියෙන්නෙත් ඒ යුවතිය විසින්මයි. මෙහෙම ගලාගෙන ගිය ඒ ආදරය වසර 5ක් දක්වා පැමිණියා... මේ තරුණයා ඒ අතරේ රට රැකියාවකටත් ගියා... එහෙදි රෑ 1-2 වෙනකන් කතා කර කර ඉඳලා පසුවදා ඔහු වැඩටත් යනවා. එහෙම තිබුණු ආදරය අවසානයේ ඒ ගෑනු ලමයගේ අම්මා අකමැතියි කියලා ඒ තරුණිය විසින් නතර කරලා දැම්මා... තරුණයාගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන් කඩා වැටුණා.. ඔහු බොන්න පටන් ගත්තා...

''ගෑනු කියන්නේ හරිම සෙල්ෆිශ් ජාතියක්... තමන්ගේ ආත්මය පුරව ගන්න කාලයක් කාට හරි ආදරය කරනවා... ඊට පස්සේ කවුරු හරි දෙමව්පියෝ හොයලා දෙන සල්ලි තියෙන මිනිහෙක්ව කසාද බැඳ ගන්නවා. මුස්ලිම් ගෑනු නම් හරිම සෙල්ෆිශ්...''

ඔහු කිව්වේ එහෙමයි.

නමුත් අපි දන්නවා ආත්මාර්ථය තුළින් තාවකාලික පටු ආස්වාදයක් මිසක් සැබෑ ජීවිතය අත්පත් වෙන්නෙ නෑ... සතුට අත්පත් වෙන්නෙ නෑ... ඒක මේ කතාව තුළින්මත් ඔප්පු කරමින් මේ තරුණිය විවාහ වෙලත් අවුරුදු කීපයකට පස්සේ ෆේස්බුක් එකෙන් මෙයාව හොයාගෙන ආයිමත් කතා බහ කරලා තියෙනවා.

ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් කෙනෙක්ට ආදරෙයි කිව්වට පස්සේ හෝ කෙනෙක්ගේ ආදරය පිළිගත්තට පස්සේ කවදාවත් එයාගෙන් වෙන් වෙන්න හිතන්නේ නෑ... එයාගෙන් තමන්ට හිරිහැර වෙන අවස්ථාවක වුණත් උත්සාහ කරන්නේ කොහොම හරි එයාව හදා ගන්න. බැරිම වුණොත් විතරයි වෙන් වෙන්න හිතන්නේ උපරිම උත්සාහය දැරීමෙන් අනතුරුව.

ඒත් මේ ලෝකය තුළ වෙන්නේ ඒකේ අනෙක් පැත්ත.. ''ඔයා මගේ ජීවිතය' කියන කෙනා හෙට දවසේ 'මට කරදර කරන්න එපා' කියලා වෙන කෙනෙක් එක්ක යන එක. එහෙම නොයන එකට ඉන්න අය අතර වුණත් ආදරය කියන එක දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්... මගේ මේ ජීවිතය තුළ නම් ආවාසනාවකට වෙන්න ඇති පූර්ණ වශයෙන් ඇත්තට ආදරය කරන කෙනෙක් දැක ගන්න ලැබිලාම නෑ...

එකට ඉන්න අය බොහෝ දෙනෙක් එකට ඉන්නේ එක්කෝ වෙන හොඳ කෙනෙක් නොලැබීම නිසා.. එහෙමත් නැති නම් වෙන් වෙලා යන්න බැරි හේතු නිසා. සමහර විට ඒක තමන්ගේ හෘද සාක්ෂිය වෙන්න පුළුවන්... එහෙමත් නැති නම් වගකීම්වලින් බැඳිලා සිටීම වෙන්න පුළුවන්... සමාජීය හෝ නෛතික බලපෑම් වෙන්න පුළුවන්.

දෙන්නෙක් ඇත්තට එකට ඉන්නවා කියන්නේ ඒ දෙන්නට අසීමිත සතුටක් තියෙන්න ඕන ඒ එකට ඉඳීම තුළින්. ඒ ඉඳීමම පමණක් මහා සතුටක් වෙන්න ඕනේ වෙනත් කිසිම දෙයක් නැතිව.

මිනිසුන් අතෘප්තියෙන් දිවි ගෙවීමේ රහස තියෙන්නේ වෙන කොතනකවත් නෙවි තමන්ගේ සහ ලෝකයේ තියෙන ආත්මාර්ථය තුළ. එහෙම නොවී හැමෝගේම සිත් පරාර්ථයෙන් යුක්ත වුණා නම් හැමෝගේම ජීවිත ආනන්දයෙන් පිරිලා යන්න තිබුණා..

මරණාසන්න අත්දැකීම්, අන්තරාභවය හා මනෝකාය

මෙළොව අපි ගත කරන ජීවිතයේ නිමාව මරණයෙන් සටහන් වන විට, නැවත උපතක් ලබන තෙක් ගත කරන අන්තර්කාලික අවස්ථාවක් ලෙසින් තමයි අන්තරාභවය හැඳින්වෙන්නේ.

 

අන්තරාභවය සම්බන්ධයෙන් බුදුදහමේ දාර්ශනික ප්‍රභේදයන් දෙක තුළ (ථේරවාද සහ මහායාන) තියෙන්නේ එකිනෙකට වෙනස් අර්ථ දැක්වීම් දෙකක්. මහායාන ප්‍රභේදය එය භව දෙකක් අතර ඇති අතරමැදි අවස්ථාවක් ලෙසින් සලකන අතර, ථේරවාදී ප්‍රභේදය එය තවත් භව අවස්ථාවක් ලෙසින්ම සලකනු ලබනවා. මේ අතර, බටහිර රටවල මේ සම්බන්ධයෙන් සිදු කරන නූතන පර්යේෂණ, සිය දේවවාදී ආගමික දැක්ම සාධනය කිරීමේ දිසාවට යොමු වී තිබෙනවා. කොහොම වුණත් ඉතින් පෙරදිග බටහිර භේදයකින් තොරව සමස්ත ලෝකවාසීන්ගේම මේ ගැන තියෙන්නේ නම් බලවත් උනන්දුවක්.

 

අපේ මරණින් පස්සේ උපත ලැබිය හැකි ලෝක තල ලෙසින් බුදු දහමේ අවස්ථා විශාල ගණනක් දක්වනවා. ඒවා, සුගති භූමි සේම දුගති භූමි ද වනවා. ඉතින් මෙහෙම මරණින් පස්සේ උපදින්න පුළුවන් ජීව තලා ඕන තරම් තියෙද්දි භව දෙකක් අතර තියෙන අතරමැදි අවස්ථාවක් සේ සලකන්න පුළුවන් 'අන්තරාභවය' ගැන මොකටද මේ තරම් උනන්දු වෙන්නේ කියන ප්‍රශ්නයත් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්...

 

ඒකට හේතුව තමයි, පැවැත්මේ අතරමැදි අවස්ථාවක් වුණත් අපට උපතක් සඳහා සුදුසු භව තලයක් ලැබෙන තෙක් ඇතැම් විට වසර විශාල ගණනක් පවා ලැගුම්ගෙන සිටීමට සිදුවීමත් ඒ වගේම එය ඉතාමත් සීමාසහිත ජීවන පැවැත්මක් ගෙන යාමට සිදුවන ස්ථානයක් වීමත් නිසා. එතනදී කෙනෙක් තුළ ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්, සියවස් ගණන් ජීවත් වෙන්න සිදු වෙන ස්ථානයක් එහෙම පැවැත්මේ අතරමැදි අවස්ථාවක් වෙන්න පුළුවන්ද සහ සීමාසහිත පැවැත්මක් තිබීම යථාර්ථවත්ද කියන එක. මේකට ඉතින් පිළිගන්න පුළුවන් අන්දමේ පිළිතුරක් ලබා ගන්න නම් මේ සම්බන්ධයෙන් ගොඩක් පර්යේෂණ සිදු කරන්න වෙනවා.

 

මෙතනදී මුලින්ම අපට වැදගත් වෙන්නේ ඇත්තටම අන්තරාභවය කියලා පැවැත්මක් තියෙනවාද කියලා තහවුරු කර ගන්න එකයි... ඊට පස්සේ තමයි හොයන්න ඕනේ ඒ පැවැත්මේ ස්වභාවයන් ගැන.

 

අන්තරාභවය ගැන බුදුදහම තුළ අතීතයේ ඉඳන්ම කතා කරලා තියෙනවා... ඒත් වර්තමානයේ සමාජයේ මේ ගැන ඇති වෙලා තියෙන උනන්දුවට හේතුව, 'මරණාසන්න අත්දැකීම්' ලෙසින් හැඳින්වෙන අත්දැකීම් සමූහය.

Saturday, October 8, 2016

ආදරය කියන්නේ මොකක්ද...? මොන වගේද...? - What is the Meaning of Love

'ආදරය' කියන එක එක වරක් හරි උච්ඡාරණය නොකළ කෙනෙක් මන් හිතන්නේ මේ ලෝකයේම නැතිව ඇති. ඒ තරම් මේක අපේ ජීවිතයත් එක්ක බද්ධයි... 

කටින් කියන්න බැරි වුණාට මකුළුවන්, කටුස්සන්, හූණන් වගේ පරිණාමිකව පහළ මට්ටමේ ඉන්න සතුන්ට පවා ආදරය දැනෙනවා... එයට බෙහෙවින් සංවේදීයි... ඒ විතරක් නෙවි මේ මහා විශ්වයේ අජීවී පදාර්ථය පවා ආදරයට සංවේදීයි... ප්‍රතිචාර දක්වනවා...

 

ඒත් පෘථිවිය මත ක්‍රියාත්මක වන පොදු යාන්ත්‍රනය 'ආත්මාර්ථය' නිසා 'ආදරයට' එහි නියමම ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙන්න ලැබෙන අවස්ථා හරිම අඩුයි. ඒ නිසා 'ආදරය' නමින් උච්ඡාරණය වෙන්නේ බොහෝ විට වෙනත් ක්‍රියාකාරකම්... ඒක නිසා තමයි ඕෂෝ කියලා තියෙන්නේ ආදරය එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි කියලා... ඉන්න තරමක් මිනිසුන්ගේ තරමට ආදර වර්ග තියෙනවා කියලා. පහළ තලයේ සිට ඉහළම තලය දක්වා.

 

කොහොම වුණත් ආදරය කියන වචනය උසුරුවුණු ගමන් පොදුවේ අපි තුළ ඇති වෙන සංජානනයක් තියෙනවා. ඒ තමයි පෙම්වතුන් අතර ඇති ආදරය. මේක අපේ රටට පමණක් නොව මං හිතන්නේ ලොව සෑම සමජයකටම කෙසේ වුණත් බොහෝ සමාජවලට පොදුයි...

 

ඒත් ආදරය කිව්වාම ඒ ආදරය විතරක්ද... මව්පිය දූ දරු ආදරය. සහෝදර ආදරය. ගුරු ශිෂ්‍ය ආදරය, මිතුරු ආදරය, ඥාති ආදරය, සත්ව ආදරය, ගහ කොළට ආදරය, පරිසරයට ආදරය, භාණ්ඩ වලට ආදරය ඔන්න ඔය වගේ විවිධාකර විදියට ආදරය ප්‍රභේදනය වෙනවා.

 

ඒත් මේ සියලුම ආදරයන් අතර, වඩාත්ම සමීපතම, වඩාත්ම සුන්දර, දෙදෙනා අතරම ඒකාකාරී හැඟීම්බර බවක් සහිත ජීවිත කාලය පුරාම වෙනසකින් තොරව පවතින ආදරය වෙන්නේ පෙම්වතුන් අතර තියෙන ආදරයයි... ආදරය කියන එකේ සංජානන අයිතිය පෙම්වතුන් විසින් අත්පත් කරගෙන තියෙන්නේ ඒ නිසයි...

 

නිකමට හිතන්න, මවක් තමන්ගේ දරුවට දැඩි ලෙසින් ආදරය කරනවා. එයා ගැන නිතරම හිතනවා. ඒත් දරුවා ගත්තම ඒ ප්‍රමාණයෙන්ම එයාට අම්මව දැනෙන්නේ නෑ.. මෙන්න මේ නිසා ඒ වර්ගයේ ආදරයකට පෙම්වතුන්ගේ ආදරයට ළං වෙන්න හැකියාවක් නෑ.

 

ඒත් සුරතල් සතෙක් සහ මිනිසෙක් අතරත් ඉතාමත් සමීප දැඩි ආදරයක් ගොඩනැගෙනවා. සමහර විටක, පෙම්වතුන් අතර ඇති ආදරයටත් වඩා. මිනිසුන් මිනිසුන් අතර ආදරයෙන් හෙම්බත් වන අය, බොහෝ විට අවසානයේ මේ වගේ සතෙක් එක්ක ආදරයක් තෝරා ගන්නවා.

 

ඒත් මෙතනදී පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි අපිට අපේ හැඟීම් අදහස් බෙදා ගැනීමේදී ප්‍රශ්නයකට මූණ දෙන්න වීම. මොකද සතාට ඒ දේ සඳහා විශාල භාෂාමය බාධාවක් පවතින නිසා.. ඒත් ඒ හැරෙන්න හැඟීම්මය දෙයෙක් වන 'ආදරය' සඳහා නම් බාධාවක් නෑ..

 

ආදරයේදී හදවත් අතර බැඳීම වගේම ඔවුන් අතර සිදුවන කායික බැඳීමත් ස්වාභාවිකවම සිදු වන දෙයක්. ඒ කියන්නේ ලඟින් ඉදීම, සිප වැලඳගැනීම, සුරතල් වීම වගේ දේවල්. ඉතින් මේ කාරණය ගත්තාම ආදරවන්තයන් දෙන්නෙකුටත්, මිනිසෙක් සහ සතෙක්ටත් තමයි ඉහත ආකාරයේ ඉතාම දැඩි කායික සම්බන්ධයක් ජීවිත කාලය පුරාවටම පවත්වා ගන්න හැකි වෙන්නේ...

 

මෙන්න මේ හේතු ඔක්කෝම හේතු නිසා තමයි ආදරය කියන එකේ පරවේණි උරුමය ආදරවන්තයන් විසින් හිමි කරගෙන තියෙන්නේ.

සංකල්ප නිර්මාණය සහ දැනුම...

මිනිසා සංකල්පීය සත්වයෙක් වෙනකොට හරි නම් වෙන්න ඕනේ හැම මිනිසෙක්ම සංකල්ප නිමාණකරුවෙක් වෙන එකනේ නේද... ඒත් වර්තමානය දිහා බැලුවත් අතීතය දිහා බැලුවත් ඒක එහෙම වෙලා නෑ... ඒ වෙනුවට ටික දෙනෙක්ගේ සංකල්ප අපි විසින් අපේ ජීවිතය කර ගැනීම තමයි වෙලා තියෙන්නේ... මොකක්ද මේකට හේතුව... පොදු මිනිසාට සංකල්ප පහල නොවීමද... එහෙමත් නැති නම් මොකක් හරි හේතුවක් නිසා පොදු ජනයාගේ සංකල්ප යටපත් වෙලා කීප දෙනෙක්ගේ සංකල්ප අධිපති වීමද...?

කවර දෙයක් හෝ සම්බන්ධයෙන් තියෙන 'දැනුම' කියන්නේ මිනිසා විසින් ස්වකීය බුද්ධියෙන් ගොඩ නැගූ ආකෘති. අපේ සංවේදන පද්ධතියට ග්‍රහනය වන 'ලෝකය' සහ එහි 'නියාම' අපි විසින් ''දැනුම' ලෙසින් හඳුන්වනවා...

ඒ වගේම මේ 'දැනුම' සමහර අයට පමණක් දැනුණ දේ ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඒව 'පිළිගත් දැනුම' ලෙසින් සමාජගත වී තිබෙනවා.  නිදසුනක් විදියට කවුරුවත් යක්ෂයන් හෝ දෙවියන් දැක නැහැ.. ඒත් ඒ අයව දැක්කා යයි කියපු අයගේ කතාවන් මත අපි බොහෝ දෙනෙක් මේ සංකල්ප විශ්වාස කරනවා..

ඉතින් මේ විදියට සමස්ත මානව වර්ගයාම, සමස්ත ජීවී ප්‍රජාවම, සමස්ත ලෝකයම වෙනුවෙන් සංකල්ප නිර්මාණය කරන්න යනකොට ඒ අය ආදරය, කරුණාව, යහපත, සහජීවනය, පරාර්ථය වගේ උත්තම ගුණාංග මත පමණක් පදනම් වෙලා කළා නම් ඉතින් අපිම සංකල්ප නිර්මාණය නොකළත් කමක් නෑ... ඒත් අනෙකාව තම අවශ්‍යතාවන් මත උපයෝගී කරගැනීම පදනම් කරගෙන තමයි බොහෝ විට මේ දේ වෙලා තියෙන්නෙ. තමන් කොහොම හරි ජීවත් වීම, තමන් පමණක් සැප විඳීම තමයි එහි පරමාර්ථය...

ඒත් මේවා 'පිළිගත් දැනුම' ලෙසින් බාර ගන්න අය හැම වෙලාවෙම හිතන්නේ ඒ සංකල්ප ගස් ගල් වගේ මේ ලෝකේ ඉබේටම පහල වෙලා ඇති කියලා. ඒවා නිවැරදි සහ යහපත මූලික කරගෙන ගොඩනංවලා ඇති කියලත් හිතනව...

අන්න එතනින් තමයි මහා අර්බුදයන් විශාල ප්‍රමාණයක් හට ගන්නේ...